![]() |
| සේයාරුව අන්තර්ජාලයෙනි. 2019 අප්‍රේල් 21 ප්‍රහාරයට ලක් වූ කටුවපිටිය ජේසුස් පිළිරුව |
වෙසක් පෝ දිනය දියබත් වෙමින් තිබිණි. හිටිවනම හෝස් ගා කඩා හැලෙන වැස්ස පැය කාලක්වත් එක දිගට වහින්නේ නැත. ඇරඹුණා සේම හමාර වන්නේ ය. නමුත් ඉර එළිය කඳුළක්වත් පේන්නට නැත. හාත්පස වැහි බීරම ය.
මාධවී දසඅතේ කල්පනා කළේ දියණිය නොතෙමා දානයට කැන්දා ගෙන යන අයුරු ය. ඇය පෙර දින සිට ම කන්කෙඳිරි ගෑවේ දන්සැල් කන්නට රවුමක් යාමේ උවමනාවෙනි. දන්සැල් ඇරඹෙන වගට සංඥා නංවමින් වරින් වර හතර වටින් රතිඤ්ඤා හඬ නැගුණද වැස්ස මඳකට හෝ තුරල් නොවූයෙන් කන්කෙඳිරිය නෑසුණා සේ ඉන්නට මාධවී ට සිදු විය.
නමුත් දානය මගහරින්නට බැරි ය. එය විශේෂිත දානයකි.
''අනේ මැණික ඒ මාමගෙ පවුලෙම අය කටුවපිටියෙ පාස්කු දවසෙ බෝම්බෙන් මැරිලලුනෙ. දුවල දෙන්නයි, එයාගෙ නෝනයි. ඒ අයට පින්සිද්ද වෙන්නලුනෙ මේ දානෙ දෙන්නෙ. ඒ හින්දා කොහොම හරි ගිහින් එමු."
මාධවී නව හැවිරිදි දියණියට පැහැදිලි කළේ ඒ මරණ තුන මේ දැන්, මෙතැන සිදු වී ඇත්තාක් මෙන් සංවේගයෙනි.
ඔය කියන මාමා මාධවී දුටුවේත් නැත. මාධවීගේ අසල්වැසියා කීවේ මිනිසකු පයින් ම දරුවන් සිටිනා නිවෙස් සොයා ඇවිද යමින් දානයට ඇරයුම් කළ බවකි. ස්වාමියා ද අහිමි ව තනිවම දැරියත් රැක බලාගෙන සිටිනා මාධවීට ආසන්නතම පිළිසරණට සිටින අසල්වැසියන් දියණියගේ නම ද, ඒ දන් ලැයිස්තුවට දී ඇත්තේ පාසල් උපකරණ සහ ආහාර ද්‍රව්‍ය මල්ලක් ලැබෙන බව ද කියා ඇති හෙයිනි.
''කටුවපිටිය බෝම්බෙන් පවුලෙ අය නැති වුණ හින්දා ඒ ඉඩකඩම් විකුණලා දාලා අල්ලපු ගමේ කුලියට ඇවිත් ඉන්නවලු තනියම. මමත් හැබැයි මීට කලින් දැකපු කෙනෙක් නෙමෙයි. ළඟකදි වෙන්න ඇති එන්න ඇත්තෙ. නැති වුණු දරු දෙන්නයි, නෝනයි සිහි කරලලු දානෙ දෙන්නෙ. ගිහින් බලමුකො. අපිත් යනවනෙ."
අසල්වැසියා පැහැදිලි කළේය.
''පයින් ම ගෙවල් ගාණෙ ගියා ද?"
''ඔව් පයින් ම ආවෙ. ළමයි ඉන්න ගෙවල් අහගෙන ආව කියලයි කිව්වෙ."
''පව් මිනිස්සු. බෝම්බ පිපිරිලා අවුරුදු පහක්. ඒත් ඒ දුක් වේදනාවල කෙළවරක් නෑනෙ."
මාධවී දියණිය සෝදවා නිල් මල් ගවුමක් අන්දා, කොණ්ඩ කරල් දෙකක් ගෙතුවාය. 'දැන් මේ ළමයා දකිද්දි අර මනුස්සයට දුක හිතෙයිද දන්නෙත් නෑ. කාටද දෙයියනේ තමන්ගෙ දරුවො නැති වුණාම දරාගන්න පුළුවන්.' හිත හිතා, හිත හිතා ඇය නැවතත් දියණියගේ මල් ගවුම ගළවා පරණ, අඳුරු ගවුමක් ඇන්දෙව්වාය.
එකල කොහේ හෝ දැක තිබුණු මිය ගිය දැරියන් දෙදෙනෙකුගේ සේයාරුවක් මාධවීට සිහිපත් විය. සුදු පසුබිමේ ලා නිල් මල් ඉහුණු ගවුම් හැඳ, සුන්දර සිනාවෙන් සැරසී සිටි ඒ දැරිවියන් දෙදෙනා හැබෑම සිරියාවන්ත ය. 'අනේ දෙයියනේ මේ ඒ දරුවන්ගෙ තාත්ත ද දන්නෙත් නෑ...' මාධවී සුසුමක් හෙළුවාය.
''අනේ අම්මෙ... මේ ගවුමට මං ආස නෑ." දියණිය කන්කෙඳිරි ගෑවාය.
''කමක් නෑ මැණිකෙ. දැනට විතරයි. ඒ මාමට දුක හිතෙයි එයාගෙ දුවලව මතක් වෙලා. දානෙට ගිහින් ඇවිත් දන්සැල් කන්න යද්දි අපි ලස්සන ගවුමක් ඇඳන් යමු."
මාධවී කුඩා අත් බෑගයට කොන්තය ද, යාච්ඤා පොත් ද දමා ගත්තාය. 'ආගමේ කට්ටියක් වෙන්න ඇතිනෙ. නැතත් මොකද, ඒ මැරුණු අය වෙනුවෙන් ඔරසමක් කියන්න ඕනෙ. පව් මිනිස්සු.'
අසල්වැසියා සිය දියණිය ඉදිරිපස නංවාගෙන පැද යන බයිසිකලය පිටුපස, මාධවී ද සිය කාන්තා බයිසිකලයෙන් ගමන් කළාය. දියණිය දෙපා දෙපසට දමා බයිසිකලයේ ලගේජය මත වාඩි වී උන්නාය.
''කිව්ව හැටියට නම් ඔය කියන ගේ තියෙන්න ඕන මේ පාරෙ."
අසල්වැසියා බයිසිකලය නවතා වට පිට බැලුවේය. මාධවී ද ඊට පිටුපසින් පාපැදිය නවතා ගත්තාය. පේන මානෙක දානමානයක් දෙන ලකුණකුදු නැත. වැහි අඳුර මැද නිවෙස් පවා බොඳ වී ගිය සෙයකි. ගුරු පාර කෙළවර සිට වියපත් මිනිසෙක් හරකෙකු දක්කාගෙන එමින් සිටියේය.
''මාමෙ මේ හරියෙ ඉන්නවද, කටුවපිටියෙ ඉඳල ඇවිත් කුලියට ඉන්න කෙනෙක්..." අසල්වැසියා ඇසුවේ වියපත් මිනිසාගෙනි. එක්වරම වියපත් මිනිසාගේ මුහුණට සිනාවක් නැගිණි. බුලත් කහට බැඳි දසන් දෙපෙළම පෙනෙන සේ ඒ සිනාව පුළුල් විය.
''ආහ්... ඒ පැත්තෙත් ගිහින් කිව්වද දානයක් දෙනවා කියල. ඔය මනුස්සයගෙ ඔලුව හොඳ නෑ. හැමතැනම ගිහින් ඔය කතාව ම කියනවා."
මාධවීත්, අසල්වැසියාත් මූණෙන් මූණ බලාගත්හ.
''මිනිහ කොහුමෝලෙ වැඩ. හැබැයි කොහෙන් ආවද කියන්න නම් අපි දන්නෙත් නෑ. හොර බොරු නෑ. වැඩ නැත්නම් හතර අතේ ඇවිද ඇවිද ඔය කතාව කියනවා. මේ පාර කෙරවලේ තියෙනවා ගෙයක්. ඒ මිනිස්සුත් කොහු මෝලෙ වැඩ කරන්නෙ. අන්න මිදුලෙ ඇණ තියන් ඉන්නවා දැක්කා ඔය කියන මනුස්සයා ගිහින් කතා කරල බලන්නකො."
''ඒ මනුස්සයගෙ හැඩ රුව දැක්කම නම් ඕන කෙනෙකුට හිතෙනවා එහෙම දන්පින් කරන්න වත්කමක් ඇති කෙනෙක් නෙමෙයි කියලා. ඒත් ඉතින් ඔය වගේ කතාවක් කිව්වම කවුද හිතන්නෙ බොරුවක් කරනවා කියල..."
වැඩි දුර නොයා අසල්වැසි සව් දන්සැලක් සහ නූඩ්ලස් දන්සැලක් වැඳගෙන දියණිය සමඟ මහගෙවල් පැත්තේ ගිය මාධවී නිවැසියන්ට දානෙ විස්තර කීවේ සිනාසෙමිනි.
''මරු දානෙ...ආච්චම්මෙ මරු දානෙ..." දියණිය ද සිනාසෙමින් කොණ්ඩා කැරලි ගැස්සුවාය. ඇය හැඳ සිටියේ උදෑසන ගලවා දැමූ නිල් මල් වැටුණු ගවුම ය. ''මට උදේ දන්සැල් කන්න යන්නත් බැරිවුණා."
''ඔය මනුස්සය මේ පැත්තටත් ඇවිත් ගිහින් තියෙනවා. අර ළමයි හතරක් ඉන්න ගෙදර මනුස්සයට කිව්වලු ගේ හදල දෙන්නං කියලත්. එන්න කරදර වෙන්න එපා දානෙ බඩු ත්‍රීවීල් එකක ගෙනත් දෙන්නං කියලත් කිව්වලුනෙ... හරි පුදුම මනුස්සයෙක්නෙ..."
මාධවීගේ මව ඈ දත් තොරතුරු ද දාන කතා වස්තුවට එක් කළාය.
''අනික දැන් අපි ගියානෙ මනුස්සයා හොයාගෙන. උඩට කමිසයක්වත් නෑ. පරණ සරමක් ඇඳන් උන්නෙ. අපි ගිහින් දානෙ ගැන ඇහුවම කිසිම ගාණක් නැතිව කිව්වනෙ වැස්ස හින්ද දානෙට ඕන කරන බඩු ගන්න බැරි වුණා, ඒ හින්දා දානෙ කල් දැම්මා කියලා. ඒ මදිවට කියපි යන්කො ගෙදර, එන පාරෙ වෑන් එකක් තිබුණ නේද අන්න ඒ ගෙදර මං ඉන්නෙ කියල. උඩහ ගෙදර අයියා උන්නු නිසා මිසක මම නං මේ සම්මජ්ජාතියෙන් ඔය ගංගොඩේ යන්නෙ නෑ. ඉස්කෝල බඩු නෙමෙයි, රත්තරං පවුං දෙනව කිව්වත්."
''ඉතින් ඒ මනුස්සයගෙ ගෙදර ගියා ද?" මාධවීගේ මව ඇසුවාය.
''මොන... වෑන් එක තියෙන ගේ පෙනි පෙනී මනුස්සයා වෙන වත්තකට පැන්නා. දානෙ දෙනකොට පණිවිඩයක් දෙන්නම් කියාගෙන. එන්නත් ඕන නැහැලු. ගෙදරටම ගෙනත් දෙන්නංලු. අර අපට පාර කියපු මාමා ආපහු හම්බවුණානෙ එද්දි. උන්දැ කියනවා ඒ වෑන් එක තියෙන ගෙදර එයාගෙ පුතාගෙලු. අර දානපතියා ඉන්නෙ පොල්වත්තෙ මුර මඩුවෙලු."
මාධවීගේ කතාවට කේතලයත් දුම් දම දමා හිනැහිණි. කුඩා ලී වංගෙඩිය තුළ තැලි තැලී ඉඟුරු කැබැල්ල සැර සුවඳක් විහිදුවන්නට විය.
''අප්පේ එහෙමත් බොරු කාරයෙක්. හොඳ වෙලාවට තනියෙන් නොගියෙ."
මාධවී මදක් හිතිවිල්ලේ කරක් ගැසුවාය.
''මට හිතාගන්න අමාරු අම්මේ, ඒ මනුස්සයගෙ ඔලුව හොඳ නැති වුණේ කොහොමද කියලා? අනික කියන්න ඕන තරම් බොරු තියෙද්දි ඇයි අර වගේ කතාවක් ම කියන්නෙ. අනික හැමතැනම කියන්නෙත් එකම කතාවලුනෙ. ඇත්තටම පවුලෙ අය බෝම්බෙන් නැතිවුණාද දන්නෙත් නෑ. මනුස්සයට කාගෙවත් අනුකම්පාවක්, අවධානයක් ඕන වගක් පේන්නෙත් නෑ. අනේ මන්දා..."
''ඔයින් ගියා මදෑ..." අම්මා ගොජ ගොජ ගා ගැහෙන කේතලය ගෙන තේ බඳුනට හීන් සීරුවේ උණු වතුර වත්කළාය.
''ඇත්තටම ඒ මනුස්සයට එහෙම කරදරයක් වෙලා නම් ?" මාධවී තේ බඳුනෙන් නැගෙන දුම් කැරලි බිඳී විසිරී යන දෙස බලමින් කියා ගත්තේ තමන්ටම ය. ආයෙමත් සිරි සිරි පොද ය. අහස මහ වැස්සකට අර අදිමින් හිඳී.
''වෙලා නම් ඒත් මොනව කරන්නද? නැති වුණු මිනිස්සු නැතිවුණා. ඉතුරු වුණු මිනිස්සු විඳවනවා... යුක්තියක්, ධර්මයක් තියෙන රටක්යැ මේ?"
''හ්ම්... ආයෙමත් ඡන්දයක් ළඟයි.''
අම්මා අත තැබූ තේ කෝප්පයට අසිහියෙන් මුව තැබූ මාධවී තොල් පට පුච්චා ගත්තාය.
දියණියගේ සිනා හඬ ගෙමිදුල දෙසින් ඇසිණි. මාධවීට යළිත් සේයාරුවේ උන් කටුවපිටියේ දියණියන් දෙදෙනාගේ සිනා මුහුණු සිහිපත් විය. ඇය දිගු සුසුමක් හෙළුවාය.









