පිටු

Showing posts with label තරූගේ කෙටි කතා. Show all posts
Showing posts with label තරූගේ කෙටි කතා. Show all posts

Thursday, May 30, 2024

පිපිරුණු හදවත් කැබලිදෝ මේ...

සේයාරුව අන්තර්ජාලයෙනි.
2019 අප්‍රේල් 21 ප්‍රහාරයට ලක් වූ කටුවපිටිය ජේසුස් පිළිරුව

වෙසක් පෝ දිනය දියබත් වෙමින් තිබිණි. හිටිවනම හෝස් ගා කඩා හැලෙන වැස්ස පැය කාලක්වත් එක දිගට වහින්නේ නැත. ඇරඹුණා සේම හමාර වන්නේ ය. නමුත් ඉර එළිය කඳුළක්වත් පේන්නට නැත. හාත්පස වැහි බීරම ය.

මාධවී දසඅතේ කල්පනා කළේ දියණිය නොතෙමා දානයට කැන්දා ගෙන යන අයුරු ය. ඇය පෙර දින සිට ම කන්කෙඳිරි ගෑවේ දන්සැල් කන්නට රවුමක් යාමේ උවමනාවෙනි. දන්සැල් ඇරඹෙන වගට සංඥා නංවමින් වරින් වර හතර වටින් රතිඤ්ඤා හඬ නැගුණද වැස්ස මඳකට හෝ තුරල් නොවූයෙන් කන්කෙඳිරිය නෑසුණා සේ ඉන්නට මාධවී ට සිදු විය.

නමුත් දානය මගහරින්නට බැරි ය. එය විශේෂිත දානයකි.

''අනේ මැණික ඒ මාමගෙ පවුලෙම අය කටුවපිටියෙ පාස්කු දවසෙ බෝම්බෙන් මැරිලලුනෙ. දුවල දෙන්නයි, එයාගෙ නෝනයි. ඒ අයට පින්සිද්ද වෙන්නලුනෙ මේ දානෙ දෙන්නෙ. ඒ හින්දා කොහොම හරි ගිහින් එමු."

මාධවී නව හැවිරිදි දියණියට පැහැදිලි කළේ ඒ මරණ තුන මේ දැන්, මෙතැන සිදු වී ඇත්තාක් මෙන් සංවේගයෙනි.

ඔය කියන මාමා මාධවී දුටුවේත් නැත. මාධවීගේ අසල්වැසියා කීවේ මිනිසකු පයින් ම දරුවන් සිටිනා නිවෙස් සොයා ඇවිද යමින් දානයට ඇරයුම් කළ බවකි. ස්වාමියා ද අහිමි ව තනිවම දැරියත් රැක බලාගෙන සිටිනා මාධවීට ආසන්නතම පිළිසරණට සිටින අසල්වැසියන් දියණියගේ නම ද, ඒ දන් ලැයිස්තුවට දී ඇත්තේ පාසල් උපකරණ සහ ආහාර ද්‍රව්‍ය මල්ලක් ලැබෙන බව ද කියා ඇති හෙයිනි.

''කටුවපිටිය බෝම්බෙන් පවුලෙ අය නැති වුණ හින්දා ඒ ඉඩකඩම් විකුණලා දාලා අල්ලපු ගමේ කුලියට ඇවිත් ඉන්නවලු තනියම. මමත් හැබැයි මීට කලින් දැකපු කෙනෙක් නෙමෙයි. ළඟකදි වෙන්න ඇති එන්න ඇත්තෙ. නැති වුණු දරු දෙන්නයි, නෝනයි සිහි කරලලු දානෙ දෙන්නෙ. ගිහින් බලමුකො. අපිත් යනවනෙ."

අසල්වැසියා පැහැදිලි කළේය.

''පයින් ම ගෙවල් ගාණෙ ගියා ද?"

''ඔව් පයින් ම ආවෙ. ළමයි ඉන්න ගෙවල් අහගෙන ආව කියලයි කිව්වෙ."

''පව් මිනිස්සු. බෝම්බ පිපිරිලා අවුරුදු පහක්. ඒත් ඒ දුක් වේදනාවල කෙළවරක් නෑනෙ."

..................

මාධවී දියණිය සෝදවා නිල් මල් ගවුමක් අන්දා, කොණ්ඩ කරල් දෙකක් ගෙතුවාය. 'දැන් මේ ළමයා දකිද්දි අර මනුස්සයට දුක හිතෙයිද දන්නෙත් නෑ. කාටද දෙයියනේ තමන්ගෙ දරුවො නැති වුණාම දරාගන්න පුළුවන්.' හිත හිතා, හිත හිතා ඇය නැවතත් දියණියගේ මල් ගවුම ගළවා පරණ, අඳුරු ගවුමක් ඇන්දෙව්වාය.

එකල කොහේ හෝ දැක තිබුණු මිය ගිය දැරියන් දෙදෙනෙකුගේ සේයාරුවක් මාධවීට සිහිපත් විය. සුදු පසුබිමේ ලා නිල් මල් ඉහුණු ගවුම් හැඳ, සුන්දර සිනාවෙන් සැරසී සිටි ඒ දැරිවියන් දෙදෙනා හැබෑම සිරියාවන්ත ය. 'අනේ දෙයියනේ මේ ඒ දරුවන්ගෙ තාත්ත ද දන්නෙත් නෑ...' මාධවී සුසුමක් හෙළුවාය.

''අනේ අම්මෙ... මේ ගවුමට මං ආස නෑ." දියණිය කන්කෙඳිරි ගෑවාය.

''කමක් නෑ මැණිකෙ. දැනට විතරයි. ඒ මාමට දුක හිතෙයි එයාගෙ දුවලව මතක් වෙලා. දානෙට ගිහින් ඇවිත් දන්සැල් කන්න යද්දි අපි ලස්සන ගවුමක් ඇඳන් යමු."

මාධවී කුඩා අත් බෑගයට කොන්තය ද, යාච්ඤා පොත් ද දමා ගත්තාය. 'ආගමේ කට්ටියක් වෙන්න ඇතිනෙ. නැතත් මොකද, ඒ මැරුණු අය වෙනුවෙන් ඔරසමක් කියන්න ඕනෙ. පව් මිනිස්සු.'

අසල්වැසියා සිය දියණිය ඉදිරිපස නංවාගෙන පැද යන බයිසිකලය පිටුපස, මාධවී ද සිය කාන්තා බයිසිකලයෙන් ගමන් කළාය. දියණිය දෙපා දෙපසට දමා බයිසිකලයේ ලගේජය මත වාඩි වී උන්නාය.

..................

''කිව්ව හැටියට නම් ඔය කියන ගේ තියෙන්න ඕන මේ පාරෙ."

අසල්වැසියා බයිසිකලය නවතා වට පිට බැලුවේය. මාධවී ද ඊට පිටුපසින් පාපැදිය නවතා ගත්තාය. පේන මානෙක දානමානයක් දෙන ලකුණකුදු නැත. වැහි අඳුර මැද නිවෙස් පවා බොඳ වී ගිය සෙයකි. ගුරු පාර කෙළවර සිට වියපත් මිනිසෙක් හරකෙකු දක්කාගෙන එමින් සිටියේය.

''මාමෙ මේ හරියෙ ඉන්නවද, කටුවපිටියෙ ඉඳල ඇවිත් කුලියට ඉන්න කෙනෙක්..." අසල්වැසියා ඇසුවේ වියපත් මිනිසාගෙනි. එක්වරම වියපත් මිනිසාගේ මුහුණට සිනාවක් නැගිණි. බුලත් කහට බැඳි දසන් දෙපෙළම පෙනෙන සේ ඒ සිනාව පුළුල් විය.

''ආහ්... ඒ පැත්තෙත් ගිහින් කිව්වද දානයක් දෙනවා කියල. ඔය මනුස්සයගෙ ඔලුව හොඳ නෑ. හැමතැනම ගිහින් ඔය කතාව ම කියනවා."

මාධවීත්, අසල්වැසියාත් මූණෙන් මූණ බලාගත්හ.

''මිනිහ කොහුමෝලෙ වැඩ. හැබැයි කොහෙන් ආවද කියන්න නම් අපි දන්නෙත් නෑ. හොර බොරු නෑ. වැඩ නැත්නම් හතර අතේ ඇවිද ඇවිද ඔය කතාව කියනවා. මේ පාර කෙරවලේ තියෙනවා ගෙයක්. ඒ මිනිස්සුත් කොහු මෝලෙ වැඩ කරන්නෙ. අන්න මිදුලෙ ඇණ තියන් ඉන්නවා දැක්කා ඔය කියන මනුස්සයා ගිහින් කතා කරල බලන්නකො."

...................

''ඒ මනුස්සයගෙ හැඩ රුව දැක්කම නම් ඕන කෙනෙකුට හිතෙනවා එහෙම දන්පින් කරන්න වත්කමක් ඇති කෙනෙක් නෙමෙයි කියලා. ඒත් ඉතින් ඔය වගේ කතාවක් කිව්වම කවුද හිතන්නෙ බොරුවක් කරනවා කියල..."

වැඩි දුර නොයා අසල්වැසි සව් දන්සැලක් සහ නූඩ්ලස් දන්සැලක් වැඳගෙන දියණිය සමඟ මහගෙවල් පැත්තේ ගිය මාධවී නිවැසියන්ට දානෙ විස්තර කීවේ සිනාසෙමිනි.

''මරු දානෙ...ආච්චම්මෙ මරු දානෙ..." දියණිය ද සිනාසෙමින් කොණ්ඩා කැරලි ගැස්සුවාය. ඇය හැඳ සිටියේ උදෑසන ගලවා දැමූ නිල් මල් වැටුණු ගවුම ය. ''මට උදේ දන්සැල් කන්න යන්නත් බැරිවුණා."

''ඔය මනුස්සය මේ පැත්තටත් ඇවිත් ගිහින් තියෙනවා. අර ළමයි හතරක් ඉන්න ගෙදර මනුස්සයට කිව්වලු ගේ හදල දෙන්නං කියලත්. එන්න කරදර වෙන්න එපා දානෙ බඩු ත්‍රීවීල් එකක ගෙනත් දෙන්නං කියලත් කිව්වලුනෙ... හරි පුදුම මනුස්සයෙක්නෙ..."

මාධවීගේ මව ඈ දත් තොරතුරු ද දාන කතා වස්තුවට එක් කළාය.

''අනික දැන් අපි ගියානෙ මනුස්සයා හොයාගෙන. උඩට කමිසයක්වත් නෑ. පරණ සරමක් ඇඳන් උන්නෙ. අපි ගිහින් දානෙ ගැන ඇහුවම කිසිම ගාණක් නැතිව කිව්වනෙ වැස්ස හින්ද දානෙට ඕන කරන බඩු ගන්න බැරි වුණා, ඒ හින්දා දානෙ කල් දැම්මා කියලා. ඒ මදිවට කියපි යන්කො ගෙදර, එන පාරෙ වෑන් එකක් තිබුණ නේද අන්න ඒ ගෙදර මං ඉන්නෙ කියල. උඩහ ගෙදර අයියා උන්නු නිසා මිසක මම නං මේ සම්මජ්ජාතියෙන් ඔය ගංගොඩේ යන්නෙ නෑ. ඉස්කෝල බඩු නෙමෙයි, රත්තරං පවුං දෙනව කිව්වත්."

කට වචන අදහාගෙන ගිය ගමන ගැන දැන් දැන් ඈ සිත වන්නේ කණස්සල්ලකි. කටුවපිටිය බෝම්බය සහ දරුවන් ඈඳී නොතිබුණා නම් ඇය එවැනි ගමනක් යන්නට සිතන්නේවත් නැත.

''ඉතින් ඒ මනුස්සයගෙ ගෙදර ගියා ද?" මාධවීගේ මව ඇසුවාය.

''මොන... වෑන් එක තියෙන ගේ පෙනි පෙනී මනුස්සයා වෙන වත්තකට පැන්නා. දානෙ දෙනකොට පණිවිඩයක් දෙන්නම් කියාගෙන. එන්නත් ඕන නැහැලු. ගෙදරටම ගෙනත් දෙන්නංලු. අර අපට පාර කියපු මාමා ආපහු හම්බවුණානෙ එද්දි. උන්දැ කියනවා ඒ වෑන් එක තියෙන ගෙදර එයාගෙ පුතාගෙලු. අර දානපතියා ඉන්නෙ පොල්වත්තෙ මුර මඩුවෙලු."

මාධවීගේ කතාවට කේතලයත් දුම් දම දමා හිනැහිණි. කුඩා ලී වංගෙඩිය තුළ තැලි තැලී ඉඟුරු කැබැල්ල සැර සුවඳක් විහිදුවන්නට විය.

''අප්පේ එහෙමත් බොරු කාරයෙක්. හොඳ වෙලාවට තනියෙන් නොගියෙ."

මාධවී මදක් හිතිවිල්ලේ කරක් ගැසුවාය.

''මට හිතාගන්න අමාරු අම්මේ, ඒ මනුස්සයගෙ ඔලුව හොඳ නැති වුණේ කොහොමද කියලා? අනික කියන්න ඕන තරම් බොරු තියෙද්දි ඇයි අර වගේ කතාවක් ම කියන්නෙ. අනික හැමතැනම කියන්නෙත් එකම කතාවලුනෙ. ඇත්තටම පවුලෙ අය බෝම්බෙන් නැතිවුණාද දන්නෙත් නෑ. මනුස්සයට කාගෙවත් අනුකම්පාවක්, අවධානයක් ඕන වගක් පේන්නෙත් නෑ. අනේ මන්දා..."

''ඔයින් ගියා මදෑ..." අම්මා ගොජ ගොජ ගා ගැහෙන කේතලය ගෙන තේ බඳුනට හීන් සීරුවේ උණු වතුර වත්කළාය.

''ඇත්තටම ඒ මනුස්සයට එහෙම කරදරයක් වෙලා නම් ?" මාධවී තේ බඳුනෙන් නැගෙන දුම් කැරලි බිඳී විසිරී යන දෙස බලමින් කියා ගත්තේ තමන්ටම ය. ආයෙමත් සිරි සිරි පොද ය. අහස මහ වැස්සකට අර අදිමින් හිඳී.

''වෙලා නම් ඒත් මොනව කරන්නද? නැති වුණු මිනිස්සු නැතිවුණා. ඉතුරු වුණු මිනිස්සු විඳවනවා... යුක්තියක්, ධර්මයක් තියෙන රටක්යැ මේ?"

''හ්ම්... ආයෙමත් ඡන්දයක් ළඟයි.''

අම්මා අත තැබූ තේ කෝප්පයට අසිහියෙන් මුව තැබූ මාධවී තොල් පට පුච්චා ගත්තාය.

දියණියගේ සිනා හඬ ගෙමිදුල දෙසින් ඇසිණි. මාධවීට යළිත් සේයාරුවේ උන් කටුවපිටියේ දියණියන් දෙදෙනාගේ සිනා මුහුණු සිහිපත් විය. ඇය දිගු සුසුමක් හෙළුවාය.

Wednesday, April 12, 2023

‘‘ජීවිතය ඔබෙන් ලැබ...‘‘

Art by - Quint Buchholz


 

‘‘අවුරුද්දට ගමේ යන්නෙ නැද්ද?

‘‘අවුරුද්දට ගමේ යන්න ඕනම ද?

පිළිතුරක් ප්‍රශ්නයක් කරන්නට මට උවමනා වූවා ම නොවේ. අප හමු වූ මුල් ම කාලයේ, මුල් ම බක් මහේ මම ඔය ප්‍රශ්නය ම, ඔයාකාරයට ම ඔහුගෙන් ඇසූ බව මට සිහිපත් විය. එදායින් මෙදා මටත් අවුරුද්ද අලුත් යමක් ලෙස හිතට දනවන්නට උවමනා වූයේ ම නැත. මට පමණක් ඇති අවුරුදු කුමකටදැයි සිතෙන සිතුම වළකා ගන්නට බැරි විය.  

‘‘නෑ... එහෙම එකක් නෑ... අවුරුද්දට කොළඹ පාළු වෙනවා. තෝසෙයක් කන්නවත් තැනක් නැති වෙන තරමට.”

ඇයි ශ්‍රැංගිලා, ගෝල්ෆේස් හොටේල්, සිනමන් ග්‍රෑන්ඩ් ඕව වහන්නෙ නෑ නේද? අසා ඵලක් නැත. තුන්වේල පෙට්ටි කඩෙන් කන අපට මොන ශ්‍රැංගිලා ද?

මඳ නිහැඬියාවකි. අතු පතර සිලි සිලිය පමණකි. ඉඳ හිට නම නොදන්නා කුරුල්ලකු කෑ ගසාගෙන ඉගිල යන හඬ ඇසේ. ‘ඌ අවුරුද්දට ගමේ යනවාවද්ද?‘

‘‘ගමක් කියන්නෙ මොකක්ද? ” මම පෙරළා ප්‍රශ්නයක් ඇසීමි.

‘‘මිනිස්සුන්ට තමන්ගෙ අක්මුල් මුණ ගැහෙන තැන. ආදරය දැනෙන තැන. තමන්ගේම කියන මිනිස්සු ඉන්න තැන. ඒකනෙ කොයි දේස දීපකංරේ ගියත් ගමට දුවන හිත අල්ලල නවත්තගන්න බැරි වෙන්නෙ.”

ඔහු ඈත බලාගෙන මුමුණයි.

‘‘ඔයාගෙ හිතත් ගමට දුවනව ද? ”

දිගු සුසුමකි.

‘‘හ්ම්... ඒත් දැන් එහෙ කවුරුත් නෑ. ආදරය කරපු මිනිස්සු නැති වුණාට පස්සෙ ගමක් කියන්නෙ හිස් බිමක් විතරයි.”

ගමක් අළුවුණු ශෙල් වෙඩිල්ලක කතාව දන්නා නිසා ම මම කිසිත් නොපවසා අසා සිටියෙමි.

‘‘අපිට කොහොමත් නිශ්චිතවම ගමක් කියල දෙයක් තිබුණෙ නෑ. අපි උන්නෙම කඳවුරුවලනෙ... අපිට ගෙවල් තිබුණෙ නෑ. ඒවා කූඩාරම්... තහඩු මඩු. ඒත් ඒ කාලෙ කොහොම වෙතත් අවුරුදු තිබුණා, අපි එකට උන්නු නිසා. මම ඉටිපන්දම් එළියෙන්, හඳ එළියෙන් හරි පොත පතේ වැඩ කරගත්ත නිසා කැම්පස් ආවා. අපිට එකට මැරෙන්න තිබුණු අවස්ථාව ඒකෙන් නැති වුණා. හැමෝම යන්න ගියා. මම  විතරක් ඉතුරු වුණා, මම විතරක්... හරියට ඇවිදින මළ මිනියක් වගේ.”

මම ඒ අත තදින් මිරිකා ගතිමි. ඔහු මදෙස බැලුවේ ය. වැරදි යමක් කියවුණාක් වැනි හැඟීමක් ලියැවුණු දෑස් මතින් මගේ දෑස් ලිස්සා යන විට ළය රිදී සුසුමක් ගිලිහුණේ මටත් නොදැනීම ය.  

‘‘මේ බලන්න. ” ඔහු මගේ මුහුණ ඔහු වෙත හරවා ගනියි. ඒ දෑත උණුසුම් ය. 

මා මත ම දැල්වුණු ඒ ඇස් කෙමෙන්, කෙමෙන් මඳ සිනාවකින් දීප්තිමත් වන්නට විය.

‘‘ඒත් දැන් ටික ටික හුස්ම වැටෙනවා.” ඔහු මගේ දකුණතේ පිටත්ල ගෙන නාස් පුඩු අග තබා සුසුමක් පිට කර පෙන්වයි. මම අනෙක් අතින් ඔහුට පහරක් දුනිමි.

‘‘ඔයා ළඟ ඉන්නවනම් හැමදාම අවුරුදු...” ඔහු සුරත මා උරහිස වටා යවා තදින් තුරුළු කොට ගත්තේ ය.

‘‘මමත් ගමේ යන්නෙ නෑ. අපි අවුරුදු දවසට මෙතනදි ම හමුවෙමු. මම කන්න හදන් එන්නම් අපි දෙන්නට. ”

දියවන්නාව දෙස ම හැරවුණු ඒ මුහුණේ වම් කොපුලේ සිනා සේයාවක්  ඇදී යනු මම නිවුණු හදින් බලා සිටියෙමි.

Thursday, May 16, 2019

කදිරගෙ තාච්චිය



අන්තර්ජාලයෙනි.

කදිර කියද්දි කට්ටියට මතක් වෙනවා ඇත්තෙ මුවන්පැලැස්සෙ කදිරව. පුංචි කාලෙ මුවන්පැලැස්ස අහද්දි මමත් කදිර කියල හිතින් මවා ගත්තෙ කදිරව තමයි. කදිරා කිව්වෙ ඇත්ත කදිරා. අපේ ගමේ උන්නු කදිරා.

කදිර කළේ පොල් කඩන රස්සාව. ගස් නැගල නෙවෙයි. අර දිග උණ කෙකිවලින්. කදිරත් උණ කෙක්කක් තරම් උස, මාර ගහක් වගේ සද්දන්ත මනුස්සයෙක්. උණ කෙකි දෙකක් උරිස්සේ තියාගන ගාණට බැලන්ස් කරගෙන පාරෙ යන කදිරා ඒ කාලෙ සුලබ දසුනක්. මං මේ ඒ කාලෙ කියන්නෙ අසූ ගණන්වල. මං එතකොට පුංචියි.

අපිට ඒ කාලෙ කඩයක් තිබුණා. කඩයක් කිව්වට ඒක මේ ගෙට ඉස්සරහින් පැළැල්ලක් අමට්ටලා හදපු පොඩි සිල්ලර කඩයක්. සීනි සීය කඩදහි ගොට්ටට කිරල, ගෝණි නූලෙන් බැඳල දෙන කාලෙ. රුපියල් දෙකකට තේ කුඩු ගොට්ට අරන් යන, සන්ලයිට්, ලයිෆ්බෝයි  නූලෙන් කපල බාග සබන් අරන් යන කාලෙ. අපිට නම් සත දහයට නාරං බික් ගන්නත්  පුළුවන් වුණා.

පොල් කඩපුවාම සන්තෝසම් විදියට ලැබෙන පොල් ගෙඩි, තීරු කරපු ලෙලි කෙන්දෙන් ජෝඩු ජෝඩු වෙන්න ගැටගහල උණ කෙක්කට දාගෙන එන කදිරා ඒ ටික අතාරින්නෙ අපේ කඩේ ඉස්සරහින්. පොල් ටික හොළවල බලල ඒව පොල් ගොඩට දාන්නෙ තාත්තා හරි අම්ම හරි.

පොල් සල්ලිවලින් බීඩියක් අරන් පත්තුකරන්, තවත් බීඩි මිටියක් ඉණේ සරම් මඩිස්සලේ ගහන් ඕපදූපත් කතා කර කර ඉඳල තමයි කදිර යන්නෙ. ඒ යන්නෙත් ගෙදර නෙවෙයි, කසිප්පු තිප්පලට. ඉන්පස්සෙ ගෙදර. බෙග් මාස්ටර්ගෙ බුදු ගුණ ගීයක් කියාගෙන ගෙදර යන කොට උණ කෙකි කරේ නෑ. ඒව ඉතින් කොහේ කොහේ හරි. පහුවදාට තමයි හොයාගන්නෙ.

කදිරා සමහරදාට තැඹිලි හරි කුරුම්බා හරි අරන් එනවා. ඒව දෙන්නෙ නොමිලේ. ‘‘ආ මෙන්න බබාලට කුරුම්බා ගෙනාවා‘‘ ඒ බබාල කිව්වෙ අපිට. ඉණේ ගහන් ඉන්න කෙකි පිහිය ඇදල කුරුම්බා කපල දෙන්නෙත් කදිරමයි. කුරුම්බා ලෙල්ලෙන් පැත්තක් ගහල හැන්දක් හදල අතට දීලා, ගෙඩිය දෙකට පලල ළොඳ කන්න අපි ඉදිරියෙන් තියන්නෙත් කදිරමයි. ඒ කොච්චර කොහොම වුණත් අපි කදිරට බයයි.

..............

මේක කදිර ගැන කතාවක් නෙවෙයි. වෙන කතාවක්.

කදිරල උන්නු පොල් අතු ගෙවල් ටික තිබුණෙ වෙල් යායෙන් මෙපිට. වෙලෙන් එහා පැත්තෙ තිබුණෙ විශාල පොල් වත්තක්. ඒකෙ පොල් කඩන්නත් කදිරල යනවා. ඒ පොල් වත්ත අයිතිව තිබුණෙ දෙමළ මුදලාලි කෙනෙකුට. මට නම මතක නෑ. අපි සුබ්‍රමනියම් කියමුකො. එයාට ටවුමෙ කඩත් තිබුණලු. හොඳ මනුස්සයෙක්ලු. වට පිටාවෙ හිටිය සිංහල මිනිස්සු ගොඩක් ඒ පොල් වත්තෙ වැඩ කළාලු. කදිරල නීත්‍යනුකූලව පොල් කඩනව වගේම හොරාට වෙල මායිමේ තියෙන ගස්වලට නැගල හොර පොලුත් කඩනවලු. එහෙම දවසට පොල් ගේන්නෙ රෑට ගෝනියක දාගෙන.

‘‘මොකෝ ඉතින් මේවයෙ ගහල තියෙනවද හොර පොල් කියල.‘‘ අම්ම සැරට කියන්නෙ පොල් ගෝනි කඩේ මිදුලට ආ දාට.

අසූතුනේ ලොකු කලබලයක් වුණානෙ ලංකාව පුරාම. ඒ කලබල ගතිය මටත් යාම්තමට වගේ මතකයි. ඇඳිරි නීතිය කියන වචනෙ මං මුලින්ම ඇහුවෙ ඒ දවස්වල. ඇඳිරි නීතිය දැම්මා කිව්වම මං බැලුවා ඇයි කළුවර වුණේ නැත්තෙ කියල. මං හිතුවෙ ඇඳිරි නීතිය කියද්දිම රෑ වෙලා වගේ කළුවර වැටෙයි කියල. ඇත්තටම නම් රටම කට්ට කළුවරක ගිලිලා තිබුණා. ඒක කොච්චර ගණ කළුවරක්ද කියල මං තේරුම් ගත්තෙ ඊටත් ගොඩක් පස්සෙ කාලෙක.

දවසක් රෑ වෙල් යායෙන් එහා පොල්වත්ත මැද ලොකු ගිනි ජාලාවක් පෙනුණා. අපේ ගෙදර අයත් මිදුලට බැහැල බලන් උන්නා.

‘‘දෙමළ වුණාට සුබ්‍රමනියම් මුදලාලි හිත හොඳ මිනිහා. පව්.‘‘

‘‘ඇඳිරි නීතියත් දාලා තියෙද්දි කවුද අප්පා මේ අපරාධ කරන්නෙ.‘‘

‘‘ටවුමෙ කඩ කඩල තියෙන්නෙ පොලිසියත් ඉන්දැද්දිමනෙ.‘‘

එක එක කතා.

‘‘ඒ ගිනිගන්නෙ වත්තෙ බංගලාව ද අම්මෙ?‘‘ මං ඇහුවා.

‘‘යන්ඩ යන්ඩ ගිහින් නිදාගන්න. පොඩි ළමයින්ට ඕන නෑ මේවා. ‘‘ අම්මා කෑ ගැහුවා. අපි ගෙට වුණා. නින්ද ගියාද නැත්ද මන්දා.

රෑ මැද කවුදෝ දොරට ගහනව ඇහුණා. හෙමිහිට දොර ඇරුණා. කසුකුසුවක්. ආයෙමත් මට නින්ද යන්න ඇති.

By Nayanahari Abenayake - 2014 Aluthgama

‘‘මේ හොඳ නොන්ස්ටික් සාස්පානක්.‘‘ උදේ මං කුස්සියට යද්දි  අම්මා අන්ඩ තියෙන අලුත් තාච්චියක් කරකව කරකවා හිටිය මල් මල් හිනාවකින්. තාත්තගෙ මූණ නොරිස්සුමින් කළුවෙලා.

‘‘මං කිව්වා ඕක ගන්ඩ එපා කියල. ගින්දර‘‘ තාත්තා  පුටුවත් පස්සට තල්ලු කරල නැගිට්ටා. කඩේ ඇරලත් නෑ. දෙන්නම උන්නෙ කුස්සියෙ. තාම ඇඳිරී නීතියලු. කඩේ අරින්නෙත් නැහැලු.

‘‘කදිර කිව්වෙ කීයක් හරි කමක් නෑ දෙන්න කියලනෙ. අනික ඉතින් මං ගියායැ ගෙවල් කඩන්න.‘‘

අම්මාත් මූණ පුලුටු කරන් ඇතුළු කුස්සියට වැදුණා.

ඒ සාස්පාන ඊට පස්සෙ බොහෝ කාලයක් තාච්චියක අඩුව පිරිමහිමින් අපේ දර ලිප්වල දුම් ගැහි ගැහී බිත්තර බැද්දා. කරවල තෙල් දැම්මා.

අර පොල් වත්ත සිංහල මුදලාලි කෙනෙක් අරන් තිබුණා. කුණුකොල්ලෙට කියල තමයි මිනිස්සු කිව්වෙ. සුබ්‍රමනියම් මුදලාලි පවුල පිටින්ම ඉන්දියාවට ගියාලු. දැන් ඒ පොල් වත්ත නෑ. තියෙන්නෙ ‘සිරිපුර‘. කෑලි කෑලි කඩල විකුණපු සිරිපුරක්...

By Nayanahai Abenayake - 2014 Aluthgama

දැන් කිව්වෙ මේ 2019ට. මාත් ගමේ නෑ. ඉන්නෙ ස්විස්ටර්ලන්තෙ.

පාස්කු ඉරිදා බෝම්බ පිපුරුණා කියද්දි මගෙ හිතත් පිපුරුණා දැන් මං පල්ලි යන්නෙ නැති වුණත්, හිත පත්තුවුණා. ස්විස්ටර්ලන්තෙ උන්නත් ඉතින් තාම හිතේ සිංහල අස්කොන් තියෙනවනෙ. බෝම්බෙ පිපිරිලත් දවස් ගාණකට පස්සෙ ටවුමෙ මුස්ලිම් කඩවලට ගැහුව කියද්දි මට මතක් වුනේ සුබ්‍රමනියම් මුදලාලිව.

‘‘ඔච්චර දේපළක් තිබුණ මිනිස්සු, දන්න කියන කාලෙ ඉඳල උන්නු ටවුම. ඒත් අන්තිමේ ඒ මිනිස්සුන්ට ඇඳිවත පිටින් ඉන්දියාවට යන්න උණේ.‘‘

කොටුවෙ බෝම්බෙට අහුවුණු මහප්පව බලල ගෙදර ආපු දවසක තාත්තා කියපු දිග කතාවක් ඇතුළෙ සුබ්‍රමනියම් මුදලාලිත් උන්නා.  සුබ්‍රමනියම් මුදලාලිගෙ ගේ කැඩුවෙ, ගිනි තිව්වෙ කදිරල ද? සමහරවිට නැතුව ඇති. පිටින් ආව අය වෙන්න ඇති. ඒත් කදිරල ඒ ගේ කොල්ල කෑවා. සමහරවිට ගේ කැඩුවෙත්, ගිනි තිබ්බෙත් උන්ම වෙන්න ඇති. තාමත් මගෙ හිතේ නොවිසඳුණු ගැටලුවක්.

අපේ ගමේ මුස්ලිම් කවුරුත් නෑ. ඒ හින්දා කවුරුත් ගුටිකන්න නැතුවැති. ගහන්න අයත් නෑ. දැන් කදිරලත් මැරිලනෙ. තාත්තා කළින්ම මැරුණු එක හොඳයි මේව නොදකින්න. නැත්නම් එයා හාට් ඇටෑක් හදාගන්නවා. ඒ තරම් කැක්කුමක්නෙ තිබුණෙ දෙමළ, මුස්ලිම්  මිනිස්සු ගැන. ඒ දවස්වල අපේ කඩේට බඩු ගත්ත කඩ වැඩිහරියක් මුස්ලිම්. බයිසිකලේ පිටිපස්සෙ බැන්ද ලෑලි පෙට්ටිය පුරවල ගෙනාපු තරමක් බඩු ගෙනාවෙ ණයට.

අර තාච්චිය ! ඒක මට තාම මතකයි. අපේ ටවුමෙ මුස්ලිම් කඩවලට ගහල ගිනි තිව්වා කියද්දි මගේ හිත තාමත් ඒ තාච්චියට ඇලිල නේද කියල මට හිතුණා .

මාවිල්ආරුවෙ ඉඳන් ගහගෙන, ගහගෙන යද්දි වගේම, 2009 යුද්දෙ ඉවර වෙලා කිරිබත් දන්සැල් දෙද්දිත්, ඇමරිකාවෙ පෙන්ටගනයට ගැව්වමත්, ඇෆ්ගනිස්තානෙට සිරියාවට බෝම්බ දාද්දිත් මගේ හිත බිත්තරයක් වගේ අර තාච්චියෙ බැදෙනවා. බැදි බැදී පිච්චෙනවා.  

අවුරුදු ගාණකට පස්සෙ අගහිග බෝ වෙලා කඩෙත් වැහිලා අම්මා ඩුබායි යන්න සැලසුම් සකස් කර කර උන්නා. එතකොට මං පහවසරෙ. අසූ අටේ. සැරින් සැරේ ක‍ඩේ වහන්න වුණා කාලයක්ම. ණය පොත පිරිල, පිරිල ඒ වගේ පොත් දෙකතුනක්ම කඩේ ලාච්චුවෙ තිබුණා. අන්තිමට කඩ ලෑලි කවදාවත්ම නොඇරෙන තැනට ආවා. ඒකෙන් මුළු ගේ පුරාම මුළු දවසම මැකී නොයන අඳුරක් බෝ වෙලා තිබුණා.

අම්මගෙ රට ගමන ගැන තාත්තගෙ ඒ හැටි මනාපයක් තියෙන පාටක් පෙනුණෙ නෑ. ‘ගෑනු රට පටවල හම්බකරන් කන්න මට ඕන නෑ.‘ තාත්තා කිව්වෙ එහෙම. ‘හැමදාම මෙහෙම දුක් විඳින්න බෑ. අවුරුදු දෙකකට ගිහින් ආවනම් ඇති.‘ අම්මා කිව්වෙ එහෙම.

කන්න තිබුණු බත් පිඟානෙ අඩුවක් පුරවන්න මං උන්නෙ බිත්තරයක් බදින්න ලෑස්තියෙන්. අර තාච්චුවම තමයි ලිපේ තියල තිබුණෙ.

ලිප පත්තුකරන්න ගිනිකූර ගැහුව විතරයි ගිනි පෙට්ටියම මගෙ අතේ පත්තු වුණා. මං කෑ ගැහුවා. අම්මයි, තාත්තයි දෙන්නම දුවල ආවෙ තරඟෙට.

‘‘ආයෙමත් ඔය රට යන කතා ඕනෙ නෑ. පේනවනෙ කරගත්ත දේ‘‘ 

යක්ස කේන්ති ගිහින් උන්නු තාත්තා අර තාච්චිය අරන් මිදුලට විසි කරා.
එදා තාච්චියෙ අඬුව කැඩුණා. ඒක ආපහු කුස්සියට ආවෙ නෑ. ගිනි පෙට්ටියම අතේ ඇවිලිලා පිච්චුණු ඒ කැලල තාමත් මගෙ වම් අතේ තියෙනවා.

By Nayanahari Abenayake




Monday, April 1, 2019

හිරු මියැදී නැත...

Abstract Painting - Women Power by Chetna Pandya

( රාජ්‍ය සේවයට පැමිණි අලුත කුමක් හෝ තරඟයකට ලියූ කෙටිකතාවකි. පරණ සීඩීයක තිබී හමුවිය. එදා තිබූ සිහින අදත් ඇත. වෙනසකට ඇත්තේ එදත්, අදත් සිහින වෙනුවෙන් වැඩ කරන බිම ඇත්තේ රාජ්‍ය සේවයෙන් පිටත වීම ය. එදා ලියූ කතාවේ කිසිදු වෙනසක් නොකළෙමි. මේ රාජ්‍ය සේවිකාවගේ කෙටි කතාවට බ්ලොග් මිතුරනි, සිනා නොවනු මැනවි. ☺)


වෙල් යාය කෙළවරේ පොල් රුප්පාවට ඉහළින් බැස යන හිරුගේ රැස් දහර තැවරී ඇත. ඉපනැල්ලෙන් වැසුණු ලියදිවල තවමත් ගවයෝ කිහිපදෙනෙක් උලා කමින් සිටිති. වෙල් යාය මැද කුඹුක් ගසින් වටවුණු කමතේ පිදුරු කඳු ගොඩ ගැසී ඇත. කෙත් යාය රන්වන් අස්වැන්නට සමු දුන්නත් හමනා මද සුළෙඟ් තවමත් නැවුම් අස්වනු සුවඳ රැඳී ඇත. 

ධරණී වෑකන්ද මතදී බයිසිකලයෙන් බැස තල්ලූ කරගෙන යන්නට සිතුවේ මේ සැඳෑ අසිරිය නෙත් පුරා, සිත් පුරා දකිනු විඳිනු රිසියෙනි. අගනගරයේ මුඩුක්කු පරිසරයක ඉපිද හැදී වැඩුණු ඇයට මේ ගම්බද සිරිය කොතෙක් නැරඹුවද එපා වීමක් නම් නැත. 

සැඳෑ හිරු රැස් විඳිමින් වෑ කන්ද දිග ඇවිද යාම අතිශයින් සුන්දර අත්දැකීමකි. වෑ කන්ද දෙපස මැයි ගස් කිහිපය සෙවණ ද, සිහිල ද, චමත්කාරය ද  නොඅඩුව ලබා දෙයි. ධරණීගේ අදහසක් අනුව ගොවි සමිතිය මගින් මෑතකදී සිටුවන ලද මැයි පැළ කිහිපය මද සුළෙඟ් නැළවෙමින් රංගනයක යෙදෙයි. 

වැවේ ජල මට්ටම අඩු වුව ද නිල්ලට වසා ගත් නෙළුම් කොල යාය මැදින් පෙති හකුලා ගන්නා නෙළුම් මල් ද, නෙළුම් පොහොට්ටුද කොතෙකුත් දැකිය හැකිය. වැව ප‍්‍රතිසංස්කරණයට ගමට වෙන් වූ මුදල් කාන්තා සමිති භාරයට ගෙන නිසි අයුරින් වැව සඳහාම යොදවමින් කටයුතු කළ බැවින් මෙවර අස්වැන්නද සරු විණි. අලුත විවාපත් මනාලියක් මෙන් වැව් කොමලියද සුන්දරත්වයෙන් පිරිපුන්ය.   

වෙල් යායට එපිට පොල් රුප්පාවේ අතු අතරින් පෙරී එන බැස යන හිරුගේ අවසන් රැස් දහර දෙස ධරණී බලා සිටියාය. 

...............................................................

‘‘ මෙහෙම දෙයක් වෙයි කියල මං හීනෙකින්වත් හිතුවෙ නැහැ ධරණී. ඔයාගෙ උගත්කම, තනතුර නිසාවත් අපේ ගෙදරින් කැමති වෙයි කියලයි මම හිතුවෙ.’’ 

මාධව කීවේ නගින බසින රළ දෙස බලාගත්වනමය. වසර කිහිපයක අතීතයට එක් වූ ඒ ඔවුන්ගේ අවසන් හමුවීමයි. ඒ මොහොතේද සිතිජය කෙළවර හිරු ගිළෙමින් තිබිණි. බැස යන හිරුගේ අවසන් රැස් දහර සයුරු දිය මත නෙක සිතුවම් මවමින් තිබිණි. 

‘‘ මගේ උගත්කමයි, තනතුරයි නිසා නම් මට ආදරය කරන්න එපා සර්. මට තේරෙනවා මමයි වැරදි. ආදරය සම්බන්ධයෙන් මම හරි තෝරා ගැනීමක් කරල නැහැ.’’ 

ධරණී හෙමිහිට වදන් ගොනු කළාය. හඬා වැටෙන්නට තරම් වේදනාවක් තිබුණද ඇය කඳුළු සඟවා ගත්තාය. විවාහය නම් වන සුර ලොව පිළිබඳ ඇය නෙක විසිතුරු සිහින ගෙත්තම් කළේ මේ උගත්, ධනවත්, කුලවත් පුරුෂයා කේන්ද්‍ර කර ගනිමින් නොවේද? ඒ සිහින බිඳී විසිරුණු කැට කැබිලිතිවලින් සීරුණු ඇගේ හදවතින් ලේ ගලයි.

‘‘ මට සමාව දෙනවද ඔයා. ’’ 

මාධවගේ බැල්ම ආයාචනාත්මකය. ඔහු ඇගේ දෑතම සිය දෑතට මැදි කර ගත්තේය. 

‘‘ කමක් නැහැ සර්. මගෙ හිතේ තරහක් නැහැ. හිත හදා ගන්න බැරි තරම් දුරදිග ගිය බැඳීමක් අපි අතර තිබුණෙ නැහැනෙ.’’ 

ධරණී හෙමිහිට සිය දෑත මුදා ගත්තාය. 

විශ්ව විද්‍යාලයෙන් පිට වී රැකියා විරහිත උපාධීධාරී ලේබලය යටතේ විවිධ සුළු සුළු රැකියාවන්හි නිරතව සිටින අතරතුර ධරණී ක‍්‍රම සම්පාදන සේවයේ විවෘත තරඟ විභාගයට පෙනී සිටියාය. සිහිනයක් ලෙස සිතූ රාජ්‍ය සේවයේ මාණ්ඩලික තනතුරකට පිවිසීමේ දොරටු විවර වූයේ එමගිනි. 

රජයේ ප‍්‍රධාන අමාත්‍යාංශයක මුල්ම පත්වීම භාර ගත් දා ඇගේ ආසන්නතම විධායක නිළධාරියා වූයේ මාධව දිසාසේකරය. ධරණීගේ උද්‍යෝගිමත් සේවා රටාවටත්, ළගන්නාසුලු කතාබහටත් මේ වැඩ බලන අධ්‍යක්‍ෂකවරයාගේ හිතේ මල් පූදින්නට විය. 

එමල් මැල වී ගියේ පිපුණාටත් වඩා ඉක්මණින් අකලටය.

ධරණී ස්ථාන මාරුවක් ලබා ගත්තාය. ඒ විශ්ව විද්‍යාල මිතුරියකගේ ගම්පියසටය. මිතුරිය විවාපත්ව අගනුවර ආසන්නයේ කුලී නිවසක වාසය කරද්දී, ධරණී මිතුරියගේ නිවසේ දියණියකගේ අඩුවද සපුරාලමින් නව දිවිය සතුටින් පිළිගත්තාය. ආසන්න නගරයේ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය ඇගේ සේවා ස්ථානය විය. 

හිරු දිලී නිවී ගිය මාස කිහිපයක් අතීතයට එක් විය. මගතොටේදී, බස්රියේදී, කෙතේ කමතේදී, නාන තොටුපළේදී ගම්මුන් හා සුහද වීමට  ඕනෑ තරම් අවස්ථා ලැබිණි. විශේෂයෙන් ගැමි කාන්තාවන් ධරණීගේ සිත් ඇඳ බැඳ ගත්තාය. ඔවුන් ගෙන යන දුෂ්කර ජීවන අරගලය ඇගේ සිත සංවේගයෙන් පුරවන්නට විය. මේ අතර කාර්යාලයේ ඒකාකාරී ජීවන රටාවෙන් ධරණී විඩාපත් වූවාය. මිනිසුන්ගේ ජීවිතයට වඩාත් සමීපව කටයුතු කළ හැකි මගක් පිළිබඳව ඇගේ සිත නිරන්තරයෙන් විමසිලිමත් විය. 

‘‘ උපන්නාට ඔහේ නිකම්ම ජීවත් වෙලා වැඩක් නැහැ... අර්ථයක් ඇතිව ජීවත් වෙන්න  ඕනෙ..’’ විශ්ව විද්‍යාලයේ සමාජවාදී මිතුරකු කී කතාවක් ඇයට නිරන්තරයෙන් සිහිපත් විය. 

නාන මංකඬේදී හිතවත් වූ කාන්තාවන් කිහිප දෙනෙක් සම්බන්ධ කර ගනිමින් ඇය කුඩා කාන්තා සමිතියක් පටන් ගත්තේ කාර්යාලය තුළ සේවයෙන් තෘප්තිමත් නොවූ සිත සන්සුන් කර ගැනීමටය. එය ‘‘ වැව පාර ’’ සමිතියයි. මෙය ගමේ නව පිබිදීමක් ඇති වන සමාජ ව්‍යාපාරයක් වනු ඇතැයි ධරණී මුලදී නොසිතුවාය.  

උසස්පෙළ සමත්ව විශ්ව විද්‍යාල ප‍්‍රවේශය අපේක්‍ෂාවෙන් සිටිය දී රාජ්‍ය නොවන සමාජ සේවා ආයතනයක සේවය කළ ධරණී කාන්තා එකමුතු මෙහෙයවීම සම්බන්ධයෙන් ප‍්‍රමාණවත් අත්දැකීමක් ලබා තිබුණාය. ඇය එදවස සතියකට කාන්තා සමිති තුනක් කළේ කටේ දිවේ නොගෑවී කුණුහරුප වපුල, වත්තේ  ඕනෑම රණ්ඩුවකට නොපැකිල ඉදිරියට ගිය, කසිප්පු ගංජා විකුණමින් හෝ රෑ මනාලියන් ලෙස හෝ මුදල් හරිහම්බ කළ කාන්තාවන් සමගය. 

එය කොතරම් දුෂ්කර ව්‍යායාමයක් වීද? බොහෝ මානවහිතවාදී වූ වැඩිහිටි කාන්තාවක් ඈ සමග වූ බැවින් ධරණීට මේ කාන්තාවන් සමග කටයුතු කිරීම අසීරු වූයේ නැත. 

ඉදින්, වත්මනේ රාජ්‍ය සේවයේ මාණ්ඩලික තනතුරක් හොබවන ධරණීට ගැමි කාන්තාවන් හා කටයුතු කිරීම අපහසුවක් විය හැකිද? නිහතමානී ගුණයත්, නිරහංකාරබවත්, මානව දයාවත් මිස මිනිසුන්ට සේවය කිරීමට වෙනත් නිලතල, නම්බුනාම අවශ්‍ය නොවන බව ඇය ජීවිතයෙන්ම පසක් කර ගෙන තිබුණාය. 

ධරණීගේ කාන්තා සමිතියේ සාමාජිකයින් දහයකි. රැස්වන්නේ සතියකට එක් වරක් සැඳෑවේය. එයද පැයකට පමණි. ඒ පැය තුළ රුපියල් විස්සක සාමාජික මුදලක් ද, පාරිභෝගික ඉතුරුම් සඳහා තමන් කැමති මුදලක්ද එකතු කරනු ලැබේ. 

‘‘ මේ සල්ලි ඔයාලම හොයා ගන්න  ඕන... මහත්තයගෙ පොකට් එකෙන් ගෙනත් ඉතුරු කරන එක හරි නෑ... වගාවක් කරල... කඩයප්පන් ටිකක් හදල, පරණ පත්තර විකුණල හරි සමිතියට ගේන්න  ඕන තමන්ම හරිහම්බ කර ගත්ත මුදලක්...’’ ධරණී සෑම සමිතියකදීම මේ කතාව අවධාරණය කළාය. 

සමිති වේලාවෙන් පැය භාගයක් වෙන් වන්නේ දැනුවත්වීම සඳහාය. බොහෝ විට මේ අවස්ථාවේ දී කාන්තාවන්ගේ ජීවිතයට වැදගත් වන කරුණක් පිළිබඳව කතා කළේ ධරණී විසිනි. යම් අවස්ථාවල ඇය කාන්තාවන්ට අර්ථවත් ගීතයක්, පොතක් හඳුන්වා දුන්නාය. රූපවාහිනී වැඩසටහනක්, ටෙලිනාට්‍යයක් ගැන කතා කළාය. ගැමි කාන්තාවන්ගේ අවුල් තැවුල් හිදී දුක්ගන්නාරාළගේ වගකීමද දයාවෙන් ඉටු කළාය. 

මුල්ම කාන්තා එකමුතුවේ සාර්ථකත්වය මත තවත් සමිති තුනක් මැද පාර, බුලත්කොරටුව, වළං ගංගොඩ ලෙසින් ආරම්භ විය. වළං ගංගොඬේ සමිතිය නම් ධරණීගේම හිතුවක්කාර උත්සාහයක ප‍්‍රතිඵලයකි. අතීතයේ දී ගමට වළං සැපයූ කුල හීන පිරිස මේ ගංගොඬේ ජීවත් වුහ. දැන් මැටි වළං සාදන පවුල් දෙක තුනකට වඩා නැතත් ඔවුන් සමග අනෙක් කුලීන ගම්මුන්ගේ වැඩි පයුරුපාසානමක් නැත. එහෙව් වළං ගංගොඬේ කාන්තා සමිතියක් පිහිටුවන්නටද එම සමිතිය අනෙක් කාන්තා සමිති හා සම්බන්ධ කරමින් විවිධ දැනුවත් කිරීමේ වැඩසටහන් කරන්නටද ධරණිට හැකි වීම සැබවින්ම ජයග‍්‍රහණයකි. 

ප‍්‍රදේශයේ කිසිවකු අමනාප කර ගනිමින්, සතුරන් කර ගනිමින් ගමේ දියුණුවක් පිළිබඳ සිතිය නොහැකිය. කාන්තා සමිති මාර්ගයෙන් වැඩිහිටියන්, ඔවුන් සමග බැහැ දැක්මෙන් ගමේ පන්සලේ හාමුදුරුවෝ, පන්සලේ පියතුමා දැන හඳුනා ගන්නාට ධරණි සමත්  වූවාය. 

මුඩුක්කුවේදී ගණිකාවන්, කුඩුකාරයින්, චණ්ඩින්, අන්ත දිළින්ඳන් ආදි වූ ජීවිතයේ අඳුරු කටුකත්වය ස්පර්ශ කරන සියල්ලන්ගේ දයාබර දියණිය, මිතුරිය, සොයුරිය වෙමින් විශ්වාසය දිනා ගත් ඇයට ගම්මුන් හා සමීපව කටයුතු කිරීම අසීරු වූයේ නැත. 

මතු පිටින් සිනාසෙන, ඇතුළතින් උගුල් අටවන සතුරන් රැසක්ද තමන් වපුරා ගන්නා බව ධරණී නොදැන සිටියා නොවේ.  

වසර දෙකක් ගත වූයේ තමා මුඩුක්කුවක ඉපදී හැදී වැඩුණු බව ද ධරණීට අමතක කරවමිනි. 


දිනක් සැන්දෑ යාමයේ සමිති හතරේම කාන්තාවන් දහයක් පමණ ධරණි හමුවන්නට පැමිණියහ. නිවස ඉදිරිපිට අඹ ගස් සෙවණේ තණ බිස්සේ වාඩි ගත් ඔවුහු සුහද කතාබහක් ඇරඹුහ. 

‘‘ අනේ නෝනෙ අපි හිතුවෙ නෑ මේ වැඬේ මේ තරම් සාර්ථක වෙයි කියල... දැන් අපේ ඉතුරුම් තියෙනවා.. රුපියල් පණස්දාහක් විතර.... අපි ගිය සතියෙ රුපියල් පන්දාහක ණයක් දුන්නා සිරියාවතීට කරවල වෙළඳාමක් පටන් ගන්න. රුපියල් දාහ දෙදාහ ණය දුන්න ඒව ටික ටික එකතු වෙනවා. සීයට දෙකක් පොලියට ණයක් ගන්න පුළුවනෑ කොහෙන්වත්. පාරිභෝගික ඉතුරුම් රුපියල් විසිදාහක් තියෙනවා... දන්නෙම නැතිව සල්ලි එකතු වුණා... ’’

‘‘ ඔව් නෝනෙ...’’ සමන්මලී කතාව පටන් ගත්තාය. ඇය තරුණ මවකි. වැව පාර සමිතියේ ලේකම්ය. 

‘‘ අපි දැන් කුස්සියට බඩු ගන්න සීට්ටුවකුත් දානව... මාසෙකට සැරයක් රුපියල් පන්දාහක් එකතු වෙනවා.. ඒක සැරින් සැරේ තියෙන හැටියට දෙන්න පුළුවන්.. සල්ලි අතට දෙන්නෙ නැහැ.. අපි දෙන්නෙක් ගිහින්  ඕන කරන දේ කඩෙන්ම අරන් දෙනවා... මේ සීට්ටුව ඉවර වුණාම මුදු සීට්ටුවක් දාන්න  ඕන නෝනෙ... අපේ කාගෙවත් අත්වල මගුල් මුද්දවත් නෑනෙ.... ’’

සිහින් සිනාවක් කාන්තාවන් අතරින් මතු විය. එය ලැජ්ජාශීලී, බලාපොරොත්තු පිරුණු අපූරු සිනා රැුල්ලකි. ධරණීගේ මුහුණ දැන් පිපුණු පියුමකි. 

‘‘ අපි සමූපෙ මැනේජර් එක්ක කතා කලා... අපේ පාරිභෝගික ඉතුරුම්වලින් අපි කිව්ව එක සැරේ රුපියල් විසිදාහක බඩු ගන්නවා.. අපිට හොඳම පරිප්පු, සීනි, කරවල වගේ බඩු  ඕන කියල... මැනේජර් කිව්වා තොග මිලටම වගේ දෙන්නම්  කියලත්...මේක හරි හොඳ වැඩක් මිස්... මිස්ට පින් සිද්ධ වෙනවා අපිව එකමුතු කරල මේ වගේ වැඩක් පටන් ගත්තට... නැත්නම් හැමදාම බත් හැලි තම්බ තම්බ කුස්සිය මුල්ලෙයි, අව්පූටකේ පිච්චි පිච්චි කුඹරුවලයි තමයි ජීවිතේ... ’’ 

එසේ කීවේ සඳමාලිය. ඇය උසස්පෙළ සමත් අවිවාහක තරුණියකි. එක් සමිතියක භාණ්ඩාගාරික ධූරය උසුලන්නීය. ධරණී අසා සිටියා පමණී. වසරක් පමණ කෙටි කාලයක් තුළ මෙවන් දියුණුවක් නූගත් ගැමි කාන්තාවන් වෙතින් ඇය බලාපොරොත්තු නොවූවාය. නමුත් ඔවුන්ගේ ජීවිතයට අවංක ආදරයකින් ළං වෙමින් නිසි මග පෙන්වන්නේ නම් උසස් අරමුණු කර කොතරම් පහසුවෙන් ළඟා විය හැකිද? 

ගම දියුණු කළ හැක්කේ ගම්වැසියන්ගේම හැකියාවන් හා සම්පත් එක්තැන් කිරීමෙනි. සංවර්ධනය හෝ දියුණුව මිනිසුන් පිට බලෙන් පැටවිය නොහැක.  එය මිනිසුන්ගේ සැබෑ අවශ්‍යතා, දේශයේ අවශ්‍යතා තුළින් පැන නැගී සොබාදහමද රැුක ගනිමින් ඉදිරියට යා යුතුය. ගම් පියසේ කාන්තාවන් හා එක්ව කළ සේවය තුළ ධරණී මේ සත්‍යය අවබෝධ කර ගත්තාය. 

‘‘ දැන් නෝනෙ දෙසැම්බර් මාසෙ අපි අර ගීත වැඩසටහන කරනවද? අපේ සමිති හතරම එකතු උණොත් නම්  ඕක මහ කජ්ජක් නෙමෙයි... ’’ 

උඳුවප් මහේ කරන්නට අදහස් කරන ගීත වැඩසටහන සිහි ගැන්වූයේ කමලාවතීය. කමලාවතී වැන්දඹුවකි. අවුරුදු හැට පහක් පමණ වනු ඇත. එකම දුවණියද දීග තල දී නිදහසේ දිවි ගෙවන ඇය තරුණ මව්වරුන් හා කරට කර වැඩ කරන්නේ  ‘‘ මම දැන් මේ පැත්තට වඩා ඒ පැත්තට නෝනෙ... උන්නත් දාහයි මළත් දාහයි. ’’ කියමිනි. 

‘‘ මගේ විශ්ව විද්‍යාල යාළුවො ටිකක් කරන්නෙ මේ වැඩසටහන.. පවුල් ජීවිතය, ආදරය, දරුවො, මහළු වයස මේ වගේ තේමා ගැන ගීත එක්ක කතා කරන වැඩසටහනක්... නිවහන නිවන ගී.... ලොකු වියදමක් යන්නෙ නැහැ.. කරන්න පුළුවන්... දැන් මේ යන විදියට නම් ඊට වඩා දේවල් උණත් කරන්න පුළුවන් වේවි.. බණ්ඩාර දෙවිගමට ’’ 

ධරණි සිනාමසුව පැවසුවාය. කාන්තාවන්ගේ ප‍්‍රීතිමත් සිනා හඬද සැන්ඳෑවේ කැදලි කරා පියා සලන කුරුළු කෙවිල්ලන්ගේ හඬ හා මුසු විය. 

සඳමාලි වට පිට බලා ධරණී වෙතටම බර වූයේ රහසක් කියන්නට මෙනි. ගැමි කාන්තාවන්ගේ සිනා මුහුණු මැළවෙන්නට වූයේ එක්වනමය. සැදැ අඳුරත් සමග වැවේ නෙළුම් මල් පෙති හකුලා ගන්නාක් මෙනි. 

‘‘ මිස් අපි වැඩියක්ම ආවෙ වැදගත් කාරණයක් ගැන කියන්න. ගමේ හැම වැඩක්ම කොන්ත‍්‍රාත් අරන් කරපු ජයසිංහ මහත්තයයි, මන්ත‍්‍රීතුමයි මිස් එක්ක හරිම කේන්තියෙන් ඉන්නෙ. පහුගිය ග‍්‍රාම සංවර්ධන සමිතියෙදි කෑ ගහල තියෙනවා මිස්ව මාරු කරනවා කියල. ඒ ගොල්ලො තරහයි වැව හදන වැඬේ අපි බාර අරන් කළාට. වෙනද කුට්ටි පිටින් එයාටලටනෙ. ඉතුරු සල්ලිවලින් අපි ළමයින්ට පුස්තකාලයක් හදන්න යන එකත් ආරන්චි වෙලා. ’’

ධරණී නෙත කඳුලක් උපන්නේ කාන්තාවන්ගේ ළෙංගතුකම දැකීමෙනි. කාර්යාලීය දුරකථනයට එන තර්ජනාත්මක ඇමතුම් මේ සංසිද්ධියේම දිගුවක් විය හැකිය. ඈ සිත බියක් උපන්නේ නැත. ප‍්‍රාදේශීය ලේකම්වරයා ඇයට අවවාද අනුශාසනා දුන්නේ වරක් දෙවරක් පමණක්ම නොවේ. ඈ සිටියේ නෑසුකන් ඇතිවය. 

‘‘ ධරණී මිස්.. මේ ඔයාගෙ වැඩ හින්ද මමත් නිකරුණේ අමාරුවෙ වැටෙනවා.. සභාපතිතුමාට හොඳටම කේන්ති ගිහින් ඉන්නෙ.. ඊයෙ හැන්ඳෑවෙ මගේ ක්වාටස් එකටම ඇවිත් කෑ ගහල ගියා. මිස්ව මේ වැඩවලින් අයින් කරන්නලූ... නැත්නම් මාරු කරල අරින්නලූ.. 

‘‘..... එක්කො ඔය බහුබූත වැඩ නවත්තනවා... නැත්නම් මාරුවක් අරන් යනවා... වැඩිහිටියෙක් විදියටයි මම මේ අවවාදය දෙන්නෙ... ඇමතිතුමාගෙ කණට මේ කුණුකන්දල් ගියොත් මටත් මෙහෙන් මාරු වෙලා යන්නයි වෙන්නෙ... ගෑණුත් එක්ක මොන සංවර්ධනයක්ද? ’’

ප‍්‍රාදේශීය ලේකම්වරයාගේ වදන් රළුය. දැඩිය. එය තර්ජනයකි. ප‍්‍රාදේශීය දේශපාලන බලාධිකාරයේ ගිනි පුපුරු එහි සැඟවී ඇතුවාක් මෙනි. නමුදු දෑස්වල දයානුකම්පාවක සේයාවක් දැවටී ඇත. ධරණීට ඔහු පිළිබඳව අමනාපයක් දැණුනේ නැත. 

අතීත මතකයෙන් සිහි කැඳවා ගත් ධරණී නැවතද කාන්තාවන්ගේ තැවුල් මුහුණු දෙසට සිත් යොමු කළාය. 

‘‘ අපි රාජ්‍ය සේවයට එන්නෙ ලංකාවෙ කොහේ උණත් වැඩ කරන්න එකඟයි කියලනේ. ඒ නිසා  ඕනැම තැනකට යන්න මම නම් ලෑස්තියි. කොහෙම උණත් මට නම් හරිම සතුටුයි, ඔයාලගෙ දියුණුව ගැන. දැන් මම නැති උණත් ඔයාලට පුළුවන් බණ්ඩාර දෙවිගම වෙනුවෙන් හොඳ වැඩ කොටසක් කරන්න. තොටිල්ල පදවන අත ලොව ආණ්ඩු කරනව කියල අපේ පැරැුන්නො කිව්වෙ ආවට ගියාට නෙමෙයිනෙ..... තමන්ගෙ හදවතට එකඟව යහපත් වැඩක් කරන්න පසුබට වෙන්න එපා... ’’

ධරණී පැවසුවේ තමා වෙතට එල්ල වී ඇති සෑම දෙනෙතක්ම තම දෑසින් ග‍්‍රහණයට ගනිමිනි. 

කාන්තාවන්ගේ අනාවැකිය තුන්මසක් ගත වන්නටත් පළමුව සැබෑ විය. ධරණීගේ මාරුව මොරවැව ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයටය. ධරණීට නම් එය දඬුවමක් නොව ආශිර්වාදයකි. යුද්ධයෙන් පීඩා විඳි මායිම් ගම්මානවල ජනතාවට සේවය කරන්නට ඈ සිත කිසිදු පැකිලීමක් නැත. දුෂ්කර ප‍්‍රදේශයක සේවයෙන් ජීවිතයේ නවමු අත්දැකීමක් විඳීමේ අපේක්‍ෂාවෙන් ඇය කාර්යාලීය හිතවතුන්ගෙන් සමු ගත්තාය.

පන්සලේ පැවති සමුදීමේ උත්සවයෙන් පසුව නවාතැනට පැමිණෙන අතර ධරණී වෑ කන්දේ නැවතුණේ බණ්ඩාර දෙවිගමට ඉහළින් බැස යන හිරු අවසන් වරට ද දකිනු රිසියෙනි. 

ජීවිතය නිමා නොවන දිගු ගමනකි. බණ්ඩාර දෙවිගම එක් නවාතැන්පළක් පමණි. ධරණී එයින් සමුගන්නේ බොහෝ සිත්සතන්වල ප‍්‍රසන්න හැඟුමක් ඉතිරි කරමිනි. ධරණී සිත තුළ ශෝකයක් පැවතියද තෘප්තිමත්භාවය පරදවන්නට ඒ ශෝකයට නොහැකි විය. 

පොල් රුප්පාව තුළ හිරු ගිලී ගොසිනි. නමුදු නැවතත් හෙට හිරු පායනු ඇත. තල් රුප්පාවට ඉහළින් නැගෙන්නේත් මේ හිරුමය. 

Thursday, July 26, 2018

මිදුණා... මිදුණා... සිඳුණා... බිඳුණා...


                                                       
                                 

කෙසඟ තනි අතක් ගේට්ටුව උඩින් මතුවෙලා අමාරුවෙන් කොක්ක පන්නනවා පත්තර පිටුවට උඩින්, උපැස් යුවළට යටින් එබී බලපු සුමංගලා දැක්කා. 

‘‘අම්මේහ්...‘‘ ගේට්ටු පියන්පතක් තල්ලු කරගෙන ඇතුළට ඇවිත්, බඩුමලු ටික බිම තියපු හිමාලි වේගයෙන් හුස්ම ගත්තා. දෙකන්සෙන් ගලන දාඩිය පිටත්ලෙන් පිහ දැමුවා. ගේට්ටුව වසා දැමූ ඇය බඩු මලු නැවත උස්සාගෙන ආපසු හැරුණමයි සුමංගලාව දැක්කෙ.

‘‘ගෙයි අඩුපාඩු ගොඩයි අක්කෙ, ටවුමට ගියා බඩු ටිකක් ගේන්න.‘‘ ඒ හිනාවෙ අසරණකමට සුමංගලාගෙ පපුව පිච්චිලා ගියා.

‘ඇයි රාජිත බඩු ගෙනත් දැම්මෙ නැද්ද?‘ සුමංගලා එහෙම ඇහුවෙ නැහැ. හදිසියෙම ඇවිත් ගෙවල් කුලී දීලා ගියාට පස්සෙ සති ගාණක් රාජිත ආවෙ නැති බව සුමංගලා දැන හිටියා. ඒ ඇයි කියල අහන්නත් ඇගේ හිත නැමුණෙ නෑ. ගෑනියෙක්ගෙ පපුවෙ ඇවිළෙන ගින්දර දන්නෙ ගෑනියෙක්ම විතරනෙ.

‘‘මං නිතර ටවුමට යනවනෙ. හිමාලිට මොනවහරි ගේන්න ඕන නම් මට කියන්න. මං ගෙනත් දෙන්නම්.‘‘ ඒ වෙනුවට සුමංගලා  කිව්වා. හිමාලි හිනාවෙලා සුමංගලාගෙ ගේ පසෙකින් තියෙන ඇනෙක්සිය දිහාට හැරුණා.

...........

හිමාලිලා ඇනෙක්සියෙ පදිංචියට ඇවිත් අවුරුදු පහක් විතර ඇති. රාජිතයි, හිමාලියි දරු දෙන්නයි. කිසි කරදරයක් නැති පවුල. සුමංගලාගෙ තනි ජීවිතේටත් හරි හයිය. දරුවන්ගෙ හුරතල් කටහඬින් වත්ත හතරමායිමේ තිබුණු මූසල පාළුවත් නැති බංග වෙලා ගියා. දරු කළලයක් හදා වඩා ගන්න හයිය හත්තිය නැතිවුණ තමන්ගෙ කුස එක්කයි, දරු පැටියෙකුට කිරි නොඑරුණ තමන්ගෙ පයෝධර එක්කයි තිබුණ කේන්තිය හෙමිහිට දියකරල ඇරලා සුමංගලා තමන් අත්තම්මා කෙනෙක්ය කියල හිතන්න ගත්තා.

හිමාලි හැමදාම ලෙඩින්. හතිය කියලයි කිව්වෙ. අඩියක් තියල අඩියක් ගත්තත් නැවතිල්ලෙ හුස්ම අල්ලනවා. ආවත් හරි ගෙයින් පිටට අඩියක් තිව්ව නම් ඒ, එක්කො බේත් ගේන්න යන්න. නැත්නම් ගමේ යන්න. සමහර කාලවලට සති ගණන් ඉස්පිරිතාලවල. රාජිත තමයි ගෙදර හැම වැඩක්ම බලල හදල කරේ. ගෙදරට බඩු ගේන එක, ළමයින්ගෙ ඉස්කෝලෙ වැඩ ඒ ඔක්කොම. අනේ වාසනාවන් එහෙව් දරුවෙක්. සුමංගලා රාජිත ගැන හිතුවෙ තමන්ගෙ බඩින් වදාපු දරුවෙක් ගානට.  

............

කිසිම ඍතුවක් සදාකාලික නෑ. ජීවිතෙත් හැටි එහෙම තමයි. 

ටික කාලෙක ඉඳන් රාජිතගෙ රස්සාව ඇනෙක්සියෙ කාලසටහන අවුල්කරමින් තිබුණා. එක්කො හදිසි වැඩ, නැත්නං මීටිං. රෑ දහයට, එකොළහට, ගේට්ටුව ඇරෙනවා, කාරෙක එනවා සුමංගලාට ඇහෙනවා. සමහර වෙලාවට දවස් දෙක තුන ඔෆිස් එකේ වැඩට දුර යන්න වෙනවා. එහෙම දවස්වලට සුමංගලාගෙ ඇහැ පියවුණෙත් නෑ හරියට. දරු දෙන්නයි, හිමාලියි තනියම ඇනෙක්සියෙ... ඒ වගේ තනියෙන් ගෙවුණ රාත්‍රී කාල ගිනි පෙනෙලි වගේ ඇමිණි ඇමිණී ඇගේ හිත පුච්චා දමනවා.
‘‘රාජිත අලුත් රස්සාවකට ගියාද?‘‘ බැරිම තැන සුමංගලා ඇහුවා.

‘‘නෑ අක්කෙ, රස්සාවෙ වැඩ වැඩියි එන්න එන්නම. අනේ මන්දා...‘‘ හිමාලි එදත් අසරණ විදියට හිනාවුණා. ඉන්පස්සෙ හයියෙන් හුස්මක් ඇද්දා.

..........

ඊටත් ටික දවසකට පස්සෙ ඇනෙක්සියෙ උන්නෙ හිමාලියි දරු දෙන්නයි විතරයි.

‘‘රාජිතව මාරු කරල අක්කෙ අනුරාධපුරේට. නිතර යන්න එන්න අමාරුයිනෙ. එයා එහෙ නැවතිලා.‘‘

සුමංගලා මොනවත් අහන්නෙත් නැතිවම හිමාලි උත්තර දුන්නා. ඈ ඇවිත් උන්නෙ ගෙවල් කුලිය දීල යන්න. ඒ සල්ලි ටික අතට ගනිද්දි හිමාලිගෙ අතේ ගිනියම් රස්නයක් දැනිල සුමංගලා ඔලුව උස්සල බලද්දි ඒ ඇස් තද රතු පාට වෙලා තිබුණා.

ඊටත් ටික දොහකට පස්සෙ ඇනෙක්සියෙන් බිඳුණු හඬක් නැගුණා දවස පුරාම. හෝස් හෝස් ගාලා හුස්ම අල්ලන සද්දෙත් එක්කම.

‘‘මාව අතාරින්න, මං ඔයාගෙන් ඉල්ලන්නෙ එච්චරයි.‘‘ දෙහි ගෙඩියක් කඩාගන්න ගේ පිටිපස්සට ගියාම ඇනෙක්සියෙ ජනේලෙන් ඉකිබිඳුමක් එක්ක ඒ වචන ටික ඊයක වේගෙන් ඇවිත් සුමංගලාගෙ පපුවෙ ඇමිණුනා. දෙහි කට්ටක් අතේ ඇනුණා. ගැඹුරටම.හෝ ගාලා ලේ ගලන්න ගත්තා.

............

සුමංගලා පොල් සම්බෝල හැදිල්ල පැත්තක තියලා දෙහි කටුවට හිල් වුණ අත රෙදි පටියකින් වෙළාගත්තා.

පරණ ලට්ට ලොට්ට දාපු අල්මාරිය අවුස්සන්න ගත්තා.

උඩ ඉඳන් යටට, යට ඉඳන් උඩට. 

යටම තට්ටුවෙ පරණ දිනපොත්, පත්තර, ෆයිල් අස්සෙ හැංගිලා තිබුණු මගුල් පින්තූරය මතු වුණා. දෑතින්ම ගත්ත මගුල් පින්තූරයත් එක්ක සුමංගලා හාන්සි පුටුවට වැටුණා. දූවිල්ලෙන් වැහිලා වීදුරුව. තුවාල නොවුණු අතින් වීදුරුව පිහදාද්දි ආයෙම සුමංගලාගෙ අත බිඳුණු වීදුරු කෑල්ලකට හීරුණා.  දැනටමත් පින්තූරය පැත්තකින් දිරාගෙන. කැඩුණු වීදුරු කැබලි අතරින් ඒ යෞවන හිනාව නොදිරා තිබුණත් මනමාලයගෙ පපුව අද්දර මල් ඉත්තත් වේයන්ට ගොදුරු වෙලා තිබුණා. එදා ඒ පින්තූරය ගන්න වෙලාවෙ තමන්ගෙ හිතේ තියෙන්න ඇත්තෙ මොන වගේ හැඟීම්ද, අපේක්ෂා පිරුණු මනාලි දෑසයි, කෝලයෙන් ඇලළුණු මනමාලි හිනාවයි දිහා බලාගෙන සුමංගලා මතක් කරගන්න උත්සාහ කරා.  

‘‘අනේ මාව අතාරින්න, මං ඔයාගෙන් ඉල්ලන්නෙ එච්චරයි.‘‘ 

සුමංගලාට තමන්ගෙම නිදන කුටිය ඇතුළෙන් කවුදෝ ඉකිබිඳින හඬ ඇහෙන්න ගත්තා.


http://epaper.dinamina.lk/art.asp?id=2018/07/24/pg28_0&pt=p&h=#

Sunday, June 24, 2018

ඇඳී මැකී යයි රිදී රේඛා...



‘‘ආහ්...‘‘ තවමත් ළය පෙදෙසින් හීන් රිදුමක් පොළා පනිනවා. දකුණු ඇලයට හැරී උන් උත්තරා වම් ඇලයට හැරුණෙ පපුවට අතක් තියාගෙනමයි.

හාත්පස වැහි අන්ධකාර පොරෝනයෙන් එතිලා තිබුණෙ... ඒ අතර ඈත ගුවන් පාලමේ රිය පහන් එළි අදුර කපාගෙන පහළට ඇදෙනු දැනුණා. ඒ ආලෝක රේඛා අළු අහසේ ක්ෂණික රටා මවමින් මැකී ගියා. උත්තරා ඒ එළිය රේඛා වෙත අනිමිසලෝචනයෙන් බැඳිලා උන්නා ටික වෙලාවක්.
වැසුණු කවුළුවේ වීදුරු තිරය මත වැහි බිඳු හැපි හැපී දුක කියනවා... 

ඉන්පස්සෙ හිස නවාගෙන පහළට ගලා හැලෙනවා. ඒ තෙත් රේඛා වීදුරු මීදුමේ මැව්වෙ එක එක රටා. ඒ හැම රටාවකම අමුතු පාළුවක් දැවටිලා තිබුණා. අතීතයේ දවසක රිය වීදුරුවක තෙත වැහි බිඳිති එක්කරමින් තමා ඇඳි චිත්‍රයක් ඇයට සිහිගැන්වුණා. පුළුල් අතක රැඳුණු සේද ලේන්සුවකින් ඒ සිත්තම එදා අසුරු සැනෙකින් එහෙ මෙහෙ වී මැකී ගියා. විහිළුවක් බව දැන දැනත් උත්තරාගෙ ඇස්වල කඳුළු පිරුණා. අදත් ඒ වගේ වීදුරු වැහි දිය සිත්තම බොඳ වුණා. අතකින්වත්, ලේන්සුවකින්වත් නෙවෙයි, එදා වාගේම කඳුළකින්...

‘‘හ්ම්... හ්ම්‘‘ ජංගමය ඇමතුමක ඉඟි පෑවා. උත්තරා  දුරකථනය ගෙන සවනට තියාගත්තෙ පුරුද්දට, කවුදැයි නොබලාම.

‘‘බෙහෙත් ගත්තද?‘‘ ඒ හඬේ කරුණාවක් දැවටිලා තිබුණා. උත්තරා සැනෙකින් දුරකථන තිරය ඇස් ඉස්සරහට ගත්තා. තිරය පුරා උන්නෙ ඔහු. එදා ඒ සිත්තම මකා දැමූ අතේ හිමිකාරයා. ඒ සුපුරුදු සිනාවෙන්ම. දුරකතන තිරයේ වගේම උත්තරාගෙ හිතෙනුත් කවදාවත් ඒ හිනාව මැකිල තිබුණෙ නැහැ.

‘‘හ්ම්‘‘

‘‘බෙහෙත් බිව්වද?‘‘

‘‘හ්ම්‘‘

‘‘දැන් කොහොමද?‘‘

‘‘හොඳයි.‘‘

‘‘බෝඩිමේද?‘‘

‘‘ඔව්‘‘

‘‘තාම පපුව රිදෙනවද?‘‘ 

‘‘හ්ම්‘‘

‘‘මං හැමදාම කියනවනෙ ලෙඩ තියන් ඉන්න එපා කියල. හොඳ ඩොක්ට කෙනෙකුට පෙන්නල බෙහෙත් ගන්න කියල. කවදාවත් කියන දෙයක් අහනවද?‘‘ සුපුරුදු ආඥා ස්වරය... ‘කියනවා මිසක කවදාවත් මාව එක්කරගෙන ගියාද බෙහෙත් ටිකක් අරන් දෙන්න.‘ උත්තරා හිතුවා විතරයි ඇහුවෙ නැහැ.

‘‘දැන්වත් ඔය හිතුවක්කාරකම් පැත්තක තියල කාට හරි ආදරය කරන්න, බඳින්න. ගෑණියෙකුට තනියෙන් ඉන්න බෑ.‘‘

‘මොකෝ බැරි, මේ මං ඉන්නෙ.‘ උත්තරා එහෙම හිතුව විතරයි. වෙනද වගේ කැත්තට පොල්ලෙන් දමල ගහන්නැහේ එහෙම උත්තරයක් දීගන්න බැරි තරම් අසරණ ගතියක් උත්තරාට දැනුණා.

‘‘මං අද ඔය පැත්තෙන් යන්නෙ. දැන් රාගම කිට්ටුව.“

ආඥා ස්වරය ආයෙමත් සාමාන්‍ය වෙලා තිබුණා. ඒ සාමාන්‍ය ස්වරයේ වියළි ගතියට උත්තරාගෙ හිතත් මැළවිලා ගියා.

ඈ ගිලන් සයනයෙන් මිදිලා වීදුරු කවුළුව අහ පුටුවට වැටුණා. රිදුම් දෙන හිස කවුළුවේ ඔබා ගත්තා. වැහි බිඳු රටා විසාලනය වෙවී මැකිල ගිහින් ඈතින් ගුවන් පාලම ඇගේ ඇසට හසුවුණා. විදුළි එලි පෙරහැරක් මවමින් රිය පේළිය හෙමිහිට ඇදිල යනවා. ඒ හැම වාහනයක්ම එනකල් මඟ බලා ඉන්න ගෙයක් ඇති. කොයිමොහොතේ ගෙට ගොඩවෙනවද කියන හැඟීම ඒ වාහනවල යන හැමකෙනෙක්ගෙම හිතේ රැඳිල ඇති. අඹු දරුවො, අම්මල, තාත්තල කී දෙනෙක් නම් එයාල එනකල් බලන් ඉන්නවා ඇත්ද?   

‘‘දැන් කොයි හරියෙද?‘‘ දිගු නිහැඬියාව දරාගන්න බැරිම තැන ඇය ඇහුවා.

‘‘පාලම පටන් ගන්න තැන...‘‘

‘‘හ්ම්...‘‘ උත්තරා ගුවන් පාලමෙන් ඇහැ ගත්තෙ නැහැ. KS 8815 ඒ සුදු පාට මොටෝ රථය. ඕනම අන්ධකාරයක අඳුනගන්න තරම් උත්තරාගෙ හිතේ කෙටිලා තිබුණා. උත්තරා උත්තරාගෙ ආදරයට තරම්ම ඒ වාහනයටත් ආදරය කළා. ‘කතා කරන්න පුළුවන් නම් එයාට කෑ ගහල කියයි මං කොච්චර ආදරය කළාද? ඒ ආදරය නිසා කොච්චර දුක් වින්දද කියල.‘ උත්තරා හිතුවා.  

‘‘මට ඔයාව පේනවා‘‘ මොටෝ රිය ගුවන් පාලම හරි මැදට එද්දිම උත්තරාට කියවුණා.

‘‘ඒ කොහොමද?‘‘ ඔහු ඇහුවෙ සරදමට වගේ.

‘‘ඔයාව නෙවෙයි, කාර්රෙක... ඔයාට පිටිපස්සෙන් බයික් එකකුයි, වෑන් එකකුයි නේද තියෙන්නෙ...‘‘

‘‘හ්ම්‘‘ සුසුමක්!!! ඒ සුසුම එහෙම්මම ඇවිත් උත්තරාගෙ හිතේ පැටළුණා.

‘‘මාව බලල යන්න එනවද?‘‘ උත්තරා ඇහුවෙ නැහැ. සුපුරුදු ස්ත්‍රී අහංකාරය ඇයව ගොළු කරල දැම්මා. ඒත්, ඇවිත් යන්න ඒවි උත්තරාගෙ හිත කිව්වා.

‘‘ගෙදරින් කෝල් එකක් එනවා. මං තියන්නම්.‘‘ රිය ඇගේ දෑස් මානයෙන් මැකී යත්ම දුරකථනය මිමිණුවා.

‘‘හා‘‘ උත්තරාගෙ උත්තරේ සීතල වෙලා තිබුණා. ඇය හෙමිහිට ජංගමය ජනෙල් කණ්ඩියේ තැන්පත් කළා.

‘අපි ඈත් වෙලත් දැන් කාලයක් ගිහින් නේද? ඒත් තාමත් කතා කරන හැමවෙලාවකම මේ දැන් ඇස් ඉස්සරහ ඉන්නව වගේ දැනෙන්නෙ කොහොමද?‘උත්තරා හිතුවා.  

වැසුණු කවුළුවේ වීදුරු තිරය මත්තෙ වැහි බිඳු හැපි හැපී දුක කියනවා... ඉන්පස්සෙ හිස නවාගෙන පහළට ගලා හැලෙනවා.

උත්තරා බොහෝ වේලාවක් ඒ දිහා බලන් උන්නා.