පිටු

Wednesday, December 5, 2018

හෙට දවස දරුවන්ගේ ය....




යාල්දේවිය නික්මෙයි
කොලොම් තොටින්…
සීත මීදුම් දුමාරය මැදින්…

හරිතය සැමත
වස්සානයේ සද් පහස ලැබ
රඟයි හිරු කිරණ
දිය කඩිති, ඇල දොල
වැව් දිය තලා මත
පළිඟු මිණි ඇසින් හිනැහි හිනැහී….

කොතරම් නම් සොඳුරු ද
මේ දේශය!!!
අප උපන් මව්බිම…
ධන, බල උමතුව
අන්ධ අඳුරට ඇද
නොදැමුවා නම්
සැබවින්ම පින් බිමක්
නොවෙද මෙය?



ගම්පහ… මීරිගම,…. පොල්ගහවෙල… කුරුණෑගල… මහව…. අනුරාධපුරය….
යාල්දේවිය ලැසි ගමනෙනි
බඩඉරිඟු… වඩේ… බොම්බයි මොටයි
අඹ, ජම්බු, නාරං, දිවුල්, ඇපල් අන්නසි ද සමඟින්…

වැහි දියෙන් තෙත්බත්ව
සාර වූ පොලෝ ගැබ
උපද්දයි අලුත් අංකුර
ළා හරිත මඳහස් ය
ඇස ඇස සිසිල තවරන…



වව්නියාවෙන් එපිටට
යාල්දේවිය සමඟ ම
ලැසි ලැසිව ඇදී න මතක මං පෙත

මාවිල්ආරුවට
වැට කඩුළුබැඳි සන්දියේ
ප්‍රේමයේ මාවත් වැසී ගිය
අතීත මතක සුසුමක…

වව්නියාව… මන්තේ… පුලියන්කුලම්…
මාන්කුලම් දක්වාම
ඇවිළි ඇවිළී ළසෝ ගිනි
ස්නේහය ද මළගම් ගිය මෙනි…



කෙත් බිම්… හේන්… කඩපිල්…
අතර දනි පනි ගසා පිබිදුණ
ගෙපැල්පත්ය
දෝතින් දරා ජීවිත…
ළපැටි අත් සැවී
සිත් සන්තොසින්
යාල්දේවිට සමුදෙති…

පරන්තන් නැවතුමෙන් බැස අප
මුලතිව් බලා ගමනක…

විශ්වමඩු, වල්ලිපුරම්, පුදුකුඩිඉරිප්පු
පසුකරමින්
කලබල කිසිත් නැති බස්රිය

‘මේ කැලය ඒ කාලයේ ඒ සෙබලුන්වැව්ව
මේ කැලය මේ කාලයේ මේ සෙබලුන් කපන”
හරිත වියනක සිසිල විඳිමින්
ඇදී යද්දි බස්රිය
සවන් අද්දර මිමිණුමකි…

“ආවා අපේ මිනිසුන් ඇඳිවත පිටින්
දූ දරුන් තුරුල්කොට ගෙන
මේ මග දිග
මුල්ලවෙල්ලිවයික්කාල් වෙනකල්ම
මියැදෙන ප්‍රාණයක්
මිහිදන්කරන්නට හෝ
ඉසිඹුවක්නොලැබම
ඒ පාද නමස්කාරය
ලේ, කඳුළු දාදිය මතින්
වැටි වැටී නැගිට ආ...
හුස්මක් ගෙන ආපසු හැරී බැලුයෙමි
අන්ධකාර අගාධයකි ජීවිතය
වෙට්ටුවක්කාල් පාලමෙන්
පිට මඟහැරුණ…”

අතීතය ගැඹුරු තුවාලයකි
මතුපිට කබොල්ලකින් වැසී ගිය
ඉගැඹුර රිදුම් දිදී වැළපෙන…



මහා කරුණාවෙනි බස්රිය
නොතේරුම් දමිළ ගී හඬ
හිත මත අතුර අතුරා
නන්නාඳුනන භුමියක
දන්නා හඳුනන හැඟුම් පුබුදන…

සාරි පොට අකුල අකුලා දිව එන
වාරු නැති මව්වරුනට සෙනෙහසින්
තාවර වෙවී නවතින…
අම්මාවරුන්ම මේ හැටි
කොහේ නම් යනවාද
ඉස්පිරිතාල, ආණ්ඩුවෙ ඔපීසි
ළඟින්ම බැහැගන්න
ඒ් තෙත් දෑස්
අම්මලාගේ ම උරුමයද?

මුල්ලිවෙල්ලවයික්කාල්
පසුකරද්දී බසය
සිහි වේ දිනෙක දුටු
රෙදි පෙරදි කඳු…
වැලි තලා අතර
සැඟවි සැඟවී, දිය වි දිය වී
තාමත් ඒවා හෙමම ඇති…

“මෙන්න මේ මෙතැන ගහ යට
ෂෙල් වෙඩි වැදී දහසක් දනා
ක තැනම ක විටම මිහිදන් වුණ”
පාද නමස්කාරයේ සැම තැන
ලෙයින් නැහැවුණු මතකය…

ඉතින් දැන් මුලතිව්ය…
අප පිළිගන්නා සිය සියපත් වැනි
සිනා මුහුණුය…
සියල් විඩාවන් සින්දාලන
ආදර ගංඟාවක්
ඒ සිඟිති දෑස් මත්තෙන්
කඩා හැළිණ…

සැන්දෑව මන්දාකිණියක
පැහැසරින් දැල්වෙන…

නැතක් දුක් මැද වුව
සඳක් සේ නැගී දිලෙනුව
නිමක් නැති කටුක පිරිපත
විතක් සේ උසුලන
ඒ ළමා ළපටි ඇස් මත්තේ
දිලෙන්නේ ජීවිතය…



වනක්කම් පුල්ලේ
'එප්පඩි සුහම් ?'
'නල්ලසුහම්'
දන්නා දෙමළෙන්
දෑසින් දෑතින් සිනාවෙන්
හද බසින්, ආගිය කතාවෙන්
දළුලද්දී ආදරය
වරදකාරී හැඟුමින් මිරිකි මිරිකී
ආ මඟ සැනසුම්
සුසුමකට ඉඩ…

පෑරී පෑරී රිදවන අතීතය
සඟවාන පපු කුහර තුළ
සිනා පිරි වතින් කියා දුන්
ආදරේ මහා පාඩම
නළලත තිලකයක් ලෙස පැළඳගමි…
ආදර මව්පියවරුනි, දූ දරුවනි…

කොතරම් දයාර්ද්‍රද
ඔබ අප හමුවුණු ඒ දවස…

කොටි තැයි කිය කියා
නටනා නාඩගම් මඩුවේ
පැළඳි වෙස් මුහුණු අතරින්
පෙනෙද්දී සිංහ කේසර…

මට දුක හිතෙන්නෙම
පුංචි පැටවුන් ගැන
උන්ගේ සිහින ගැන

අහෝ! මා උපන් පින් බිම
පව්කාරයන් ගිනි බින්ද…



Friday, October 19, 2018

ප්‍රේම පාරමිතාව!



‘‘ප්‍රේමය‘‘
හද දෙවොලේ
උස් තන්හි වඩා හිඳුවා
පුද පූජා කළාය ඈ
අන්ධ බැතිමතියක සේ...

‘‘ප්‍රේමය‘‘
කර මුලින් අල්ලා
ඔසවා ඈ වරෙක
ගැසුවාය පොළවේ
ඉනික්බිති
වරින් වර
බොහෝ වර...

බිඳී විසිරුණු
හද කැට කැබිලිති මත
‘‘ප්‍රේමය‘‘
නොයෙක් වෙස් ගෙන
විලිස්සුවාය ඈ වෙත...

ආත්මාර්ථයෙන් ද,
ඉරිසියාවෙන් ද
අහංකාරයෙන් ද
මමංකාරයෙන් ද
වෙළෙවි ව
අන්‍ය රූප විලාස ගනිමින්...

‘‘මගේ න්‍යාය පත්‍රය
මගේ කාලසටහන
මගේ කොන්දේසි
මමයි ප්‍රේමය
මට උවමනා ලෙස
ඔබ පැවතිය යුතු...‘‘

ප්‍රේම පාරමිතාවේ
වියරණ පැටලී
අතරමං වූවාය ඈ...

වේදනාවෙන් කම්පිත ව
කඳුළු සැළු
එක්දහස් එක් රැයකට පසු
නැගී උන්නාය ඈ
ඈ ම නොවනා අන් අයකු ව...

බිඳුණු ක්ෂුද්‍ර හදවත
පිළිසකර කොට
සියතින්ම තැනුවා ය
දෙවොලක්
ඈ අදහනා ප්‍රේමයේ නාමෙන්
එහි දෙවියන් ද
දේව දාසිය ද
ඇදහිල්ල ද
ඇය ම වූවාය...

සියක් දහසක්
ගැහැනුන්ට, මිනිසුන්ට
දරුවන්ට
කුරා කුහුඹුන්ට පවා...
පිනි බින්දුවකට
ඉර කණිකාවකට
මල් රොන් සුණු සුඟකට පවා
එහි බොහෝ ඉඩ තිබිණි...


Wednesday, September 26, 2018

සීතා ඇරයුම් කරන්නී ඔබටත්, මටත්

ඇගේ සුපුරුදු සුන්දර සිනාව සමඟින් 

2016 පොසොන් මාසයේ දවසක මූණුපොත හරහා මට පණිවිඩයක් ලැබෙනවා. සීතක්කාගෙන්. ඒ පණිවිඩය මාව තිගස්සනවා. ඔබ කවුරුත් දන්නා මාධ්‍යෙව්දිනිය, ලේඛිකාව, සමාජ ක්‍රියාකාරිනිය සීතා රංජනී ඇය.

‘‘තරූ, මගේ ජීවිතය කෙටි වෙන බව ස්ථීරවම දන්න රෝගී තත්ත්වයකට මම දැන් මුහුණ දීලා. මගේ පෙණහළු දෙකම පිලිකාවලට ගොදුරු වෙලා. මේ දවස්වල පිලිකා ප්‍රතිකාර කරනවා. ඒවායේ අතුරු ආබාධ විඳිනවා. ඒ අතර හැකි හැම විටම ඊමේල් හරහා නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කටයුතුවලට දායක වෙනවා. ෆේස්බුක් බලනවා. පොත් බලනවා. ඔයාටත් මේ ගැන කියන්න හිතුණ නිසයි ලිව්වෙ පෞද්ගලික පණිවිඩයක් විදියට.‘‘

මට මේ පණිවිඩය ලැබෙන්නෙ 2016 වුණාට ඇය මේ රෝගී තත්ත්වය ගැන දැනගන්නේ 2015 වසරෙ. තනිව ජීවත් වන තනිකඩ ගැහැනියක් මේ වගේ අවස්ථාවක කොතරම් අසරණ වෙනවද? නමුත් කිසිමවිටක මම සීතක්කා තුළින් අසරණ ගැහැනියක් දැක්කෙ නැහැ. ඇය ඒ සියලු අභියෝගයන්ට මුහුණ දුන්නෙ සුපුරුදු සිනාවෙන් සහ ධෛර්යයෙන්. අන්තිම වේදනාකාරී මොහොතක හැර ඒ සුන්දර සිනාව වියැකී තිබෙනු මා දැක නැහැ.

පිලිකා මාරයා සීතක්කා සොයා එන පළමු අවස්ථාව මෙය නොවේ. 1998 වසරෙ ඇය පියයුරු පිලිකාවකට මුහුණ දීලා, සැත්කමකින් පියයුරක් ඉවත් කරලා දීර්ඝ කාලයක් අවශ්‍ය ප්‍රතිකාර අරගෙනත් තරමක් සුවවීමෙන් පසුවත් නොකඩවා වැඩ කළ කෙනෙක්. 

2016 වසරේ අපි ‘‘සීතා ඔබේ යෙහෙළිය තිත්ත කවි ලියූ ගැහැනිය‘‘ නමින් ඇගේ දිගුකාලීන සාහිත්‍ය, කලා මාධ්‍ය ජීවිතය අගයමින් උපහාර උලෙළක් පවත්වනවා. මෙහිදී කතා කළ ජයතිලක කම්මැල්ලවීරයන් මුලින්ම කිව්වෙ ‘‘සීතා කියන්නෙ මරණයට අභියෝග කළ ගැහැනියක්‘‘ කියල. ඒ කතාව සියයට සියයක්ම ඇත්ත බව මම දැන් දන්නෙ අත්දැකීමෙන්මයි. ඇය පියයුරු පිලිකාවට මුහුණ දුන් අවස්ථාවෙ ළඟින් ඉන්නට නොහැකි වුණත් ඇය ඒ අත්දැකීමට මුහුණ දුන් ආකාරය මම ඇගේ ‘‘තිත්ත කවියට පෙරවදනක්‘‘කාව්‍යාඛ්‍යානය හරහා දකිනවා. ඇය පෙණහළු පිලිකාවට මුහුණ දෙන ආකාරය මා සියැසින්ම දකින්නෙ මේ කාලයේ අප අතර බැඳීම ඉතා සමීපව දළු ලා වැඩුණු නිසයි.

තාරුණ්‍යෙය් සීතා

‘‘1998 අගෝස්තු මස සිට 1999 පෙබරවාරි දක්වා පුරා හය මාසයක් මම මගේ පෞද්ගලික ජීවිතයේ දුෂ්කරම කාල පරිච්ඡේදයක් පසුකළෙමි. අසනීපව දරුණු ප්‍රතිකාර පද්ධතියකට යටත්ව ගෙවන්නට සිදු වූ ඒ හය මසක කාලයේ අතරමැද  එක් දිනෙක ඕනෑ නම් මේ මොහොතේ ජීවිතය අත්හරින්නටත්, ඕනෑනම් එය වැළඳගන්නට හැකියාව ඇති තෝරා ගැනීමේ පරීක්ෂණයකට මගේ සිතට ඉඩදිය හැකි බව දැනිණි. මා මාවම පරීක්ෂා කළ එම තෝරාගැනීමේ පරීක්ෂණයේ දී ජීවිතය අත්හැරීමේ අදහසට මගේ සිතේ ඉඩක් නැති බව මට දැනිණි. මෙතෙක් ඉතිහාසය දෙස ආපහු හැරී බලන කල ඒ නම් මාම බව මට සැක නැතිව පසක් විය. මා වට්ටන්නට කිසිවකුට හැකියාව නැති බව මම දනිමි. වට්ටන්නට හැදූ හැම විටම වෙනත් මඟකින් මම නැගිට ආ හැටි මට සිහිකළ හැකිය. මට වැටෙන්නට සිදුකළ පෞද්ගලික කාරණාවටද අභියෝගයක් නොවී ඉන්නට මට හේතුවක් සොයා ගත නොහැකි විය. මගේ අභියෝගය කාව්‍යාඛ්‍යානයක් බවට පත්වුණේ එහෙයිනි.‘‘

තිත්ත කවියට පෙරවදනක් කාව්‍යාඛ්‍යානයේ ඇගේ පෙරවදනින් කොටසක් ඒ. ජීවිතය පිළිබඳ එකී තීරණාත්මක මොහොත දිනක් ඇය මා හා බෙදාගත්තේ මෙලෙසින්.

‘‘මම එදා ප්‍රතිකාරවලට මුහුණ දීලා ඇවිත් මහන්සියෙන්, වේදනාවෙන් ඇඳේ වැටිල උන්නා. ඒක වැහි වැටුණු හැන්දෑවක්. එවෙලෙ මට හිතුණා මේ විදියට ගියොත් නම් මට පරදින්නයි වෙන්නෙ කියල. මම තවදුරටත් ජීවත්වෙනවද? ජීවිතය අත්හරිනවද කියල මම හිතන්න ගත්තා. මෙහෙම වැටිල හිටියොත් නම් මැරෙන්නයි වෙන්නෙ කියල මට හිතුණා. මම ඒ මොහොතෙම නැගිට්ටා. කාමරේ ලියන මේසේ වාඩිවෙලා ලියන්න ගත්තා. ඒ ලියවුණු සටහන තමයි මේ කාව්‍යාඛ්‍යානය...‘‘

ඉතින්, ඔබ හිතනු ඇති ‘‘තිත්ත කවියට පෙරවදනක්‘‘ ලෙසින් ඈ ගොනු කළ මේ කවි පොත පුරා ඇත්තේ පිලිකා රෝගී ගැහැනියකගේ වේදනාත්මක සිතුවිලි කියා. නමුත් එය එසේ නොවේ. අදහාගත නොහැකිම කාරණය එයයි. විවිධ සමාජ, දේශපාලන කාරණා සමඟ අරගල කරන ධෛර්යවන්ත ගැහැනියකගේ ළමා වියේ සිට තාරුණ්‍යය දක්වා ජීවිත ගමනයි මේ කාව්‍යාඛ්‍යානය තුළ ගොනුවෙන්නෙ. එය සීතා රංජනී නම් ගැහැනියගේ කතාව පමණක් නොවේ. සමස්ත ශ්‍රී ලංකාව කියන ගැහැනියගේත් කතාවයි. ඇගේ ජීවිත ගමන තුළ ලාංකේය දේශපාලන සන්දර්භයේ හැල හැප්පීම් පිළිබඳව ඇය කවියෙන් මතුකරන අදහස් සර්වකාලීන ගැඹුරකින් යුත් බවයි මගේ අදහස.

............

සීතක්කා කියන්නෙ හරිම සුන්දර ගැහැනියක්. ආදරවන්ත ගැහැනියක්. ඒ වගේම ධෛර්යවන්ත ගැහැනියක්. ඒ සියලු මානව වටිනාකම් එක්කම ඇගේ පිළිවෙල, සකසුරුවම, අනලස්බව මේ සියල්ලම ඇගේ නිවසට වරක් හෝ අඩිය තිව් කෙනෙක් වටහාගන්නවා නිසැකයි. ඒ නිවසට ගිය කෙනෙක් කිසිවිටක නොසිතනු ඇති, මේ මාරාන්තික රෝගයකට මුහුණ දුන් ගැහැනියකගේ නිවසක් බව. එය එතරම්ම පිළිවෙල, පිරිසිදු පුංචි නිවහනක්. 

පෙණහළු පිලිකා ප්‍රතිකාරවලින් පස්සෙ සීතක්කා මුහුණ දුන්නා දැඩි අසීරු කාල පරිච්ඡේදයකට. ඇවිදගන්න බැරි තරමට කොන්දේ ආබාධයක් වැළඳුණා ඇයට. එය මාස කිහිපයක්ම එකදිගට අල්ලා සිටි දුෂ්කර කාලයක්. යාම්තමට හෝ කොන්දේ සෙලවීමක් ඇතිවීමත් ඇයට දරාගන්නට හැකි වුණේ නැහැ. මේ කාලයේ නිතර සීතක්කා බලන්න යන්න, ඇයට උදව් උපකාර කරන්න සමීප යහළු යෙහෙළියන් පිරිසක්ම උන්නා.

‘‘මම හම්බ කළේ සල්ලි නෙවෙයි. යාළුවො.‘‘ සීතක්කා කියන්න පුරුදු වෙලා උන්නා. යම් අවස්ථාවල ඈ මා හා බෙදාගන්න අත්දැකීම් මනුෂ්‍යත්වයේ සුන්දරත්වය ගැන අපූරු කතන්දර. නොබැලුවාය, නොආවාය කියා කා සමඟවත් අමනාපයක් හෝ වේදනාවක් ඇති කර නොගැනීමත් මම සීතක්කා තුළින් දුටු ඉතාම හොඳ ගුණයක්. ඇය කිසිවිටක තමන්ගේ බැරි අමාරුකම් ගැන කන්කෙඳිරි ගාමින් ඉන්නා කාන්තාවක් නොවේ. ඒ අමාරුකම් ඇය බෙදාගන්නේ සමීපතම අය එක්ක අත්‍යාවශ්‍යම අවස්ථාවක පමණයි.

ප්‍රතිකාර ගනිමින් සිටින අතර අතුරුදන් කරවූවන් සිහිකරන සැමරුමක

මේ තරම් බරපතල පිළිකා තත්ත්වයක් සමඟ ඇය සටන් කරන්නෙ කොහොමද? ඔබ හිතනවා ඇති. මා දන්නා කරුණු පෙළගස්වන්න හිතුවෙ ඇත්තටම සීතක්කාගේ ධෛර්යය ගැන කියන්නටම නෙවෙයි. මෙවැනි රෝග තත්ත්වයන්ට මුහුණ දෙන අනෙකුත් අයට ජීවිතාදර්ශයක් හැටියටයි.
  • මුලින්ම කිව යුතු දෙය, ඇය රෝගය ගැන දැන ගත් අවස්ථාවේ යම් කැළඹීකට හසුවුණත් එයින් මානසිකව වැටුණෙ නැහැ. ජීවිතය කෙටි වන බව දැනගත් පසුත් ඇය නිතරම හිතු‍වෙ ඒ කෙටි කාලය ශක්තිමත්ව සහ අර්ථවත්ව ගතකරන විදිය. 

  • රෝගයට ප්‍රතිකාර ගන්නා අතරතුර පවා ඇය වැඩ කළා. කිසිම විටක වැඩකිරීම නැවැත්වූයේ නැහැ. නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කටයුතු වගේම ආරාධනා ලැබෙන විදියට වෙනත් සාහිත්‍ය කලා, සමාජ වැඩවලටත් යොමු වුණා. නිවසේ සිටියත් පරිගණකයෙන් අවශ්‍ය වැඩ කරදුන්නා. මා හිතන්නේ ඒ වැඩකිරීම ම ඇයට රෝගයට මුහුණ දෙන්න මහා ශක්තියක් වුණා. 

  • කිසිම අවස්ථාවක රෝගය නිසා මිථ්‍යාවන් පසුපස, හොර වෙදුන් පසුපස, සුව මෙහෙයන් පසුපස ඈ දිව නොගිය බව මට ඉතාම විශ්වාසයෙන් කිවහැකියි. යහළුවන්ගේ සිත් නොරිදවන්නට ඉඩදුන් අවස්ථාවක් ඇතොත් හැර. ඇය මුළුමනින්ම තමන්ගේ රෝගයට මුහුණ දුන්නේ මහරගම අපේක්ෂා රෝහලේ වෛද්‍යවරුන්ගේ සහ අතුරු ආබාධ සඳහා පෞද්ගලික ප්‍රතිකාර ලත් වෛද්‍යවරුන්ගේ උපදෙස් අනුව. 

  • ඇය අවශ්‍ය ප්‍රතිකාර වෛද්‍ය උපදෙස් අනුව නිවැරදිව සහ පිළිවෙලට සිදුකරනවා. කොයිම අවස්ථාවකවත් ඒ ප්‍රතිකාර මඟහරින්නෙ නැහැ. කොතරම් කාර්යබහුල වුවත් නියමිත වේලාවට බෙහෙත් ගැනීම පිළිබඳව ඇය සැලකිලිමත්. මහරගම සායනයට යාම, පෞද්ගලික ප්‍රතිකාර ලබන වෛද්‍යවරුන් නියමිත කාලයට හමුවීම ඇය කිසිවිටක අතපසු කරන්නේ නැහැ.

    රෝගය ගැන දැනගත් අවස්ථාවේ සිට ඒ සම්බන්ධව ගත් ප්‍රතිකාර ක්‍රම, බෙහෙත්, දිනෙන් දින මතු වූ රෝග ලක්ෂණ ගැන කෙටි සටහන් තැබූ දින පොතක් ඇය පාවිච්චි කරනවා. මා දැක තියෙනවා ඒ සටහන් පොත වෛද්‍යවරුන්ට පවා රෝගී තත්ත්වය තේරුම් ගන්න පහසුවක් වූ හැටි.

  • ඒ වගේම ඇය තමන්ට ලබා දෙන බෙහෙත් සහ ප්‍රතිකාර ක්‍රම ගැන දැනුවත්. ඒ ගැන සොයා බලනවා. ඒ බෙහෙත් ලබා ගත යුත්තේ ඇයි? එයින් ඇතිවන අතුරු ඵල මොනවාද යන්න ගැනත් ඇය දැනුවත්. ඒ සඳහා සුදුසු, නුසුදුසු ආහාර, ජීවන රටාව ගැනත් ඇය සැලකිලිමත්. 

  • පිලිකා සෛල සමඟ තරඟ කරන්න මානසික, අධ්‍යාත්මික ශක්තිය, බෙහෙත් වගේම අත්‍යවශ්‍ය අනිත් දෙය තමයි ආහාර. සීතක්කා ආහාර සම්බන්ධයෙන් හරිම සැලකිලිමත්. රෝගයට මුහුණ දෙන්නට පෙර කාර්යබහුල ජීවිතය නිසා ඇය කෘතිම ආහාරවලට සෑහෙන්න පුරුදු වෙලා හිටි කෙනෙක්. එයත් මේ රෝග තත්ත්වයට බලපාන්නට ඇති කියල සීතක්කා හිතනවා. දැන් ඈ කෘතිම ආහාර ගන්නෙම නැති තරම්. එළවළු, පලා, පළතුරු, ධාන්‍ය වර්ග තමයි වැඩියෙන්ම ආහාරයට එකතු කරගන්නේ. උදේ ආහාරයෙන් පස්සෙ අනිවාර්යයෙන්ම පළතුරු දීසියක්. දවල් ආහාරයෙන් පසුවත් එහෙමයි. 

  • ඇටකෝටුවලට පවා මේ වන විට පිලිකාවෙන් බලපෑම් ඇති වීම නිසා අත තද කර යමක් කපන්න, කොටන්න, පොල් ගෙඩියක් බිඳින්න, පොල් මිරිකන්න අමාරු වුණත් කෙසේ හෝ තමන්ගේ ආහාර වේල ගෙදරදී හදා ගන්න ඇය උත්සාහ කරනවා. නිතර කෑම බීම එවමින් උදව් කරන යහළුවන් පිරිසක් සිටීමත් පහසුවත්. 

  • සීතක්කා ලස්සනට අඳින්න, පිරිසිදුව පිළිවෙලට ඉන්න කැමති ගැහැනියක්. රෝගී වූවා යැයි කියා එහි කිසිදු වෙනසක් වූයේ නැහැ. මහරගම ගියත්, වෛද්‍යවරයකු හමුවට ගියත්, වෙනත් වැඩකට ගියත් ඇය ඉතාම සුන්දරව අඳිනවා. ඒ නිසාම ඇගේ ප්‍රිය ප්‍රසන්නභාවය සොරාගන්න පිලිකාවට හෝ නොහැකි වෙලා.

.................

මේ සටහන ලියන්න මුල් වූ වැදගත්ම කාරණය තමයි මම අවසානයේ සඳහන් කරන්න සූදානම් වෙන්නේ. ඒ තමයි ඇය මේ වන විට මහරගම අපේක්ෂා රෝහලේ නේවාසික රෝගීන් සහ ඔවුන් රැක බලාගන්නා අය වෙනුවෙන් ස්වේච්ඡා සේවයේ යෙදෙන්නියක් බවට පත්වෙලා. ඒ වෙනුවෙන් සිදුකරන විවිධ වැඩ කටයුතු ඇය ඉටුකරන්නේ ඉතාම සතුටින්.

හිතන්න, ජීවිතය කොතරම් අර්ථසම්පන්න සුන්දර යමක් බවට හරවා ගත හැකිද?



මේ සිකුරාදා ( සැප්තැම්බර් 28 ) සවස 2.00 ට ජයතිලක බණ්ඩාරයන් ගී ගයන සොඳුරු ගීතමය හෝරා කීපයක් මහරගම අපේක්ෂා රෝහලේ පැවැත්වෙනවා. මෙවර පොත් ප්‍රදර්ශනය තුළ රෝහලේ හරිත පුස්තකාලය වෙනුවෙන් එක් කළ පොත් පිරිනැමීමත් එදින සිදුවෙනවා. සීතා නම් ධෛර්යවන්ත ගැහැනිය වෙනුවෙන් වගේම පිලිකා රෝගයෙන් පීඩා විඳින, ඒ රෝගීන් සමඟ ළඟ රැඳෙමින් අරගල කරන, ඒ වගේම රෝහලේ කාර්ය මණ්ඩලයේ කැපවෙමින් සේවය කරන සියල්ලන්ම වෙනුවෙන් මනුෂ්‍යත්වයට, ජීවිතයට ආදරය කරන හැමෝම හැකියාවක් ඇත්නම් එදිනට එන්න කියල ඇරයුම් කරන්න කැමතියි.