පිටු

Thursday, September 20, 2018

‘‘සම‘‘ සමඟ පස්වසක්...



මා සහ ‘සම‘ අතර සබඳතාව ගොඩනැගෙන්නේ මට ඇති පොත් පිස්සුව නිසා මෙන්ම මංජුල ( වෙඩිවර්ධන) අයියාද නිසාය. මා ‘‘සම‘‘ වෙත කැඳවා යන්නේ මංජුල අයියාය. 2013 වසරේ මුල්භාගයේ, ඒ වන විටත් මා බත්තලංගුණ්ඩුව නව මුද්‍රණය සඳහා පොත නැවත පරිගණක ගත කරමින් සිටි අතර, සෝර්බා පරිගණක ගත කළ පිටපත පොතක් ලෙස සැකසීම සඳහා මා වෙත ලැබෙන්නේ ඒ අතරතුරය. මා ගැන කිසිවක් නොදැනම මංජුල අයියාගේ රෙකමදාරුව මත පමණක්ම එවැනි භාරදූර වැඩක් මවෙත පැවරීම ගැන සනත් අයියා, දේවිකා අක්කා, සංජීව අයියා ඇතුළු වඩිගමංගාව පවුලට ස්තූතිවන්ත විය යුතුය.

සෝර්බා පිටු සැකසීමෙන් අනතුරුව බත්තලංගුණ්ඩුවද, ඉන්පසු කඩිමුඩියේ මගේ ආදරණීය යක්ෂණීද සැකසීම සිදුවිණි. ඒ අතර සනත් අයියාගේ මේ සොඳුරු දඩබිමෙහි නවකතාවද, මරණයේ සෙවණැල්ල යට නිදාසිටි පූස් පැටියා කෙටි කතා පොතද එක්ව මුල්ම වතාවට 2013 වසරේ අප කළ පොත් සංඛ්‍යාව පහකි. එය මට අපූරුම අත්දැකීමකි.

2013 සහ 2014 වසරවල අප වෙනුවෙන් වෙන් වූ කුටියක් නොවූ අතර අපි අනෙකුත් කුටිවලට පොත් දැමුවෙමු. ඒ මුල්ම දුෂ්කර කාලයේ අප සමඟ සිටි බාසුරු මල්ලීද, ලාල් අයියාද සෙනෙහසින් සිහිපත් කළ යුතුය. ලාල් අයියා එදා සිට අද දක්වාම ‘සම‘ සහයට සිටිනා සහෝදරයෙකි.

‘‘සම‘‘ පොත් සියල්ලම මුද්‍රණය කළේ මරදාන ඩිසයින් සිස්ටම්ස්ය. එහි ලාලිත රාජපක්ෂ සහෝදරයා ඇතුළු කාර්ය මණ්ඩලය ලබා දුන් සහය අමතක කරන්නේ කෙලෙසින්ද? මරදානේ කුඩා මුද්‍රණාලයේ උඩුමහලේ ඇහිරුණු ඉඩකඩේ මටත් ඉඩක් වෙන් කරදෙමින් ඒ දැක්වූ ළබැඳියාව පොත් මුද්‍රණය මහා දුෂ්කර වැඩක් බවට පත්කිරීමෙන් වැලකිණි.

ප්‍රභා ප්‍රකාශන කුටිය මට ගෙදර මෙන් වූයේ ඒ දවස්වලය. කුටියේ නිතර රැඳී උන් අම්මාට මෙන්ම මට ද කෑම බීම ගෙනවුත් දෙමින්, උපදෙස් දෙමින්, පොත් කතන්දර කියමින් තනි නොතනිය මැකුවේ මනෝරම මල්ලීය. ඒ බැඳීම අදටත් එලෙසින්ම පැවතීම සතුටකි.

අප මුල් වරට ‘සම‘ වෙනුවෙන් පොත් ප්‍රදර්ශනයේ කුටියක් වෙන් කරගත්තේ 2015 වසරේය. ඒ අනුව බලන විට මේ ‘සම‘ කුටිය කරන සිව්වැනි වසරය. මේ තෙවසර පුරා අපේ අසල්වැසියා වූයේ කළු රංජි අයියාගේ ‘අගහස්‘ ය. අගහස් සහ අප අන්‍යෝන්‍ය වශයෙන් උදව් උපකාර කරගනිමින් මහත් සහයෝගයෙන් කටයුතු කළෙමු. මෙවර අපේ අසල්වැසියා වන්නේ ‘අහස‘ය. ‘අගහස්‘ එම ශාලාවේම මදක් දුරකට ඇදී ගොස් ඇත. කෙසේ නමුත් මෙවර J ශාලාවේ දන්නා හඳුනන සාහිත්‍ය කුටි කිහිපයක්ම තිබීම සතුටට කරුණකි.

‘‘සම‘‘ පොත් කුටිය ඇරඹුණු දා සිට ම විදර්ශන, සන්ථව, අගහස්, අහස, සයුර, ප්‍රභා, සුභාවී, නයින් පබ්ලිකේෂන්ස්, බිසෝ, දර්ශන, කේබුක්ස්, කවිවර ඇතුළු ප්‍රකාශකයින් ගණනාවකගේ සහය අපට ලැබිණි. ‘සම‘ කුටිය වෙත පොතක් රැගෙන ආ කිසිවෙකු ආපසු හරවා නොයැවූයේයැයි සතුටු විය හැකිය. අප කෙසේ හෝ කෙනෙකු ගෙනෙන පොත්වලට ඉඩක් සාදා දෙන්නට වෙහෙස වූයෙමු. තමන්ගේ පොත හොදින් පෙනෙන තැනක තියන්නට හැමදෙනාටම උවමනා වුවත්, යම් අවස්ථාවල එය ඉටුකරදීමට නොහැකි විය.

කවි කුටිය හැරුණු විට කවි පොත් වැඩිම සංඛ්‍යාවක් අලෙවි කළ කුටියද ‘සම‘ විය යුතුය. අප කවියට දැක්වූ ඇල්ම නිසාම ‘සම‘ කුටියේ විශේෂ ඉඩක් හැමදාමත් කවි පොත් වෙනුවෙන් වෙන්විය. ළමා පොත්, පරිවර්තන මෙන්ම විවිධ සමාජ, දේශපාලන කෘති සදහාද ‘සම‘ අවකාශයේ ඉඩකඩ වෙන් විය.

මුල සිටම පොත් අලෙවියට අපට සහය වූ චතුරංග, රජිත, විරාජ් මල්ලිලා ආදරයෙන් සිහිකරමි. මේ අතර වැඩිම කාලයක් ‘සම‘ කුටියට සම්බන්ධ වූයේ රජිතය.

සුපුරුදු ලෙසින් මෙවරද, J 309 ‘‘සම‘ කුටියේ ඔබේ පොතටත් ඉඩක් ඇත. පොත් ප්‍රදර්ශනයට යනෙන අතර අපවත් බලා යන්න එන්න. නිවාඩු දින කිහිපයේ එහි රැඳී සිටීමට අදහස් කරමි.

සියලුම ‘‘සම‘‘ ප්‍රකාශන මෙන්ම 2018 රාජ්‍ය සාහිත්‍ය හොඳම ළමා පරිවර්තන ලෙස පිදුම් ලැබූ දේවිකා වඩිගමංගාව සොයුරියගේ මමයි මගේ අක්කා ක්ලාරා පොත් පෙළේ පළමුවැන්න සහ දෙවැන්නත් ‘සම‘ කුටියේ වන බව විශේෂයෙන් සඳහන් කරමි. මගේ දේශද්‍රෝහියාද එහි වනු ඇත.  


මංජුල අයියාගේ අලුත් නවකතාව ‘‘ඒ අහඹු අතීත හැන්දෑව‘‘ මෙන්ම ‘‘ශුද්ධවු ජුදාස්‘‘ නව මුද්‍රණයද J 310 ‘‘අහස‘‘ පොත් කුටියෙන් ලබා ගත හැකිය.

‘‘සම‘‘ සමඟ පැමිණි ගමනේ මට පවුලේම කෙනෙකුට මෙන් ආදරයෙන් සැලකූ සංජීව අයියාද, අනූෂා අක්කාද, අනුෂා අක්කාගේ අම්මා සහ චූටි දූ ද ආදරයෙන් සිහිපත් කළ යුතුය. ‘‘සම‘‘ සමඟ පස්වසක් ජීවිතය පොහොසත් කළ කාලයකි. බොහෝ ආදරණීයයන් හඳුනා ගත් කාලයකි. අලුත් පොත් සුවඳ සමඟ ජීවිතය අලුත් වූ කාලයකි. ඒ පිළිබඳව ‘සම‘ පවුලට මගේ ස්තූතිය හිමි වේ. ‘සම‘ සමඟ පැමිණි ගමනේ මා පිටුපස වූ ශක්තිය මංජුල අයියා බව සහෝදරාත්මකව සිහිපත් කරමි. ඔහු නොවන්නට මා ‘සම‘ පවුලේ අයකු වන්නේ නැත. 

පොත් ප්‍රදර්ශන කාලය දුෂ්කර එකක් වුවද ළබැඳියන් හමුවන, පොත් අතර කල්ගත වන ඒ දින කිහිපය වසර පුරා ආශාවෙන් බලා ඉන්නා කාලයක්ද වේ. පසුගිය සති අන්තයට පෙර සති අන්තයේ ගමේ ගොස් ආපසු එන අවස්ථාවේ මගේ පුංචි පැටවුන් ටික සිප වැළඳ ‘‘ආයෙ එන්න වෙන්නෙ ඉතින් සති තුනකට පස්සෙ‘‘ යැයි කියන විට අම්මා පැවසූයේ ‘‘ඔයාට සුබ සාහිත්‍ය මාසයක්‘‘ කියාය.

ඉතින්, අපි හැමෝටම සුබ සාහිත්‍ය මාසයක් වේවා!

10 comments:

  1. අපි නම් හමු වුනේ "විදර්ශනයේ"

    ReplyDelete
    Replies
    1. ඔව්නේ... ඉන්පස්සෙ දෙන්න එක්කම හමුවුණේ ‘සම‘ කුටියෙ...

      Delete
  2. මේ පාර පොත් ගන්න මානසිකත්වයක් නැතත් සම පැත්තේ ඇවිත් යන්න එන්නම්. :) සුභ සාහිත්‍ය මාසයක්!

    ReplyDelete
    Replies
    1. ඔය කිව්වට ඇවිත් මඟින්ම පොත් ටිකක් අරන් හැරිල යයි. එක සැරේකුත් මතකනේ...

      Delete
  3. මේ පාරත් අර තුන් කට්ටුව එවන්නං. රසවත් ස්මරණයක්. ජය වේවා.

    සෝර්බා නව මුද්‍රණය ගන්න ඕනා

    ReplyDelete
    Replies
    1. එයාලව ඉන්පස්සෙ මං දැක්කෙ නැහැ...

      සෝර්බා ගත්තද?

      Delete
  4. මට මේ සැරේ එන්න වෙන්නේ නෑ... දුක තමා.. :(

    ReplyDelete
  5. මේ සැරේ පොත් ගන්න වෙන්නේ සිමාසහිතව තමයි. කොළොම්පුරේගේ පොකට්ටුව හිදිලා. සම එක පැත්තේ ඇවිත් යන්න එන්නම්.

    ReplyDelete
    Replies
    1. කාගෙ කාගෙත් පොකට්ටු හිඳිල තමයි. මේ සැරේ මමත් බොහොම සීමා කරගත්තා පොත් ගැනිල්ල.

      Delete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...