Friday, September 7, 2018

‘‘කවිය ජීවිතය වගේ වුණාම රිදි රිදී වුණත් යම් තැනක ජීවත් වෙන්න පුළුවන්.’’





‘‘ඇගේ පොතේ සියලූම කවි මැනවින් තෝරා හැඩගන්වා ඇත.
ඇය ගැහැනියකි.
ඇගේ කවි ද ගැහැනු කවි ය.’’
- රසිකා ගුණවර්ධන

සැප්තැම්බර් 07 වන දින සවස 3.30ට, කොළඹ පදනම් ආයතනයේදී එළිදකින්නට නියමිත තුෂාරිකා ඇන්තනී කිවිඳියගේ ‘‘උතුරා යන්න ගඟ මම කැමති පොකුණට’’ කාව්‍ය කෘතියට පෙරවදනක් සපයන රසිකා ගුණවර්ධන තුෂාරිකාගේ කවිය හඳුන්වා දෙන්නේ එලෙසිනි. සයිබර් අවකාශය තුළ මෙන්ම පුවත්පත්, සඟරා තුළද තම කවියට ඉඩහසර පාදා ගත් කවි කිවිඳියන් අතර මනා සංයමයකින් අකුරු කළ කිවිඳියක වූ තුෂාරිකා දිගු කාලයක් පුරා තම කවියට නිදහසේ හැදෙන්නට, වැඩෙන්නට ඉඩහැර දැන් ඒ කවි මුද්‍රිත කෘතියක්ව රසික පර්ශද් වෙත ගෙනෙන්නට පෙරුම් පුරන්නීය. මේ තුෂාරිකාගේ කවිය සම්බන්ධව ඈ සමඟ කළ සංවාදයකි. 

‘‘මුහුදක වතුර ළඟ තියන්
රේල් පාරක් පිච්චෙන තරම්...
1.         මේ ඔබ ලියූ කෙටි කවියක්. ඇයි ඔබ කවි ලියන්නෙ?

සතුට, වේදනාව වගේ එකී නොකී හැඟීම් මතු වුණ වෙලාවට ඒවා හිත තුළම තෙරපාගෙන ඉද්දි හරි අපහසුවක් දැනෙනවා, ඒවා වචන බවට පෙරළලා මගේ හිත නිදහස් කරගන්නකම්ම. ඒ වගේ අවස්ථාවල ඉතින් කවි ලියනවා. ඒ ලියවිල්ලෙන් ආයෙම හිත පාරගන්නවා තමයි. ඒක වෙනම කතාවක්. ඒත් කවි කියවීම හා ලිවීම ජීවිතය වගේ වුණාම රිදි රිදී වුණත් යම් තැනක ජීවත් වෙන්න පුළුවන් වෙලා තියෙනවා. කවිය ඉතින් හරියට ඈඳිලා තියෙනවා ජීවිතයට.



‘‘කවියකින් පේව සැතකින් පාරවයි හද
යළිත් මිහිරකි අනික් පදයෙදි ඍතු මාරුවෙන
2.         අපි ඔබ කිවිඳියක් විදියට හඳුනාගන්නෙ සයිබර් අවකාශයෙන්. නමුත් කවිය සමඟ වන ඔබේ ගනුදෙනුවට ඊට වඩා දිගු ඉතිහාසයක් ඇති, ඒ ගැන සිහිපත් කරමු.?

පාසල් කාලෙදි නම් කෙටි කතා ලියන්නයි මම කැමති. උසස් පෙළින් පස්සෙ ගෙදර ඉන්න කාලෙදී නම් යම් යම් කවි වගේ දේවල් ලිව්වා. හැබැයි ඒක දිගටම කළේ නැහැ. මට හිතුන වෙලාවට විතරයි. ඒ අතර කුඩා කවි හා කෙටිකතා තිබුණා. මගේ තාත්තා නිසා ගෙදර හරි කලාකාමී ගතියක් නම් නිතර තිබුණා. ඔහු සංගීතයට ලැදි අහිංසක මනුස්සයෙක්. ඒවයිනුත් පොඩි ආභාෂයක් ලැබෙන්නට ඇති සාහිත්‍යය, ගීතය, කවිය ගැන උනන්දු වෙන්න.


‘‘පුපුරපු ගල් බෝරයට
ජීවිතය නොදී
පර්වතය සිටියි තව දිනයක්...
3.         සයිබරයේ කාව්‍යාවකාශය තුළ සැරිසැරුම ඔබේ කවියට ලබා දුන් පන්නරය කෙබඳුද?

සයිබරයේ කාව්‍යාවකාශය හරි ඉක්මනට ප‍්‍රතිචාර ලබන්නට පුලූවන් අවකාශයක්. ඒ වගේම හොඳ කවි කියවන්න ලැබෙන තැනක්. බොහෝ දක්ෂ අයගෙ නිර්මාණ දැක ගන්න ලැබෙනව වගේම හොඳ සංවාද පවා දකින්නට ලැබෙනවා සාහිත්‍ය ලියවිලි සම්බන්ධයෙන්. ඇත්තටම මගේ කවිවලටත් එතන යම් වේදිකාවක් වුණා. මම ලියන කවි සයිබරයෙ පල කිරීම තුළින් මට හුඟක් ආදරණීය ප‍්‍රතිචාර ලැබිලා තියෙනව. දිරිගන්වන සුලූ ඒ හැම අකුරකටම ආදරෙයි කියලා තමයි කියන්න  ඕන.

විශේෂයෙන්ම සයිබරයේ දී සමර විජේසිංහ සහ රසිකා ගුණවර්ධන යන මනුස්සයන් දෙන්නා මුණ ගැසීම තමා සිදුවූ ලස්සනම සිද්ධිය. ඒ දෙන්නට කුඩා හෝ විසල් කවි නෑ. හැම කවියක්ම ලස්සන කවි වගේ පෙණුනා, කවුරු හෝ ලියන්නට උනන්දු නම් ඒ දේවල්වලට බලපත‍්‍ර හිමි අයෙක් විය යුතු වගට විශ්වාස නොකරපු දෙන්නෙක්.  ඕනම කෙනෙක්ට කැමති විදිහකට හැඟීම්  කියාගන්න නිදහස තියෙන වග විශ්වාස කරපු නිසා අපි වගේ අයව නිතර දයාබර නෝක්කඩුවලින් ඉස්සරහට තල්ලූ කරපු දෙන්නෙක්. ඒ විස්තර කියන්න පුළුවන්  ඕන තරම්.  ඒත් උත්තරය දිග වැඩි නිසා නවත්තන්නම් ඒ දෙන්න ගැන කීම.  ඒ වගේම තව ඉතා ප‍්‍රවීණ කවියන් පවා සයිබරයෙදි හමු වුණා, ‘කවියසරල විදිහට නොගෙන බරපතල විදිහට සැරිසරන්න  ඕන තැනක් වග කියා දුන්න. නිතර අභ්‍යාස කරමින් වගකීමකින් මේ දෙය කළ යුතු බවට අදහස් ඔලූව මත තැබුව. ඒ අතරෙ කාංචනා, උපේක්ෂා, අනිල් සහ තව නම් විදිහට කියන්න බැරි තරම් කට්ටියක් ඉන්නවා නිතර දිරියක් වුණ. කවි අගය කළ කැටපත් පවුර, වළාකුළු අතර, බූන්දිය වැනි අවකාශ අමතක කරන්නත් බෑ.


‘‘නිතරම වැස්සොතින් නිතරම
ඉඳහිට වැස්සොතින් ඉඳහිට
උතුරා යන්න නියමිත
ගංඟාව මෙනි ඔබ...
4.         ‘‘උතුරා යන්න ගඟ මම කැමති පොකුණට’’ මේ ඔබේ පළමු කවි පොත. සමකාලීන කවි කිවිඳියන් එකපෙළට කවි පොත් කරද්දි, ඔබ මුද්‍රිත මාධ්‍යයට පිවිසෙන්න දීර්ඝ කාලයක් ගන්නවා. ඒ ඇයි කියන්න පුළුවන්ද?

ඒකට නම් කියන්න තරම් විශේෂ හේතුවක් නෑ. ඒ අයට හිතෙන්න ඇති එහෙම කරන්න. මට හිතුනෙ නෑ මීට කලින් කවි පොතක් කරන්න. කොහොමත් මගේ දිගුකාලීන සැලසුම් නෑ මොනම දේකදිවත්. මේ වෙලාව හොඳයි කියලා හිතුණොත් ඒ දේ කරනවා. ඉතින් දැන් කවි පොතක් කළොත් හොඳයි කියලා මට හිතුණා.

‘‘වසර ගණනකට පසුව
අපට අප හමුවිය හැකිද
දුරක ගොස් සිට නොව
එකම වහළක සෙවණේ වුව
5.         ඔබේ කවි පොතේ කවි අතර ගේහසිත පේ‍්‍රමය වැඩි ඉඩක් ගන්නා බව පේනවා. මවක්, බිරිඳක්, ගෘහණියක් කියන භුමිකා සමඟ ස්ත‍්‍රී කාව්‍යාත්මයක ගනුදෙනුව ඔබ දකින්නෙ කොහොමද?

ඒක නම් බොහොම පරෙස්සමට උත්තර දෙන්නත්, කැමැත්තෙන් උත්තර දෙන්නත් පුලූවන් ප‍්‍රශ්නයක්. තේ හදද්දි, බතට වතුර ඇද්ද කියලා ඇස් දෙකෙන් මනිද්දි,  ළමයින්ට කෑම පෙට්ටියට දමද්දි, ඒ අය නොපෙනී යනකන් අත වනද්දි, කෑම කෑවද කියලා අහන්න සැමියාට ටෙලිපෝන් කරද්දි, ඒ කී නොකී හැම වෙලාවකම බොහෝ කවි නිමිති පහළ වෙනවා. කාව්‍යාත්මයක ගනුදෙනුවක් සිද්ධ වෙනවා.

මමත් මේ භූමිකාව කරන සාමාන්‍ය ගැහැණියක්. ඉතින් ගෘහණියක කියන භූමිකාවෙදි පෙනී නොපෙනී යන හදිසි කවි බීජ වෙනම තැන්පත් කර ගන්න තැනක් හදා ගන්න වෙනවා. මොකද ඒ ගෙදර දොර හා කාර්යාලයේ කටයුතු අතර ජීවිතය ගෙවෙද්දී කවි ලියනා නිසා. ඒක ඉතින් විශේෂ අමතර වීර්යයකින් කළයුතු කාරණාවක් වෙන අවස්ථාත් නැත්තෙ නෑ.

සංවාද සටහන - තරුරසී ප‍්‍රනාන්දු (දිනමිණ පුවත්පතේ පළ විය. )



5 comments:

  1. තුෂාරිකා ඇන්ටි(නි) ට සුභ පැතුම්!

    ReplyDelete
  2. ‘‘උතුරා යන්න ගඟ මම කැමති පොකුණට’ - මම කැමතියි මේ යෙදුමට, සුභ පැතුම්

    ReplyDelete
  3. සුභ පැතුම්
    එක්කරමි
    නොදුටු කිවිඳිය
    නුඹට

    සටහනක්
    තැබුවා
    පොත ගන්න
    ගියවිටක

    ReplyDelete
  4. සිකුරාදා සෙනසුරාදා දවස්වලට පොත් උත්සව තියන එක ගැන මගේ බලවත් අප්‍රසාදය! හුම්ම්..

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...