පිටු

Tuesday, February 14, 2017

චාරු චාරු අච්චාරු...!!!

නෙළුම් කොලවල දැමූ පේර, දිවුල්, වෙරළු, ජම්බු..... අච්චාරු

අච්චාරු කියද්දිත් කටට කෙළ උනන තරම්. අඹ, අන්නාසි, වෙරළු, ඇඹරැල්ලා හීනියට තලල ලුණු, කෑලි මිරිස්, සීනි ටිකක් පදමට එකතු කරල ගත්තම... එහෙමත් නැත්නම් ජම්බෝල රේණුවලට ගම්මිරිස් කුඩු ටිකක්, සීනි ලුණු පදමට අනල ගත්තම... වාව්... පැණි රස, ඇඹුල් රස, ලුණු රස, කහට රස එකී නොකී සියලු රස එකතුවෙලා කැලතිලා මැවෙන අලුත්ම රසයට දෙන්න වචනයක් නැති තරම්. පැල් බැඳගෙන අච්චාරු කන්න රුසියො මාත් එක්ක එකඟ වේවි...

ඒ වගේ රස කැලතුණු අපූරු කෙටි කතා එකතුවක් කියවන්නට ලැබුණා. ඒ විරාජිනී තෙන්නකෝන්ගෙ "අච්චාරු සහ තවත් කතා". එහි එන මුල්ම කෙටි කතාවත් ‘අච්චාරු‘. ඒකත් රස පදමට ගැළපුණු අච්චාරුවක් වගේ තමයි. කතාව නිමවෙද්දි විඳගත්ත රසයත් එක්කම නොදන්නා රහසකුත් ඉතිරි කරල. නොදන්නවමත් නෙවෙයි. ඒත් හරියට අච්චාරුවෙ රසය මෙන්න මේකයි කියල ටක්කෙටම කියන්න බැහැ වගේ ගතියක්... ඒක හරි අපූරුයි.

කෘතියේ කවරය... ඩොමිනික් චන්ද්‍රසාලි නිමැවුමක්

‘තිර නොතිර‘ කතාව මින් පෙර පත්තර පිටුවක පළ වී තිබුණා මතකයි. එය එදත් සිත් ගත් කතාවක්. කලා ක්ෂේත්‍රෙය් පමණක්ම නෙවෙයි, අනිත් ඕනෑම ක්ෂේත්‍රයකට අදාළයි මේ හෘදය සාක්ෂියේ කතාව. ඉහළට යන්න, ජනප්‍රිය වෙන්න, ධනය බලය දිනාගන්න නොකරන දෙයක් නැති ලෝකෙක අවසානයේ සම්මාන, උපහාර, තාන්න මාන්න, නම්බු නාම එක්ක තනිවන්නට සිදුවුණාම දරාගන්නම අමාරු වෙන්නෙ හෘදය සාක්ෂියේ වැළපිල්ල. 
  
‘බලු කතාවක්‘ ඇසුරෙන් මතු කරන පවුල් සංස්ථාවේ අවුලත් සිත් ගන්නා වියමනක්. තවදුරටත් මෙවැනි ව්‍යාජ සම්බන්ධතාවන් නඩත්තු කරන්නෙ මොකටද කියන ප්‍රශ්නය ඉතිරි කරනවා. බැඳගත්ත බෙරේ ගහන්නම එපැයි. සයිබර් අවකාශය තුළ හිටි පිනුම්, බඩ පිනුම්, කරනම් ගහන අතර අවුලෙන් අවුලට යන පවුල් සංස්ථාව. නිදසුන් අපි අවටම ඕන තරම්.   

 ‘අච්චාරු‘ ළගන්නා සුළු කෙටි කතා එකතුවක් වෙන්නෙ තේමා විවිධත්වය, භාෂා භාවිතය, ආකෘතික වෙනස්කම්, චරිත සහ සිද්ධි නිරූපණ අපූර්වත්වයෙන් ගොඩනගන නිසා කියලයි හිතෙන්නෙ. ඇය ව්‍යවහර බසත්, ලේඛන බසත් මැනවින් හසුරුවනවා. බැලු බැල්මට බරපතල සාහිත්‍යයක් නෙවෙයි වගේ හිතෙන්නෙ. නමුත් හිතට දැනෙන සාහිත්‍ය වෑයමක්. ජීවිතයේ බරපතල ගැඹුර තියෙන්නෙම ඒ සරල, අපුරු සාහිත්‍ය වෑයම තුළමයි. හරියට පදම ගැළපුණු අච්චාරුවකින් මතුවෙන රසය වගේ.

‘තිර නොතිර‘, ‘අච්චාරු‘, ‘මණ්ඩුක සහ උපාසක‘ වගේ කතා තවත් ගැඹුරට දිගාරින්න තිබුණ කියලත් හිතෙනවා. කෙටිම කෙටි කතා නොවී තවත් ඉදිරියට යාමේ උවමනාවක් ඒ කතා ඇතුළෙන්ම මතුවෙන ගතියක් දැනෙනවා. ‘චිත්ත වග්ගය‘, ‘කන් පෙති මත‘ සුලබව අච්චාරු වුණු ජීවිතවල කතාන්දර වුණත් සිත් ගන්නා වියමන්.  


ලංකාවේ සාහිත්‍ය ඇතුළෙ කෙටි කතාවට ලැබෙන්නෙ අඩු ලංසුවක්. ඒ අතරත් කෙටි කතාකාරිනියන් අතේ ඇඟිලිවලින් ගනින්න පුලුවන් තරමට දුර්ලභයි. ඒ අතරට ‘අච්චාරු සහ තවත් කතා‘ සමඟ විරාජිනීගෙ ආගමනය බලාපොරොත්තු දල්වන බව අවිවාදයෙන්ම කියන්න පුළුවනි. කාංචනාගෙ ‘කර්මක්ෂ‘ වගේම විඳින්න පුලුවන් කතා එකතුවක්.  

විරාජිනී - මුහුණු පොතින් අරගතිමි. 
  
සන්ථව ප්‍රකාශනයකි. මිල රු.250.00

Tuesday, February 7, 2017

ඌහ්...!!!



ඉහ උඩ ගිනි විදින
ඇහැ දිය වී වැටෙන
මකර දළ පහර..

තරු දහක් එකවර
කටු ඔටුන්නක ඇමිණ
ඉසකුඩිච්චි අවුලන...

මිටි වී උපන් පව
නිතර සිහි කැන්දන
වැළමිටි පාර...

ඒකත් පිරිමින්ගෙන් ම...


( කේන්තියටම ලියපු කවියක්. )