දින කීපයක්ම ගමේ ගත වුණ නිසා ලිවීමට කාලය දෙන්න නොහැකි
වුණා.. මේ තියෙන්නෙ ළ.ක්‍රි.වී. යෙන් ළමුන්
සමග වැඩ කරන අනුශාසකවරුන් සදහා තෛමාසිකව පළ කරන ‘‘සබඳ” සඟරාවේ පොතපත හදුන්වා දෙන ‘‘ඇසුර” විශේෂාංගයේ පසුගිය වසරේ පළ වූ ලිපියක්.
මෙය නව යොවුන් පිරිසක් වෙනුවෙන් ලියවුණක්...
ඇසුර
දෙනෙත ගැටුණ, මනස රැඳුණ පොත පතක අසිරිය ඔබ හා ඛෙදා ගනු රිසියෙන් zz ඇසුරZZ අකුරු කරන්නෙමු. ළමුන් කැටුව යන අනුශාසකවරුන්
ලෙස පොතපතට ළැදිව, පොතපත තුළින්
ගුරුහරුකම් ලබමින් ජීවිතය වර්ධනය කර ගැනීම අත්‍යවශ්‍ය වන්නේය. දරුවන් කියවීමට යොමු
කිරීමට නම් මුලින්ම අපි ඒ සඳහා නැඹුරුව සිටිය යුතු නොවේද? අතට අමතර මුදලක් ලැබුණ විට පොතක්
මිළ දී ගැනීමට, තිළිණයක් ලෙස
පොතක් ලබා දීමට, නිතර පොතක් ළඟ තබා
ගනිමින් කියවීමට, කියවන පොත පත අන් අය
සමග හුවමාරු කර ගැනීමට, පොත් ගැන කතා
බහ කිරීමට අපි පුරුදු පුහුණු විය යුතු වෙමු. එය නිසැකවම ළමුන් කැටුව යන අපගේ
දිවියට ආලෝකයක් වනු ඇත.
බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ පැවති පොත් ප්‍රදර්ශනයේ
දොරටුවෙන් ඇතුළු වූ පසුව වම් පසට වන්නට දිගු කැටපත් පවුරක් සමග කවි පොත් කුටියක්
තිබිණි. හතර අතේ සොයා ඇවිදින කවි පොත් එකම තැනකින් මිළ දී ගන්නට පහසුවක් මේ නිසා
සැලසිණි. මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ zz හිරුත් හිම
පියල්ලක ZZ
අත පත් වූයේ එහිදීය.
‘‘හිරුත් හිම පියල්ලක”
කවියා :- මහින්ද ප්‍රසාද් මස්ඉඹුල
ප්රකාශනය :- සන්ථව ප්‍රකාශන
මිල :- රු. 200.00
2010 වසරේ විශිෂ්ඨතම කාව්‍ය සංග්‍රහය ලෙස zzහිරුත් හිම පියල්ලකZZ සම්මානයට පාත්‍ර විය.
අතිශයින් සංවේදී තේමාවන් රැසක් කවියට නැගුණු මෙම කෘතිය සැබවින්ම අපූරුය. කවි පොත
පුද කර ඇත්තේ කවියාගේ මව්පියන් වෙතය. එයද අපූරු කවියකිනි. එහි සිත් ගත් කොටසක්
මෙලෙසිනි.
.... බිදෙන වීදුරු රාමුවක මුවා වී
බිත්තියේ සිනා සී නොඉඳ
හද බිතෙහි සදා කැටයම් වූ
ඉසුරුමුණි පෙම් යුවළ
අම්මටයි.... තාත්තටයි...
සිය මව්පියන් හද බිතෙහි සදා කැටයම් වූ
ඉසුරුමුණි පෙම් යුවළ ලෙස දැකීමම අපූරු කාව්‍ය සංකල්පනාවකි. මව්පියන්ගේ ප්‍රේමයෙහි
සුන්දරත්වය, ගැඹුර මෙන්ම කවියා ඒ
බැඳීමට දක්වන ආදරය සහ ගෞරවයද එයින් ධ්වනිත වන්නේය.
විද්‍යුත් දෘශ්‍ය මාධ්‍ය හා එළිමහන් වේදිකාව
තුළ අද නර්තනය ඉතා ප්‍රසිද්ධ අංගයක් බවට පත් වී තිබේ. ඉඟසුඟ නළවමින්, දුහුල් සලූ පිළියෙන් සැරසී නර්තනයේ යෙදෙන රූමතියන් කොතෙකුත් දක්නට ලැබේ.
ඔවුන් පිළිබඳව වැඩි දෙනෙක් තුළ ඇත්තේ සුබවාදී ආකල්පයක්ද නොවේ. එලෙස නර්තන කණ්ඩායමක
මුදලට නර්තනයේ යෙදෙන තරුණියක් තම අම්මාට යවන හසුන් පතක් ලෙස ලියැවී ඇති zz ලියමනZZ යන කවි පෙළෙන් හිරුත් හිම පියල්ලක කවි ගඟුල
ඇරඹේ. නව යොවුන් වියේ සිටින අප බොහොමයක් අනුශාසකවරුන්ට අද තාරුණ්‍යයේ බාහිර
අලංකාරවත්, සාටෝප ජීවිත තුළ සැඟවී ඇති කඳුළු කතාන්දර හඳුනා ගන්නට ඉවහල් වේ යැයි
සිතන බැවින් ඒ සම්පූර්ණ කවියම මෙහි දක්වමු.
ලියමන
නෙළුම් කවි ලී කෙළි ඔළිඳ කෙළි
මෙහෙත් නැතුවා නොවෙයි අම්මේ
ඒත් ඒවා වෙනස් කර කර
අළුත් අයිටම්ස් හදනවා
උත්සවත් දැන් වැඩි නිසා
ෂෝස් දිගටම තියෙනවා
නින්ද නෑ රෑ පුරා නටනවා
උදේ ප්‍රැක්ටිස් කරනවා
ඇගේ හැඩ නැති වෙයි කියා
කන්න දෙන්නෑ රෑට බත්
කෙල්ලො දහයක් ඉන්නවා
හොරෙන් අපි තේ හදනවා
සිංදු විෂුවල්වලට ගියොතින්
දාහ ගානේ ලැඛෙනවා
ඒක අමතර ඒ උණත්
විලූඹ තුනටිය රිදෙනවා
අලූත් නැටුමක දුහුල් ඇඳුමට
වශීවුණ පොහොසත් කෙනෙක්
තෑගි දෙන්නට හදනවා
මම එපාමයි කියනවා
උත්සවේ දවසේ මගේ මට
අම්ම කී දේ මතක් වෙනවා
ඇත්තමයි සමහර දෙනෙත්වල
හරි අමුත්තක් තියෙනවා
දවස් නවයක් ෂෝස් දිගටම
ඊයෙ මට අර ලෙඩේ හැදුණා
ඒත් අම්මේ ගණන් නොගෙනම
ගෙදර ගැන හිත හිතා නැටුවා
අම්මගේ විටමින් ටිකයි
තාත්තගෙ දානෙට බඩුයි
ගන්න සල්ලිත් ඔන්න අම්මේ
මේත් එක්කම එවනවා
නිසරු අත්පුඩි විසිල් ඝෝෂා
අතර පසුපස තැනක කෙළවර
නොලා ඇසිපිය බලා මා දෙස
අම්ම ඉන්නව පේනවා....
ඇය නාටිකාංගනාවකි. නමුත් පොළවේ පය ගසා සිටින
දිරිය දියණියකි. ඇය කරන්නේ රැකියාවකි. නමුත් එය තරුණ විය වල්මත් කරවන සුළු අවදානම්
පිරුණු රැකියාවකි. මේ තරුණියට උගුල්වල හසු නොවී සිටින්නට ධෛර්යය වී ඇත්තේ අම්මාගේ
ආදරයයි. අම්මාගේ ආශීර්වාදය සහ ගුරුහරුකම් ඇය නිරන්තරයෙන් සිහිපත් කරයි. ඇගේ පියා
මිය ගොස් ඇති බව zz තාත්තගෙ දානෙට බඩුයි ZZ යන පද පේළියෙන් පැහැදිලි වෙයි. නාටිකාංගනාවක් වුවද ඇය ජීවිතයේ වටිනාකම
තේරුම් ගත්, සමාජය ගැන අවබෝධයෙන්
සිටින ආත්ම ශක්තියෙන් පිරිපුන් තරුණියකි.
අප බොහෝ විට දකින්නේ මිනිසුන්ගේ ජීවිතයේ මතු
පිට පොත්ත පමණි. ඒ මතු පිට ස්වභාවය මත අප කොතරම් නම් අන් අයව විනිශ්චය කරනවාද? හෙළා දකිනවාද? ප්‍රතිෙකෂ්ප කරනවාද? මුදලට නර්තනයේ යෙදෙන තරුණියක දෙස මානුෂිකව, දයා පෙරදැරිව බලන්නට කවියා සමත් වී ඇත. සාහිත්‍ය කලා නිර්මාණයකින් සිදු විය
යුතු සමාජ මෙහෙවරත් මනුෂ්‍යත්වය පුබුදුවාලීම නොවේද?
මෙවන් වූ අතිශය සංවේදී කවි රැසක් හිරුත් හිම
පියල්ලක කවි පොත තුළින් රස විඳිය හැක. එය විටෙක මිනිසුන්ගේ අනේක විද දුක් දොම්නස්
කවි පද හරහා අප වෙත ගෙනෙමින් අප කම්පනයට පත් කරයි. තවත් විටක අප සිත් තුළ දයාන්විත
හැඟීම් සහ මනුෂ්‍යත්වය පිළිබඳව මහත් වූ ආදරයක් ඇති කරවයි.
නමුත් මෙහි එකම කවියක හෝ බරපතළ වදන් හරඹ දක්නට
නැත. ඉතාම සරල භාෂා රටාවක් කවියට යොදා ගෙන ඇත. අපූර්වත්වය ඇත්තේ කවියා තමා තෝරා
ගත් තේමාව දයාන්විත සිතකින් විනිවිද දකිමින්, හෘද සංවේදී කාව්‍ය ආකෘතියකට ගොනු කරලීමයි.
බොහෝ විට අපේ කවි රස විඳීම පාසල් විෂය
නිර්දේශයට අයත් කවිවලට පමණක් සීමා වී ඇත. එයින් මිදී කවියේ අළුත් මං පෙත් සොයා
යන්නට උත්සාහ ගනිමු. එය ජීවිතය නවතාවයෙන් යුතුව විඳින්නට අපට මග පෙන්වනු ඇත.
මේක කියවන්න ඕනෙයි කියලා හිතාගෙන හිටපු පොතක්... මේක ගැන පොඩි විස්තරයක් බූන්දියේ ගියාද කොහෙද. මහින්ද ප්‍රසාද් ලියපු සෙංකොට්ටං පොතටත් මම ගොඩක් කැමතියි...
ReplyDeleteමාර්ටින් වික්‍රමසිංහයන්ගේ පොතක කියලා තිබ්බා සාහිත්‍යකරුවා කලයුත්තේ හරි හෝ වැරදි යැයි සමාජ සම්මත අනුව යෑම නොව, ඒ දෙපිරිස දෙසම මානුෂිකත්වයෙන් බැලීමය කියලා. සමහර විට මතුපිටින් මෙවැනි අය ගැන අපි ඇති කරගෙන ඉන්න අදහස් ගැන නැවත හිතා බලන්න පොළඹවනවා මේ වගේ නිර්මාණ.
සාමාන්‍ය සමාජය බොහොම පහත් අඩියකට දාලා සලකන මිනිස්සු දිහා බොහොම දයාන්විත ඇහැකින් බලල ඒ මිනිස්සු සාහිත්‍ය ලෝකෙ නොමැකෙන චරිත කළ තවත් මං කැමති අපුරු ලේඛකයෙක් ගෝර්කි...
Deleteමහින්දගෙ කවි සරලයි... බැලූ බැල්මට පුද්ගල අත්දැකීම්.. ඒත් ඒ සංවේදී කේවල අත්දැකීම පිටිපස්සෙ තියෙන සමාජය විග්රහ කරගන්නත් අපිව පොළඹවනවා සියුම්ව...
ඔත්තුවට ස්තුතියි තරු... පොතගැන කලින් අහලා තිබුනා වුනත්, ඔයාගේ උපුටා ගැනීම කියෙවුවාම උනන්දුව වැඩි වුනා...
ReplyDeleteතවත් ලස්සන සංවේදී කවි ගොඩක් තියෙනවා... පුතෙක් අම්මව පාරට ගෙනත් දැම්ම සිදුවීමක් කියවෙන ''ගස යට නතර වුණු අම්මාගෙන්..." කොටසක් මේ
Deleteඉතින් පුතේ නුඹ බිහි වූ දිනේ සිට
ඇතින්නියකගේ හදකින් ලත් පෙමට
ගිහින් එමි කියාවත් නොකිය යන විට
ඇහෙන් ගලා හැළුණා හදවත බිමට.....
'' සමනළ තටු ගැලවුණ පසු'' කවියෙන් කොටසක්...
පුදුමයි තාමත් හිතට
මං ගෑනියෙක් උනාට
ඔයා පිරිමියෙක් නූන එක ගැන....
පතා හිටි දොරවල්වල
අගුල් එක දෙක වැහෙනකොට
කැඩුණු දුප්පත්ම දොර ඇරියට
පිං අම්මේ නුඹට...
ඇදුම් ඉරන්න
කොපමණ නම් හිටියට
ඉරුණු ඇදුම හරිගස්සල දෙන්න හිටියෙ මට
නුඹ විතරයි අම්මේ අන්තිමට.....
ඔන්න මං තව ටිකක් උනන්දුව වැඩි කළා...
මම මේ පොත කියෙව්වා. මස්ඉඹුල ගේ අලුත් පොත 'ඇහි පියන් ඇහැරිලා'ත් බලන්න කෝ. ඔහු හිතට කතා කරන කවියෙක්.
ReplyDeleteඒ පොතත් මා ළග තියෙනවා.... ඒ කවි පොතේ පසුවදනෙ තියෙනවා සුමින්ද කිත්සිරි ගුණරත්න ලියු කවි සිගිත්තක්....
Deleteකවි කොපුල මත
හදිසියේ ම පතිත වූ
උණුසුම් ම හාදුවකි
නුඹ...............
මහින්දගෙ කවි ගැන නිවිහැනේ හිතද්දි ඒ කතාව නම් ඇත්තමයි කියල දැනෙනවා...
පෝස්ට් එකේ මාර්තුකාව දැක්කම හිතුන පොත ගැන තමා කියල. එදා වැඩ සටහන වෙලේ මං ඕක ටිකක් කියෙව්ව. ඔක්කොම කියවන්න වෙලා මදි උනා හැබැයි.
ReplyDeleteආයෙම අරන් එන්නම්.. ඉතිරි ටිකත් කියව ගන්න...
Deleteමේ පොත නං කියවලා නැහැ. හොයාගෙන කියවන්න ඕනේ. කවීන් ගැන කතා කරනවා නං මම ආස ම කරන කවියා විමල් දිසානායක. ඔහුගේ කවි හැම වෙලාවෙම වගේ හිතට දැනුනා.
ReplyDeleteවිමල් දිසානායකගෙ කවි මම වැඩිය කියවල නැහැ....
Deleteමාත් ඒ පොඩි කුටියට ගොඩ වැදිලා පොත් කීපයක්ම ගත්තා.
ReplyDeleteතාම එකක්වත් කියවන්න නම් බැරිවුණා. ඒ ගැන සිහිපත්කරවීම ගැන ඔබට ස්තුතියි.
කවි පොත් කුටිය හොද වැඩක්.. මේ සැරෙත් තියේවි කියල බලාපොරොත්තු වෙනවා...
Deleteමෑත කාලයේ බිහි වූ හොදම කවීන්ගෙන් කෙනෙක් කීවොත් නිවැරදි..
ReplyDeleteමමත් එකගයි ඒ කතාවට...
Deleteඇත්තටම කවි පොතක් කියවන්න ලැබුන කාලයක් මතක නෑ..
ReplyDeleteදිනේෂ් මල්ලි ලස්සනට කවිත් ලියන නිසා කවි පොත් ටිකක් වැඩියෙන් කියවා රස විදිනවනම් හොදයි ...
Deleteඒ කවි පන්තිය හරිම සරලයි, ලස්සනයි වගේම සංවේදියි...
ReplyDeleteමේ කවි පොතේ බොහෝ කවි එබදුයි...
Deleteමේ පොතත් ඇහිපියන් ඇහැරිලා කියන කවි පොතත් දෙකටම මමත් කැමතියි
ReplyDeleteඒ කවි පොත් දෙකම තියෙනවා මා ළගත්... මම වැඩියම කැමති හිරුත් හිම පියල්ලක පොතට....
Deleteසිත්තම්කාරී හරිම නිර්මාණශීලී කවියක්
ReplyDeleteනාගොල්ලාගොඩ ධර්මසිරි බෙනඩික්ගේ මයෙ අමිමෙි යමු යන්න කියන කවි පොතත් කියවන්න. ඒත් එක්කම ලක්ෂාන් අතුකෝරල.රැවන් බන්දුජීව ගේ කවි පොත් කියවන්න
ReplyDeletemeke sampurna book eka download krgnna nedda
ReplyDelete