මගේ කාර්යාලීය මිතුරියක දෙවැනි වර මවක වූයේ පසුගිය ඇහැල
මහේදීය. මව අධිරුධිර පීඩනයෙන් පෙළෙන්නට වූ බැවින් මාස හත සපිරෙන්නටත් පෙර
නොකල්හිම ගැබ පීරා මෙලොවට කැඳවූ දියණිය ජීවිතය දිනන්නට තරම් වාසනාවන්ත වූයේ ද
සොයිසා කාන්තා රෝහලේ නිශානි ලූකස් වෛද්‍යවරිය සහ අනෙකුත් වෛද්‍යවරුන්ගේද, හෙදි
සොයුරියන්ගේද, කාර්ය මණ්ඩලයේද අප්‍රමාණ කැපකිරීම් සහ සොයා බැලීම් මැදය.
දියණියට වසරක් පිරෙන්නට ආසන්න වන මේ මොහොතේ රෝහල් කාර්ය
මණ්ඩලයට තුති පුදන්නට කවි පෙළක් ලියා දෙන්න යැයි ඇය මවෙතින් ඉල්ලීමක් කළාය. පහත
දැක්වෙන්නේ මවිසින් ඇමිණූ පද පෙළයි. එය කියවා ඇගේ ඇස්වලින් ගලා ගිය කඳුළු ගඟ දූ
ඉපදෙන්නට රෝහලේ සිටියදීත්, දූ ඉපදුණු පසුව මාස තුනක් පමණ රෝහලේ සිටියදී ත්, ඉන්
අනතුරුව ඇය අසනීප වන සෑම මොහොතකමත් ගලා ගිය කඳුළු ගෙඟ්ම දිගුවක් නොවේද? මට
සිතිණි.
කිරිකැටි සිහින සැබෑ කර දෙන්නට දිව රෑ නොතකා වෙහෙසෙන වෙද
හෙද පරපුරේ සැමට උපහාරයක් ලෙස මෙය ලියා
තබමි.
සුවහසක් සිහින පොදි මැද
සුපිපුණු කිරිකැටි සිහිනය
සිඟිති මල් කැකුලක්ව
මෙලොවට වැඩිය දින
නොකල්හිම ගිළිහී යාද
සන්තානයම ගිනිගත් මොහොතක....
අත්තටු බිඳුණු පැතුමට
ජීවන හුස්ම පිඹිමින්
අපමණ සෙනෙහසින්
දිව රෑ නොතකමින්
ඇය මලක් සේ පුබුදු කළ..
ද සොයිසා කාන්තා රෝහලේ
නිශානි ලුකස් වෙදැදුරුතුමිය ඇතුළු වෛද්‍යතුමනි,
මෙත් සිතැති හෙදි සොයුරියනි,
කාර්යමණ්ඩලයේ සියල්ලෙනි,
ඔබේ ළෙංගතුකමට
අපමණ කැපකිරීමට
බැතිමල් පුදන්නට
වදන් සවිමත් වේද කොයි ලෙස....
වීනු තිලංසා දියණිය සමග
ගෙවෙන ජීවිත වන්දනාවේ
සිනා මල් පිපෙන
සෑම මොහොතක් පාසාම
පුණ්‍යානුමෝදනා වේවා....
ඔබට.... ඔබ සැමට....
සාහිත්‍යයෙහි කෙළ පැමිණියෙකුට
මිස අන් කෙනෙකුට නොතේරෙනු ඇතැයි මිතුරියගේ ගෙදර එක්කෙනා පැවසූ බැවින් මෙය ඉතාම සරල
වාක්‍යාංශ කිහිපයක් බවට පත් කර දුන්නද මා සිත් ගත්තේ මුලින්ම අකුරු ඇමිණූ ඉහත
පදපෙළයි.
අපරාදේ වෙනස් කළේ...කෙසේ වෙතත් ඒ වගේ උතුම් මිනිසුන් අප අතර සිටීම වාසනාවක්....
ReplyDeleteතවමත් වැඩේ නිමි නැහැ.. බලමුකෝ....
Deleteඇත්තටම එවැනි උතුම් මිනිසුන් ඉන්නවා වෙද හෙද සේවයේ.. ඒ අය කැපී පේන‍්නෙ නැහැ...
අද නම් මොනා කියන්නද මන්දා..
ReplyDeleteචූටි දෝණිට සුබ උපන්දියක් වේවා කියන්නම්...
චූටි දෝණිගේ උපන්දිනේ ජූලි 26...
Deleteඅම්මයි තාත්තයි දැන් ඉදන්ම ලෑස්ති වෙනවා දෙවෙනි වර දූට ජීවිතය දුන්න නෑසියන් බැහැ දකින්න එදිනට ද සොයිසා කාන්තා රෝහලට යන්න.....
ඒ වගේ වෛද්‍යවරු හෑ හෙදියොත් මේ වගේ කලගුණ දන්නා දෙමව්පියනුත් වාසනාවන්..!!
ReplyDeleteඇත්තටම.... නොමේරු දරු සිගිත්තෙක් රැක ගන්න ලොකු කැපකිරීමක් කරනවලු ඒ අය...
Deleteහැබැයි ඒ බව මතක තියෙන, අගයන දෙමව්පියො නම් හරි අඩුයිලු.. බොහෝ දෙනෙක් හිතන්නෙ එයාලගෙ රස්සාව, ඒකට පඩි ගෙවනවා කියලනේ...
මේ කළගුණ සැලකීමත් හරි වටිනවා...
අය්යෝ... මේක කියවන්න සාහිත්‍යයේ කෙලපැමිණෙන්න ඕනද තරු.. මේ මමත් හොදටම රසවින්දේ..
ReplyDeleteමං වටේ ඉන්න අනිත් යාළුවොත් දැන් මං දෙන කවි පොත් කියවල කවිය ගැන යමක් කමක් දන්නවා.. එයාලත් කීවෙ ඒ මේ කවි පෙළ තේරුම් ගන්න අමාරු නැහැ කියල.... කට්ටිය හිනා වුණා අපිට තේරෙන්නෙ දැන් එහෙනම් අපි සාහිත්‍යයෙහි කෙළ පැමිණිලා ඇති කියල...
Deleteනාලක අයියා අදහස් කළේ සරලව සිද්ධිය ලියල, ස්තුති කරන්න කියන එක...
ගෙදර එක්කෙනාගේ සිත අවුල් වෙලා තියෙන්න ඇති ඒ වෙලාවේ.
ReplyDeleteගෙදර එක්කෙනාට ඕන උණේ රෝහලට එන යන අයටත් දැනෙන තේරෙන විදියට සරලව ස්තුතිය පුද කරන්න.... ඒකත් හොදයි....
Deleteකවියත් එක්ක තාත්තයි, ආච්චිලයි බොහොම සංවේදී වුණාලු... අවුරුද්දක දුෂ්කර ක්‍රියාවක් දරුවා වෙනුවෙන් මේ හැමෝම කළා...
ලංකාවෙ හෙද සේවය, දොස්තර වරුන්ගෙ ක්‍රියා කලාපය ගැන නිතරම අහන්න ලැබෙන්නෙ සතුටු දායක පුවත් නෙවේ. ඒ අතරෙ මේ වගේ සේවයන් ඇගයීම අපෙන් සිදු වෙන්න ඕන දෙයක්.මටත් අර කවි තේරුම් ගන්න නං අවුලක් නෑ.
ReplyDeleteදෙයක් වේ නම් යම් සුදුස්සාටම අයිති විය යුතු කියල හුණුවටයේ කතාව නාට්‍යයෙත් කියන්‍නෙ. ඇත්තටම මේ ස්තුතිය ඔවුන්ට හිමි විය යුතුමයි...
Deleteඉහත පැදි පෙළ අගෙයිනේ. ගෙදර එක්කෙනාට නොතේරුණේ මන්ද? දියණියටත් ඔබේ යෙහෙළියටත් වාසනාවන්ත අනාගතයක් වේවා.
ReplyDeleteගෙදර එක්‍කෙනාට නොතේරෙනව නෙවෙයි...නලින්... එයා හොද පාඨකයෙක්... රසිකයෙක්.... එයා හිතුවෙ රෝහලට යන එන අයට සාමාන්‍ය ජනතාවට නොතේරේවි කියන එකයි..
Deleteස්තුතියි සුබ පැතුමට... අනිවාර්යයෙන්ම මේ සුබ පැතුම් මගෙ යාළුවත් දකිනවා...
මේ වගේ මිනිස්සු තාමත් ඉන්නවා කියන එකම සතුටක්.. කවි පෙල ඇත්තටම ලස්සනයි..
ReplyDeleteවෙද හෙද පරපුරේ යහපත් මිනිස්සු ඉන්නවා අප්‍රමාණව... නමත් මතුවෙන්නෙ නැහැ....
Deleteගෙදර එක්කෙනා කිව්ව එක හරි.එතනට විවිද අය එන නිසා තේරුම් ගන්න ලෙහෙසිම විදියට.
ReplyDeleteසරල වුවද ගුණාත්මක අතින් ඉතාමත් ඉහලයි පද පෙළවල් සියල්ල.
ඒ නිසා අපි මේ වැඩේ තව ටිකක් සරල කළා.... නිර්මාණයක් විදියට මං මේකට කැමතියි... නමුත් අවශ්‍යතාවය වෙනම එකක් නේ...
Deleteඅපිට බොහෝ වෙලාවට මතුවෙලා පෙනෙන්නේ දොස්තරලාගේ වැරදි විතරයි. ලෙඩකට, දුකකට, මේ වගේ අවස්ථාවකට තමන්ම මුහුණ දුන්නහම තමයි ඔවුන්ගේ අගය වැඩියෙන්ම දැනෙන්නේ. ඉතිං ගල්මුල් ම නිතර එල්ලවෙන ඔවුන්ටත්, හිතට සතුටක්, දිරියක් ගෙනේවි මේ කවි පෙළ.
ReplyDeleteමාධ්‍ය වුණත් වැඩි වැඩියෙන් වැරදිම කතා කරද්දි වැරදි දැක්මක් ඉබේම හැදෙනවා.... මං හිතන්නෙ අපි ඒ රටාව වෙනස් කරන්න ඕන... මනුෂ්‍යත්වය බැබළෙන අවස්ථා ගැනත් කතා කරන්න ඕන...
Deleteහරිම ලස්සනයි.
ReplyDeleteවෙනස් නොකළත් මේකෙන් එන තේරුම ඕන කෙනෙක්ට හිතා ගන්න පුලුවන් මට හිතෙන්නෙ
ඔන්න දැන් ඒ කවි පෙළම තමයි තිළිණයට දෙන්නෙත්
Deleteකවි පෙළ ඇත්තට ම තේරුම් ගන්න පුළුවන් සරල එකක්. හ්ම්ම්, මම නං රස වින්දා හොඳින්.
ReplyDeleteඑහෙමනම් සතුටුයි මටත්...
Deleteඔබේ කවිය රෝගී දෑස් සුවපත් කරන ඔවුන්ට මල්දමක් වේවා...
ReplyDeleteවෙද පරපුරේ නුගුණ වැඩියෙන් කතා වෙන මේ වගේ කාලෙක මෙවැනි වෛදවරුන් ගැන අහන්න ලැබීමත් වාසනාවක් අයියේ...
Delete