|
අන්තර්ජාලයෙනි. |
‘‘ඔයා ට ඉතින්
ගහක් කොලක්, ඇලක් දොලක්, තරුවක්, මලක්, පොතක්, කවියක් තිබ්බම හොඳටම ඇති නෙ ජීවත්
වෙන්න..“
රෑ නවයට විතර
පෑළ දොරින් ගෙට ගොඩවෙන මං දිහා බලල එහෙම කිව්වෙ සේපාලි.. ඒ වෙසක් පුන් පෝයට කළින්
දවස. එතෙක් මං උන්නෙ පරාක්‍රම සමුද්‍රයට ආයුබෝවන් කියල දෙකේ ඇල දිග පිටමං වෙලා යන
ජල දහරට පා ඔබාගෙන ඇල අද්දර ගල් පඩියක වාඩිවෙලා...
පුන් පෝය හඳ නිසා හාත්පස
එළියයි.... ඇල අද්දර සුදු අරලිය ගස්වලින් ගිලිහුණු මල් දිය දහර එක්ක හාද වෙලා නො
එනා ගමන් යන්නෙත් හරිම සතුටින්.. මම වාඩි වෙලා උන්නෙත් ඉපැරණිකම හිතාගන්නත් බැරි
තරම් දාර කඳක් ඇති සුදු අරලිය ගහක් යට... විටින් විට ගස යට පොදි ගැහෙන මඳ අඳුර
අතරින් සුදු අරලිය මල් කැරකි, කැරකී දිය මත ට පා වුණා. අරලියා කොල අතරින් එබිකම්
කර කර හඳ හිනැහුණා...
හිතේ හැටියට
ඇලේ බැහැල දිය නෑවට පස්සෙත් මට ආපහු එන්න හිතුණෙ නැහැ. ඒ තරම්ම පරිසරයේ නිස්කලංකය හිත
පැහැර ගත්තා. ඒ නිසයි ටික වෙලාවක් අහසයි, සඳයි, ඇලයි, අරලියා මලුයි එක්ක
තනිවුණේ....
සරසවි ජීවිතේ
යාවජීව මිතුදම් ලංකාවෙ සතර කොනට වෙන් වෙලා තිබුණත් තවමත් අපේ හදවත් ඒ කිචි බිචියට,
ඒ ආදරයට කොයි තරම් ලෝබ ද කියල ආයෙමත් දැණුනා පසුගිය දීර්ඝ සති අන්තයේ දීර්ඝ සංචාරය
නිසා.
සතිඅන්තය
ඇරඹුණේ ගලගෙදරින්.. මධුයි, පුතා පූජනයි මමයි... මැයි දෙවෙනිදා හිමිදිරියෙම නුවරින්
පිටත් වුණු අපි අකුරණ, මාතලේ, දඹුල්ල, හබණ හරහා දහවල උදාවෙද්දි පොළොන්නරුවෙ. කඳුවැටි මීදුමේ වැතිරිලා ඉද්දි, මාතලේ හරිත පරිසරය උදා හිරු එළියෙන් නැහැවෙද්දි,
දඹුල්ල කලබල නගරයක්ව නිදිගැට හරිද්දි, හබරණ විසල් කැලයත්, පුලතිසි පුරවරයේ වැව්,
දාගැබ් වෙහෙර විහාර හිතට නැවුම් බවක් එක් කළා...
පරාක්‍රම
සමුද්‍රයත්, අතීත නටබුන් බිමත් ආසන්නයේ තියෙන සේපාලිගෙ
නිවස මට ආගන්තුක නැහැ. ගේ පිටුපසින් ගලන දෙකේ ඇල වගේ ම,
ගෙදර ඇත්තන්ගෙ ආදරයත් හිත නිවනවා.. ඒත් මේ සැරේ යද්දි
ලොකු අඩුවක් තිබුණා. ඒ තමයි වෙනද අපිව ආදරයෙන් පිළිගන්න අම්මා නැති එක. වසර 12 කට
පමණ පෙර මම මුල්ම වතාවට පොළොන්නරු ගිය වෙලාවෙ තමන්ගෙ දූල දෙන්නට වගේම මටත්,
ලස්සන සල්වාර් එකක් අන්ඳලා,
කොණ්ඩ මෝස්තරයක් දාලා, මලක් ගහල ඥාති
මංගල්‍යයකට කැන්දන් ගිය, නෑදෑ හිතමිත්‍රයන්ට
‘දැන් මට දුවල තුන්දෙනෙක් ඉන්නවනේ’
කියල මාව අඳුන්නල දීපු අම්මව මතක් වෙලා මගේ ඇස්වල කඳුළු
පිරුණා..
|
ගල් විහාර සැතපෙන පිළිමය - පින්තුරය තරු |
වෙසක් පෝය
දවසෙ උදේ වරුව පොළොන්නරු යුගයේ විශිෂ්ඨත්වය නිහඬවම කියා පාන නටබුන් වූ මාලිග,
වෙහෙර විහාර, පොකුණු බලන්න වෙන් වුණා.
|
පැරකුම් මාළිගය - පින්තුරය තරු |
‘‘කාමරේට
එක්කෙනා ගානෙ බිසෝවරු තියන් උන්න හින්ද කියන කරන දේවල් නෑහෙන්න මේ තරම් පළලට
බිත්ති බැඳල තියෙන්නෙ.“ සේපාලි සීරියස් විදියට කිව්වෙ පැරකුම් මාලිගයෙදි. ඈ එහෙමයි. කවට කතා මවන්න
දක්ෂයි. රස සාගරයක්. ඉන්න තැනක පාලුවක් නෑ.
‘‘අන්න කිව්ව
කතාවක්... සීතල ආරක්ෂා කරගන්නයි පළල් බිත්ති බැන්දෙ.‘‘ එහෙම කිව්වෙ සමන්ත අයියා
හිනාවෙවී. ඒ සරසවි සමයෙදි සේපාලි දළදා පෙරහැර බලන්න ගිහින් හොයාගත්ත ප්‍රේමවන්තයා.
දැන් ඔහු තමයි ඇගේ ස්වාමිපුරුෂයා. දෙදරු මව්පියන්.... බොහොම ලස්සනට ජීවත් වෙනවා
එදා වගේම ආදරෙන්.
|
නිශ්ශංක ලතා මණ්ඩපය - පින්තුරය තරූ |
පරාක්‍රමබාහු
මාලිගය, රාජ සභාව, කුමාර පොකුණ, වටදා ගෙය, නිශ්ශංක ලතා මණ්ඩපය, සත්මහල් පාය ආදී වූ
පැරණි අසිරිය මධූ ගෙ සරසවි ජීවිතෙන් පස්සෙ යටපත් වෙලා තිබුණු පීඩිත පන්තියේ අරගලයට
පණ දුන් බවක් පෙණුනා.
‘‘මට මේව
දකිද්දි මතක් වෙන්නෙම තරංගි, එදා සාමාන්‍ය මිනිස්සු මොන තරම් මර්දනයක්, පීඩනයක්
ඇතුළෙ මේවට ශ්‍රමය දෙන්න ඇතිද කියල..“
සංවාද
සාකච්ඡාවලට වඩා මගේ හිත නැවතුණේ දෑසින් දකින නටබුන් හරහා හිතේ මැවෙන අතීත අසිරියත්
එක්ක.. ඒ කාලෙදි සාමාන්‍ය ජනතාවට මේ බිමට ඇතුළ් වෙන්නවත් අවසර ලැබෙන්න නැතිව ඇති.
මගේ හිත කිව්වා. අතීතයේ මේ පුද බිමක් ද? නැතිනම් පූජනීයත්වය පවා රාජ තේජසින් වැසුණු
අධිආරක්ෂිත කලාපයක්ද? එහෙමත් නැත්නම් රාජ්‍යත්වයත්, ධර්මයත් පොදු ජනතාවටත්
සැනසුමක් වූ පින් බිමක් ද?
|
ගල් විහාරයේ සමාධි පිළිමය - පින්තුරය තරූ |
වඩාත් සිත
නිවී සැනසුණේ ගල්විහාර පුද බිමේ දි. සිල් ගත් සැදැහැවතුන් පුදබිමේ ගල් තලා මත, තණ
බිස්ස මත සුදෝ සුදට.. කුඩා දරුවන්ගේ සිට ආච්චිල සීයල දක්වාම සිල් ඇත්තො... ලස්සන
දසුනක්.. ගල් විහාරයේ සමාධි පිළිමය, ගෘහය තුළ හිඳි පිළිමය, හිටි පිළිමය, සැතපෙන
පිළිමය පැය කිහිපයක් නොවේ, දවසක්ම වුවත් දැහැන්ගත වන්නට අපූරු කමටහනක්...
|
පින්තූරය තරූ |
පිහිටි පර්වතය
හාරා මෙවන් පිළිම නෙලන්නට තරම් එදා මිනිසුන් තුළ කොතරම් විශ්‍රාමයක්, ශ්‍රද්ධාවක්,
ශිල්ප කලා ප්‍රවීණත්වයක් තියෙන්නට ඇත්ද?
‘‘මේ පිළිම
නෙලන්න ගිහින් කී දෙනෙක් අත පය නැති කරගන්න ඇත්ද? තුවාල කරගන්න ඇත්ද?‘‘ ඒ මධූ...
‘‘මොනා උණත්
මිනිස්සු හරිම භක්තියකින් ආශාවකින් කැපවීමෙන් මේ පිළිම නෙලන්න ඇති.. නැත්නම් මේ
තරම් සියුම් නිර්මාණ බිහිවෙන්නෙ නෑ..‘‘ පිළිම දෙස ම බලන් ඉද්දි මට හිතුණෙ එහෙම..
පාලක පන්තියේ මර්දනයට බියෙන්, එහෙමත් නැත්නම් මුදල් ගැන තෘෂ්ණාවෙන් කුලී වැඩක් විදියට
මේ පිළිම නෙලුවා යැයි හිතන්නට මගේ හිත ඉඩදෙන්නෙ නැහැ..
‘‘මෙතන ලස්සනම
රෑට.. ඕන තරම් වෙලා ඉන්න පුළුවන්..‘‘ එහෙම කිව්වෙ සමන්ත අයියා. ගල්විහාර භුමියේ
පොලිස් මුරපලෙත් සේවය කරල තියෙන හින්දා එයා බිම් අඟලක් නෑර දන්නවා. ඇත්තටම
පහසුවෙන් හැමතැනම ඇවිදින්න හැකිවුනේ සමන්ත අයියා රියදුරු විදියටත්, මඟපෙන්වන්නා
විදියටත් අපි වෙනුවෙන් කාලය කැප කළ නිසා...
‘‘මට ඕනෙ හොඳට
හඳ පායල තියෙන දවසක රැයක මෙතන ඉන්න..“ මම කිව්වා.
‘‘වෙසක්
පොසොන් නැතිව වෙන පෝය දවසක එමු. මේ දවස්වල මෙතන හරිම කලබලයි..“ සේපාලි ගේ එකඟතාව
පළවුණේ එහෙම.
සංචාරයෙන්
පස්සෙ වෙසක් කූඩු හැදුවෙත් අපි හැමෝම එකතු වෙලා. අම්මත් නැතිව තාත්ත තනියෙන් ඉන්න
මහගෙදරටත් එක්කම.. මව්පිය, දූ දරු බැඳීම් ආදරයෙන් පිරෙද්දි ජීවිතය කොයි තරම්
සුන්දර වෙනවද?
ගමේ පන්සලේ
සිල් ඇත්තන්ට ගිලන්පස ලෑස්ති කරගෙන හවස විද්‍යාලෝක විහාරස්ථානයට ගියා. ඒකත් ජීවිතේ
පළමු වතාවට ලැබුව වෙනස්ම අත්දැකීමක්.. ජීවිතයෙන් සමුගත් සේපාලිගේ අම්ම වෙනුවෙනුයි
ඒ ගිලන්පස දානය පිරිනැමුණෙ. සීතල කඳුළු...
පරාක්‍රම
සමුද්‍රෙයේ වැව් බැම්මට වෙලා රෑ අහර ගන්නට තිබුණු සැලසුම මහා වැස්සත් එක්කම හේදිලා
ගියා. ඒත් රෑ හතට විතර වැව් බැම්ම දිග ගිය සවාරිය සොබාදහමත් එක්ක බැඳුණු අසිරිමත්
මොහොතක්.. එක් පසෙකින් වැව.. අනෙක් පසින් ඈතට දිවෙන කුඹුරු යාය. විසල් අහස.. වෙසක්
සඳ.. මේ අසිරිය සනිටුහන් කරගන්නට තරම් මගේ කැමරා ඇස පොහොසත් නොවීම දුකක්... ( ඡායාරූප
ගත්තෙ දුරකථනයෙන් )
|
පරාක්‍රම සමුද්‍රය - From telradio.wordpress.com |
සුන්දර ම
සංචාරයක්, නිස්කලංකම දින කිහිපයක් පුලතිසි පුරවරයේ ගත කරල පසුවදා හබරණ, දඹුල්ල, කුරුණෑගල
හරහා ආයෙම කොළඹට... ඒ සංචාරයෙන් අත්පත් කරගත් ශාන්තියෙන් තවමත් හිත පිරිලා...