පිටු

Showing posts with label හද රැඳි සිනමා සිත්තම්. Show all posts
Showing posts with label හද රැඳි සිනමා සිත්තම්. Show all posts

Monday, August 13, 2018

අලුත් වුණු ශ්‍රී මහල් සහ ගෝල්....



සැලසුම තිබුණෙ නම් වටේ පිටේ ළමයි ඔක්කොමත් එක්කගෙන තාත්ත ලව්ව ලොරියෙන් දම්මගන්න. ඒත් ඩැයිවර මහත්තයට වැඩ වැඩි වුණ නිසා පවුලෙ පොඩි සෙට්ළ එක එක්ක බයික්වල ගිහින් තමයි ගෝල් බැලුවෙ. ( අනිත් පොඩි සෙට් එක එක්කගෙන යන්න ආයෙ පිළිවෙලක් යොදන්න ඕන.) චිත්‍රපටිය ගැන කියන්න වගේම වෙන වෙන කතා ටිකක් කියන්නත් එක්කයි මේ සටහන ලියන්න හිතු‍වෙ.

කුලියාපිටිය නගරයේ සිනමා ශාලා තුනක් තියෙනවා. එයින් ඉපැරණිම හෝල් තමයි ශ්‍රී මහල් සහ මහලේකම්. මේව  පණ ඇද ඇද හරි අඛණ්ඩව දිව්ව එක ගැන ස්තුතිවන්ත වෙන්න ඕන. අලුතෙන් හැදූ හෝල් එකක් තියෙනවා ලක්බිම කියල. අලුත් කිව්වට ඉතින් අලුත්මත් නැහැ. 

ඔයාලට මතක ඇති චිත්තර පටි විස්තර ලිපියෙ මම ලිව්වා ශ්‍රීමහල් එකේ ආදරණීය කතාවක් බැලූ හැටි. (ශ්‍රී මහල් එකේ ආදරණීය කතාව... ) ඒ වෙද්දි සිවිලිම වෙනුවට තිබුණෙ තැනින් තැන එල්ලුණු ගෝනි පඩංගු. කැඩිච්ච, බිඳිච්චි පුටු වටේට ගොඩගහල. ඒ මැද පුටු පේළි ටිකක් තියල තමයි චිත්‍රපට පෙන්නුවෙ. සත්තු සර්පයි ඇති කියල බයට එදා අපි ඉස්සරහ පුටු උඩ කකුල් තියන් තමයි චිත්‍රපටිය බැලුවෙ.

හැබැයි මෙදා යද්දි නම් ශ්‍රී මහල් සෑහෙන්න ශ්‍රීයක් පෙන්නුවා. සිවිලිම ගහල අලුතෙන්, ඒක දුප්පත් සිවිලිමක් වුණත් ගෝනි එල්ලෙන්නෙ නැති එක සතුටක්. සම්පූර්ණ ශාලාවෙම පුටු පිළිවෙලට සකස් කරලා. ගැලරියෙ ඉඳලම ආසන පනවලා. බිත්තිත් අලුතෙන් පාට කරලා. සෑහෙන හොඳ මට්ටමක වටපිටාව තිබුණා. ආ... කියන්න අමතක වෙනවා තව ඩිංගෙන් දැන් බොක්සුත් පේළියක්ම අලුතෙන් හදල තියෙනවා. ඉස්සර ඒව තිබුණෙ නැහැ. 


ඉරිදා දවස නිසාද මන්දා ගෝල් බලන්න සෑහෙන පිරිසකුත් උන්නා. චිත්‍රපටය හොඳයි, කම්මැලිකමක් නැතුව බලා ඉන්න පුළුවන්. හැබැයි අවිශ්වසනීය තැන්, තවත් සැලකිලිමත් විය යුතු තැන් තියෙනවා. මට සැකයක් තියෙනවා අපිට පෙන්නුව චිත්‍රපටියෙ කොටස් අඩු වෙලාද කියලත්. චිත්‍රපටි ශාලාකාරයො එහෙම වැඩත් කරනවනේ...

දිළිඳු දුෂ්කර ගම්මානයක ජීවිත ඒ කාෂ්ටක ගතියෙන් තොරව බොහොම සුන්දරව පෙන්නන එකේ පොඩි අතාත්වික ගතියක් තියෙනවා. ෆුට්බෝල් ගැන මෙලෝ හසරක් නොදන්න ඒ වගේ මැරෑටි කොළු සෙට් එකක් කොහොමද මෙච්චර ඉක්මණට දක්ෂ ටීම් එකක් බවට පත්කරගත්තෙ. ඒක සෑහෙන දුෂ්කර වෑයමක් වෙන්න ඕනනෙ. චිත්‍රපටිය ඇතුළේ ඒ බව මතුවෙනවා අඩුයි. මේ වගේ තව සියුම්ව ඔපමට්ටම් කරගන්න පුළුවන් අවස්ථා ගණනාවක්ම තියෙනවා.

දඬුවම් මාරුවක් විදියට දුෂ්කර අඩවියකට යන පාපන්දු පුහුණුකරු සහ බිරිඳ ඒ දරුවන් එක්ක, ගම එක්ක ඇතිකරගන්න සම්බන්ධතාව, ළමයින්ගෙ ජීවිත ගොඩනගන්න දරන වෑයම, දරුවන් තුළ කැපවීම උනන්දුව ඇතිකරන්න ගන්න උපක්‍රම මේ හැමදේම එක්කම ගත්තම ලස්සන කතාවක් තියෙනවා. වන්නි වනන්තරේ කණිෂ්ටෙක දරුවන් පිරිසක් හිටිඅඩියෙ පාපන්දු පුහුණු වෙලා කොළඹ ඇවිත් රාජකීයයන් පරදවලා සමස්ත ලංකා ශූරතාවය දිනාගන්න එක කොයිතරම් දුරට ප්‍රායෝගික විය හැකිද කියන ගැටලුව තිබුණත් දරුවන්ට ඒ දෙන ඉලක්කයම හොඳ උත්සාහයක්. චිත්‍රපටයක් විතරක්ම නෙවෙයි,  සමාජ වැඩක් විදියට ගත්තමත්. 


චිත්‍රපටයට තෝරගත්ත වටපිටාව වගේම පොඩි කොලු පැටව් ටිකත් බලා ඉන්න හිතෙන තරම් හිතට සුවයක් ගේනවා. ඒ චරිතවල හැසිරීම් හරිම ආදරණීයයි. චිත්‍රපටයේ උසස්කම ගැන නෙමෙයි මම මේ කියන්නෙ ඒ චරිතවල තියෙන ආදරණීය බව. ඒවා හිතට දැනෙනවා. සංවේදීයි.  

දරුවන්ව එක්කරගෙන යන්න මේ චිත්‍රපටිය බලන්න. මට හිතෙනවා ඒක එයාලට වෙනස් අත්දැකීමක් වේවි.



Tuesday, August 7, 2018

තුන්දෙනෙකු ගැන කතාවක් පමණක්මද?




 ‘‘තුන්දෙනෙක්‘‘ නිමාවේ අඳුරු ගන්වා තිබූ ශාලාව විදුලි පහන් එකිනෙක දල්වාලද්දී පවා මා උන්නේ සාංකාවෙනි. ඒ මීගමුව මාරිස්ටෙලා විදුහල් ශාලාවේදී Her, Him The other සිනමා පටය තිරගත වූ සැඳෑවය. ඒ රූප රාමු එකින් එක ඇස් ඉදිරියේ ගලා යද්දී සැබෑ මිනිස් මුහුණු සිය ගණනක් මා සිතේ පෙළගැසෙමින් තිබිණි. 

අතීතයේ දවසක මට්ටක්කුලියේ හමු වූ මඩකලපුවේ වැන්දඹු අම්මලාද, ළක්‍රිවී වැඩවලට ආ මන්නාරමේ, වව්නියාවේ නෙදන්කර්නි, යාපනේ තරුණ තරුණියන් සහ දූ දරුවන්ද, කයිට්ස් දූ දරුවන්ද, වලෙයිපාඩු තරුණ පිරිසද, ආනවිළුන්දාන් වැන්දඹු අම්මලා සහ දරුවන්ද, කේපාපිලව් හමුදා කඳවුර ඉදිරිපිට කූඩාරම් ගසාගෙන තම ඉඩම් හිමිකම ඉල්ලා සිටින මිනිසුන්ද, තේ වතුවල හමු වූ දිළිඳු අසරණ මිනිසුන්ද... ඒ මුහුණු මේ රටේ අසරණ වූ ලක්ෂ සංඛ්‍යාත ජනකායකින් මට හමුවූ සිය ගණනක් පමණි.

ඒ ඇස් - මා ඇස්, ඉස්, මස් කළඹමින් තිබිණි. නිමාවූයේ තුන්දෙනෙකුගේ කතාවක් පමණක් නොවන බව හොඳින්ම දනිමි. එය අතීතයේ කතාවක් පමණක්ද නොවේ. වර්තමාන කතාවද, අනාගත කතාවද එයම වන බව සිතන්නට සිදුවීමත් වේදනාවකි. අප මහන්සි විය යුත්තේ ඒ කතාව වෙනස් කරන්නටය. වෛරයේ, ද්වේශයේ, ආත්මාර්ථයේ කතාව වෙනුවට එකිනෙකා තේරුම්ගැනීමේ, පිළිගැනීමේ ආදරයේ කතාවක් බවට පත්වීමටය. 

‘‘අපට අපේ කතාව කියාගන්න විදියක් නෑ...‘‘

‘‘අපට කියන්න කතා සියදාස් ගාණක් තියෙනවා. අපට අපේ කතාව කියාගන්න විදියක් නෑ‘‘ කියා පළමුව දිගහැරුණු ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ ‘ඇය‘ කතාවේ කේසා හඳගමට කියද්දී එවන් කතා කොතරම් නම් මා ඇසුවේදැයි සිහිපත් විණි. ‘‘අපි උන්නෙ දෙමටගොඩ සමන්තා එක ළඟ. තාමත් අපේ අය ඒ අහළ ඇති. දුවේ හොයල බලනවද?‘‘ ආනවිළුන්දාන් බලාපොරොත්තුවේ නිවහනේ වැන්දඹු අම්මලා 107 දෙනෙකුගෙන් ඒ කතාව කීවේ එක අම්මා කෙනෙකි. ඒත් එදා මට ඇයට හරිහමන් පිළිතුරක් දෙන්නට ඉඩක් නොලැබිණි. ඒ වේදනාව තාමත් මා පාරවයි. මෙවන් ගමන්වලදී හමුවුණු බොහෝ වියපත් අම්මාවරුන් කී කතාවල මහා පොදු සාධකයක් තිබිණි. ඒ 83 කලබල හමුවේ දකුණේ කොහේ හෝ තැනකින් ඔවුන් උතුරුකරයට පිටුවහල් කර දැමූ බවකි.  

ඒ අම්මලාට වගේම සෑම දමිළයකුටම කියන්නට කතාවක් ඇති බව නිසැකය. ගැටලුව ඇත්තේ ඒවා අසන්නට අප සූදානම්ද යන්නය. ඔවුනට කියන්නට ඇති කතාවලින් නවකතා, කෙටිකතා, කවි සිය දහස් ගණනක් ලියනු හැකි. චිත්‍රපට සියදහස් ගණනක් තනනු හැකි. නමුත් එය තේරුම් ගන්නට අපට හැකි වනු ඇත්ද? අප ඒ කතාව තේරුම් ගනු ඇත්ද? ඔවුන්ගේ කතාව කියන්නට ඉඩ සාදාදීම අපගේ වගකීමකි. යුතුකමකි. එය පිළිගන්නට, දරාගන්නට, තේරුම් ගන්නට අපේ හදවත් විවෘත කරගත යුතුය. ඒ වගේම අපේ කතාවත් ඔවුන් හා බෙදා හදා ගත යුතුය. දේශපාලකයන් ලංසු තබන්නේ ඔවුන්ගේ අසරණ ජීවිත පමණක්ම නොවන බව අපේ කතාවලින් ඔවුන්ටද වැටහෙනු ඇත. ඉදින් අප එක්ව කළ යුතු අරගලයක් මිස බෙදී වෙන්ව ඇණකොටා ගැනීමෙන් සිදුවන සෙතක් නැති බව ඔවුන්ද, අපද වටහා ගත යුතුව ඇත. 

‘‘ඔයාල ආයෙම එන්න. බලන්න යුද්දෙ ඉවර වෙලා අවුරුදු පහක් ගත වෙලත් මේ අම්මලගෙ ඇස්වලින් තාමත් කඳුළු ගලන හැටි. ආධාර අරන් එනවට වඩා වැදගත් මේ විදියට ඇවිත් හැම අම්ම කෙනෙක් එක්කම කතා කරන එක. මේ මිනිස්සුන්ගෙ පපුවල කොයි තරම් දුක් කන්දක් හිර වෙලා තියෙනවද? ඒවට ඇහුම්කන් දෙන්න, කතා කරන්න, හිත් සුවපත් කරන්න.. ඒක තමයි වැදගත්ම දේ...” නැවත එන්නැයි අපට ඇරයුම් කළේ ඒ නිවහනේ බලාපොරොත්තු දල්වන්නාවූ පැවිදි සොයුරියයි. ඒ 2014 වසරේ අත්දැකීමකි.

‘‘එළාර කියන්නෙ නරක වචනයක්‘‘

විමුක්ති ජයසුන්දරගේ ‘‘ඔහු‘‘ කතාවේ තමන්ගේ පෙර ආත්මය කතා කරන දරුවා ලාංකේය සිංහල බෞද්ධ උත්තමවාදයට පතිතකරන්නේ දරුණු අකුණු පහරක් නොවේද? සිංහල බෞද්ධ මවක කුසින් උපත ලදද ඔහු කතා කරන පෙරභවය උතුරේ සන්නද්ධ අරගලයට එක් වූ තරුණයකු ගැන කතාවකි. අපි මරාගන්නේ ජාතිය, ආගම ඉස්සර කරගනිමිනි. නමුත් ඇත්තටම ධාර්මිකව ජීවිතය දෙස බලන්නේ නම් එකිනෙකා සහෝදරත්වයෙන් වැළඳගනු මිස මරාගන්නට ඉඩක් ඇත්ද?

ජාතිය ගැන වගක් නැති දෙමළ බස කතා කරන සිංහල දරුවන් කල්පිටියේදීත්, එළුවන්කුලමේදීත් මට හමු වී ඇත. ඔවුන් සිංහලය. නමුත් ගයන්නේ දෙමළ ගීතය. කතා කරන්නේ දෙමළෙනි. චිත්‍රපටය තුළ සිටින සිංහල භාෂාව හා සාහිත්‍යය උගන්වන්නට කල්පිටියට යන තරුණ සිංහල ගුරුවරයාට අග මුල පටලැවෙන්නේ එබැවිනි. කොතරම් මනුස්සකමින් පිරුණු හදක් තිබුණද උගන්වන්නට සිදුවන්නේ දෙමළුන්, මුස්ලිමුන් නැති ඉතිහාසයකි. සාහිත්‍යයකි. ‘එළාර‘ නරක වචනයකැයි කියා ඔහුට කෑ ගාන්නට සිදුවන්නේ එබැවිනි. ඔඩු දුවා වණ වූ මේ වාර්ගික තුවාලය හදන්නටත්, එය සුවපත් වන මං වසා දමන්නටත් අපගේ අධ්‍යාපන රටාව කොතරම් බලපෑමක් සිදුකර ඇත්ද?

‘‘අපි උපන්දා ඉඳල එක ගෙයි උන්න සහෝදරයො වගේ. ඔයාල ඒ තමන්ගෙ සහෝදරයා එක්ක එක බිම බෙදාගන්න බෑ කියල ඒ සහෝදරයට ගහල, මරල නැති කරල දැම්මා. අපි දැන් නැත්තටම නැති වෙලා ඉවරයි. අපට තවත් නැතිවෙන්න දෙයක් නෑ. ඒත් ඔයාල මේ දෙමලව නැති කරල බේරගත්ත රට දැන් චීන්නුන්ට සින්නක්කර විකුණද්දි බලාඉන්නෙ කොහොමද? වරාය නගරය හදන්න රට මැද මහ ගල් පර්වත කඩනවා. රට වටේ මුහුදු වෙරළ හෝටල්වලට විකුණනවා. දූපත් බදු දෙනවා. පරිසරය විනාශ කරනවා. දෙමළට ගහල බේරගත්ත රට මේ විදියට විනාශ වෙලා යද්දි ඔයාල මොනවත්ම නොකරන්නෙ ඇයි?‘‘

දිනක් අපෙන් එලෙස ඇසුයේ උතුරුකරයේ දමිළ පියතුමෙකි. අපට කට උත්තර නැති විය.

‘‘ඔයාල තේරුම් ගන්නවනම් මගේ වයස තරම් දිගට ඇදෙන යුද්දයක් ඇතිවෙයිද?‘‘

අම්මලාට දරුවන් අහිමි වීම, දරුවන්ට දෙමව්පියන් අහිමිවීම තරම් අහිමිවීමක් තවත් ඇත්ද? හඳගමගේ ‘‘අනෙකා‘‘ අපෙන් විමසනුයේ අම්මා කෙනෙකුගේ ඇස්වලින් ගලා යන කඳුළුවලට අපි අරුතක් එක්කරන්නේ කවදාද යන්නයි. අතුරුදන් වූ තම පුතා සොයා කොළඹට එන අම්මාත්, සැමියා පිළිබඳ සත්‍යය සොයා එන වැන්දඹු තරුණ කාන්තාවත් අගනුවරදී මුහුණ දෙන අත්දැකීම් අප තේරුම් ගන්නේ කෙසේද? අපට ඇත්තේ මළ මිනී ගණන් කර, ඉලක්කම් සන්සන්දනය කර සතුටු වූ අතීතයකි. කැබිතිගොල්ලෑව, බුත්තල, කොළඹ බස් බෝම්බ ගැන කතා කරන අපට එවැනි බෝම්බ සිය ගණනක්, උණ්ඩ දසදහස් ගණනක් එකදිනකදී උතුරට වැටුණු  බව අමතක වේ. අහිමි වීම උතුරට වුවද, දකුණට වුවද වේදනාව එකමය. අප ඒ වේදනාවට සංවේදීවන්නේ කවදාද? 

‘‘අපිට අපේ දරුවො ඉන්නවද? නැද්ද කියල විතරක් කියන්න. ඉන්නවනම් එක පාරක් අපට බලන්න දෙන්න.‘‘ උතුරෙන් ආ අම්මා කෙනෙකු දරුවකුගේ පින්තූරයක් අත තියාගෙන කඳුළු පුරවන් කී කතාව අදත් මා පාරවයි. වව්නියාවේ අට්ටාලයක නැගී අතුරුදහන් වූ තම ආදරණීයයන් ඉල්ලා සත්‍යග්‍රහයක උන් පිරිස අතර එක් අම්මා කෙනෙකි. ඒ අම්මා අත වූයේ පසුගිය ජනාධිපතිවරණ සමයේ වත්මන් ජනාධිපතිවරයා පාසල් දැරියන් පිරිසක් වට කොටගෙන ඉන්නා ඡායාරූපයකි. එහි ඉන්නා දැරිය තමාගේම යැයි ඇය පවසයි. නමුත් එය එසේ නම් දැරිය සොයා දෙන්නට හෝ ඒ ඇය නොවන බව තහවුරු කොට ඇගේ හිත හදන්නට හෝ කාටවත්ම උවමනාවක් නැත. අදටත් ඇගේ ප්‍රශ්නය විසඳුණාදැයි මම නොදනිමි. 

අම්මලා තරම් උහුළන පිරිසක් තවත් ඇත්ද? අසූ අට, අසූනවයෙ මරාදැමුණූ දූ පුතුන් කාටත් අමතකව යන පසුබිමක අම්මලා තාමත් හඬා වැළපෙති. උතුරු නැගෙනහිරද එසේමය. අම්මලාගේ ඇස්වල ඇත්තේ කවදාවත් නොසිඳෙන කඳුළු උල්පත්ය. දකුණය, උතුරය කියා එහි වෙනසක් නැත. අදත් ඔවුන් තම දරුවන් සොයමින්, ඉල්ලමින් රට වටේ ඇවිදින්නේ එබැවිනි. හඳගමගේ චිත්‍රපටයේ අතුරුදහන් වූ තම පුතා සොයා යන අම්මා වැනි අම්මාවරුන් සැබවින්ම මට හමු වී ඇත. තවමත් ඒ අම්මලා අට්ටාල මත නැග උපවාස කරති. කියනා කියනා පමාවට කොළඹ දිව එති. කොටුව දුම්රියපළ ඉදිරිපිට බැනර් අල්ලාගෙන වාඩි වී හිඳිති. සියල්ල අත්හැරී ගියද සිය දරුවන් දෑහින් දකිනා බලාපොරොත්තුව අත්හැර ගන්නට අම්මලාට නොහැකිය. යුද්දය පිරිමින්ට ආඩම්බරයකි. නමුත් ගැහැනුන්ට සහ දරුවන්ට එය වධ බන්ධනයක්, දරුණු වධ ගාවිනාවක් වන්නේ එලෙසිනි.  

‘‘ඇය, ඔහු සහ අනෙකා‘‘ ගේ කතාව අපි නැරඹිය යුත්තේ හඳගම කියන්නාක් මෙන් අපේ රටේ සංහිඳියාව ඇණ හිටින තැන හඳුනාගැනීමටය. යුද උන්මාදය, ජාතිවාදය විසින් කප්පාදු කර දැමූ සංවේදී නහර පුබුදුවා ගැනීමට නම් අප ඔවුන්ගේ කතාව ඇසිය යුතුය. දැකිය යුතුය. ‘‘අනෙකා‘‘හි වැන්දඹු තරුණිය ත්‍රීරෝද රථයේ රියදුරුගේ දුරකථන ඇමතුම නොසලකා හැරියා සේ ඉතා රළු ලෙස දමිළ සමාජයෙන් අප නොතකා හරින අවස්ථාද ඇත. 

මම එවැනි අත්දැකීම්වලටද මුහුණ දී ඇත්තෙමි.  ඔවුන් විඳ ඇති දුක්වේදනා දකින විට පුදුම විය යුත්තේ එසේ නොවන්නේ නම් පමණකැයි මම සිතමි. නිදහස, අභිමානය, ආරක්ෂාව, ජීවන අපේක්ෂාවන් බිඳී වැනසී යෑමේ ඛේදනීය විලාපය විටෙක වියළි බවින්ද, තවවත් විටක මුරණ්ඩුබවකින්ද, ද්වේශයකින්ද, තවත් විටක තෙතබරිත බවින්ද ඒ මුහුණු මත ඇඳී ඇත.  එබඳු අවස්ථාවල සමාව ඉල්ලන්නටද, ආදරෙන් වැළඳගන්නටද නොපැකිළෙමි. නමුත් බොහෝවර මට හමු වී ඇත්තේ සාමය සහ නිදහස වෙනුවෙන් දෑත් දිගුකරන අපේක්ෂාවෙන් පිරුණු ආදරවන්ත මුහුණුය. 

හදවත් විවෘත කිරීමේ යතුර ඇත්තේ තේරුම් ගැනීම තුළය. ආදරය තුළය. ඉනික්බිතිව අපට බොහෝ දේ කළ හැකිය. නමුත් අනතුර ඇත්තේ අපගේ ආදරයේ බලයට වඩා මේ සමාජය වෙළා පවත්නා බල තණ්හාවේ සහ අන්තවාදයේ බලය ප්‍රබල වීම තුළය. සැබවින්ම මනුෂ්‍යත්වය ඇත්තේ බරපතල අනතුරකය. ඒ අනතුර අපට සම්මුඛ වන මොහොත මෙම තුන් ඈඳුතු කතා අපට සිහිපත් කර දෙයි.



Friday, June 8, 2018

එය වේදනාකාරීයි තමයි ඇත්තටම....


Her, Him, The other පූර්ව ප්‍රචාරක දැන්වීමක්...

ප්‍රසන්න විතානගේ, විමුක්ති ජයසුන්දර, අශෝක හඳගම ත්‍රිමූර්තිය විසින් නිර්මාණය කළ ‘‘තුන්දෙනෙක්‘‘ මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයේ ප්‍රදර්ශනය වූ දා අශෝක හඳගම කථා කළ අවස්ථාව...

..........

‘‘අපි යුද්දය මොකුත් සිද්ද නොවුණා සේ අමතක කරන්න හදනවා. එහෙම යුද්දයක් තිබුණෙ නෑ වගේ ඉන්න හදනවා. හැබැයි ඒ අමතක කිරීම් ඇතුළෙ, යටකිරීම් ඇතුළෙ අපි විශාල ගිනි පුපුරක් යට කරනවා. ඒ ගිනි පුපුර නිවල දාන්නෙ නැතුව යටකරල දානවා. ඒක තමයි ඇත්තටම අපි පහුගිය කාලෙ අත්වින්දෙ. යුද්දෙ ඉවරවෙලා දශකයක් ගෙවෙන්නත් කළින්, ඒ යුද්දය පටන්ගත්ත මූලික ආකෘතියෙ ගැටුම් ටිකක් මේ රටේ නිර්මාණය වුණා. අම්පාර, තෙල්දෙණිය. යටගැසීමේ ප්‍රතිඵලය තමයි ඒ.
උදාහරණයක් හැටියට යුද්දෙ ඉවරවෙලා දැන් අවුරුදු දහයක්. තව දහයක් යන්න ඕන නෑ, පහක් ගියාම යුද්දයේ අත්දැකීම් නැති, පොඩ්ඩක්වත් අත්දැකීම් නැති තරුණ පරම්පරාවක් මේ රටේ ඉන්නවා. යුද්දය කියන්නෙ එක්තරා හේතුවක ඵලයක් විතරනෙ. මේ ඵලය තමයි කඩල දාලා තියෙන්නේ. නමුත් ගහ එහෙම්මම තියෙනවා. ඒ ගහ ගළවල දැම්මෙ නැත්නම් මේ ඵල නැවත නැවත හට ගැනීමට නියමිතයි.

ඇත්තටම මේ චිත්‍රපටිය සංහිඳියාව පිළිබඳ චිත්‍රපටයක් නෙවෙයි. සංහිඳියාව මේ රටට ඇවිල්ල තියෙනවා අපි හැමෝම අත්වැල් බැඳගෙන ඉම්මු කියන පණිවිඩය ගේන චිත්‍රපටයක් නෙවෙයි. මේ චිත්‍රපටය මේ රටේ සංහිඳියාව ඇණ හිටින තැන ප්‍රශ්න කරන චිත්‍රපටයක්. ඇයි අපිට සංහිඳියාව ඇතිකරගන්න බැරි වෙලා තියෙන්නෙ කියන ප්‍රශ්නය එකක්. අනෙකාව තේරුම් නොගන්නා තාක්කල් මේ විදියට ප්‍රශ්නය ජයගන්න හම්බවෙන්නෙ නෑ. මේ චිත්‍රපටය හරහා අපි ප්‍රශ්නය යට ගහන්න නොදී ප්‍රශ්නය අභිමුඛ වෙන්න අරිනවා. එතකොට එය වේදනාකාරීයි තමයි ඇත්තටම. වේදනකාරීයි තමයි, ඒ තුවාලය පෑරෙනවා තමයි. නමුත් පාරල තමයි හොඳ කරන්න වෙන්නේ. පාරල හොඳ කළේ නැත්නම් ඒක යටින් කුණු වෙනවා. ඊට වඩා දරුණු ව්‍යාධියක් විදියට තමයි ඊට පස්සෙ එන්නෙ. ඒ නිසා තමයි අපි මේ චිත්‍රපටිය මේ විදියට කළේ.

ප්‍රසන්න විතානගේ, විමුක්ති ජයසුන්දර, අශෝක හඳගම 

ඔයගොල්ලො දන්නව ඇති, අපි විමුක්ති, මම සහ ප්‍රසන්න යුද්ද කාලෙදිත් යුද්දයේ තියෙන ආදීනව මොනවද, යුද්දය ගමේ වටිනාකම්, ජීවිතවල වටිනාකම් වෙනස් කරපු විදිය ගැන චිත්‍රපටි කරපු කට්ටිය. ඒ හින්දා අපි දේශදෝහීන්, ජාතිද්‍රෝහීන් විදියට විශාල චෝදනාවලට ලක්වෙච්ච කට්ටිය. එහෙම වෙලා තමයි හිටියෙ. යුද්දය ඉවරවුණාට පස්සෙත් අපිට කියන්න කතාවක් තියෙනවා. යුද්දය ඉවරවුණාට යුද්දය අපි දිනල නෙවෙයි ඉවර වෙලා තියෙන්නෙ. පිටිපස්සෙ සහෝදරයා කිව්වා අපිට යුද්දය විසින් අහිමිකිරීම් ගොඩක් හිමිකරල තියෙනවා කියල. අහිමිකිරීම තමයි අපිට හිමිවෙලා තියෙන්නෙ. වෙන මොකුත් අපි දිනාගත්ත දෙයක් නෑ. ඉගෙනගත්ත පාඩමක් නෑ. ඒ පාඩම ඉගෙනගන්න තමයි මේ චිත්‍රපටි කරන්නෙ.

තව සහෝදරයෙක් ඇහුවා ජාතිවාදය පිළිබඳ පාඩම, සිංහල අධිපතිවාදය පිළිබඳ පාඩම අපිට කියල දෙනවා කිව්වා. මං ඒ ගැන වැඩිය විස්තර කරන්න යන්නෙ නෑ, විමුක්තිගෙ චිත්‍රපටියෙ ඇතුළෙ එන්නෙ ඒ කතාව විමුක්ති ඒ ගැන කතා කරයි. විමුක්තිගෙ චිත්‍රපටයෙ එනවා කොහොමද භාෂාව ඉගෙනගන්න ව්‍යාපෘතියක් ඇතුළෙ සිංහල උත්තමවාදය කියන එක උගන්නන්නෙ. ළමයෙක්ගෙ මනසට දාන්නෙ කියන එක. ඒ චිත්‍රපටය ඇතුළෙ තියෙන්නෙ ඒක. අපේ හෘද සාක්ෂිය පිළිබඳ අපි කාටත් තියෙනවා ගැටලුවක්.

ප්‍රසන්න තමන්ගෙ චිත්‍රපටිය ඇතුළෙ නගන ප්‍රශ්නය ඒක. අපේ හෘද සාක්ෂියට විවෘත වෙන්න ඉඩදෙන එක. අපේ හෘද සාක්ෂියට කතා කරන්න ඉඩදෙන එක. අපි කොහොමහරි චිත්‍රපටි හදමින් අපට දැනෙන දේ කියනවා. නමුත් දෙමළ ජනතාවට අවස්ථාවක් ලැබිල තියෙනවද, දෙමළ සිනමාකරුවන්ට අවස්ථාවක් ලැබිල තියෙනවද තමන්ගේ පැත්තෙන් තමන්ගේ දේ කියන්න. මේ සිංහල සමාජයට කියන්න. එහෙම අවස්ථාවක් ලැබිල නෑ. එහෙම වෙනවනම් ඒක අපි පිළිගන්න සූදානමකුත් නෑ. දැන් අපේ වීරයොයි ඒගොල්ලන්ගෙ වීරයොයි අපට දෙන්නෙක්. අපේ වීරයා සමරන්න පුළුවන්, ඒගොල්ලන්ගෙ වීරයා සමරන්න බෑ. එහෙමනෙ දැන් මේ රටේ තියෙන්නෙ. ඒගොල්ලන්ගෙ දේ ප්‍රකාශ කරන්න ගත්තම අපි කොච්චර සූදානම්ද මේ ප්‍රකාශනයට ඇහුම්කන් දෙන්න. තියන ගැටලුව ඒක. ඒ නිසා ඒ සමාජයෙන් ඒ කතාව ඇවිල්ල නැහැ. අපි තමයි ඔවුන්ගෙ කතාව කියන්නෙ. ඒත් අපි නෙවෙයි කියන්න ඕන එයාල. ඒගොල්ලන්ට ඒ අවස්ථාව දෙන්න ඕන. ඒක දීල තියෙනවද කියන ගැටලුව අපිට තියෙනවා.‘‘

Her චිත්‍රපටයේ හඳගම සහ කේසා යශෝ සොයා යන ගමනේ දර්ශනයක් 


Him චිත්‍රපටයේ එල්ටීටීඊ සාමාජිකයකුගේ පෙරභවය ගැන කියන දරුවා... 

The Other චිත්‍රපටයේ අතුරුදහන් වූවන් පිළිබඳ සත්‍යය සොයා කොළඹට ආ දමිළ වැන්දඹු තරුණ කාන්තාව සහ දමිළ මව පොලිසියේ සිටින රූප රාමුවක්.... 


      

Monday, April 23, 2018

මා දුටු වෛෂ්ණාවී...




තමන් ආදරය කරන අය වෙනුවෙන්, ඔවුන්ගේ ජීවිතයේ වැදගත් මොහොතකදී වටිනාම දෙයක් තිළිණ කරන්නට ඇත්නම් අප එය මහත් සතුටින් ඉටුකරන බවට සැකයක් නැත. 

සුමිත්‍රා පීරිස්ගේ ‘‘වෛෂ්ණාවී‘‘ මා දුටුවේ එවන් සුන්දර තිළිණයක් ලෙසිනි. ‘‘වෛෂ්ණාවී‘‘ පිළිබඳ ඍණාත්මක ප්‍රතිචාර දක්නට ලැබුණත් මා එය නැරඹිය යුතුම යැයි සිතූයේ ඇත්තටම ඒ ප්‍රවීණ කලාකරුවන් දෙපළ ලෙස්ටර්ටත්, සුමිත්‍රාටත්, ඔවුන්ගේ දීර්ඝකාලීනව ජීවිතය බෙදාගන්නා ප්‍රේම චාරිකාවටත් දක්වන ආදරයේ සහ ගෞරවයේ සංකේතයක් ලෙසිනි.  
පෞද්ගලික හැඟීම් එබඳු වුව,

‘‘වෛෂ්ණාවී‘‘ සාමාන්‍ය ගම කතාවකින් එහා යා නොහැකිව අතරමංවූ සිනමා කෘතියකැයි සිතේ. මනුෂ්‍ය භාවයන්ගේ සංකීර්ණ බව, විශේෂයෙන් ස්ත්‍රී හදවතේ ගැටීම්, මනුෂ්‍ය බැඳීම් සහ ඒ හරහා ඇති වන ගැටීම් ප්‍රබලව කියා පෑ හැකි කතා සංකල්පයක් තෝරා ගෙන තිබුණද, චරිත, දෙබස්, සිදුවීම් හරහා එම ප්‍රබල බව ගැඹුරින් නිරූපණය කරන්නට සිනමා කෘතිය අපොහොසත් වී ඇත. වෛෂ්ණාවී සාමාන්‍ය ගම කතාවකින් එහා නොයන්නේ යැයි මා කියන්නේ එබැවිනි.

පාරම්පරික රූකඩ ශිල්පියකු වන ඔසඳා දේවතාවියක පවා ආකර්ෂණය කරගන්නට සමත් ප්‍රබල පුරුෂයෙකිය යන්න විශ්වසනීයව ගොඩනගන රූප රාමුවක් චිත්‍රපටයෙන් උකහාගැනීම අසීරුය. ඔහු පළමු වරට බැහැදකින මනමාලිය කෙරෙහි ප්‍රේමයෙන් බැඳීම මෙන්ම එය අහිමි වීම නිසා ජීවිතය නැති කරගන්නට තරම් බිඳ වැටීමද තරමක ඇදහිය නොහැකි දෙයකි. ඒ අතර ඔසඳා කැටයම් කරන ලද දැවමය කාන්තා රුව රුක් දේවතාවියක බවට පරිවර්තනය වීමද, ඇය නිසා ඇති වන ගැටලුද ගොඩනැගෙන්නේ මතුපිටින් පමණි.

දේවතාවියගේ උදහසට පාත්‍ර වන්නට තරම් ඔසඳාගේ නෑනණ්ඩිය වන රුචිරා ඔහු වෙත පෙම් බඳින්නේද? එබඳු ගැඹුරු ප්‍රේමයක් ඈ තුළින්ද මතු වී නොපෙනේ. ඔසඳා සහ රුක් දේවතාවිය අතර වන බැඳීම වුව ද සංකීර්ණව නිරූපණය වන්නක් නොවේ. අවසන කිසිදු ගැටුමකින් තොරවම යාතිකා මැද වන දෙව්ලිය අලුත් රුක් විමනකට ඇදී යයි. චිත්‍රපටය නිම වෙයි.  

තිර පිටපතේ කුමන දුර්වලතා තිබුණද, අධ්‍යක්ෂණය, කැමරාකරණය සහ සංස්කරණය තුළින් ඔසවා තැබිය හැකිව තිබූ ‘‘වෛෂ්ණාවී‘‘ ඒ සෑම පියවරක් තුළදීම අසාර්ථක වී ඇතැයි සිතේ. තෝරා ගෙන ඇති ගැමි පරිසරයද, ගැමි ගෙවල්ද බලා ඉන්නට ලස්සනය. එපමණකි.

‘‘වෛෂ්ණාවී‘‘ එසේ වුවද ලෙස්ටර්ට සහ සුමිත්‍රාට ආදරය නොකර ඉන්නට තරම් එය හේතුවක් නම් නොවේ.

Wednesday, June 14, 2017

සුද්දිලාගේ කතාව ‘‘28‘‘

චිත්‍රපටයේ කැඩුණු මිනී පෙට්ටි පියන අතරින් බලා ඉන්නා සුද්දී
සේමිණී ඉද්දමල්ගොඩ

ඔහු ඉන්නෙ දෝනාව ඇතුළෙ අඳුරු කුහරයක... ඔහු කියන්නෙ අබසිරි. දෝනාවට පිටින් ඇහෙන තරුණ හඬක් එකින් එක කියමින් ඉන්නෙ ගැහැනුන්ගේ මායම් 64 බව තේරුම් යන්නට වැඩි වෙලාවක් ගත වෙන්නෙ නැහැ. රාමුගත අඳුරු ගුහාවක හිරවුණු පැරණි පරම්පරාවත් පිටතින් නිදහස් අවකාශය තුළ සිටින තරුණ පරම්පරාවත් මායම් 64 න් එහාට ගැහැනිය තේරුම් ගන්න, ඇයට වටිනාකමක් දෙන්න උත්සාහයක්වත් දරන්නේ නැතිද යන පැනය මතු වෙනවා. මායම් සංවාදය අතරතුර තමයි මේ පණිවිඩය ලැබෙන්නෙ.

‘‘අන්න අරකිව මරල දාලා. මිනිය කොළඹ මහ ඉස්පිරිතාලෙලු. අඳුනගන්න උඹට එන්න කියනවා...‘‘

ගැහැනු මායම් ගැන සිනාබර සංවාදයක අතරතුර ලැබෙන ගැහැනියකගේ මරණය පිළිබඳ මේ පණිවිඩය මා තුළ දැනවූයෙ කම්පනීය හැඟීමක්...

ඔව්, මම මේ ලියමින් ඉන්නෙ 28 චිත්‍රපටය ගැන...


පවතින සමාජ ආර්ථික ක්‍රමය ඇතුළෙ හුදකලා වුණ, අවතැන් වුණ, අසරණ වුණ පුරුෂ ලෝකය ස්ත්‍රීය මත පටවන පීඩනය එක් පැත්තකිනුත්, සංස්කෘතිය සදාචාරය කරපින්නාගත්  අවිචාරවත් සමාජය ගැහැනියගේ පැවැත්ම අර්බුදයට යවන ආකාරය තවත් පැත්තකිනුත් සංවේදීව කතා කරන චිත්‍රපටයක් විදියටයි මට 28 දැනෙන්නෙ.

‘‘සුද්දිට අගෞරවයක් වෙන්න දෙන්න බෑ‘‘ ඇගේ නීත්‍යනුකූල සැමියා, පතල් කනින්නා, නූගත් මිනිසා අබසිරි වරින් වර මේ කතාව කියනවා. සමස්ත ගැහැනියට නිසි ආදරය, ගෞරවය ලැබිය යුතු බව නොවේද මේ කියැවෙන්නේ. අයිස්ක්‍රීම් වෑන් රථයේ සුද්දීගේ දේහය රැගෙන යන ගමන පුරාමත්, ඇගේ දේහය නිවසේ තැන්පත් කළ පසුවත් අබසිරි සුද්දී ගැන දක්වන්නෙ ගෞරවය මුසු වූ ආදරයක් බව දැනෙනවා. නමුත් මේ ආදරය ඇගේ රුව නිසා හටගත් ඇල්මක්ද? ඔහු ඇගේ හදවත හැඳින ගත්තාද? හැඳින ගත්තා නම් නිවස අතහැර අර දුර්ග මාවත දිගේ ඇයට නගරයටත්, ඉන් එපිට කොළඹටත් පිටමංවී යන්නට සිදුවෙනවාද?

මිය ගිය සුද්දිත් චිත්‍රපටය තුළ වරින් වර කතා කරනවා. ඇය කියනවා ‘‘මැරුණු කෙනෙකුට මිස ජීවත් වෙලා ඉන්න කෙනෙකුට තමන් ගැන ඇත්ත කතා කරන්න බෑ‘‘ කියල. කතාව ඇත්ත. විශේෂයෙන් ගැහැනියකට. ඇයට තීරණ ගන්න අයිතියක් නැහැ. ඇයට තමන්ගෙ හැඟීම් නිදහසේ ප්‍රකාශ කරන්න හිමිකමක් නැහැ. අඩුම තරමේ නිදහසේ අඬන්නවත් ගැහැනියකට ඉඩක් ලැබෙන්නෙ කලාතුරකින්.


සුද්දි වරෙක කියනවා මම අබසිරිට ආදරය කළේ වෙන කිසිම දෙයක් නිසා නෙවෙයි, මං වගේ ගෑනියෙක්ව බඳින්න ගත්ත තීරණය නිසා කියල. ඈ තුළ අබසිරි වෙනුවෙන් පැවති ආදරයේ වෙනසක් නොවුණත් ඇගේ රූපය ඇයට ගෞරවනීය සමාජ ජීවිතයකට ඉඩ නොදුන් බවයි කියවෙන්නෙ. පව්කාර ගැහැනියට ගල් ගහන්නම බලන් ඉන්න සමාජයක්. අබසිරි ඈ වෙනුවෙන් පෙනී සිටියා නම් සුද්දීට මෙවන් ඉරණමක් අත් නොවන්නටත් ඉඩතිබුණා. කොහොම වුණත්  මරණයෙන් පසු හමුවන ඇයගේ අත්බෑගයේ තවමත් ඔවුන්ගේ මගුල් පින්තූරය තියෙනවා.

සුද්දීගේ දේහය කොළඹ සිට ඇලහැර දක්වා ගෙන යන්නට සොයා ගන්නේ අයිස් ක්‍රීම් වෑන් රථයක්. හිම කිරමක මිහිර, සිහිල එක්ක දූෂණයට ලක් වී  මරා දැමුණු ගැහැනියකගේ නිසල දේහය සමපාත වෙන්නෙ කොහොමද? එතැන තියෙන්නෙ ගැඹුරු සංකේතීය අරුතක්. වෙළඳ ලෝකය තුළ අලවි කරන සුකුමාර ගැහැනිය සහ සැබෑ ගැහැනිය අතර පවතින පරස්පරය වගේ. 

ලිංගිකත්වය ගැන සාධනීය කතිකාවක් මතුකරන්න දරන වෑයමත් අගය කරන්න ඕන. සුද්දී වරෙක කියනවා 9 වසරේ ප්‍රජනනය පාඩම ඉගෙන ගන්න ඈ කොයිතරම් කැමැත්තෙන් උන්නද කියල. ඒත් 38 වියැතිව දූෂණයට ලක් වී මරා දැමෙන තුරුත් ඇය ඒ පාඩම ඉගෙන ගෙන නැහැ. ප්‍රේමයේ අනුරාගයේ සැබෑ ප්‍රහර්ශය අපේ ජීවිතවලින් කොයි තරම් ඈතද කියන ගැටලුවත් සංවාද අවකාශයට අතෑරල තියෙනවා. එක් අතකින් සුද්දි ගමෙන් පිටවෙන්නෙ තමන් කිසිදාක අත්පත් කර නොගත් ලිංගිකත්වයේ ප්‍රහර්ෂය පිළිබඳ සාංකාවත් එක්ක. නමුත් කිසිදාක ඇයට ඒ අසිරිය හමුවන්නෙ නැහැ. ඒ වෙනුවට ඈ තවත් පාරට ඇද වැටුණු, අතින් අත යන ගැහැනියක් බවට පත්වෙනවා. මෙතනදි පාවුලෝගෙ මිනිත්තු එකොලහ නවකතාවේ මරියා සිහිපත් වෙනවා. මරියා දිනාගත් ප්‍රේමයේ ප්‍රහර්ශය සුද්දිට හැමදාමත් සිහිනයක්ම විතරයි.

චිත්‍රපටය දිග හැරෙන්නෙ වාර්තා චිත්‍රපටයක ස්වරූපයෙන්. කෙනෙකුට කම්මැලි හිතෙන්න පුළුවනි. නමුත් රූප රාමුවෙන් රාමුවට ඇහි පිල්ලමක පවා අර්ථ හොයන්න හදන මං වගේ ප්‍රේක්ෂිකාවකට නම් හිතන්න කාරණා ගොඩක් හමුවෙනවා. ඉහත ලියැවුණේ ඉන් අල්පයක්....

මම 28 ට කැමතියි.


චිත්‍රපටය පුරාම මට දැනුණෙ කම්පනීය හැඟුමක්. පීඩාවට පත්වෙන ගැහැනු වගේම පිරිමි ගැනත් දුකක්. සුද්දී අන්තිමේ කියනවා ‘‘පිරිමින්ට වෛර කරන්නත් එපා, එයාලත් පව්..‘‘ කියල.




Monday, July 11, 2016

චිත්තර පටි විස්තර‍




‘‘හේයි...‘‘

අන්ධකාරය මැදින් සීතල අත් දෙකක් බෙල්ලෙ වැදිල කණ ළඟම කෑමොර දෙද්දි මං උඩ ගිහින් බිම වැටුණා. ඉබේටම කෑ ගැහුණා. ඒ එක්කම පිටුපසින් ඇහුණු හිනාවත් එක්ක අපේ හිනාවත් එකතුවුණා... සිනමා ශාලාව අඳුරු වුණාට පස්සෙ දන්නෙම නැතිව ලොකු මල්ලි ඇවිත්. ඒ වෙද්දිත් උඩට කමිසයක්වත් නැතිව සරම පිටින් ටිකට් අලවි කළ වයසක මනුස්සයත්, රැවුලයි කොණ්ඩෙයි සුදට සුදේ වවන් උන්නු ටිකට් කැඩු වයසක උන්දැත් අභිරහස් මන්දිරයක සේවකයින් දෙපළක් සිහියට නැංවුවෙ. ටිකට් කැඩූ මනුස්සයා තාත්තව අඳුනගෙන, බදාගෙන සතුට ප්‍රකාශ කරල හෙම අපේ ටිකට් බලන්නෙත් නැතිවම ඇතුළට යන්න කිව්වා. 

ඒ වෙද්දිත් ඇතුළෙ උන්නෙ හතරදෙනෙක් තරම. අපි නාවනම් චිත්‍රපටිය නොපෙන්නන්නලු උන්නෙ. එහෙම කිව්වෙ තාත්තගෙ ආදිවාසී යාලුවා.
සිවිලිම වෙනුවට තැන තැන එල්ලෙන ගෝනි පඩංගු, කැඩුණු සිවිලිම් කෑලි, අබලන් විදුලි පංකා, තැන තැන කැඩුණු පුටු හෙම දැකල අනේ හපොයි කියල හිතුණා. ‘‘සර්පයොත් ඉන්නවද දන්නෑ‘‘ කියමින් අපි හැමෝම ඉස්සරහ ආසන උඩට කකුල් හෙම අරන් තිවුණු නිසාත් අර මුලින් කී ක්ෂණික කෑ ගෑමත් එක්ක ඇති වුණු බය සාධාරණයි... 

‘‘පොල්ලක් අරන්ද ආවෙ සර්පයො මරන්න“ ලොකු මල්ලිත් ආ ගමන්ම ඇහුවෙ එහෙම‍.

හරියට භුත බංගලාවක ඉඳන් සුරංගනා කතාවක් දකිනවා වගේ අත්දැකීමක්.

හඳගම ල, ප්‍රසන්න විතානගේල, ප්‍රියන්ත කොළඹගේලා ඇතුළු අධ්‍යක්ෂවරු,සේපාල් අමරසිංහලා, චින්තන ධර්මදාසලා, ගාමිණි වේරගමලා වගේ චිත්‍රපට විචාරකයො, නළු නිළියො, අපි වගේ ප්‍රේක්ෂකයො මේ හැමෝම එකතු වෙලා රජයට, පෞද්ගලික අංශයට බලපෑමක් කරලා නගරයකට එක හොඳ සිනමා ශාලාවක්වත් හදන්න පුලුවනි නම්...?????

............

අපේ අම්මයි, තාත්තයි චිත්‍රපටි පිස්සො. තරුණ කාලෙ ටවුන් එකට ආව එක චිත්‍රපටියක්වත් අතෑරුණෙ නැහැ කියලයි කියන්නෙ. කොලු කෙලි නඩ කාණ්ඩ ගැහිල චිත්‍රපටි බලන්න ටවුමට පයින්මත් ගියාලු. 

පුංචි කාලෙ අම්ම, තාත්ත එක්ක චිත්‍රපටි බලන්න ගියා මටත් යාම්තමට මතකයි. ‘‘සැලී“ බලන්න යද්දි මම ගොඩක් පුංචියිලු. හෝල් එක කලුවර වුණාම මං කොයිතරම් ඇඬුවද කියනවනම් ආසන තීරු දෙකක් අතර බිම වාඩිවෙලා කකුල් දෙකේ තියල නැළෙව්වත් ඇඬිල්ල නැවතුණේ නැතිලු. ඉන්පස්සෙ තාත්තා අම්මවයි, මාවයි ළඟ අඳුනන කඩේක තියල එයා ගිහින් චිත්‍රපටිය බලල ආවලු. ඔය කතාව අපේ ගෙදර අතීත රසකතා ගොන්නෙන් එකක්.

කැලෑ කෙල්ල, දිනුම, නොම්මර 17 වගේ චිත්‍රපටි හෝල් එකේ බැලූ මතකයන් හිතේ තැන්පත් වෙලා තියෙනවා. සමහර චිත්‍රපටි දර්ශන හිතේ ඇඳිල තියෙනවා. චිත්‍රපටියෙ නම මතකෙට එන්නෙම නැහැ. සසර චේතනා බලන්න ගිහින් ඉඩ නැතිව මහා ගාලගෝට්ටියක් වුණා. වහල තිබුණු යකඩ ගේට්ටුවලින් ඇතුළට යන්න සෙනග පොරකෑවා. ඒ සෙනග මැද්දෙන් මාව ඇතුළට අරන් ගියේ හිරවෙන්නෙ නැතිව උඩට උස්සගෙන අතින් අතට මාරු කරල කියල මතකයි. ඒ දවස්වල කොහොමත් ටිකට් ගන්න දිග පෝලිමක් තිබුණා. ගැලරිය පිරෙන්නත් සෙනඟ උන්නා. දැන් වගේ හෝල් පාළුවෙලා තිබුණෙ නම් නැහැ. 

ටිකෙන් ටික අපි උස්මහත් වෙද්දි චිත්‍රපටි බලන්න ආර්ථික හයියක් වත්, උවමනාවක්වත් අම්මටයි තාත්තටයි තිබුණෙ නැහැ. අන්තිමේ හෝල් එකට ගිහින් චිත්‍රපටි බැලුවද කියල මතකයක්වත් නැති තරමට ම ඒ සංස්කෘතිය අපේ වැඩිහිටි පරපුරෙන් ඈත් වුණා. අගනුවර ඉඳන් චිත්‍රපටියක් බලන හැම වතාවකම අම්මල, තාත්තලට ඒ මගහැරුණු අවස්ථාව යළි ලබා දීමේ උවමනාව මට ඇති වෙනවා. හොඳ චිත්‍රපටි බලන්න අපේ දරු පරපුර හුරු කරවීමේ උවමනාවත් දැනෙනවා.
ඒ නිසා මං අපේ කට්ටියව උනන්දු කරගෙන චිත්‍රපටි බලන්න යන්නත්, හොඳ චිත්‍රපටි අරන් ගිහින් පොඩි අයට පෙන්නන්නත් පොඩි පොඩි වැඩ ටිකක් කරනවා. ඒව හරි සාර්ථක සුන්දර අත්දැකීම්.

හොඳ ළමා චිත්‍රපටි අරන් ගිහින් වටේ පිටේ පොඩි උන් ටිකත් එකතු කරලා බලන්න දෙන එක, එක වැඩක්. මේ වෙද්දි මජීද් මජීදිගෙ චිත්‍රපට කිහිපයක්, හෙයිඩි, ඔෂින් වගේ චිත්‍රපටි, කාටුන් චිත්‍රපටි මමත් එයාල එක්ක බලල තියෙනවා. අපේ ළමා කාලෙදි අපට එවැනි අවස්ථා ලැබුණෙ නැහැනෙ. ‘‘හෝ ගාන පොකුණ” බලන්න ඒ පැංචො ටික එක්කරන් සිනමා ශාලාවට යන්න ලැබුණු එකත් සතුටක්. ජීවිතේ පළමු වතාවට හෝල් එකකට ගිය දරුවෙකුත් එතන උන්නා. 

ඒ වගේම අම්මයි, තාත්තයි එක්කරගෙන චිත්‍රපටි බලන්න යන එකත් දැන් මගේ අලුත් වැඩක්. ඒ දෙන්නත් හරි ආශාවෙන් වැඩේට එකතු වෙන්නෙ. තව ඒකටම හරියනවා මම්මගෙ දූල දෙන්නා.  

මං දන්න කාලෙ ඉඳන් කුලියපිටියට චිත්‍රපටි ශාලා දෙකක් තිබුණා. මහලේකම් සහ ශ්‍රී මහල්. අදටත් ඒ දෙකම තියෙනවා. ලක්බිම කියල අලුත් එකකුත් තියෙනවා. නමුත් මේ එකම ශාලාවක්වත් චිත්‍රපටියක් නැරඹීමේ පූර්ණ වින්දනය ලබා දෙන්න සමත් නැහැ. මේ හෝල්වල ඉන්නෙත් චිත්‍රපටි ගැන මෙලෝ හසරක් නොදන්න වෙන කිසිම තැනක රස්සාවක් නොලැබෙන තාලෙ වයසක මාමල ටිකක්.

‘‘හෝ ගාන පොකුණ” බලන්න ගියාම අපූරු වැඩක් වුණා. චිත්‍රපටිය අතරමැදත් සැරින් සැරේ කට්ටිය එනවා. ටෝච් එක ගගහ ඉඩ ඇති තැන් බල බල වාඩි කරවනවා. චිත්‍රපටිය මැදදි විතර ටිකට් චෙක් කරන මනුස්සයා ඇවිත් ටෝච් එක ගගහ කට්ටිය ගණන් කරනවා. ආසන ප්‍රමාණයයි, ටිකට් ප්‍රමාණයයි අවුලක් වෙලා. හයියෝ සංසාරෙ.

පහුණු සති අන්තෙ ‘‘ආදරණීය කතාවක්” බලන්න ගියේ අම්මයි, තාත්තයි, නැන්දයි, නංගිල දෙන්නෙකුයි එක්ක. ‘‘ශ්‍රීමහල්“ සිනමා ශාලාව කොයි තරම් අබලන් තත්වයකද කියනවනම් මට පුදුම හිතුණෙ තාමත් චිත්‍රපටි පෙන්වන එක ගැන. 


‘‘නැන්දෙ, අපි චිත්‍රපටියක් බලන්න යනවා. ඔයත් එනවද?‘‘ මම ඇහුවෙ දුරකථනයෙන්.

‘‘අනේ හරි ආසයි ලොකු දුව. බලපු කාලයක් මතක නෑ. ඉන්නකො මාමගෙන් අහන්න.“ මම දුරකථනයේ ඉද්දිම නැන්දා යනවා ඇහෙනවා.

‘‘මේ....... ලොකු දුව චිත්‍රපටියක් බලන්න යන්න කතා කරනවා. මමත් යන්නද?‘‘ හා කියන්න ඇති. මට ඇහුණෙ නැහැ මාම කිව්ව දේ. 

‘‘හරි ලොකු දුව, මං ලෑස්ති වෙලා ඉන්නම්..‘‘ නැන්දා කිව්වා. හයට විතර යන්න ලෑස්ති වෙන්න කියන්න මම මම්මලගෙ ගෙදරට කතා කළා. ගත්තෙ චූටි නංගි.

‘‘කොහොමද වැඩේ හරිද?“ මං කතා කරන්නත් කළින් ඒ චූටි නංගි. 

 ‘‘බාප්පා පල්ලියට වෙලා ඉන්නවා, මම කිව්වා ඉක්මණට ගෙදර යන්න, ගමනක් යන්න ලොකු අක්කා ගෙදර එනකල් බලන් ඉන්නවා කියල..“ ඇය හිනා වෙවී කියනවා. ඔයා එක්ක යනව නම් විතරයි චිත්‍රපටියක්වත් බලන්න වෙන්නෙ. එහෙම කියමින් ‘‘ආදරණීය කතාවක්‘‘ බලන්න උනන්දු කළ අය අතර මම්මගෙ දූල දෙන්නත් උන්නා. 

ඉතින් ඒ පෙරසූදානම් වැඩත් එක්ක තමයි අවුරුදු විස්සකට විතර පස්සෙ මම ශ්‍රීමහල් එකට ගොඩවැදුණෙ. 

................

‘‘ආදරණීය කතාවක්“ බලන්න ඕන කියල යාළුවෙක් එක්ක කිව්ව වෙලාවක එයා කිව්වෙ මෙහෙම දෙයක්.

‘‘අනේ මන්දා, ඔයා මුරකමිත් කියවනවා. ගෝර්කිත් කියවනවා. පාවුලෝත් කියවනවා. මාටින් වික්‍රමසිංහත් කියවනවා. ඒ අස්සෙ සුජීව ප්‍රසන්නආරච්චිත් කියවනවා“ කියල. 

එයාට ආදරණීය කතාවක් බලන එක පෙනුණෙ බාල බොළඳ වැඩක් විදියට. චිත්‍රපටිය අතරතුර සමහර තැන්වල ඇස්වල කඳුළු පිරිලා දුකක් දැනෙද්දිත් මට යාළුවගෙ ඒ කතාව මතක් වෙලා හිනා ගියා. තාමත්  බොළඳ චිත්‍රපටියකට උණත් ඇස්වල කඳුළු උල්පත් ඇහැරවන්න පුළුවන්. මක් කරන්නද ඉතින්?



‘‘ආදරණීය කතාවක්“ අතරතුර මීළඟට එන්න නියමිත චිත්‍රපටිය විදියට ‘‘මෝටර් බයිසිකල්“ දර්ශන කිහිපයක් පෙන්නුවා. 

‘‘දැනටමත් සම්මාන දිනපු චිත්‍රපටියක්. බලන්නම ඕනි. ඒක නම් මම එහෙදි බලනවා...“ මම කිව්වා. ඉන්පස්සෙ ඒ කතාවට මෙහෙමත් කොටසක් එකතු කළා. ‘හොඳ චිත්‍රපටියක් වගේ‘ නැන්දත් මුමුණපු නිසා.

‘‘එහෙදි බලල මෙහෙදිත් බලනවා සමාජ සේවයක් විදියට..“ සභාවේ සිනා...

....................

‘‘ලොකු දුව ඔයාට පින්, චිත්‍රපටියක් බලන්න එක්කරන් ගියාට“ වාහනෙන් බැහැල යන ගමන් නැන්දා එහෙම කිව්වා. 

චිත්‍රපටි බලන එකත් පින් ලැබෙන වැඩක් කියල මං කළින් දැනන් උන්නෙ නැහැනෙ....  

 .................

අපි පත්තිනි බැලුවෙ කුලියපිටියෙ අලුත් හෝල් එක කියන ලක්බිම සිනමා ශාලාවෙ. ශබ්ද තාක්ෂණය නම් අන්තිම දුර්වලයි. දෙබස් පැහැදිලි නැහැ. එදත් සෙනසුරාදාවක් සෑහෙන සෙනගක් හිටිය නිසා අපිට එක තැන වාඩිවෙන්න ලැබුණෙ නැහැ. අම්ම කියනවලු චූටි නංගි එක්ක.

‘‘මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ චූටි දුව, හරියට ලොකු අක්කගෙ කවි පොත වගේ. ජිරි බිරි ගානවා විතරයි.‘‘