පිටු

Wednesday, May 31, 2017

සී යූ ලේටර්. බායි ෆාති...!!!


ෆාති ගැන වචනයක් නොලියා බෑ.. අද ඇය අපි හැමෝගෙන්ම සමුඅරන් යන බව දැනගන්නට ලැබුණම පුදුමාකාර දුකක් දැනුණා. ජීවිතේ කොයි තරම් අවිනිශ්චිත ද? ඩෙංගු මාරයා ඇයව අරන් ගිහින්...

මේ ලියන්නෙ බට්ටිත් එක්ක කතා කරල දුරකථනය තැබූ සැනින්. බට්ටි අඬා වැටෙන හැටි අහන් ඉන්න අමාරුයි...  ‘‘අම්ම ළඟට මට හිටියෙ ෆාති අක්කේ...‘‘ ඈ කියනවා.

පහුවුණු පොත් ප්‍රදර්ශනය දවසක  බට්ටිත්, ෆාතිත් දෙන්නම එකටමයි මාව බලන්න ආවෙ. අපි හමුවුණේ කවි කුටිය අසලදි. හයිකු කවියක් වගේ කෙටි දිවියක අවසන ඈ යන්න ගිහින්...

..........

මම වත්පොතේ අපේ කතා බහට ගිහින් බලද්දි, මම මුලින්ම ඇයට ලියල තියෙන වචන ටික හමුවුණා.

‘‘ඔයා බට්ටි කෙල්ලගෙ යාළු ෆාති නේද?‘‘ ඒ 2012.07.25

‘‘අක්ක ගැන බට්ටි නිතරම කියනවා‘‘ එයා මට එහෙම පිළිතුරු දීලා.

ෆාති ලිව්වෙ ඉංග්‍රීසියෙන්... ඒ බ්ලොග් එක Cool  ඇය කවියට ළැදියි.

..........

2012 දෙසැම්බරේ දවසක ඇය මගෙන් අහනවා මෙහෙම.

‘‘තරු අර ලෝඩ් බුද්දාගේ ට්‍රිපල් ජෙම් එකට සිංහලෙන් කියන්නෙ කොහොමද?‘‘ මම ඇයට තෙරුවන, ත්‍රිවිධ රත්නය ගැන ලියල පහදල තියෙනවා.

ඉන්පස්සෙ ඇය අහල තියෙනවා,

‘‘තව එකක් තියෙනව නේද තරූ මෙහෙම, බුදු හාමුදුරුවො ප්‍රශ්න විසඳන හැටි කියල තියෙනවනේ. ඒකෙ ස්ටෙප්ස් හතරක් තියෙනවා මට මතකයි. මුලින් ප්‍රශ්නය අඳුනගන්නවා. දෙවෙනියට ඒකට විසඳුම් හොයනවා. ඒ වගේ එකක්. මට ඒක චුට්ටක් පැහැදිලි කරන්න පුළුවන්ද?‘‘

‘‘මට හිතෙන හැටියට ඔයා අහන්නෙ චතුරාර්ය සත්‍යය ගැන.. ‘‘ මම ඇයට මා දන්නා තරමින් චතුරාර්ය සත්‍යය ගැන කරුණු ලියල තියෙනවා.

‘‘That's it Tharu. ඒක ගැන තමයි මම ඇහුවෙ‘‘

අවසානයේ මම මෙහෙම ලියනවා. ‘‘මම දන්න විදියට නම් නිවන් දකින්න නම් මේ කාරණා හතර අවබෝධ කරගෙන දුක නැතිකරගන්න ඕන. මේක හරි ගැඹුරු කාරණයක් ෆාති. මටත් තේරුම් ගන්න අමාරුයි.. මමත් කතෝලිකනේ...‘‘

‘‘ඕහ් එහෙමද?‘‘

..............

2013 අප්‍රේල් 12

මටත් වැඩ අඩු දවසක්, ඇය කියල තියෙන්නෙ කම්මැලිකමට මේ පැත්තෙ ආවා කියල.

‘‘බට්ටිත් නෑ ගමේ ගිහින්. බට්ටි නැති වුණාම හරියට දැනෙනවා මට...‘‘ ඈ ලියල තියෙනවා.

ඉතින් ෆාති අද ඔයා නොඑන්නම ගියාම බට්ටිට කොයි තරම් දැනෙනවද?

..........

2014 ජුනී

මුස්ලිම් ජනතාවට එරෙහිව ප්‍රචණ්ඩත්වය ඇවිළුණු දවස්වල... මම ඇයට ලියනවා. හොඳින්ද දැනගන්න.

‘‘මගෙ හිතත් හරි නැහැ. අද දවසම මොකක්ද වගේ. කන්නවත් බොන්නවත් හිතක් නෑ.‘‘ ඇය ලියනවා.

‘‘මට බය මාත් එක්ක හිතවත්කමින් ඉන්න යාළුවොත් වෙනස් වෙයිද කියල. ‘‘

‘‘මනුස්සකම් දන්න යාළුවො වෙනස් වෙන්නෙ නෑ නංගි.‘‘ මම එයාගෙ හිත හදනවා.

අපි මේ ආගම්වාදී, ජාතිවාදී වැඩවලට විරුද්ධව ලියමු.  අපි එදා එහෙම කතිකා කරගෙන තියෙනවා.

සේයා රුව - නයනහාරී අබේනායක
අලුත්ගම ගිනි ඇවිළීමෙන් පසු දවසක 

...........

2014 සැප්තැම්බර්

අපේ අවසන් කතා බහ. පොත් ප්‍රදර්ශනයේදී හමුවන්නට ගිවිස ගැනීම.
ඒ හමුවිම සිදුවුණා.

ඉන් එහාට අපි එෆ්බී චැට් කරල නැහැ. දවසක් දෙකක් ෆෝන් එකෙන් කතා කළා මතකයි...

‘‘හොඳයි තරූ එහෙනම් සී යූ ලේටර්. බායි‘‘ ඇය මා වෙනුවෙන් 
අවසානයට ලියල තියෙන්නෙ ඒ වචන.

එහෙනම් සී යූ ලේටර්. බායි ෆාති...!!!

ඇගේ බ්ලොග් එක මට හඳුන්වා දුන් දවසෙ මට එවූ ලින්ක් එකේ තියෙන්නෙ මේ කවිය... 

The rain has an art that I may not get,
So I stand still here and get soaking wet.

God didn't promise days without pain..,
laughter without sorrow..,
sun without rain..,
but He did promise strength for the day..!
comfort for the tears..
and light for the way..
With every raindrop..
yesterdays muck..
get washed away!
revealing something new..!!
so, let's we love..,
Stained in the rain..,
Whisper in the rain..,
Cry in the rain..,
Dance in the rain..,
Sing in the rain..,
Scream in the rain..,
Live in the rain..,
Die in the rain..!




Thursday, May 25, 2017

ජපානයේ ගොවි නිවසක දවසක්

ගොවි නිවසේ තිබු සාම්ප්‍රදායික කිමෝනාව ඇඳි ජපන් ළඳකගේ චිත්‍රයක්

ජපානයෙදි මං දැක්ක විශේෂත්වයක් තමයි ගමේ ගොවි, ගෙවිළියන්ගේ සමිති සමාගම්වල ඉඳල පාසල්, රාජ්‍ය ආයතන, රාජ්‍ය නොවන සංවිධාන, විශ්වවිද්‍යාල අතර තියෙන අනෝන්‍ය සම්බන්ධතා. මේ හැම දෙයක්ම එකිනෙකට සම්බන්ධ කරන ප්‍රමුඛ මැදිහත්කරුවෙක් විදියට JA -  Japan Agricultural Cooperatives ජපන් කෘෂි සමූපකාර ජාලය  විශිෂ්ට කාර්යභාරයක් ඉටුකරනවා. මේ කෘෂි සහයෝගිතාවට රාජ්‍ය මට්ටමින් යම් ආකාරයක ප්‍රතිපාදන සහ පහසුකම් ලැබෙනව වුණත් එහි වැඩි බරක් දරන්නෙ සාමාජිකයින් වන කෘෂිකාර්මික ප්‍රජාව. මුදලින් වගේම ශ්‍රමයෙන්. ඔවුන් පෞද්ගලිකව වගේම කණ්ඩායම් විදියටත් JA සමග සම්බන්ධයි. එයින් දැනුම, පුහුණුව ලබා දෙනව වගේම යම් ප්‍රාග්ධන අවශ්‍යතා සම්පූර්ණ කරගන්නත්, වෙළඳපල ගැටලු විසඳගන්නත් උදව් වෙනවා. අතරමැදියන් නැතිව තමන්ගේ නිෂ්පාදන අලෙවි කරගන්න ගොවියන්ට පහසුකම් සලසල තියෙනවා. එයින් 10% හෝ 20% ක මුදලක් JA එකට දෙනවා. ප්‍රදේශය සහ ගොවියන්ගේ ආදායම් මට්ටම අනුව මේ ගෙවන මුදල වෙනස් වෙන බව දකින්න පුළුවන්.

අපේ ගමින් ගමට තියෙන ගොවි සමිති, සමෘද්ධි සමිති විධිමත් කරනවනම්, එය සමස්ත දිවයින ආවරණය වෙන විදියට ක්‍රියාත්මක කරමින් එකම ආයතනයක් විදියට කටයුතු කරනවනම් ජපන් කෘෂි සහයෝගිතාවයෙන් ගන්න පුළුවන් පාඩම් එමටයි.

ජපානයේ ගොවි නිවසක දවසක්  

ගොවි නිවසක සංචාරක අත්දැකීමක් ලබන්නට අපිව සම්බන්ධීකරණය කළේ විශ්වවිද්‍යාලයකට සම්බන්ධ කෘෂි විද්‍යා ආයතනයක් මඟින්. කණ්ඩායම් කිහිපයකට වෙන් කළ අපේ පිරිස රැගෙන යන්න ඒ ගොවි නිවෙස්වල හිමිකරුවන් පැමිණ සිටියා. මා ඇතුළු පිරිස කැඳවාගෙන ගියේ 70 විය ඉක්මවූ ගොවි මහත්මයෙක්. ඔහුගෙ කුඩා වෑන් රියෙන්. අපි හයිඑස් නමින් හඳුන්වන වෑන් රථයක් විය යුතුයි. බොහෝ දුර බැහැර පිටිසර ගම්මානයක්. හරිත කඳුවැටි, කෙත් යායවල්, ගොවිපළවල් පසුකරගෙන පැය දෙකක පමණ ගමනක් ගියා මතකයි.

ගොවි නිවසේ දෙන්න දෙමහල්ලෝ‍ෙ

එය ජපානයේ සාම්ප්‍රදායික ගොවි නිවසක්. නිවස වටේටම තියෙන්නෙ කුඹුරු. ( ජපානයේ නගරවල පවා හැම හිස් ඉඩකම බොහොම විධිමත්ව සකසපු කුඹුරු දකින්නට ලැබෙනවා. ) නිවසේ උන්නේ ඔහුත්, ඔහුගේ බිරිඳත් පමණයි. දරුවන් රැකී රක්ෂා සමඟ ගම අත්හැර ගිහින්. හරිම ආදරවන්ත යුවළක්. අපටත් ඔවුන් ඉතාම ළෙංගතුව සැලකුවා. දරුවන්ට බරක් නොවී අමතර ආදායමක් හොයාගන්න සංචාරක ලැගුම්පල උදව්වක් වෙලා තියෙන බවයි ඒ මව්පිය යුවළ පැවසුවේ.  

ගොවි නිවසේ විසිතුරු දසුන්

නිවසේ ඉදිරිපස පෙනුම 


ආගමික පිළිවෙත් සිදුකරන ස්ථානය

ඇතකුගේ සහ ඇත් පැටවකුගේ ලී කැටයමක්

ලී කැටයමක්... 

නිවසේම එක් කොටසක් ඒ සඳහා වෙන්කර තියෙන්නෙ. සුපිරි පහසුකම් නොවුණත් ජීවිතේට වෙනස් සුවයක්, සැනසුමක් ගේන අපූරු නිස්කලංකකමක් ඒ ගම්මානයේත්, ගොවි නිවසෙත් පැතිරිලා තිබුණා. බොහෝ විට මේ අත්දැකීම විඳින්න පැමිණෙන්නේ අධ්‍යයන කණ්ඩායම් සහ නාගරික පවුල් බවයි කියැවුණේ. දුරබැහැර ගම්මානයක් නිසා විදෙස් සංචාරකයින්ගේ පැමිණීම අඩුයි. ඉතාම පිටිසර ගමක මේ ස්වයං රැකියාවට අවශ්‍ය සහයෝගය ලබාදෙන්නෙ පළාත් රජයෙන් සහ කෘෂිකර්ම සහයෝගීතාවයෙන්. ඒක තමයි විශේෂත්වය. අපේ රටවල නම් සිද්දවෙන්නෙ සහයෝගය වෙනුවට තවත් පුලුවන් නම් බදු ගහල බොහොම අමාරුවෙන් ස්වශක්තියෙන් නැගිටින මිනිස්සුන්ගෙනුත් රජයට යමක් හරිහම්බ කරගැනීමනෙ. 

සංචාරකයන් සඳහා සූදානම් කළ කුටිය 

ගොවි නිවසේ තුන්වේලටම ලබා දෙන ආහාර ඔවුන්ගේ ගොවිපළෙන් වගේම ගම්මානයෙන් ලබා ගත් දෑ. වස විස නැති, රස ගුණ පිරි විශේෂ භෝජන සංග්‍රහයක්. ඒ ආහාර වේලක් සම්පූර්ණයෙන් භුක්ති විඳල අවසන් කරන්න බැරි තරම්. ඒ හැම වෙලාවකම මට සහය වුණේ අපේ සම්බන්ධීකාරිකාව වුණ නුගී සන්. ආහාර නාස්තිය ඔවුන් කෙසේවත් අනුමත කරන්නෙ නැහැ. ඉතින් මගේ කෑම වේල අපි දෙන්නම එකතු වෙලයි අවසන් කරගත්තෙ.

උදෑසන ආහාර වේලට උදව් වන නුගී සන්

එක් අයකුට එක් වේලකට වෙන් වන ආහාර ප්‍රමාණය ගැන අදහසක් ගන්න පුළුවන් නේද? මේ සියල්ලම ගමෙන් ලබා ගත් දෑ

ගම්මානයට තරමක් දුරින් පැවති දිය ඇල්ල සංචාරක ආකර්ශණය ඇද බැඳ ගන්නා තැනක් විදියට දියුණු කරල තියෙනවා. දිය ඇල්ල ළඟට යන්න තිබුණෙ මේපල් ගස් යටින් වැටුණු කුඩා ගුරු පාරක් දිගේ. ඒ යන මඟ දෙපසත් පුංචි පුංචි නිර්මාණාත්මක දැයින් අලංකාරයක් එකතු කරන්නට මහන්සි අරන් තිබුණු බව පෙනුණා. 


දිය ඇල්ලට යන මඟ දෙපස හරිත පරිසරය


දිය ඇල්ල දක්වා යන පටු පාර අද්දර අවන්හලකට මඟ කියන්නෙ මෙහෙමයි... 



දිය ඇල්ල දුර දසුනක් ලෙස


මේපල් පත් අතරින් දිස්වන දිය ඇල්ල

ගිමන් හරින්නට තනා ඇති ගිම්හාන නිවස 

ස්වභාවයෙන්ම සංචාරක ආකර්ෂණය දිනාගත් රටක් වන අපි අපේ ඒ ස්වභාවික ලස්සන නැතිකරගනිමින් ඉන්නවා. නමුත් ජපානය පවතින සුන්දරත්වය රැකගන්නව වගේම එය වැඩිදියුණු කරනවා. පුංචිම අසිරියකින් වුණත් පරිසරයත්, ජන ජීවිතයත් ගොඩනගන්නට ලොකු වැඩක් කරන්න ඔවුන්ට හැකියි. පිළිවෙල, පිරිසිදුකම, කාර්යක්ෂමතාව, රටට වගේම පරිසරයට තියෙන ආදරය ඒ දියුණුවේ රහස් කියලයි මට හිතෙන්නෙ.

නිවස අවට කුඹුරු යායවල්... ඈත කඳුවැටි




රාත්‍රී මුර සංචාරයේ යෙදෙන ගොවි මහතා සහ බලු යාළුවා...

අපේ ගොවි සීයා ඒ දියඇල්ල බලන්න අපිව එක්කරගෙන ගියෙත් එයාගෙ පුංචි වෑන් එකෙන්. ඒ එන ගමනෙ මහා පරිමාණයෙන් සිදුකරන හතු වගාවක් බලන්නත් පුළුවන් වුණා. ඒ පැත්තෙ වී වගාවට වගේම හතු වගාවටත් විශේෂ තැනක් ලැබෙනවා. 

සංචාරක අපිට නිවසෙත්, ගොවිපළෙත් නිදහසේ සැරිසරන්න අවස්ථාව දීල ඒ දෙන්න දෙමහල්ලො එයාලගෙ දෛනික රාජකාරිවල නිරත වුණා. අපට යම් අදහසක් හුවමාරු කරගන්න උවමනා වුණ තැන්වලදි නුගී සන් ජපන් භාෂාව සහ ඉංග්‍රීසිය අතර අත්වැලක් වුණා. එදා රාත්‍රියෙ අපේ ගම ගෙයක වගේම ඔකාසන් ( අම්ම ) කෑම ලෑස්ති කරල දෙනකල් අපි රූපවාහිනිය බලමින් උන්නා. එදෝ යුගයට අයිති දුක්බර පෙම් කතාවක්. කොටස් විදියට යන ටෙලි කතාවක්. ගෙවිලිය නම් නොවරදවාම ටෙලිය බලන බවයි පෙනුණෙ.

ආහාර සප්පායම් වෙලා සාම්ප්‍රදායික තතමි පැදුරක සාම්ප්‍රදායික ජපන් ක්‍රමයට, නූතන විදුලි පංකාවකුත් දාගෙන අපි නිදාගත්තා. ඒ රාත්‍රිය සරලයි. සුන්දරයි..

පහුවෙනිදා උදෑසන ආහාරයෙන් පස්සෙ අපිව ආයෙම ආයතනයට ගෙනත් ඇරලුවේ හැත්තෑ වියත් ඉක්මවූ ඒ ගොවි අම්මා. ඉතා හුරුබුහුටි විදියට, පරිස්සමට ඈ වාහනය හසුරුවනවා බලන් ඉන්නත් ආසයි.

......

අපි කොහොමද අපේ රටට මේ කෘෂි සංචාරක කර්මාන්තය ආදේශ කරගන්නෙ. දැනටමත් සමහර ගොවි බිම්වල, හේන්වල, ගොවිපළවල මේ කටයුත්ත කෙරෙනවා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික වැඩ විදියට. අඹේවෙල ගොවිපළ මහා පරිමාණයේ වැඩක්. කොළඹ ගමයා අයියා ලියූ ගොවිපලේ නිවාඩුව සටහනත් කියෙව්වම තවත් අලුත් අදහස් ගන්න පුළුවනි. 

සංචාරක ආකර්ෂණය දිනාගන්න අපූරු අත්දැකීමක් විදියට මේ කටයුත්ත කරන්න නම් ඒකට ගැමි ගොවි ජනතාව දැනුවත් කරන්න ඕන. පිළිවෙල, පිරිසිදුකම, සෞඛ්‍යාරක්ෂිතබව, අවංකකම, කැපවීම, සුහදශීලීබව වගේ ගුණාංග අත්‍යවශ්‍යයි. ලංකාවෙ අපි ළඟ අඩුවෙන්ම තියෙන්නෙත් මේ වටිනාකම්. කාගෙන් හරි කමක් නෑ කීයක් හරි කඩාවඩා ගන්න බලාපොරොත්තුවෙන් නම් වැඩ කරන්නෙ ඒවට පැවැත්මක් නැහැ.
ඒ වගේම මේ ගොවිබිම්වල වැඩ කරමින් අත්දැකීමක් ලබන්න පාසල් සිසුන්ට ලබා දෙන අවස්ථාවත් හරිම වටිනව. එ් අත්දැකීම ගොඩක්ම වටින්නෙ නාගරික දරුවන්ට. 

Tuesday, May 23, 2017

දැය දිනුමට පැද යන නැවියා...

Haruyo Morita ගේ ජපන්  සිතුවමකි... 

කෘෂි සංචාරක කර්මාන්තය මට එතරම් සමීප මාතෘකාවක් වුණේ නැහැ. නමුත් 2011 වසරේ ‘එක ගමක් - එක නිෂ්පාදනයක්‘ OVOP - One Village One Product සංකල්පය ගැන අධ්‍යයනයක යෙදුණු ඔයිටා පළාතේ  දින තුනක සංචාරය අතරතුර අපූරු අත්දැකීම් රැසක්ම ජීවිතයට එකතු වුණා. මේ ගැන ලිවීම අතපසු වෙලා තියෙද්දි කොළඹ ගමයගේ ගොවිපළක සංචාරය ගැන පළ වෙන ලිපි පෙළ ‘ලියනු.. ලියනු‘ කියල හිත කොනහන්න ගත්තා.

ජපානයේ කියුෂු දූපතේ එක් පළාතක් ( Prefecture) තමයි ඔයිටා. අපි ශිකොකුවල ඉඳල කියුෂු ගියේ ෆෙරි එකක. ෆෙරි කියන්නෙ කුඩා ප්‍රමාණයේ නැවක් කියලයි මං හිතන්නෙ. ඒකත් සුන්දර අත්දැකීමක් ජීවිතේ පළමුවරට විඳින්නට ලැබුණු.  






බස් රියෙන්, නැවෙන් සහ නැවතත් බසයෙන් දවසක වෙහෙසකර ගමනක් අවසානයේ අපි හැන්දෑවෙ පහට විතර ඔයිටාවල OVOP ප්‍රධාන කාර්යාලයට ආවා. ගිමන් හරින්න ලැබුණු පුංචි කාලයකින් සහ හරිත තේ කෝප්පයිකින් පසුව හරියටම හයට සමාරම්භක වැඩසටහන පැවැත්වුණා. ජපානය එහෙමයි. වැඩේට තමයි මුල් තැන. කාලය ගැන සැලකිලිමත්. ‘අද මහන්සියි හෙට කරමු.‘ එහෙම කතා නැහැ.





සමාරම්භක වැඩසටහනේ මුල්ම කතාව කළේ OVOP වැඩසටහනේ නිර්මාතෘ මොරිහිකෝ හිරමට්සු මහත්මා.1978 වසරේ මොරිහිකෝ හිරමට්සු (  Morihiko Hiramatsu ) ඒ පළාතේ ආණ්ඩුකාරවරයා වෙද්දි ඔයිටා කියන්නෙ ඉතාම දුප්පත්, දුෂ්කර පළාතක්. කාන්තා ප්‍රතිශතය වැඩියි. ඔහු ඔයිටා දියුණු කරන්න උපරිමයෙන් කැපවෙලා වැඩ කළා. ඒ එක් ප්‍රයත්නයක් තමයි OVOP - One Village One Product සංකල්පය. ගමින් ගමට අනන්‍ය වූ කෘෂි නිෂ්පාදන, අත්කම්, චිත්‍ර, කැටයම් මූර්ති වැනි සාම්ප්‍රදායික කලා නිර්මාණ අගය වටිනාකමක් එකතු කරල වෙළඳපළට නිකුත් කරන්න ජනතාව ධෛර්යමත් කළා. 

ජනතාවගේ ශ්‍රමයට මුල් තැනක් දුන්නු මේ වැඩසටහන දියත් වුණේ බොහෝ විට සාමූහික ක්‍රියාකාරකම් ලෙස. මේ සඳහා දැනුම, තාක්ෂණය, ප්‍රාග්ධනය වගේ මූලික පහසුකම් රජය මගින් ලබා දුන්නා. රජය සම්බන්ධීකරණ කටයුතු කළා. නමුත් මූලික වගකීම පැවරුණේ ගමේ ජනතාවට. ජනතාව රජය මත යැපුණෙ නැහැ වගේම, රජය අවශ්‍ය මඟපෙන්වීම ලබා දීම, මූලික පහසුකම් සැලසීම මිස ජනතාවට උඩින් සිට සහන සැපයීම වැනි වැඩක් කළේ නැහැ. මේ වැඩසටහනේ ඉතාම වැදගත් දෙය දෙපයින් නැගී සිටින්නට අවශ්‍ය දිරි දීම කියල මං හිතන්නෙ.


Add caption



අපේ වැඩමුළුවෙ ආරම්භක කතාව කළේ ඒ ආණ්ඩුකාරවරයා. ඒ වන විට ඔහු 87 වියැතියි. ඔහු අට වතාවක් ඔයිටා පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස පත්වෙමින් වසර 24 ක් එම තනතුරේ සේවය කරල තියෙනවා. ජපානයේ වැඩිම කාලයක් ආණ්ඩුකාර තනතුර දැරූ පුද්ගලයා විදියටයි හැඳීන්වුණේ.  

‘‘බාහිරින් එන ව්‍යවසායකයො පාඩු ලබද්දි ගම අත්හැරල යනවා. නමුත් ගමේම සම්පත්, ශ්‍රමය, කැපවීම තුළ ගොඩනැගෙන ව්‍යාපාර පවතිනවා. ඒවට ගමෙන් එහාට ජාත්‍යන්තර මට්ටම දක්වාම වුණත් වර්ධනය වෙන්න පුළුවන්. එදාට වඩා තාක්ෂණය දියුණු අද කාලෙ ඒකට ලොකු ඉඩක් විවෘත වෙලා තියෙනවා. නිෂ්පාදනවලට අගය වටිනාකමක් එක් කළ යුතුයි. මිනිස්සුන්ට අවශ්‍ය දැනුම ලබා දිය යුතුයි. ග්‍රාමීය ප්‍රදේශවල පුහුණු පාසල් ඇති කළ යුතුයි. තරුණ පරපුර දැනුවත් කිරීම අත්‍යවශ්‍යයි. ගම දියුණු කරන්න ඕන ගමේ සම්පත් සහ ගමේ ශ්‍රමය... රජය විදියට අපි ඒකට අවශ්‍ය මඟපෙන්වීම සහ ශක්තිය වෙන්න ඕන...‘‘

මොරිහිකෝ මහතාගෙ කතාවෙ කොටසක් එය.  OVOP වැඩසටහන ආරම්භක සමයේ මුහුණ දුන්න ගැටලු, කඩාවැටීම්, ඒ වගේම සාර්ථකත්වය, ක්‍රමයෙන් පළාත සංවර්ධනය වීම ගැනත් ඔහු කතා කළා.

OVOP වැඩකිරීමේ පරමාදර්ශ විදියට ඔවුන් සලකන්නේ මේ කාරණා.

Think globally - Act Localy
Independence and Creativity

මුල් කාලයෙදි ආණ්ඩුකාරවයා පැය 24 ම වැඩ කරලා තියෙනවා. සියලුම ප්‍රාදේශීය රාජ්‍ය ආයතන එයට පූර්ණ සහයෝගය දෙමින් එක් වෙලා. මේ කියන කාලය ඔයිටා කියන්නෙ ප්‍රවාහන, සන්නිවේදන, තාක්ෂණික වගේ පහසුකම් අවම වූ නොදියුණු දුෂ්කර පළාතක්.

OVOP වැඩසටහනේ ප්‍රධාන කාර්යභාරයක් ඉටුකරල තියෙන්නෙ කාන්තාවන්. ගම්වල ඇති කළ කාන්තා කණ්ඩායම් තමයි තමන්ගෙ ගම්මානයේ නිෂ්පාදන අගය වටිනාකමක් එකතු කරල වෙළඳපළ දක්වා ගෙන යන වැඩකොටස ඉටුකළේ. එක් එක් කාලවලදි ගම්වල හැදෙන එළවළු, පළතුරු මේ විදියට කාන්තා කණ්ඩායම් අතින් සකස් වෙලා වෙළඳපළට යැවුණා. මේ කතන්දරේ අහන් ඉද්දි මට මතක් වුණේ අපේ රටේ කාලෙන් කාලෙට ගස් යට වැටිල නාස්ති වෙලා යන කොස්, දෙල්, අඹ, දෙහි, කොමඩු වගේ පළතුරු... එළවළු...



පිං පඩි දීමට එහා ගිහින් මධ්‍යම සහ පළාත් ආණ්ඩු මිනිස්සුන්ව ඒකරාශි කරල මේ වගේ නිෂ්පාදන ක්‍රියාවලියක් හදන්න මූලික පහසුකම් ලබා දෙනවනම් කොයි තරම් හොඳද? දැනටමත් ලංකාව පුරා ස්වශක්තියෙන් මෙවැනි වැඩවලට අත ගහපු මිනිස්සු ඉන්නවා. ඒ අයට ජාතික සහ ජාත්‍යන්තර මට්ටමින් වෙළඳපල සම්බන්ධතා ගොඩනගාගන්න උදව් කරන්න පුලුවන් නම් හොඳයි. දෙවෙනි ලෝක යුද්දයෙන් නැත්තටම නැති වුණු ජපානය ගොඩනගන්න මධ්‍යම රජය සහ පළාත්, ප්‍රාදේශීය රාජ්‍ය ආයතන කැපවෙලා තියෙන්නෙ අන්න ඒ විදියට.


මේ තියෙන්න මුරුක්කු හදන තැනක්. ඒවයේ නම ‘‘කරින්තෝ‘‘. පටන් අරගෙන අවුරුදු 27 ක් 2011 වෙද්දි. ගෘහණියන් විදියට ඉතාම දිළිඳු අඩියක හිටි කාන්තාවන් කුඩා කණ්ඩායම් විදියට එකතු කරල විවිධ නිෂ්පාදන පටන් අරගෙන තියෙනවා. මේ කරින්තෝ නිපදවීම අදටත් අඛණ්ඩව ක්‍රියාත්මකයි. ගමේ ගෙවිලියන් 07 දෙනෙක් තමයි මේ තැන පවත්වගෙන යන්නෙ. ඔවුන් සේවා මුර ක්‍රමයට මෙහි වැඩ කරනවා. ආදායම සමව බෙදා ගන්නවා. ආදායම බෙදාගනිද්දි වැඩ කළ පැය ගණන සැලකිල්ලට ගන්න බවයි කියවුණේ. 

ඒ වගේම පාසල් සිසුන්ට පැමිණ වැඩ කරමින් අත්දැකීමක් ලබන්නත් අවස්ථාව සලසල තියෙනවා. මේ කාන්තා එකමුතුවට පැවරිලා තියෙන තවත් කටයුත්තක් තමයි ගමේ මහලු අය ගැන සොයා බැලීම, ඔවුන් රැක බලා ගැනීම. ඒ වගේම ආගමික කටයුතු සංවිධානය. මේව ව්‍යාපාරික කටයුත්තට අමතරව ඔවුන් ඉටුකරන පොදු සමාජ සත්කාරයන්... 
  
මුරුක්කු වර්ග තුනකින් ආරම්භ කරල දැනට වර්ග 10 ක් නිෂ්පාදනය කරනවා. ඒවායේ විශේෂත්වය තමයි කෘතිම රසකාරක, වර්ණකාරක භාවිතා නොකිරීම. හැම අමුුද්‍රව්‍යයක්ම සපයා ගන්නෙ තමන්ගෙ වගාවෙන්. ඔවුන් වර්ණ ගන්වන්න යොදාගන්නෙ හරිත තේ, කෝපි, බ්ලූ බෙරි, වට්ටක්කා වගේ දේවල්. රස ගන්වන්නෙ සීනි, මී පැණිවලින්. 

ඔවුන් තමන්ගෙ නිෂ්පාදන OVOP ආයතනයට භාර දෙනවා. අලවි කටයුතු සිදුවෙන්නෙ එතනින්.

‘‘අපි නිතරම විශ්වාස කරනවා අපේ කරින්තෝ තමයි හොඳම. පාරිභෝගික තෘප්තිය අපේ ආදායම..‘‘ එදා අපට හමු වූ වතනබේ තෙරිකෝ සන් තමන්ගෙ ව්‍යාපාරය ගැන කිව්වෙ එහෙම.


වර්ග දහයක කරින්තෝ නිෂ්පාදන
එක් අයකුට, එක් වරකට රස විඳිය හැකි ප්‍රමාණයෙන් ඇසුරුම් කර තිබෙනවා.

පුහුණු වැඩමුළුවෙ ආරම්භක දේශනය කළ මහාචාර්යවරයා කිව්වෙ ‘අපේ රටේ රාජ්‍ය සේවය ශක්තිමත්. ඒ නිසා දේශපාලනයේ මොන විදියෙ වෙනස්කම් වුණත් ජපානය  වැටෙන්න ඉඩක් නැහැ‘ කියලයි. මේ කතාවෙ කොයිතරම් දුරට ඇත්තක් තියෙනවද කියල නම් මම දන්නෙ නැහැ.

කෘෂි සංචාරක කර්මාන්තය ආශ්‍රිතව ජපානයේ ගොවි ගෙදරක ලැබූ අත්දැකීම ගැන මීළඟට තමයි ලියන්න වෙන්නෙ. ලියන්න පටන් ගත්තෙ ඒ ගැන වුණත් පොඩි පඳුරු තැලිල්ලක් තමයි සිද්දවුණේ.  

Thursday, May 18, 2017

පමා වී සමා අයදින මසිත අසරණය...

ඉටි පහනක් දල්වා ගත් දරුවෙක්...
පින්තූරය ලාල් ලක්ෂ්මන්

‘‘තරංගි නංගි ලිව්ව සුධාකරන්ගෙ කවිය ගැනත් මං කතා කරන්න කැමතියි විපුලි කතා කළ තැනින් චුට්ටක් එහාට.  වරදකාරී හද රිදුම, දැන් මේ හෘද සාක්ෂිය රිදෙන එක නම් හොඳයි. රිදුන්නැති එක ලොකු ගැටළුවක් තමයි.  පසුව හෝ රිදෙන එක හොඳයි. මම මේ කවියට ආදරය කරන්නෙ මුල්ලිවයික්කාල්වලින් පසුව හෘද සාක්ෂියක සටහනක් විදියට. අපි දන්නවා මුල්ලිවයික්කාල් කියන්නෙ අපේ රටේ සංකේතයක්.

යුද්ධය ආරම්භ වන මුල්භාගයේ මට මතකයි අපේ රටේ කවියො, ගීත රචකයො මහා මානව දයාවකින් ඒ ගැන ලිව්වා. හැබැයි යුද්දය අවසන් වුණායින් පස්සෙ ඒ ප්‍රේම කවි හුඟක් නැති වුණා. ප්‍රේමයත් මට පේන්නෙ නන්දිකඩාල් කලපුවෙ ගිලුණා වගේ. මොකද එතකන් අපට පේනවා උතුරු දකුණු ප්‍රේම ගීත තොගයක්. පිච්ච මල් සුවඳ ගැන, 83 ගැන අපේ මහා කවියා රත්න ශ්‍රී කියනවා ශාන්තිනී අපි දෙවියන් ඇති තැනකට යන්, රත්න ශ්‍රී ගෙ සිංහල සිංදු කියන නළලේ තිලක තියන කිරිල්ලී.. ඒවා විශිෂ්ට නිර්මාණ. හැබැයි ඒ නළලේ තිලක තියන කිරිල්ලි නැතිවුණායින් පස්සෙ ගීතයක් උපදින්නෑ. නළලේ තිලක තියන කිරිල්ලිව එහෙට ගිහිල්ල හමුවුණාම ( ඈ නඩේසන්ගෙ බිරිඳ. ඈ සිංහල කාන්තාවක්) ඇය හමුවුණාම එදා ඇතිවෙනවනෙ කම්පනයක්. ඒ කම්පනයෙන් ඒ ගීතය ලියවෙනවා. නමුත් ඊට වඩා ප්‍රබල කම්පනයක් ඇති වෙන්න ඕන නැද්ද ඒ නළලේ තිලක තියන කිරිල්ලි යුද්ධය අවසානයෙදි අහිමි වුණාම. එතකොට අපට කොච්චර කම්පනයක් ඇති වෙන්න ඕනද? එතනදි ලංකාවෙ කවි සිත, කලා සිත එක තැනක ගල්වෙනවා.

මේ කවියට මං කැමති වෙන්නෙ අන්න ඒ ගල් හිත දැන් ටික ටික හරි බුරුල් වේගෙන එනවා කියන අදහසින්. ඒක හොඳයි. ඒක අවශ්‍යයි. සංහාරයෙන් පසු ලියවෙන කවි කියල සත්හඬේ කවි පිටුවක් යනවා. ඒකෙ විවිධ අර්ථයන් තියෙනවා. මෙතනදි මේ සුධාකරන් කියන දෙමළ දරුවා, යෞවනයා ගැන හිතල තමයි ඇය මෙහෙම කියන්නෙ.

දෑස් ගැඹරෙහි කෙවෙන මැතිරිල්ල
විස හී සර හිතේ ඇමිණිල්ල
දෙදරවා ළය මවා කැළඹිල්ල
උදුරගනු ඇයි මෙලෙස සැනසිල්ල...

තරුණයව යුද්ධයට පසු දකිනකොට, ‘අනේ මේක ඉවරයි‘, ‘යුද්දෙ ඉවරයිකියල අපි යම් සැනසිල්ලක උන්නනෙ, ඒ සැනසිල්ල උදුරගන්නවා. ඇත්තටම එහෙම සැනසෙන්න පුලුවන්කමක් නෑ මේක අස්සෙ. මෙලෝ සැනසිල්ලක් නෑ. මොකද යුද්දයට හේතු වෙච්ච කාරණා තාමත් එසේම තියෙනවා. ඒ බවට සාක්ෂිකාරයො තමයි දැනට ඉතුරු වෙලා උතුරෙ ඉන්න හැම කෙනෙක්ම. ඒ නයින් පාර දිගේ ගිහිල්ල නටබුන් බැලුව කාගෙවත් සැනසිල්ල කැඩුණෙ නෑ. දකුණෙ ඉඳන් උතුරට ගිය ආතල් කැඩුන්නෑ. ඒගොල්ලන්ට ආතල් ම තමයි ලැබුණෙ ඒ පාර දිගේ ගිහිල්ලා. 

නමුත් ඒ පාරෙන් එහාට ගිහිල්ල සුධාකරන්ල හමුවෙනකොට, අනූදාහක් වැන්දඹුවො හමුවෙනකොට ඇත්තටම ආතල් කැඩෙනවා. ඒගොල්ලන්ව හමුවෙන්න ඕන, එතකොට තමයි මේක කැඩෙන්නෙ. දැනෙනවා ඒ ප්‍රශ්න එහෙම ම තියෙන බව. ආයෙ අපට යුද්ධයක් එන්න පුලුවන්. උදුරගනු ඇයි මෙලෙස සැනසිල්ලදකුණේ සමාජය, සිංහල සමාජය යම් සැනසිල්ලක් ලැබුව නම් ඒ සැනසිල්ල උදුරගන්න සැනසිල්ලක් බවට පත්වෙනවා මේකට අදාළ ඊළඟ වැඩ ටික උනේ නැත්නම්. ඒ නයින් කාපට් පාරෙ නටබුන් හෝ ඒ විශිෂ්ට ජයග්‍රහණයේ සැමරුම්, සුන්දරත්වය බලන්න යන මිනිහෙක් කිසිවක් දකින්නෙ නෑ. නමුත් කවියෙක්ට ඒ දුර යනකොට එයාට දකින්න පුලුවන් බොහෝ දේ තියෙනවා.‘‘

- මහින්ද නාමල් - තරු ඇස් රහස් කතිකාවේදී (2016.06.05 මීගමුව)


වරදකාරී හද රිදුම
==========

සුධාකරන්

දෑස් ගැඹරෙහි කෙවෙන මැතිරිල්ල
විස හී සර හිතේ ඇමිණිල්ල
දෙදරවා ළය මවා කැළඹිල්ල
උදුරගනු ඇයි මෙලෙස සැනසිල්ල...

මාවිල් ආරු නෙත් වසා ලූ ඇසිල්ලේ
නොනිදා රෑ තුන්යමේ තුන් සිතම දැවිල්ලේ
දුරකථන සුසුමටත් ඇසිපියන් සෙවිල්ලේ
සුසුම් ගිනි මැවී ඇස් බොඳවුණා ඇසිල්ලේ...

ඇමිණිලා තිබූ හිත සොල්දාදු හදවතක
නිවී යුද ගිනි සිනා මැවෙන දින ගැන්නාට
උතුරුකර ගිනි හුළඟ මුසුව ආ විලාපෙක
කඳුළු කැටි කැටි වැටී ළය තෙමුණි සීරුවට...

කාකි නිල කබායේ තරු කුමට මගෙ ලොවට
හදේ තෙත මුදනු මිස ගිනි හුළඟ නිවෙන්නට
දිනපතා මතුරනා ජපමාල පන්තියට
ඉහිරුණිද මෙත් සිහිල අවි දැරූ දෑතකට...

ඒත් මට දැනෙන්නෙම වැරදියි වගේ මම...  

ඇද වෙවී මුව ඇදෙන සිනා ඉර බියකරුය
ගින්දරයි ඇසේ තෙත ලෝ දියක පෙරහුරුය
සන්සුන්ව දිගු කරන සුරත සීතල දැඩිය
පමා වී සමා අයදින මසිත අසරණය...


තරු ඇස් රහස් 42-43 පිටු


ඒ කතාවෙන්ම තවත් කොටසක්...


‘‘කාලය ඉක්මගිහින් නිසා අපි කතාබහට ඉඩදෙමු. මම තවත් කවි කිහිපයක් ගැන කතා කරන්න හිතුවා. නමුත් කාලය ඉක්ම ගිහින් නිසා එය අත්හරිනවා. මම කතා කළේ එක් විෂය ධාරාවක කවි නිසා ඉතාම පෞද්ගලික අනුභූතියක් ගැන කතා කරන්න හිතුවා. අපට මේ සමාජයෙන් වෙන්වෙන්න බෑ කියන එක පෙන්වන පුංචි කවියක්.

මැයි මහේ මල් වැස්ස අදත් ඇද හැලෙනවා
ගාලු මුවදොර පිටියෙ ඔබත් ඇති හිතෙනවා
ඇසිල්ලක හෝ ඒවි දෑස් මඟ බලනවා
අපි අපේ නොවන බව ඒත් හිත දන්නවා

මේක අතිශය පෞද්ගලික කාරණයක්. ගාලු මුවදොර පිටියෙ විජයග්‍රහණයේ යුද සැමරුම තමයි තියෙන්නෙ. පෞද්ගලික සම්බන්ධයක් තියෙන තමන් ආදරය කළ කෙනෙක් එතන ඉන්නවා. සොල්දාදුවෙක්. නිමිත්ත තමයි ඒක. ඇසිල්ලක හෝ ඒවි දෑස් මග බලනවා. ඇය යනවා ගාලු මුවදොර පිටියෙ මේ සැමරුම බලන්න. එයා යන්නෙ යුද ජයග්‍රහණය සමරන්න නෙවෙයි. එයා ආදරය කළ කෙනා ඇසිල්ලක හෝ මේ පෙරෙට්ටුවෙ ගමන් කරයි, දකින්න ලැබෙයි වගේ බලාපොරොත්තුවක්.

රුහිරු කඳුළැලි ගඟක පාවෙලා ආ ජයට
ආ වඩන සැමරුමක නැගුණ වෙඩි හඬ සැරට
විඩාපත් වත පිපුණි වැහි අඳුරු අහස යට
නිලැති නිල ඇඳුමෙ තරු දිලිසුණා ස්නේහයට...

මේ යන ආදරවන්තිය දන්නවා මේක විජයග්‍රහණයක් නෙවෙයි. ඒ නිසා මම එන්නෙ නෑ මේක බලන්න නෙවෙයි, පෞද්ගලික ජීවිතේ කාරණා අස්සෙ ඇයට ඔහුව දකින්නත් ඕන. මං කියන්නෙ මේ දෙක අතර තමයි මනුෂ්‍යත්වය තියෙන්නෙ. මනුෂ්‍යත්වයේ ගැටුම තියෙන්නෙ. ඇය එය බලන්න යන්නෙ මහ විජයග්‍රහණයට ආවඩන්නියක් ලෙස නෙවෙයි. මං මෙතනදි කියන්න උත්සාහ කළේ අතිශය පෞද්ගලික අනුභුතීන් පවා සමාජයේ පොදු අත්දැකීමෙන් තොරව විවරණය කරන්න බෑ කියන එක. ‘මම කියන්නෙ මුළු සමාජයමයි. ඒකෙන් තොරව ‘මම කෙනෙක් හොයනවනනම්  අපිට ඇත්ත මම කෙනෙක් ලැබෙන්නෙ නැහැ. ‘‘