වරක් කියවූ පොතක්
නැවත නැවතත් කියවීමේ පිස්සුවක් මට ඇත. හැම
පොතක්මත් නොවේ. සමහර පොත්ය. කියවු පොතක් ඉඳහිට
නැවතත් අතට ගෙන කියවන්නට සිත් දේ නම් ඒ යම්කිසි අපූර්වත්වයක් ඇති නිසාමය. එසේ
කියවන පොත් අතර ඇට මැස්සා ඉදිරියෙන්ම වන්නේය. කී වරක් නම් කියවන්නට ඇත්ද? කියවන
හැම වරෙකම මුල් වරට කියවන්නාක් බඳු නැවුම්
බවෙකි. පොලියානා, පූ වළහා සහ මිතුරෝ, හරි
පුදුම ඉස්කෝලෙ, කඳුකර රෝස මල්, තැනිතලාවේ කුඩා නිවස පොත් පෙළ.. එලෙස නැවත නැවතත්
කියවන්නට කම්මැලි නොසිතෙන ළමා පොත් පෙළකි. මේ අතර කවි පොත් ද වන්නේ ය.
ඒ අතර කවියකු
පිළිබඳව වන සොඳුරු චරිතාපදානයක්ද වන්නේය.
එය රුසියානු
මහා කවියකු ගැන වන ''වයසට වඩා මේරූ ජීවිත කතාවකි.'' මේ අපූරු කවියා යෙව්ජිනි
යෙවුට්ෂෙන්කෝය.
''යෙව්ටුෂෙන්කෝ - සැබෑ කවියකුගේ කතාව '' කෘතිය පොතපතට, කවියට
හිතැති ඔබේ සිතද පැහැරගනු නොඅනුමානය. පරිවර්තනය සුනිල් මාධව ප්‍රේමතිලකගෙනි. ගොඩගේ
ප්‍රකාශනයකි. මිල නම් රු. 150.00 කි.
( සුනිල් මාධව
ප්‍රේමතිලක ඉතාමත් දක්ෂ පරිවර්තකයෙක්/ අනුවර්තකයෙක් බවයි මගේ හැඟීම. මා කියවා ඇති
පරිවර්තන කෘති අතර ඔහු විසින් පරිවර්තනය කරන ලද හඬනු මැන නිදහස, කැරොලිනාගේ
දිනපොත, මිනිසෙක් සහ මෙම අපූරු චරිතාපදානයද ප්‍රමුඛස්ථානයක රැෙඳෙන බව කිව යුතුම
ය. )
කවියට පෙම්
බඳින්නෝ කිවිවර දිවියක වගතුග දැන ගන්නටද රිසි
වෙති. යෙවුට්ෂෙන්කෝ කවියකුගේ ජීවිතය
පිළිබඳව පවසන්නේ මෙබන්ඳකි.
''කවියකුගේ
ජීවිත කතාව යනු ඔහුගේ කාව්‍යයයි. වෙනත් දෙයක් ඇත්තේ නම් ඒ පසුවදනක් පමණයි. කිසියම්
කවියකු ඔහුගේ කවියත් ඔහුගේ ජීවිතයත් අතර පරතරයක් ඇති කර ගැනීමට උත්සාහ කරන්නේ නම්
එය දිවි නසා ගැනීමකි. කාව්‍යය යනු අසත්‍යයට සමාවක් නොදෙන ඊර්ෂ්‍යා සහගත ගැහැණියකි.''
1933 ජූලි මස
18 වෙනිදා සයිබීරියාවේ සීමා නම් ගම්මානයේ උපත ලද තැන් සිට වසර 30 ක පමණ ජීවිත කාලය
මේ කෘතියට පාදක වී ඇත. ස්ටාලින් පාලන සමය, දෙවන ලෝක යුද්ධය හා යුද්ධයෙන් පසු අවදිය
තේමාත්මකව ගලා යන මෙහි, කටුක දුක්බර ජීවිත අත්දැකීම් වුවද ජීවිතය පිළිබඳව අපමණක්
අපේක්ෂා නොනිවී දල්වාලනු රිසියෙන් රචනා කර ඇති බව පෙනේ. විප්ලවීය පරපුරක උරුමය,
යුද්ධය විසින් ජනිත කළ කටුක ජීවන පැවැත්ම, ජීවිතයේ අඳුරු පත්ලෙන් ගලා එන මනුෂ්‍යත්වයේ
ආලෝක පුළිඟු, මේ සියල්ල මැද නොනිවී දැල්වෙන කවිය පිළිබඳ ප්‍රේමය යෙවුට්ෂෙන්කෝ කවියාගේ
ජීවිතය අසිරිමත් උදානයක් බවට පත් කළ බව පිටුවෙන් පිටුව ගද්‍ය කවියක්ව මතු වෙයි.
ඔහුගේ ජීවිතය
පිළිබඳව රසවත් මෙන්ම අතිශය සංවේදී මානුෂීය විප්ලවීය තොරතුරු රැසක් කෘතියෙහි අන්තර්ගතය. එය මෙබඳු කෙටි
ලිපියකට හසු කර ගත නොහැකි තරම් අපුරු ජීවන වෘත්තාන්තයකි. එනිසා තදින්ම සිත ඇද බැඳ
ගත් උපුටන කිහිපයක් පමණක් දක්වනු කැමැත්තෙමි. ඔබේ සිත අවුළුවාලනු පිණිස ය.
''සාමය යන
වචනයේ සැබෑම අරුත තේරුම් ගන්නේ යුද්ධය කුමක්දැයි දන්නා අය පමණක් බව මගේ හැඟීමයි.
යුද්ධයට මා ස්තුති කරන්නේ සාමය යන වචනයේ අරුත මට කියා දුන් නිසාය. ඒ අතර ම මගේ රට
යන වචන දෙකේ අරුත වටහා දුන් නිසාද මම යුද්ධයට ස්තුති කරමි.
මාගේ රට යනු
භූගෝලීය හෝ සාහිත්‍යමය සංකල්පයක් නොවන බව
මම තේරුම් ගතිමි. එය ජීවත් වන මිනිසුන්ගේ වචනයකි. මා ජාතිවාදයට විරුද්ධ අයකු වන
අතර මට මේ ලෝකයේ තිබෙන්නේ ජාතීන් දෙකක් පමණි. ඒ නම් හොඳ ජාතිය සහ නරක ජාතියයි. මම
හොද ජාතීන්ගේ ජාතිවාදියෙක් වෙමි.
කෙසේ වුවද
මනුෂ්‍යත්වයට ආදරය කළ හැක්කේ තම රටට ආදරය කරන්නකුට බව මම පිළිගනිමි.''
( 6-7 පිටු)
'' එදින මා
තේරුම් ගත් තවත් දෙයක් වූයේ කවියකු වන්නට කවි ලිවීම පමණක් ප්‍රමාණවත් නොවන බවත්,
ලියූ තමාගේ කවිය වෙනුවෙන් පෙනී සිටින්නේ කෙසේද යන්නත් තේරුම් ගත යුතු බවත් ය.''
(14 පිටුව)
''මා සිතන
අන්දමට පාලනයකට හෝ සංවිධානයකට අයත් වූ පමණින් ඔහු කොමියුනිස්ට්වාදියකු වන්නේ නැත.
සැබැ කොමියුනිස්ට්වාදියා යනු තමාගේ යහපතට ඉහළින් පොදු යහපත ගැන හිතන පුද්ගලයා ය.
එහෙත් එම පුද්ගලයා පොදු යහපත වෙනුවෙන් යයි කියමින් අනුන්ගේ ජීවිත විනාශ කරන්නකු
නොවිය යුතු ය. ''
( 25 පිටුව )
''යුද සමයේ දී
මගේ අතට සූකිරි දුන් යුධ භටයන්, ටයිගා වනාන්තරයේ වැළහින්නකගෙන් මා බේරා ගත්
ගැමියන්, මගේ කරේ තිබූ ගල් පිරවූ ගෝණි ඔවුන්ගේ කරට දමා ගත් භු විද්‍යාඥයන්, මගේ
දෙපාවල තුවාල පැළෑටි කොළවලින් සුව කළ කම්කරුවන්, මිනිසුන්ගේ කරුණාව පිළිබඳව කුඩා
කලදීම මා කෙරෙහි විශ්වාස බීජ තවාන් කළ මිනිස්සු..''
( 30 පිටුව )
''මිනිසකුගේ
වටිනාකම මැනිය යුත්තේ ඔහු නිතරම ප්ලේටෝගේ සිට කෆ්කා ගැන කතා කරන තරමින් නොව ඔහුගේ
හදවත අනෙක් අය කෙරෙහි කොතරම් විවෘත ද යන්න මත ය.''
( 34 පිටුව )
''කවිය ඉතා
බලවත් අවියක් වෙමින් පවතින බව පෙනෙන්නට විය. එක් කවි සැඳෑවකට 14 000 කට වැඩි
සෙනඟක් පැමිණි බව සිතිය හැකි ද? එහෙත් එය සත්‍යයකි....
... මෙවැනි
එක් සංවාදයකට දෙදහසකට වැඩි සෙනඟක් සිටි බව මට මතක ය. ඔවුන් කීවේ එකම දෙයකි.
''මතක තබා
ගන්න. ඔබ අයිති ඔබට පමණක්ම නොවෙයි. ප්‍රේම ගීත ලිව්වාට කමක් නෑ. හැබැයි සත්‍යය
අමතක කරන්න එපා.....''
කෘතිය අවසන් වන්නේ මෙම වැකියෙනි.
''බොහෝ
ලේඛකයින්ට ඔවුන්ගේ ලෝකය ඔවුන්ගේම ගෙදරය. එහෙත් මට අවශ්‍ය වූයේ මුළු මහත් ලෝකය ම
මගේ ගෙදර වීම යි. විශේෂයෙන්ම කවියා එසේ විය යුතු ය. ''
මේ පුංචි පොතකි.
නමුත් ඒ තුළ ඇත්තේ අතිමහත් ජීවිතයකි. එය කවියකුගේ සරල සුන්දර ආත්මකථනයකි. සාඩම්බර
වාගාලාපයන්ගෙන් බැහැර වූ නිහතමානී ජීවිත කතාවකි.