පිටු

Showing posts with label මතක සටහන්. Show all posts
Showing posts with label මතක සටහන්. Show all posts

Sunday, November 5, 2023

විපුල කවියක් වන් සොයුරියක්

 

විපුලි නිරෝෂිණී හෙට්ටිආරච්චි කිවිඳිය... සොයුරිය...

විපුලි අක්කාගේ වියෝව අනපේක්ෂිත තදබල කම්පනයක් මා තුළ දැනවූ සිදුවීමක්... හිමිදිරියක දුටු සිහිනයක් ලෙසින් එය අමතක කර දමන්නට හැකි නම් මා තවමත් කැමතියි. 

අලුත් සිනමා පටයක් පිළිබඳ තොරතුරක් ලද විගස ‘අපි බලමු‘ කියන්නට විපුලි අක්කා නැති බව සිහිපත් වන්නේ මද වෙලාවකට පසුව. 

''අපි දරුවො වෙනුවෙන් වැඩක් කරමු නංගි..." කියන්නට ඈ ළඟ නැති වීම මහා අඩුවක්. අපේ අවසන් වට්සැප් සංවාදයත් දරුවන්ට පොත් ලබා දීමේ වැඩක් සම්බන්ධව. අන්තිමේ අපට ඒය කරන්නට සිදු වූයේ විපුලි අක්කාගේ මතකය සමඟ කඳුළින් තෙත් වූ නෙතින්...

අප ආදරණීය‌ සොයුරියගේ වියෝ වේදනාව හද පෙළන මහා බරක් වන්නට ඉඩක් නොතබාම අපි විපුලි අක්කාගේ අම්මා සමඟ කාලය ගෙවීමේ කාර්යබහුල කාලසටහනකට එළඹුණා. 

අම්මාගේ තනි නොතනියට ගිය අපි (තනූජා, සුදු අක්කා සහ මම.) විපුලි අක්කාගේ පොත් එකතුව අරපරෙස්සම් සහිතව ඇතුළු කාමරයක ගබඩා කිරීම භාරගත්තෙ බොහෝ කැමැත්තෙන්මයි. ඇය ඒ පොත් එකතුවට කොතරම් ආදරය කළාද යන්න අප හොඳින්ම දැන උන් කාරණයක්.  එදා රෑ මැදියමක් වෙනතුරු පොත් වර්ග කරමින්, රාක්ක ගත කරමින් ඉන්නා අතර අද විපුලි අක්කත් උන්න නම් කොයිතරම් හොඳද කියන වාක්‍ය ඛණ්ඩය, අප තෙපලූ වාර ගණන, සිතින් සිතූ වාර ගණන ගිණිය නොහැකි තරම්...

දුලබ, මනරම් කවි පොත් එකතුවක් ඈ සතුයි. අසූව දශකයේ අග භාගයේ සිට එළිදැක්වුණු බොහෝ කවි පොත් එහි ඇතුළත්. විශේෂයෙන් ප්‍රකට කවි කිවිඳියන්ගේ සියලුම කවි පොත් පාහේ ඇගේ එකතුව වර්ණවත් කරනවා. ඒ අතර නවක කවි කිවිඳියන්ගේ කවි පොත් සෑහෙන ප්‍රමාණයකුත් එහි තිබෙනවා.

නොවරදවා කවි පොත් එළිදැක්වීම්වලට යන ඇය අනිවාර්යයෙන් පොතක් මිල දී ගත්තා. එසේ නොවුණා නම් ඒ ඉතාම දුර්ලභ අවස්ථාවක්. එයටත් සාධාරණ හේතු තිබුණා.

බොහෝ කවි පොත්වල පැන්සල් තුඩින් කළ සලකුණු කිරීම්... කෙටි අදහස්... ඇය කොතරම් කවි පොත් ගැඹුරින් කියවා ඇතිද යන්නට එයම සාක්ෂ්‍ය සපයනවා. සමහර පොත් පිටු අතර එහි එළිදැක්වීමට කළ ආරාධනය පොත් සලකුණක් ලෙස තබා තිබුණා. සමහරවිට කවි ගැන ලියූ සටහන් හෝ අදාළ වෙනත් සටහනක් පොත තුළම තිබුණා. විපුලි අක්කා කවියට දැක් වූ ඇල්ම කොතරම්ද යන්නට ඇගේ කවි පොත් එකතුවම සජීවී සාක්ෂියක්.

පොත් අතර සිටිනතර ‘මෙන්න තරු ඇස් රහස්‘ කියා මගේම කවි පොත සහ ඒ ගැන විපුලි අක්කා ලියා ඇති සටහන මා අත තැබූයේ තනූජා. එය ඇස කඳුළු නැංවුණු අවස්ථාවක්. 2016 වසරේ දිනෙක මීගමුවේ පැවති ‘තරු ඇස් රහස්‘ සංවාදයට අදහස් දක්වන්න විපුලි අක්කාත් ආවා. මේ සටහන ඇය ඒ වෙනුවෙන් සකස් කළ අසම්පූර්ණ සටහනක්. නමුත් මේ ලස්සන අත්අකුරු, අදහස් පෙළගැස්ම ඇගේ සූදානම කොතරම්ද යන්න මනාව පසක් කරදෙන්නක්.

 


තරු ඇස් රහස් කියා දුන් ප්‍රේමය/ තරු ඇස් රහස් සහ කවියේ ප්‍රේමය

සෞන්දර්යයේ, සංවේදනාවේ උල්පත ප්‍රේමය නම් තරු ඇස් රහස් තුළින් එළි දකින තරංගනී රෙසිකා ප්‍රනාන්දු කිවිඳියගේ කවියේ උල්පත වනුයේ ද ප්‍රේමයම බැව් පෙනේ. කවිය ගැන කතා කරන්න, කවිය හා ප්‍රේමය ගැන කතා කරන්න මෙයම නිමිත්තකැයි සිතුණු නිසාවෙන් අවසානයේ දී මා තීරණය කළා ස්ත්‍රීත්වය, ප්‍රේමය හා කවිය ගැන මගේ අදහස් කීපයක් ගොනු කරන්න.

ප්‍රේමය කවියේ උපත කර ගත් ප්‍රකට කවි කිවිඳියන් අතර බටහිර රොමෑන්ටික් කවීන් විශේෂයි. පෙරදිග වගේම අපරදිග බටහිර සම්භාව්‍ය සාහිත්‍යයේත් ප්‍රේමය මූලාශ්‍ර වී තිබෙන තැන් බොහෝමයි. කවිය ඒ අතර සුවිශේෂයි. මන්දයත් ඕනෑම ප්‍රේමයක මූලාරම්භයේදීම කෙනෙකු තුළ උපදිනා ඉසියුම් සංවේදනා එකින් එක පෙරා ගතහොත් ප්‍රේම කාව්‍යයක රොන් සුණු එහි නොඅඩුවම තිබෙනවා.

ප්‍රේමය කියූ සැණින් අපට ස්ත්‍රී පුරුෂ ප්‍රේමය සිහියට ආවත් කිතුනු බැතිමතුන් ලෙස ඔබ අප ප්‍රේමය අර්ථ දක්වන ආකාරය වෙනස්. සමස්ත මානව වර්ගයා කෙරෙහිම පැතිර පවත්නා ප්‍රේමය එහි කැටි වෙන එකම එක අර්ථයයි. ඒ පරම අර්ථයෙන් ගත් කල ප්‍රේමය මේ අප හැම කෙනෙක් තුළ මෙන්ම ස්වභාව ධර්මය තුළත් පැතිර පවත්නා මානුෂීය හැඟීමක්. තරුරසීගේ කවියට අවතීරණ වෙද්දි අපව වෙළා ගනුයේ එකී සමස්ත මානව වර්ගයා කෙරෙහි පැතිර පවත්නා වූ උත්තම ප්‍රේමයෙන්.  දෙවියන් කෙරෙහි ඔබ කැඳවූ ඒ උත්තරීතර පොදු ප්‍රේමයෙන්.

තරු ඇස් රහස් හරහා මේ නවක කිවිඳියගෙන් ප්‍රකාශයට පත් වන ප්‍රේමයට පෙර අපි කවි කිවිඳියන් හැමදෙනාගේම මුල් පොත් හරහා ඔවුන් අත්විඳි ප්‍රථම ප්‍රේමයේ රහස් සොරාගෙන, බෙදා හදාගෙන තිබෙනවා. ප්‍රථම රහසක් නොවන්නේ එය කවරාකාරයකින් හෝ ප්‍රකාශයට පත් වන කවියක්ම වන නිසා කවියෙන් කියාගන්න බැරි අයට ඒ ප්‍රථම ප්‍රේමය කවරාකාර අත්දැකීමක් විය හැකිදැයි යන්න වෙනම සිති බැලිය යුතුයි. ඇතැමුන් එය අන්‍යයන් හා බෙදා ගන්නවා. තවත් සමහරු ඒ වෙනුවට අනුන් ලියන, ගයන ගී අහනවා. විඳිනවා. හැම කලාංගයකින්ම ඒ අයගේ ඒ ආත්මයේම භාව විශෝධනය පිණිස මාර්ග විවර කර දී තිබෙනවා. කිවිඳියක ලෙස අද තරුරසී කරන්නෙත් ඒක. කවුරුන් හෝ ලියූ අති රමණීය පෙම් කවකින්, විරහ කවකින් කළෙත් ඒක. කව් සිළුමිණෙන්, සීගිරි ගීයෙන් මෙහාට අපි හැමෝම අද ඒ වෙනුවෙන් යම් පමණක දායකත්වයක් දරනවා. ප්‍රේමය පොදු හැඟීමක් නිසාම.

ප්‍රේමයේ ස්වභාවයන් විවිධාකාරයි වගේම ස්ත්‍රී පුරුෂ ප්‍රේමයේ ස්වභාවය ද අතිශයින්ම සංකීර්ණයි. ප්‍රථම ප්‍රේමයේදී බොළඳ වන්නා හා සමානවම සිය කුළුඳුල් කවි කෘතියේ දී එය බොළඳ කවියකින් ප්‍රකාශයට පත් වූ අවස්ථාද එමටයි.

අපි දෙන්නා සහ තවත් කීපදෙනෙක් - මොනිකා රුවන් පතිරණ

ගුරු සිත නොරිදවා

ඔබෙන් නෙක සිප් ලද

මුදු මොළොක් විය මා හද

කිවි තෙපුල් නල වැද

නැගිණි හද වෙණ සිය දහස් නද

 

ලැබ මුදු බස් නොමඳ

නිවෙන හෝ ගිනි මඳ මඳ

ළං විය ඔබ නිබඳ

එයම මිස ලොව අන් සැපක් කොද

 

එහෙත් කල් ගිය තැන

අවුළුවා හද ගිනි ගෙන

වසා සෝ අඳුරෙන

බැහැර විය ඔබ මහද මැදුරෙන

 

මොනිකා රුවන්පතිරණ ........ ප්‍රේමය අන්තරාවලෝකනය කරන කවිය සම්භාව්‍ය පද්‍යෙයහි ඇසුර ගෙන ලියූ  වියත් බසින් කළ කවියක්. ( ඇය තවත් මොනිකා රුවන්පතිරණ කිවිඳියගේ කවි කිහිපයක කුඩා කොටස් මෙහි සටහන් කර ඇත.)

තරුරසීගේ ප්‍රේමය කෙබඳුද? ප්‍රශ්න කරන ඇය ‘තරු ඇස් රහස්‘ පොතට ඇතුළත් කවි බොහොමයක මාතෘකා සටහන් කර තිබුණා.

පැටලී හිඳිමි (20)

දළ බිඳුම (28)

ග්ලැඩියේටර් පෙම්වතී මම (54)

ඉපැරණි පෙමක සුහද හමුව (60)............. ආදී ලෙසින්...

 

ඇය කතා කිරීමට අදහස් කළ කරුණු කෙටියෙන් දක්වා තිබුණේ මෙලෙසින්...

හදවත විසල් බව

ආගමික දර්ශනය

ආකල්ප, දෘෂ්ටිය

විෂයයන්

සංකල්ප

භාෂාව තව වර්ධනය විය යුතුය.

ආකෘතික වශයෙන් වැඩෙන්නට අවශ්‍යය.

භාෂාවේ ලස්සන තැන් තිබේ.

ඒකාකාරිත්වය බිඳින්න.


අවසන් පිටුව ‘තරුරසීගේ කවි රසය‘ නම් මාතෘකාවෙනි.

ස්තූතිය සඳහා ඇය තෝරාගෙන තිබුණේ එදිරිවීර සරච්චන්ද්‍ර මහතාගේ සිංහබාහු දෘශ්‍ය කාව්‍යෙය් ප්‍රකට ප්‍රේමය පිළිබඳ පහත සඳහන් කවි පද...


ලෝ දහමින් වැදෙනා රළු පහරින්

ගත සිත රිදෙනා කල නිතියෙන්

නැත ලොවේ අන් රසඳුනා

ආදරේ සේ සුවදෙනා

 

පසුගිය සැප්තැම්බරයේ පොත් ප්‍රදර්ශන භූමියේ 

විපුලි අක්කේ... මේ ජීවිත ගමනේ හැම මොහොතකදිම ඔයාගෙ ආදරණීය හඬින් ‘නංගි’ කියා අමතනු ඇසෙනු ඇති. ‘තරු නැන්දේ... තාම තරහද මා එක්ක’ කියා වට්සැප් පණිවිඩයක් ආවොතින් තව එකම එක සැරයක්... ‘මං කවදාවත් ඔයා එක්ක තරහ වෙන්නෙ නෑ විපුලි නැන්දේ’ කියා ලියා එවන්නට තිබුණා. කතා කරන්නට තවත් බොහෝ දේ ඉතිරිව ඇතැයි දැනෙන, හැඟෙන හැඟීම හදවත මහා හිස් බවකින් පුරවනවා. ඒ හිස්තැන නම් කවදාවත් නොපිරේවි.

කිසිවෙකු නිසි ලෙස කියවා නොගත් විපුල කවියක් වන් සොයුරියක් ඇය... එකම එක සැරයක් අනේ අපිට ආයෙමත් කතා කරන්නට තිබුණා නම්.... !

විණැන කලා හා මාධ්‍ය පදනම විසින් සංවිධානය කළ ‘‘තරු ඇස් රහස්‘‘ කවි එකතුව පිළිබඳ සංවාදය 2016.06.05 දින මීගමුව මාරිස් ස්ටෙල්ලා විදුහලේ දී පැවැත්විණි. 



‘‘කවිය, කවියන් සහ මහ පොලොවේ අරගලය මෙතරම් දුරස් මන්ද?
අභියෝගාත්මක අදහසක් එක් කරමින් කතිකාව නව මඟකට කැන්දූ බ්රිටෝ සහෝදරයා...

මේ සිනාව පැන නගින්නෙ නම් ‘‘සන්ධ්යා ගැන ලියල තියෙන කවිය පැහැදිලි නොකළ නම් මම ඒක තේරුම් ගන්නෙ හැන්දෑවක් ගැන ලියපු එකක් විදියට‘‘ කියූ කතාවට...




 

අප දෙදෙනා සීතා සොයුරිය සමඟ...
සැබවින්ම අපතර බැඳීම් දළුලා වැඩෙන්නට ආරම්භක සාධකයක් වූයේ සීතක්කා




Tuesday, February 12, 2019

O2 for Teen Soul - නව යෞවනයට ජීවිතාර්ථ චිකිත්සාවක්


මා උගත් දීගල්ල රේවත මහා විද්‍යාලය, කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලය යන පාසල්වලට අමතරව මට අමතක ම නොවන තවත් පාසල් කිහිපයක් ඇත. ගුරු ගීතයේ දුයිෂෙන්ගේ අශ්ව ඉස්තාලයේ ඉස්ෙකා්ලය ද, දඟ මල්ලගේ අමුතු ඉස්කෝලය වූ වයිටලීෆ් පාසල, ටොට්ටො චංගේ හරි පුදුම ඉස්කෝලය වූ කෝච්චි පෙට්ටි පාසල... තව මතකය කලතා ලන්නේ නම් ඒ අතරට නම් කිහිපයක්ම එකතු වනු ඇත.

ඔව් ! තවත් සුවිශේෂ පාසලක් ඒ අතරට එක් කළ හැකිය.

ඒ කළුතර ශුද්ධවු පවුලේ කන්‍යාරාමය ය. මට එය හරි පුදුම ඉස්කෝලයක් ලෙස දැනෙන්නට හේතු වූ කාරණය ලංකාවේ අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ දියුණුව පිළිබඳව සිහින දකින බොහෝ අයට වැදගත් කාරණයක් ම වනු ඇත. 

පාසලක් යනු කුඩා ළමයින්ගේ නැණසලක් පමණක් නොව නව යොවුන් දරු දැරියන්ගේ ජීවිත පුබුදුවන තීරණාත්මක මංසලක් බව ද මැනවින් පසක් කොට ගෙන සිටින ශුද්ධවු පවුලේ බාලිකාව විශේෂයෙන් යොවුන් දැරියන්ගේ දැනුම, ආකල්ප, කුසලතා සංවර්ධනයට විවිධ වැඩසටහන් ක‍්‍රියාත්මක කරමින් ලබා දෙන පන්නරය විශිෂ්ට මට්ටමේ පවතින්නක් බව නොකියාම බැරිය. 

කළුතර ශුද්ධවු පවුලේ කන්‍යාරාමයේ ශිෂ්‍ය නායිකාවන් පුරා වසර 25ක් තම කණ්ඩායම් ව්‍යාපෘතිය ලෙස දියත් කළේ සුවිශේෂ වැඩසටහන් ය. ඒවා සාමුහික ක‍්‍රියාකාරකම් පමණක් නොව සුවිශාල සමාජ ආයෝජනයන්ය. වඩා වැදගත් වනුයේ නව යොවුන් ජීවිත පුබුදුවමින් සමාජය යහපත් තැනක් කරන්නට එම ව්‍යාපෘති දක්වන සමත් කම ය. සුදු පවුලේ බාලිකාවන්ගේ ව්‍යාපෘති සඳහා කිහිප අවස්ථාවකම සහභාගි වීමේ ඉඩකඩ හිමිවීම මා ලද භාග්‍යයකි.



1993 වසරේ ඔවුන් තම මුල් ම සාමූහික ව්‍යාපෘතිය සිදුකරනුයේ 'විකසිත සිත්තම්' යනුවෙන් චිත‍්‍ර තරඟයක් සහ ප‍්‍රදර්ශනයකි. 

1994 - 'විමසුම් දැකුම්' නමින් අධ්‍යාපනික ප‍්‍රදර්ශනයක් සහ විද්වත් හමුවකි. ඔවුන් සාහිත විමංසා ශිෂ්‍ය සාහිත්‍ය උලෙළ පවත්වනුයේ 1995 වසරේ ය. මේලෙසින් ඇරඹි ගමන තුළ විශේෂයෙන් සිහිපත් වන වැඩසටහන් කිහිපයක නම් ඔබ හමුවේ තබමි. 

‘‘ගී මල් සුවඳ ගීත සාහිත්‍ය උළෙල’’ 1996, 

‘‘නාද සිත්තම් ගී මියැසිය’’ - 1999 

‘‘රළ තරණය’’ චිත‍්‍රපටය - 2003, 

‘යුද්ධයක් පවතින රටක සෑම පුරවැසියෙක්ම ප‍්‍රාණ ඇපකරුවෙක්’ යන තේමාවෙන් නිෂ්පාදනය කළ ‘‘දූතිකාවෝ’’ වේදිකා නාට්‍යය 2005, 



‘‘සවිකල්ප’’ හරවත් රූපවාහිනී මාධ්‍ය භාවිතාවක් වෙනුවෙන් ඉදිරිපත් කළ විකල්ප මාධ්‍ය වැඩසටහන - 2006,

‘‘ආදරය සපිරි නව ලොවක් සඳහා කාන්තා දායකත්වය’’ මැයෙන් ‘‘ඇය’’ සමුළුව සහ ප‍්‍රසංගය - 2008

‘‘ප‍්‍රාණ පරිත්‍යාගී කැපකිරීමකින් තොරව පෘථිවිය ආරක්ෂා කළ නොහැක.’’ යන තේමාවෙන් නිමැවූ සියැටෙල් දියණියෝ වේදිකා නාට්‍යය - 2010

මේ ආකාරයට පුරා වසර 25 ක් පාසලේ සිසුවියන්ගේ සාහිත්‍ය, කලා, සෞන්දර්ය හැකියාවන් මෙන්ම පුද්ගල සහ සමාජවබෝධය ද පුළුල් කිරීම සඳහා මෙම ව්‍යාපෘති සුවිශේෂ මෙහෙවරක් ඉටුකර ඇත. යොවුන් දැරියන් පමණක් නොව මෙම ව්‍යාපෘති හරහා ගුරු භවතුන්, දෙමව්පියන් මෙන්ම ප‍්‍රදේශයේ සෙසු පාසල්ද, ජනතාවද ලැබූ ආලෝකය අති මහත් බව දනිමි. නව යෞවනය සඳහා දිවයින පුරා කළ විවිධ වැඩසටහන්වලදී සුදු පවුලේ දියණියන්ගේ ප‍්‍රයත්නයන් අපට ද අත්වැලක් වූ ආදරයෙන් සහ ස්තූතිපූර්වකව සිහිපත් කරමි. 


වසර 25ක අත්දැකීම් එක්රැස් කොට ‘‘ප‍්‍රත්‍යවේක්‍ෂණ’’ - 25 වසරක ශිෂ්‍ය නායිකා ව්‍යාපෘති යන නමින් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ද අනුමැතිය සහිතව කෘතියක් පළකිරීම ද පසුගිය වසරේ සිදු විය. 1993 වසරේ සිට 2018 වසර දක්වා සිසුවියන් සිදුකළ ව්‍යාපෘති සම්බන්ධව විස්තරාත්මක තොරතුරු මෙන්ම ඒ සම්බන්ධව විද්වත් අදහස්, සමාජ ප‍්‍රතිචාර, පුවත්පත් වාර්තාද මෙම කෘතියට ඇතුළත් ය.  
    
2018 වසරේ සුදු පවුලේ ශිෂ්‍ය නායිකාවන් සිය ව්‍යාපෘතිය ලෙස දියත් කළේ නව යොවුන් වියට ප‍්‍රබලව බලපාන කාරණා රැසක් සාකච්ඡා වන යූ ටියුබ් වීඩියෝ 14 කි. නව යෞවනයට ජීවිතාර්ථ චිකිත්සාවක් යන මැයෙන් මෙම වීඩියෝ දැන් යූ ටියුබයට මුදා හැර ඇත. O2 for Teen Soul - Motto Therapy Center  යන නමින් අන්තර්ජාලය තුළ ඔවුන්ගේ යෞවන අපේක්ෂාවන් සහ නිර්මාණශීලී හැකියාවන් ඔබට හමුවනු ඇත. 



ශ‍්‍රී ලංකාවේ නව යෞවනය මුහුණ පාන ගැටලූ හඳුනාගැනීම සහ ඒවාට විසඳුම් සෙවීම සඳහා උනන්දු කරවීමට මඟ පෙන්වීමක් ලෙස මෙම වීඩියෝ වැඩසටහන් මාලාව නිෂ්පාදනය කරන බව බාලිකාවන්ගේ අරමුණු අතර සඳහන් ය. 'උපතක විපතක්' නමින් නව යොවුන් මව්පියන් සම්බන්ධ ගැටලූ, 'සයිබර් අකුණු' ලෙස සයිබර් මංමුලාවූ යෞවනය, 'ආදර රිදුම් පරදා' මැයෙන් ආදර පැරදුම් අභිබවා ජීවිත ජයග‍්‍රහණය කරා යොමුකිරීම, 'සැබෑ වීරයෝ' නමින් ජීවත් වෙන හැටි කියා දෙන සුපිරි තරු ආදී වශයෙන් නම් කරමින් මෙම වීඩියෝ 14 නිර්මාණය කර ඇත. 



නව යෞවනයට ජීවිතාර්ථ චිකිත්සාවක් වැඩසටහන් මාලාවේ ‘නව යෞවනයයි - ගීතයයි’ යන තේමාව ඔස්සේ විශේෂයෙන් BlackMail ගීතය ගැන අදහස් දැක්වීමේ අවස්ථාවක් මටත් ප‍්‍රවීණ ලේඛක, සමාජ ක‍්‍රියාධර චූලානන්ද සමරනායක සොයුරාටත් හිමි විය. එබැවින් සමස්ත ක‍්‍රියාවලිය තුළ සිසුවියන්ගේ ක‍්‍රියාකාරිත්වය පිළිබඳ දළ අදහසක් ලබා ගැනීමේ අවස්ථාව විවර විය. 

මෙම වැඩසටහනේ සංවිධානය කටයුතු, අදහස්, තීන්දු තීරණ, තිර පිටපත් ලිවීම, දර්ශන තල සොයා ගැනීම, මෙහෙයවීම, නිවේදන, රංගන, සංගීතය, පසුතල නිර්මාණ, සංස්කරණය ආදී වූ බොහෝ කටයුතු සිදුවූයේ සිසුවියන් අතින්ම වීම සුවිශේෂ කරුණකි. විවිධ පැතිකඩ ඔස්සේ ස්වකීය දක්ෂතා උර ගා බැලීමට ඔවුන්ට ලැබුණු කදිම අවස්ථාවකි. එසේම අධ්‍යාපන කටයුතු සමඟ සමබරව විෂය බාහිර වූ මෙම ක‍්‍රියාකාරකම් සිදුකිරීමට ඔවුන් දැරූයේ අපමණ වෙහෙසකි. විඩාව නොසලකා, මහත් වගකීමෙන්  කැපවීමෙන් කටයුතු කළ ඔවුන් ඒ තුළ ලද මහා තෘප්තිය සහ නිදහස මම ඒ සිනාවන් අතර දුටුවෙමි. 


ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනයේ සාර්ථකත්වය උර ගා බලන මෙම ව්‍යාපෘති සෑම පාසලකටම ආදර්ශයකි. පාසල් තුළ තමන් සතු සම්පත් අනුව මෙබඳු ව්‍යාපෘති සාමූහිකව දියත් කළ හැකි නම් පාසලට පමණක් නොව සමස්ත සමාජයට එය මහත් ආලෝකයක් වනු ඇත.

මෙවැනි භාරදූර ව්‍යාපෘතියක් සඳහා අවසරය සහ මඟ පෙන්වීම ලබා දුන් විදුහල්පති පැවිදි සොයුරිය සහ අනෙක් පැවිදි සොයුරියන්, ගුරු භවතුන් සහ දෙමව්පියන් දරුවන්ගේ සිහින සැබෑ කරගැනීමට ලබා දුන් දායකත්වය පැසසිය යුතුය. 

එක් දුයිෂෙන් කෙනෙකු එක් පාසලකට හොඳටෝම ඇති ය. එයට නිදසුනක් අවැසි නම් කළුතර ශුද්ධවු පවුලේ කන්‍යාරාමයේ පසුගිය වසර 25ක ශිෂ්‍ය නායක ව්‍යාපෘති දෙස බලන්න යැයි ඔබට ඇරයුම් කරමි. 

Tuesday, January 1, 2019

ආදරණීය ජොආනා....



ඈ ළදැරියකි. සැබවින්ම ළමා වියේ කෙලිළොල් බව ද, විමසිලිවන්ත බව ද, ආදරණීය බව ද උතුරා යන දැරියකි. මා ඈ ගැන ලිවිය යුත්තේ ඇයි?

‘‘දරුවන්ට මා වෙතට එන්නට ඉඩ දෙන්න. මන්ද ස්වර්ග රාජ්‍යය ඔවුන්ගේය. ඔබත් ළදරුවකු මෙන් නොවුණොත් ඔබට ස්වර්ග රාජ්‍යයට පිවිසිය නොහැකිය’’ ජේසු කීවේ මන්දැයි මා ඈ දෙස බලමින් නැවත නැවතත් මෙනෙහි කළ බැවිනි.

දින දෙකක නේවාසික වැඩමුළුවක් සඳහා අප තුලනට රැුස්ව සිටියෙමු. ඇය පැමිණියේ ඇගේ අම්මා ඇතුළු පිරිසක් සමඟ මඩකලපුවේ සිට ය. ඈ සිංහල නොදනී. මම දෙමළ නොදනිමි. නමුත් ඇය ඉංග‍්‍රීසි බසින් අදහස් දැක්වීමට සමත් ය. තමන් දන්නා භාෂාවේ පරිමාව තුළ ෙනාපැකිලව ඇය අන් අය හා අදහස් හුවමාරුවට උත්සුක වූවාය. 

උදෑසන වැඩමුළුවේ සක‍්‍රීය දායකයන් වූ තරුණ පිරිස අවදිවන්නට මත්තෙන් ඇය අවදිව, සූදානම්ව ගහකොළ අතර ඇවිදිමින් උන්නාය. සුවිශේෂව ඇය මගේ අවධානය දිනාගත්තේ ඒ මොහොතේය. මම ද ඈ හා පරිසර චාරිකාවට එක්වූයෙමි. 

කොස් ගහේ බැඳි ඔන්චිල්ලාව, ගෙවත්ත වසා පැතිරුණු තණ පලස, එහි ගැවසි අපමණක් උඳුපියලිය මල්, තුත්තිරි ගස්, කිලිටි වතුර දරා ගත් සිමෙන්ති පොකුණ, තුලන තැන තැන පැවති මූර්ති, චිත‍්‍ර මේ සියල්ල දෙස ඇය බැලූවේ එක හා සමාන උනන්දුවකිනි. දීප්තිමත් දෙනෙතිනි. ඈ ඒ සියල්ල විඳිමින් උන්නේ ජීවිතේ පළමුවර පාරාදීසයට ආ සිඟිති සුරංගනාවියක් එහි අසිරිය විඳින්නාක් මෙනි. 

හරියට සෝර්බා නම් ග‍්‍රීකයා කෘතියේ සෝර්බා ලෝකය දකින්නාක් මෙන්...

කූරටු කෑලිවලින් අමුණා මා ඇය වෙනුවෙන් තනා දුන් කොස් කොල තොප්පිය වැඩමුළුව හමාරව අප නික්මෙන තුරුම ඇය මහත් ප‍්‍රවේසමින් රැකගත්තාය. හිමිදිරියේ අප හා ඇති වූ මිතුදම කොතරම් ද යත්, අවසන ඇගේ මව අප දෙදෙන ඡායාරූපයකට හසුකරගනිමින් පැවසූවේ...

"Joana With her New Mum" කියාය. සැබවින්ම ඇය ආදරය විඳින්නටද, ආදරය බෙදන්නටද අනලස් මනසකින් පේ වී සිටින දැරියකි. මා පවා ඇද බැඳ ගත්තේ ඒ ආදරණීය බවමය. 

ඒ පියාපතක් වන් සැහැල්ලූව, නිදහස් කෙලිලොල්බව තව කොතෙක්කල් සුරැකිව තබා ගන්නට ජොආනාට හැකි වනු ඇත්ද? 

‘‘ජොආනා ළමා වියේ ස්වර්ගරාජ්‍යය තුළ හැමදාම ජීවත් වන්නට නම් අපට මේ සමාජය ඒක්ක විශාල අරගලයක් කරන්නට සිදුවන බව නිසැකයි. බොහෝවිට සිදුවන්නෙ අප ඒ ස්වර්ගය හැර දමා නිරයේ පැසෙනු පිණිස රැල්ලට ගසාගෙන යාම. ඒත් ජොආනා, දරුවන් තුළ වන ස්වර්ගය සුරකිනු පිණිස මට කළ හැකි යමක් ඇත්නම් හැමදාමත් එය නොපැකිලව ඉටුකරන්නම්.’’

අලූත් අවුරුද්දේ ඔබත් ලෝකය දශමයකින් හෝ යහපත් තැනක් කරන්න කැපවනු දැක්ම මගේ අපේක්ෂාව.... 

Tuesday, March 20, 2018

උත්තරාදේවී සහ තවත් දේවිලා...

දරු ගැබට අත තියාගෙන සිටින උත්තරාදේවී සහෝදරයා ටෙලි නාට්‍යෙයන් 


ඒ අම්මා උන්නේ අමුතුම ඉරියව්වක. එතැන උන්නු පණහකට එහා පිරිස අතරෙ ඒ ඉරියව්ව විශේෂයෙන් කැපී පෙනුණෙ එයා එතන උන්නු පිරිස විතරක් නෙවෙයි, සමස්ත ප්‍රජාවම ප්‍රතික්ෂේප කරන්න වගේ, තවත් අතෙකින් ඒ කිසිවක් ගැන කිසිම හැඟීමක් නැති ආකාරයකින් උන්නු නිසා. මට ඒ අම්ම හමුවුණේ මෑතක කයිට්ස්වල ඇතුළත ගම්මානයක දරුවන් සමඟ වැඩකට ගිහින් හිටි අවස්ථාවක.


මම ඒ අම්ම ගැන ලියන්නමයි හිතන් උන්නෙ. ඒත් පහුගිය දවස්වල ඇතිවුණු කලබල එක්ක ලිවීම අතපසු වුණා. ආයෙම මතකය අලුත් වුණේ පහුගිය සති අන්තයේ ‘සහෝදරයා‘ බලද්දි.

උත්තරා දේවි දැන් දරු ප්‍රසූතිය ආසන්නයේ. ඇයත්, දරුවාත් වෙනුවෙන් කැපවෙන්න රජීව්ගෙ සොයුරියත් නැවත ගෙදර එනවා. රජීව් නැති අඩුව පුරවන්න බැරි බව ඇත්ත. ඒත් අජන්ත තමන්ගෙ උපරිමයෙන්ම උත්තරා දේවිට සුවපහසුව සලසන්න කැපවෙනවා. යුද්දය නිසාත්, බලලෝභී දේශපාලන අර්බුද නිසාත් තනිවුණු බොහෝ ගෑනුන්ට වඩා උත්තරාදේවි වාසනාවන්තයි කියල මට හිතෙනවා. ඒ එක් පැත්තකින් ඇයව ආරක්ෂා කරන ආර්ථික, සමාජ පසුබිමක් තිබීම. තවත් පැත්තකින් ඇයට සහය වෙන අජන්ත, අක්කා, යෙහෙළිය වැනි කීපදෙනෙකු හෝ සිටීම.

ගැබිණි උත්තරාදේවිගේ ඉදිමුණු දෙපා තවන අජන්ත  - සහෝදරයා ටෙලිනාට්‍යෙයන්

පෙර කී අම්මා මට හමුවුණේ පුංචි ගම්මානයක කිතුනු පිරිසක් එක්ව සංවිධානය කළ පාද නමස්කාරයකදි. අප නැවතී උන් දේවස්ථානයේ සිට පාදනමස්කාරය පැවති කුඩා පිට්ටනියට අපි ගියේ තල් ගස් යායවල් මැදින් වැටුණු අඩිපාරකින්. තැන තැන පාළුවට අත්හැරුණු අබලන් නිවෙස් දකින්නට තිබුණා. යුද සමයේ නටබුන්.

පාද නමස්කාරය අවසන් වුණේ පූජාවෙන්. පූජාව නිමවුණාම දේවස්ථානයේ පියතුමා එහි සිටි දමිළ කිතුනු පිරිසට අපේ කණ්ඩායම හඳුන්වා දුන්නා. ඒ හැමදෙනාම අප දෙස හැරී සිනා මුහුණින් අපව පිළිගත්තා. ඒවෙද්දිත් එතැන උන් දරුවන්ව අපේ වැඩසටහනේදි හමු වී තිබුණ නිසා ඔවුන්ගේ සිනා මුහුණු විශේෂයෙන් කැපී පෙනුණා. 

මා කළින් කී අම්මා සිටියේ දමිළ පිරිසත්, අපත් අතරමැද බිම වාඩි වී පියතුමා දෙස බලාගෙන.  පියතුමා අප ගැන හඳුන්වා දෙන විට පියතුමාට පසුපස හැරවූ ඈ අප දෙස බලනු වෙනුවට අප දෙපිරිස අතරින් කොහෙදෝ ඈතක බලා උන්නා. ඒ මුහුණෙ තිබුණෙ කිසිවකුත්, කිසි දෙයක් ගණන් නොගන්නා හිස්බවක්. පියතුමාගේ කතාවත්, අපේ කණ්ඩායමේ කතාවකුත් අවසන් වන තුරු ඒ ඉරියව්වෙන් එලෙසම සිටි ඈ සියල්ල අවසන් වනවාත් සමඟ කිසිවෙකු දෙස හෝ නොබලා නැගී යන්නට ගියා.

ජීවිත කාලය පුරාම වින්ද වධ වේදනාවල හැටියට ඒ අම්මල අපට වෛර කළත් සාධාරණයි කියන හැඟීමයි එවෙලෙ මට දැනුණෙ. කිසිම හැඟීමක් පළ නොකළ ඒ වියලි දෑසත්, මුහුණත්, ඒ අනපේක්ෂිත හැසිරීමත් මගේ හිතේ ඇඳිල තිබුණා.

අවසන් යුද්දයෙන් මිය ගිය ස්වකීයයන් සමරන දමිළ මවක් - සේයා රුව සම්පත් සමරකෝන්ගේ මූණුපොත් පිටුවෙන්


සියලු වැඩ අවසන්ව රාත්‍රියේ දවස පිළිබඳ සමාලෝචනයෙදි මගේ අදහස් දැක්වීමෙදි මම ඒ අම්ම ගැනත් මතක් කළා. ඒ මොහොතෙ පියතුමා කිව්ව කතාවත් එක්ක අපි හැමදෙනාගෙම හිත් ආයෙ අලුත් වටයකින් රිදුම් දෙන්න ගත්තා.

‘‘ඉන්දීය සාම සාධක හමුදාව ආව වෙලාවෙ මේ පැත්තෙන් ගහගෙන, ගහගෙන මේව හිස්කර ගෙන තමයි යාපනේට ගිහින් තියෙන්නෙ. මේවයෙ උන්න මිනිස්සු මරල, ගැහැනුන්ව දූෂණය කරලා, ගොඩක් කාන්තාවන්ට හිරිහැර වෙලා තියෙනවා. ඒ වගේම හමුදාව, පොලිසිය නිසා තාත්තලා නැති දරුවො ලැබුණු අම්මලත් මේ පැතිවල ඉන්නවා. ඒ අම්ම එහෙම කෙනෙක්. එයාට ඉන්නවා තාත්තෙක් නැති දරුවෙක්.‘‘ 

ඒ වියපත් දෑසේ පැවති මහා හිස්කම මට හරියටම කියවාගන්නට හැකිවූයේ ඒ මොහොතෙදි. යව්වනයෙදිම තාත්තෙක් නැති දරුවෙක් එක්ක ජීවන අරගලයට මැදිවුණාම, ඒ අතර උන් හිටි තැන් නැතිවුණු මහා යුද්දෙකටත් මුහුණ දෙන්න වුණාම ගැහැනියක් දරාගන්නේ කොහොමද? වැන්දඹු වුණු, වැන්දඹු කර දැමූ බෙහෝ ගැහැනු ලංකාවෙ ඉන්නවා. එයින් වැඩි දෙනෙක් ජීවිත සටනට උරදීමෙදි උත්තරාදේවි තරමටවත් වාසනාවන්ත වෙන්නෙ නැහැ.

අතුරුදහන්වූවන් පිළිබඳ යුක්තිය ඉල්ලා සිදුකරන සත්‍යග්‍රහයක සන්ධ්‍යා එක්නැලිගොඩ ඇතුළු දමිළ මව්වරුන් පිරිසක්
සේයා රුව -  ලාල් ලක්ෂ්මන්
                                                

Friday, December 22, 2017

අමුතු රැයක පුංචි තරුවක කතාව


මම පුංචි තරු කැටයක්.. මිලියන, බිලියන, ට්‍රිලියන ගණනින් සහස් සුවහස් තරු පංතීන් අතර පියවි ඇහැටත් නොපෙනෙනා තරම් පුංචි ම පුංචි තරු කැටයක් නම් මොකක්ද? ඔබ හිතාවි. නමුත් මට මං ගැන හරිම සුවිශේෂී හැඟීමක් දැනෙනවා. ඒ එදා රැයේ ඒ අහසෙ ක්ෂුද්‍ර ඉඩක් මටත් වෙන් වෙලා තිබුණ නිසා.

ඒ ය හරි අමුතු නිස්කලංක රැයක්. ඒ නිස්කලංකකම ඇතුළෙ දිලිහි දිලිහි තිබුණා අමුතු අසිරියක්. ඒක හැමදාම අල්ලල නතර කරගන්න තරම් හිතෙන අමුතු චමත්කාරයක්. එතෙක් ගැඹුරු නිද්‍රාවක ගිලිල උන්න සුවිසල් තරුවක් හිටි ගමන් මහා ආලෝකයකින් ඇවිළෙන්න ගත්තා. ඒ ආලෝක කිරණ දීප්තිමත් කිරණ ගංඟාවක් වෙලා මහ පොළවට ඇදෙන්න ගත්තා. මගේ කණාමැදිරි කිරණ බැල්මත් ඒ ආලෝක දහර දිගේ පෘථිවි තලය දිහාටම ඇදුණා. මහ පුදුමයක්... බලගතු අධිරාජ්‍යයක වැඩිය කාගෙවත් ඇල්මක් බැල්මක් නොවැටුණු නගරයක්. ඒ නගරයේ සතුන් ගාල් කළ පුංචි මඩුවක්. ඒ පුංචි මඩුවෙ කෑම ඔරුවක වියළි තණ පියලි සයනාසනය කරගෙන සුව සේ නිදා ඉන්නා පුංචි බිළිඳෙක්... තරු කිරණ නැවතුණේ ඒ සිඟිති මුහුණට හාදුවක් දෙමින්... වෙහෙසපත් දිළිඳු මවක්, පියෙක්. නමුත් ඒ මුහුණුවල බලාපොරොත්තුවක සේයා දැවටිලා.
අහස පුරා තරු අතරින් කිමිදිලා ආ සුරදූතයින් ගීතයක් ගැයුවා.

‘‘ස්වර්ගයෙහි දෙවියන්ට මහිමය වේවා ! මේ මිහිතලය මත සියලූම ජනතාවට සාමය වේවා !’’


මේ විදියට ගයමින් දේවදූතයො මුලින්ම ගියේ තමන්ගෙ බැටළු රංචු රැකබලාගනිමින්, සීතලේ ගැහි ගැහී කයිකතන්දර කියමින් තණබිම්වල වාඩිලාන උන්නු දුප්පත් එඬේරු ළඟට. පීඩිත ජනතාවට විමුක්තියේ මග හෙළි පෙහෙළි කරන ගැළවුම්කාර දේව පුත‍්‍රයා උපන් බව කියන සුබ පණිවිඩයයි දේවදූතයන් එඬේරුන් වෙත අරන් ගියේ. ඒ දුප්පත් මිනිස්සු තමන් වෙනුවෙන් ගැළවුම්කාරයෙක් උපන්නා කියන සුබාරංචිය භාරගත්තෙ අප‍්‍රමාණ සතුටින්. ලහි ලහියෙ ඒ බිළිඳා සතප්පල තියෙන ගව මඩුව පැත්තට එඬේරුන් දිවගියා.

ඒ වෙද්දිත් අධිරාජ්‍යවාදය එක්ක එකතු වුණු ආගමික අන්තවාදයන් මහපොළව ගිලගෙන තිබුණෙ. එහෙව් කාලෙක ගැළවුම්කාර දේව පුත‍්‍රයෙක් ලෝකයට එවන්න දෙවියන්ට හිතුණ නම් ඒක පුදුම වෙන්න කාරණයකුත් නෙවෙයි. ලෝකෙ අස්සක් මුල්ලක් නෑර සිද්දවෙන අකටයුතු නිතරම මටත් පෙනුණා. ඒත් මං වගේ පුංචි තරුවක් ඒ වෙනුවෙන් මක්කරන්නද? ආලෝකවර්ෂ දාස්ගාණක් ගෙවුණත් බල අරගලවල පැටලෙන, ආගමික අන්තවාදයන් එක්ක ඇවිළෙන මිනිස්සුන්ට මනුස්සකම ගැන වැටහීමක් ඇති වෙන එකක් නෑම කියලයි මට එදා හිතුණෙ.

මිනිසුන්ගෙ ගැළවීම වෙනුවෙන් උපදින මෙසියස්වරයා දාවිත්ගෙ නුවර උපදින, දාවිත්ගෙ පරපුරෙන් පැවත එන කෙනෙක් කියන එකයි ඒ දවස්වල ජුදා ආගම ඇදහූ ජනතාවගෙ විශ්වාසය වුණේ. බිළිඳාගෙ තාත්තා ජුසේ වඩුරාලත් දාවිත්ගෙ වංශයෙන් පැවත ආ කෙනෙක්. ඒ නිසානෙ ජන සංගණනයට දාවිත්ගෙ පෙළපතට අයිති නුවර වුණ බෙත්ලෙහෙමට යන්න වුණෙත්. ගව මඩුවට ඇවිත් බිළිඳා බැහැදැක්ක එඬේරුන්ට මේ ඉතිහාස කතාත්, ආගමික විශ්වාසයනුත් ටක්කෙටම මතක් වෙන්න ඇති.

තවත් පුදුමයක්... සුවිශේෂ තරු එළිය දැක්ක පෙරදිග රජවරු තිදෙනෙකුත් බිළිඳා බැහැදකින්න තෑගි බෝග අරන් දුර බැහැර ගෙවාගෙන බෙත්ලෙහෙමට ආවනෙ. ඒ රැය මහ පුදුම රැයක් කියන්නෙ මං ඒ නිසයි. ඒ උපත පුදුමාකාර උපතක් කියන්නෙ මං ඒ නිසයි. ස්වර්ගයත්, මිහිතලයත්, අහස්තලයත් එක වගේ උද්දාම වුණු රැයක්. සතා සීපාවුන්ටත්, දුප්පත් එඬේරුන්ටත්, රජවරුන්ටත්, දේව දූතයන්ටත් ඉඩතිබුණු වැදුම් ගෙයක්. ඉතින් ඒ අලූත්ම අලූත් උපතක් නෙවෙයිද? ඒ පුංචි ගවමඩුව ඇතුළෙ තිබුණු සාමය, සතුට, සංහිඳීම, සමානාත්මතාව ඒ තරම් පරමාදර්ශී උපතක් තවත් තියෙනවද?


තරාතිරමක් නොබලා මිනිසුන් ඒකරාශි කරන්න පුලූවන් ඒ අධ්‍යාත්මික බලවේගයටයි හෙරොද් උණත් බයවුණේ. අවුරුද්දක් වයස සියලූම පිරිමි දරුවන් කඩුගාන්න කුරිරු ආඥාවක් නිකුත් කරන්න ඔහු පෙළඹුණෙත් ඒ නිසයි. තරුත් කඩාවැටුණු අඳුරු කාලයක්. ලෞකික බලපරාක‍්‍රමය හැමදාම පවතින දෙයක් නෙවෙයි. ඒ නිසාම ඒ බලය රැකගන්න අප‍්‍රමාණ මහන්සියක් දරන්න වෙනවා. ඒ රැකගැනීම කියන්නෙම අයුක්ති සහගත, අසාධාරණ, සැහැසිකම්වලට  තෝතැන්නක්. එදත් අදත් ඒක එහෙමමයි.

ඊටත් වසර ගණනාවකට පස්සෙ කල්වාරි කඳු මුදුනෙ කුරුසයක ඇණගහල මරල දාන්නෙත් එදා ඒ කඩුගාලා විනාශ කරල දාන්න බැරිවුණු විමුක්තිදායක සුබාරංචියම තමයි. ඒ ගවමඩුවක උපන්න බිළිඳාම තමයි පසුකලෙක ගම්නියම් ගම් සැරිසරමින් දුප්පතුන්, අසරණයින්, රෝගීන්, සමාජයෙන් කොන්වූවන් එක්ක ලෞකිකත්වයෙන් එහා තියෙන අධ්‍යාත්මික විමුක්තිය ගැන කතා කළේ.  ධනය, බලය, ආගම නිසා අන්ධ වූ මිනිස්සුන්ට, තමන්ගෙම අන්තවාදයන් මිස මනුස්සකම තේරුම් නොගන්න මිනිසුන්ට තමන්ගෙ රාජ්‍ය බලයට, ආගමික බලයට තර්ජනයක් විදියට පෙනුණු ඒ තරුණයාගේ විප්ලවය අදත් නොබිඳී ඉදිරියට යනවා. ඒ දෙවියන් බලාපොරොත්තු වුණු අධ්‍යාත්මික රාජ්‍යය තවමත් මේ මහපොලවට හුඟක් දුර නිසා.


එදා වගේම අදත් නිවි නිවී දැල්වෙන මං වගේ ක්ෂුද්‍ර තරුවකට වුණත් හිතෙන්නෙ අනේ එදා ඒ ගව මඩුව ඇතුළෙ තිබුණු නිවන සමාජයේ හැම තැනකම තියෙනවනම් කොයි තරම් අපූරුද කියලයි. අද නත්තල්ය කියල සමරන මේ සරුවපිත්තල වෙස් නැටුම නම් එදා ඒ ගවමඩුවෙ සිදුවුණු බිළිඳු උපන්දිනය කියන අධ්‍යාත්මික මංගල්ලය අහලකින්වත් තියන්න බෑ. 



( 2016 වසරේ නත්තල වෙනුවෙන් කිතුසර පත්තරයට ලියූ ලිපියක්. )

Friday, November 17, 2017

පාට පෙට්ටියක් පොළවේ ගැසීම චිත්‍රපටියක් නම්?


‘පාට පෙට්ටියක් පොළවේ ගැසීම චිත්‍රපටියක් නම් ‘දේදුනු ආකාසේ‘ ද චිත්‍රපටයකි‘ කියා කීවේ මා නොවේ. අසංක සායක්කාරය. කතාව නම් ඇත්තය. ‘දේදුනු ආකාසේ චිත්‍රපටයක් නම්, ඇත්තම චිත්‍රපටිවලට කියන්නේ කුමක්දැයි‘ මම ද සිතමින් සිටිමි.

ඩීමන් ආනන්ද රහස් පරීක්ෂක කතා ලියද්දී කරුණාසේන ජයලත් ද නවකතා ලිව්වේය. මාටින් වික්‍රමසිංහ නවකතා ලිව්වේය. මේ හැම කෙනෙකුටම තමන්ගේම වූ පාඨක, රසික සමාජයක්ද විය. දැන් වුණත් සුජීව ප්‍රසන්නආරච්චිගේ කතා කියවන රසික පිරිසක් වෙත්. හැමෝටම චෙකෝෆ්, ගෝර්කි, කොයියෝ, අරුන්දතී රෝයි, සලමන් රුෂ්ඩි හරියන්නේ නැත.


ඔන්නොහේ කමක් නැත කියා හිත හදාගන්නෙමි. ඒත් ඉතින් මේ ටික නොකියාමත් බැරිය.

රූප රාමුවල දුබල පෙළගැස්ම නිසාද, හරිහැටි රඟපාන්නට බැරි නිළියන් නිසාද කතාවේ අබල දුබල බව වැඩියෙන් කැපී පෙනෙන්නේය. මේ කතාවම වුණත් මීට වඩා ලස්සනට, තාත්විකව ගොඩනගන්නට ඉඩ තිබිණි. පාට පෙට්ටියක් පොළවේ ගැසීමේ කතාව නම් ඇත්තය. ඒ තරම්ම වෛර්වණය. නමුත් භාව උද්දීපනයන් නම් දුර්වර්ණය. ප්‍රියංකර රත්නායක, ජයලත් මනෝරත්න අපරාදේ කියා ඇත්තටම මට සිතුණි. හේමාල්ගේ රංගනයේ නම් ගත යුත්තක් ඇත.

ඒ නිළියන් නම් කුමට ගත්තාදැයි නොදනිමි. එයාලා අඬද්දී මට හිනා එන්නේය. එයාල හිනාවෙද්දී මට අඬන්නට සිතෙන්නේය. ලංකාවේ මෙතරම්ම නිළි හිගයක් ඇතැයි මම දැන නොසිටියෙමි.

.......

‘ඉතින් ඔච්චරම අවුල් නම් ඇයි බැලුවෙ?‘ කෙනෙක් අසන්නට ඉඩ ඇත.
උදේ ඇස් ඇරෙන්නේම කුස්සියට යාම එපා වූ දවසකින් යැයි සිතන්න. තමන් උයා ගන්නා දෙය කදමලු බැඳගෙන ගෙන ගොස් හැමදාම තමන්ටම කන්ට සිදුවීම, එපාවෙන වැඩකි. ඒත් ඉතින් කුස්සියට නොගොස් ඉන්නට, නොඋයාම ඉන්නට බැරි දවසක් ආවම...

ඒ අතර, කාර්යාලය මතක් වෙද්දී සිහිසන් නැතිවන්නට එන්නේ නම්,
ඒ තරම් අමාරුකම් දරාගෙන වුණත් රස්සාවට එද්දී මඟදි කෝච්චිය කැඩෙන්නේ නම්,

කෝච්චිය හදාගන්නා තුරු කල් මරද්දී කාර්යාල වෙලාව පමාවන්නේ නම්,

හිටිගමන් බැස හිස හැරුණු අතක ඇවිද යන්නට සිතෙන එක වළක්වන්නට බැරිය. එහෙම ඔහේ ඇවිද යන අතරතුර දේදුනු ආකාසේ නොව ඕනෑම එකක් බලන්නට හිතක් පහළ වීම ස්වාභාවිකය. පාට පෙට්ටිය පොළවේ ගැසීම බැලුණේ අන්න එවැනි අන්තිම නරක දවසක ය.

.......

දසුන් !!! අපරාදෙ මේ කොලුවා යැයි සිතුණි. හිටියා නම් ඉදිරියේදී චිත්‍රපටවල වීරයාගේ යාළුවා වන්නටද, සමහර විට, කාලෙකදි වීරයා වන්නට වුවද ඉඩතිබිණි.


මැරෙන්නට තරම් දුකක් ආ විටදී කළ යුත්තේ ගෙට හෝ කාමරයට වැදීම නොව එළියට බැස ඇවිද යාම ය. හිත නිදහස් වන තුරු, සැහැල්ලු වන තුරු ඔහේ ඇවිද යාමය. කා එක්ක හෝ කතා කිරීම, පොතක් පත්තරයක් බැලීම, චිත්‍රපටයක් බැලීම, ගහක් කොලක් ඇලක් දොලක් ළඟ වාඩි වී සිටීම, සාප්පු සවාරි යෑම, පොත් සාප්පුවල රස්තියාදු වීම මේ වගේ ඕනෑම දෙයක් ප්‍රතිඵලදායක විය හැකිය.


ජීවිතය මරණය තරම් පහසු නොවන බව දනිමි. නමුත් අප තෝරාගත යුත්තේ ඒ අපහසු මාර්ගයම  නොවේද?