පිටු

Thursday, March 2, 2023

සුසුමක් ඇවිළුණු මොහොතක්....

 


නිශ්චිත අරමුණකින් තොරව තාවකාලික නවාතැනේ යකඩ ගේට්ටුව විවර කරගෙන මම එළියට බැස්සා. ඉස්තෝප්පුවේ දිගු කොරිඩෝරයේ කෙළවර වේවැල් පුටුවල සුපුරුදු ලෙස සුව නිවාඩු පතා පැමිණි පැවිදි සොයුරියන් කිහිප දෙනෙක් වාඩි වී උන්නා.

‘‘කොහෙද ළමයා උදෙන්ම යන්නෙ...“

ඒ හුරුපුරුදු හඬ ආ දෙසට මං හැරුණා. එක්වනම මගේ හිත වේදනාවෙන් සහ කම්පනයෙන් තිගැස්සිලා ගියා. ඒ රුව මා වෙනදා දුටු රුව නොවේ. හුරු හඬ නොවෙනස්ව තිබුණාට ඒ රුව ?

‘‘යාළුවෙක්ගෙ art exhibition එකක් බලන්න සිස්ට...“ හිනාවෙලා එහෙම කිව්වට ඇත්තටම මට කියන්න නමක්වත් දිවගට ආවෙ නෑ. අව්වත් නැති වැස්සත් නැති බුම්මාගත් කොලොම්පුර අහස යට හිතට සැනසුම ඇබින්දක් අහුලගන්න කොහේ කොතැනට යන්නද කියල හාන්කවිසියක අදහසක් හිත අහලක තිබුණෙත් නෑ. ඒත් මුහුණුපොතේ තැනක චිත්‍ර ප්‍රදර්ශන කිහිපයක නම් කියවුණා මතකයේ තිබුණා.

‘‘ඔයා පොටෝ ගන්නවද?“

‘‘ඔව් සිස්ට, පුළුවන් වුණොත් ගන්නවා.“

‘‘අනේ මටත් එවන්න.“ මට දැන් ඒවා බලන්න යන්න විදියක් නෑනෙ. ඇය එහෙම කිව්වෙ නෑ.

‘‘එවන්නම් සිස්ට...“

ඇය මා දැන හඳුනාගත්තෙ මාස කිහිපයකට පෙර. ඒ වෙද්දි ඇයට ගෙල මුලට කොට බඳින කාලවර්ණ වරලසක්, පැහැපත් පිරුණු මුහුණක් තිබුණා.

ඒත් අද... ඒ වරළස ක්ෂය වෙලා.... දෙකොපුල් වල ගැහිලා... සිරුර කෘෂ වෙලා. මාසයක් දෙකක් ඈ දකින්න නොලැබීමට හේතුව ඒ රුව මත ලියවිලා තිබුණා.

එදා මට එක චිත්‍ර ප්‍රදර්ශනයක්වත් බලන්න ලැබුණෙ නෑ. ගාඩි බලල එන්නට ආවා. ඉන්පස්සෙ වතාවක් අප හමුවුණත් ඇය පින්තූර ගැන ඇහුවෙත් නෑ....

වරදක් නොකළත් වරදකාරී හැඟුමකින් හිත පිච්චෙන්නේ ඇයි කියල මට තේරෙන්නෙත් නෑ...