සහෘද හිතුවතුනි
මේ සන්ධ්‍යාව මා හට ඉතා සොම්නස් සහගත සන්ධ්‍යාවක්. මට මෙන්ම ඇන්ඩෘ ජයමාන්නයන්ට සැබැවින්ම ආදරය කරන සියළු දෙනාට එය එසේ වනු ඇතැයි සිතමි.
පොතක් ජනගත කිරීම සැබැවින්ම මංගල්‍ය කාරණයක්. මේ මංගල්‍යයේ මනාලයා අද අප අතර නෑ. පෙර කී සොම්නස යටින් දිවෙන ඉසියුම් වේදනාවක් වූවත් මෙය සැබැවින්ම සොම්නස් සහගත සන්ධ්‍යාවක්.
ඇන්ඩෘ ජයමාන්නයන්ගේ පනස් වසරක සිනමා දිවිය අගයමින් රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානයේ පැවැති උත්සවයේදි අප කළ කතාව මේ පොතේ ඇතුළත් කර තිබෙනවා.
එහි මෙසේ සඳහන් වෙනවා.
‘‘තාක්ෂණය නොදියුණු ප‍්‍රාග්ධනය ඉතා අඩු කාල වකවානුවක ඇන්ඩෘ ජයමාන්නයන් ඔහුගේ පරපුරේ සහෘදයින් සමඟ කළ වික‍්‍රමාන්විත ක‍්‍රියා සිංහල සිනමා ඉතිහාසයේ එක් පරිච්ඡෙදයක සටහන් විය යුතුමය. එහෙත් ඉතිහාසය පුරාම සිදුවූවා සේ රජුන් මැති ඇමතියන්ගේ වන්දි බට්ටයින් සිංහල සිනමාමේ මහා වංශය ලියන විට ඔවුන් ප‍්‍රමුඛ වී ඔවුන්ගේ පස්සෙන් වැටි ප‍්‍රශස්ති නොගැයු ජයමාන්නයන් වැන්නවුන්ට අදාළ පරිච්ඡේද නොලියවෙන්නට ඉඩ ඇත”
අප මේ සන්ධ්‍යාව අතිශය සොම්නස් සහගත සන්ධ්‍යාවක් යැයි පැවසුවේ එසේ නොලියවෙන්නට ඉඩ තිබු සිංහල සිනමා ඉතිහාසයේ ඉතා වැදගත් පරිච්ඡේදයක් ‘‘හාරලක්සේ” නමින් අද දින සිනමා සාහිත්‍ය ඉතිහාසයට එක්වන නිසාය.
හාරලක්සේ ග‍්‍රන්ථය ගැන කතා කරන්නට ප‍්‍රථම මේ පොත එළි දැක්වීමට දායක වූවන්ට අපගේ ස්තූතිය හිමි විය යුතුය. එහි මුලින්ම, තමා මව්බිමින් පිටුවහල්ව සිටිමින් (ඔහුගේ ස්වයං පිටුවහල් වීම යනු උපන් බිම ඉන්න නොහිතෙන රටක් කළවුන් විසින් සිදු කරනු ලැබු පිටුවහල් කිරීමක් බව කිව යුතුය) තම දිවි දෙවැනි කොට කැපවූ ක්ෂේත‍්‍රය කලකිරිමෙන් යුතුව අත්හැර දැමීමට බලකරනු ලැබීමේ වේදනාව පපුතුරේ තුරුළුකොට ගෙන සිටියදීත් දශක හතරකට එපිට මතක ගබඩාව සීරුවෙන් පිරික්සමින් මේ ග‍්‍රන්ථය අකුරුකොට හඬ පටයක් සේ අපට තිළිණ කළ ඇන්ඩෘ ජයමාන්නයන්ට අපගේ ඉමහත්වූ භක්ති ආදරය හිමිවිය යුතුය. (මේ මොහොතේ අප සියලූ දෙනා නැගිට විනාඩියක් නිහඬව සිටිමින් ඒ ගෞරවාදය ඔහුට පුද කරමු)
දෙවනුව, ඇන්ඩෘ ජයමාන්නයන්ගේ ජීවිතයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් නැවත වරක් ඔහුව සිනමා ඇදුරු භූමිකාවට කැඳවා ගනිමින් මේ ග‍්‍රන්ථය දක්වා වූ ක‍්‍රියාවලියකට මුල පිරු ‘අද දවසේ ජේසු’ කෙටි චිත‍්‍රපටි තරඟය සංවිධානය කළ කිතුසර කණ්ඩායමටත් මීගමුවේ මාසික සිනමා දැක්ම ඇතුළු කලා කි‍්‍රයාකාරකම් සංවිධානය කරන මේ පොත මුද්‍රණය කිරීමට කටයුතු කළ විනැණ කලා හා මාධ්‍ය පදනමටත්, ලාල් ලක්ෂ්මන් සොයුරා ඇතුළු සියලූම සහෘදයින්ටත් අපගේ ස්තූතිය හිමිවිය යුතුය.
අද දින මෙහි අප හා එක් වී සිටින තමාගේ අවංක කෘතවේදි හෘද සාක්ෂිය කිසිදා මිය යන්නට නොදී ඇන්ඩෘ ජයාමාන්නයන් සමඟ අවසානය තෙක්ම ළතෙත් ළබැදි සහෝදරත්වය බෙදා හදා ගත් ධර්මසිරි බණ්ඩාරනායකයන්ටද අපගේ ස්තූතිය පිරිනැමිය යුතුය.
අත්‍යවශ්‍ය කෘත ගුණ පිදුමෙන් පසු මා යොමුවන්නේ ඔබ විසින් කියවිය යුතුම හාරලක්සේ කෘතිය ගැන අදහස් බිඳක් බෙදාගන්නටයි.
යුගයක කතාවක්
ඇන්ඩෘ ජයමාන්න මෙම කෘතිය ආරම්භ කරන්නේ එය මහ පොළවේ පිහිටුවමින් එනම් එම කතාවට පසුබිම් වන යුගය සඳහන් කරමිනි.
‘‘හාරලක්සේ” චිත‍්‍රපටිය නිර්මාණය වන්නේ ලංකා ඉතිහාසයේ සුවිශේෂි හැරවුම් ලක්ෂයක් වන පළමු තරුණ නැගිටීම සිදුවන 1971 දීය. තරුණ කැරැල්ල නිසා මාස කීපයකට චිත‍්‍රපටියේ රූගත කිරිම් නවතා දමන්නට සිදුවන අතර ඇඳිරි නීතිය නොතකා පාරේ ගමන් කිරිම නිසා චිත‍්‍රපටියේ අධ්‍යක්ෂ ටයිටස් තොටවත්තයන්ට දින තුනක් වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ ලගින්නට ද සිදු වේ. ඇන්ඩෘ ජයමාන්නයන්ට දින තුනක් නොව වසර තුනක් වැලිකඩ ලගින්නට සිදුවන තත්වයකින් ඔහු අනූ නවයෙන් ගැලවෙන්නේය.
අනිත් අතට ඒ යුගය සිනමා කර්මාන්තය පැත්තෙන් ගත් විට පෞද්ගලික සමාගම් කීපයක අධිකාරියකට යටත්වූවක් බව ද, සිනමාකරුවන් දේශපාලනිකව බෙදී යාම ආරම්භ වූ අවධියක් බව ද ඇන්ඩෘ ජයමාන්නයෝ සටහන් කරති. රාජ්‍ය චිත‍්‍රපටි සංස්ථාව බිහිවූව ද අද ද ඇත්තේ එදාට වඩා වෙනස් තත්ත්වයක් නොවන බව අප සියලූ දෙනා දන්නා කරුණකි. කලාකරුවන් දීන හීන බවට පත් කරන දේශපාලන ගැතිභාවය ඉන් දශක පහකට ආසන්න අද දින ඒ කලාකරුවන්වමත් සමස්ත කලාවත් විනාශකර දමන පිළිකාවක් බවට පත් වී ඇත.
හැරවුම් ලක්ෂයක්
හාරලක්සේ සිංහල සිනමාවේ හැරවුම් ලක්ෂයකි. එය එසේම විය යුත්තේ ඊට එක්වන්නේ දැවැන්ත පෞරුෂයන් වීම නිසාය. ටයිටස් තොටවත්ත, ඇන්ඩෘ ජයමාන්න, ජෝ අබේවික‍්‍රම ඒ අතර විය.
නිළියෝ තුනයි. සින්දු හතරයි. සටන් ජවනිකා හයයි. ආදි ලෙස වූ වට්ටෝරු සිනමාවෙන් බැහැර වූ හාරලක්සේ කිසිදු නිළියක් නොමැති, කිසිදු ගීතයක් නොමැති චිත‍්‍රපටියක් වූවා සේම සත්‍ය සිදුවීමක් ඇසුරින් බිහිවූ පළමු සිංහල සිනමා කෘතිය ද, පළමු ක‍්‍රියාදාම චිත‍්‍රපටිය ද විය.
හාරලක්සේ කෘතිය තුළ ඇත්තේ හාර ලක්සේ චිත‍්‍රපටිය පිළිබඳ තොරතුරු පමණක් නොවේ. ලංකා සිනමාවේ හරස් කඩකි. එසේම බඩගෝස්තරවාදයෙන් තොර වූ අදීන මිනිසුන් කීප දෙනෙකු පිළිබඳ අව්‍යාජ මතක සැමරුම් ද එහි ඇතුළත් වේ.
පිටපතක් නැති හොඳම පිටපත
හාරලක්සේ පිටපත් රචකයා එය පමා කිරිම නිසා රූගත කිරිම් අරඹන්නේ පිටපතක් නොමැතිවය. හාෆ්ෂීට් පිටු එකයි කාලක සටහනක් සහිතවය. සිනමා සම්මාන උළෙලවල් සිනමාකරුවන් අවඥාවට ලක් කරන ආකාරය ගැන කතා රාශියක් මෙම පොතේ අපට හමු වේ. ඉන් එකක් වන්නේ පිටපතක් නැති හාරලක්සේ ට හොඳම පිටපත සඳහා සම්මාන හිමි වීමයි. ටයිටස් තොටවත්තලාගේ, ඇන්ඩෘ ජයමාන්නලාගේ සිනමා වික‍්‍රමය පොතේ ගුරුවාදි සිනමාවට එල්ල කළ මුෂ්ටි ප‍්‍රහාරය කොතරම්ද ? ඔවුහු සැබැවින්ම පොතෙන් උපන් සිනමාකරුවෝ නොව වැඩෙන් උපන් සිනමාකරුවෝය.
පොදු රසිකයාගෙන් ඉගෙනීම
සිනමාව, සිනමා රසික ප්‍රජාව උදෙසා මිස සිනමාකරුවන් උදෙසා නොවන බව ඇදහු හාරලක්සේ නිර්මාපකයින් සිනමා මූලධර්මවලට වඩා රසිකයාගේ දෘෂ්ටි කෝණය වැදගත් බව තේරුම් ගත්තේ පොතෙන් නොව ක්‍රියාවෙනි. චිත්‍රගාර සාමාන්‍ය සේවකයින්ගෙන් අඩුපාඩු අසා ගන්නට තරම් ඔව්හූ නිහතමානී වූහ.
පොතේ 71 පිටුවේ මෙසේ සඳහන් වේ.
මුලින්ම රීලය ප්‍රක්ෂේපණය කොට ශබ්ද මිශ්‍රණය කරන්නාට අවශ්‍ය අවබෝධය දිය යුතුය.
මෙය සාමාන්‍යයෙන් කරන්නේ ශබ්දාගාරයේ දොරවල් වසාගෙනය. එහෙත් එය තොටවත්තයන්ගේ ක්‍රමය නොවේ. චිත්‍රාගාරයේ දොරවල් අසලත් නොයෙක් දෙනා එබී චිත්‍රපටිය නරඹති. වාදක යන්ත්‍ර තුනක් රූප ප්‍රක්ෂේපණ යන්ත්‍රයත් ඉන්ටලොක් නැතිනම් එකවර ක්‍රියා කරමින් මෙය සිදු කරයි. පළමු රීලය අවසානයේ දොර අසල සිටි අයෙක් “ඒ මොකද වුණේ? මට තේරුණේ නැහැ” කීවේය. තොටවත්ත මහතාට මෙය ඇසුණි.
“කවුද ඒ?”
එය කී තරුණයා බිය විය. “නෑ මේ ඔව්” තටමමින් හෙතෙම යමක් කීමට තැත් කළේය.
“ඇන්ඩෲ රීල් ටික ගලවන්න. මෙයාට තේරුණේ නැතිව අපි මේක කරලා පස්සේ හෝල්වලින් හූ හඬ අහන්නයැ”
කැමරාව මාව බේරගත්තා
ඇන්ඩෘ ජයමාන්නලාගේ පරපුරේ නිර්මාණකරුවෝ මුදල දේවත්වයෙන් පිදුවෝ නොවෙති. ඔවුන්ගේ භක්තිය තිබුණේ නිර්මාණයටය. ඔවුහු නිර්මාණයට දායක වන උපකරණවලට මිනිසුන්ට මෙන්ම ගරු කළෝය. පූජනීයත්වයෙන් සැලකුහ.
අද මෙන් බොහෝ පහසුකම් නැති යුගයක වාහනයේ යන දර්ශන රූගත කළේ කැමරා ශිල්පියාව ලණුවකින් මෝටර් රථයකට ගැට ගසා ය. එක් අතපසුවීමකින් ලණුව ගැලවී ඇන්ඩෘ ජයමාන්නයන් විසි වී බිමට වැටී අනුනවයෙන් ජීවිතය ගලවා ගනී. ඒ සිදුවීම ඔහු විස්තර කරන්නේ මෙසේය.
“එහෙත් පළපුරුදු නළුවෙක් නොවූ ජෝන් සිල්වා බ්‍රේක් පෑගුවේය. මාව විසි විණි. මට සිහිය එද්දී රොබින්ගේ දෑතේ මාව ඔසවාගෙනය. දකුණු ඇස ලෙයින් පිරි ඇත. මම කෑගැසුවේ “කැමරාව කැමරාව” කියාය. එයට කිසිදු හානියක් වී නැති බව දැනගතිමි. මෙම රූපගත කිරිම සිදු වුණේ කඳාන ප්‍රදේශයේ බැවින් මා මීගමුව දිසානායක රෝහලට ගෙන යන ලෙස ඉල්ලා සිටියෙමි. තුවාලය කොහේදැයි දන්නේ නැත. ලෙයින් තෙත් වූ ලේන්සුවකින් ඇස වසා සිටියෙමි. වෛද්‍යවරයා පැවසුවේ කැමරාවේ වැදීමෙන් ඇහිබැම පිපිරි ඇති බවත් ඇසට හානියක් නැති බවත් තුවාලයට මැහුම් දෙකක් දැමු බවත්ය. කැමරාව තදින් අල්ලා සිටි නිසා පිටුපස මස් පිඬු ශක්තිමත්ව තිබීම කොඳුනාරටියට හානියක් සිදු නොවීමට හේතු විය. මම කැමරාව බේරා ගත්තා වගේම කැමරාව මාව ද බේරාගෙන තිබිණි.
කෘතඥතාවය හා අගය කිරීම
කෘතඥතාවය හා අගය කිරිම අද අතුරුදහන්ව ඇති සාරධර්ම දෙකකි. පිට කැසීම, මඩ ගැසීම ඒ වෙනුවට ආදේශ වී ඇත. හාරලක්සේ පොතේ අද අතුරුදහන්ව ඇති ඒ සාරධර්ම කීප තැනකදීම හමු වේ.
තමා උපදෙස් ගත් ප්‍රවීණ කැමරාශිල්පි සුමිත්ත අමරසිංහට ඇන්ඩෘ ජයමාන්නයෝ කෘතඥතාවය පළකරන්නේ මෙසේය.
“දර්ශන තලය නැරඹීමෙන් පසු තොටවත්ත මහතා එකවරම ඇන්ඩෲ ස්ටූඩියෝ එකේ දොර ඇරලා ෂූට් කරන්න” කියලා පිටවුණා. මම වික්ෂිප්ත වීමි. අවුරුදු අටක් පමණ චිත්‍රාගාරයේ වැඩ කර ඇති මුත් දේශීය වගේම විදේශිය චිත්‍රපට කිසිවකත් එවැන්නක් සිදු කර නොමැති බව මට සිහිපත් විය. සාමාන්‍යයෙන් චිත්‍රාගාර ශිල්පින් ඇතුළු වූ පසු දොර වසා දමන අතර ආලෝකකරණය පටන් ගන්නේ ඉන් පසුවය. මොහොතක් කල්පනා කළ මම චිත්‍රාගාරයේ සිටම සුමිත්ත අමරසිංහ මහතා ඇමතිමි. “හරි වැඩේනේ. ඉන්න මං දැම්ම එන්නම්” ඔහු පිළිතුරු දුන්නේය. කෝට්ටේ නිවසේ සිට ම ඔහු විජය චිත්‍රාගාරයට විනාඩි තිහකටත් අඩු කාලයකින් පැමිණි අතර අපි දර්ශන තලය වෙත ගියෙමු.
“ටයිටස් එක්ක වැඩ කරන්න ගියාම තව මොනවා කියයිද දන්නෑ. ඔන්න ඔහේ බය නැතුව ෂූට් කරන්න. එළියේ ආලෝකය වැඩි නම් යෙලෝ ෆිල්ටර් එකක් අවශ්‍ය තරමට දාන්න. පිටත ගැන හිතන්නැතුව ෂූට් කරන්න”
සහෝදර කැමරා ශිල්පියාව අගයන ඔහු තම අධ්‍යක්ෂවරයාට කෘතඥතාවය පළ කරන්නේ මෙසේය.
“සාමාන්‍යයෙන් චිත්‍රපටියක කැමරා ශිල්පියකුට අයත් කාර්යය වන්නේ ඡායාරූප ගත කිරිම හා රසායනාගාර කටයුතු නිරීක්ෂණය කිරීම පමණි. එහෙත් හාරලක්සේ චිත්‍රපටියේ සහභාගිත්වය තුළින් මම විශ්ව විද්‍යාලයකින් හෝ නොලබන පුහුණුවක් ලදිමි. ඒ ටයිටස් තොටවත්තයන්ට පින්සිදු වන්නටය.
එසේම පොතේ අවසානයේදි ඔහු තම මතකයට එන සියළු දෙනාට කෘතඥතාවය පළ කරති.
‘අගය කිරිම’ නම් සාර ධර්මය ප්‍රවීණයන්ගෙන් ආධුනිකයින්ට අවශ්‍ය තැනදි බොරුවට නොව ඇත්තටම ලැබුණු බව ඇන්ඩෘ මෙසේ සඳහන් කර ඇත. ඇන්ඩෘව අගය කිරීමට නිර්ලෝභී වූ ඒ ජේෂ්ඨයා වී. වාමදේවන්.
“දිනක් මා චිත්‍රාගාරයට පැමිණෙන විට වාමදේවන් මහතා ඉදිරියට පැමිණියේය. ඔහු ඈත තියාම මට අත දිගු කර “කන්ග්‍රැජුලේෂන්ස්“ යැයි කීවේය. මම පුදුම වීමි. “මොනවටද ?” මම ඇසුවේය. “මම ඔයාගේ රෂ් එක දැක්කා. හරීම ලස්සනයි. හරීම අලංකාරයි. එඩිට් කරපුවා ටිකක් තොටවත්ත මහත්තයා දාලා බැලුවා. හරීම ෂෝක්. මේ චිත්‍රපටිය හුඟක් අලුත් දෙයක් වේවි”. මට අදහාගත නොහැකි විය. ඔහු මට වඩා පළපුරුදු කැමරා ශිල්පියෙකි. ඔහුගෙන් පැසසුම් ලැබීම සම්මානයක් ලැබුණාට වඩා මට උසස්ය. ඒ අතරතුර ඈත සිට අත්පොළොසන් දෙන හඬකට මම හැරි බැළුවෙමි. ඒ රසානාගාර අධිපතිය. ඔහු මා කැඳෙවුව්වේය. ඔහු මට අතට අත දී ප්‍රශංසා කළේය.”
ඇත්තටම සිනමාව ලෝකයේ ඇති ඉහළම කෘතඥතාවය පළ කරන මාධ්‍යයයි. සිනමා කෘතියක් අග දීර්ඝ නාමාවලියක් දැකිය හැක්කේ ඒ නිසාය. ගම්වාසින්ගේ සහය නොමැතිව එය කළ නොහැකිය. ගම්වාසින්ට යනුවෙන් පවා ස්තූතිය පළ කරන්නේ ඒ නිසාය.
|
ටයිටස් තොටවත්ත |
අදීන මිනිසුන්ගේ කතාවක්
ටයිටස් තොටවත්තයන් හාරලක්සේ අධ්‍යක්ෂවරයා ය. ඔහුගේ අදීන පෞරුෂය ඇන්ඩෘ ජයමාන්නටද බලපෑ බව මෙම පොත සාක්ෂි දරයි.
ගාමිණි ෆොන්සේකා හා ටයිටස් තොවත්ත යන දැවැන්ත පෞරුෂ දෙක ගැටෙන අවස්ථාවක් පොතේ සඳහන් වේ. ඒ එක් අයෙකුට හෝ අගෞරවයක් නොවන පරිදිය.
ගතු කේලාම් පිළිබඳ ප්‍රශ්නයක් නිසා ඇති කර ගත් අනවබෝධයකින් ගාමිණි ෆොන්සේකා ටයිටස් තොටවත්තට චිත්‍රාගාරයට පැමිණිමට ඉඩ දිය නොහැකි බව පවසයි. එකල සිනමාවේ ගණන්කාරයා ඔහුය. ගාමිණ සිනමා සක්විතිය. ටයිමහතා සිනමා ප්‍රඥායෙකි. ගාමිණිගේ තහනම සතෙකට ගණන් නොගන්නා ටයි මහත්තයා ඒ බව දැනගත් මොහොතේම චිත්‍රාගාරයට පැමිණෙන්නේ ඇත්ත ගණන්කාරයා කව්ද යන්න පෙන්වමිනි.
මේ අදීනත්වය ගැන තවත් රසවත් කතාවක් පොතේ සඳහන් වේ. ඒ මෙසේය.
“දිනක් ටයිටස් තොටවත්ත හා අතුල රන්සිරිලාල් දෙපළ රොබින්හුඩ් වැඩසටහන පරිවර්තනය කරමින් සිට ඇත. එවේලේ හදිසියේම යම් පුද්ගලයෙක් වේගයෙන් දොර තල්ලු කරගෙන කාමරයට ඇතුළු වී “ටයිටස් තොටවත්ත” යැයි උස් හඬින් පවසා තිබේ. එහෙත් ටයිටස් තොටවත්ත මහතා එය නෑසුණාක් මෙන් සිය වැඩේ යෙදී ඇත. ස්වල්ප මොහොතකින් නැවත වරක් සැරකොට ටයිටස් තොටවත්ත යයි පවසා ඇති අතර එවර ද තොටවත්ත මහතා නෑසුනාක් මෙන් සිට ඇත. ඊළඟ මොහොතේ “ටයිටස් තොටවත්ත මං ආවේ ප්‍රසිඩන්ට්ගෙන්.” යැයි හඬ නගා ඇත. තොටවත්ත මහතා සිනාසී “අතුල ඔයයි මමයි නම් ආවේ අම්මාගෙන් මෙයා ඇවිත් තියෙන්නේ ප්‍රසිඩන්ට්ගෙන්.” ඒ සමඟම පැමිණ තැනැත්තා කොහේ ගියාදැයි අදවත් තොරතුරු දන්නේ නැතැයි ඔහු කීවේය.
දෙමළ පිටපත
ද්‍රවිඩ ශිල්පින්ගේ ආධිපත්‍යය ගැනත් එය නිමා වූ ආකාරය ගැනත් පොතේ සඳහන් වේ. එහෙත් සිංහල සිනමාව දෙමළ සිනමාවට ණය ගැති බව අප පිළිගත යුතුය. 1983 දී ගිනි තැබු විජය චිත්‍රාගාරය සිංහල සිනමාවටද ගිනි තැබීමක් බව මෝඩ සිංහල දේශප්‍රේමින්ට තේරුම්ගත නොහැකි විය.
ඇන්ඩෘ ජයමාන්න අයත් වූයේ ලෝකය වෙත විවෘත වූ පරපුරකටය. ඒ නිසාම ඔහු ‘හාරලක්සේ’ සිනමා නිර්මාණයේ දෙමළ පිටපතක් නිපදවා ප්‍රදර්ශනයට කටයුතු කළේය. ඒ පුවත ද මේ ග්‍රන්ථයේ ඇතුලත්ය.
සම්මාන විහිළු හා අපහාස
ලාල් සොයුරා ඇන්ඩෘ ජයමාන්නයන්ගෙ නිවසට ගිය පළමු දිනය ගැන තම සටහනේ ලියා ඇත. ඔහු පුදුමයට පත්වන්නේ නිවසේ දොර සුළඟට යාම වළක්වන අඩය ලෙස ජයමාන්නයෝ තමාට ලැබුණු සම්මානයක් තබා තිබෙනු දැකීමෙනි.
ශ්‍රී ලංකාවේ ‘සම්මාන’ යනු විහිළු හා අපහාස උපහාසයේ සංකේත වේ. මේ දැවැන්තයෝ සම්මාන බලා නිර්මාණකරණයේ නියැලුනෝ නොවෙති.
සම්මාන උළෙලවල අගතින් කතෝලික සිනමා පර්ෂදයේ සිට සෑම සම්මාන උළෙලකම පවතින බව මේ පොත සාක්ෂියකි. කතෝලික සිනමා පර්ෂද සම්මාන උළලේ හොඳම කැමරා ශිල්පියා ලෙස ජයමාන්නයන්ටද හොඳම සංස්කරණ ශිල්පියා ලෙස තොටවත්තයන්ටද සම්මාන ලැබෙන බවට ආරාධනා ලැබ ඔවුන් එයට සහභාගි වීමට යන විට සිදු වූ අපුරු සිද්ධියක් මෙසේය. මඟ රැක සිටි පුද්ගලයෙකු ඔවුන්ට නියම වූ සම්මානය වෙනස් කර ඇති බවත් එහෙත් උළෙලට එන ලෙසත් දන්වා සිටි.
“ඔහුද ජූරි සභිකයකු විය. එදින උදෑසන ඇති වූ කිසියම් බලපෑමක් මත මේ තීරණයට එළඹි බව අපි දැන ගතිමු. ඒ කුමක් දැයි ඔහු පවා නොදන්නා බව කීවේය. සම්මාන උළෙල අතර මොනවාදෝ කීවේය. මගේ නමත් කියවුණි. එහෙත් වේදිකාවට කැඳවීමක් නොවු බැවින් මම ද බලා සිටියෙමි. එවිට සංවිධායකයකු පැමිණ මා කැඳවාගෙන වේදිකාවට ගියේය. රතු පීත්ත පටියකින් ගැට ගසන ලද සුද පැහැති රෝලක් මට ලැබුණි. ඒ සමඟම ප්‍රභූන් පිටුපස පනවා තිබු අසුනකට මා යොමු කළේය. උත්සවය අවසන් වන තුරු ඒක විවෘත නොකළ යුතු යයි රහසින් උපදෙස් ලැබිණි. තොටවත්ත මහතාට ද එලෙස ලැබිණි. මා අසල පුටුවට කැඳවාගෙන එන ලදී. මට ලැබුණු රහස් උපදෙස් ගැන තොටවත්ත මහතා විමසීය. මේ රෝල විවෘත නොකරන ලෙස දැන්වූ බව මම කිමි. කාටවත් පේන් නැහැනේ. ඇරල බලන්න. මම එය දිගෑරීයෙමි. එකම අකුරක් හෝ නොලියු හිස් ෆයිල් කවරයකි. තොටවත්ත මහතාගේ එකද ඒ හා සමාන විය. මේ අතර තොටවත්ත මහතා කළ ඉඟියකින් වේදිකාවේ අයිනක සිටි අපට විසුළු කරන ජූරි සහික රැලෙක්ස් රණසිංහ හා ජාතික කතෝලික සිනමා පර්ෂදයේ සුසන්ත තිසේරා දුටුවෙමු. මොහොතකින් අපි දෙදෙන නැගිට වේදිකාව පසුපසින් පිටව ශාලිමාර් හෝටලය වෙත ගියෙමු. අප චිත්‍රපට කරන්නේ මේ රටේ ජනතාවට කෑම බීම සපයන්නට නොවන බව කවුරුත් දනිති. එහෙත් මිනිසාගේ බඩට මෙන්ම බුද්ධියටද අවශ්‍ය දෑ අනිවාර්යය. අප චිත්‍රපට කරන්නේ සම්මාන බලාගෙන නොව ඒ දෙවියන් අපට දුන් රාජකාරියක් ලෙස සලකාගෙනය. කවුරු කාට සම්මාන දුන්නත් අපට ගැටලුවක් නොවීය.”
මේ තවත් සම්මාන විහිළුවකි.
“එවකට සිනමා විචාරක සංගමයක් ද සම්මාන උළෙලවල් පැවැත්විය. එය ෆිල්ම් ක්‍රිටික්ස් ඇන්ඞ් ජර්නලිස්ට් ඇසෝසියේෂන් නමින් ප්‍රකට විය. 1971 වසරේ “ගිළිහුණ මල්” නම් තොටවත්ත මහතාගේ කෙටි චිත්‍රපටියට විශේෂ ත්‍යාගයක් පිරිනැමිණ. එය රුපියල් 500 ක චෙක් පතකි. එවකට අප රේස් කෝස් එකේ රූපගත කිරීම් කරමින් සිටි බැවින් පසුදින තොටවත්ත මැතිනියගෙන් ලබා ගත් ණය මුදලකින් පොඩි සාදයක්ද පැවැත්වීමු. සඳුදා උදෑසන රූපගත කිරීම ආරම්භ කිරීමට පෙර තොටවත්ත මහතාත් මමත් බැංකුවට ගියේ චෙක්පත මාරු කර ගැනීමටය. බැංකුව ඉදිරිපිට ත්‍යාගය පිරිනැමු සංවිධානයේ සභාපති විය. මං ඔයගොල්ලෝ එනකම් උන්නේ. ඕකේ සල්ලි නැහැ. පස්සේ අපි මොනවා හරි කරන්නම් කියා තොටවත්ත මහතාගේ අත වූ චෙක්පත ඩැහැගෙන ක්ෂණයකින් පිට විය. අපි දෙදෙනා ගල් ගැසී බලා සිටියෙමු. දැන් කොහොමද ගෙදර ණය ගෙවන්නේ. තොටවත්ත මහතා මගෙන් විමසීය."
දුයිෂෙන් භූමිකාව
අප ඇන්ඩෲ ජයමාන්නයන්ව ලාංකේය සිනමාවේ ‘දුයිෂෙන්’ ලෙස බෞතිස්ම කළෙමු. චින්ගීස් ආයිත්මාතව්ගේ ‘දුයිෂෙන්’ හෙවත් පළමු ගුරුවරයා නව කතාවේ ගුරු භූමිකාවට සමාන්තර වන ජයමාන්නයන්ගේ දුයිෂෙන් භූමිකාව ගැන මේ පොතට ඇතුළත් ලිපියක අප සඳහන් කර ඇත.
වර්තමානය වන විට උසස් පෙළ සමත් සිසුන්ට තෝරාගත හැකි උපාධියක් ලෙස ‘සිනමාවේදය’ හඳුන්වා දී ඇත. එහෙත් ජයමාන්නයන් සිනමාව ගැන ඉගැන්වීමට පටන් ගන්නේ සිනමාව විෂයක් ලෙස අපේ අධ්‍යාපන පද්ධතියට එක් නොවු විධිමත් සිනමා පාසල් හා පාඨමාලා නැති යුගයකය.
සිනමා විෂය උගන්වන හා හදාරන සැමට ‘හාරලක්සේ’ අධ්‍යයනකට ඉතා හොඳ පොතකි. මන්ද එය ප්‍රායෝගික අත්දැකිම් කියාදෙන බැවිනි.
ඇත්තටම සිනමාව නොව ඕනෑම කලාවක, ක්ෂේත්‍රයක ඉගෙනුම් ක්‍රියාවලියකදි ඉතා වැදගත් වන්නේ ඒ ක්ෂේත්‍රවල ප්‍රමාණිකයින්ගේ අත්දැකීම් ඇතුළත් පතපොතයි. එවැනි මිනිසුන් හා ගැහැනුන් සොයා ඔවුන්ගේ මතකයන් එක් රැස් කර ලියා තැබීම මෙහි සිටින තරුණ තරුණියන්ට කළ හැකි නම් වැදගත් මෙහෙවරකි.
කලාකරුවෝ විනාශ කරන කලාව හා දේශපාලනය
ඇන්ඩෘ ජයමාන්නයෝ තම පොත නිවැරදි තැනකින් ආරම්භ කර ඇති බව මම මේ කතාව ආරම්භයේදි පැවසුවෙමි. මේ කතාව අවසාන කිරිමේ දි මට පැවසීමට ඇත්තේද එවැනිම දෙයකි. එනම් ඇන්ඩෘ ජයමාන්නයෝ මේ පොත නිවැරදි තැනකින් නිමා කර ඇති බවය. ඒ සිනමාව හා කලාව දේශපාලකයින්ගෙන් බේරාගත යුතු බවත් සිනමාව හා කලාව විනාශ වී ඇත්තේ දේශපාලකයින්ගේත්, සිනමා කලා ශිල්පින්ගේත් වරදින් බවත් පෙන්වා දෙමිනි.
කලාකරුවන්ගේ වරද ඔහු පෙන්වා දෙන්නේ විජය කුමාරතුංගගේ කට හඬිනි.
“එක් පුවත්පත් කලාවේදියෙක් මට පැවසු දෙයක් මේ මොහොතේ මගේ මතකයට නැගෙයි. මා හමු වී තොරතුරු ලබා ගත් කර්මාන්තයට සම්බන්ධ සියලු දෙනා දොස් පැවසුරුවෝ සිනමාව බිඳ වැටීමට මූලික හේතුව රජයේ ක්‍රියාකලාපය බවයි. විජය කුමාරතුංග මහතා සිරගෙදරින් නිදහස් වී පැමිණි සතියේදි මෙම වාර්තාකරු ඔහු හමු වීමට ගියේලු. එවිට එම අදහස ඔහුගෙන් ලැබෙන බවද මෙම වාර්තාකරු බලාපොරොත්තු වුණේලු."
එහෙත් විජය කුමාරතුංග මහතා පවසා ඇත්තේ රජය මොනවා කරන්නද ? අපේ ශිල්පින් තම ජීවිකාව රැක දෙන මේ කර්මාන්තයට දුන් දායකත්වය මොකක්ද ? ගේ ළඟට එන වාහනේට කඩිනමින් ගොඩවන්නේ කී දෙනෙක්ද ? අඩු වශයෙන් තේ හදන සේවකයකුගේ කැපවීම තරමටමත් මේ උදවිය නිෂ්පාදනයට දායක වෙනවාද ? එහෙම වෙලා තිබුණා නම් කර්මාන්තය කිසිදාක වැටෙන්නේ නැත” යන්නයි.
දේශපාලකයින්ගේ සිනමාව මුදා ගැනිමේ අවශ්‍යතාවය ඔහු පවසන්නේ
“මගේ රචනය අවසන් කරන්නේ මම ද සහභාගී වු අවස්ථාවක සිද්ධියක් සිහි කරමිනි. එය ඉතා සුප්‍රකට කලාකරුවන්ට සැබෑවටම අත දුන් ප්‍රභුවරයකුට උපහාර පිදීමට සංවිධානය කර තිබු උළෙලකි. ශාලාව නොයෙක් තරාතිරම්වල කලාකරුවන් උගතුන් වැනි අයගෙන් පිරි තිබුණි. ඉතා සන්සුන්ව කථිකයන්ට සවන් දෙමින් රැස්ව සිටි අය සහභාගිත්වය දැක්වූහ. හදිසියේ ම ශාලාව දෙවනත් කරමින් යුද්ධ හමුදාවක් ඇතුළු වන සේ පිරිසක් ශාලාව ආක්‍රමණය කළහ. ඒ රජයේ ප්‍රභූන් තිදෙනෙක් පිරිවරාගෙන පැමිණි ආරක්ෂකයින්ය. ශාලාව පුරා අති දුර්ගන්ධයක් හමා ගිය ආකාරයක් සහභාගී වූවන්ගෙන් දිස් විය. කතා කරමින් සිටි කථිකයා අතරමඟින් කතාව නතර කළා දැයි මට සිතුණි. මීළඟට කතාව පැවරුණේ සුප්‍රකට පණ්ඩිත ස්වාමින් වහන්සේ නමකටය. සංවිධානයකයන් මයික්‍රපෝනය උන්වහන්සේ ළඟට ගෙන යාමට සූදානම් වූවද උන්වහන්සේ සන්සුන්ව මයික්‍රපෝනය ළඟට වැඩම කළහ. උන්වහන්සේ කෙටි දේශනය මේ අයුරින් සඳහන් කිරීමට මට හැක්කේ එවන් දේශනයක් මට කිසි දවසක අමතක නොවන බැවිනි.”
“මේ වෙලාවේ කතා කරන්න තව කීප දෙනෙක් ඉන්නවානේ. ඒ නිසා මම පොඩි කතන්දරයක් කියන්නම්. එකමත් එක රටක රජ කෙනෙක් හිටියා. රටේ අනිත් කෙළවරේ කලාකරුවෙක් හිටියා. රජතුමා කලාකරුවාට පණිවිඩයක් යැව්වා ඇවිත් තමන් හමුවෙන්න කියලා. ඒත් කලාකාරුවා ආවේ නැහැ. රජතුමා මඳක් දුර ඇවිත් නැවත පණිවුඩයක් යැව්වා මම බාගයක් දුර ආවා දැන් ඇවිත් හමුවෙන්න කියලා. ඒත් කලාකරුවා ආවේ නෑ. රජතුමා කලාකරුවාගේ ගේ ඉදිරිපිටම ඇවිත් කිව්වා මම දැන් ඔබගේ ගේ ඉදිරිපිට ම ආවා ඔබට අවශ්‍ය ඕනෑම දෙයක් කියන්න මම දෙන්න ලෑස්තියි. කලාකරුවා හැරිලා කිව්වා රජතුමනි ඔබතුමා දොර ළඟින් මෑත් වුණොත් ඇති. ඔබතුමාගේ සෙවණෑල්ල හින්දා මට මේ වැඩේ කරන්න බෑ”
ඇන්ඩෘ ජයමාන්නයෝ පෙන්වා දෙන මේ කරුණු දෙක නිවැරදි කරගන්නා තුරු සිනමාවත් කලාවත් විනාශ වීම වැලැක්විය නොහැකිය.
ඉතිං අද අප අතර නැති ජයමාන්නයන්ගේ දිවැසිවර ප්‍රකාශය මේ රටට ඇසේවා යි පතමි. අප එක්ව ඔහුට ඔහුගේ මෙහෙවරට අන්පොළසන් කීපයක් දෙමු.
මහින්ද නාමල්