පිටු

Tuesday, November 14, 2023

රේල්ලුවට ගොඩවනු පෙර

 


සිව් වසකට පසුව ඒ දුම්රිය නැවතුම ම යළි ඇගේ ඇස් ඉදිරිපිට.

ඒ කඩතොළු පියගැටපෙළ ම. ඒ කණාටු මල් පෝච්චි ම... ඒ අඳුරු සමර පැහැය ම.

වෙනසකට ඇත්තේ තාවකාලික අමන්දානන්දයක අසංවේදී පින්සල් පහරින් පහර ලද දුර්වර්ණව යමින් පවතින සිත්තම් පේළියම පමණයි. කොතරම් ඉක්මණින් ඒ වෛවර්ණ සිහින බොඳ වී, වියැකී විනාශ මුඛයට ඇදී ගියේ ද? අතරමග අතරමං වූ සිතුවම් කැබලිතිවල අසම්පූර්ණත්වය ම එයට දෙස් දෙනවා. එදා සහ අද අතර වෙනස බරපතළව දැනෙන්නේ ඇගේ ආත්මයට පමණක් ම නොවේ. ඉමක් නොපෙනෙන අඳුරු අගාධයකට ඇද වැටුණු කොදෙව්වේ පවා ආත්මය ඇදුම් කමින් තියෙන්නෙ.

ඇය හෙමිහිට පියවර තබා පිය ගැට කිහිපය නැග දුම්රිය වේදිකාවට පිවිසුණා. එක්වනම ඈ සිව්වසක්... නෑ ඊටත් වඩා ඈත අතීතයකට විසි වුණා කිවහොත් නිවැරදියි.

ඔහු... තවමත්... එතැනම... ඒ විලසින් ම... සිව්වසක් කියන්නෙ එකම චක්‍රයක කැරකැවෙන ජීවිතයක් වෙනස් වෙන්න තරම් කාලයක් නෙවෙයි ද?  ඒ හීන්දැරි උස් සිරුර,  උර මත රැඳුණු කළු බෑගය. දසන් දක්වා සිනා නොමසෙන තදින් වැසුණු මුව. රැවුල් කොට ගැවසි වත මඬල. දුක්බර ශෝකාලාපයක් කැටි කොට ගත්තාක් බඳු දෑස.

මොහොතක් ගල් ගැසී උන් තැනම සිටි ඇය බිම බලාගත්වනම ඔහු අසලින් පියවර මැන්නා. නාඳුනන්නියක ලෙසින්. මඳක් දුර ගොස් ලී බංකුවක හිස් ඉඩක් සොයා වාඩිවන අතර ඈ සිතින් සිතුවා.

‘‘මාව මතකද? මාව අඳුනගත්තද? එහෙමනම් මං දිහා බලන් ඇති.“

ඒ සිතුවිල්ලෙන්ම ඇය ආපසු හැරී බැලුවා.

ඔව් ! ඔහු ඇය දෙස බලාගත්වනම. විස්මය තැවරුණු ඇස්වලින්. සිව්වසකට පසුවත් මතකයට නගා ගන්නට තරම් පුංචි ඉඩක් ඇය වෙනුවෙන් ඉතිරි වෙලා තිබිලා.

ඔහු දන්නෙ නෑ. ඇගේ කවියක තවමත් ඔහු හුස්ම ගන්නා වග. සමහරවිට කවදාවත් දැනගන්නෙත් නෑ.  දැනගන්න ඕනෙත් නැහැ.



ඉර පිපෙන්නේ හිමිදිර
දෑස ගැඹරෙනි
මුනිවර මුනිවතක
සංයමය අස
සුවහසක් මල් සුපිපුණි...

පීලි මත්තෙහි තාම
දිලිහේය පිනි...

රේල්ලුවට ගොඩවනු පෙර
දෑස ට දෑස හමුවුණි
ළය උපන් සුසුමෙහි
එ රන් මුදුවක් දිලිහුණි.

එකම මැදිරියක අප දෙපසිනී
එකම නැවතුමක බැස දෙතැනිනී
සිල්පරෙන් සිල්පරය පනිමිනී
පීලි නොපනින දෑස නික්මිණී....

හූ හඬ නංවාන
කලබල ගමන් යන
රේල්ලුව තවරා ගිය
දූවිල්ල පිසිමින්
මොනිං ග්ලෝරි මල්වැල
සුපුරුදු සිනාවෙනි...

එකම මග දෙපස අපි
උනුන් දෙස නොබලා ම
එරන් මුදු හැඩැති
වටරවුම පසුකොට
දෙමගක නික්ම යන



2016 ඇසළ මස

8 comments:

  1. හරිම හැඩයි. රසයි.
    මම කවි දුමී...
    ජයවේවා !!!

    ReplyDelete
  2. ලස්සනයි! ලිවීමට ස්තූතියි! - තට්ටයා

    ReplyDelete
  3. //පීලි නොපනින දෑස නික්මිණී....// හ්ම්. ඔයවගේ සමහර කතා එහෙම ඉවරවෙන එකම තමා හොඳ. සහ ඒනිසාත් තමයි නෙද ඒව අපේ හදේ සුන්දරව ඉතිරිවෙන්නෙ... සමරැ විදිහට!

    ReplyDelete
  4. තරු ගේ බ්‍රෑන්ඩ් එක

    ReplyDelete
  5. තරු , ඔබේ කවිත් ලන්ඩන් කවියටත් , ගී පදවැල් ගී ලියමු වලටත් යවන්න. හැඩයි.

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...