පිටු

Thursday, February 29, 2024

දේශද්‍රෝහී නිර්මල හෘදය කෙරෙහි වන ක්ලාරාගේ ප්‍රේමය...


''යොවුන් සමාධි'' රස වින්දන සුයාමය -  'කවියක්, ගීතයක්, පොතක්'

මේ අපි කොවිඩ් සමයේ ළ.ක්‍රි.වී. නව යොවුන් දරුවන් සහ අනුශාසකවරුන් වෙනුවෙන් සූම් හරහා කළ වැඩසටහනක්. මේ වැඩසටහන සඳහා විපුලි අක්කාගෙන් ලැබුණෙ අනගි සහයක්. බොහෝ විට කවි රසවිඳුමට ඇගෙන් ලැබුණු ගුරු හරුකම් අපේ යොවුන් දරුවන්ට වගේම මටත් මහත් ආලෝකයක් වුණා. මේ 'යොවුන් සමාධි' හරහා තමයි මට මුලින්ම දුන්ගාල්පිටිය දිසාවෙ ක්ලාරා දුව හමුවෙන්නෙ. මේ වැඩසටහනත් සමඟ ඇයගේ කියවීම් පරාසය පුළුල් වුණා වගේම, කියවූ පොත පත ගැන අදහස් දක්වන්නත් පෙළඹුණා. පොත පත කියවීම කියන්නෙ බහුතර දරුවන්ගෙ විනෝදාංශයක් නෙවෙයි. නමුත් සුළු පිරිසකට හරි නිසි මඟපෙන්වීම ලැබුණොත් ඒ කියවන්නිය ඉදිරිගාමී වෙන බවට එක් නිදසුනක් තමයි ක්ලාරා...

ඇය සාමාන්‍ය පෙළ විභාගය ලියා නිවසේ ඉන්නා අතරතුර ලංකා ලේඛක සංවිධානය විසින් සංවිධානය කළ ආධුනික ලේඛක ලේඛිකාවන් සඳහා වූ පුහුණු වැඩමුළුවටත් සම්බන්ධ කරන්න හැකි වුණා. එයිනුත් ඇගේ සාහිත කලා දිවියට මහඟු පන්නරයක් ලැබෙන්නට ඇති නිසැකවම.

ඇය මගේ ''දේශද්‍රෝහියාගේ නිර්මල හර්දය'' කියවා ලියා ඇති මේ සටහන මට බොහෝ වටින්නෙ, එය මගේ පොත ගැන ලියූ සටහනක් නිසාම නෙවෙයි, ''යොවුන් සමාධි'' වැඩසටහන සහ 'ළ.ක්‍රි.වී.' ළමා සමාජය හරහා ඇය මෙතෙක් ආ ගමන නිසයි.

....................................                       

දේශද්‍රෝහී නිර්මල හෘදය කෙරෙහි වන ක්ලාරාගේ ප්‍රේමය...

මේ පොත මට ගොඩක් විශේෂ පොතක්. ඒ මගේ පොත් කියවන ආසාවට හේතුව තරංගි නැන්දා නිසයි. ඉතින් දැන් තරුරසී කියන්නෙ මන් ආසම පොත් රචිකාවියක්.

මම මෙතෙක් කියවපු පොත්වලට වඩා තරු නැන්දගෙ මේ පොත ගොඩක් වෙනස් පොතක් වුණා. සාමාන්‍ය පෙළ කරන ගමන් පොත් පිස්සියෙක් වුණු මට පොත් කියවන්න ලැබුනේ බස් එකේ යන ගමන් තමා. ඉතින් මේ පොත නම් එහෙම කියවලා හරියන්නෙ ම නෑ. ඒකට නිදහස් වෙලාවක් අවශ්‍යයි. ඒ වගේ ම භාෂාව නම් හරි ම ලස්සනයි. ආගම ගැන හොය හොයා යන එන කතා අතරේ වෙනත් ම රහක් මේක... හැබැයි වෙන පොත් වගේ එක හුස්මට නම් කියවන්න මේක හරියන්නෙ නෑ. මේකට බැහැලා කියවන්න ඕනා. ආගම ඈඳපු එක තමා ආසම. උසස් පෙළ පාඩම්වල ගැඹුරට යනවට වඩා මේකෙ ගැඹුරට යන්න ආසයි. සමහර තැන් නැවතිලා තේරුම් ගන්න ඕනා.

ඉතින් මේ පොත කියවන්න ප්‍රමාද වුණ එක ගැන නම් පුංචි දුකක් තියෙනවා.

ඇත්තට ම මේ ආදිත්‍ය දේශද්‍රෝහියෙක් ද? ජාති, ආගම්, කුල, භේද නොතකා මනුෂ්‍යත්වයට ආදරය කරමින් අරගල කරන ඔහු මට නම් ආදරණීය චරිතයකි. නමුත් පැවිදි ජීවිතයට ඇතුළුව වසර 2ක් පසුකරමින් පැවිදි දිවියට පණ පොවන සිස්ටර් සෙව්වන්දිට නම් ආදිත්‍ය කරන්නේ ද්‍රෝහිකමක් විය හැකියි.   

"මල් පැළ ටික නම් පොළොවට ම බැහැලා. ඒ මල්වල අයිතිකාරියට තාම බැරිවුණානේ ශුද්ධිකාගිනිස්ථානයෙන් මහපොළොවට බහින්න."

දැන් සමාජයේ මේ පැවිදි ලෝගුව ආගමික පිළිවෙත්වලට ම සීමා වීම මහා ඛේදවාචකයක්. ආගම මෙන්ම මනුෂ්‍යත්වයත් වැදගත්. ඇය එම ජීවිතයට ම කොටු නොවී මිනිසුන් වෙනුවෙන් හඬ නගන්නට නොහැකිකම නම් වූ ශුද්ධකාගිනිස්ථානයෙන් මිදී එම පව් සමාකොට මිදීම ඔහුගේ බලාපොරොත්තුවයි. ලෝගුව තුළ මනුෂ්‍යත්වයටත් ඉඩක් ලැබීම, මනුෂ්‍යත්වය උදෙසා අරගල කරන්නෙක් ලෙස ඔහු ඇයගෙන් බලාපොරොත්තු වෙයි.

"මට ඕනේ ඔයා තුළින් බරපතල විදියට ලියන කිවිඳියක් දකින්න. ඔය ලෝගුව ඇතුලෙ හිරවෙලා ඉන්න ගැහැනියගේ ජීවිතයට අර්ථයක් දෙන්න."

ඔහු මෙලෙස ඇය තුළින් අරගල කරන තවත් කාන්තාවකගේ, මවකගේ හැඟීම් වෙනුවෙන් එයට අවදි වන ගැහැනියක් බලාපොරොත්තු වනවා ඇති. පැවිදිවරියක වුවද මනුෂ්‍යයෙක් තවත් ඇට ලේ මස් නහර වලින් නිමැවුන ගැහැනියක් ඇය තුළද සිටින බව පහදා දීමට ඔහුට අවැසිය.

"සුවාමිලට තේරෙන්නෙ නෑ මිනිස්සු ජීවත්වෙන්න ඔට්ටු වන තරම"

මේ සිස්ටර් සෙව්වන්දිගේ අම්මාගේ වේදනාත්මක වදන් ය. පැවිදිවරියක වුවද ඇයගේ ද මව මෙවන් කටුක අත්දැකීම් විඳින ආකාරය පෙන්වයි. එලෙස අරගල කරන මිනිසාට ආගමක් දහමක් තියෙන්නෙ ඒ තුළ හෝ සැනසීමකින් දෙවියන්ට හෝ දුක පවසන්නත් දෙවියන් තුළ විශ්වාසය තබන්නත්‍ ය. මෙවන් අරගලයක ජීවිතය ද අනතුරේ දමාගනිමින් ජීවත් වන්නාවූ මිනිසුන් සතිඅන්තයේ සහභාගි වන දිව්‍ය පූජාවේ ද ඔවුන් අපේක්ෂා කරන සහනය නැත. දේවස්ථානයේ, පන්සලේ වියදමට ගොඩනැගිලි තැනීමට  වියදම් එමට ය. මිනිසුන්ගේ නිදහස සාමය පවතින ආගමින් ද ඔවුන්ට සහනයක් නැති සේය. දැන් ආගමික ස්ථානද එක්තරා ආකාරයක ආයතන සේය.  "ඇත්ත කරන්න පුළුවන්. ඒත් කරන්නෙ නෑ. පල්ලිය, පන්සල කියන්නෙ දැන් ආයතන විතරයි. ආයතනික කටයුතු මිස මිනිසුන්ගේ ජීවිත සම්බන්ධයෙන් ඇත්තම වගකීමකින් වැඩ කරනවද? එහෙම් කරනවා නම් මේ රටේ පන්සල්, පල්ලි, කෝවිල් තියෙන හැටියට මෙ විදියට මිනිස්සු දුකට වැටෙයිද?"

ආගම තුළ මනුෂ්‍යත්වය ගොඩනැගෙනවා නම්...ආගම තුළ ලබන හික්මවීමත් මනුෂ්‍යත්වයට බලපානවා.

"ජේසු අනුගාමික වෙනවා කියන්නෙම විප්ලවීය ජීවිතයක් උරුමයි කියන එකමනෙ"

පැවිදි පිරිස ලෝගුව තුළ වුවද මනුෂ්‍යත්වයට පණ පොවන්න මිනිසුනට සහනයක් දෙන්න පෙළ ගැහෙනව නම්...

"ආදිත්‍ය, විහිළුවට ගන්න එපා මාව. මම සිස්ට කෙනෙක්. ඒ බව අමතක කරන්න එපා."

"ඒක මම දන්නවා සහෝදරී, ඒකනේ මං සහෝදරීට නිතර ම සහෝදරී කියන්නෙ. මාත් සහෝදරයෙක් කියල හිතන්න. එතකොට ප්‍රශ්නයක් නැහැනෙ."

මේ ආදිගෙ වදන් සිස්ට සෙව්වන්දිට නම් යක්ෂ පැටියෙක්ගෙම වචන කියලා සිතීමත් සාධාරණයි.  "චණ්ඩි ජීසස්" නම ඔහුට නිතැතින්ම සුදුසුය.

මෙවැනි පීඩා විඳින සමාජයක පීඩිත දෙම්ව්පියන් සමග ජීවත් වන දරුවන්ට ආදරය බෙදිය යුත්තේ ද මේ ආගමික නායකයින් ම ය. විටෙක මව ද විටෙක පියා ද අහිමි වූ දරුවන් කෙතරම් ද.. ජේසු අනුගාමි වන්නන් තුළ ජේසුගේ ඒ ප්‍රේමය තිබිය යුතුම ය. "සුවාමිලට ෆාද කියල ඔයාලට සිස්ට කියන්නෙ අපරාදෙ, මදර් කියන්න තිබුණෙ. අම්මා"

"තමුසෙ දන්නෑ හලෝ, තමුසෙගෙ මූණ දැක්කම මට දැනෙන සැනසීම. හරියට අම්මව දැක්ක වගේ."

නොකියාම ඔහු ඇයගෙන් මේ පීඩිත සමාජය වෙනුවෙන් දරුවන් වෙනුවෙන් ඒ ජේසුගේ ප්‍රේමය ඉල්ලුවා වැනිය.

"අයිති කරගැනීමේ පරමාර්ථයෙන් ආදරය කරන පුරුද්දක් මට නෑ. අනික ආදරය කරන්න ඕන නම් මට ඔය ලෝගුව තිබුණත් එකයි නැතත් එකයි." ඒ ඔහුගේ නිර්මල හදවත ම නොවේද?

මෙතරම් ආදරණීය, මනුෂ්‍යත්වය පිරුණු ඒ මිනිසාගේ ජීවිතයේ පසුබිමවත් නොදැන ගැනීමට සිස්ට සෙව්වන්දිගේ සංවේදි හදවත කොහිද? ඇයගේ සිතුම් පැතුම් තුළ ඇය පැවිදිවරියක් ලෙස කරන්නාවූ අරගලය ඇයගේ සංවේදි සිත සැඟෙව්වාද?

"ආදිත්‍ය, කොළඹ ඉන්න එක අවදානම් නම් ඔයාට මේ පැත්තෙන් නවතින්න තැනක් ලෑස්ති කරලා දෙන්නම්."

ඇයගේ ජීවිතයට ද අවදානමක් ගනිමින් ඇය අවසානයේ හෝ ඔහුට පිහිට වෙන්නට  සැරසෙන්නීය. නමුදු ඔහු ඇයගේ ඒ ජීවිතයට බාධාවක් නොවන්නට වග බලාගත් ආදරණීය කෙනෙකි.

"ඒ ඉතින් ඔයා දන්න තරම තමයි. ඒක හරියන වැඩක් නෙවෙයි. ඔයාව කරදරේ දාන්න බෑ මට. ඔයාට ඒවා ඔරොත්තු දෙන්නෙ නෑ..."

මෙවන් මනුෂ්‍යයෙක් ජීවිත අරගල කරමින් සියලුම මිනිසුන් වෙනුවෙන් දුක් විඳිමින් ජීවිතයම කැප කළ තවත් පුද්ගලයෙකි. එවන් ඔහු දේශද්‍රෝහියෙක් ද? නැති ද?

ඉතින් මේ වගේ ලස්සන, බැහැලම කියවන්න වුණ ගැඹුරු කතාව මට රස වුණේ නැන්දගේ භාෂාව නිසයි.

"මගේ බමර චක්කර දෑසට පත්තර පිටුව මූලිච්චි වූයේ ඒ අතර වාරයේය."

ඉතින් මේක කියවලා ඉවර කරන්න තිබුණ අමාරුවක්. භාගයක් කියවල කොහේ හරි බලාගෙන කල්පනාවක. වෙලාවක අම්මෝ මෙහෙමත් කොල්ලෙක්. සිතුවිලි ගංගාවක් ම මගේ හිතේ ගලාගෙන, ගලාගෙන ආවේ අතහරින්න ලෝබ කමින්. ලෝබකමේ තරම් කියනව නම් අවසාන පිටු දෙක ඊළග දවසට තියාගත්තා. ඉවරවෙයිද කියලා ලෝබයි.

ඊළගට මේ පොත කියවීමේ ඉවරයකුත් නින්දකුත් නැති වුණහම මගේ අම්මා...

" දැන් ඉවරද කියවලා? වෙලාවකට බලාගෙන ඉන්නවා අනේ මන්දා..."

"තාම ඉවර නෑ තව ටිකයි "

ඕක තමා අපේ අම්මට මන් දෙන උත්තරේ. දැන් නිදාගන්න අම්ම කියනවා. "බෑ තව තියෙනවා. "

බැරිම තැන කාමරේට ආවා.

ඒත් අපේ අම්මගෙන් බේරිල්ලක් නෑ. අවසානයේ පොත කොට්ටෙ යට මගෙ ඔලුව කොට්ටෙ උඩ.

ඊළඟට පොත කියවනකන් සැනසීමකුත් නෑ.

''මටත් කියවන්න ඕන ඔයාගෙ ඔය තරු නැන්දගේ පොත. ඔච්චරට ම ඇලීගෙන ඉන්න බදාගෙන ඉන්න කතාව මොකක්ද බලන්න."

තවත් ලස්සන පොතක් බලාපොරොත්තුවෙන් මාත් ඉන්නවා. ආදරෙයි තරු නැන්දේ... තවත් පොතකට මගෙන් සුභ පැතුම්...

4 comments:

  1. ඒක ඇලීගෙන බදාගෙන හිත හිතා මනෝ පාරවල් කන්දකට යටවෙන ගමන් කියවන්න ඕන පොතක් තමයි.

    ඔව්.. ඒ අදහස් ඇත්තටම වටිනව ❤

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...