Thursday, April 28, 2016

සසර සැරිසරන තෙක් ඔබ මගේ... ඔබ මගේ...


අවුරුදු නිවාඩුව ගත උණේ ගමේ පුංචි පැංචියන් එක්ක. විශේෂයෙන්ම චන්දු පුතු එක්ක. පාන්දර ම ඇහැරින එයා කෝලම් දදා ඉන්නවා. යාම්තං හය වෙද්දි කාගෙ හරි අතකට පැනලා එළිමහන් සක්මනට යන්නයි කල්පනාව. මං ගෙදර උන්නු දවස් ටිකේ මාව දැක්ක ගමන් හිනා කටක් පුරවන් අත් දෙකම දිගු කරන්නෙ මම්ම වගේම එයත් රස්තියාදුවට කැමති නිසා... එයා වඩාගෙන ඇවිදින එක, කකුළෙ තියන් නළවන එක තමයි මගේ නිවාඩුවෙ ප්‍රධානම රාජකාරි වුණේ.

ළා පින්නෙන් හාත්පස සිසිල් වුණු හිමිදිරියක මම චන්දුත් වඩා ගෙන පාර අද්දර සක්මන් භාවනාවක... පාරෙන් එපිට ප්‍රජා ශාලා වත්ත. මේ ඉසව්වෙ ගිරව්, පොල්කිච්චො, මයිනො, කොබෙයියො, කහ කුරුල්ලො, චූටික්කො, කොට්ටෝරුවො අඩුවක් නෑ. අයියලගෙ කැන්ද ගහ කුරුලු නිවහනක්. පුතා හරිම ආසයි සත්තු දිහා බලන් ඉන්න. එදා ගෙඳ පඳුරුවල එල්ලි එල්ලී කෑම හොයපු මාල ගිරවෙකුත් උන්නා. තේක්ක ගහේ කොල හැලුණු අති ඉතිවල ඔන්චිල්ලා පැද්ද ගිරා පවුලම මං පුතුට පෙන්නුවා.

අපේ චන්දු බබා

ප්‍රජා ශාලා වත්තෙ නිලමෙ මාමගෙ ගව සම්පතත් දිගේලි කරල උන්නා. එළදෙනයි පැටියයි එක ළඟම. චන්දු බබා නිලමෙ සීයාගෙ මේ තැත්තන්ටත් හරිම කැමතියි. මම මේ කුරුලු යාළුවොයි, ගව යාළුවනුයි පෙන්න පෙන්න ඉද්දි පාරෙ එහා ඉමෙන් මතු වුණා හරක් දෙන්නෙක් ලණු පොටින් බැඳගෙන ඇදන් යන මිනිසුන් දෙන්නෙක්. 

මේ තරම්ම උදෙන් මේ ගෙනියන්නෙ ආදරයට නොවන බව පැහැදිලියි. ඒ දක්කාගෙන එන මිතුරන්, ප්‍රජා ශාලා වත්තෙ උන් නිලමෙ මාමාගෙ ගව අම්මයි පුතයි දුටු ගමන් එකිනෙකාට කතා කරගන්න ගත්තෙ හරිම දුක හිතෙන විදියට. දිග කෝටුවකින් පහර දිදී අරන් ගිය ගවයින් දෙන්නා කෑ ගැහුවෙ ‘‘අනේ අපිව බේරගන්න‘‘ කියන්න වගේ. අර ගව අම්මයි, පුතයි කෑ ගහන්න ගත්තෙ ඒ දුක දැනිල වගේ... එක් වතාවක එක් මිනිසකුගේ අතින් ලණුපොට මුදාගත් හරකෙක් දුවගෙන ගිහින් එළදෙන ළඟ නැවතිලා දුක කියන්න පටන් ගත්තා. කෝපයෙන් වියරු වැටුණු මිනිසා එල්ල කළ පහරවල් කොයිතරම් දරුණුද කියනවනම් ඒ සතා ආයෙම පාරට වැටුණෙ හරිම අසරණ විදියට... ඒ මිනිසුන් දෙදෙනා තුළත් පෙනෙන්නට තිබුණෙ ජීවිතයෙන් වෙහෙසට පත් පීඩිත පෙනුමක්... ඒ පීඩාව අර අහිංසක සතුන් මත පැටවෙන බවයි මට හිතුණෙ.

මං පුතු අරන් ගෙට ගියේ ඒ දසුන බලාඉන්න බැරි තරම් අමිහිරි නිසා... සුන්දර හිමිදිරියට ඒ දසුන එක් කළේ දරන්නට බැරි බරක්. මට මතක් වුණේ ප්‍රේමකීර්ති ද අල්විස් ලියූ සුනිල් එදිරිසිංහයන් ගයන මේ ගීතය... වික්ටර් රත්නායකයන්ගේ තවත් අපූර්ව තනු නිමැවුමක්...



බානෙන් බැඳ රජ රට පෙදෙසින්නේ
කෝච්චියේ හිර ගෙයි බැඳ එන්නේ
පිහියේ මුවහත ගෙල සිප ගන්නේ
උදයෙම මේ කය නිසසල වන්නේ

උගේ කිරෙන් බෝධිය දෝවන්නේ
උගෙන් මැඩූ බත දනට පුදන්නේ
උන්ගෙම හම බෙර හඬට බඳින්නේ
උන් බැඳි ගැල් නැග පන්සල් යන්නේ

කිරි රස දන්නෝ මව් හඳුනන්නෝ
බත් රස දන්නෝ කෙත් හඳුනන්නෝ
බත් සහ කිරි රස දෙකම නොදන්නෝ
මිනිසත් බව ලැබ කුමට උපන්නෝ

ලේ කිරි අයිතිය වහු පැටියන්නේ
දම් සක්වල ගල හැපී බිඳෙන්නේ
ඒ කිරි උදුරා බිව් මිනිසුන්නේ
සිත් වල ඇයි කලගුණ නොරැඳෙන්නේ

මානව ජීවිතය සමඟ දීර්ඝ කාලයක් තිස්සේ ඉතා සමීපව බැඳී සිටින ගවයා ගැන මේ තරම්ම සංවේදීව ලියවුණු තවත් ගීතයක් නැති බවයි මගේ හැඟීම. ගව, මානව සබැඳියාව විනිවිදින මේ ගී පද, මිනිසාගේ අකෘතඥභාවයට දොස් නඟන්නෙ හදවත කීරි ගස්වමින්... කොතරම් හෘදසංවේදී පද නිමැවුමක් ද?

මේ ගීතය පිළිබඳව ‘‘සසර සැරිසරන තෙක්‘‘ පත් ඉරු අතර රැඳුණු පුවතක් දුටු විට මට දැනුණේ මහත් පුදුමයක්. ‘‘බානෙන් බැඳ රජ රට පෙදෙසින්නේ“ ගේය පද සංකල්පනාව ප්‍රේමකීර්ති සිතේ උපදින්නෙ තිඹිරිගස්යාය රන්දෝලි අවන්හලේ මී විතක් සමඟ කටගැස්මට හරක් මස් ඩෙවල් එකක රස බලමින් ඉන්න විටක කියන කාරණය... ඒ මුවගට රසය උපද්දන අහිංසක ජීවිතයක කටුක පැවැත්ම මෙතරම්ම හෘදයාංගමව ගීතයකට එක්කරන්නට ඔහුට හැකි වුණේ කෙලෙසින්ද? එලෙස පද ගැළපූ සංවේදී සිත ම නැවතත් ඒ කටගැස්ම වෙත ම බැඳෙන්නේ කෙලෙසින්ද? 

ඒ එක්කම මට සිහිපත් වුණේ චින්තන ධර්මදාස කොහේ හෝ තැනක ලියා තිබූ මේ අදහස..  

‘‘පාපයෙහි පත්ළටම ගිළී යන අයෙක් ඉන් යළි උපදින්නෙ සාන්තුවරයෙක් විදියට වෙන්න පුලුවන්‘‘  



ගීතනාත් කුඩලිගම සංස්කරණය කළ ප්‍රේමකීර්ති ජීවන පුවත ඇතුළත් ‘‘සසර සැරිසරන තෙක්‘‘ කෘතිය කියවා අවසන් කළේ මෑතක. ප්‍රේමකීර්ති කියන්නෙ මම හද පත්ළෙන්ම ආදරය කරන ගේය පද රචකයෙක්. අවුරුදු 42 ක් තරම් කෙටි කාලයකදි මේ තරම් අපූරු ගී ගොන්නක් කොහොම ලිව්වද කියල හිතාගන්නත් බැරි තරම්. කෘතිය තුළ කීප තැනකදිම ඒ ගැන සඳහන් වෙන්නෙ සංසාර හුරුවක් විදියට.

ගීතනාත් කුඩලිගම

ප්‍රේමකීර්තිගේ මව්පස, පියපස ඥාතීන්, පළමු බිරිඳ දයා ද අල්විස්, දෙවන බිරිඳ නිර්මලා ද අල්විස්, දුව සුරංගි සහ පුතා පූර්ණ, වෘත්තීය සගයන් මේ සියල්ලන් සමඟ කළ සංවාද, ලබා ගත් ලිපි ඇසුරින් සකස් කර ඇති මේ කෘතිය ඉතා අගනා ප්‍රයත්නයක්. විශේෂයෙන් එක් කාලයක ලක්බිම රිද්ම අතිරේකයේ පළ වූ දයා ද අල්විස් මහත්මිය විසින් ලියූ ‘‘එකෝමත් එක දවසක‘‘ ලිපි පෙළත් කෘතියට ඇතුළත්. තමන්ගේම ජීවිතයේ අනේක විද දුක්ඛ දෝමනස්සයන් එතරම්ම මැදිහත්, සංවේදී, කාව්‍යමය හදවතකින් නැවත ලියන්නට හැකිවීමත් අපූරු දෙයක් කියලයි මට හිතෙන්නෙ.

ප්‍රේමකීර්ති ද අල්විස්

ගේය පද රචකයෙක්, නිවේදකයෙක් ලෙස චිරප්‍රසිද්ධ ප්‍රේමකීර්ති සුන්දර කවියෙක්, චිත්‍ර ශිල්පියෙක්, යහපත් මිත්‍රෙයක්, අපූරු මිනිසෙක් කියන්නට අප්‍රමාණව කරුණු කාරණා ‘‘සසර සැරිසරන තෙක්‘‘ කෘතිය පුරා ම. ඔහුගේ සරල ගී, ජනප්‍රිය ගී, චිත්‍රපට ගී මේ ගී සියල්ල ඇතුළත් ගී නාමාවලියත්, ඡායාරූප ගොනුවත් ගීතයට, ප්‍රේමකීර්තිට පෙම් බඳින සහෘදයනට අපූරු ධන නිධානයක් වේවි.  

මේ මා හද පත්ළෙන්ම ආදරය කරන ප්‍රේමකීර්ති ලියූ ගීයක්...

ඔබේ දෙතොල් පෙති ලිහී පිපුණු හසරැල් විලේ
හද දියව ගලා යයි රැළිලමින් සැලි සැලී
මෙවන් සුව පෙර නොවිඳි තුන් සිතම සලිත වෙයි
සසර සැරි සරන තෙක් ඔබ මගේ.. ඔබ මගේ

හිරු නිවී මුහුදු තෙර රාත්‍රිය එලඹිලා
තරු කඩා වැටෙන විට අහස් ගඟ කලඹලා
මට බලා ඉන්න බෑ ඔබේ නුවන් පෙනෙනවා
සසර සැරි සරන තෙක් ඔබ මගේ...ඔබ මගේ

නා ගසක් දලු දමා වසන්තය එලඹිලා
මද පවන් රැල් වැදී සැලෙන විට කැලඹිලා
මට බලා ඉන්න බෑ දෙතොල් ඔබේ පෙනෙනවා
සසර සැරි සරන තෙක් ඔබ මගේ...ඔබ මගේ

යුග ගණන් පැමිණි මඟ පැටලිලා වැරදිලා
ඔබ මගෙන් වෙන්ව ගිය ලකුණු ඇති මාවතේ
මට බලා ඉන්න බෑ පෙර ඇසුර හැඟෙනවා
සසර සැරි සරන තෙක් ඔබ මගේ...ඔබ මගේ

අහස් තල පොලෝ තල ඔබට මට පොදු වෙලා
හදවතින් එක් වුවත් ගතින් දෙදෙනෙකු වෙලා
මට බලා ඉන්න බෑ සියොලඟම තැවෙනවා
සසර සැරි සරන තෙක් ඔබ මගේ...ඔබ මගේ

පොතට නම එන්නෙ එතනින්...


‘‘සසර සැරිසරන තෙක් ........ ඔබ මගේ..... ඔබ මගේ....

ප.ලි.

මේ ලිපිය ලියමින් සිටින අතරතුර ගීතනාත් කුඩලිගමයන් හමුවන්නට ලැබීම අහඹු අසිරියක්... පොතට ඇතුළත් නොවූ බොහෝ දෑ කතාබහ කරන්නට ලැබීම අමතක නොවන මතකයක්...  

50 comments:

  1. Replies
    1. අයියෝ කිව්වෙ ඔයා ආදරය කරන ප්‍රේම් බානෙන් බැඳ ගීතය ලිව්වෙ එහෙමයි කියල දැනගත්ත නිසාද?

      Delete
    2. ඒකමත් නෙවෙයි. එහෙම නැත්තෙත් නොවෙයි.
      ප්‍රේමකීර්ති මතක් වෙනකොට දැනෙන වියෝ දුක විස්තර කරන්න අමාරුයි. සින්දු ලියපු නිසාම නෙවෙයි. සාහිත්‍ය ඉතිහාසේ/ගීත ඉතිහාසේ කියෝගෙන යන කෙනෙක් පහුකරන්න අමතක නොකරන කණුවක් නිසාත් නෙවෙයි. අර 'කදාවළලු' කතාවේ වගේ රත්තරන් තලියක් ඉතුරු කරලා මැරිලා ගියපු බමුණු දෙමහල්ලන් ගැන හිතන ගෑනුලමයා වගේ මම දුකෙන් ඉන්නේ
      'තලිය කුමටද, නුඹ නොමැති මට?' වගේ... 'සින්දු කුමටද ප්‍රෙම් නැති මට?' කියල හිතෙනවද මන්ද.

      එක්කෝ එහෙම ප්‍රේමෙන් ඉඳල 'හුටස්' ගාල හුස්මපොද ගියාද දන්නෙත් නැහැ.

      නෑ නෑ... ගිය ආත්මේ... මේ ආත්මේ නෙවෙයි.. තව කොහෙද! හුහ්

      Delete
    3. වෙන්න වෙන්න ඇති.. මේ තියෙන ප්‍රේෙම හැටියට. හැබැයි නිර්මලා මේක දැක්කොත් මොනවා කරයිද දන්නෙ නැහැ...

      Delete
  2. සසර සැරි සරන තෙක් ඔබ මගේ.. ඔබ මගේ ...
    මගේත් ප්‍රියතම ගීතයක්. ඒ ගී පදය මාතෘකා කරගෙන නිසයි උවමනාවෙන්ම ලිපියට එබුනෙ.

    ReplyDelete
    Replies
    1. ඒ මාතෘකාව දැම්මෙත් ඒ නිසාම තමයි. රොමෑන්තික හදවත් ඇදිල එන්න. නොමග යැව්වද මන්දා මං කට්ටියව..

      Delete
  3. මේ වගේ සුන්දර ගීතයක් නිර්මාණය වෙලා තියන විදිහ හරිම වෙනස්.. මාත් ගොඩක් කැමති පද රචකයෙක්.. මේ පොත ගැන කියුවට තරූට ස්තුතී...

    ReplyDelete
    Replies
    1. ප්‍රේම් අතින් ගීත ලියැවිලා තියෙන විදි හරිම අමුතුයි.. හිතාගන්නත් බැහැ වෙලාවකට.. සමහර ගීත පිටුපස තියෙන්නෙ හරිම රසවත් සිදුවීම්.. තවත් ගීත පිටුපස ප්‍රේමයේ අසිරිය, විරහවේ අසීමිත දුක් වේදනාවන්...

      Delete
    2. මම අහල තියෙනවා 'බෑයි කියල බෑ ' සින්දුව ලියපු හැටි....

      ටයිටස් මහත්මයා කොතරම් මතක් කලත් සින්දුව ලියන එක පස්සට දඩ ඉඳල. පහුවදා විකාශනය වෙන්න තිබ්බ දොස්තර හොඳහිත එකට කියන්න තරමට ලං උනාම ටයිටස් මහත්මයා ආයෙමත් මතක් කලාම
      'බෑ අප්පා.. තාම ලියාගන්න බෑ ' කිව්වලු
      ටයිටස් මහත්මයාට තද වෙලා

      'බෑ බෑ බෑ .. කිය කිය ඉන්නේ. ඕක ලියල දෙනවා අයිසේ' කිව්වලු

      එවෙලේම කොලයක් අරගෙන
      'බෑයි කියල.... බෑයි කියල... බෑයි කියල බෑ' සින්දුව ලියල දුන්නලු

      Delete
    3. ඔබ හරි... අනේ මම මේ කතාව ලියල අත ගත්තා විතරයි.. අපරාදෙ මං ලිව්වෙ. මට වඩා ලස්සනට ඔයා සිද්දිය ලියලා... අපේ ප්‍රේම් හරි මරු නේ...

      Delete
  4. ප්‍රේමකිරිති ද අල්විස් මහත්මයාගේ කවි වල සින්දු වල අපුරු හුදකලාවක් තියෙනවා විඳින්න පුළුවන්. නෙලුම් යයෙන් ගත්තු පොත කියෙව්වම ඒ ඇල්ම තවත් වැඩි උනා.

    ReplyDelete
    Replies
    1. මෑතක ආව ඒ පොත තවම මගේ ඇස ගැටුණෙ නැහැ... හොයාගන්න ඕනි.

      Delete
  5. ඉස්සර කාලෙ රජරට ඉදලා මරන්න ඉන්න හරක් කොළඹට ගෙනාවෙ රේල්ලුවෙන් ලු.. දැන් නම් එහෙම ගේනවා මම දැකලා නෑ.. සමහර විට ගේනවත් ඇති.. කොහොම වුනත් කවුරු මොන ආගමික විදියට දැක්කත් හරක් මස් තරං වෙන මසක් හරියන්නෙ නෑ..කුකුල් මස් වල තියෙන පිටි ගතිය වගේ නෙමෙයි හරක් මස් වල තියෙන තද ගතිය.. සමහර රටවල නම් හරක් මසුත් තියේලු නිකං පිටි ගතියට වගේ..ඒ සැපට හැදුන හරක්..ඒත් අපිට කන්න ලැබෙන්නෙ ඉතිං හොදට මහන්සි වෙච්චි හරක්ගේ මස් නෙව..

    ReplyDelete
    Replies
    1. ප්‍රේමකීර්තිත් හරක් මසට බොහොම කැමති බව තමයි කියවෙන්නේ.. එහෙව් කෙනෙකු අතින් මෙවැනි ගීතයක් ලියවීම හරිම පුදුමයි.

      Delete
  6. ප්‍රේම් කියන්නෙ මගෙ පරණ පෙම්වතෙක්..

    ReplyDelete
    Replies
    1. මං තාමත් පෙම් කරනවා...

      Delete
    2. ඇයි අපිත් ප්‍රේම්ට පෙම් කෙරුවොත් එක අවුල් වගේ වෙන්න පුළුවන් නිසා මම මෙහෙම කියන්නම්
      "මම ප්‍රේම් ගේ නිර්මාණ වලට ප්‍රේම කරනවා"

      Delete
  7. ප්‍රේම කීර්ති කියන්නේ ම කවි උල්පතක්..... සටහන අගෙයි

    ReplyDelete
  8. මාත් කැමතිම සිංදු අතරින් එකක්

    ReplyDelete
    Replies
    1. මම ප්‍රේම් ගෙ කැමතිම ගී අතර ඉහළින්ම තියෙන්නෙ ‘‘අපි හැඟුම්වලට ඉඩ දී මොහොතක්..‘‘

      Delete
  9. මම මාවම ප්‍රේ්ම්ට සමාන කරගැනීම සම්පූර්ණයෙන් විහිළුවක්... ඒ නිසා මම මේ සමාන කිරීමක් නෙවෙයි කරන්නේ...
    ඒත් මට හිතෙනවා මං ප්‍රේම්ගෙ ස්ටයිල් එකේ කියල එක විදියකට විතරක්...
    මාත් ප්‍රේම් වගේ හදිසියේ ලියන්නෙක්... ලියන්න ගන්නේ බොහොම පුංචි වෙලාවක්.. කල්පනා කරන්නයි යාළුවෝ ආශ්‍රය කරන්නයි ගන්නවා වැඩි වෙලාවක්...
    ඒත් ඉතිං මං ලියන ඒවයේ ප්‍රේ්ම්ගෙ තරං ලස්සන වචන නෑ,..

    ReplyDelete
    Replies
    1. ඒ ලස්සන වචන උල්පත කොහෙන් ආවද කියන එක පුදුමයක් නම් තමයි. ප්‍රේම් මරදානෙ ඉපදුණු, හැදුණ වැඩුණ, ආනන්දෙට ඉස්කෝලෙ ගිය කෙනෙක්. අදහස් දක්වපු කීප දෙනෙක්ම කියන්නෙ ඒ අපූරු භාෂා රටාව සංසාර හුරුවක් කියල...

      Delete
    2. ප්‍රේම් ගී ලියූ හැටි ගැන රස කතා කීපයක්...

      ටයිටස් තොටවත්ත මහත්මයගෙ චිත්‍රපටයකට ‘‘තැටිය මැද්ද කළු කරාපු‘‘ ගීතය ලිව්වෙ විණාඩි කීපයකින් ලියුම් කවර කෑල්ලකලු...

      එක් වතාවක ටයිටස් තොටවත්ත මහත්මයා රූපවාහිනී ආපන ශාලාවේදී ප්‍රේමකීර්තිට දොස් කියල තියනව කාටුන් වැඩසටහනකට ගීතයක් ලියල නොදීම ගැන... ‘‘ලියන්න බැරි නම් බෑ කිව්වනම් ඉවරනේ‘‘ කියල.. ඒ වෙලාවෙම ප්‍රේම් කොල කෑල්ලක් අරන් ලිව්වලු මේ ගීතය..‘‘බෑ කියල බෑයි කියල බෑ....‘‘

      තවත් වතාවක සුනිල් එදිරිසිංම ප්‍රේම්ට දොස් කියල තියෙනවා සරල ගී වැඩසටහනකට ගීතයක් ඉල්ලපු වෙලාවට නොදීම ගැන.. එදා ප්‍රේම් බාර් එකේ ඉද්දි ඉස්සරහ තිබුණු රේස් බුකියක ආර්.මුත්තුසාමි රේස් කොලයක් දිගෑරන් ඉන්නවලු.. ඒ දසුනින් තමයි ‘‘මිනිසකු පිට නැගි අසරුවෙකි‘‘ ගීතය ලියවිලා තියෙන්නේ...

      ප්‍රියා සූරියසේනට ‘‘හෙට දවසේ අප දෙදෙනා‘‘ ගීතය ලියවුණු විදිය නම් ප්‍රසිද්ධ කතාවක්නෙ...

      Delete
  10. ස්තුතියි පොත ගැන කිව්වාට !
    හොයා ගන්න විදියක් කිව්ව නම් ?

    කටපාඩම් ගීතයක ආසම ටික..

    //අහස් තල පොලෝ තල ඔබට මට පොදු වෙලා
    හදවතින් එක් වුවත් ගතින් දෙදෙනෙකු වෙලා
    මට බලා ඉන්න බෑ සියොලඟම තැවෙනවා
    සසර සැරි සරන තෙක් ඔබ මගේ...ඔබ මගේ //

    ජය !

    ReplyDelete
    Replies
    1. පොත ෆාස්ට් පබ්ලිෂින් ප්‍රකාශනයක්.. මරදාන සුරස පොත් හලෙන් මිල දී ගත හැකි වේවි. මිල රු 1400.00 බරසාර පොතක්...

      Delete
  11. කලගුණ නොදන්න නැහැදිච්ච කෙල්ල, පොත දුන්නු එකා ගැන මොනවත්ම ලියලා නැහැ. වහාම පොත ලැබෙන්න සැලැස්සුවොත් හොඳයි.

    ReplyDelete
    Replies
    1. නැහැදුණුකමක තරම... තෑගි දුන්න දෙයක් ආපහු ඉල්ලන සිරිතක් තියෙනවද?

      Delete
    2. නැහැදුනු දෙන්නෙක්ගේ තරම! දෙන එකේ දෙකක් දෙන්න බැරිද? ඉල්ලගත්ත එකක් නම් අපිටත් දුන්නම මොකද?

      Delete
    3. නැහැදුණු අය එහෙම තමයි... ගනු මිස දෙනු නෑ...

      Delete
  12. මේ ළඟදි මං දයා ද අල්විස් මහත්මිය ලියපු එකෝමත් එක දවසක පොත් කියෙව්වා.. එමගින් ප්‍රේම් ගේ නොදුටු පැත්තක් දකින්න අවස්ථාව ලැබුණා..

    තවත් කවි පොතක් තියෙනවා කියෙව්වෙ නැති.. :)

    ReplyDelete
    Replies
    1. දයා මහත්මියගේ ඒ ලිපි පෙළ හරිම හෘදයාංගමයි.

      Delete
  13. පොඩි කොල්ල හැබෑ වාසනා වන්තයෙක්....

    ප්‍රේම්ගේ ගීත කලාව ප්‍රේමණීය කලා

    ReplyDelete
    Replies
    1. දරුවන්ට පුංචි කාලෙ ඉඳන්ම සොබාදහම විඳින්න, ආදරය කරන්න කියා දෙන්න ඕන.

      Delete
  14. පොත ගන්න පුලුවන් තැනක් ඒ කීවෙ අඩුම පබ්ලිෂර් කවුද කියල වත් එතකොට කුරුණෑගලින් ඕඩර් කරල හරි ගෙන්න ගත්තැකි..
    අර සිදුවීම නං මට දැකල පුරුදු දෙයක් මෙහෙ ගවයන් ඇති කරන නිසා හුගක් අය එහෙම විකුණන්නෙ කරන්න දෙයක් නැති කමට මොකද කෘතීම සිංචනය කරල උපද්දන හරක් වයසට යන කං තියාගන්න බෑ ලෙඩ හැදෙන්න ගන්නව උංට ඕන පුනක්කු විටමින් වගේ බේත් වලට බර ගාණක් යනව. ඉතිං කිරි ටික මිල්ලෝ හරි නෙස්ලේ හරි මොකේට හරි දීල ගන්න ගානෙන් හරක් නඩත්තුවයි වයසක උං වයි බලාගන්න ගියොත් අර මනුස්සයට අතිනුත් වියදං කරන්න වෙනව. එහෙම වුනාම ඌ කෝමද ජීවත් වෙන්නෙ.
    මං මේ හරක් මරණ එක සාධාරණය කරන්නකියන කතාවක් නෙවී ඇත්ත තත්වෙ..
    රජයෙන් වත් කිරි ගොවීන්ට සාධාරණයක් නෑ.. ඉතිං ඕකයි තත්වෙ..

    රත්න ශ්‍රී ගෙ මල් අහුර කියව්වද

    ReplyDelete
    Replies
    1. රත්න ශ්‍රී ගෙ ‘‘මල් අහුර‘‘ කියෙව්වා.. තවම අවසන් නැහැ. ඒකත් ලස්සනයි... මල් අහුරෙන් අරන් ලියූ අවුරුදු සටහනක් මේ...

      http://www.theerthaya.info/2016/04/blog-post_11.html

      සුරස පොතක් මල්ලි.. මිල රු. 1400.00

      කිරි ගොවි කතාව නම් ඇත්ත මල්ලි... ඒ ගැන වරදක් කියන්න බෑ... මේකත් ජීවනෝපාය මාර්ගයක්... අපේ ගමේ නිලමෙ අත්තලගෙ පවුලෙ සිරිතක් තියෙනවා ගෙදර හදන හරකුන් මසට නොවිකුණා වයසට ගියත් ආදරෙන් රැක බලා ගන්න.. එයාල හරකුන්ට කතා කරන්නෙත් චූටි, දෝණි, පුතා වගේ ආදර නම්වලින්...

      මම මගේ ගෙදර ඉද්දි හැමදාම උදේට ගේ ළඟින් ඒ නැන්දලා හරක් අරන් යන සද්දෙ ඇහෙනවා... සමහර වෙලාවට ‘‘ඔය ඉතින් දාංගලේ.. චූටි අක්කගෙ මල් පැල පාගන්න එපා..‘‘ කියලත් කියනවා...

      Delete
    2. "රත්න ශ්‍රී ගේ" කවි පොත් කියවන්න මටත් ආසයි.
      පුළුවන් නම් කියන්නකෝ ඔය පොත්වල නම් කිහිපයක් ප්‍රකශකයොත් එක්ක.

      Delete
    3. රත්න ශ්‍රීෙග සියලුම කවි පොත් ගොඩගේ ප්‍රකාශන මල්ලි.. රත්න ශ්‍රි ගෙ අලුත් කාව්‍යාඛ්‍යානය ‘‘සඳ ගිර පාමුළ‘‘සරසවි ප්‍රකාශනයක්...

      ‘‘මල් අහුර‘‘ රත්න ශ්‍රී ලියූ ගී, කවි රස වින්දන ලිපි පෙළක්. ඒක සන්ථව ප්‍රකාශනයක්. පොත් ප්‍රදර්ශනේ කවි කුටියෙන් ගන්න පුලුවන් වේවි.

      Delete
  15. ප්‍රේම්ලාගේ අඩුව දැනෙනවා , බානෙන් බැඳ ගීතය දහම්පාසලේ සමිතියේ නම් ජනප්‍රිය ගීතයක් , අපූරු සටහනක්

    ReplyDelete
  16. ප්‍රේමකිර්තිගේ හැම නිර්මාණයක්ම හරිම අපුරුයි.මිල වැඩි වුනත් කියවන්න අසා හිතෙන පොතක් හැඩයි.

    ReplyDelete
  17. වටිනා ලිපියක් තරු

    ReplyDelete
  18. මගෙත් හිතෙන් කොහොමටවත් අමතක කරන්න බැරි වේදනාවක් දැනෙන,අදත් හිටියා නම් මොන තරම් විවිධාකාර පද පෙරලි ,රසබර අරුත්බර ගී අපිට අහන්න ලැබෙයි ද කියලා හිතෙන තැනක්. මා ලගත් මේ පොත තියනවා, මේ ලිපිය කියව්වම මෙහි එන එක් නිසදැසක් ගැන ලියන්න හිතුනා, ටික දවසකින් ලියන්නම්.

    ReplyDelete
  19. මට තවත් දෙයක් එක් කරනන හිතුනා තරු මං දැකලා තියන , නිර්මාණකරුවෙක් ලියන නිර්මාණත් ඔහුගේ හෝ ඇය ගේ පුද්ගලික ජීවිතය, විස්වාස , පුරුදු යා කිරීමට තැත් කරන තැන් කොයිතරමක් ගැලපෙනවද සාධාරණද එහෙම කල හැකිද යන්න ගැන...

    ReplyDelete
  20. මීට මාස කීපයකට කලින් මමත් " සසර සැරිසරන තෙක්" පොත කඳුළු පුරෝගෙන කියෙව්ව හැටි මතක් වුනා...

    සැබවින්ම ඔහු සොඳුරු මිනිසෙක්...

    ReplyDelete
  21. නොදැන හිටි බොහොම දේවල් දැන ගත්තා... පූර්ණ නිතර දෙවේලේ දුටු කෙනෙක් ඉස්සර... අපි ඉස්කෝලේ යන කාලේ පාසැල් නිමවූ පසු ඇතැම් විට අම්මා සමග එයාගේ නැන්දා ළඟට පැමිණියා... අපේ ආච්චී ඒ අසල සිටි නිසා අපත් පාසැල අවසන් වූ විට එතැනට පැමිණියා. ඉතින් එයාලගේ ජීවිත කතා අපේත් කතා වුනා. ප්‍රේම කීර්ති ද අල්විස් මහතා තවත් විදිහකට මතක, වෙහෙසට පත් නොවී තමන්ට ඉස්සරහ වාහනෙන් අත වනමින් කතා කල දරුවෙක්ට අත වනා ප්‍රතිචාර දෙමින් හිටි වග...ඒ දරුවා මම , ඒ ඔහු බව අසා ගත්තේ අම්මාගෙන්. මට ඔහුගේ පද රචනා තරම් හිතට දැනුනු පද රචනා තවත් නැති තරම්.... මා කැමතිම "පුංචි පන්ති වල..කොහෙන්ද මේ පොඩි නෑදෑයෝ" හරිම අර්ථවත් ගීත බොහොමයක් දායාද කරලා තියෙනවා. ඒ පුතනුවන් තාත්තාගේ ප්‍රතිභාව රැකගෙන ඉදිරියට යනු ඇතැයි මම ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
  22. උසස් පෙලින් පස්සේ දැන් තමයි මතක් උනේ අල්විස් ගැන හප්පේ ඒ කාලේ කවි විචාර ඔක්කොම මතක තිබ්බා නොවැ ...හොද ලිපියක් කිවුවොත් මම වැරදි නෑ මයි හිතේ

    ReplyDelete
  23. // ගෙඳ පඳුරු//

    ????

    ReplyDelete
  24. කාලෙකින් ඇත්තටම මේ පැත්තේ ආවේ....තරුගේ සන්සුන් නිස්කලංක ලිවීමේ රටාව

    ReplyDelete
  25. මම හරක් මස් ඉනදහිට කන නිසා ටිකක් අහසුයි උත්තරයක් ලියන්නත් ඒ ගැන. නෙලුම් යයෙන් ප්‍රේමකිරිති ගේ කවි වගයක් පල කලා කියෙව්වද? නොසලෙන් ඉන්ද්‍රඛීලය සේ

    ReplyDelete
  26. අද දවසේ මේ පොත ගන්න පුළුවන් තැනක් හරියටම දන්නවද ?
    (සසර සැරි සරන තෙක් - ප්‍රේමකීර්ති නැවත කියවමු - ගීතනාත් කුඩලිගම)

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...