ටක ටකස්.... ටක ටකස්....
ඇදගෙන යන දිලිසෙන සෙල්ලම්
කරත්තයක්...
මැටි වළං පොඩි සෙට් එකක්...
පාට පාට වළලු.. කොණ්ඩ කටු...
අයිස්ක්‍රීම්, බූන්දි, පුහුල්දෝසි....
පුංචි කාලෙ කට්ටිමහන පල්ලියෙ මංගල්ලෙට යද්දි හිතේ තියෙන
හීන ඕවා.. අහිංසක හීන... දැන් එහෙම හීන නැහැ. පවුලේ පුංචි පැංචන්ගෙ එවැනි අහිංසක හීන
සපුරන එකයි අද නම් බොහෝ විට සිද්ධ වෙන්නෙ.
දවස් දෙකක් පල්ලිය අවටම කූඩාරමක ගෙවන ජීවිතේ හරි
සැහැල්ලුයි.. සුන්දරයි... නිරන්තරයෙන් ගීතිකා හඬ අසමින්... උයන්නෙ පිහන්නෙ එතනමයි. එක මාළුවක්
බතක් උණත් කවදාකවත් නැති තරම් රසයි. වාඩියට යන එන අය ගෙනෙන කැවිලිත් එමටයි.
සන්තානම් මෑණියනේ... දෙව්මව් ගෙ මාතෘනේ...
ජේසුස්තුමන් වෙතේ අප නිසා යාච්ඤා වේ..
රෑ මැදියමත් පහුවෙනකල් කඩවීදි දිගේ ඇවිදල හීතල හුළං රැළි මැද කූඩාරමේ පවුලෙ
හැමෝම එකම පැදුරක ගුලිවෙලා නිදාගන්න එක අපූරු වෙනසක් ජීවිතේට...
පල්ලි මංගල්ල හදවත අත්විඳින දේව ප්‍රේමයෙන්, මනසට කා
වැදුණු දේව ධර්මයෙන් කොතරම් දුරස්තර වුණත්, ළමා වියේ ඉමිහිරි සිහින පොකුරක සුවඳ රැඳුණු කට්ටිමහන ශාන්ත ආනා මෑණියන්ට කැප කළ දෙව් මැදුරේ
වාර්ෂික මංගල්‍යය මග හරින්නට හිත් දෙන්නෙම නෑ. අපේම දාඩිය මහන්සියෙන් ගොඩ නැගුණු
ගමේ පල්ලියේ වාර්ෂික මංගල්‍යය හැරුණු කොට ආසාවෙන් යන්නට බලා හිඳින එකම වාර්ෂික
වන්දනා ගමන මෙයයි. පවුලටම එක්ව අවම වියදමකින්, උපරිම සිත් ශාන්තියක් සහ වින්දනයක් ලබන්න
පුළුවන් එකම වන්දනා ගමනත් මෙයමයි.
පසුගිය සති අන්‍තයේ පැවැත්වුණේ කට්ටිමහණ ශාන්ත ආනා
දෙව්මැදුරේ 118 වැනි වාර්ෂික මංගල්‍යය. පල්ලිය ඉදි කරල තියෙන්නෙ 1895. සාන්ත ආනා
මෑණියන් කියන්නෙ මරියතුමියගේ අම්මා. ජේසුගේ අත්තම්මා. සැබවින්ම අත්තම්මා කෙනෙකුගේ
මහගෙදර සිටින්නාක් වැනි සුවදායක බවක් දෙව් මැදුර අවට දෙදිනක් ගත කරන කූඩාරම්
ජීවිතයේ දැනෙනවා. හැගෙනවා...
මේ මංගල්ලෙට කියන්නෙ කරත්ත මංගල්ලෙ කියල. පොල් ත්‍රිකෝණයේ
මාදම්පේ කුලියාපිටිය අතර සුන්දර පොල් වත්තක් මැද ඇති මේ පල්ලියට අතීතයේ සිට
වැඩිදෙනෙක් ඇවිත් තියෙන්නෙ කරත්තවලින්. ඒ නිසයි කරත්ත මංගල්ලෙ කියන්නෙ. නානාප්‍රකාර
කරත්ත දැනුත් මංගල්ලෙට එනවා ඉස්සර තරම්ම නැති උණත්. අක්කර ගාණක කූඩාරම් ඉදි වෙනවා.
ජහ් පිට මහ්... ජහ් පිට මහ්... හෝව් ගොනා තිරික්කලෙන්
ජහ් පිට මහ්... ජහ් පිට මහ්... නැවතියන්කො පුතා හෙමින්..
වාඩි අතරේ සැරිසරමින් කතා බහ කරමින් ඉන්න අතර මාරවිල පැත්තෙන්
ආව කට්ටියක් මුණ ගැහුණා.
'' ගිය සැරේ මංගල්ලෙට එද්දි ඔයාලගෙ පැත්තෙ කරත්තයක්
ඇක්සිඩන්ට් වෙලා මාමා කෙනෙක් නැති උණා නේද?''
මං ඇහුවෙ පසුගිය වසරේ මතකයක් අළුත් කරමින්. අවුරුදු තිස්
ගාණක් කරත්තෙන් කට්ටිමහන මංගල්ලට ආව මාමා කෙනෙක් මෙදා සැරෙත් එද්දි ලොරියක
හැප්පිලා මිය ගිය බවකුයි අපට ආරංචි උණේ..
මංගල්ලෙට එන කරත්තවල බැදි ගොනුන්ගෙන්
සද්දන්තම, සුන්දරම ගොනත් ඒ සමගම සමුගත් බවකුයි දැන ගන්නට ලැබුණෙ.
'' ඒ මාමා මැරුණෙ නැහැ ඇන්ටී..කකුල නම් කපල. ගොනත්
ඉන්නවා. මේ සැරෙත් ඇවිල්ලා ඉන්නෙ.."
පුංචි කොලු පැටව් තුන්දෙනෙකුගේ මග පෙන්වීමෙන් අපි ඒ
වාඩිය හොයා ගෙන ගියා. කාලවර්ණ උස් සිරුරක් හිමි මාකස් මාමා ඇදක වාඩි වෙලා හිටියා.
ආබාධිත කකුල අසලම කෘතිම පාදය තිබුණා. අනතුර සිදු වුණ හැටි, ඉන්පස්සෙ සිදු වුණ දේ
ඔහු විස්තර කළේ පැකිලීමකින් තොරව.
''ගොනාට ගොඩක් තුවාලවුණා. අං දෙකම කැඩුණා. බේරෙයි කියල
හිතුවෙ නෑ. මං ඉස්පිරිතාලෙ ඉද්දිම මස්කඩකාරයො ඇවිල්ලනෙ ගොනාව ගෙනියන්න. මං කිව්වා
මැරුණොත් ගේ ළගම වළදානව මිස මස්කඩකාරයින්ට දෙන්න එපා කියල. දැන් ඔය අපුරුවට
ඉන්නෙ...''
කැඩුණු අං දෙක.. |
අං දෙක අහිමි ගොනා |
මාකස් මාමල ඇවිත් තිබුණෙ බදාදා. මාරවිල ඉඳන්.. මංගල්ලෙන්
පස්සෙ සඳුදා හවස කරත්ත පෙරහැරටත් ඉඳල එයාල ආපහු යන්නෙ අඟහරුවාදාලු.
මෙදා සැරේ පිවිසුම් දොරටුව ළග පොල් තොරණ හදල තිබුණෙත් කරත්තයක් විදියට...
පවුලේ අයත් එක්ක ගත කළ සුන්දර සති අන්තයක්.. ඒ හැමෝම තාමත්
කුඩාරමේ රැඳිල ඉද්දි මං තනියෙන් කොළඹ එන්න බස් එකට නගිද්දි නම් ඇස්වලට කඳුළුත්
පිරුණා. බස් එකට නගින සෙනග අතරේ මං තෙරපෙද්දි චූටි දෝණි ''මම්මෙ එන්න ...
එන්න...'' කියල අතින් කතා කළේ මං යනවට අකමැත්තෙන්... ඒ පුංචි මූණෙ මට කියවා ගන්න
බැරි හැගීම් ගොන්න දකිද්දි හරි අසරණකමක් දැණුනා හිතට.
''මම්මා වැඩට යන්න ඕනනෙ මැණික.. වැඩට ගියාමයි සල්ලි හම්බ
වෙන්නෙ. ඔයාට සබන් බෝල පුම්බන ඒව ගේන්න පුළුවන් එතකොටනේ... '' වෙනද වගේ එහෙම
කියන්න අවස්ථාවක් ලැබුණෙත් නෑ. බොහෝ දුරක් එනකල් හිත හිර වෙලා තිබුණා.
2009 වසරේ ජාතික රූපවාහිනියේ විකාශය වූ කරත්ත මංගල්ලේ
විශේෂ වැඩසටහන යූ ටියුබ් හරහා නැරඹිය හැකියි. මාකස් මාමාගේ කතා බහකුත් අං දෙකත්
එක්ක විරාජමාන ගොනාගේ පැහැදිලි දසුනකුත් එහි ඇති..
http://www.youtube.com/watch?v=mzlG4eDtll0
http://www.youtube.com/watch?v=vwz0LYokHCA