පිටු

Tuesday, April 26, 2022

තරුණ අපේ හීන මැරූ - උඹල තමයි කම්බ හොරූ...

 


මේ ඉන්නෙ මගෙ මල්ලි... මල්ලිත් ඇතුළුව ගමේ කොල්ලො කණ්ඩායමක් පසුගිය දිනෙක ගෝඨාගෝ ගමට ආවා. ඒ පිරිසෙන් බහුතරයක් ස්ථීර රැකියා නැති එදිනෙදා ජීවන අරගලයේ නියුතු පිරිසක්... එහෙම තියෙද්දිත් කට්ටිය එකතු වෙලා ගාලුමුවදොරට ඇවිත් දවසක්ම නොකඩවා සටන් පාඨ කියමින් අරගලයේ යෙදීම සතුටක්...

මල්ලිගෙ අතේ තිබුණු පෝස්ටරය දැක්කම මට ලොකු දුකක් දැනුණා. ඒක කොහොමත් මල්ලිට සටන් පාඨයක් විතරක්ම නොවන බව මං දන්නවා.

තරුණ අපේ හීන මැරූ - උඹල තමයි කම්බ හොරූ

මගේ මල්ලි සාමාන්‍ය පෙළින් එහාට ඉගෙනගත්තෙ නෑ. බැරිකමට වඩා ඒ නොසැලකිල්ල නිසා. සාමාන්‍ය පෙළ ඉවරවුණ තරුණ තරුණියන්ට ඒ කාලෙ පල්ලියෙන් කරපු වෘත්තීය පුහුණුවකට සම්බන්ධ වෙලා එයා මහන්න ඉගෙනගත්තා. ඉන්පස්සෙ ඇඳුම් මහන තැනක වැඩ කළා. අවුරුදු 18 වෙද්දිම එයා උපයන්නෙක්. දරුවන් හතරදෙනෙක් උන්නු ඉතාම සාමාන්‍ය පවුලක එකම පුතා විදියට එයා එයාගෙ ජීවිත කුරුසිය කරට ගත්තෙ කිසිම පැකිලීමක් නැතුව. 

මුලින්ම චැලියක් ගත්තෙ එයාගෙ දාඩිය මහන්සියෙන්... දුරකථනයක් ගත්තෙ එයාගෙ දාඩිය මහන්සියෙන්. එයා කවදාවත් දෙමව්පියො හැමදේම කරල දෙනකල් බලන් උන්නු කෙනෙක් නෙවෙයි... කාලයක් වඩු වැඩත් කළා. වහළ ගහන්න ගිහින් කළු වෙලා ඉද්දි, අත පය කැක්කුම් දෙද්දි අපි හැමෝමත් රහසින් දුක් වුණා. එයා පවුලෙ එකම කොල්ලා විතරක් නෙවෙයි, බඩ පිස්සා. ඉතින් මල්ලි දුක් විඳින හැටි බලා හිඳීම අපටත් දුකක් වුණා.

අවුරුදු විසිතුනක් විතර වෙද්දි තමයි එයා 10*10 රෙදි හට් එකකුයි, කුඩ පහකුයි අරන් උත්සව භාණ්ඩ ව්‍යාපාරය පටන් ගත්තෙ. ඒ ටික කුලියට දෙමින් ඒ ලැබෙන මුදලින් ටික ටික තවත් බඩු අරගත්තා. සෞභාග්‍යා ණය අරන් පුටු ටිකක් ගත්තා. මේ විදියට විශාල ණයවලට නොයා ව්‍යාපාරයෙන් උපයන මුදලින්ම එයා තමන්ගෙ ව්‍යාපාරය දියුණු කරගත්තා. ''ඔලුවට වධයක් නැතිව ගෙවන්න පුළුවන් ප්‍රමාණයට විතරයි ණය වෙන්නෙ. පුළුවන් විදියට හෙමිහිට කරගන්නවා..." ඒ තමයි එයාගෙ ප්‍රතිපත්තිය.

ඉන්පස්සෙ හැදුව සියලුම මඩු, වේදිකා ( සංගීත ප්‍රසංගයකට සරිලන විශාල වේදිකාවක්ද සමඟ) එයා සැලසුම් කරලා යකඩ ගෙනත් ගෙදර හැදුවෙ. ජුකී මැෂිමක් අරන් ඒවට ඕන රෙදි මැහුවෙත්, පුටු කවර මැහුවෙත් එයාමයි. මගේ මල්ලි ඒ තරම් විශාල ධෛර්යයක් තිබුණු, තියෙන කොල්ලෙක්. එයා අපි හැමෝටම ලොකු හයියක් වුණා. 

අවුරුදු 30 වෙද්දි පවුලටත්, ගමටත් උදව් කරන තමන්ගෙම ව්‍යාපාරයක් තියෙන සාර්ථක තරුණයෙක්. දරුවන් තිදෙනෙකුගේ පියෙක්. මේ අතර ලැබෙන මුදලින් උත්සව ශාලාවක් හදන්නත් පටන් ගත්තා. ඒ සැලසුම් සියල්ල එයාගෙ. යකඩ ගෙනත් වහලය සැලසුම් කරලා හැදුවෙ එයාමයි. උත්සව ශාලාව වෙනුවෙන් සිමෙන්ති ගල් කැපුවා. එයාගෙ මිත්‍ර සම්පත්තිය සහ පවුලේ අය එක්ක ලස්සනට වැඩ ටික කරගෙන එද්දි තමයි කොරෝනා ආවෙ.

හම්බ කරපු සියල්ල උත්සව ශාලාවට යට වෙලා. ඒත් ණය ගොඩවල් නොතිබුණු නිසා ජීවත් වීම එතරම් අමාරු වුණේ නෑ. මිනිසුන් රැස්වෙන සියලු අවස්ථා වැලකුණ නිසා තවදුරටත් කිසිම ආදායම් මාර්ගයක් තිබුණෙ නැහැ. අන්තිමේ යාළුවො දෙතුන් දෙනෙක් එකතු වෙලා ගෙවල් පින්තාරු කරන්න කොන්ත්‍රාත් අරන් වැඩ කළා. 

කොරෝනා අවුරුදු දෙකේ ඒ විදියට තමයි එයා පවුල නඩත්තු කළේ. අරපිරිමැස්මෙන් වැඩ කරන, තේරුම් ගන්න සහ පණ වගේ ආදරය කරන බිරිඳක් ලැබීමත් එයා ජීවිතයේ ලැබූ ජයක්... ( ඔව් අපේ නෑනා හරිම හොඳයි... ඇති කාලෙත්, නැති කාලෙත් අපි හැමෝටම එයා සැලකුවෙ එකම විදියට. සමහර නෑනලා වගේ කවදාවත් තමන්ගෙ මහත්තයව පවුලෙන් ඈත් කරගන්න උත්සාහ කළේ නෑ... )

කොරෝනා සමය නිමවෙලා ආපහු සාමාන්‍ය ජන ජීවිතය පටන් ගනිද්දිම තමයි ලංකාවටම හෙණ ගැහුවෙ.  මේ ආර්ථික අවපාතය සාමාන්‍ය ව්‍යාපාරයක් කරගෙන හිටිය කිසිම කෙනෙකුට නැවත ඔලුව උස්සන්න ඉඩක් දුන්නෙ නෑ. මගේ මල්ලිටත් ඒක එහෙමම තමයි. බාගෙට හදපු උත්සව ශාලාව ළඟින් යද්දි පපුව පිච්චෙනවා. එතන තියෙන්නෙ මල්ලිගෙ දාඩිය මහන්සිය.... සැබෑ නොවුණු හීනය... එයාගෙ තරුණ ජීවිතය ගතවුණේ මේ ව්‍යාපාරය වෙනුවෙන්. ඒත් අන්තිමේ බාගෙට ඉදිකෙරුණු ගොඩනැගිල්ලක් දිහා බලන්න ඉන්න අපට සිද්ද වෙලා.

තාත්තා කියන්නෙ ''මං මැරෙන්න කළින් මල්ලිගෙ හෝල් එකේ මගුලක් ගන්නව දකින්න තිබුණොත් ඇති" කියලා... ඒ හීනය සැබෑ කරල දෙන්න අපට කවදා පුළුවන් වෙයිද දන්නෙ නෑ... ගොඩනැගිලි ද්‍රව්‍ය මිල ඉහළ ගියේ අපට උඩ පැනලවත් අල්ලගන්න පුළුවන් විදියට නෙවෙයි...

අර පවලම් අවුල වගේ නෙවෙයි, අපේ පවුල උපයා ගත් යමක් ඇත්නම් ඒ දුක් මහන්සියෙන් උපයා ගත් දේවල්. අපි කාටවත් වංචා කරල නෑ. කාගෙන්වත් කඩා වඩා ගෙන නෑ. පුළුවන් විදියට මිනිසුන්ට උදව් කරගෙන ජීවත් වුණා මිස.  ඒත් අන්තිමේ තෘෂ්ණාධික රජ පවුලක සූරා කෑම නිසා රට මුහුණු දුන්නු ඉරණමේ ගොදුරු බවට අපිත් පත්වෙලා... මගේ මල්ලි  අවුරුදු දාසයේ දාහතේ ඉඳන් දුක් මහන්සියෙන් ගොඩනගාගත් හැමදේම කඩන් වැටිලා... රටේ ලක්ෂ ගණන් තරුණ තරුණියන්ගෙ ඉරණම ඒ ආකාරයට විසඳෙද්දි අර බේබි හාමුල මේ රට සූරකාලා සුර සැප විඳිනවා දකිද්දි පුදුමාකාර කේන්තියක් එනවා. 

මල්ලිගේ ආර්ථිකය කඩා වැටීමත් එක්ක අපි පවුලම එකතු වෙලා තමයි ඒකට විසඳුම් හෙව්වෙත්. අපි හැමෝම එකතු වෙලා මල්ලිගෙ ඉතිරි වෙලා තිබුණු ණය කොටස් ගෙවලා අහවර කළා. 'කවදාහරි දවසක පුළුවන් වුණොත් හෝල් එක හදමු. එතකල් ළමයින්ට උගන්නගෙන, එදා වේල හොයාගෙන ඉන්න විදියක් බලමු.'

අපි එහෙම සැලසුම් හැදුවට දැන්නම් එහෙම ජීවත්වෙන්න පුළුවන් වෙයිද කියලත් සැකයි... ඉදිරියේදි කන්නවත් තියෙයිද? ළමයින්ට උගන්වන්න පුළුවන්  වෙයිද? අපේ දරුවන්ගේ අනාගතේ මොන වගේ වෙයිද? මිනිසුන්ගේ ප්‍රශ්න ගැන වගේ වගක් නැතිව තමන්ගෙ බලය රැක ගැනීම ගැන විතරක්ම හිතන දේශපාලකයො ගැන ඇති වෙන කේන්තිය මට වචනයෙන් ලියන්න බැරි තරම්.... 

මේ වගේ අවිනිශ්චිත වටපිටාවක මල්ලි කොළඹ ඇවිත් ගාලු මුවදොර මේ සටන් පාඨය ඔසවන් කෑ ගහද්දි ලොකු අක්කාගේ පපුව පිච්චෙන එක අහන්නත් දෙයක් ද?

 


 

Saturday, January 8, 2022

රුහිරු විකුණා යැපුණ මිනිසෙක්....


විශ්ව සාහිත්‍යයේ අගනා කෘතියක් රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවෙන්....

1956 වසරේ සිට රජයේ නිල භාෂා පරිවර්තක ලෙසින් කටයුතු කරන රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව විවිධ විෂයන් ඔස්සේ ග්‍රන්ථ පළ කිරීම සිදු කර ඇතත්, විශ්ව සාහිත්‍යයේ විශිෂ්ට සාහිත්‍ය කෘතියක් මුද්‍රණයෙන් එළිදක්වන ප්‍රථම අවස්ථාව මෙයයි. රාජ්‍ය අංශයේ භාෂා පරිවර්තකයින් හරහා වාර්ෂිකව දියත් කරන්නට නියමිත නවතම ව්‍යාපෘතියේ පළමු කෘතිය රාජ්‍ය අංශයේ නිල භාෂා පරිවර්තකයකු ලෙස කටයුතු කරන අප හිත මිත්‍ර ප්‍රවීණ සාහිත්‍යධර චූලානන්ද සමරනායක සහෝදරයාගේ කෘතියක් වීම ද ආනන්දජනක කාරණයකි.

පශ්චාත් විප්ලවීය චීනයේ පෙරටුගාමී ලේඛකයකු වන Yu Hua ගේ Chronical of A Blood Merchant මෙලෙස පරිවර්තනය වන්නේ ‘‘රුහිරු විකුණා යැපුණු මිනිසෙක්“ ලෙසිනි.

දැවැන්ත සමාජ, දේශපාලන පරිවර්තනයක් සිදුවෙමින් පවතින සමයක මහත් දුෂ්කරතාවලට මුහුණ දෙමින් ජීවන අරගලයෙහි නියුතු දිළිඳු, නූගත් සාමාන්‍ය ගැමි පවුලක ජීවන අන්දරය මෙම කෘතිය තුළ ගෙත්තම්ව ඇත. විප්ලවීය සංක්‍රාන්ති සමයක වුවද සුපුරුදු ලෙස අතිදුෂ්කර ජීවිත හිමිවන්නේ පීඩිත ජනකොටස්වලට බව පැහැදිලි සත්‍යයකි. වඩා වැදගත් වන්නේ කුමන අසීරුතා මධ්‍යයේ වුවද අප තුළ වන මනුෂ්‍යත්වයේ ආලෝක කිරණ නොනිවී දල්වා තබා ගැනීමයි.

‘රුහිරු විකුණා යැපුණ මිනිසා‘ අප වෙත ගෙන එන්නේ එලෙස නොනිවී පවත්වා ගන්නා මනුෂ්‍යත්වයේ සහ ප්‍රේමයේ විචිත්‍ර කතාවකි. ප්‍රබල සමාජ දේශපාලන වෙනස්වීම් සිදුවන කාල වකවානුවක් වුවද, එය පසුබිමෙන් සහෘද මනසට ධාරණය වන්නට ඉඩ හැර ලේඛකයා සියුම් ලෙස මතු කරන්නේ සහ අවධාරණය කරන්නේ එකී වෙනස්වීම් සාමාන්‍ය, පීඩිත ජනතාවගේ ජීවිත මත ඇති කරන බලපෑමයි. එවැනි බලපෑම්සහගත වටපිටාවක මනුෂ්‍යත්වය අඛණ්ඩව පවත්වා ගැනීම ම කොතෙක් නම් අභියෝගයක් විය හැකිද?

‘‘සාහිත්‍යයෙහි කිසියම් ගුප්ත බලයක් ඇත්තේ නම් එය නිසැකවම මෙය විය හැකිය. ඒ වනාහී යමකු වෙනත් කාලයකට, වෙනත් රටකට, වෙනත් ජන වර්ගයකට, වෙනත් භාෂාවකට සහ වෙනත් සංස්කෘතියකට අයත් කෘතියක් කියවන විට එහිදී ඔහුට එය තමන්ගේ ම දෙයක් සේ හැඟී යාමයි.“
එසේ කියන්නේ මා නොවේ. මෙම කෘතියේ කතුවර යූ හුවා ය.

යූ හුවාගේ කෘතිය සිංහල බසට නගන පරිවර්තක ද එය අපට අපගේම ජීවන පුවතක් තරමට සමීප කරවයි. නූගත්, දිළිඳු ගැමි ජන හද ගැස්ම ඔවුන්ගේම බස් වහරින් ප්‍රකට වන සේ සිදු කර ඇති පරිවර්තන කාර්යයද විශිෂ්ට එකක් බව කිව යුතුය. චූලානන්ද සමරනායක සහෝදරයාගේ පරිවර්තන ශ්‍රමය පිළිබඳව මා අමුතුවෙන් වර්ණනා කළ යුතු නොවේ.

මෙම කෘතිය රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තු පොත් හළෙන් මිල දී ගත හැක. මිල රු. 800/=කි.

......................

දින පොතේ ඉඩ වෙන් කරතබා ගනු පිණිස පසුව ලියමි.

''රුහිරු විකුණා යැපුණ මිනිසෙක්'' කෘතිය එළිදැක්වීම 2022 ජනවාරි 27 බ්‍රහස්පතින්දා සවස 2.00 ට දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ. සහෘද ඔබ සැමට සාදර ඇරයුම් !

Tuesday, January 4, 2022

එදා ගවහලේ ඉපදුණු පුංචි ජේසු මම නම් ! ( කතන්දර හැන්දෑවේ දරුවන්ගේ නිර්මාණ)

 මාසයේ හැම පළමුවෙනි අඟහරුවාදාම ''කතන්දර හැන්දෑව'' අපි වෙන් කරන්නෙ දරුවන්ගේ කාව්‍ය නිර්මාණ අගය කරන්න. මෙතනදි ප්‍රවීණ ළමා කවි රචක රචිකාවියක් හඳුන්වා දෙමින් අපි කවුරුත් ආසාවෙන් රස විඳි ළමා කවියක් හෝ දෙකක් හඳුන්වා දීමත් සිදුවෙනවා.

දරුවන් ලියූ කවි එකින් එක ගෙන අගය කිරීම සිදුවන්නේ ඉන් අනතුරුව. කවි සැඳෑවේ කවි ඇගයීම සිදුකරන්නේ ප්‍රවීණ කිවිඳිය විපුලි නිරෝෂිණී හෙට්ටිආරච්චි සොයුරිය. 

අපි මේ වෙද්දි එස්. මහින්ද හිමි, කුමාරතුංග මුණිදාස, ආනන්ද රාජකරුණා, චන්ද්‍රරත්න මානවසිංහ වැනි ප්‍රවීණ කවියන් ගැන කතා කර තියෙනවා. ඔවුන් ලියූ කවි කීපයක් හඳුන්වා දී තිබෙනවා. 

ඇත්තටම ආරම්භයට වඩා දැන් දරුවන් කවි ලියන්න, කවි කියවන්න උනන්දුයි. කවි නොලියන දරුවන් පවා ඇවිත් කවි ගැන කතා බහ අහන් ඉන්න එක සතුටක්. ඉතාම මිහිරි ලෙස කවි ගායනා කරන අම්මා කෙනෙකුත් අපට හමුවෙලා තියෙනවා. 

මේ නත්තල් කවි ලියූ බහුතරයක් දරුවන් බොදුනු දරුවන් වීමත් විශේෂයි... කොහොමත් ළමා ක්‍රියාකාරී වීරයෝ කියන්නෙ ජාති, ආගම් භේද නැති හැමට පොදුවේ එකමුතු වෙන්න පුළුවන් තැනක්. කතන්දර හැන්දෑවට සියලු අත හිත ළ.ක්‍රි.වී. ජාතික කාර්යාලයෙන්...

















Sunday, January 2, 2022

අරගලයේ වසර...........

 

කතන්දර හැන්දෑවෙ දරුවකු හදා එවූ සුබ පැතුම...

අවුරුදු ජයයි !

ගෑස් එක ඉවර වෙලා මාසයක් විතර... තාවකාලික නවාතැනේ උයන අපි පස් දෙනෙක් ඉන්නවා. මුලින්ම ඉවර වුණේ මගේ ලාෆ් ගෑස් සිලින්ඩරේ... ලාෆ් කරුමේ කියන්නෙ ගෙදරත් තියෙන්නෙ ලාෆ් සිලින්ඩරයක්... නංගිලගෙ ගෙදරත් එහෙමයි. දැන් ඉතින් ඒ ඔක්කොම අහවරයි. ගමේ ගෙවල් ඔක්කොම ආපහු දර ලිපට ඇවිත්... පෙරලුණු පිට හොඳයි කියලා පෝරණු ලිප් අලුත්වැඩියා කරල අරන්... මෙහෙ ඉතින් කොහෙ දර ලිප් හදන්නද?

පහුවුණු මාසෙම කළේ රයිස් කුකර් එකේ බත උයාගෙන, ඒ වෙලාවෙම තම්බගන්න පුළුවන් එළවළුවකුත් තම්බගෙන කාගෙ හරි ගෑස් ලිපකින් යාම්තමට කිරි ටිකක් දාලා ගන්න එක. එක ව්‍යාංජනය ගාණෙ අපි තුන්දෙනෙක් හදලා බෙදාගන්නවා. 

(අපේ දෙවෙනි ගෑස් එකත් ඉවර වුණේ නත්තල ලබන්නත් කළින්... තවමත් කවුරුත් අලුත් ගෑස් සිලින්ඩර ගත්තෙ නෑ. මොනව කරන්නත් ජීවත් වෙලා ඉන්න එපැයි... )

එළවළු සලාදත් මේ කාලෙට නැගල යනවා. තම්බගන්න එළවළුවලට ගම්මිරිස්, ලුණු කුඩු ටිකක් ඉහළ ගත්තත් ගාණක් නෑ. අපේ රස දිව පුරුදු වෙලා තියෙන්නෙ තුනපහ පදමට දාලා, කිරි හරි තෙල් හරි දාලා හෝ ගාලා උයාලා ගන්න ව්‍යාංජනවලටනෙ. දැන් ඉතින් ඒ ක්‍රමේ වෙනස් කරගන්නයි වෙලා තියෙන්නෙ.

තනිකඩයින්ට මේ කාලෙ කොහොමහරි ගැටගහගන්න පුළුවනි. ඒත් හතර පස්දෙනෙක් ඉන්න පවුල් කොහොමද කරගන්නෙ... 

31 රෑටත් කඩෙන්ම කාලා යසට නිදාගත්තා... උදේ නැගිටලා කට්ටියමට කිරිබතක් හදන්නත් පොරොන්දු වෙලා උන්නෙ... කළින් දාම මිරිසට මාළු හදල තිබ්බා. එළවළු කනවට වඩා මාළු ලාබයි වගේ... කැකුළු හාල් හෝදලා රයිස් කුකර් එකට දාලා පොල් ගෙඩිය බින්දා... පොහ් පොහ් පුස් සද්දයක් බිඳෙන්න ටිකක් වෙලා ගියා. හපෝයි ඇතුළ ගන්න දෙයක් නෑ. ඉතින් මොන කිරිබත් ද?

කැකුළු බතට මිරිස් මාළුත් එක්ක පරිප්පු ටිකක් තෙල් දාලා ගත්තා.

ඔන්න ඔහොමයි 2022 ජයටම පටන් ගත්තෙ....

..............

2021 නිහඬව ගෙවුණට මොකද ආපහු හැරිල බලද්දි සෑහෙන වැඩ කොටසක් කරල තියෙන බවත් සිහිපත් වුණා. කතන්දර හැන්දෑවෙ දරුවො තමයි ගෙවුණු අවුරුද්දෙ වටිනාකම නැවත මතක් කරල දුන්නෙ. ඒ ගැන එෆ්බී එකට ලියලත් ආපහු ඔන්ලි මී දැම්මා. ගෙවුණු අවුරුද්ද මං හිතන්නෙ බ්ලොග් එකත්, එෆ්බී එකත් එක්ක අඩුවෙන්ම ගනුදෙනු කළ අවුරුද්දක්... 

මේ තියෙන්නෙ මූණුපොතට ලියූ සටහන....

2021 වසරේ ජීවිතය සතුටින් පුරවා ලූ තැන.... කතන්දර හැන්දෑව... නිරෝධායන ඇඳිරි නීති සමයේ පවුලේ දරුවන්ගේ මූණු දැක බලා ගන්නට ආරම්භ කළ කතන්දර හැන්දෑව ළක්රිවි එකතුව එක්ක වඩා පුළුල් වෙමින් දරුවන් එක්ක ගත කළ සුන්දර හැන්දෑවන් රැසක් ජීවිතයට එක් කළා... දරුවන්ගේ සුබ පැතුම් දකිද්දියි මේ සටහන වුණත් ලියන්න හිතුණෙ...
තරු නැන්දා, තරංගි නැන්දා 'කතන්දර නැන්දා' වීම 2021 සදානුස්මරණීය සැමරුමක්...
විපුලි නැන්දා මෙහෙයවන කවි සැඳෑව පුංචි කවි කිවිඳියන් රැසක් බිහි කරමින් ඉන්නා බව දැකීමත් සතුටක්...
ආපසු හැරී බලද්දි.... ප්රීතිමත් පියවර රැසක් 2021 වසරට අයිති බව පසක් වුණා...
* යොවුන් සමාධි, යෞවන වසන්ත වින්දන දැහැන (කවියක්, ගීතයක්, පොතක්...)
* දිවැසිවර සාහිත්යයක මංපෙත් - කතිකාව ඒ හරහා බිහි වූ විණැන සාහිත සැඳෑව
* අද ජේසු සාමූහිකයේ අත් නොහරින අත්වැල
* ළක්රිවි දරුවන්, ළමුන් කැටුව යන්නන් සමග දුරස්තව නමුත් හර්දයාංගමව කළ වැඩ...
* විපුලි අක්කාගේ මැදිහත්වීමෙන් කළ සාහිත්ය කටයුතු...
ඒ අතර ආදරයම අරන් ආව අප්රමාණ මිනිසුන්....
2022 ජීවන අරගලයේ අපහසුම වසරක් වේවි ! සමාජ අරගලයකින් තොරව ජීවන අරගල පමණක් ජය ගත නොහැකි බව වඩ වඩාත් අපට පසක් කර දේවි... ආදරය, විශ්වාසය, බලාපොරොත්තුව තමයි මේ ගමනේ එකම හයිය... අත්වැළ...

2022 බ්ලොග් එකට මොන මොනවා හරි නිතර ලියන්න හිතන් ඉන්නවා... අනේ ඒකට මගේ හිත කම්මැලි නොවේවා...!