පිටු

Tuesday, April 26, 2022

තරුණ අපේ හීන මැරූ - උඹල තමයි කම්බ හොරූ...

 


මේ ඉන්නෙ මගෙ මල්ලි... මල්ලිත් ඇතුළුව ගමේ කොල්ලො කණ්ඩායමක් පසුගිය දිනෙක ගෝඨාගෝ ගමට ආවා. ඒ පිරිසෙන් බහුතරයක් ස්ථීර රැකියා නැති එදිනෙදා ජීවන අරගලයේ නියුතු පිරිසක්... එහෙම තියෙද්දිත් කට්ටිය එකතු වෙලා ගාලුමුවදොරට ඇවිත් දවසක්ම නොකඩවා සටන් පාඨ කියමින් අරගලයේ යෙදීම සතුටක්...

මල්ලිගෙ අතේ තිබුණු පෝස්ටරය දැක්කම මට ලොකු දුකක් දැනුණා. ඒක කොහොමත් මල්ලිට සටන් පාඨයක් විතරක්ම නොවන බව මං දන්නවා.

තරුණ අපේ හීන මැරූ - උඹල තමයි කම්බ හොරූ

මගේ මල්ලි සාමාන්‍ය පෙළින් එහාට ඉගෙනගත්තෙ නෑ. බැරිකමට වඩා ඒ නොසැලකිල්ල නිසා. සාමාන්‍ය පෙළ ඉවරවුණ තරුණ තරුණියන්ට ඒ කාලෙ පල්ලියෙන් කරපු වෘත්තීය පුහුණුවකට සම්බන්ධ වෙලා එයා මහන්න ඉගෙනගත්තා. ඉන්පස්සෙ ඇඳුම් මහන තැනක වැඩ කළා. අවුරුදු 18 වෙද්දිම එයා උපයන්නෙක්. දරුවන් හතරදෙනෙක් උන්නු ඉතාම සාමාන්‍ය පවුලක එකම පුතා විදියට එයා එයාගෙ ජීවිත කුරුසිය කරට ගත්තෙ කිසිම පැකිලීමක් නැතුව. 

මුලින්ම චැලියක් ගත්තෙ එයාගෙ දාඩිය මහන්සියෙන්... දුරකථනයක් ගත්තෙ එයාගෙ දාඩිය මහන්සියෙන්. එයා කවදාවත් දෙමව්පියො හැමදේම කරල දෙනකල් බලන් උන්නු කෙනෙක් නෙවෙයි... කාලයක් වඩු වැඩත් කළා. වහළ ගහන්න ගිහින් කළු වෙලා ඉද්දි, අත පය කැක්කුම් දෙද්දි අපි හැමෝමත් රහසින් දුක් වුණා. එයා පවුලෙ එකම කොල්ලා විතරක් නෙවෙයි, බඩ පිස්සා. ඉතින් මල්ලි දුක් විඳින හැටි බලා හිඳීම අපටත් දුකක් වුණා.

අවුරුදු විසිතුනක් විතර වෙද්දි තමයි එයා 10*10 රෙදි හට් එකකුයි, කුඩ පහකුයි අරන් උත්සව භාණ්ඩ ව්‍යාපාරය පටන් ගත්තෙ. ඒ ටික කුලියට දෙමින් ඒ ලැබෙන මුදලින් ටික ටික තවත් බඩු අරගත්තා. සෞභාග්‍යා ණය අරන් පුටු ටිකක් ගත්තා. මේ විදියට විශාල ණයවලට නොයා ව්‍යාපාරයෙන් උපයන මුදලින්ම එයා තමන්ගෙ ව්‍යාපාරය දියුණු කරගත්තා. ''ඔලුවට වධයක් නැතිව ගෙවන්න පුළුවන් ප්‍රමාණයට විතරයි ණය වෙන්නෙ. පුළුවන් විදියට හෙමිහිට කරගන්නවා..." ඒ තමයි එයාගෙ ප්‍රතිපත්තිය.

ඉන්පස්සෙ හැදුව සියලුම මඩු, වේදිකා ( සංගීත ප්‍රසංගයකට සරිලන විශාල වේදිකාවක්ද සමඟ) එයා සැලසුම් කරලා යකඩ ගෙනත් ගෙදර හැදුවෙ. ජුකී මැෂිමක් අරන් ඒවට ඕන රෙදි මැහුවෙත්, පුටු කවර මැහුවෙත් එයාමයි. මගේ මල්ලි ඒ තරම් විශාල ධෛර්යයක් තිබුණු, තියෙන කොල්ලෙක්. එයා අපි හැමෝටම ලොකු හයියක් වුණා. 

අවුරුදු 30 වෙද්දි පවුලටත්, ගමටත් උදව් කරන තමන්ගෙම ව්‍යාපාරයක් තියෙන සාර්ථක තරුණයෙක්. දරුවන් තිදෙනෙකුගේ පියෙක්. මේ අතර ලැබෙන මුදලින් උත්සව ශාලාවක් හදන්නත් පටන් ගත්තා. ඒ සැලසුම් සියල්ල එයාගෙ. යකඩ ගෙනත් වහලය සැලසුම් කරලා හැදුවෙ එයාමයි. උත්සව ශාලාව වෙනුවෙන් සිමෙන්ති ගල් කැපුවා. එයාගෙ මිත්‍ර සම්පත්තිය සහ පවුලේ අය එක්ක ලස්සනට වැඩ ටික කරගෙන එද්දි තමයි කොරෝනා ආවෙ.

හම්බ කරපු සියල්ල උත්සව ශාලාවට යට වෙලා. ඒත් ණය ගොඩවල් නොතිබුණු නිසා ජීවත් වීම එතරම් අමාරු වුණේ නෑ. මිනිසුන් රැස්වෙන සියලු අවස්ථා වැලකුණ නිසා තවදුරටත් කිසිම ආදායම් මාර්ගයක් තිබුණෙ නැහැ. අන්තිමේ යාළුවො දෙතුන් දෙනෙක් එකතු වෙලා ගෙවල් පින්තාරු කරන්න කොන්ත්‍රාත් අරන් වැඩ කළා. 

කොරෝනා අවුරුදු දෙකේ ඒ විදියට තමයි එයා පවුල නඩත්තු කළේ. අරපිරිමැස්මෙන් වැඩ කරන, තේරුම් ගන්න සහ පණ වගේ ආදරය කරන බිරිඳක් ලැබීමත් එයා ජීවිතයේ ලැබූ ජයක්... ( ඔව් අපේ නෑනා හරිම හොඳයි... ඇති කාලෙත්, නැති කාලෙත් අපි හැමෝටම එයා සැලකුවෙ එකම විදියට. සමහර නෑනලා වගේ කවදාවත් තමන්ගෙ මහත්තයව පවුලෙන් ඈත් කරගන්න උත්සාහ කළේ නෑ... )

කොරෝනා සමය නිමවෙලා ආපහු සාමාන්‍ය ජන ජීවිතය පටන් ගනිද්දිම තමයි ලංකාවටම හෙණ ගැහුවෙ.  මේ ආර්ථික අවපාතය සාමාන්‍ය ව්‍යාපාරයක් කරගෙන හිටිය කිසිම කෙනෙකුට නැවත ඔලුව උස්සන්න ඉඩක් දුන්නෙ නෑ. මගේ මල්ලිටත් ඒක එහෙමම තමයි. බාගෙට හදපු උත්සව ශාලාව ළඟින් යද්දි පපුව පිච්චෙනවා. එතන තියෙන්නෙ මල්ලිගෙ දාඩිය මහන්සිය.... සැබෑ නොවුණු හීනය... එයාගෙ තරුණ ජීවිතය ගතවුණේ මේ ව්‍යාපාරය වෙනුවෙන්. ඒත් අන්තිමේ බාගෙට ඉදිකෙරුණු ගොඩනැගිල්ලක් දිහා බලන්න ඉන්න අපට සිද්ද වෙලා.

තාත්තා කියන්නෙ ''මං මැරෙන්න කළින් මල්ලිගෙ හෝල් එකේ මගුලක් ගන්නව දකින්න තිබුණොත් ඇති" කියලා... ඒ හීනය සැබෑ කරල දෙන්න අපට කවදා පුළුවන් වෙයිද දන්නෙ නෑ... ගොඩනැගිලි ද්‍රව්‍ය මිල ඉහළ ගියේ අපට උඩ පැනලවත් අල්ලගන්න පුළුවන් විදියට නෙවෙයි...

අර පවලම් අවුල වගේ නෙවෙයි, අපේ පවුල උපයා ගත් යමක් ඇත්නම් ඒ දුක් මහන්සියෙන් උපයා ගත් දේවල්. අපි කාටවත් වංචා කරල නෑ. කාගෙන්වත් කඩා වඩා ගෙන නෑ. පුළුවන් විදියට මිනිසුන්ට උදව් කරගෙන ජීවත් වුණා මිස.  ඒත් අන්තිමේ තෘෂ්ණාධික රජ පවුලක සූරා කෑම නිසා රට මුහුණු දුන්නු ඉරණමේ ගොදුරු බවට අපිත් පත්වෙලා... මගේ මල්ලි  අවුරුදු දාසයේ දාහතේ ඉඳන් දුක් මහන්සියෙන් ගොඩනගාගත් හැමදේම කඩන් වැටිලා... රටේ ලක්ෂ ගණන් තරුණ තරුණියන්ගෙ ඉරණම ඒ ආකාරයට විසඳෙද්දි අර බේබි හාමුල මේ රට සූරකාලා සුර සැප විඳිනවා දකිද්දි පුදුමාකාර කේන්තියක් එනවා. 

මල්ලිගේ ආර්ථිකය කඩා වැටීමත් එක්ක අපි පවුලම එකතු වෙලා තමයි ඒකට විසඳුම් හෙව්වෙත්. අපි හැමෝම එකතු වෙලා මල්ලිගෙ ඉතිරි වෙලා තිබුණු ණය කොටස් ගෙවලා අහවර කළා. 'කවදාහරි දවසක පුළුවන් වුණොත් හෝල් එක හදමු. එතකල් ළමයින්ට උගන්නගෙන, එදා වේල හොයාගෙන ඉන්න විදියක් බලමු.'

අපි එහෙම සැලසුම් හැදුවට දැන්නම් එහෙම ජීවත්වෙන්න පුළුවන් වෙයිද කියලත් සැකයි... ඉදිරියේදි කන්නවත් තියෙයිද? ළමයින්ට උගන්වන්න පුළුවන්  වෙයිද? අපේ දරුවන්ගේ අනාගතේ මොන වගේ වෙයිද? මිනිසුන්ගේ ප්‍රශ්න ගැන වගේ වගක් නැතිව තමන්ගෙ බලය රැක ගැනීම ගැන විතරක්ම හිතන දේශපාලකයො ගැන ඇති වෙන කේන්තිය මට වචනයෙන් ලියන්න බැරි තරම්.... 

මේ වගේ අවිනිශ්චිත වටපිටාවක මල්ලි කොළඹ ඇවිත් ගාලු මුවදොර මේ සටන් පාඨය ඔසවන් කෑ ගහද්දි ලොකු අක්කාගේ පපුව පිච්චෙන එක අහන්නත් දෙයක් ද?

 


 

8 comments:

  1. සෙනෙහැති අක්කෙ බොට විතරක් නෙවෙයි බොලේ
    මේ වගෙ වෙන්නෙ නීතිය නැති විටදි බලේ
    රටේ හැමට නැඟිටින්නට දෙන්න බලේ
    අල්ලමු හරිම තැනකින් අපි උන්ගෙ නිලේ

    ReplyDelete
  2. කියල තියෙන දිවල් බලනකොට එයා කොහොමහරි ගොඩ එයි කියල හිතෙනවා

    ReplyDelete
  3. හොර පවුල වගේම,
    අවරුදු පන් හයසීයකට කලින් තිබුණු දේවල් බලෙන් උස්සන් ඇවිත්, ප්‍රායෝගික නැති සිහින ලෝක නිර්මාණය කිරීමේ පටු අරමුණු සඳහා මේ ක්‍රමයට සහය දීපු අයත්,
    අතට ලැබෙන කුඩා මුදලක ලාභය උදෙසා අසාධාරණ දේවල් වෙනුවෙන් පෙනී ඉන්නා කපුටෝත්,
    මේ තරුණ පරම්පරාව ණය කාරයින් කිරීම වෙනුවෙන් වග කියන්නට ඕන. ඔවුන්ට සත්‍යය අවබෝධ වේවා කියා පතමි.

    ඔබේ මල්ලී වීරයෙක්. මගේ අදහසක් තිබුණා නවක ව්‍යාපාරිකයෙකුට සහය දීම උදෙසා ලොකු හෝටලයක නැතිව අලුත් පොඩි තැනක මගේ පුංචි විවාහය සිදුකරන්න. ඒ අදහස ගැන සතුටු හිතුණා මේ විස්තර කියෙවුවම. මල්ලි ගේ හෝල් එක ඉදිවන්නේ මොන නගරයේද?

    ReplyDelete
  4. මේ ආර්ථික අර්බුදයට හේතුව නිදහසින් පස්සේ රජයයන් ගෙනගිය සමාජවාදී ප්‍රතිපත්ති.
    රාජපක්ෂලා සහ අනෙක් දේශපාලකයෝ හොරකම් නොකලත් මේ ආර්ථික අර්බුදය පරක්කුවෙලා හරි එනවා.
    මේ අර්බදය මේ කාලේ ආවේ නැත්නම් ඔයාගේ මල්ලිගේ ළමයින්ගේ කාලෙදි එනවා.

    ReplyDelete
  5. ඔබේ සොහොයුරා මෙන් උත්සාහවන්ත කොල්ලෙන් මේ ලංකාවේ බොහෝමයක් ඇති. උන් ගේ කොදුනාරටිය කඩා දමා සිහින බොදකරලා දැම්ම දේශපාලුවන් ගැන ඇතිවන්නේ ලොකු වෛරයක්. 88 හා 89 දි අපි පොඩි කොල්ලන් ඒ කාලෙත් වෙන්න ඇත්තෙත් අසාධාරණයට එරෙහිව නැගිටපු කොල්ලන්ව මෙලොවෙන් තුරන් කරපු එකම නේද? නායකත්වයක් ගන්න පුලුවන් උන් හිටියා නම් ලංකාවේ මේ ජඩ අදබාලයින් හා උන්ගේ නුගත් පුතුන් හොරකමින් හා සුර සැප විදිමින් අපිව පාලනය කරන්නනේ නෑ. මේ නැගිටිම් උන්ට තර්ජනයක්. ඉතිහාසය රිපිට් වෙනවා එදා සිදුවු දේ මල්ලිලාටත් අපිටත් නොවන්නටත් පරිස්සම් වෙන්නයි සිදුවෙන්නේ.
    කොළොම්පුරේ - අසංග රණසිංහආරච්චි

    ReplyDelete
  6. අනාගතය දිහා සුබවාදීව දකිමු. ඒ වෙනුවෙන් වැඩ කරමු....

    ReplyDelete
  7. තරු නංගි , මල්ලිව නම් දැක්කේ නැහැ එදා ආපු වෙලාවේ. ඒ වගේ දහිරියක් තියෙන කෙනක් කොහොම හරි ගොඩ යයි. වෙනසක් කරන්න බහුතර ජනතාවට ඕනෑ කමක් තියෙන වෙලාවේ ඒ වෙනස් වෙයි කියල විශ්වාසයක් මට තියනවා. ලෝකේ හැම රටකම ලංකාවේ සම්භවයක් ඇති ජනතාව එලියට බහිනවා සහයට.

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...