තුන්
වෙනි දවස
එලාමය
කන්කෙඳිරි ගාන හඬ දරා ගන්න බැරි තැනමයි මං නැගිට්ටෙ. යාන්ත්‍රිකව
කාලසටහනේ රාජකාරි සම්පූර්ණ කළත් හිත කිව්වෙ ගෙදර නවතින්නමයි. ඒත් දරුවන්ගෙ ජීවිත
එක්ක සෙල්ලම් කරන්නෙ කොහොමද? ලෑස්ති වෙලා, අත්බෑගයයි, පොත් ටිකයි අරගෙන පුංචි
ලියමනකුත් ලියාගෙනමයි මං ඉස්තෝප්පු කාමරේට එබුණෙ. නිදි නොනිදි මුහුණෙ විඩාපත් බවක්
දැවටිලා. ''පව්'' හිත කිව්වා. මං අතින් පව් කියවෙන්නෙ අනුකම්පාවට විතරක්ම නෙවෙයි.
කරුණාවට... ළෙංගතුකමට.. ආදරයටත් පව් කියල කියවෙනවා. ඒත් ඒ වචනෙ එයාගෙ හැඟීම් වර්ගීකරණයට
අහුවෙන්නෙ අනුකම්පාව විදියට. දවසක් ඒ ගැන වාද උණ හැටි මතක් වෙලා කම්මුල් සැළුණා
හිනාවකින්.
''ඔයා පව් ඇත්තටම පව්...
මට දුකයි..'' මං හිතින් කිව්වා..
හෙමිහිට ලියුම තියල එන්නයි
හැදුවෙ.. ඒත් හුළග දාංගලේට සාරි පොට අරන් ගිහින් අතටම අල්ලල දීල. මං ඒ බව දැන
ගත්තෙත් ආපහු එන්න හැරෙද්දි සාරි පොට ඇදිල ගිහින් මං යහනේම පසෙකින් ඉන්දවෙද්දි.
'' අද ඉන්න...'' සාරි
පොට අරන් සුවඳ බලල පෙරව
ගන්නෙ පුංචි ළමයෙක් වගේ.
'' කොහොමද ඉන්නෙ ? ළමයි
පව්... බලන් ඉන්නවනේ.. හෙට නිවාඩුවක් දාලා එන්නම්...'' ඒ ළමයි ඔක්කොටම වඩා මට මේ
ළමයා ගැන පව් කියල හිතෙමින් තිබුණෙ.
'' එතකොට........ හෙට
ළමයි පව් නැද්ද? බලන් ඉන්නෙ නැද්ද? '' ඒ නං සරදම් හිනාවක්. විහිළු කරන්න ගියාමත් කෙළවරක් නැහැ. වාද කරන්න
ගියාමත් කෙළවරක් නැහැ.. පරාජය නං මට ම තමයි.
'' නිවාඩු දැම්මම
දන්නවනේ.. බලන් ඉන්නෙ නැහැ.. මං ගිහින් එන්නං....'' මං නැගිටිද්දි සාරි පොටත් අකමැත්තෙන් මං පස්සෙ
වැටුණා. හිත ආපස්සටම ඇදෙද්දි මං පසු නොබලාම ඇවිදගෙන ගියා. ඇස්වල උණුහුමට කඳුළු කැට තෙරපුණා.
දවස අලසයි. සුසුමින්ම
පිරුණා. හිත මං ළග තිබුණෙම නැහැ. '' මිස් ට අද සනීප නැද්ද? මූණ කළු වෙලා.. ''
දැරිවියක් ඇවිත් කිව්වම මං හිනා වෙලා හිස අත ගෑවා. දඬුවම් දීමත් දඬුවම් විඳීම තරම්ම දුකක්ද? එක් විටම දඬුවම් දෙන්නාම දඬුවම් විඳින්නා වෙන්නෙ කොහොමද?
නොහිතු විදියට හවස අමතර
පන්තියක් බාර ගන්න උණේ. බැහැයි කියන්න හිත නැමෙන්නෙ නැති කම ගැන අද නං දැණුනෙ
පසුතැවීමක්. ඒ බව කියන්න ඇමතුමක් ගනිද්දි කවදාවත්
නැති විදියට හිත ගැහුණෙ.. අතැගිලි වෙව්ලුවෙ. එක්සැණින්ම දුරකථනය සම්බන්ධ උණා..
මොහොතක නිහඬතාවයක්.
උණුසුම් හදවතක නොඉවසුම් සුසුම් දහරක් සුළං රැල්ලක් වෙලා සවන් පෙතිවල වැදුණා.....
'' මං අද එන්න ටිකක් පමා
වෙනවා.. ඔයා කෑම කන්න.. බඩගින්නෙ ඉන්න එපා?..'' වරදකාරී හැගීමක් මට දැණුනෙ.
'' හ්ම්...'' දිගු
හුස්මක්.. කල්පයක් තරං දැණුන නිමේෂයක නිසලතාවයක්.. අනතුරුව දුරකථනය විසන්ධි වන හඬ..
පන්තිය නිම වෙලා කවදාවත් නැති
පුදුමාකාර හදිසියකින් මං ගෙදර දුවගෙන ආවෙ.. තුන්කාසෙන් දාඩිය හලාගෙන.
තවදුරටත්
දුරස්ථීකරණය වූ බ්‍රෙෂ්ට්ගෙ නාට්‍යයක ජවනිකාවක් වගේ ගලා යන්න ඉඩ දිය යුතුයි ද
ජීවිතයට. මුවින් නොකියන එක වචනයක් වෙනුවෙන් දෑසින් ගලා හැලෙන අසංඛ්‍ය වූ වචන පිරුණු කතන්දරයක් නොතකා හැරිය යුතු ද? අප්‍රමාණ
බැතියකින් සෙනෙහසකින් පරාජය පිළිගන්නද මම.. එවන් සිතුවිලි දැහැනක කෙළවර මං උන්නෙ ලියන
කුටියේ දොරකඩ...
පොතකට සමවැදිල උන්නත් මගේ පා ගැටෙන හඬ නොඇසී තියෙන්න විදියක් නම් නැහැ... සෙරෙප්පුවලින්
නිදහස් වෙලා සීරුමාරුවට අඩි තියල පිටිපස්සෙන් ගිය මං අත් දෙකින් ඇස් දෙක වහ ගත්තා.
පුංචි කාලෙ කරන සෙල්ලමක්.. අත් දෙක අත ගාල බලල කවුද කියන්න ඕන.. හරියටම කිව්වෙ
නැත්නම් ‘‘රැවටිච්චී පොල්කිච්චී - රෑන ගලේ හැංගිච්චී” කියනවා.. ඒ ළමා
වියේ සෙල්ලං ගතියයි මගෙ හිතේ තිබුණෙ...
ඒත් ?
‘‘පිස්සුද ? වැඩක් බව පේන්නෙ නැද්ද? ”
මගෙ අත් දෙක විසි කරල කෑ ගහපු සද්දෙටත් වඩා
මං තිගැස්සුණේ ඇස්වල නපුරු බැල්මට. ඇස් කොහොමද වෙස් පෙරළන්නෙ මේ තරං... හිනාවෙන
ඇස්... කතා කරන ඇස්... ළෙංගතුකම ගලා හැලෙන ඇස්.. මේ විදියට ගිනි ගන්නෙ කොහොමද?
මං නතර උණේ කාමරේ.. කඳුළු හිර කර ගත්තෙ ළිඳ ළඟට යනකල්.. කාටවත් පේන්න අඬන සිරිතක් පුංචි කාලෙවත් මට තිබුණෙ නැහැ. කොයි තරම් වෙලා
කඳුළු ගැලුවද.... ඒ
තරම්ම වෙලා මං නෑවා.. රතු උණු ඇස් එක්ක ගෙට යන්න බැරි නිසා කුස්සියෙ පිටිපස්සෙ
පඩිය උඩ වාඩි උණා.. දීප්තිමත් රතු ඔටුන්නක් දා ගත්ත කොට්ටෝරුවෙක් පොල් ගහකට
කොටමින් උන්නා.. කොට්ටෝරුවා ඇයි මේ තරං ආඩම්බර.. රතු ලස්සන ඇඳුම හින්දද?
හතරවටින් අඳුරත් වැටීගෙන... ඒත් නැගිටල යන්න හිතක් තිබුණෙ නැහැ.
ජීවිතේ හැමදාමත් සතුටත් එක්ක මහා දුකක් එන්නෙ ඇයි? පුංචි බලාපොරොත්තුවක් උණත් කඳුලක් වෙලා ගිලිහිලා යන්නෙ ඇයි? මං හිතමින්
උන්නා.
හිසෙත් යංතමට වැදීගෙන උකුලට වැටුණු කොල
ගුලියක් නිසා මං ගැස්සුණා. හැරිල බලන්න ඕන උණේ නැහැ දෙපා මං ළගම නතර වෙලා. මං
හෙමිහිට උණ්ඩි වෙලා තිබුණ කොල ගුලිය දිග හැරියා..
තිගැස්සෙන ඇස්.... බර ද කොතරම් හිතට
දඩබ්බර වචන ... බර ද එතරම් හිතට...
කවි සිඟිත්තක්.. මං හිස එසෙව්වෙ නැහැ. කවියේ ඇද අකුරු
පිරිමදිමින් උන්නා.. රතු ඇස් පෙන්නන්නවත්, කඳුළු හලල බොළඳ හිතේ තරම
මේන් කියන්නවත් මට ඕන උණේ නැහැ. මුනිවත බිඳුණෙ ඔහුගෙන්මයි.
‘‘ මට රුපියල් විස්සක් විතර දෙන්න..” ඒ ඇයි කියන පුදුමයෙන් මං හිස එසෙව්වෙ.
‘‘කඩේට ගිහිල්ලවත් තේ එකක් බීල එන්න...” බරපතළ හඬකින් එහෙම කියද්දි මගේ හිනාව පිට පැන්නෙ
නොදැනීම... මං හෙමිහිට නැගිටල ගෑස් ලිප පත්තු කරල වතුර එකක් රත් වෙන්න තිබ්බා..
‘‘ඇඬුව
නේද?” වේදනාත්මක හඬක් මා අසලින්ම...
‘‘කඳුළු
හරිම වටිනවා... ඇඬුවට කමක් නෑ අර්ථයක් ඇති දේකට.. මා වෙනුවෙන් නිකරුණේ කඳුළු
නාස්ති කර ගන්න එපා.... ” ඒ කතාව නිම වෙද්දි ආයෙම මගේ ඇස්වල කඳුළු... විණාඩි
කිහිපයකට පස්සෙ ආපහු හැරෙද්දි කුස්සියේ මං විතරයි.
පළමු
දවසෙ වගේම දෙන්නත් එක්ක රෑ කෑම කෑවෙ ඉස්තෝප්පුවෙ බිම වාඩි වෙලා.. හෙළු කඳුළු
පරද්දන්න වගේ හිනා වැහි වස්වන රස කතා සාගරයක් එක්ක. හැමදාම ඔය විදියටම හිනා වෙලා
ඉන්න මං හිතින් කිව්වා.
මං
කුස්සියත් අස් කරල දොරවල් වහල එද්දිත් ඔහු තාම ඉස්තෝප්පුවේ බිම දිගා වෙලා.. අත්
දෙක නවලා හිස යටින් තියාගෙන කල්පනා සාගරයක.
‘‘ඇයි
අද ලියන්නෙ නෑ ?” මමත් ඒ ළගින්ම වාඩි වුණා.
‘‘අද
දවසටම එක වාක්‍යයි..” කට කොණකට නැගුණෙ ලැජ්ජාශීලී හිනාවක්.
‘‘
ඒ මොකෝ ?”
‘‘
ලියවුන්නෑ... හිත හරි නැති උණාම ලියවෙන්නෑ..”
ඔහු කිව්වෙ ඈතක බලාගෙන. මමත් ඒ ඇස්
පාර දිගේම බැල්ම ගෙන ගියා. පෝය හඳ තාම පිරිපුන්. ඒත් අන්ධකාර වළාවකින් හඳ මුවා
වෙමින් යනවා... හල්මිල්ල ගහ පිරෙන්න පුංචි කණාමැදිරි එළි... තොරණක් වගේ... හඳ එළිය
හැංගුණාමයි කණාමැදිරි එළි තරු එළි වගේ බැබළෙන්නෙ. ඒ ඇස් නැවතිලා තියෙන්නෙ
කණාමැදිරි එළි ළග...
‘‘ගිනිපෙනෙල්ලෙන් බැට කෑ මිනිහා කණාමැදිරි එළියටත් බයලු..” ඒ
කතන්දරේ හිතට එබුණෙ අකුණු සැරක් වගේ.
මං
හෙමිහිට පපුව උඩින් නිකට තියල ඇස්වලට එබුණා.
‘‘
ඔන්න කණාමැදිරි නාඩගමක් ඇස්වල ”
ඇස් දිලිසෙන හැටියට එහෙම කියන්න හිතුණත් මං කිව්වෙ නැහැ..
‘‘මං
කණාමැදිරි එළියක්වත්, ගිනිපෙනෙල්ලක්වත් නෙවෙයි...”
ඒත්
සිතුවිල්ලක් විතරයි... වචන උණේ නැහැ.
‘‘
ඔන්න ඇස්වලින් තහනම් වචනෙ දෝරෙ ගලනවා...”
කියන්න
හිතුවත්... මං හිත හිර කර ගත්තා.
තවදුරටත් වචනවල අර්ථයක් තියෙනවද? හුළගට... හඳ
එළියට.. කණාමැදිරියන්ට... අන්ධකාරෙට පවා.... වචන නැති උණත් කොයි තරං දේ කියනවද? ඒව
පපුව අස්සටම දැනෙන්නෙ නැතුවද?
නෙත්
ධ්‍යානයේ ගැඹුර දරා ගන්න බැරිකමට මං ඇස් පියාගෙන පපුව මතින් හිස තියා ගත්තා. පිණි
තැවරුණු හුළගට තෙත් කැවිල තිබුණ කම්මුල උණුහුම් වෙන්න ගත්තා. තහංචි නොතකන උණුසුම් හදවතක
ගැස්ම දැනෙන්න ගත්තා. දීර්ඝ සුසුමක් හිස් මුදුනත දැවටිලා විසිරිලා ගියා. ඒ සුසුමේ
ලියවුණු දිග කතාන්දරය මං මයේ හිතටම පහදවා දෙමින් ඉන්න අතර නොදැනීම මං උණුසුම් දෑතක
වෙලිල පැටලිලා හිර වෙලා හිටියා....
ඒ
රැය පුරාම ඉස්තෝප්පු කාමරෙන් නිදන කුටියට
ගලාන ආ පහන් එළි තීරු පවා ප්‍රේමණීය නිද්‍රාවක සුවසේ සැතපුණා...
................................................................
නොනිමි දිවි ගමනක, එක්සොදුරු හීනයක් නිමා වුණ වගයි..