ඈ ළදැරියකි. සැබවින්ම ළමා වියේ කෙලිළොල් බව ද, විමසිලිවන්ත බව ද, ආදරණීය බව ද උතුරා යන දැරියකි. මා ඈ ගැන ලිවිය යුත්තේ ඇයි?
‘‘දරුවන්ට මා වෙතට එන්නට ඉඩ දෙන්න. මන්ද ස්වර්ග රාජ්‍යය ඔවුන්ගේය. ඔබත් ළදරුවකු මෙන් නොවුණොත් ඔබට ස්වර්ග රාජ්‍යයට පිවිසිය නොහැකිය’’ ජේසු කීවේ මන්දැයි මා ඈ දෙස බලමින් නැවත නැවතත් මෙනෙහි කළ බැවිනි.
දින දෙකක නේවාසික වැඩමුළුවක් සඳහා අප තුලනට රැුස්ව සිටියෙමු. ඇය පැමිණියේ ඇගේ අම්මා ඇතුළු පිරිසක් සමඟ මඩකලපුවේ සිට ය. ඈ සිංහල නොදනී. මම දෙමළ නොදනිමි. නමුත් ඇය ඉංග‍්‍රීසි බසින් අදහස් දැක්වීමට සමත් ය. තමන් දන්නා භාෂාවේ පරිමාව තුළ ෙනාපැකිලව ඇය අන් අය හා අදහස් හුවමාරුවට උත්සුක වූවාය.
උදෑසන වැඩමුළුවේ සක‍්‍රීය දායකයන් වූ තරුණ පිරිස අවදිවන්නට මත්තෙන් ඇය අවදිව, සූදානම්ව ගහකොළ අතර ඇවිදිමින් උන්නාය. සුවිශේෂව ඇය මගේ අවධානය දිනාගත්තේ ඒ මොහොතේය. මම ද ඈ හා පරිසර චාරිකාවට එක්වූයෙමි.
කොස් ගහේ බැඳි ඔන්චිල්ලාව, ගෙවත්ත වසා පැතිරුණු තණ පලස, එහි ගැවසි අපමණක් උඳුපියලිය මල්, තුත්තිරි ගස්, කිලිටි වතුර දරා ගත් සිමෙන්ති පොකුණ, තුලන තැන තැන පැවති මූර්ති, චිත‍්‍ර මේ සියල්ල දෙස ඇය බැලූවේ එක හා සමාන උනන්දුවකිනි. දීප්තිමත් දෙනෙතිනි. ඈ ඒ සියල්ල විඳිමින් උන්නේ ජීවිතේ පළමුවර පාරාදීසයට ආ සිඟිති සුරංගනාවියක් එහි අසිරිය විඳින්නාක් මෙනි.
හරියට සෝර්බා නම් ග‍්‍රීකයා කෘතියේ සෝර්බා ලෝකය දකින්නාක් මෙන්...
කූරටු කෑලිවලින් අමුණා මා ඇය වෙනුවෙන් තනා දුන් කොස් කොල තොප්පිය වැඩමුළුව හමාරව අප නික්මෙන තුරුම ඇය මහත් ප‍්‍රවේසමින් රැකගත්තාය. හිමිදිරියේ අප හා ඇති වූ මිතුදම කොතරම් ද යත්, අවසන ඇගේ මව අප දෙදෙන ඡායාරූපයකට හසුකරගනිමින් පැවසූවේ...
"Joana With her New Mum" කියාය. සැබවින්ම ඇය ආදරය විඳින්නටද, ආදරය බෙදන්නටද අනලස් මනසකින් පේ වී සිටින දැරියකි. මා පවා ඇද බැඳ ගත්තේ ඒ ආදරණීය බවමය.
ඒ පියාපතක් වන් සැහැල්ලූව, නිදහස් කෙලිලොල්බව තව කොතෙක්කල් සුරැකිව තබා ගන්නට ජොආනාට හැකි වනු ඇත්ද?
‘‘ජොආනා ළමා වියේ ස්වර්ගරාජ්‍යය තුළ හැමදාම ජීවත් වන්නට නම් අපට මේ සමාජය ඒක්ක විශාල අරගලයක් කරන්නට සිදුවන බව නිසැකයි. බොහෝවිට සිදුවන්නෙ අප ඒ ස්වර්ගය හැර දමා නිරයේ පැසෙනු පිණිස රැල්ලට ගසාගෙන යාම. ඒත් ජොආනා, දරුවන් තුළ වන ස්වර්ගය සුරකිනු පිණිස මට කළ හැකි යමක් ඇත්නම් හැමදාමත් එය නොපැකිලව ඉටුකරන්නම්.’’
අලූත් අවුරුද්දේ ඔබත් ලෝකය දශමයකින් හෝ යහපත් තැනක් කරන්න කැපවනු දැක්ම මගේ අපේක්ෂාව....