පිටු

Thursday, March 2, 2023

සුසුමක් ඇවිළුණු මොහොතක්....

 


නිශ්චිත අරමුණකින් තොරව තාවකාලික නවාතැනේ යකඩ ගේට්ටුව විවර කරගෙන මම එළියට බැස්සා. ඉස්තෝප්පුවේ දිගු කොරිඩෝරයේ කෙළවර වේවැල් පුටුවල සුපුරුදු ලෙස සුව නිවාඩු පතා පැමිණි පැවිදි සොයුරියන් කිහිප දෙනෙක් වාඩි වී උන්නා.

‘‘කොහෙද ළමයා උදෙන්ම යන්නෙ...“

ඒ හුරුපුරුදු හඬ ආ දෙසට මං හැරුණා. එක්වනම මගේ හිත වේදනාවෙන් සහ කම්පනයෙන් තිගැස්සිලා ගියා. ඒ රුව මා වෙනදා දුටු රුව නොවේ. හුරු හඬ නොවෙනස්ව තිබුණාට ඒ රුව ?

‘‘යාළුවෙක්ගෙ art exhibition එකක් බලන්න සිස්ට...“ හිනාවෙලා එහෙම කිව්වට ඇත්තටම මට කියන්න නමක්වත් දිවගට ආවෙ නෑ. අව්වත් නැති වැස්සත් නැති බුම්මාගත් කොලොම්පුර අහස යට හිතට සැනසුම ඇබින්දක් අහුලගන්න කොහේ කොතැනට යන්නද කියල හාන්කවිසියක අදහසක් හිත අහලක තිබුණෙත් නෑ. ඒත් මුහුණුපොතේ තැනක චිත්‍ර ප්‍රදර්ශන කිහිපයක නම් කියවුණා මතකයේ තිබුණා.

‘‘ඔයා පොටෝ ගන්නවද?“

‘‘ඔව් සිස්ට, පුළුවන් වුණොත් ගන්නවා.“

‘‘අනේ මටත් එවන්න.“ මට දැන් ඒවා බලන්න යන්න විදියක් නෑනෙ. ඇය එහෙම කිව්වෙ නෑ.

‘‘එවන්නම් සිස්ට...“

ඇය මා දැන හඳුනාගත්තෙ මාස කිහිපයකට පෙර. ඒ වෙද්දි ඇයට ගෙල මුලට කොට බඳින කාලවර්ණ වරලසක්, පැහැපත් පිරුණු මුහුණක් තිබුණා.

ඒත් අද... ඒ වරළස ක්ෂය වෙලා.... දෙකොපුල් වල ගැහිලා... සිරුර කෘෂ වෙලා. මාසයක් දෙකක් ඈ දකින්න නොලැබීමට හේතුව ඒ රුව මත ලියවිලා තිබුණා.

එදා මට එක චිත්‍ර ප්‍රදර්ශනයක්වත් බලන්න ලැබුණෙ නෑ. ගාඩි බලල එන්නට ආවා. ඉන්පස්සෙ වතාවක් අප හමුවුණත් ඇය පින්තූර ගැන ඇහුවෙත් නෑ....

වරදක් නොකළත් වරදකාරී හැඟුමකින් හිත පිච්චෙන්නේ ඇයි කියල මට තේරෙන්නෙත් නෑ...

 

Thursday, February 23, 2023

එක් වරක් දෑත දිගුකර කැඳවනු හැකිද මා එහි...



මේ තණ තිල්ල
ඒ එදා ඔබ පයට පෑගුණු
තණ පලසම ද?
තෘණ පතින් පත දැවටී
සිලිලන පිනි කැටිති
ඔබේ ළය පෑරී ගලා ආ
කඳුළක හැඩය ගති...

තුරු අගිසි මත ඉසිඹුලන
රූරා හැලෙන සඳ වතුර
ළදළු පත් සසලවා
සුසුම් ලන නළ රැළි
එදත් මේ ලෙසම සසැළුණිද,
ජීවිතය අයදින සරින්,

වැව් දිය සරැළි බිඳි බිඳී
නගනා මුණු මුණුව
ඒ එදා මැදියමේ
‘දිය කර හරිමි ජීවිතය මී විතක‘
ඔබ පැවසූ වදන්
නිහඬව අසා උන්නෙද?

ඒ එදා ඔබ අද කොහිද?
ඒ එදා මමම ද අද මෙතැන
ඔබ ද නැත
මම ද ඒ එදා උන් මා නොවේ

කාලය ඉක්ම යයි
වේදනාවේ ගං දියෙහි එති එතී
රළු රළ සුලි සමඟ හැපි හැපී
යනු මිස එනු නැති
සන්තුෂ්ටියේ සේයා
අන්ධ අඳුරට මුහු වෙවී

කියන්න මට,
ජීවිතේ දුර්ග කඳු වැටියෙන් ඔබ
මරණයේ මිටියාවත කෙලෙසින්ද
සෙවූ සැනසුම් හමුවිණි ද?
මී විතක් තරමින්ම ඉමිහිරි
මත් බවේ මායාවක්ද එය?

එක් වරක් දෑත දිගු කර
කැඳවනු හැකිද මා එහි
සුළු ඉඩක් වෙන් කර
දිය හැකි නම් පමණක්
ඔබ අසල...

Tuesday, April 26, 2022

තරුණ අපේ හීන මැරූ - උඹල තමයි කම්බ හොරූ...

 


මේ ඉන්නෙ මගෙ මල්ලි... මල්ලිත් ඇතුළුව ගමේ කොල්ලො කණ්ඩායමක් පසුගිය දිනෙක ගෝඨාගෝ ගමට ආවා. ඒ පිරිසෙන් බහුතරයක් ස්ථීර රැකියා නැති එදිනෙදා ජීවන අරගලයේ නියුතු පිරිසක්... එහෙම තියෙද්දිත් කට්ටිය එකතු වෙලා ගාලුමුවදොරට ඇවිත් දවසක්ම නොකඩවා සටන් පාඨ කියමින් අරගලයේ යෙදීම සතුටක්...

මල්ලිගෙ අතේ තිබුණු පෝස්ටරය දැක්කම මට ලොකු දුකක් දැනුණා. ඒක කොහොමත් මල්ලිට සටන් පාඨයක් විතරක්ම නොවන බව මං දන්නවා.

තරුණ අපේ හීන මැරූ - උඹල තමයි කම්බ හොරූ

මගේ මල්ලි සාමාන්‍ය පෙළින් එහාට ඉගෙනගත්තෙ නෑ. බැරිකමට වඩා ඒ නොසැලකිල්ල නිසා. සාමාන්‍ය පෙළ ඉවරවුණ තරුණ තරුණියන්ට ඒ කාලෙ පල්ලියෙන් කරපු වෘත්තීය පුහුණුවකට සම්බන්ධ වෙලා එයා මහන්න ඉගෙනගත්තා. ඉන්පස්සෙ ඇඳුම් මහන තැනක වැඩ කළා. අවුරුදු 18 වෙද්දිම එයා උපයන්නෙක්. දරුවන් හතරදෙනෙක් උන්නු ඉතාම සාමාන්‍ය පවුලක එකම පුතා විදියට එයා එයාගෙ ජීවිත කුරුසිය කරට ගත්තෙ කිසිම පැකිලීමක් නැතුව. 

මුලින්ම චැලියක් ගත්තෙ එයාගෙ දාඩිය මහන්සියෙන්... දුරකථනයක් ගත්තෙ එයාගෙ දාඩිය මහන්සියෙන්. එයා කවදාවත් දෙමව්පියො හැමදේම කරල දෙනකල් බලන් උන්නු කෙනෙක් නෙවෙයි... කාලයක් වඩු වැඩත් කළා. වහළ ගහන්න ගිහින් කළු වෙලා ඉද්දි, අත පය කැක්කුම් දෙද්දි අපි හැමෝමත් රහසින් දුක් වුණා. එයා පවුලෙ එකම කොල්ලා විතරක් නෙවෙයි, බඩ පිස්සා. ඉතින් මල්ලි දුක් විඳින හැටි බලා හිඳීම අපටත් දුකක් වුණා.

අවුරුදු විසිතුනක් විතර වෙද්දි තමයි එයා 10*10 රෙදි හට් එකකුයි, කුඩ පහකුයි අරන් උත්සව භාණ්ඩ ව්‍යාපාරය පටන් ගත්තෙ. ඒ ටික කුලියට දෙමින් ඒ ලැබෙන මුදලින් ටික ටික තවත් බඩු අරගත්තා. සෞභාග්‍යා ණය අරන් පුටු ටිකක් ගත්තා. මේ විදියට විශාල ණයවලට නොයා ව්‍යාපාරයෙන් උපයන මුදලින්ම එයා තමන්ගෙ ව්‍යාපාරය දියුණු කරගත්තා. ''ඔලුවට වධයක් නැතිව ගෙවන්න පුළුවන් ප්‍රමාණයට විතරයි ණය වෙන්නෙ. පුළුවන් විදියට හෙමිහිට කරගන්නවා..." ඒ තමයි එයාගෙ ප්‍රතිපත්තිය.

ඉන්පස්සෙ හැදුව සියලුම මඩු, වේදිකා ( සංගීත ප්‍රසංගයකට සරිලන විශාල වේදිකාවක්ද සමඟ) එයා සැලසුම් කරලා යකඩ ගෙනත් ගෙදර හැදුවෙ. ජුකී මැෂිමක් අරන් ඒවට ඕන රෙදි මැහුවෙත්, පුටු කවර මැහුවෙත් එයාමයි. මගේ මල්ලි ඒ තරම් විශාල ධෛර්යයක් තිබුණු, තියෙන කොල්ලෙක්. එයා අපි හැමෝටම ලොකු හයියක් වුණා. 

අවුරුදු 30 වෙද්දි පවුලටත්, ගමටත් උදව් කරන තමන්ගෙම ව්‍යාපාරයක් තියෙන සාර්ථක තරුණයෙක්. දරුවන් තිදෙනෙකුගේ පියෙක්. මේ අතර ලැබෙන මුදලින් උත්සව ශාලාවක් හදන්නත් පටන් ගත්තා. ඒ සැලසුම් සියල්ල එයාගෙ. යකඩ ගෙනත් වහලය සැලසුම් කරලා හැදුවෙ එයාමයි. උත්සව ශාලාව වෙනුවෙන් සිමෙන්ති ගල් කැපුවා. එයාගෙ මිත්‍ර සම්පත්තිය සහ පවුලේ අය එක්ක ලස්සනට වැඩ ටික කරගෙන එද්දි තමයි කොරෝනා ආවෙ.

හම්බ කරපු සියල්ල උත්සව ශාලාවට යට වෙලා. ඒත් ණය ගොඩවල් නොතිබුණු නිසා ජීවත් වීම එතරම් අමාරු වුණේ නෑ. මිනිසුන් රැස්වෙන සියලු අවස්ථා වැලකුණ නිසා තවදුරටත් කිසිම ආදායම් මාර්ගයක් තිබුණෙ නැහැ. අන්තිමේ යාළුවො දෙතුන් දෙනෙක් එකතු වෙලා ගෙවල් පින්තාරු කරන්න කොන්ත්‍රාත් අරන් වැඩ කළා. 

කොරෝනා අවුරුදු දෙකේ ඒ විදියට තමයි එයා පවුල නඩත්තු කළේ. අරපිරිමැස්මෙන් වැඩ කරන, තේරුම් ගන්න සහ පණ වගේ ආදරය කරන බිරිඳක් ලැබීමත් එයා ජීවිතයේ ලැබූ ජයක්... ( ඔව් අපේ නෑනා හරිම හොඳයි... ඇති කාලෙත්, නැති කාලෙත් අපි හැමෝටම එයා සැලකුවෙ එකම විදියට. සමහර නෑනලා වගේ කවදාවත් තමන්ගෙ මහත්තයව පවුලෙන් ඈත් කරගන්න උත්සාහ කළේ නෑ... )

කොරෝනා සමය නිමවෙලා ආපහු සාමාන්‍ය ජන ජීවිතය පටන් ගනිද්දිම තමයි ලංකාවටම හෙණ ගැහුවෙ.  මේ ආර්ථික අවපාතය සාමාන්‍ය ව්‍යාපාරයක් කරගෙන හිටිය කිසිම කෙනෙකුට නැවත ඔලුව උස්සන්න ඉඩක් දුන්නෙ නෑ. මගේ මල්ලිටත් ඒක එහෙමම තමයි. බාගෙට හදපු උත්සව ශාලාව ළඟින් යද්දි පපුව පිච්චෙනවා. එතන තියෙන්නෙ මල්ලිගෙ දාඩිය මහන්සිය.... සැබෑ නොවුණු හීනය... එයාගෙ තරුණ ජීවිතය ගතවුණේ මේ ව්‍යාපාරය වෙනුවෙන්. ඒත් අන්තිමේ බාගෙට ඉදිකෙරුණු ගොඩනැගිල්ලක් දිහා බලන්න ඉන්න අපට සිද්ද වෙලා.

තාත්තා කියන්නෙ ''මං මැරෙන්න කළින් මල්ලිගෙ හෝල් එකේ මගුලක් ගන්නව දකින්න තිබුණොත් ඇති" කියලා... ඒ හීනය සැබෑ කරල දෙන්න අපට කවදා පුළුවන් වෙයිද දන්නෙ නෑ... ගොඩනැගිලි ද්‍රව්‍ය මිල ඉහළ ගියේ අපට උඩ පැනලවත් අල්ලගන්න පුළුවන් විදියට නෙවෙයි...

අර පවලම් අවුල වගේ නෙවෙයි, අපේ පවුල උපයා ගත් යමක් ඇත්නම් ඒ දුක් මහන්සියෙන් උපයා ගත් දේවල්. අපි කාටවත් වංචා කරල නෑ. කාගෙන්වත් කඩා වඩා ගෙන නෑ. පුළුවන් විදියට මිනිසුන්ට උදව් කරගෙන ජීවත් වුණා මිස.  ඒත් අන්තිමේ තෘෂ්ණාධික රජ පවුලක සූරා කෑම නිසා රට මුහුණු දුන්නු ඉරණමේ ගොදුරු බවට අපිත් පත්වෙලා... මගේ මල්ලි  අවුරුදු දාසයේ දාහතේ ඉඳන් දුක් මහන්සියෙන් ගොඩනගාගත් හැමදේම කඩන් වැටිලා... රටේ ලක්ෂ ගණන් තරුණ තරුණියන්ගෙ ඉරණම ඒ ආකාරයට විසඳෙද්දි අර බේබි හාමුල මේ රට සූරකාලා සුර සැප විඳිනවා දකිද්දි පුදුමාකාර කේන්තියක් එනවා. 

මල්ලිගේ ආර්ථිකය කඩා වැටීමත් එක්ක අපි පවුලම එකතු වෙලා තමයි ඒකට විසඳුම් හෙව්වෙත්. අපි හැමෝම එකතු වෙලා මල්ලිගෙ ඉතිරි වෙලා තිබුණු ණය කොටස් ගෙවලා අහවර කළා. 'කවදාහරි දවසක පුළුවන් වුණොත් හෝල් එක හදමු. එතකල් ළමයින්ට උගන්නගෙන, එදා වේල හොයාගෙන ඉන්න විදියක් බලමු.'

අපි එහෙම සැලසුම් හැදුවට දැන්නම් එහෙම ජීවත්වෙන්න පුළුවන් වෙයිද කියලත් සැකයි... ඉදිරියේදි කන්නවත් තියෙයිද? ළමයින්ට උගන්වන්න පුළුවන්  වෙයිද? අපේ දරුවන්ගේ අනාගතේ මොන වගේ වෙයිද? මිනිසුන්ගේ ප්‍රශ්න ගැන වගේ වගක් නැතිව තමන්ගෙ බලය රැක ගැනීම ගැන විතරක්ම හිතන දේශපාලකයො ගැන ඇති වෙන කේන්තිය මට වචනයෙන් ලියන්න බැරි තරම්.... 

මේ වගේ අවිනිශ්චිත වටපිටාවක මල්ලි කොළඹ ඇවිත් ගාලු මුවදොර මේ සටන් පාඨය ඔසවන් කෑ ගහද්දි ලොකු අක්කාගේ පපුව පිච්චෙන එක අහන්නත් දෙයක් ද?

 


 

Saturday, January 8, 2022

රුහිරු විකුණා යැපුණ මිනිසෙක්....


විශ්ව සාහිත්‍යයේ අගනා කෘතියක් රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවෙන්....

1956 වසරේ සිට රජයේ නිල භාෂා පරිවර්තක ලෙසින් කටයුතු කරන රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව විවිධ විෂයන් ඔස්සේ ග්‍රන්ථ පළ කිරීම සිදු කර ඇතත්, විශ්ව සාහිත්‍යයේ විශිෂ්ට සාහිත්‍ය කෘතියක් මුද්‍රණයෙන් එළිදක්වන ප්‍රථම අවස්ථාව මෙයයි. රාජ්‍ය අංශයේ භාෂා පරිවර්තකයින් හරහා වාර්ෂිකව දියත් කරන්නට නියමිත නවතම ව්‍යාපෘතියේ පළමු කෘතිය රාජ්‍ය අංශයේ නිල භාෂා පරිවර්තකයකු ලෙස කටයුතු කරන අප හිත මිත්‍ර ප්‍රවීණ සාහිත්‍යධර චූලානන්ද සමරනායක සහෝදරයාගේ කෘතියක් වීම ද ආනන්දජනක කාරණයකි.

පශ්චාත් විප්ලවීය චීනයේ පෙරටුගාමී ලේඛකයකු වන Yu Hua ගේ Chronical of A Blood Merchant මෙලෙස පරිවර්තනය වන්නේ ‘‘රුහිරු විකුණා යැපුණු මිනිසෙක්“ ලෙසිනි.

දැවැන්ත සමාජ, දේශපාලන පරිවර්තනයක් සිදුවෙමින් පවතින සමයක මහත් දුෂ්කරතාවලට මුහුණ දෙමින් ජීවන අරගලයෙහි නියුතු දිළිඳු, නූගත් සාමාන්‍ය ගැමි පවුලක ජීවන අන්දරය මෙම කෘතිය තුළ ගෙත්තම්ව ඇත. විප්ලවීය සංක්‍රාන්ති සමයක වුවද සුපුරුදු ලෙස අතිදුෂ්කර ජීවිත හිමිවන්නේ පීඩිත ජනකොටස්වලට බව පැහැදිලි සත්‍යයකි. වඩා වැදගත් වන්නේ කුමන අසීරුතා මධ්‍යයේ වුවද අප තුළ වන මනුෂ්‍යත්වයේ ආලෝක කිරණ නොනිවී දල්වා තබා ගැනීමයි.

‘රුහිරු විකුණා යැපුණ මිනිසා‘ අප වෙත ගෙන එන්නේ එලෙස නොනිවී පවත්වා ගන්නා මනුෂ්‍යත්වයේ සහ ප්‍රේමයේ විචිත්‍ර කතාවකි. ප්‍රබල සමාජ දේශපාලන වෙනස්වීම් සිදුවන කාල වකවානුවක් වුවද, එය පසුබිමෙන් සහෘද මනසට ධාරණය වන්නට ඉඩ හැර ලේඛකයා සියුම් ලෙස මතු කරන්නේ සහ අවධාරණය කරන්නේ එකී වෙනස්වීම් සාමාන්‍ය, පීඩිත ජනතාවගේ ජීවිත මත ඇති කරන බලපෑමයි. එවැනි බලපෑම්සහගත වටපිටාවක මනුෂ්‍යත්වය අඛණ්ඩව පවත්වා ගැනීම ම කොතෙක් නම් අභියෝගයක් විය හැකිද?

‘‘සාහිත්‍යයෙහි කිසියම් ගුප්ත බලයක් ඇත්තේ නම් එය නිසැකවම මෙය විය හැකිය. ඒ වනාහී යමකු වෙනත් කාලයකට, වෙනත් රටකට, වෙනත් ජන වර්ගයකට, වෙනත් භාෂාවකට සහ වෙනත් සංස්කෘතියකට අයත් කෘතියක් කියවන විට එහිදී ඔහුට එය තමන්ගේ ම දෙයක් සේ හැඟී යාමයි.“
එසේ කියන්නේ මා නොවේ. මෙම කෘතියේ කතුවර යූ හුවා ය.

යූ හුවාගේ කෘතිය සිංහල බසට නගන පරිවර්තක ද එය අපට අපගේම ජීවන පුවතක් තරමට සමීප කරවයි. නූගත්, දිළිඳු ගැමි ජන හද ගැස්ම ඔවුන්ගේම බස් වහරින් ප්‍රකට වන සේ සිදු කර ඇති පරිවර්තන කාර්යයද විශිෂ්ට එකක් බව කිව යුතුය. චූලානන්ද සමරනායක සහෝදරයාගේ පරිවර්තන ශ්‍රමය පිළිබඳව මා අමුතුවෙන් වර්ණනා කළ යුතු නොවේ.

මෙම කෘතිය රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තු පොත් හළෙන් මිල දී ගත හැක. මිල රු. 800/=කි.

......................

දින පොතේ ඉඩ වෙන් කරතබා ගනු පිණිස පසුව ලියමි.

''රුහිරු විකුණා යැපුණ මිනිසෙක්'' කෘතිය එළිදැක්වීම 2022 ජනවාරි 27 බ්‍රහස්පතින්දා සවස 2.00 ට දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ. සහෘද ඔබ සැමට සාදර ඇරයුම් !

Tuesday, January 4, 2022

එදා ගවහලේ ඉපදුණු පුංචි ජේසු මම නම් ! ( කතන්දර හැන්දෑවේ දරුවන්ගේ නිර්මාණ)

 මාසයේ හැම පළමුවෙනි අඟහරුවාදාම ''කතන්දර හැන්දෑව'' අපි වෙන් කරන්නෙ දරුවන්ගේ කාව්‍ය නිර්මාණ අගය කරන්න. මෙතනදි ප්‍රවීණ ළමා කවි රචක රචිකාවියක් හඳුන්වා දෙමින් අපි කවුරුත් ආසාවෙන් රස විඳි ළමා කවියක් හෝ දෙකක් හඳුන්වා දීමත් සිදුවෙනවා.

දරුවන් ලියූ කවි එකින් එක ගෙන අගය කිරීම සිදුවන්නේ ඉන් අනතුරුව. කවි සැඳෑවේ කවි ඇගයීම සිදුකරන්නේ ප්‍රවීණ කිවිඳිය විපුලි නිරෝෂිණී හෙට්ටිආරච්චි සොයුරිය. 

අපි මේ වෙද්දි එස්. මහින්ද හිමි, කුමාරතුංග මුණිදාස, ආනන්ද රාජකරුණා, චන්ද්‍රරත්න මානවසිංහ වැනි ප්‍රවීණ කවියන් ගැන කතා කර තියෙනවා. ඔවුන් ලියූ කවි කීපයක් හඳුන්වා දී තිබෙනවා. 

ඇත්තටම ආරම්භයට වඩා දැන් දරුවන් කවි ලියන්න, කවි කියවන්න උනන්දුයි. කවි නොලියන දරුවන් පවා ඇවිත් කවි ගැන කතා බහ අහන් ඉන්න එක සතුටක්. ඉතාම මිහිරි ලෙස කවි ගායනා කරන අම්මා කෙනෙකුත් අපට හමුවෙලා තියෙනවා. 

මේ නත්තල් කවි ලියූ බහුතරයක් දරුවන් බොදුනු දරුවන් වීමත් විශේෂයි... කොහොමත් ළමා ක්‍රියාකාරී වීරයෝ කියන්නෙ ජාති, ආගම් භේද නැති හැමට පොදුවේ එකමුතු වෙන්න පුළුවන් තැනක්. කතන්දර හැන්දෑවට සියලු අත හිත ළ.ක්‍රි.වී. ජාතික කාර්යාලයෙන්...

















Sunday, January 2, 2022

අරගලයේ වසර...........

 

කතන්දර හැන්දෑවෙ දරුවකු හදා එවූ සුබ පැතුම...

අවුරුදු ජයයි !

ගෑස් එක ඉවර වෙලා මාසයක් විතර... තාවකාලික නවාතැනේ උයන අපි පස් දෙනෙක් ඉන්නවා. මුලින්ම ඉවර වුණේ මගේ ලාෆ් ගෑස් සිලින්ඩරේ... ලාෆ් කරුමේ කියන්නෙ ගෙදරත් තියෙන්නෙ ලාෆ් සිලින්ඩරයක්... නංගිලගෙ ගෙදරත් එහෙමයි. දැන් ඉතින් ඒ ඔක්කොම අහවරයි. ගමේ ගෙවල් ඔක්කොම ආපහු දර ලිපට ඇවිත්... පෙරලුණු පිට හොඳයි කියලා පෝරණු ලිප් අලුත්වැඩියා කරල අරන්... මෙහෙ ඉතින් කොහෙ දර ලිප් හදන්නද?

පහුවුණු මාසෙම කළේ රයිස් කුකර් එකේ බත උයාගෙන, ඒ වෙලාවෙම තම්බගන්න පුළුවන් එළවළුවකුත් තම්බගෙන කාගෙ හරි ගෑස් ලිපකින් යාම්තමට කිරි ටිකක් දාලා ගන්න එක. එක ව්‍යාංජනය ගාණෙ අපි තුන්දෙනෙක් හදලා බෙදාගන්නවා. 

(අපේ දෙවෙනි ගෑස් එකත් ඉවර වුණේ නත්තල ලබන්නත් කළින්... තවමත් කවුරුත් අලුත් ගෑස් සිලින්ඩර ගත්තෙ නෑ. මොනව කරන්නත් ජීවත් වෙලා ඉන්න එපැයි... )

එළවළු සලාදත් මේ කාලෙට නැගල යනවා. තම්බගන්න එළවළුවලට ගම්මිරිස්, ලුණු කුඩු ටිකක් ඉහළ ගත්තත් ගාණක් නෑ. අපේ රස දිව පුරුදු වෙලා තියෙන්නෙ තුනපහ පදමට දාලා, කිරි හරි තෙල් හරි දාලා හෝ ගාලා උයාලා ගන්න ව්‍යාංජනවලටනෙ. දැන් ඉතින් ඒ ක්‍රමේ වෙනස් කරගන්නයි වෙලා තියෙන්නෙ.

තනිකඩයින්ට මේ කාලෙ කොහොමහරි ගැටගහගන්න පුළුවනි. ඒත් හතර පස්දෙනෙක් ඉන්න පවුල් කොහොමද කරගන්නෙ... 

31 රෑටත් කඩෙන්ම කාලා යසට නිදාගත්තා... උදේ නැගිටලා කට්ටියමට කිරිබතක් හදන්නත් පොරොන්දු වෙලා උන්නෙ... කළින් දාම මිරිසට මාළු හදල තිබ්බා. එළවළු කනවට වඩා මාළු ලාබයි වගේ... කැකුළු හාල් හෝදලා රයිස් කුකර් එකට දාලා පොල් ගෙඩිය බින්දා... පොහ් පොහ් පුස් සද්දයක් බිඳෙන්න ටිකක් වෙලා ගියා. හපෝයි ඇතුළ ගන්න දෙයක් නෑ. ඉතින් මොන කිරිබත් ද?

කැකුළු බතට මිරිස් මාළුත් එක්ක පරිප්පු ටිකක් තෙල් දාලා ගත්තා.

ඔන්න ඔහොමයි 2022 ජයටම පටන් ගත්තෙ....

..............

2021 නිහඬව ගෙවුණට මොකද ආපහු හැරිල බලද්දි සෑහෙන වැඩ කොටසක් කරල තියෙන බවත් සිහිපත් වුණා. කතන්දර හැන්දෑවෙ දරුවො තමයි ගෙවුණු අවුරුද්දෙ වටිනාකම නැවත මතක් කරල දුන්නෙ. ඒ ගැන එෆ්බී එකට ලියලත් ආපහු ඔන්ලි මී දැම්මා. ගෙවුණු අවුරුද්ද මං හිතන්නෙ බ්ලොග් එකත්, එෆ්බී එකත් එක්ක අඩුවෙන්ම ගනුදෙනු කළ අවුරුද්දක්... 

මේ තියෙන්නෙ මූණුපොතට ලියූ සටහන....

2021 වසරේ ජීවිතය සතුටින් පුරවා ලූ තැන.... කතන්දර හැන්දෑව... නිරෝධායන ඇඳිරි නීති සමයේ පවුලේ දරුවන්ගේ මූණු දැක බලා ගන්නට ආරම්භ කළ කතන්දර හැන්දෑව ළක්රිවි එකතුව එක්ක වඩා පුළුල් වෙමින් දරුවන් එක්ක ගත කළ සුන්දර හැන්දෑවන් රැසක් ජීවිතයට එක් කළා... දරුවන්ගේ සුබ පැතුම් දකිද්දියි මේ සටහන වුණත් ලියන්න හිතුණෙ...
තරු නැන්දා, තරංගි නැන්දා 'කතන්දර නැන්දා' වීම 2021 සදානුස්මරණීය සැමරුමක්...
විපුලි නැන්දා මෙහෙයවන කවි සැඳෑව පුංචි කවි කිවිඳියන් රැසක් බිහි කරමින් ඉන්නා බව දැකීමත් සතුටක්...
ආපසු හැරී බලද්දි.... ප්රීතිමත් පියවර රැසක් 2021 වසරට අයිති බව පසක් වුණා...
* යොවුන් සමාධි, යෞවන වසන්ත වින්දන දැහැන (කවියක්, ගීතයක්, පොතක්...)
* දිවැසිවර සාහිත්යයක මංපෙත් - කතිකාව ඒ හරහා බිහි වූ විණැන සාහිත සැඳෑව
* අද ජේසු සාමූහිකයේ අත් නොහරින අත්වැල
* ළක්රිවි දරුවන්, ළමුන් කැටුව යන්නන් සමග දුරස්තව නමුත් හර්දයාංගමව කළ වැඩ...
* විපුලි අක්කාගේ මැදිහත්වීමෙන් කළ සාහිත්ය කටයුතු...
ඒ අතර ආදරයම අරන් ආව අප්රමාණ මිනිසුන්....
2022 ජීවන අරගලයේ අපහසුම වසරක් වේවි ! සමාජ අරගලයකින් තොරව ජීවන අරගල පමණක් ජය ගත නොහැකි බව වඩ වඩාත් අපට පසක් කර දේවි... ආදරය, විශ්වාසය, බලාපොරොත්තුව තමයි මේ ගමනේ එකම හයිය... අත්වැළ...

2022 බ්ලොග් එකට මොන මොනවා හරි නිතර ලියන්න හිතන් ඉන්නවා... අනේ ඒකට මගේ හිත කම්මැලි නොවේවා...!

Thursday, December 2, 2021

ජීවන චාරිකාවේ අත්හැරුණු ප්‍රේමයේ කතාව ‘‘මැහුම්කාරි“


සේයාරුව - ඉරේකා සෙනෙවිරත්න

අවිහිංසක දැරියකව සිටියදී නොකළ වරදක වින්දිතයකුව නිරපරාදයේ තමන් පිටමං කර දැමූ නගරයටම සොඳුරු ගැහැණියකව ඈ පෙරළා ගොඩ බසින්නේ තම මව වෙනුවෙනි. සැබවින්ම ඒ මව වෙනුවෙන්ම ද? සැමවිටම කොන් කළ, ප්‍රතික්ෂේපයට ලක් වූ බියගුළු දැරියකව සිටි මර්ටල් ඩනේජ් නම් වූ ඇය, ටිලී ඩනේජ් නම් වූ එකී දක්ෂ මැහුම්කාරිය, ජේත්තුකාර ගැහැනු ආත්මය දක්වා පැමිණි ගමන්මඟ කුමානාකර වන්නට ඇත්ද? ඈ කොතෙක් නම් බර ජීවන කුරුසියක් උර දරා සිටින්නට ඇත්ද?

ටිලීගේ පුනරාගමනය - චිත්‍රපටයේ දසුනක්

ඩන්ගටාර් නගරයෙන් ඔබ්බේ වූ හුදෙකලා කන්දේ එකලාව එල්ලී තිබු අබලන් නිවසේ රැඳී උන් වියපත් උන්මාද ගැහැනිය මොලී සිය දියණියගේ පුනරාගමනය පිළිගන්නට තරම් පියවි සිහියක නොවූවාය. යෞවනයේදී ම ප්‍රේමයේ මායාවෙන් මුලා කර දැමූ, එනයින්ම සිඟිති දියණියක සමඟ මං මුලා වූ, අවලං ගැහැනියක ලෙස සමාජයෙන් පවා ප්‍රතික්ෂේපයට ලක් වූ අසරණ ගැහැනියක වූ ඇය අහිමි වූ දියණියක මිස රුවැති ගැහැනියක දැකීමේ සිහිනයක නොවූවාද විය හැකිය. කාලයේ ගලා යෑම ඈ අබියස මිදී, ගල් වී පැවතියේ බොහෝ කලකට පෙරදීමය. දියණිය ඇගේ සෙවණින් උගුලුවා හැර දුර ඈත නගරයක හුදෙකලාවක ගිල්වා දැමූ සමයේදීම ය.

The Dreesmaker චිත්‍රපටයේ දර්ශනයක් - ටිලී සහ මව මොලී


කිසිදු අපූර්වත්වයකින් තොරව රළු පරළු මිටියාවතක අලසව ගලා බසිනා දොළ පාරක් වන් ඒ කුඩා නගරයට ටිලී ඩනේජ් පෙරළා පැමිණෙන විට කුමන කුණාටුවක් ඈ පසුපස හඹා එනු ඇත්දැයි නොදත් නගරවැසියෝ සුපුරුදු දෛනික චර්යාවන්හි නිද්‍රාශීලිව ඇලී ගැලී උන්හ.

තැබෑරුම ද, පාපන්දු පිටිය ද නොවන්නට ඩන්ගටාර් නගරය ද කාලයේ රළු සැමිටියෙන් තැලුම් කා අඩපණව ගිය වියපත් මැහැල්ලක සේ දිස්වන්නට තිබිණි.

අන්ධකාර සෙවැණැලි සේ ඩන්ගටාර්හි නිවෙස්, කඩසාප්පු, මංමාවත් අතර එකෙල මෙකෙල වෙමින් සිටි ඇල්මැරුණු ගැහැනු ආත්ම පණ පිහිටුවාලන්නට ටිලී ඩනේජ්ගේ අපූරු ඇඳුම් මෝස්තර රටාවන්ට හැකි නොවී ද? පැරිස් නගරයෙන් උකහාගත් මෝස්තර නිර්මාණ ශිල්පයේ දැනුම ද, ටිලීගේ ප්‍රතිභාන්විත අපූරු ඇඳුම් මෝස්තර රටා ද ඩන්ගටාර් ගැහැනු ශරීරයන්හි එති එතී බාහිරයෙන් අතිශය චිත්තාකර්ෂණීය දීප්තියක් මතු කළද, අභ්‍යන්තරයෙන් ඔවුන් තුළ පැවති මාන්නක්කාර, කුරුරි, අශෝභන ගති ලක්ෂණ පළවා හරින්නට කිසිසේත් සමත් නොවීය.

බිඳී ගිය සබැඳියාවන් යළි ගොඩ නගමින් සන්සුන්, සාමකාමී දිවි පැවැත්මක් වෙනුවෙන් ටිලී ඩනේජ් තුළ අපමණ අපේක්ෂාවන් නොවී යැයි යැයි සිතිය නොහැකිය. ටෙඩී මැක්වයිනි සමඟ ප්‍රේමයෙන් වෙළී යන විට ද නව ජීවිතයක් පිළිබඳ අපේක්ෂා ඈ තුළ නොවී යැයි සිතනුයේ කෙලෙසින් ද?

නමුත් ඩන්ගටාර් නගරය වෙනස් වී තිබුණේ නැත. අවජාතක දැරියක ලෙස හංවඩු ගැසී සිටි ඇයට දක්ෂ මැහුම්කාරියක වූ පමණින් නගරයේ මුල් ඇද ගන්නට හැකියාවක් නොවුණි. කෙසේ නමුත් මුල, මැද, අග පැටලුණු මං මුලාවක සිටි නගර වැසියන්ට ඇය සදාකාලික සාපයක් ලෙස මිස ආදරය සොයා යන තවත් මනුෂ්‍ය ආත්මයක් ලෙස හඳුනා ගන්නට කිසිවිටක නොහැකි විය. ඉදින් ජීවිත කාලයක් සිය මවත්, තමාත් විඳ වූ ඒ සදාකාලික සාපයේ තරම පෙන්වා දෙන්නට ටිලී ඩනේජ්ට විටෙක සිතුණේ නම් එහි අරුමයක් නොමැත.

‘මැහුම්කාරි‘ය ත්‍රාසය, උන්මාදය, ආදරය, වෛරය ආදී හැඟම් සංකලනයක අපූර්ව වියමනකි. එය කිසිදු හැඟුමකට පාඨක මනස තදින් ආලෝලනය වන්නට ඉඩ හරින්නේද නැත. හැඟුමින් හැඟුමට සිදුවීම් පොලාපනින්නේ කඩිනමිනි. විටෙක පැටලුම් සහගත අවුල් ජාලකය පාඨකයා අතරමං කරමිනි.

පැටලුම් ලිහී යන්නේ අවසානයේ දී ය. නමුත් ඒ වන විට තවදුරටත් පෙර පැවති ඩන්ගටාර් නගරය නොවේ. පවතින්නේ දැවී හළු වී ගිය නෂ්ටාවශේෂ රැසක් පමණි. ඩන්ගටාර් වැසියන්ට ඉතිරිව තිබුණේ ඇඳි වත පමණි.

එය ද ටිලී ඩනේජ් විසින් නිර්මාණය කළ රංග වස්ත්‍ර මිස ඔවුන්ගේම වස්ත්‍ර නොවීය.

ඩන්ගටාර් නගරයෙන් නික්ම යන ටිලී 


ඕස්ට්‍රේලියානු ලේඛිකාවක වන රොසලි හැම් විසින් රචනා කරන ලද The Dressmaker නවකතාව සිංහලට නගා ඇත්තේ අපගේ බ්ලොග් සහෝදරයකු, හිත මිතුරකු වන තිලකසිරි ඒකනායක විසිනි. මේ ඔහුගේ පළමු මුද්‍රිත පරිවර්තනය වන අතර, අතරින් පතර වන පරිගණක දෝෂ හැරුණු විට එක හුස්මට කියවන්නට හැකි රසවත් නවකතාවකි.

‘අපූරු පොත්‘ ප්‍රකාශනය කළ අපූරු පොතකි.

පොත් මිල දී ගැනීමත්, පොත් කියවීමත් තරමක් අඩු වී ඇති මෙවන් කාලවකවානුවක, කියවන පොතක් ගැන සටහනක් ලියන්නට කිසිසේත් හිත නොනැමෙන කාලයක.... අඛණ්ඩව යාවත්කාලීන වන බ්ලොග් මිත්‍රත්වයේ නාමයෙන් ‘මැහුම්කාරි‘ය ගැන උපන් සංකල්පනා සටහන් කර තැබූයේ ටිලී ඩනේජ්, මොලී, ටෙඩී මැක්ස්වයිනි ගැන උපන් භාවමය බන්ධනයෙන් මෙන්ම ඩන්ගටාර් වැසියන් කෙරෙහි උපන් සියුම් අනුකම්පාවකින්ද යුතුව ය.

Wednesday, November 10, 2021

ලාංකේය පරිවර්තන ක්ෂේත්‍රෙයේ කාන්තා දායකත්වය

 


ලේඛකයා වනාහී ස්වදේශීය සාහිත්‍යයේ නිර්මාණකරුවා ය. එහෙත් පරිවර්තකයා විශ්වව්‍යාපී සාහිත්‍යයේ නිර්මාණකරුවා ය.යන්න ප්‍රවීණ පෘතුගාල ලේඛක ජොසේ සරමාගෝගේ ප්‍රකට කියමනකි. යම් රටක, ජන සමාජයක චින්තනමය, බුද්ධිමය පිබිදීම උදෙසා පරිවර්තන සාහිත්‍යයෙන් ලැබෙන ආලෝකය, පන්නරය කිසිසේත් සුළුකොට තැකිය හැකි නොවේ. විශ්ව සාහිත්‍යය දේශයක සාහිත වපසරිය වඩා පුළුල් සහ පොහොසත් බවට පත්කරයි.

ලාංකේය සාහිත්‍යයේ ආරම්භයේ සිට ම පරිවර්තනමය ස්වභාවය කැපී පෙනේ. මුල්කාලීනව පාලි, සකු, මගධ බසින් හෙළ බසට නැගුණු කෘති බහුල වන අතර, යටත්විජිත පාලන සමයේ ඉංග්‍රීසි උගත්, විදේශයන්හි උසස් අධ්‍යාපනය ලද, විශ්ව සාහිත්‍යය ඇසුරු කළ පිරිසක් බිහිවීම නිසා ඉංග්‍රීසි බසින් හෙළ බසට කෘති පරිවර්තනය වීමේ ප්‍රවණතාව වර්ධනය විය. ලෝක සාහිත්‍යයේ විශිෂ්ටතම කෘති හෙළ බසට පෙරළීමට බොහෝ පරිවර්තකයෝ උත්සුක වූහ. එවැනි කෘතහස්ත පරිවර්තකයින් පිළිබඳව කතිකාවන් ඇති වුවද ලාංකේය පරිවර්තන ක්ෂේත්‍රයේ කාන්තා දායකත්වය පිළිබඳව ප්‍රමාණවත් අවධානයක් යොමු වී නැත. පරිවර්තිකාවන් අතර මග හැර යා නොහැකි භූමිකා කිහිපයක් පිළිබඳව ඉතා සංක්ෂිප්තව හෝ කරුණු ගෙනහැර දැක්වීම මෙම ලිපියේ මුඛ්‍ය අරමුණ වේ.

ස්වඅධ්‍යනයෙන් මැනවින් වංග බස හදාරා ගෝරා”, “අරණකට පෙම් බැඳ”, “අපූ ත්‍රිත්වය”, “ශ්‍රී කාන්ත”, “ශ්‍රී කාන්ත සහ රාජලක්ෂ්මීවැනි අගනා කෘති ගණනාවක් හෙළ බසට නැගූ චින්තා ලක්ෂ්මී සිංහාරච්චි ලාංකේය පරිවර්තන ක්ෂේත්‍රයේ නොමැකෙන සටහන් තැබූ ලේඛිකාවකි.  බෙංගාලි ව්‍යවහාරයේ පවතින විශේෂතා අපේ හද, මනසට සමීප ලෙස අලංකරණය කිරීමට ඇය හෙළ බස යොදා ගන්නා ආකාරය විචිත්‍ර ය. ඇය අපූ ත්‍රිත්වය පරිවර්තනය කරන ආකාරය සිහිකරන්නේ දැදිගම වී රුද්‍රිගු සිංහලය රුසියානුකරණය මගින් නිපදවන ලද අලුත් භාෂාන්තරයයි. චින්තා ලක්ෂ්මිය දෙබස පරිවර්තනයේ දි දක්වන සුමට බව ද විශේෂයෙන් සිහිපත් කළ යුතුය. එහිදී ආමන්ත්‍රණ පද කිහිපයකට සීමා නොවී ගැළපෙන අවස්ථා අනුව බෙංගාලි, ඉංගිරිසි, සිංහල (මහත්තයා, මිස්ටර්, බාබු) තුන් භාෂාවෙන්ම තැබීම තුළින් ඇති කරන නැවුම්බව පාඨක රුචිය දල්වන සුලු ය. අපූ ත්‍රිත්වය මෙන්ම ගෝරා පරිවර්තනයේදීත් ඇය මුල් ලේඛකයන්ගේ විශේෂතා පවත්වා ගන්නා ආකාරය ද සුන්දර ය.

චින්තා ලක්ෂ්මී සිංහාරච්චි

මාලිනී ගෝවින්නගේ ද ඉතා වැදගත් පරිවර්තන කෘති ගණනාවක් සිංහල පාඨකයන් වෙත තිළිණ කළ ලේඛිකාවකි. 1972 වසරේ සරසවි සිසුවියක ලෙස සිටියදී ඉග්නාත්සියෝ සිලෝනේගේ ෆොන්ටමාරාකෘතිය පරිවර්තනය කරමින් ක්ෂේත්‍රයට පිවිසෙන ඇය, විප්ලවීය සාහිත්‍යය කෙරෙහි වැඩි නැඹුරුවකින් සහ ස්වකීය සමාජ, දේශපාලන මැදිහත්වීම පිළිබඳව ඉතා පැහැදිලි අවබෝධයකින් යුතුව පරිවර්තනය සඳහා කෘති තෝරා ගත් ලේඛිකාවකි. චේ චරිතය කෙරෙහි ඈ තුළ වන ඇල්ම මනාව පිළිබිඹු කළ චේ චරිතාපදානය මෙන්ම ඈ විසින් පරිවර්තනය කළ අර්නෙස්ටෝ චේගුවේරා මෝටර් සයිකල් දිනපොත”, “බොලීවියානු දිනපොත”, අලෙයිඩා මාච් ලියූ එක්ව අපි ඇවිද යමුවැනි කෘතීන් චේගැඹුරින් හඳුනා ගැනීමටත්, විප්ලවීය සිහින දුටු චේ ප්‍රේමවන්තයින්ගේ හද මනස් දල්වාලීමටත් දායක වූ බව නිසැක ය. වර්ණභේදවාදයේ අමානුෂික මුහුණුවර හෙළිදරව් කරන හඬනු පෙම්බර දේශය”, සමාජ විෂමතාවයේ සදාකාලික ගොදුරු වන ඉතාලියේ ගම්පියසක දිළිඳු, නූගත් ගැමියන් පිළිබඳව වන කම්පනීය කතා පුවත ෆොන්ටමාරාකෘතිය, ස්වදේශීය ජනතාව අමානුෂික ලෙස ඝාතනය කරමින් ඇමරිකාව සුදු ඇමරිකාවක් වූ ඉතිහාස කතාව මා හද සඟවන් වුන්ඩඩ් ක්නීයෝවැනි කෘති  ඇගේ පරිවර්තන කාර්යයන් අතර සුවිශේෂ වේ. මතක පූජාව නමින් පරිවර්තන කවි එකතුවක් ද පළ කර ඇති මාලිනිය, රයිනර් මරියා රිල්කගේ ඛැඑඑැරි එද ් ශදමබට ඡදැඑ කෘතිය කිවිඳ හදට එබී බලන්ලෙස කළ පරිවර්තනය ද  ලාංකේය කාව්‍ය ක්ෂේත්‍රයට පරිවර්තන සාහිත්‍යයේ ප්‍රභාව සහ පන්නරය එක්කළ අවස්ථා ලෙස දැක්විය හැකිය.

මාලනී ගෝවින්නගේ

නවකතාකාරිනියක, කෙටිකතාකාරිනියක ලෙස ප්‍රකට සුනේත්‍රා රාජකරුණානායක විශිෂ්ට පරිවර්තිකාවක්ද වන බව අමතක කළ හැකි නොවේ. මෝපසාන් කෙටිකතා, සකායි, සඳරැස් වෙරළ පරිවර්තන ඔස්සේ පරිවර්තන කාර්යය මටසිලිටි කිරීමට ඇය ගත් උත්සාහය ඉතා වැදගත් ය. ඇය පරිවර්තන කවි පොතක් පළ නොකළ ද ඇයගේ බොහෝ කෘතිවලට අපූරු කාව්‍ය පරිවර්තන ද එක් වී ඇති බව සිහිපත් කළ යුතුය. ඇය පරිවර්තන භාෂාව කියවන්නියට සමීප කිරීම සඳහා කට වහර හා අපගේ වදන් මාලාව අතරින් කතා සංදර්භයට සහ සිංහල භාෂාවට පොදුවේ වඩාත් ගැලපෙන වදන තෝරා ගන්නා ආකාරය කදිම ය. ඇය සතුවන විෂය-විෂයාන්තර පුළුල් දැනුම හා ප්‍රාදේශීය ව්‍යවහාරයන් සම්බන්ධව පවතින අවබෝධය එයට මනා පිටුවහලක් වූ බව නිසැකය. පර්ල් එස් බක් සකායිහි ඉස්මතු කරන ජපන් යුවතිය හා ඇමරිකානුවා අතර ප්‍රේමය සුනේත්‍රා  සිංහලයට ස්වීයකරණය කරන ආකාරය නිසා ඇය කතා බහට ලක්විය යුතුම පරිවර්තිකාවක වන්නීය.

සුනේත්‍රා රාජකරුණානායක

ආචාර්ය එලිසබෙත් බෝපෙආරච්චි, ප්‍රංශයේ ප්‍රොවෙන්සාල් පළාතේ මහා ලේඛකයා වන මර්සෙල් පැනියෝල්ගේ කඳු රැල්ලේ දිය දහරහා උල්පත් කුමාරිනවකතා ද්විත්වය සිංහලයට පෙරලන්නේ ඇයටම අනන්‍ය වූ කතා ලතාවකිනි. මුල් ප්‍රොවෙන්සාල් ව්‍යවහාරයේ ඇති සුවිශේෂතාව ඉස්මතු වන ආකාරයට සිංහල ප්‍රාදේශීය ව්‍යවහාරයන් සමෝධානය කිරීමට ඇය සමත් වෙයි. ඇය සතු අන්තර් භාෂා දැනුම නිසා නිම වන්නේ අසාමාන්‍ය පරිවර්තන කෘතියකි. එමෙන්ම ඇය නාගරික ප්‍රංශය හා ග්‍රාමීය ප්‍රංශය අතර ඇති වෙනස නොකඩා පවත්වා ගැනීමට ද සාපේක්ෂව එතරම් විවිධත්වයක් පළනොවන සිංහල භාෂාව තුළ හරඹයක නියැළෙන්නීය. සේසාරේ, උගොලන් හා මැනොන් අතරේ ඇති ඥාති උත්ප්‍රාසය නොඅඩුව සිංහල කියවන්නාට ළඟාකරවීමට ඇය දැරූ ප්‍රයත්නය ප්‍රශංසනීය වේ. එය ශ්‍රී ලංකාවේ නිසි අවධානයට යොමු නොවුණු ශාස්ත්‍රාලීය ක්‍රියාවකි.

ටි්‍රලිෂියා ගුණවර්ධන අපගේ මතකයට නැගෙන්නේ මනමේ කුමරිය ලෙස වුවත්, ඇය විශිෂ්ට පරිවර්තිකාවක්ද වන්නීය. කර්ණාටක මහා ලේඛක ආනන්ත මුර්තිගේ සංස්කාර නවකතාව ඇය හෙළ බසට නගා ඇත. එය සිරුරින් කුඩා වුවද මහත් විෂයයක් ගැබ්කර ගත් නවකතාවකි. බමුණු ගමක මිය ගිය සම්ප්‍රදාය කඩ කළ බමුණෙකුගේ සිරුරක් අරභයා ඇති වන ගැටුමක් ඇසුරෙන් බ්‍රාහ්මණත්වය ප්‍රශ්න කරන සංස්කාර; එක වරම කාව්‍යමය, විචාරාත්මක හා හාස්‍යමය වීම පරිවර්තකයෙකුට විසල් අභියෝගයකි. සිය ද්විභාෂා දැනුම හා නාට්‍යමය ශික්ෂණය එකවර යොදා ගන්නා ටි්‍රලිෂියා ගුණවර්ධන පරිවර්තන අවකාශය කෙරේ ඇති කරන ආනුභාවය නොසළකා හැරිය නොහැකි තරම් ය. සිංහල භාෂාවේ සියුම් යෙදුම් හා රිද්මය කන්නඩ කතාවක් කීමට යොදා ගැනීම දක්වා ඇය භාෂාව හසුරවන ආකාරය ආස්වාදනීය ය.

ට්‍රිලීෂියා ගුණවර්ධන

රාණි සේනාරත්න රාජපක්ෂ ද  පරිවර්තන සාහිත්‍යය පොහොසත් කරන්නට සුවිශේෂ දායකත්වයක් ලබා දුන් පරිවර්තිකාවකි. දර්ශනය පිළිබඳව වන පාඨ ග්‍රන්ථයක් ලෙස ලෝක සාහිත්‍යය තුළ අවධානයට පාත්‍ර වූ යුස්ටයින් ගෝඩර්ගේ සොෆීගේ ලෝකයමෙන්ම ඔහුගේ ම අන්නා දකින ලෝකය”, “අඳුරු පළිඟු තල මැදින්යන කෘති සහ සුප්‍රකට ඉංග්‍රීසි ජාතික විද්‍යාඥයකු වන ජෙරල්ඩ් ඩරල්ගේ මගේ පවුලයි අනෙක් සත්තුයි”, “දේව උද්‍යානය”, “කුරුල්ලෝ සිවුපාවෝ සහ නෑදෑයෝ  යන කෘතිද ඇතුළත්ව කෘති ගණනාවක් පරිවර්තන සාහිත්‍යයට එක් කළ ඇය ඒ හරහා ලාංකේය පාඨක ප්‍රජාවගේ දැනුම් වපසරිය, වින්දන පරාසය පුළුල් කරන්නට ලබා දුන් දායකත්වය අගනේ ය.

ළමා නවයොවුන් පරිවර්තිකාවක ලෙස පාඨක හද දිනූ ගංඟා නිරෝෂණී සුදුවැලිකන්ද පලස්තීන ලේඛක කාලීඩ් හොසේනිගේ සරුංගල් ලුහුබඳින්නා”, “මනරම් හිරු දහසක්”, “ඉක්බිති කඳුකරය දෝංකාර දුනිකෘති තුළින් සහ මෑතක පළ කළ තුර්කි ලේඛක ඔර්හාන් පමුක්ගේ මසිත් හසර එක්තරා නුහුරුවකකෘතිය තුළින් සිංහල පරිවර්තන සාහිත්‍යය පුළුල් කරනු පිණිස ලබා දුන් දායකත්වය අගය කළ යුතු ය. මසිත් හසර එක්තරා නුහුරුවකවිශාල පරිවර්තන ශ්‍රමයක් දැරූ කෘතියක් බව නිසැක ය.

ගංඟා නිරෝෂිණී සුදුවැලිකන්ද

ලාංකේය පරිවර්තන සාහිත්‍යයේ ළමා සහ නව යොවුන් ක්ෂේත්‍රය ද විශේෂ අවධානයට ලක්විය යුතු ය. මෙහිදී කැපී පෙනෙන පරිවර්තිකාවන් අතර ගංඟා නිරෝෂිණී සුදුවැලිකන්ද මෙන්ම කත්‍යානා අමරසිංහ ද වේ. ගංඟාගේ වණ අරණක කුඩා නිවස“, දඟ මල්ල සහ අමුතු ඉස්කෝලෙ, රමෝනා සහ බීසස් වැනි පොත් මාලා මෙන්ම කත්‍යානා කළ පොලියානා, ඩෙනිස්ගේ දස්කම්, චුබාරි වැනි කතා මාලාවන් ද  ළමා, නව යොවුන් දූ දරුවන් සේම වැඩිහිටියන්ද එක සේ රස විඳි, විශාල පාඨක අවධානයක් දිනූ පරිවර්තන ග්‍රන්ථ ය.

කත්‍යානා අමරසිංහ

ලාංකේය පරිවර්තන ක්ෂේත්‍රය වෙනුවෙන් ස්වකීය දායකත්වය ලබා දුන් ස්වර්ණකාන්ති රාජපක්ෂ, සුමිත්‍රා රාහුබද්ධ, අනුල ද සිල්වා, චිත්‍රා පෙරේරා, ඉන්ද්‍රාණි කරුණාරත්න, ප්‍රියංකා කහවණුගොඩ වැනි තවත් පරිවර්තිකාවන් රැසක් සිටියද, සියල්ලන් පිළිබඳ පුළුල් සංවාදයකට මේ කුඩා ඉඩකඩ ප්‍රමාණවත් නොවේ. නවකතා, කෙටිකතා, කාව්‍ය, ළමා සහ නවයොවුන් පරිවර්තන සාහිත්‍යය තුළ පරිවර්තිකාවන්ගේ ශ්‍රමය කොතෙක් දුරට අර්ථවත් කාර්යභාරයක් ඉටුකර ඇත්තේද යන්න තවදුරටත් ගැඹුරින් විමසා බැලිය යුතු කරුණක් බව සිහිපත් කරමින්ම, ඔවුන්ගේ පරිවර්තන ශ්‍රමය වෙනුවෙන් අපගේ කෘතවේදීත්වය පළකරමු.

හෂිත අබේවර්ධන/  තරංගනී රෙසිකා

 

Tuesday, November 9, 2021

මතකය මෘදු විලවුන් සුවඳකි...

 


පෙම්වත,

 

මතකය

මෘදු විලවුන් සුවඳක් වැනිය

පිරිමදියි සිත...

ස්පර්ශ කරනු නොහැකිය...

 

සිඹීම්වලින් නැහැවුණු

කොපුල්තල පවා

සැලි සැලී මන්ද්‍ර ස්වරයෙන්

සුසුම් උහුළා ගනු වැනි ය...

 

එකලාව යන මෙමඟ

නිදිකුම්බා මල් පවා

පත් හකුළා තුඩු මුදවා

රෝස පෑ සිනා සඟවා

පාරනා හැඟුම්

වාවමිද කෙලෙසින්...

 

පෙම්වත

අගුල්ලෑවද තරව

යකඩින්

තවමත් පණ ගැහෙන හදවතකි

ලෝහ රාමුව විනිවිදිනු බැරි...

 

හෙමිහිට... හෙමිහිට

නිශ්චලව... නිශ්චිතව

අවසන් සුසුම් කැටිය ද

නික්ම යාමට නියමිත

ආදාහනාගාරයක

වා කවුළුවෙන් නික්මෙන

උණුහුම් සුළං දහරක් මෙන්...