ධර්ම විවේකයකට තුලන ගිය සිව්
දිනක අත්දැකීම මම ඔබත් එක්ක බෙදා ගත්තනේ...
එම ගමනේ තවත් අපූරු මතක ඉසව් කිහිපයක් මේ..
දවසේ පිය සටහන්....
හිමිදිරියෙන් අවදි වෙලා හැමදාම වගේ මම ගියේ එළිමහනට.. ඉර
එළිය විඳින්න.. නිරුවත් දෙපය පිණිකැටවලින් නාවමින් තණකොල ගොල්ලෙ නිදහසේ
ඇවිදින්න... දැනෙන සිහිල සිත පුරාම විඳින්න... මීදුමෙන් බොඳ වුණ හරිත පරිසරය
දෙනෙතට, සිරුරට පමණක් නොවේ හිතටත්
සුවදායක හැගීමක් ගෙනාවා... කෘතිම සීතල කොන්ක්‍රීට් ගුහාවක සිරගතව ගෙවන
ජීවිතයට මේ නැවුම් ඉර එළිය, සීතල පිණිකැට... ආශිර්වාදයක් වගේ...
ජීවිතයට මේ නැවුම් ඉර එළිය, සීතල පිණිකැට... ආශිර්වාදයක් වගේ...
මේ එළිමහන් සක්මනේදී විසාල සිතුවිලි ගගුලක් ගලා ගෙන ගියා
හිත අසලින්... ඒ සිතුවිලි ගගුලෙ දෙවියන්... ජේසු... මරියතුමිය.. බුදු හාමුදුරුවො විතරක්
නෙවෙයි ගමේ පල්ලියෙ ස්වාමිගෙ ඉඳන් කාදිනල් දක්වාත්, අසරණ අහිංසක පීඩිත
මිනිස්සුන්ගෙ ඉඳන් රාජපක්ෂ පවුල දක්වාත්... වැලි කැටේ ඉදන් ඉර හඳ දක්වාත් බොහෝ
සිතුවිලි පාවුණා... ඒත් ඒ සිතුවිලි මම හිතට බරක් කර ගත්තෙ නැහැ... සැනසුම,
සැහැල්ලුව බලාපොරොත්තුවෙන් ආව ගමනක් කිලිටි කර ගන්න අවශ්‍ය නැහැනෙ... නමුත්
මගහරින්න බැරි අභියෝගයක් තියෙන බව නම් අමතක කරන්නම බැරි උණා...
ඉන්පස්සෙ උදේ තේ කෝප්පය ...
ආයෙමත් පුංචි පල්ලියෙ නිස්කලංක පැයක්... හිතත් එක්ක කතා
කරමින්.. හිතට සවන් දෙමින්... බයිබලය හෝ පොතක් කියවමින්... පුදුමාකාර සැනසුමක්
අත්වින්ද මොහොතක්...
ඉන්පස්සෙ උදෑසන ආහාරය....
පියතුමා එක්ක සාකච්ඡාව ඇරඹෙන්නෙ උදෑසන ආහාරයෙන් පස්සෙ...
බයිබලය මුල් කර ගත්ත දේව ධාර්මික කරුණු ගැනයි කතා බහ වුණේ... නමුත් කාලීන ආගමික,
සමාජ, දේශපාලනික කාරණා එක්ක දේව ධර්මය, ජේසුගෙ ජීවිතය සම්බන්ධ කර ගනිද්දි පැහැදිලි වෙනවා කිතුනු අපි
ඉදිරියෙ මග ඇරල යන්න බැරි අභියෝගයක්
තියෙනවා කියල. ඒ වෙලාවට නම් හිතට හරි බරක් දැනෙනවා... වෙන්න ඕන මොනවද? ඒත් අපි
කරන්නෙ මොනවද කියල හිතෙද්දි.... සාකච්ඡා කළ කාරණා කිහිපයක් මේ විදියට පෙළ ගස්වන්නෙ
මගේම මතකය අළුත් කර ගන්නයි... ( සමාවෙන්න බ්ලොගය කියවන බොහෝ දෙනෙකුට මේ කාරණා
අදාළ නෙවෙනවානම්... )
හිතට දැණුනු දේව ධාර්මික කාරණා
·
ඇත්ත දේව ධර්මය හඳුන ගන්න නම් අපි බයිබලයේ
මූලාශ්‍රවලට යන්න ඕන.. දැන් අපි කියවන බයිබලය ග්‍රීක් භාෂාවට ඇවිත්, ඉංග්‍රීසි
වෙලා ඊටත් පස්සෙ සිංහල වෙලා තියෙන්නෙ.. හීබෲ භාෂාවෙන් බයිබලය දෙන අදහස ග්‍රීක්
භාෂාවට පරිවර්තනය වෙද්දි ගොඩක් වෙනස් වෙලා තියෙන්නෙ ග්‍රීක් දර්ශනයේ බලපෑම නිසා...
බයිබලය හදාරනවනම් හීබෲ භාෂාවෙන්ම හැදෑරීම තමයි වඩාත්ම හොඳ..
·
බයිබලය ධාර්මික ග්‍රන්ථයක් වගේම අපූරු
සාහිත්‍ය කෘතියක්... ධර්මය පහදා දෙන්න කතන්දර කීමේ කලාව යොදා ගන්න පුළුවන් බවට
හොදම සාක්ෂියක්...
·
බයිබලයේ ඉතිහාසය තුළ ජීවත් වන දෙවියන්
හඳුනා ගන්න. ඒ දෙවියන් ආදරණීය තාත්තා කෙනෙක්. ආධිපත්‍යයක් නොදරන, අවදානම් දරමින්
ජීවිතේ ඉදිරියට යන්න නිදහස දෙන දෙවි කෙනෙක්... වැටීම්, රිදීම්, තැවීම් තුළ ජීවිතේ
ඉගෙන ගන්න ඉඩ හරින, සමාව දෙන්න සූදානම්
දෙවි කෙනෙක්. ඒ වගේම දිළින්දන් පීඩාවට පත් කරන දුෂ්ටකම්වලට උදහස පාන දෙවි
කෙනෙක්... බයිබලය තුළ දිග හැරෙන මානව ඉතිහාසය පුරාම මේ දෙවියන් මිනිසුන් අතර අන්‍යොන්‍ය
බැඳීම පවතිනවා. ඒක පියපුත් සම්බන්ධතාවයක්... දෙවියන් වහන්‍සේට ඕන කරන්නෙ පරිණත
විදියට හිතන වැඩ කරන, අවදානම් ගන්න, වැටි වැටිත් නැගිටින දරුවො.. ( හුරතල් කරන්න
බබ්බු නෙවෙයි පියතුමාගෙ වචනවලින්ම කියනවනම්... )
·
මේ දේව තාත්තා පරිපූර්ණ තාත්තා කෙනෙක්.. කරුණාවන්ත
තාත්ත කෙනෙක්.. ඒ පරිපූර්ණත්වයත්, කරුණාවන්තකමත් දේව ස්වරූපය දරන අපෙන් එතුමා
බලාපොරොත්තු වෙනවා.
·
දෙවියන් වහන්සේ නිර්මාණශීලියි.. එහෙමනම්
දේව ස්වරූපය දරන, දෙවියන්ගෙ දරුවො වෙන අපිත් නිර්මාණශීලී වෙන්න ඕන..
·
දෙවියන් වහන්සේ අන්ධ විශ්වාසයට
විරුද්ධයි.. ප්‍රශ්න කරන්න, තර්ක කරන්න, සාකච්ඡා කරන්න... ධර්මය අවබෝධ කර ගන්න
ලැබෙන්නෙ එවිටයි. ජුදා සම්ප්‍රදාය තුළ
එකවර කිසි දෙයකට එකඟ වෙන්නෙ නැහැ.. ඒ බලපෑම බයිබලය තුළ ගොඩ නැගෙන දේව ධර්මයටත්
තියෙනවා...
·
දෙවියන් වහන්සේ තුළ යැපෙන ජීවිතයක් ගැන
විශ්වාසයක් නැති නිසයි අපි රැස් කරන්න උත්සාහ කරන්නෙ. ( ධනය, බලය, නිලතල, නම්බු
නාම.. ) ඒ වගේම අපි අසහනයෙන්, කලකිරීමෙන්, පීඩාවෙන් ඉන්නවනම් ඒ විශ්වාසයක් නැති
කම... කුරුල්ලො වගේ සැහැල්ලුවෙන් ඉන්න....
·
දේව
වචනය කියන්නෙ මෙනෙහි කරන්න සිතුවිල්ලක්වත්, දර්ශනයක්වත් නෙවෙයි. බයිබලය තුළ
දෙවියන් වහන්සේ කතා කරන හැම අවස්ථාවකම ඇහුම්කන් දීම සහ ක්‍රියාත්මක වීම කැපී
පේනවා... මේ නිසා ක්‍රියාවෙන් තොර ඇදහීම නිෂ්ඵලයි.
තවත් කාරණා ගොඩක් කතා කළා... මට හිතෙන්නෙ
මේ ටික ඇති කියලයි. දින හතරක් පුරා කතා කළ දේවල්, මෙනෙහි කළ දේවල් ලියන්න පෝස්ට්
සීයක්වත් ලියන්න වෙයි.
පුංචි පවුල රත්තරන්...
අපේ කෑම බීම ටික හදල
දෙන්න, අපේ නේවාසිකය රැක බලා ගන්න හිටියෙ පුංචි පවුලක්. අම්මයි, තාත්තයි, අවුරුදු
පහක පුංචි පුතයි. අවුරුදු විසිතුනක් වයසැති මේ තරුණ අම්මා හරිම කඩිසරයි. මිත්‍රශීලීයි.
ඒ වගේම ඈ හදන කෑමත් හරි රසයි. චතුක පුංචි පුතා මේ දවස් කිහිපයේ දේව ධර්මයට ලබා දිය
නොහැකි වූ අපූරු චමත්කාරයකින් අපේ හිත් පිරෙව්වා ඇත්තටම... හරිම ආදරණීය, දඟකාර
දරුවෙක්..වෙලාවකට හරිම පණ්ඩිතයි..මේ දරුවගෙ කරේ කුරුසයක් දැම්ම කළු පටියකුයි,
සුරයකුයි දෙකක්ම තියෙනවා... ආගම් දෙකක සංකලනයක්... අම්ම කතෝලික.. තාත්ත බෞද්ධ...
තුලන ආයතනයේ නමට, කාර්යභාරයටම ගැළපෙන පුංචි පවුලක්...
එක දවසක රෑ කෑමට අපට ඉඳි
ආප්ප එක්ක මාළු හොදි තිබුණා.. ඔන්න චතුක පුතා කෑම මේසෙ වටේ කැරකි කැරකි මෙහෙම
කියනවා...
'' ඔය තියෙන්නෙ මං
අල්ලපු මාළු.. මම නැවක මුහුදු ගිහින්, බිලී පිත්තට පණුවෙක් දාලා මාළු දහයක්
ඇල්ලුවා... ඒ මාළු තමයි ඔයාලට උයල තියෙන්නෙ අපේ අම්මා... ''
'' ඇත්තට....... ඔයා
හරි හපනෙක්නේ...'' අපිත් හිනා වෙලා පුතාව අගය කළා.
චතුක කැමති නෑ එයා
යන්නෙ මොන්ටිසෝරියට කියල කියන්න. එයා කියන්නෙ '' මම යන්නෙ ලොකු ඉස්කෝලෙ. මට හැමෝම
කියන්නෙ අයිය කියල..'' හැබැයි අයිය ගෙදර ආවම තාමත් අම්මගෙන් කුක්කු බොනවා.. මේ
ගැන විහිළු කළාම පුංචි එකා ලැජ්ජාවෙන් ඇකිලෙනවා...
මගේ කැමරාව අතේ එල්ලගෙන
වත්ත වටේ කැරකි... කැරකි අපූරු ෆොටෝ ටිකකුත් ගත්තා එයා. මේ තියෙන්නෙ චතුක ගත්ත
ෆොටෝ...
පොල් ගෙඩි ඡායාරූපය..
|
ලස්සන අහස නේද?
|
අපූරු ඡායාරූප ශිල්පියෙක්
|
සමනලයෙක්වලු අර ගත්තෙ..
පුළුවන් නම් හොයන්න.
|
එයාට එයාගෙම පින්තූරයක් ගන්න
ඕන වෙලා...
|
නිදිකුම්බා මල් යායක්...
|
තුලන ගෙවුණු සිව් දින
නිස්කලංක ගත වුණු මතකයෙන් නොගිළිහෙන සිව් දිනක් වුණා.. ඇත්තටම එය ධර්ම විවේකයක්.
ජීවිත විවේකයක්... මේ වගේ විවේකී නැවතුමක් හැම ජීවිතයකටම අවශ්‍යයි කියල මට හිතෙනවා
ජීවිතේට අළුත් පණක් එකතු කර ගන්න.