අවුරුදු නිවාඩුව ගත උණේ ගමේ පුංචි පැංචියන් එක්ක.
විශේෂයෙන්ම චන්දු පුතු එක්ක. පාන්දර ම ඇහැරින එයා කෝලම් දදා ඉන්නවා. යාම්තං හය
වෙද්දි කාගෙ හරි අතකට පැනලා එළිමහන් සක්මනට යන්නයි කල්පනාව. මං ගෙදර උන්නු දවස්
ටිකේ මාව දැක්ක ගමන් හිනා කටක් පුරවන් අත් දෙකම දිගු කරන්නෙ මම්ම වගේම එයත්
රස්තියාදුවට කැමති නිසා... එයා වඩාගෙන ඇවිදින එක, කකුළෙ තියන් නළවන එක තමයි මගේ
නිවාඩුවෙ ප්‍රධානම රාජකාරි වුණේ.
ළා පින්නෙන් හාත්පස සිසිල් වුණු හිමිදිරියක මම
චන්දුත් වඩා ගෙන පාර අද්දර සක්මන් භාවනාවක... පාරෙන් එපිට ප්‍රජා ශාලා වත්ත. මේ ඉසව්වෙ
ගිරව්, පොල්කිච්චො, මයිනො, කොබෙයියො, කහ කුරුල්ලො, චූටික්කො, කොට්ටෝරුවො අඩුවක්
නෑ. අයියලගෙ කැන්ද ගහ කුරුලු නිවහනක්. පුතා හරිම ආසයි සත්තු දිහා බලන් ඉන්න. එදා
ගෙඳ පඳුරුවල එල්ලි එල්ලී කෑම හොයපු මාල ගිරවෙකුත් උන්නා. තේක්ක ගහේ කොල හැලුණු අති
ඉතිවල ඔන්චිල්ලා පැද්ද ගිරා පවුලම මං පුතුට පෙන්නුවා.
අපේ චන්දු බබා |
ප්‍රජා ශාලා වත්තෙ නිලමෙ මාමගෙ ගව සම්පතත් දිගේලි
කරල උන්නා. එළදෙනයි පැටියයි එක ළඟම. චන්දු බබා නිලමෙ සීයාගෙ මේ තැත්තන්ටත් හරිම
කැමතියි. මම මේ කුරුලු යාළුවොයි, ගව යාළුවනුයි පෙන්න පෙන්න ඉද්දි පාරෙ එහා ඉමෙන්
මතු වුණා හරක් දෙන්නෙක් ලණු පොටින් බැඳගෙන ඇදන් යන මිනිසුන් දෙන්නෙක්.
මේ තරම්ම උදෙන් මේ ගෙනියන්නෙ ආදරයට නොවන බව
පැහැදිලියි. ඒ දක්කාගෙන එන මිතුරන්, ප්‍රජා ශාලා වත්තෙ උන් නිලමෙ මාමාගෙ ගව අම්මයි
පුතයි දුටු ගමන් එකිනෙකාට කතා කරගන්න ගත්තෙ හරිම දුක හිතෙන විදියට. දිග කෝටුවකින්
පහර දිදී අරන් ගිය ගවයින් දෙන්නා කෑ ගැහුවෙ ‘‘අනේ අපිව බේරගන්න‘‘ කියන්න වගේ. අර
ගව අම්මයි, පුතයි කෑ ගහන්න ගත්තෙ ඒ දුක දැනිල වගේ... එක් වතාවක එක් මිනිසකුගේ
අතින් ලණුපොට මුදාගත් හරකෙක් දුවගෙන ගිහින් එළදෙන ළඟ නැවතිලා දුක කියන්න පටන්
ගත්තා. කෝපයෙන් වියරු වැටුණු මිනිසා එල්ල කළ පහරවල් කොයිතරම් දරුණුද කියනවනම් ඒ
සතා ආයෙම පාරට වැටුණෙ හරිම අසරණ විදියට... ඒ මිනිසුන් දෙදෙනා තුළත් පෙනෙන්නට
තිබුණෙ ජීවිතයෙන් වෙහෙසට පත් පීඩිත පෙනුමක්... ඒ පීඩාව අර අහිංසක සතුන් මත පැටවෙන
බවයි මට හිතුණෙ.
මං පුතු අරන් ගෙට ගියේ ඒ දසුන බලාඉන්න බැරි තරම්
අමිහිරි නිසා... සුන්දර හිමිදිරියට ඒ දසුන එක් කළේ දරන්නට බැරි බරක්. මට මතක් වුණේ
ප්‍රේමකීර්ති ද අල්විස් ලියූ සුනිල් එදිරිසිංහයන් ගයන මේ ගීතය... වික්ටර්
රත්නායකයන්ගේ තවත් අපූර්ව තනු නිමැවුමක්...
බානෙන් බැඳ රජ රට පෙදෙසින්නේ
කෝච්චියේ හිර ගෙයි බැඳ එන්නේ
පිහියේ මුවහත ගෙල සිප ගන්නේ
උදයෙම මේ කය නිසසල වන්නේ
උගේ කිරෙන් බෝධිය දෝවන්නේ
උගෙන් මැඩූ බත දනට පුදන්නේ
උන්ගෙම හම බෙර හඬට බඳින්නේ
උන් බැඳි ගැල් නැග පන්සල් යන්නේ
කිරි රස දන්නෝ මව් හඳුනන්නෝ
බත් රස දන්නෝ කෙත් හඳුනන්නෝ
බත් සහ කිරි රස දෙකම නොදන්නෝ
මිනිසත් බව ලැබ කුමට උපන්නෝ
ලේ කිරි අයිතිය වහු පැටියන්නේ
දම් සක්වල ගල හැපී බිඳෙන්නේ
ඒ කිරි උදුරා බිව් මිනිසුන්නේ
සිත් වල ඇයි කලගුණ නොරැඳෙන්නේ
මානව ජීවිතය සමඟ දීර්ඝ කාලයක් තිස්සේ ඉතා සමීපව
බැඳී සිටින ගවයා ගැන මේ තරම්ම සංවේදීව ලියවුණු තවත් ගීතයක් නැති බවයි මගේ හැඟීම. ගව,
මානව සබැඳියාව විනිවිදින මේ ගී පද, මිනිසාගේ අකෘතඥභාවයට දොස් නඟන්නෙ හදවත කීරි
ගස්වමින්... කොතරම් හෘදසංවේදී පද නිමැවුමක් ද?
මේ ගීතය පිළිබඳව ‘‘සසර සැරිසරන තෙක්‘‘ පත් ඉරු
අතර රැඳුණු පුවතක් දුටු විට මට දැනුණේ මහත් පුදුමයක්. ‘‘බානෙන් බැඳ රජ රට
පෙදෙසින්නේ“ ගේය පද සංකල්පනාව ප්‍රේමකීර්ති සිතේ උපදින්නෙ තිඹිරිගස්යාය රන්දෝලි අවන්හලේ මී විතක් සමඟ
කටගැස්මට හරක් මස් ඩෙවල් එකක රස බලමින් ඉන්න විටක කියන කාරණය... ඒ මුවගට රසය උපද්දන අහිංසක ජීවිතයක කටුක පැවැත්ම මෙතරම්ම හෘදයාංගමව ගීතයකට එක්කරන්නට ඔහුට හැකි වුණේ කෙලෙසින්ද? එලෙස පද ගැළපූ සංවේදී සිත ම නැවතත් ඒ කටගැස්ම වෙත ම බැඳෙන්නේ කෙලෙසින්ද?
ඒ එක්කම මට සිහිපත් වුණේ චින්තන ධර්මදාස කොහේ හෝ
තැනක ලියා තිබූ මේ අදහස..
‘‘පාපයෙහි පත්ළටම ගිළී යන අයෙක් ඉන් යළි උපදින්නෙ සාන්තුවරයෙක් විදියට වෙන්න පුලුවන්‘‘
‘‘පාපයෙහි පත්ළටම ගිළී යන අයෙක් ඉන් යළි උපදින්නෙ සාන්තුවරයෙක් විදියට වෙන්න පුලුවන්‘‘
ගීතනාත් කුඩලිගම සංස්කරණය කළ ප්‍රේමකීර්ති ජීවන
පුවත ඇතුළත් ‘‘සසර සැරිසරන තෙක්‘‘ කෘතිය කියවා අවසන් කළේ මෑතක. ප්‍රේමකීර්ති
කියන්නෙ මම හද පත්ළෙන්ම ආදරය කරන ගේය පද රචකයෙක්. අවුරුදු 42 ක් තරම් කෙටි කාලයකදි
මේ තරම් අපූරු ගී ගොන්නක් කොහොම ලිව්වද කියල හිතාගන්නත් බැරි තරම්. කෘතිය තුළ කීප
තැනකදිම ඒ ගැන සඳහන් වෙන්නෙ සංසාර හුරුවක් විදියට.
ගීතනාත් කුඩලිගම |
ප්‍රේමකීර්තිගේ මව්පස, පියපස ඥාතීන්, පළමු බිරිඳ
දයා ද අල්විස්, දෙවන බිරිඳ නිර්මලා ද අල්විස්, දුව සුරංගි සහ පුතා පූර්ණ, වෘත්තීය
සගයන් මේ සියල්ලන් සමඟ කළ සංවාද, ලබා ගත් ලිපි ඇසුරින් සකස් කර ඇති මේ කෘතිය ඉතා අගනා
ප්‍රයත්නයක්. විශේෂයෙන් එක් කාලයක ලක්බිම රිද්ම අතිරේකයේ පළ වූ දයා ද අල්විස්
මහත්මිය විසින් ලියූ ‘‘එකෝමත් එක දවසක‘‘ ලිපි පෙළත් කෘතියට ඇතුළත්. තමන්ගේම
ජීවිතයේ අනේක විද දුක්ඛ දෝමනස්සයන් එතරම්ම මැදිහත්, සංවේදී, කාව්‍යමය හදවතකින් නැවත
ලියන්නට හැකිවීමත් අපූරු දෙයක් කියලයි මට හිතෙන්නෙ.
ප්‍රේමකීර්ති ද අල්විස් |
ගේය පද රචකයෙක්, නිවේදකයෙක් ලෙස චිරප්‍රසිද්ධ ප්‍රේමකීර්ති
සුන්දර කවියෙක්, චිත්‍ර ශිල්පියෙක්, යහපත් මිත්‍රෙයක්, අපූරු මිනිසෙක් කියන්නට අප්‍රමාණව
කරුණු කාරණා ‘‘සසර සැරිසරන තෙක්‘‘ කෘතිය පුරා ම. ඔහුගේ සරල ගී, ජනප්‍රිය ගී, චිත්‍රපට
ගී මේ ගී සියල්ල ඇතුළත් ගී නාමාවලියත්, ඡායාරූප ගොනුවත් ගීතයට, ප්‍රේමකීර්තිට පෙම්
බඳින සහෘදයනට අපූරු ධන නිධානයක් වේවි.
මේ මා හද පත්ළෙන්ම ආදරය කරන ප්‍රේමකීර්ති ලියූ
ගීයක්...
හද දියව ගලා යයි රැළිලමින් සැලි සැලී
මෙවන් සුව පෙර නොවිඳි තුන් සිතම සලිත වෙයි
සසර සැරි සරන තෙක් ඔබ මගේ.. ඔබ මගේ
හිරු නිවී මුහුදු තෙර රාත්‍රිය එලඹිලා
තරු කඩා වැටෙන විට අහස් ගඟ කලඹලා
මට බලා ඉන්න බෑ ඔබේ නුවන් පෙනෙනවා
සසර සැරි සරන තෙක් ඔබ මගේ...ඔබ මගේ
නා ගසක් දලු දමා වසන්තය එලඹිලා
මද පවන් රැල් වැදී සැලෙන විට කැලඹිලා
මට බලා ඉන්න බෑ දෙතොල් ඔබේ පෙනෙනවා
සසර සැරි සරන තෙක් ඔබ මගේ...ඔබ මගේ
යුග ගණන් පැමිණි මඟ පැටලිලා වැරදිලා
ඔබ මගෙන් වෙන්ව ගිය ලකුණු ඇති මාවතේ
මට බලා ඉන්න බෑ පෙර ඇසුර හැඟෙනවා
සසර සැරි සරන තෙක් ඔබ මගේ...ඔබ මගේ
අහස් තල පොලෝ තල ඔබට මට පොදු වෙලා
හදවතින් එක් වුවත් ගතින් දෙදෙනෙකු වෙලා
මට බලා ඉන්න බෑ සියොලඟම තැවෙනවා
සසර සැරි සරන තෙක් ඔබ මගේ...ඔබ මගේ
පොතට නම එන්නෙ එතනින්...
‘‘සසර සැරිසරන තෙක්” ........ ඔබ මගේ..... ඔබ මගේ....
ප.ලි.
මේ ලිපිය ලියමින් සිටින අතරතුර ගීතනාත් කුඩලිගමයන් හමුවන්නට ලැබීම අහඹු අසිරියක්... පොතට ඇතුළත් නොවූ බොහෝ දෑ කතාබහ කරන්නට ලැබීම අමතක නොවන මතකයක්...