දසවසකට එපිට අතීතයේ දවසකි. නිස්කලංක රාත්‍රියකි.
පොල්වත්ත දෙව්අරණ මධ්‍යස්ථානයේ පැවති ළ.ක්‍රි.වී. ජාතික කමිටු හමුවක පළමු රැය ය. ලංකාව හතරදිග්
භාගයෙන් පැමිණි ළෙංගතු සිනා මුහුණු දක්නට ලැබිණි.
'' අපි එක කණ්ඩායමක් විදියට වැඩ කරද්දි
නමින්, ගමින් විතරක් දැන ගැනීම විතරක් මදි. ඊට එහා ගිය ගැඹුරු අවබෝධයක් එකිනෙකා ගැන
තියෙන්න ඕන. අපි ආරම්භයක් ගනිමු. අපි අපි ගැන කතා කරමු. අපේ ජීවිත ගැන කතා කරමු.''
පියතුමා වැඩසටහන් පෙළගැස්ම හදුන්වා දුන්නේය.
තුණ්ඩු ඇදීම මගින් අධ්‍යාත්මික ජීවන පංගුකාරිත්වයට අයෙකු තෝරා ගැනීමට අවස්ථාව
සැලසිණි. සමාන අංක හමුවුණු අයට සමීපව කතා කරන්නට අවැසි තරම් කාලයක් ලැබිණි.
මට හමුවුණේ ඇය ය. ස්වර්ගීය සැලසුමකට නතු වූ දෛවෝපගත
හමුවක් ම විය හැකි ය.
අපි එළිමහනට පිවිසියෙමු. එය තාරකා දිදුලන
සිහිලැල් රාත්‍රියකි. දෙව් අරණ ගෙමිදුලේ වූ විසල් අඹ ගස පාමුල තණ නිල්ලෙහි වාඩිගත්
අපි ජීවිතේ පළමු වතාවට එකිනෙකාගේ දෑස් දෙස විමසිල්ලෙන් සැලකිල්ලෙන් බැලීමු.
සිනාවෙහි, කතාවෙහි, හැසිරීමෙහි සංයමය
නිරන්තරයෙන් බිඳගන්නා දාංගල් කෙල්ලක
ලෙසිනි ඇය මා සිතේ නැවතී සිටියේ. ඉන්පෙර සැබවින්ම ඈ මසිත දිනූ යුවතියක් නොවීය.
''මං ඔයාට පොඩ්ඩක්වත් ආස නැහැ ඒ දවස්වල. මහ
පණ්ඩිත ආඩම්බර කෙල්ලෙක් කියල මං හිතන් උන්නෙ." මා ගැන ඈ සිත ඇඳී පැවතියේ එබඳු සිත්තමක් බව පසුකලෙක ඇය සිහිපත් කළේ කොක්සන් සිනාවක්
සමග ය.
එය හුදු කතාබහක් පමණක් නොවුණි. හදවතේ වාන්
දොරටු මුළුමනින්ම හැර දැමුණි.
නම, ගම, පවුල, ළ.ක්‍රි.වී.ය, පරිසරය,
දේශපාලනය සමග දිගට ඇදී ආ කතාබහ ප්‍රේමය අබියස සමාධිගත වූයේ නොසිතූ විරූ ලෙස ය. ළ.ක්‍රි.වී.ය
ළමුන් හා බැදී පැවතුණු බැවින් යෞවන ප්‍රේමයට නිරන්තර සංයමය රැකගන්නට සිදු වේ. ආදර
කතන්දර අඩුවක් නොවූවත් ඒ ගැන එළිපිට කතාබහ සිදු නොවූ තරම් ය. නමුත් ඒ නිස්කලංක
රාත්‍රියේ හද දොරටු විවර කරන්නට කිසිදු බාධාවක් නොවිණි. ඉතින් අපි අපේ ප්‍රේම කතාව
දිග හැර ගතිමු.
ඉරණම්සහගත ලෙස එකී කතාව ගෙතී තිබුණේ එකම ලතාවකට
ය.
සිත් බැඳී තිබුණේද, බිඳී තිබුණේද,
රිදී තිබුණේද එකම විදියට ය. එකම කඳුලකි. එකම
සුසුමකි. එකම රිදවුමකි. අප සිත් නොබිදෙන මිත්‍රත්වයකින් බැදෙන්නට එයම ප්‍රබල
හේතුවක් වූවා විය හැකිය. රෑ මැදියමත් මැදිහත්ව අපේ කතා අසා සිටියේය.
කොක්සන් සිනාවකට නිහඬ හසරැල්ලක් කදිමට යා වී තිබුණි. ගැඹුරට පෑහි
තිබිණි. එදවස ඇරඹී වර්තමානය හරහා අනාගතයට ඇදී යන අප මිත්‍රත්වය සැබවින්ම දිව්‍යමය අසිරියකි.
මනුෂ්‍යත්වය පිළිබඳව දුර සිට ගනු ලබන පූර්ව නිගමන කොතරම්
අසාධාරණ ද? අයුක්ති සහගත ද? අනෙක් අතකින් මනුස්සකම යනු කොයියම්ම මොහොතක හෝ සිය ඓශ්චර්යයෙන්
විකසිතව ලොවක් එළිය කළ හැකි දීප්තිමත් තාරකාවක් නොවේද?
ඇගේ සමාජ විෂය කාන්තාව, දේශපාලනය වන විට මගේ
සමාජ විෂය ළමුන් හා නව යෞවනය සමග බැඳී පැවතිණි. ඇය
උද්ඝෝෂණ, පෙලපාලි, පිකටින්, කාන්තා ප්‍රශ්න, කම්කරු ප්‍රශ්න හා ගැටෙන විට මම
ළමුන්, නව යෞවනය, දෙමව්පියන්, කලාව සාහිත්‍යය සමග නිස්කලංක ගමනක යෙදුණෙමි. නමුත්
අපේ මිතුදමට එයින් කිසිදු බාධාවක් නොවීය. මේ ගෙන්දගම් පොළවේ විඩාපත් වන සිත සනසා
ගන්නට ඇගේ නිවහන මට සෞම්‍ය ස්නේහයේ නවාතැනක් ම විය.
ඉදින් මැදින් මහේ පළමුවැනිදා මගේ ආදරණීය
යෙහෙළිය මනාලියක ලෙස පුදසුන අබියසට පිවිසෙන්නී ය.
ආදරණීය කුමී....... ලෝකයම ගැන ස්නේහයෙන් දුව
ඇවිද්ද හිතකට කුටුම්භය කුඩා වැඩි වේවි ද? එය එසේ නොවේවා. ඒ මගේ පැතුමයි.
සුවිසල්
ප්‍රේමයක පෙළහර නව යුගදිවියටත් ආශිර්වාදයක් ම වේවා..
......''''''''''......
( මැදින් මහේ පළමුවැනිදා ‘‘තරුරසී” ගේ
දෙවෙනි උපන්දිනය යි. නමුත් ඒ වෙනුවෙන් විශේෂ
යමක් ලියා තබන්නට අවකාශ නොලැබෙනු ඇත. මටත්, තරුරසීට ත් ආදරය, ධෛර්යය දුන් සැමට හදවතින්ම
තුති. )