දරු ගැබට අත තියාගෙන සිටින උත්තරාදේවී සහෝදරයා ටෙලි නාට්‍යෙයන් |
ඒ අම්මා උන්නේ අමුතුම ඉරියව්වක. එතැන උන්නු පණහකට එහා පිරිස අතරෙ ඒ ඉරියව්ව විශේෂයෙන් කැපී පෙනුණෙ එයා එතන උන්නු පිරිස විතරක් නෙවෙයි, සමස්ත ප්‍රජාවම ප්‍රතික්ෂේප කරන්න වගේ, තවත් අතෙකින් ඒ කිසිවක් ගැන කිසිම හැඟීමක් නැති ආකාරයකින් උන්නු නිසා. මට ඒ අම්ම හමුවුණේ මෑතක කයිට්ස්වල ඇතුළත ගම්මානයක දරුවන් සමඟ වැඩකට ගිහින් හිටි අවස්ථාවක.
උත්තරා දේවි දැන් දරු ප්‍රසූතිය ආසන්නයේ. ඇයත්,
දරුවාත් වෙනුවෙන් කැපවෙන්න රජීව්ගෙ සොයුරියත් නැවත ගෙදර එනවා. රජීව් නැති අඩුව
පුරවන්න බැරි බව ඇත්ත. ඒත් අජන්ත තමන්ගෙ උපරිමයෙන්ම උත්තරා දේවිට සුවපහසුව සලසන්න
කැපවෙනවා. යුද්දය නිසාත්, බලලෝභී දේශපාලන අර්බුද නිසාත් තනිවුණු බොහෝ ගෑනුන්ට වඩා
උත්තරාදේවි වාසනාවන්තයි කියල මට හිතෙනවා. ඒ එක් පැත්තකින් ඇයව ආරක්ෂා කරන ආර්ථික,
සමාජ පසුබිමක් තිබීම. තවත් පැත්තකින් ඇයට සහය වෙන අජන්ත, අක්කා, යෙහෙළිය වැනි
කීපදෙනෙකු හෝ සිටීම.
ගැබිණි උත්තරාදේවිගේ ඉදිමුණු දෙපා තවන අජන්ත - සහෝදරයා ටෙලිනාට්‍යෙයන් |
පෙර කී අම්මා මට හමුවුණේ පුංචි ගම්මානයක කිතුනු
පිරිසක් එක්ව සංවිධානය කළ පාද නමස්කාරයකදි. අප නැවතී උන් දේවස්ථානයේ සිට
පාදනමස්කාරය පැවති කුඩා පිට්ටනියට අපි ගියේ තල් ගස් යායවල් මැදින් වැටුණු
අඩිපාරකින්. තැන තැන පාළුවට අත්හැරුණු අබලන් නිවෙස් දකින්නට තිබුණා. යුද සමයේ නටබුන්.
පාද නමස්කාරය අවසන් වුණේ පූජාවෙන්. පූජාව නිමවුණාම
දේවස්ථානයේ පියතුමා එහි සිටි දමිළ කිතුනු පිරිසට අපේ කණ්ඩායම හඳුන්වා දුන්නා. ඒ
හැමදෙනාම අප දෙස හැරී සිනා මුහුණින් අපව පිළිගත්තා. ඒවෙද්දිත් එතැන උන්
දරුවන්ව අපේ වැඩසටහනේදි හමු වී තිබුණ නිසා ඔවුන්ගේ සිනා මුහුණු විශේෂයෙන් කැපී
පෙනුණා.
මා කළින් කී අම්මා සිටියේ දමිළ පිරිසත්, අපත් අතරමැද බිම වාඩි වී පියතුමා
දෙස බලාගෙන. පියතුමා අප ගැන හඳුන්වා දෙන
විට පියතුමාට පසුපස හැරවූ ඈ අප දෙස බලනු වෙනුවට අප දෙපිරිස අතරින් කොහෙදෝ ඈතක බලා
උන්නා. ඒ මුහුණෙ තිබුණෙ කිසිවකුත්, කිසි දෙයක් ගණන් නොගන්නා හිස්බවක්. පියතුමාගේ
කතාවත්, අපේ කණ්ඩායමේ කතාවකුත් අවසන් වන තුරු ඒ ඉරියව්වෙන් එලෙසම සිටි ඈ සියල්ල
අවසන් වනවාත් සමඟ කිසිවෙකු දෙස හෝ නොබලා නැගී යන්නට ගියා.
ජීවිත කාලය පුරාම වින්ද වධ වේදනාවල හැටියට ඒ
අම්මල අපට වෛර කළත් සාධාරණයි කියන හැඟීමයි එවෙලෙ මට දැනුණෙ. කිසිම හැඟීමක් පළ නොකළ
ඒ වියලි දෑසත්, මුහුණත්, ඒ අනපේක්ෂිත හැසිරීමත් මගේ හිතේ ඇඳිල තිබුණා.
අවසන් යුද්දයෙන් මිය ගිය ස්වකීයයන් සමරන දමිළ මවක් - සේයා රුව සම්පත් සමරකෝන්ගේ මූණුපොත් පිටුවෙන් |
සියලු වැඩ අවසන්ව රාත්‍රියේ දවස පිළිබඳ
සමාලෝචනයෙදි මගේ අදහස් දැක්වීමෙදි මම ඒ අම්ම ගැනත් මතක් කළා. ඒ මොහොතෙ පියතුමා
කිව්ව කතාවත් එක්ක අපි හැමදෙනාගෙම හිත් ආයෙ අලුත් වටයකින් රිදුම් දෙන්න ගත්තා.
‘‘ඉන්දීය සාම සාධක හමුදාව ආව වෙලාවෙ මේ පැත්තෙන්
ගහගෙන, ගහගෙන මේව හිස්කර ගෙන තමයි යාපනේට ගිහින් තියෙන්නෙ. මේවයෙ උන්න මිනිස්සු
මරල, ගැහැනුන්ව දූෂණය කරලා, ගොඩක් කාන්තාවන්ට හිරිහැර වෙලා තියෙනවා. ඒ වගේම
හමුදාව, පොලිසිය නිසා තාත්තලා නැති දරුවො ලැබුණු අම්මලත් මේ පැතිවල ඉන්නවා. ඒ අම්ම
එහෙම කෙනෙක්. එයාට ඉන්නවා තාත්තෙක් නැති දරුවෙක්.‘‘
අතුරුදහන්වූවන් පිළිබඳ යුක්තිය ඉල්ලා සිදුකරන සත්‍යග්‍රහයක සන්ධ්‍යා එක්නැලිගොඩ ඇතුළු දමිළ මව්වරුන් පිරිසක් සේයා රුව - ලාල් ලක්ෂ්මන් |