 |
අවන්අහලේ ආලින්දය |
ආර්ථික
සංවර්ධනය ගැන කතා බහක් ඇහෙන හැම අවස්ථාවකම මගේ හිත ඇදෙන්නෙ ජපානයට.. 2011 වසරේ ග්‍රාමීය
කාන්තාව සවිබල ගැන්වීම කියන තේමාව යටතේ ජපානයේ පැවති පුහුණුවකට සම්බන්ධ වෙන්න
අවස්ථාව ලැබුණා. ශිකෝකු දූපතේ ටකමට්සු නගරය ආසන්නයේ අයගාවා කියන සුන්දර ගොවි
ගම්මානයේ පැවති OISCA පුහුණු මධ්‍යස්ථානයෙදියි මේ පුහුණුව පැවැත්වුණේ.
පාඨමාලාවට නියමිත අධ්‍යයන චාරිකාවන් අතර ඔයිටා දිස්ත්‍රික්කයේ ‘‘එක් ගමක්- එක්
නිෂ්පාදනයක්‘‘ (One
Village One Product) ආර්ථික සංවර්ධන වැඩපිළිවෙල අධ්‍යයනය කරන්නට ලැබුණු
අවස්ථාව හරිම සුවිශේෂීයි..
කෘෂි
සංචාරක කර්මාන්තය, කාබනික ගොවිපළවල්, ආහාර
නිෂ්පාදන ආයතන, අවන්හල්, සාම්ප්‍රදායික කර්මාන්ත, බොන්සයි මධ්‍යස්ථාන, වයින්
නිෂ්පාදනාගාර මේ වගේ බොහොමයක් තැන්වලට
යන්නත්, අධ්‍යයනය කරන්නත් අවස්ථාව ලැබුණා...
ජපානය
කාර්මික අතින්, නවීන තාක්ෂණය අතින් ඉතාම දියුණු තලයක තියෙන රටක් වුණත් එහි
කෘෂිකර්මාන්තයට ලැබෙන්නෙ අද්විතීය ස්ථානයක්. නිරෝගී සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට මහත්
කැමැත්තක් දක්වන ඒ නිසාම රස ගුණ පිරි පෝෂ්‍යදායී ආහාර සම්බන්ධයෙන් වැඩි අවධානයක්
යොමු කරන රටක් බව පැහැදිලිවම දකින්නට ලැබෙනවා. ‘ආහාර
කියන්නෙ ජීවිතය‘ අපට අධ්‍යයනය කරන්නට ලැබුණු සෑම ආහාර නිෂ්පාදන ආයතනයක්ම, ගොවිපළක්ම, අවන්හලක්ම මේ ආදර්ශ පාඨය අනුගමනය කරමින් ආදර්ශමත්
සේවාවක නිරත වනවා.
මුදලට වඩා මුල් තැන දෙන්නෙ ජීවිතයට.. පරිසරයට...
ආර්ථික
සංවර්ධනය සම්බන්ධයෙන් මහා පරිමාණ වැඩ ගැන හිතන අපිට, ලංකාවේ තරම් ස්වාභාවික සම්පත්
පවා නැති, දෙවෙනි ලෝක යුද්ධයෙන් පස්සෙ නැත්තටම නැති වෙලා ආයෙම මුල ඉඳන් ගමනක්
ආරම්භ කළ අද ලෝකයේ දියුණුම රටවල් අතර ඉන්න ජපානයෙන් ඉගෙනගන්න බොහෝ පාඩම් තියෙනවා. විශේෂයෙන්ම
අපේ ගම්පළාත්වල ඇති සම්පත් උදව් කරගනිමින් සුළු හා මධ්‍ය පරිමාණ කෘෂි කර්මාන්ත සහ
සාම්ප්‍රදායික කර්මාන්ත දියුණු කරන විදිය ගැන, මේ කර්මාන්ත දෙස් විදෙස් සංචාරක
කර්මාන්තය සමඟ බද්ධ කරන ආකාරය ගැන ජපානය අපට අපූරු අත්දැකීම් කියා දේවි.
සකුරා
දේශයේ සුන්දර අධ්‍යයන චාරිකාව තුළ ලැබූ එක් අත්දැකීමක් මෙලෙස ඔබ හා බෙදාගන්න
කැමතියි.
ෆයින්
තුරු යායෙන් වටවුණු යෂුදා ගඟ අද්දර උමජි මුරා ගම්මානය.......
උමජි
කියන්නෙ ශිකොකු දූපතේ, අකි පළාතේ, කොචි දිස්ත්‍රික්කයේ පිහිටි හරිත වනගහණයකින් වට
වුණු ඉතාම ලස්සන ගම්මානයක්. සුපැහැදිලි නිල් දියවර සමඟ ගලා යන යෂූදා ගඟ ගම්මානයට
එක්කරන්නෙ ශෝබමාන සුන්දරත්වයක්. දහසක පමණ ජනගහණයක් සිටින මේ ගම්මානය ඉතාම දුෂ්කර
තැනක ඉඳල මහත් කැපකිරීමකින් අද සිටින තත්වයට ඇවිත් තියෙනවා.. අතීතයේ වාහනයකින් යා
හැකි මාර්ගයක්වත් නොතිබුණු බවයි දැනගන්නට ලැබුණේ. ගමෙන් 75% ක්ම තියෙන්නෙ කැලෑව. ඒ
ෆයින් කැලෑවත් දෙවන ලෝක යුද්දයෙන් පසුව ජනතාව විසින්ම වගා කළ ඒවා.
මේ
ගමේ ප්‍රධාන ආදායම් මාර්ග තුනක් මට දකින්නට ලැබුණා.
එකක් යුෂු වගාව. යුෂු කියන්නෙ
දෙහි කුලයට අයිති ශාකයක්. දෙහි ගෙඩිය
ගමෙන් පිටට යන්නෙ දෙහි විදියට නෙවෙයි. නිමි නිෂ්පාදන විදියට. දෙහි යුෂ, විවිධ පාන
වර්ග, ජෑම්, ආලේපන වර්ග සහ වෙනත් විවිධ නිෂ්පාදන විදියට. දෙහි ගෙඩියේ පොත්ත, ඇටය
පවා මේ නිෂ්පාදනවලට යොදා ගන්නවා. ඒව හදන්නෙත් ගමේම කර්මාන්ත ශාලාවක. අති නවීන
තාක්ෂණ ක්‍රමවේදයන් සමඟ ඉතාම සෞඛ්යාරක්ෂිත විදියට. මේ කටයුතුවලට දායක වෙන්නෙත්
ගමේ අයමයි.
යුෂු
නිෂ්පාදන සඳහා වන දැන්වීම්, පෝස්ටර් සඳහා පෙනී සිටින්නෙත් ගමේ අයමයි. නළු නිලියො
නෙවෙයි. ගමේ ගොවියන් වගේම ආච්චිල, සීයලා, පුංචි දරුවො එකතු වෙලා හැදුණු මේ
දැන්වීම් හරිම නිර්මාණශීලීයි.
අවශ්‍ය
කරන මූලික පහසුකම් සඳහා ප්රාග්ධනය සැපයීම සිදුවෙලා තියෙන්නෙ මධ්‍යම රජයෙන් සහ
පළාත් පාලන ආයතන මඟින්. නමුත් දැන් එය ශක්තිමත් ව්‍යාපාරයක් ගම විසින්ම පවත්වාගෙන
යන.. අපි අධ්‍යයනය කළ හැමතැනකදිම විශේෂයෙන් දුටු දෙයක් ජපන් කෘෂිකර්ම සහයෝගිතා
පදනම (JA) ඉතාමත් ශක්තිමත් නිදහස් සංවිධානයක් ලෙස කෘෂිකර්මය
නගා සිටුවීමට දෙන දායකත්වය. උමජිමුරා ගම්මානයෙත් එලෙසමයි. අතරමැදියන් නොමැතිව තම
කෘෂි නිෂ්පාදන අලෙවි කර ගැනීමේ හැකියාව ගොවීන් වෙත ලබා දී තිබෙනවා. ඒ වෙනුවෙන් 10%
-15% අතර මුදලක් ගොවියන් විසින් කෘෂිකර්ම සංවිධානයට ලබා දෙනවා. ආපසු එම මුදල
යෙදවෙන්නෙත් කෘෂිකර්මයේ සංවර්ධනයටම වීම සුවිශේෂයි. මෙය ඉතාම සාර්ථක, ඵලදායී ක්‍රමවේදයක්.
ලංකාවෙ ගොවි සමිති, සංවිධාන මේ මට්ටමට දියුණු කළ හැකි නම්, දීපව්‍යාප්ත එකම
සංවිධානයක් ලෙසට ඒකරාශී කළ හැකි නම් රාජ්‍ය සහ පෞද්ගලික අංශයට තීරණාත්මක බලපෑමක්
කරන්න හැකි වේවි...
උමජිමුරා
ගම්මානෙදි මට නිතරම මතක් වුණේ දෙහි වාරෙට අපතේ යන, කුණුකොල්ලෙට විකිණෙන අපේ දෙහි................
අඹ, කොස්,දෙල්,මඤ්ඤොක්කා, අල, බතල, තක්කලි....
මේ
භවබෝග සම්පත් නිමි නිෂ්පාදන විදියට දෙස් විදෙස් වෙළඳපළ ඉලක්ක කරගෙන ගමෙන් පිටට යවන්න
පුළුවන් දැනුම, තාක්ෂණය, කර්මාන්ත ශාලා ගමට දෙන්න පුළුවන් නම් කොයි තරම් වටිනවද?
මං හිතන්නෙ මධ්‍යම සහ පළාත් රජයන් අවධානය දිය යුතු වෙන්නෙ මෙවැනි ආර්ථික
සංවර්ධනයකට.. ආධාර දීම, ඇට පැළ බෙදා දීම ගමේ ආර්ථිකය තහවුරු කරන්න සමත් නැහැ.
එහෙම පුලුවන්කමක් තිබුණා නම් පහුගිය රජය සමයේ දිවිනැගුම හරහා වියදම් කළ අසීමිත
මුදල් කන්දරාවෙන් මේ රට සුරපුරයක් තරම් ස්වයංපෝෂිත වෙන්න ඕන.
ජනසවිය,
සමෘද්ධි, දිවිනැගුම......... දිළිඳුකම පිටුදැකීමේ මේ සියලුම සංවර්ධන වැඩසටහන් මේ
දූපත ඇතුළෙ අසමත්. හුදු ආධාර දීමෙන්, ණය භාණ්ඩ හා උපකරණ බෙදාදීමෙන් එහාට ගිහින් ස්වශක්තියෙන්
නැගී සිටින්න ධෛර්යය සපයන්න ඒ වැඩසටහන් සමත් නොවුණු නිසා දිළිඳුකමට ශක්තිමත්
පිළිතුරක් දෙන්න කිසිම රජයකට හැකි වුණේ නැහැ.
අපේ
රටේ ආර්ථිකය ගොඩනැගෙන්න ඕන අපේ සම්පත්, අපේ ශ්‍රමය, අපේ සැලසුම් හරහා අපේ දෙස්
විදෙස් වෙළඳපළ අපම ජය ගැනීමෙන් කියලයි මට හිතෙන්නෙ.. විදෙස් ආයෝජන මත ම යැපීම තාවකාලික
සාර්ථකත්වයක් ලබා දුන්නත් දීර්ඝකාලීනව එයින් රටට යහපතක් සිදුවේ යැයි හිතන්න අමාරුයි.
................
උමජිමුරා
ගම්මානයේ අනෙක් ජීවනෝපාය තමයි ෆයින් දැව කර්මාන්තය. දෙවන ලෝක යුද්ධයෙන් පසුව වගා
කළ මේ කැලෑව දැන් මහා විසල් ගස් බවට පත් වෙලා. ගස් කැපීම සිදුවෙන්නෙත් පරිසර
පද්ධතියට හානි නොවන විදියට. නැවත වන වගාව සිදු කරමින්. ඉතාම කුඩා ලී පතුරකින් පවා
ප්‍රයෝජනවත් අලුත් යමක් නිර්මාණය කරන්නටත් ඔවුන් දක්ෂයි. මේ පුංචි ගම්මානයේ කුඩා
දැව ප්‍රදර්ශනාගාරය තුළ ඉතාම ලස්සන අපූරු දැව උපකරණ, භාණ්ඩ අලෙවිය සඳහාත් ප්‍රදර්ශනය
සඳහාත් තිබෙනවා.
...............
දෙස්
විදෙස් සංචාරක කර්මාන්තය සමග බද්ධවෙමින් ආර්ථිකය නඟා සිටුවන්නත් උමජිය විශේෂ
අවධානයකින් කටයුතු කරනවා. යෂුදා නදියත් එක්ක සැදුණු අවන්හල් ඉන් විශේෂයි. එය
සාම්ප්‍රදායික ජපාන සංස්කෘතිකාංගවලට විශේෂ තැනක් දීල තියෙනවා. ආහාර පාන, නවාතැන්,
සංචාර මේ හැමදෙයකදිම ( මෙවැනි ම ගිම්හාන කාලයක ඒ ලැබූ සොඳුරු අත්දැකීම වෙන ම ලිපියක් ලෙස
ලිවිය යුතුයි. මගේ පළමු සහ එකම උණුදිය ස්නාන අත්දැකීමත් එක්කම... )
පුංචි
කෝච්චියෙන් පුංචි සවාරියක් යන්න ලබා දෙන අවස්ථාවත් අපූරුයි. කෝච්චි පාරක් හදල ගමේ
සොබා සෞන්දර්යය නරඹමින් එයින් සවාරියක් යන්න ඉඩ ලබා දී තියෙනවා. ස්වාභාවික ජල බලයෙන්
ක්‍රියාත්මක වන අපූරු වාහනයක නැගිල කඳු මුදුනට ගිහින්, කඳු මුදුනේ සිට අවට භූමි
දර්ශනය නරඹල ආපසු එන්නත් අවස්ථාව තියෙනවා. යුෂු කර්මාන්ත ශාලාව, යුෂු
පර්යේෂණාගාරය, අවන්හල සංචාරක අවධානය දිනාගන්නා තවත් විශේෂ ස්ථානයක්. මෙලෙසින් සංචාරක
ආකර්ශණය දිනා ගන්නට නිර්මාණශීලීව ගමේ පරිසරය යොදාගන්නට උමජි ගම්වාසීන් සමත් වෙලා
තියෙනවා.
විශිෂ්ඨතම
කාරණය වෙන්නෙ සංචාරක ආකර්ෂණය දිනා ගත හැකි ගමක් නිර්මාණය කිරීමේ කාර්යයේදී
සොබාදහමේ සුන්දරත්වයටත්, පාරිසරික අගයන්ටත් හානියක් නොවන විදියට එය සැලසුම්
කිරීමයි. විදේශ විනිමය දිනා ගැනීමේ ප්රමුඛ මාර්ගයක් විදියට සංචාරක කර්මාන්තය
හිස්මුදුනින් වන්දනා මාන කරන අපි අපේ මේ පුංචි දූපතේ ලස්සනත්, පාරිසරික අගයත්
රැකගනිමින් සංචාරක ආකර්ෂණය දිනා ගැනීමට කටයුතු කරනවද යන්න වඩාත් ගැඹුරින් සිතා
බැලිය යුතුයි.
..............
ජපානයේ
අති දුෂ්කර ප්‍රෙද්ශයක දිළිඳුම ගම්මානයක් දියුණු, සංවර්ධිත මට්ටමට ළඟා වුණේ
දීර්ඝකාලීන සැලසුම්, පරාර්ථයෙන් පිරි කැපකිරීම්, ගමටත් මිනිසුන්ටත් සොබාදහමටත් ඇති
ආදරය - ගෞරවය, අන්‍යෝන්‍ය සහජීවනය නිසා බව මේ සොඳුරු සැරිසැරුමෙදි මැනවින් පැහැදිලි
වුණා.
අපේ රටටත් තිරසර සංවර්ධනයක් උදාවෙන්නට නම් ආකර්ෂණීය මැතිවරණ පොරොන්දුවලින් එහාට ගිය, දුර දැක්මක් සහිත රටටත්, මිනිසුන්ටත්, පරිසරයටත් ආදරය කරන ආර්ථික වැඩපිළිවෙලක් අවශ්‍යයි. පාලන තන්ත්රයත්, රාජ්‍ය සහ පෞද්ගලික අංශයත්, රටේ ජනතාවත් ඒකරාශීව කැපවෙන වැඩපිළිවෙලකින් මිස ආණ්ඩුවෙන් ආණ්ඩුවට වෙනස්වන සහන මලුවලින් නම් මල්වෙඩිල්ලකට එහා ආලෝකයක් ලබා ගන්නට හැකි වේ යැයි සිතිය නොහැකියි.