පිටු

Monday, April 27, 2020

මටත් ඉන්නවා පොඩි දුවෙක්...


අම්මා කෙනෙකුට තමන්ගෙ දියණිය ගැන මේ විදියට ලියන්න පුළුවන් වෙන එක කොයි තරම් සතුටක්ද? ඒ අම්මගේ තාත්තගේ ආදරයෙදිත්, විවාහ ජීවිතයෙදිත් ළගින් උන්නු කෙනෙක් විදියටත්, ගුණගරුක යහපත් දියණියක් විදියට ඇ උපතේ ඉඳන් හැදුණු වැඩුණු හැටි බලන් උන්නු ලොකු මම්මා විදියටත් අද මම මේ සටහන ඔබත් සමඟ බෙදා ගන්නෙ ගොඩක් සතුටින්...

දූගෙ අම්මා දූ ගැන ලියූ අපූරු සටහන.... 

අසනීප වුණු අම්මව හරි ආදරෙන් බලාගන්න,
උදෙන්ම නැගිටලා රස තේ කෝප්පයක් හදල ලගට ගෙනත් දෙන,
හාල් ටික හෝදලා බතක් උයල දෙන,
ගේ දොර හරි පිළිවෙලට අතුපතු ගාල දෙන,
තමන්ගෙ රෙදි ටික තනියම හෝද ගන්න.......

හරි ආදරෙන් අම්මගෙ වේදනාව ගැන කතා කරන,
බෙහෙත් හේත් ටික වෙලාවට ලගට ගෙනත් දෙන.....

හරි හරියට පොත් කියවන...පොත් රාක්කෙ අතරමං වෙන,
පොත් ගන්නම හරි හරියට සල්ලි ඉතුරු කරන,
වේදිකා නාට්‍යක් , හොද චිත්‍රපටයක් අත හරින්න කැමති නොවෙන,
මේ දවස්වල මහ රෑ වෙනකල් තාත්තා එක්ක අපූරු චිත්‍රපටි බලන,
 
ඒවා ගැන කතා කරන.....

පොඩි එළවලු කොටුවක තාත්ත එක්ක පැළ හිටවන ,
Youtube එකේ හරි අපූරු සිංදු හොයන , අහන ,
තනියම උනත් සෙල්ලම් ගෙදරක සෙල්ලම් බතක් උයන,
පොතේ පතේ වැඩත් අමතක නොකරන....

තමන් ළග ඇති දේ අනිත් අයට දෙන්න හොද හිතක් තියෙන ,
රසම රසට අච්චාරු පිගානක්ම හදන....
හැමදාම බිම ඉදගෙන අම්ම තාත්තා එක්ක ජේසුට ඔරසන් කියන ,
ජේසුගෙ ආදරේ ගැන පුදුම දේවල් කතා කරන,
ඔක්කොම එක්ක හරිම හොද හදවතක් තියෙන ,
ජේසු මට දුන්නු වටිනාම තිළිණයක් වෙන,
හරි අපූරු දුවෙක් මටත් ඉන්නවා ......


දූ පුංචි කාෙල දූෙග අම්මයි, මමයි ඒක්ක. ඒදා මෙග් උපන්දිනය... 2010 වසෙර් ෙස්යාරුවක් 

Sunday, April 26, 2020

සොල්දර ගෙදර



සොල්දර ගෙදර - ජයකොඩි සෙනෙවිරත්න
ප්‍රථම මුද්‍රණය - 1980 අගෝස්තු 20 වැනි දා
කංචුකය - බන්දුල හරිශ්චන්ද්‍ර
ප්‍රකාශනය - දයාවංශ සහ ජයකොඩි සහ සමාගම

70 - 80 දශකයන්හි පොත් කවර නිර්මාණය සිත්තරුන්ගේ කාර්යයක්ව පැවති බව එකල පළ වූ බොහෝ කවර ප්‍රසිද්ධ සිත්තරුන්ගේ නිර්මාණවලින් සැරහී තිබීමෙන් පැහැදිලි වේ. බන්දුල හරිශ්චන්ද්‍රත් ඒ අතර සිටි පළපුරුදු, ප්‍රවීණ පොත් කවර නිර්මාණ ශිල්පියෙකි.

ආකෘතික වෙනස්කම් කිහිපයක් සමඟ ගලා යන සොල්දර ගෙදර නවකතාව, කතාවක් තුළ ලියැවෙන තවත් නවකතාවක් ලෙසින් නිර්මාණය වී ඇත. කතා දෙකෙහිම පාත්‍ර වර්ගයා එක ය.  රසය, කුතුහලය නොසිඳ පවත්වා ගැනීමට එකී ආකෘතික වෙනස්කම් උපකාරී වී ඇත. නිල්තලාව ගම්මානයට පළමු පත්වීම ලබා එන රණවීර නම් තරුණයා, ගම්මානයේ ප්‍රභූ පවුලක හේමා මැණිකේ නම් රුවැති තරුණිය සමඟ බින්න විවාහයකින් බැඳෙමින් නිල්තලාවේම පදිංචි වන අතර ඔහු පාසලේ දියුණුවට කටයුතු කරමින් එහි මුල්ගුරු පදවිය දක්වාම පැමිණේ. කතාව ඇරඹෙන්නේ ඔවුන් දෙදෙනාගේම මරණයෙන් පසුව ඔවුන්ගේ දරුවන් වන සුසිල් සහ සුවිනීතා හරහා අතීත කතාව ඉදිරිපත් වන ආකාරයෙනි. රණවීර පවුලේ අතිශය සමීපතම මිත්‍රයකු වූ වීරසිංහ ඉස්කෝලෙ මහත්තයාගේ පුතා වන මධුර ද මෙහි ආරම්භයේම හමුවන ප්‍රමුඛ චරිතයකි.

නවකතාව තුළ වැඩි අවධානය යොමු ව ඇත්තේ විවාහ ජීවිතය තුළ ඔවුන් මුහුණ දුන් දරු සම්පත් අහිමි වීමේ අර්බුදය සහ පසුව ලැබෙන දරුවන් දෙදෙන උස්මහත් වූ පසු විශ්‍රාමිකව ගෙවෙන ජීවිතය පිළිබඳව ය. අවසානයේ හෙළිවන්නේ ඒ දරු දෙදෙනාගේද ජීව විද්‍යාත්මක පියා රණවීර නොව වීරසිංහ බවය.  කාලීන සමාජ දේශපාලනික පසුබිම කතාව සමඟ ඈඳී ඇත්තේ ඉතා සුළු වශයෙනි. එම පසුබිම තුළ තබා තවදුරටත් චරිත, සිදුවීම් සවිස්තරාත්මකව නිරූපණය වූවේ නම් කතාවට වැඩි බරක් එකතු වන්නට ඉඩ තිබිණි.

අසූව දශකය ආරම්භයේ දී පොත්  ප්‍රකාශනය සම්බන්ධව ලේඛකයකුට මුහුණ දෙන්නට සිදුවූ බරපතල ගැටලු දෙකක් පිළිබදව කෘතියේ පෙරවදනෙහි ලා ජයකොඩි සෙනෙවිරත්න ලේඛකයා දක්වන අදහස් කෙරෙහි අවධානය යොමුකරන්නට සිතූයේ අදත් මේ ගැටලු මීටත් වඩා බරපතල සහ සංකීර්ණ ලෙස සාහිත්‍ය  සමාජය මුහුණ දෙන අර්බුදයක් වන බැවිනි.

‘‘කිව නොහැකි තරම් බාධක හා ඉහිළුම් නො දෙන නිෂ්පාදන වියදම් නිසා අද ආධුනිකයකුගේ කෙසේවෙතත් පළපුරුදු ලේඛකයකු ගේ වුවද පොතක් පළ කරන්නට ප්‍රකාශකයෙක් ඉදිරිපත් වන්නේ කලාතුරකිනි. අද පොතක් පළකිරීම විශාල මුදලක් සමඟ කරනු ලබන අවදානම් සූදුවක් වැන්න.

මෙ බඳු අහිතකර තත්ත්වයක් පැවතුණද, පොතක් පළ වූ විට ලේඛකයාත් ප්‍රකාශකයාත් නැති කරන්නට අවි අමෝරාගත් විචාරකයින් යැයි කියාගන්නා ‘පුබ්බඩයින්‘  පිරිසක් මේ රටේ වෙති. නිතරම තමන් ප්‍රිය කරන කඳවුරක් හෝ නිකායක් රැක ගන්නට වෑයම් කරන මේ පුස්සන්ගෙන් ඉඳහිට අවලාදයක් නැගුණද ඒ ගැන තැකීමක් නොකොට පොත පත පළ කරන දයාවංශ ජයකොඩි හිතවතුනට මම ස්තුතිවන්ත වෙමි.“

Thursday, April 16, 2020

‘‘දවස තවමත් තරුණයි‘‘ - ජයලත් මනෝරත්න



‘‘දවස තවමත් තරුණයි‘‘ - ජයලත් මනෝරත්න
කවරය සහ චිත්‍ර සෝමසිරි හේරත්
පළමු මුද්‍රණය - 1980
සමන් සහ මදාර ප්‍රකාශකයෝ

බරසාර පොත් කියවීම මේ දිනවල තරමක් අසීරු කාර්යයකි. මනස එයට සූදානම් නැති බවක් හැඟේ. 83 පුස්තකාලේ පරණ පොත් ගොන්න නැවත පෙරලා බලන්නට සිතූයේ එබැවිනි. ‘‘දවස තවමත් තරුණයි‘‘ මුලින්ම කියවූවේ සැබවින්ම එය මෑත අප අතරින් වියෝ වූ සොදුරු කලාකරු ජයලත් මනෝරත්නගේ කෘතියක් වීම හේතුවෙනි. මෙය ඔහුගේ පළමු නවකතාවයි.
ආර්ථික අරගලය හේතුවෙන් ගමෙන් නගරයට විසිවන එක පවුලේ සොයුරන් තිදෙනෙකුගේ ජීවන අරගලය මෙම නවකතාවට පාදක වී ඇත. මෙය පළමු කොටස ය.දෙවෙනි කොටස ඒ පොත් ගොන්නේ නොවේ. පෙරවදනක් ලෙස කතුවරයා තබන සටහන ඔබ වෙත ගෙනෙන්නට රිසි වෙමි.
‘‘මෙම නවකතාව මවිසින් රචනා කරන්නට යෙදුනේ මීට පස් වසරකට පමණ පෙර  මා උතුරු මැද පළාතේ රාජකාරියේ යෙදී සිටි වකවානුව තුළදීය. අගනුවර කලබලකාරී, සංකීර්ණ පරිසරයෙන් ඈත් වී, ඈත වන්නියේ හද්දා පිටිසර අහිංසක ගැමියන් සහ වල්අලින් සමඟ ගත කළ එකී නිසංසල කාලපරිච්ඡේදය ජීවිතයේ ඉතාම සුන්දර අවදියක් සේ මා අදත් ආදරයෙන් වැළඳ ගනිමි.
ගමෙන් නගරයට සංක්‍රමණය වීම හෝ නගරයෙන් ගමට සංක්‍රමණය වීම පිළිබඳව හේතු ප්‍රත්‍යයන්, ප්‍රවණතාවයන්, සංඛ්‍යාලේඛන දත්තයන් හෝ වාර්තාවන් එක්රැස් කිරීමකට වඩා, එවැන්නවුන්ගේ ජීවන පසුබිම්, සිතුම් පැතුම් හා පුරුෂාර්ථයන්ද විශේෂයෙන් ගැමියන් හා බැඳී පවත්නා ජීවත්වීම සහ ජීවත් කරවීම පිළිබඳව අධිෂ්ටාන ශක්තියද නිරීක්ෂණය කිරීමටත්, විඳ ගැනීමටත් මසිත උපන් කුහුල මෙවැනි කතාවක් නිර්මාණය කිරීමට මා පෙළඹවිණැයි හඟිමි. මහ වරුසාව, ඉඩෝරය, වනාන්තරය, වන සත්තු සහ මහ පොලව මෙන්ම මරණය ද ගැමියනට ස්වභාවධර්මයක් පමණි. ස්වභාව ධර්මය හා ළඟින් සිටි තරමටම ජීවිතයේ ප්‍රශ්න ලිහිල් කරගත හැකි බව ඔවුහු දනිති. කාලීන වාසි තකා නගරයේ ටෙලිවිෂන් යුගයට මනසින් රිංගා ගැනීමට තැත් දරන ‘‘කබල් ගැමියන්‘‘ හෝ ලකුණු ලබා ගැනීමේ අවස්ථාවකදී පමණක් ගැමියන් වීමට තැත් දරන ‘‘කබල් නාගරිකයන් ද“ සිතින් කයින් රෝගීව සිටීමෙන් මේ බව වඩාත් ප්‍රත්‍යක්ෂ වේ.‘‘

සිදුවීම් දාමය ගලායන්නේ ගැමි වහරට සමීප කථන බසිනි. බස හැසිරවීම සිත් ගන්නා සුළු ය. චරිත හා සිදුවීම්  වඩාත් මානුෂික මුහුණුවරකින් ඉදිරිපත් වේ.  පුදුම විය යුතු නැත. එය මනෝරත්නගේ කෘතියකි. හැත්තෑව දශකයේ ගමෙන් නගරයට ආ ලොක්කෙ, මද්දුමේ, පොඩ්ඩේ, ඇන්ටන් වැනි තරුණ පිරිස් මුහුණ දුන් ගැටලු අදටත් වෙනසක් නැත. ඒවා වඩාත් සංකීර්ණව හා බරපතලව අද තාරුණ්‍යයට අභියෝග කරමින් හිඳින බව වසර විස්සක නාගරික ජීවිතය හා සිතින් සක්මන් කරමින් මම කල්පනා කළෙමි.

‘‘අම්මගෙ කල්පනාවෙ හැටියට ජීවිතේ කියන්නෙ මහපොලව. මහපොලව නැත්නම් අපි කොහොමද ජීවත් වෙන්නෙ. මහපොලවට අපි සලකනතාක් කල් මහපොලවත් අපිට සලකයි. මහපොලවට ගරහන්ට හොඳ නෑ....
කොහෙන් ගියත් අන්තිමට අපිට ඉතුරු මහපොලව විතරයි. මහපොලව අපේ නෙවි. අපි මහපොලවෙ. මහපොලවට කෙල ගහනව කියන්නෙ අපි අපේම මූණට කෙල ගහ ගන්නවා කියන එක. නැද්ද? වැහිනිල්ලක් වැහැල, වතුර පොදක් ගලල, ගහක දල්ලක් ලියලල, මලක් පොහොට්ටවක් පිපිලා, මහ පොලව හීතල වෙලා යනව කියන්නෙ අපෙ පපුව හීතල වෙලා යනව කියන එක නෙවිද?“
52 - 53 පිටු



Friday, April 10, 2020

කුමර කොබෙයි සොනාටාව


කුමර කොබෙයි සොනාටාව
සීතා රංජනී -  2020 ජනවාරි 15

‘‘මොන එහෙකට ඔයා ඉන්දිකාට කසාද බඳින්න බල කරනවද? ඔයාටවත් හරිහමන් පවුල් ජීවිතයක් නැති එකේ අනුන්ට පිරිමි හොයලා දෙන්න ඔයාට පුලූවන්ද ?’’

අරුන්දතී නිර්මලාගෙන් එසේ අසන්නේ ඉන්දිකාගේ අන්තර්ජාල පෙම්වතා මුණ ගැහෙන්නට දින හතක් පුරා, කිලෝමීටර් 5000ක දුරක් යා යුතු මහාද්වීපික සංචාරයේදීය. මාරුවෙන් මාරුවට කාරය පදවමින්, අධිවේගී මාර්ග, සාමාන්‍ය මාර්ග, අතුරු මාර්ග, කඳු, තැනිතලා, කාන්තාර, ගම් නගර මෙන්ම මහාද්වීපික සංස්කෘතික විවිධත්වය හා සංකීර්ණත්වය හරහා ගැහැණුන් තිදෙනෙක් එක්ව යන මෙම ගමන තුළ ආලෝක කදම්බයක් විහිදුවමින් විවෘත වන්නේ ස්තී‍්‍ර ආත්මය නම් මහාද්වීපික කතිකාවයි.

මෙම ගැහැණුන් තිදෙනාම ඇමෙරිකානු මහාද්වීපයේ කලක් ජීවත් වෙමින් විවිධ වෘත්තීන්වල නියැලි අයයි. දෙදෙනෙක් තරුණ වයසේ විවාහ වී තරුණ දරුවන් සිටින මව්වරු ය. එක් අයෙක් වූ ඉන්දිකා මෙහි කතා නායිකාවයි. තිදෙනාම සම වයස හතලිස් ගණන්වල බව හැෙඟ්. නමුත් ඉන්දිකා දරුවන් ලැබිය හැකි වයස පසු කරමින් සිටින අවිවාහක කාන්තාවකි. වයස 42කි. නිර්මලා සහ අරුන්දතී ඉන්දිකා කැටුව අත්ලාන්තික් සාගර කලාපයේ කොනක සිට පැසිෆික් සාගර කලාපය දක්වා යන මේ ගමනේ අරමුණ විවාහ වී තම සරු කාලය ගෙවෙන්නට ප‍්‍රථම දරුවකු හදා ගැනීම සඳහා ඉන්දිකාගේ අන්තර්ජාල පෙම්වතා මුණගැස්වීමයි. විවාහක ජීවිතය තුළ ස්තී‍්‍රන් සහ පුරුෂයින්ගේ හැඩතල සියල්ල, පවුල් ජීවිතයක බැඳීම අපේක්‍ෂාවෙන් යන ඉන්දිකාට අත්දැකීම් සහිත තම මිතුරියන් දෙදෙනාගෙන් දැන ගන්නට ලැබේ.

මතුපිටින් පෙනෙන ආදරය හා සතුට පිරි පවුලනම් ඒකකය බොහෝ විට ව්‍යාජයක් බව දැන ගන්නට හැකි වන්නේ ස්ති‍්‍රයගේ ආත්මය එහි ප‍්‍රකාශිත වරප‍්‍රසාදය හිමි කර ගත් විටය. ඒ ව්‍යාජයපවුලේ පැවැත්ම සඳහා සත්‍යයක්ලෙස පවත්වා ගෙන යන්නේ ද ඒ ස්ති‍්‍රයගේ ශක්තිය හා දැනුවත්භාවය මතය. ඒ, පවුල නම් පැවැත්ම වැඩිවිය පත්වන තුරු දරුවන්ට අවශ්‍ය බව මව්වරු වශයෙන් ස්තී‍්‍රන්ට දැනෙන නිසාය. ඒ සම්මතය ස්තී‍්‍ර පුරුෂයින්ගේ ජීවිතයේ අනිවාර්ය අංගයක් බවට පත් වී ඇති නිසාය. ඒ ව්‍යාජය ලෝකයට අනාවරණය වන්නේ ස්ති‍්‍රයගේ ඉවසීමේ නිම්වලලූ පුපුරා ගිය විටය. නිර්මලා සහ අරුන්දතී යථාර්ථය තේරුම් ගත් ශක්තිමත් කාන්තාවන් ලෙස ජීවිතය ජය ගනිමින් හා ජීවිතය විඳින්නට උත්සාහ කරන අය බව ඉන්දිකා දැන ගන්නේ විවෘතව තම හෘද විදාරණයේ ප‍්‍රකාශන අවකාශය උදා කරගත් මෙම  මහාද්වීපික සංචාරයේදීය. උගත්කමටත් රැකියාවටත් යට වී විවාහය අත්හැර වයසට යන ඉන්දිකා ඒ සඳහා උත්සාහයක් කර අසාර්ථක වූ ආකාරය මිතුරියන් දැන ගන්නේද මේ මහාද්වීපික සංචාරයේදීය.

ඉන්දිකා විවාහය සඳහා බලාපොරොත්තු සහගතව ඇසුරු කළ, ඇයට ආල කොබෙයි සොනාටාව පෙන්නූ ඇමෙරිකාවේ නිදහස් ජීවිතයක් ගත කරන සංගීතඥ නාරද, තවත් තරුණියන් ඇසුරු කළ හා කරන, පවුලකට කොටු වන්නට අකමැති වූ කෙනෙකි. ලංකාවේ වෙසෙමින් නිතර ෙමාන්ටි‍්‍රයල් එන නිර්මලාගේ සැමියා වූ විනෝද්ට තවත් පවුල් දෙකක් ඇති බව ඉන්දිකාට අනාවරණය වන්නේ මේ ගමනේදීය. පළමු විවාහය අත්හැරුණු අරුන්දතීගේ දෙවන විවාහයේ සැමියා වූ ප‍්‍රසාද් සූදුවට ඇබ්බැහි වී ඔවුන් හැරයෑම හා ඇයට පෙම්වතකු සිටින බව ද ඉන්දිකා දැනගන්නේ මේ ගමනේදීය.
ඉන්දිකාට විවාහ වී දරුවකු හදා ගන්නට බලපෑම් කොට ඇයගේ පෙම්වතා මුණ ගැස්වීමට කැටුව යන  නිර්මලා සහ අරුන්දතී යන දෙදෙනාම පවුල් ජීවිතය තුළ සිත් රිදීම්වලට ගොදුරු වූ නමුත් ඒවාට තම ජීවිත යට නොකර යථාර්ථයට මුහුණ දෙන අය වෙති. දරුවන් දෙදෙනා බැගින් රැකගත් මව්වරු වෙති. විවාහ සංස්ථාව තුළ ලෝකයා පරසක්වල ගසමින් සපත කරන පරමාදර්ශී ආදරය හා බැඳීම ඒ සැටියෙන් නැති බවට අත්දැකීම් ලැබූ අය වෙති.

ලෝකයට පෙනෙන ජීවිතය හා නොපෙනෙන ජීවිතයේ අඳුරු කළු කුහර දෙස උපේක්ෂාවෙන් බලමින් ඒවා පරයා යන ස්තී‍්‍ර ශක්තීන් හා අධිෂ්ඨානයන් ආත්මීය ප‍්‍රකාශන නිදහසේ මුදා හැරෙන මෙම සංචාරයේදී එක අතකින් සිදු වන්නේ ලෝකය පිළිගත් හා ස්තී‍්‍ර පුරුෂයන්ගේ කැමැත්ත වූ මෙන්ම ඉන්දිකා ආසාවෙන් සිටින විවාහක ජීවිතය සඳහා ඉන්දිකා දැනුම්වත් කිරීමයි. එහි ගැඹුරු උත්ප‍්‍රාසයක් ඇත. කැමැත්තෙන් එයට ඇතුල් වන්නේනම්, එය ලෝකයට පෙනෙන සදාකාලික ආදරණීය එකක් නොවිය හැකි බව පිළිගෙන සූදානම් විය යුතුය. උත්ප‍්‍රාසයේ අනෙක් පැත්ත වන්නේ ස්ති‍්‍රය ඒ ජීවිතය අත් විඳිය යුතු බව ඔවුන් විශ්වාස කිරීමයි. ව්‍යාපාරික නිර්මලාට ද, පෞද්ගලික රැකියාවක නියුතු අරුන්දතීට ද වෙනස්, ඇමෙරිකාවේ වැදගත් රාජ්‍ය ආයතනයක් වූ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ස්ථිර රැකියාවක් කරන උපාධිධාරිනියක වන ඉන්දිකාට ස්තී‍්‍ර ජීවිතයේ සහ පවුල් සංස්ථාව තුළ නොපෙනුන ලෝකයක් විවර වන අතර ඇයට ද තමා ගැන සිතා සිටි ආකාරය වෙනස් කර ගන්නට සිදුවේ. වැරදුන තැන් ගැන, වැරැද්දූ  පිරිමින් ගැන ඔවුන්ගේ උපේක්ෂා සහගතභාවය, රිදීම් යටින් දිවෙන ආදරණීය හැඟීම්, කරුණාව, සමාවට ඇති කැමැත්ත ඇයට විවර කරන්නේ ජීවිතයේ අලූත් අඩවියකි. පවුල් සංස්ථාව තුළ අසාර්ථක උත්සාහයන් සහිත දෙදෙනෙක්ගේ කතා සාගරයේ ගැඹුරට වශී වී එහි ගිලෙන ඉන්දිකා තැත් දරන්නේ එයට සාර්ථකව ඇතුළුවීමටය. යථාර්ථය එයයි.

පවුල යනු ආදරයේ පරමාදර්ශී අඩවිය ලෙස, ඇට මස් ලේවලට කා වද්දා ඇති සමාජයක ඒ තුළ ඇති වැරදීම් කොතෙක් බර වුවත් සම්මතයනම් එයින් තොර ජීවිතයක් නැති බවයි. මේ උත්ප‍්‍රාසය ඉතා අපූරුවට චිත‍්‍රණය කරමින් ශක්තිමත් ස්තී‍්‍ර ආත්මයක හැඩරුව පෙන්වා දීමට ශමෙල්ට හැකි වී ඇත.

‘‘සමහර පිරිමි හොයන්නෙම අරමුණක් තියාගෙන පවුල ඇදගෙන යන්න දක්ෂ ගෑනු... හැබැයි ඒ දෙවල් කරන්නේ ඔයයි කියලා පෙන්නන්න හොඳ නැහැ. හරියට අහසෙ ඉන්න දෙවි කෙනෙක් ඇවිත් අනාගතය සැලසුම් කරනවා වගේ දැනෙන්න අරින්න  ඕනෑ...සුරංගනාවියක් ඇවිත් රෑට රෑට ගෙදර අස්පස් කරලා, රෙදි හෝදලා, හැමදේම තිබුණු තැන්වල තියනවා කියලා හිතන්න ඉඩ දෙන්න  ඕනෑ..’’

විවාහ ජීවිතය තුළ පමණක් නොව සමාජ ජීවිතය තුළ වුවත් ස්තී‍්‍රන්ට ගැටලූ අඩු වන්නටනම් තමන්ගේ ශක්තීන් සඟවා ගෙන එය අඩුවෙන් පෙන්වන්නට සිදුවීම පිළිබඳ අත්දැකීම් බොහෝ දෙනෙකුට ඇත. ස්ති‍්‍රය යනු පාලනය කළ ශක්තියක් බව දන්නෝ අඩුය. ස්ති‍්‍රයට අවාසිදායක ආධිපත්‍යධාරී සමාජ සංස්ථාවන් තුළ බොහෝ තැන්වල අපට එය පාලනය කර ගෙන ඉන්නට සිදු වේ. අපත් සමඟ වැඩ කරන අය පවා සතුටු වන්නේ එවිටය. එය නොදැන වැඩ කළ විට කෙළින් නොහැකිනම් වක‍්‍රව හෝ ගැටලූ මතුවේ. අනෙක් අතින් ස්තී‍්‍රන් බොහෝ විට කරන්නේ හැමෝම හොඳයි කියන චරිතය රඟපෑමය. ශමෙල්ගේ ස්තී‍්‍රන් තිදෙනා නැතිනම් මිතුරියන් තිදෙනා ඔවුන්ගේ තරුණ ජීවිතවල තිබූ ප‍්‍රාර්ථනාවිවාහය සහ ඒවායේ අහුමුළු විවෘතව නිදහස්ව එළිදරව් කිරීමට අමතරව මේ මහාද්වීපික ගමන තුළ තවත් බොහෝ සමාජ දේශපාලන ගැටලූවලට ද මාරුවේ. විවාහ ජීවිතයේ අඳුර වසාගත් ජීවිතයක් ඇති දෙදෙනා විවාහාපේක්ෂිත මිතුරිය ධෛර්යමත් කරමින් ඉන්දිකාට සාර්ථක පවුල් ජීවිතයක් ගෙවීමට හැකිසේ හැඩගැසීමට සාම්ප‍්‍රදායික උපදෙස් ද ලබා දෙති. යථාව, උත්ප‍්‍රාසය හා හාස්‍ය ද පෙරදැරි කරගත් සංවාදවලින් පරිපූර්ණ කුමර කොබෙයි නවකතාව හරහා කොතරම් වැරදීම් සිදු වුවත්, තමා ඉදිරියේ කොතරම් උදාහරණ ඇතත්, විවාහ ජීවිතයට ඇතුළු වී එය රස විඳීමට ඇති බහුතරයේ කැමැත්තනැතිනම් බලපෑමමිනිස් සමාජය තුළ අවලංගු සාධකයක් නොවන ආකාරය ද ප‍්‍රකාශිතයි.

‘‘පිරිමි හිතන්නේ එයාලා හැමදේම දන්නවා කියලා...කොටින්ම පිරිමි දන්නවා ගෑනු ගැන පොත් ලියන්නත්’’

තමාට රිදවූ පුරුෂයා ගැන ආදරයක් ද හිතේ ඇති, සමාව දීමට සූදානම් නිර්මලාලා, අරුන්දතීලා මෙන්ම වීසා නොමැතිව සැඟවී සිටින තම අන්තර්ජාල පෙම්වතා වූ කාලිංග සොයා යන විවාහාපේක්ෂිත ඉන්දිකා ද යථාව ඉදිරියට පැමිණ ඇත. මේ තේරුම් ගැනීම වියමනක් ලෙස ගෙතූ ෂමෙල් ජයකොඩිගේ කුමර කොබෙයි නව කතාව ස්තී‍්‍ර ආත්මයක කටහඬ විදාරනය කළ සොනාටාවක් ලෙස මග නොහැර සවන් පත් කර ගැනීම සුදුසුය. නිර්භය ආත්ම කථනයක් සේ වැළඳ ගැනීම සුදුසුය.

කුමර කොබෙයි - ශමෙල් ජයකොඩි
විදර්ශන ප‍්‍රකාශනයක්




Thursday, April 2, 2020

ඔබ අප සැවොම ප්‍රවේසම් විය යුතුයි.



දින සටහන් ලිවීම නැවතුණේ චූටි මල්ලි ( නැන්දාගේ පුතා - අපේ පවුල්වල බාල සහෝදරයා ) රිය අනතුරකට ලක්වෙලා කියන පණිවිඩය ලැබීමත් එක්ක. කොරෝනා කාලේ කිසිම පවුලකට අත්විඳින්න සිදුනොවිය යුතු අත්දැකීමකට අපි මුහුණ දුන්නෙ. දින දෙකක් අපේ සහෝදරයා දැඩි සත්කාර ඒකකයේ උන්නත් අපට බලන්න බැරි වුණා. ඇඳිරි නීතිය නිසා යාම ඒමත් අපහසුයි. කොරෝනා තත්ත්වය නිසා රෝහල්වල කටයුතුත් වෙනදා වගේ වුණේ නෑ. රෝහල ඇතුළට යන්න ලැබුණෙ එක්කෙනෙකුට පමණයි. නමුත් දැඩිසත්කාර ඒකකයට කාටවත් ඇතුළ් වෙන්න බැහැ. ඉතින් චූටි මල්ලි අවසන් ගමන් ගියේ අපි කවුරුවත් ළඟ නැතිව. ( මේ අවස්ථාවේ දී කුලියාපිටිය රෝහලේ වෛද්‍යවරුන්, හෙද හෙදියන්, කාර්ය මණ්ඩලය අපේ මල්ලි වෙනුවෙන් කළ සේවය අගය කළ යුතුයි. )

අනතුරක් සිදුකර නොගෙන ජීවත් වීම මේ මොහොතේ කොයිතරම් වටිනවද කියන එක විශේෂයෙන් මතක් කරන්න ඕන. ආදරණීයයන්ගේ ජීවිත අනතුරකදී වුවත් කිසිවක් කරගන්නට නොහැකිව අසරණ වෙන්නට වෙනවා. එය දරන්නට අපහසු දෙයක්. ඒ වගේම හදිසි තත්ත්වයක් වෙනුවෙන් සූදානම්ව ඉන්න රෝහල් කාර්යමණ්ඩලවලට, ආරක්ෂක අංශවලට අමතර රාජකාරි පැටවෙනවා. ඒ නිසා මේ මොහොත අපි ප්‍රවේසම්ව, නීතිගරුකව, කල්පනාකාරීව කටයුතු කිරීම ඉතා වැදගත්.

චූටි මල්ලි නැතිවුණා කියන පණිවිඩය ලැබුණු මොහොත, ජීවිතේ කවදාවත් අමතක නොවේවි. ඒ වෙද්දිත් අපි උන්නෙ ප්‍රාතිහාර්යයක් වෙලා හරි එයා සනීප වෙලා ආපහු ඒවි කියන විශ්වාසයෙන්. ගමක්ම, නෑදෑ සනුහරයක්ම, රට පුරා බොහෝ තැන්වල සෙත්, පිරිත්, යාච්ඤා‍, සෙත් කවි, යැදුම්, ප්‍රාර්ථනා සිදුවුණත් මේ කිසිවකට එයාව ආපහු මේ ලෝකෙට ගන්න පුළුවන් වුණේ නෑ.

ඉතින් ඒ මළ ගෙදරත් වෙනදා වගේ වු‍ණේ නෑ. ඇඳිරි නීතිය නිසා බොහෝ දෙනෙකුට එන්න බැරිවුණා. ආව අයත් මුහුණු වැසුම් දාගෙන. සමහර වෙලාවට අපිට අඳුනන්නත් බැරිවුණා. මහජන සෞඛ්‍ය පරීක්ෂක, පොලිසිය, ග්‍රාමසේවක ලබා දුන් උපදෙස් අනුව තමයි වැඩ කටයුතු සිදුවු‍ණේ. වෙනදා වගේ සංග්‍රහ කිරීමත් නොකර ඉන්නයි උපදෙස් ලැබුණෙ. නෙස්කැෆේ විතරක් දෙන්නත්, ඒ කඩදාසි කෝප්ප වහාම පුළුස්සා දමන්නත් කටයුතු කළා. මළ ගෙදරට එන අයට වුණත් මීටරයක් දුරින් ඉන්න, වැඩි වෙලා නොරැඳී ආපසු යන්න සිදුවුණා. ගේට්ටුව ළඟම අත සෝදන කටයුතු සඳහා පහසුකම් සැලසුණා. එද්දිත් යද්දිත් අත් සෝදන්න කියන කාරණය අනිවාර්ය වුණා.

මම මේ සියල්ල ලියන්නෙ මේ මොහොතේ උපතක්, විපතක්, මගුලක්, දානයක්, පින්කමක් මේ කිසිම දෙයක් පෙර පරිදි වෙන්නේ නැහැ කියන එක ඔබට මතක් කරන්න. ඒ නිසා අපි ප්‍රවේසම් විය යුතුයි. කල්පනාකාරී විය යුතුය.


හත් දවසේ බණ පවුලේ සුළු පිරීසකට පමණක් සීමාකෙරුණා. පසුදා දානය පන්සලට අරන් ගියේ ඒත් පවුලේ කීපදෙනෙකුගේ පමණක් සහභාගිත්වයෙන්. ඒ කිසිම දෙයක් අපේ ගමක වෙනදා සිදුවන විදියට නෙවෙයි වුණේ. අන්තිමේ අපි හිත හදාගත්තෙ අපේ මරණය කොහොමවෙයිද, මේ මොනවත්ම නැතිව කොහේ කොහේ අපට මියයන්න සිද්දවෙයිද කියල දන්නෙ නැහැනෙ කියල හිතලා.

අදත් මට හිතෙනවා ඇඳිරි නීතිය දාන්න කළින් චූටි මල්ලි ගෙදර ආව නම්, අඩුතරමෙ එයා ගිය තැනක යාළුවො එයාව නවත්ත ගත්ත නම්, පොලිසියෙන් අල්ලල හිරේ දැම්මත් කමක් නෑ හෙමිහිට ආව නම් මේ අනතුර සිද්දවෙන්නෙ නෑ කියලා. දැන් ඉතින් ඒ හිතට දැනෙන කිසිමදේකින් ඵලක් නෑ. අපිට ආයෙම චූටි මල්ලිව ලැබෙන්නෙ නෑ.

ඒ නිසයි මම ඔබෙන් ඉල්ලන්නෙ ප්‍රෙව්සම් වෙන්න. ඔබේ ආදරණීයයන් රැකගන්න කියලා.