වැඩ ඇරිල එන ගමන් පොත් රස්තියාදුවක ගියා කොටුව
ගුණසේන පැත්තෙ. චූටි මිමීටයි, සසෙන් බබාටයි, මටයි පොත් ගන්න.
ගුණසේන පහළ මාලයේ පැත්තක්ම අපූරු කතන්දර
පොත්වලින් පිරිලා. අපි පුංචි කාලෙ අම්මගෙන්, ආච්චි අම්මලගෙන්, මොන්ටිසෝරියෙ
ටිචර්ලගෙන් අහගත්ත කතන්දර වෛවර්ණ ලස්සන සිත්තම් එක්ක ලොකු අකුරින් මුද්‍රණය වෙලා
තියෙනව දකිද්දි ආයෙම ළමයෙක් වෙන්න හිතෙනවා.
පුහුල් හොරා කරෙන් දැනේ, ඉබිහාමි
අහසින් ගිය හැටි, අන්දරේගෙ කතා, ගමරාළගෙ මහදැනමුත්තගෙ කතන්දර, හත්පණ,
හීන්සැරය........ කතා සරිත් සාගරයක්.. සිබිල් නැන්දගෙ පාට පාට චිත්‍ර එක්ක ලස්සන
කතන්දර පොත් රාක්කයක්ම සිංහල ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම... පුංචි අයට ලස්සන කතන්දර
පොත් ගන්න හිතන් ඉන්නවනම් ගුණසේන පැත්තෙ ගියාට පාඩු වෙන්නෙ නැහැ.
( දරන්න හැකි මිලක්.. 10% ක වට්ටමක් ලැබෙනවා..
තමන්ගේම පොත් නිසා අඩු තරමෙ 20% ක් වත් දෙන්න වටිනවා... ගුණසේන දැන්වීමක් නම් නෙවෙයි.. දරුවන්ටත් පොත්වලටත් ආදරේ නිසයි මේ ගැන ලියන්න හිතුණෙ..)
පුංචි කාලෙ හිතේ හැටියට කතා පොත් කියවන්න
අවස්ථාවක් තිබුණෙ නැහැ අපට. රස්සාවකුත් කරන පස්සෙ කාලෙක තමයි ළමා වියේ මගඇරුණ
ලස්සන ළමා කතා පොතුත් කියෙව්වෙ. දැන් වුණත් ඒ වගේ ළමාවියේ මගඇරුණු පොතක් ඇහැ
ගැටුණොත් මං නොගෙන ඉන්නෙ නෑ.
කාංචනාගෙ ලිපියත් ඇහැ ගැටිල තිබුණ නිසා කැලුම්
කුමාර මොහොට්ටිගේ ‘හිමාලය පාමුල‘ දැක්ක ගමන් හිත බැඳුණා. අතටත් පහසු, පසුම්බියටත්
පහසු සුන්දර පොතක්. එන ගමන පින්තූර ටිකත් බලල, අතරින් පතර කියෙව්වා. දැන් ඉතින්
දොළ දුකක්... කට්ටිය එකතු වෙලා නේපාලෙ සංචාරයක් ගිහින් එමු ද? හරිම ආසයි එහෙම
පරිසරයක ඇවිදින්න. ඒත් ඉතින් ආර්ථිකයත්, විශ්වාසවන්ත ගමන් සගයිනුත් හැමදාමත් ප්‍රශ්නයක්නෙ..... සිහිනමය සුන්දර රස්තියාදු ගැන ප්‍රාර්ථනා කොයිතරම් නම් හිතේ පොදිගැහිල තියෙනවද?
.......
පිටකොටුවෙ සීඩී කඩේකින් සිංහල හඬ කවපු දොස්තර
හොඳහිතයි, හා හා හරි හාවයි ගත්තා. චූටි මිමීටයි මටයි බලන්න. නිවාඩු දවස් තුනක්ම
තියෙනවනේ... කොහොමත් ටින්කබෙල්, බ්ලෙයා, අයිස්ඒජ්, හිම කුමාරි... වගේ කාටුන්
චිත්‍රපටි මං බලන්න පුරුදු උණේ චූටි මිමී නිසා... ටයිටස් තොටවත්තයන් හඬ කවපු අපි
පුංචි කාලෙ ආශාවෙන් බලපු දොස්තර හොඳ හිත, ගලිවර්ගේ සුවිසැරිය, හා හා හරි හාවා වගේ
කාටුන් චිත්‍රපටි අපේ දරුවන්ටත් බලන්න අවස්ථාව හදල දෙන එක වටිනවා....
චූටි මිමීට අවුරුදු පහක් වෙනවා මේ ජුනිවලට.
හරිම දාංගලේ. චෝදනා පත්‍ර ගොන්නයි. මේ ළඟදි දවසක අම්මයි, ආච්චි අම්මයි, චූටි
මිමීයි, මමයි ඉන්න වෙලාවක, චූටි මිමීගෙ විසේකාර වැඩ බලන් ඉඳලා මං මෙහෙම කිව්වා....
‘‘මෙහෙම හරියන්නෙ නැහැ. දැන් ඉතින් වේවැලක්
ගන්න වෙනවා.."
එකපාරටම මූණ ගස්සලා ඇස් දෙකත් ලොකු කරල මං දිහා
බලන් උන්නු චූටි මිමී කටත් ඇද කරලා මෙහෙම කිව්වා.
‘‘ආ............ මෙයත් දැන් නරක් වෙලා.."
ඔක්කොම දාංගල් හිනාවෙන් ඉවසන, කියන කියන විදියට නටන (අපේ අම්ම කියන්නෙ එහෙමයි ) මම්ම කීව කතාව
එයාට අදහගන්න බැරිවෙන්න ඇති.








