පිටු

Showing posts with label උත්තරාගෙ කතා. Show all posts
Showing posts with label උත්තරාගෙ කතා. Show all posts

Sunday, June 24, 2018

ඇඳී මැකී යයි රිදී රේඛා...



‘‘ආහ්...‘‘ තවමත් ළය පෙදෙසින් හීන් රිදුමක් පොළා පනිනවා. දකුණු ඇලයට හැරී උන් උත්තරා වම් ඇලයට හැරුණෙ පපුවට අතක් තියාගෙනමයි.

හාත්පස වැහි අන්ධකාර පොරෝනයෙන් එතිලා තිබුණෙ... ඒ අතර ඈත ගුවන් පාලමේ රිය පහන් එළි අදුර කපාගෙන පහළට ඇදෙනු දැනුණා. ඒ ආලෝක රේඛා අළු අහසේ ක්ෂණික රටා මවමින් මැකී ගියා. උත්තරා ඒ එළිය රේඛා වෙත අනිමිසලෝචනයෙන් බැඳිලා උන්නා ටික වෙලාවක්.
වැසුණු කවුළුවේ වීදුරු තිරය මත වැහි බිඳු හැපි හැපී දුක කියනවා... 

ඉන්පස්සෙ හිස නවාගෙන පහළට ගලා හැලෙනවා. ඒ තෙත් රේඛා වීදුරු මීදුමේ මැව්වෙ එක එක රටා. ඒ හැම රටාවකම අමුතු පාළුවක් දැවටිලා තිබුණා. අතීතයේ දවසක රිය වීදුරුවක තෙත වැහි බිඳිති එක්කරමින් තමා ඇඳි චිත්‍රයක් ඇයට සිහිගැන්වුණා. පුළුල් අතක රැඳුණු සේද ලේන්සුවකින් ඒ සිත්තම එදා අසුරු සැනෙකින් එහෙ මෙහෙ වී මැකී ගියා. විහිළුවක් බව දැන දැනත් උත්තරාගෙ ඇස්වල කඳුළු පිරුණා. අදත් ඒ වගේ වීදුරු වැහි දිය සිත්තම බොඳ වුණා. අතකින්වත්, ලේන්සුවකින්වත් නෙවෙයි, එදා වාගේම කඳුළකින්...

‘‘හ්ම්... හ්ම්‘‘ ජංගමය ඇමතුමක ඉඟි පෑවා. උත්තරා  දුරකථනය ගෙන සවනට තියාගත්තෙ පුරුද්දට, කවුදැයි නොබලාම.

‘‘බෙහෙත් ගත්තද?‘‘ ඒ හඬේ කරුණාවක් දැවටිලා තිබුණා. උත්තරා සැනෙකින් දුරකථන තිරය ඇස් ඉස්සරහට ගත්තා. තිරය පුරා උන්නෙ ඔහු. එදා ඒ සිත්තම මකා දැමූ අතේ හිමිකාරයා. ඒ සුපුරුදු සිනාවෙන්ම. දුරකතන තිරයේ වගේම උත්තරාගෙ හිතෙනුත් කවදාවත් ඒ හිනාව මැකිල තිබුණෙ නැහැ.

‘‘හ්ම්‘‘

‘‘බෙහෙත් බිව්වද?‘‘

‘‘හ්ම්‘‘

‘‘දැන් කොහොමද?‘‘

‘‘හොඳයි.‘‘

‘‘බෝඩිමේද?‘‘

‘‘ඔව්‘‘

‘‘තාම පපුව රිදෙනවද?‘‘ 

‘‘හ්ම්‘‘

‘‘මං හැමදාම කියනවනෙ ලෙඩ තියන් ඉන්න එපා කියල. හොඳ ඩොක්ට කෙනෙකුට පෙන්නල බෙහෙත් ගන්න කියල. කවදාවත් කියන දෙයක් අහනවද?‘‘ සුපුරුදු ආඥා ස්වරය... ‘කියනවා මිසක කවදාවත් මාව එක්කරගෙන ගියාද බෙහෙත් ටිකක් අරන් දෙන්න.‘ උත්තරා හිතුවා විතරයි ඇහුවෙ නැහැ.

‘‘දැන්වත් ඔය හිතුවක්කාරකම් පැත්තක තියල කාට හරි ආදරය කරන්න, බඳින්න. ගෑණියෙකුට තනියෙන් ඉන්න බෑ.‘‘

‘මොකෝ බැරි, මේ මං ඉන්නෙ.‘ උත්තරා එහෙම හිතුව විතරයි. වෙනද වගේ කැත්තට පොල්ලෙන් දමල ගහන්නැහේ එහෙම උත්තරයක් දීගන්න බැරි තරම් අසරණ ගතියක් උත්තරාට දැනුණා.

‘‘මං අද ඔය පැත්තෙන් යන්නෙ. දැන් රාගම කිට්ටුව.“

ආඥා ස්වරය ආයෙමත් සාමාන්‍ය වෙලා තිබුණා. ඒ සාමාන්‍ය ස්වරයේ වියළි ගතියට උත්තරාගෙ හිතත් මැළවිලා ගියා.

ඈ ගිලන් සයනයෙන් මිදිලා වීදුරු කවුළුව අහ පුටුවට වැටුණා. රිදුම් දෙන හිස කවුළුවේ ඔබා ගත්තා. වැහි බිඳු රටා විසාලනය වෙවී මැකිල ගිහින් ඈතින් ගුවන් පාලම ඇගේ ඇසට හසුවුණා. විදුළි එලි පෙරහැරක් මවමින් රිය පේළිය හෙමිහිට ඇදිල යනවා. ඒ හැම වාහනයක්ම එනකල් මඟ බලා ඉන්න ගෙයක් ඇති. කොයිමොහොතේ ගෙට ගොඩවෙනවද කියන හැඟීම ඒ වාහනවල යන හැමකෙනෙක්ගෙම හිතේ රැඳිල ඇති. අඹු දරුවො, අම්මල, තාත්තල කී දෙනෙක් නම් එයාල එනකල් බලන් ඉන්නවා ඇත්ද?   

‘‘දැන් කොයි හරියෙද?‘‘ දිගු නිහැඬියාව දරාගන්න බැරිම තැන ඇය ඇහුවා.

‘‘පාලම පටන් ගන්න තැන...‘‘

‘‘හ්ම්...‘‘ උත්තරා ගුවන් පාලමෙන් ඇහැ ගත්තෙ නැහැ. KS 8815 ඒ සුදු පාට මොටෝ රථය. ඕනම අන්ධකාරයක අඳුනගන්න තරම් උත්තරාගෙ හිතේ කෙටිලා තිබුණා. උත්තරා උත්තරාගෙ ආදරයට තරම්ම ඒ වාහනයටත් ආදරය කළා. ‘කතා කරන්න පුළුවන් නම් එයාට කෑ ගහල කියයි මං කොච්චර ආදරය කළාද? ඒ ආදරය නිසා කොච්චර දුක් වින්දද කියල.‘ උත්තරා හිතුවා.  

‘‘මට ඔයාව පේනවා‘‘ මොටෝ රිය ගුවන් පාලම හරි මැදට එද්දිම උත්තරාට කියවුණා.

‘‘ඒ කොහොමද?‘‘ ඔහු ඇහුවෙ සරදමට වගේ.

‘‘ඔයාව නෙවෙයි, කාර්රෙක... ඔයාට පිටිපස්සෙන් බයික් එකකුයි, වෑන් එකකුයි නේද තියෙන්නෙ...‘‘

‘‘හ්ම්‘‘ සුසුමක්!!! ඒ සුසුම එහෙම්මම ඇවිත් උත්තරාගෙ හිතේ පැටළුණා.

‘‘මාව බලල යන්න එනවද?‘‘ උත්තරා ඇහුවෙ නැහැ. සුපුරුදු ස්ත්‍රී අහංකාරය ඇයව ගොළු කරල දැම්මා. ඒත්, ඇවිත් යන්න ඒවි උත්තරාගෙ හිත කිව්වා.

‘‘ගෙදරින් කෝල් එකක් එනවා. මං තියන්නම්.‘‘ රිය ඇගේ දෑස් මානයෙන් මැකී යත්ම දුරකථනය මිමිණුවා.

‘‘හා‘‘ උත්තරාගෙ උත්තරේ සීතල වෙලා තිබුණා. ඇය හෙමිහිට ජංගමය ජනෙල් කණ්ඩියේ තැන්පත් කළා.

‘අපි ඈත් වෙලත් දැන් කාලයක් ගිහින් නේද? ඒත් තාමත් කතා කරන හැමවෙලාවකම මේ දැන් ඇස් ඉස්සරහ ඉන්නව වගේ දැනෙන්නෙ කොහොමද?‘උත්තරා හිතුවා.  

වැසුණු කවුළුවේ වීදුරු තිරය මත්තෙ වැහි බිඳු හැපි හැපී දුක කියනවා... ඉන්පස්සෙ හිස නවාගෙන පහළට ගලා හැලෙනවා.

උත්තරා බොහෝ වේලාවක් ඒ දිහා බලන් උන්නා.



Friday, April 17, 2015

දැන් ඉතින් මං නවතින්නද?





මම ඇවිදගෙන යමින් උන්නා තනියම.. ගිනි කාෂ්ටක අව්වක.. දූවිලි හුළඟක... පේන මානෙක හෙවණක නිවනක් නැතිවම... 

ඒ අව්පූටකේ හුළං රැල්ලක්වත් නැතිවෙද්දිත් එක පාරටම කොහෙදෝ ඉඳන් පාවෙලා ආව මල් පෙත්තක් මගේ ඇස් ඉස්සරහ නැවතුණා. ප්‍රාතිහාර්යයක්.... මල් පෙත්තක් තියා මල් සුවඳක් ගැනවත් බලාපොරොත්තුවක් නොතිබුණු මොහොතක ස්වර්ගයේ දොරටු විවර වෙලා තිබුණා... 

සීරුවට මං ඒ මල් පෙත්ත දෝතට ගත්තා..  සියුම් කටු තුඩකින් මල් පෙත්ත පැරීලා... ඒ කවියක් .. නෑ කවියක් නෙවෙයි කඳුළක්.. ම්හ්.. කඳුළු පිරුණු කවියක්...

‘‘මේ කොහෙද යන්නෙ?” කවිය මගෙන් ඇහුවා.

‘‘දන්නෙ නෑ”

‘‘එහෙනං යන්නෙ?”

‘‘නවතින්න විදියක් නැති නිසා..”

‘‘හ්ම්.... මම ත් යනවා..”

‘‘කොහෙට ද?”

‘‘ජීවිතයට........... ඒත් මේ ගමන හරි දුෂ්කරයි.. ජීවිතේ කැටයම් කරගන්න බැරි කඳුළක් වගේ ඔහේ ගලාගෙන යනවා...” කවියේ අහසටත් දරන්න බැරි සුසුමක් දැවටිලා තිබුණා. 

මම ගල්ගැහුණා... නන්නාඳුනන කවියක් වෙනුවෙන් මගේ හිත දුකින් පිරුණා.  ඒ කවියට ලස්සනම ලස්සන කැටයමක් වෙන්න ආත්මයෙන්ම කැපවෙන්න මට පුළුවනි නේද මගෙ හිත කිව්වා.... 

‘‘මම ත් එන්නම්.. ඔයා එක්ක....” එක හිත් හිතාගෙන මං ඇහුවා.

‘‘කොහෙටද?”

‘‘ජීවිතයට..”

‘‘මේ ජීවිතේ අවුල් ජාලයක්.. හරිම සංකීර්ණයි.. අපිට එකට යන්න බෑ.. ඔයා ඔයාගෙ ගමන යන්න.”
 
‘එහෙමනම් ඇයි මං ළඟ නැවතුණේ.. මාව නොදැක්ක වගේ යන්න තිබුණ නේද?‘  මගේ හිත මිමිණුවා. ඒත් මං එහෙම ඇහුවෙ නෑ...

තිත්ත ඇත්ත ළඟ හිත අසරණ වුණා.. ඒත් කවියේ පිටුපාන්න බැරි තෙතමනයක් දැවටිලා තිබුණා.. ස්වයං නිර්ණය හිමිකම මනුෂ්‍ය අයිතියක්. ලෝකයම වෙනුවෙන් ඒ අයිතිය ඉල්ලල සටන් කරන කවියක් මගේ ආදරයේ අයිතිය අහිමි කරන්න සටන්වදිමින් තිබුණා.... 

ඒ වෙද්දි හැමදේටම ප්‍රමාද වැඩියි. ඒ ආදරය වෙනුවෙන් අනන්තාප්‍රමාණ වේදනාවක් විඳිය යුතු බවට ස්වර්ගයේ ලියවිලා තිබුණා.... මං දේව කැමැත්තට හිස නැමුවා.

විටෙක වසන්තය හිනැහුණා... මල් පොහොට්ටු පීදුණා... ස්නේහයේ මල් සුවඳ දැවුටණා... ඒත් ගිම්හානයේ කටුක බවත් අඩු නැතිව දැණුනා.. සිසිරයේ කටු අනින ශීතලට හදවත ගල්ගැහුණා.. ඒත් එකම එක හුස්මකින් ආයෙමත් උණුහුම් වෙවී හිත දියවෙලා ආදරය ගලා හැළුණා...

මම සමාන්තරව ඇවිදගෙන ආවා.... 

හැම තත්පරයකම, හැම දවසකම, හැම පියවරකම ආදරය ම පිරුණා... 

මං හිතුවා ඒ ආදරයට ගොඩාක් දේවල් දරාගන්න හැකි වේවි කියලා.. ඒත් දැන් මට හිතෙනවා ආදරයට වුණත් දරාගන්න පුළුවන් සීමාවක් තියෙනව කියල.. 

රිදිල රිදිල රිදිල.. කැඩිල.. බිඳිල.... අන්තිමටම හදවතක් වුණත් මරණාසන්න වෙන මොහොතක් එනවා. 

කල්වාරියට තව කොයි තරම් දුර ද මන්දන්නෙ නෑ.. ඒත් දැන් මට වෙහෙසයි... 

ඉතින් මේ නවතින්න කාලයද?

Tuesday, December 9, 2014

What a Nice Couple


උත්තරා පුංචි රඟහලෙන් කඩිමුඩියේ එළියට බැස්සාය. බොරැල්ල හන්දියේ බෝ ගහ අසලින් අනවසර පිම්මකින් පාර පැන බසයකට ‍ගොඩවැදුණාය. වේදිකා නළුවේ දෙබස්, කදුළු, සුසුම්, තවමත් හිත ළඟම මුත් ඒ හතරඅත පෙරළා බලන්නට ඉස්පාසුවක් නොවීය. තත්පර කටුවේ වේගය සමඟම වේගවත් වූ හදගැස්මට විරාමයක් ලැබුණේ දුම්රිය නැවතුමේදීය.

“හලාවත බලා ධාවනය වන මුතුකුමාරි ශීඝ්‍රගාමී දුම්රිය ස්වල්ප වේලාවක් ප්‍රමාද වී ධාවනය වන බව කරුණාවෙන් සලකන්න.”

‘අපරාදෙ ඒ තරම් දිව්වෙ’ සිත මුමුණයි.  දීර්ඝ සුසුමක් සමඟ ඇය සිමෙන්ති කුළුණකට වාරු වූවාය. අනතුරුව දුරකථන මුහුණතට සමවැදුණාය.

“ කොහොමද Nice Couple?” දැනටමත් පැනයකට සයිබරය තටු පළන්ඳා තිබිණි.

“නයිස් කිව්වට නයිස්මත් නැහැ. අපි දෙන්න වගේ තමයි.” ඇය කෙටි පිළිතුරකට පියාපත් දෙමින් සංවාදයකට ඇරයුම් කළාය. දුරකථන මුණුමුණුව මුතුකුමාරි ප්‍රමාදයේ ළතැවුමට අස්වැසිල්ලක් විය.

“ඇයි, වැඩක් නැද්ද?” ඔහු ඇසුවේ සිනාවකිනි.

“නෑ....... ලස්සනයි. හොඳ නොහොඳ ගැන කියන්න තරම් නාට්‍ය කලාව ගැන දැනීමක් මට නැහැනෙ. හිතට දැනෙනවා. විශේෂයෙන්ම ආදරය, ජීවිතය, මනුෂ්‍ය සම්බන්ධතා වටිනවයි කියල හිතන අයට. ඇත්ත ජීවිතේ තමයි. ඇත්ත ජීවිතේම ආරළු බූරලු වුණත් වේදිකාවක් උඩ ආලෝක එළි මැද්දෙ භාවනාවක් වගේ දැහැන්ගත වෙලා විඳින කොට ඒකෙ අමුතු චමත්කාරයක් තියෙනවනෙ. අපිට අපි දිහා ඒ වගේ නිස්කලංකව බලන්න අවස්ථා ලැබෙනව හරි අඩුයිනෙ.”

“ඒක ඇත්ත... අපිට ඉතින් ඇත්ත ජීවිතේ විඳින්නවත්, ආපහු හැරිල බලන්නවත් වෙලාවක් නැහැනෙ..... නාට්‍යයක්, චිත්‍රපටියක් බලන්න කොයි තරම් ආසද? ඒත් ආස කරන කොයිතරම් දේවල් අත්හරින්න සිද්දවෙලා තියෙනවද ජීවිත සටන වෙනුවෙන්...... ඇයි අපි දෙන්න වගේ කිව්වෙ?”



“අපි දෙන්න වගේ කමකට නැති දේවල්වල එල්ලිලා ආදරය මරාගන්න හදන ජෝඩුවක් ඒ නාට්‍යයෙත් ඉන්නවා. තරුණ ජෝඩුවක් හොඳද? තිරය ඇරෙන්නෙ පිළිවෙලට හදපු යුගල ඇඳකුයි, පසුබිමේ එල්ලපු එයාලගෙ හරිම ආදරණීය පොටෝස්  ටිකකුයි එක්ක. දෙන්නගෙ පළමුවෙනි වෙඩින් ඇනිවසරි එක. පැබ් කේක් එකකුයි, වයින් එකකුයි අප්‍රමාණ ආදරයකුයි සතුටකුයි එක්ක තමයි නාට්‍යය පටන් ගන්නෙ. ටික ටික දිගෑරෙද්දි තේරෙනවා දෙන්නගෙ හැලහැප්පීම්. නොතේරුම් ගැනීම්.. දෙන්නම හිතන් ඉන්නවා එයාල හරි වෙනස්.. වෙනස් විදියට ජීවත් වෙන්නෙ කියල. ඒත් අන්තිමේ තේරෙනවා වෙනස් කියල හිතුවට වෙනස්ම නැහැ. වෙනස් වෙන්න උත්සාහ කරනවා විතරයි කියල. මහා සමාජයේ අනිත් අයගෙ උවමනා එපාකම්ම තමයි එයාලට තියෙන්නෙත්.. මොන හැලහැප්පීම් තිබුණත් අන්තිමේ ඒ ආදරය මැරෙන්නෙ නැහැ කියන හැඟීම ඇතිවෙනවා.. ඒ බලාපොරොත්තුවත් වටිනවා....”

දීර්ඝ සුසුමකට පාවී යන්නට ඉඩ හැරි ඈ වටපිට විමසිලිමත් වූවාය.  මුළුගැන්නී සිටි අන්ධකාරය දුම්රිය නැවතුම වෙළාගෙනය. දැල්වෙන පහන් එළි ඒ අඳුර පළවා හරින්නට කිසිදු උත්සාහයක් නොදරාම අලසව ගිමන් හරින සෙයකි. දුම්රිය ප්‍රමාදය ගැන පසුතැවිල්ලක්, වගේ වගක් නැත්තේ ඇයට ම පමණකි. විඩාපත් බිරින්දෑවරු විස්සෝපයෙන් මැසිවිලි නඟති.

......... අපිට මුලදිම හිතෙන්නෙ ටක්කෙටම ගැළපෙන, හරිම ආදරණීය ජෝඩුවක් කියල.......... ඒත් ඒ සිතුවිල්ල වැරදියි කියල ටිකෙන් ටික දැනෙන්න පටන්ගන්නවා. ඒ වයිෆ් හිතනවා හස්බන්ඩ් එයාට හැමදේම කියන්න ඕන කියල. ඒ හස්බන්ඩ් හිතනවා ඇත්තම කියන එක නැති ප්‍රශ්න ඇති කරගැනීමක් ඒ නිසා දේවල් හැංගුවට කමක් නැහැ කියල. ඒක තමයි ගැටුමේ ආරම්භය. දෙන්නම වැරදිත් නැහැ. ‍මුළුමනින්ම විවෘත වෙන්න නම් මහා තේරුම් ගැනීමකුයි, ගැඹුරු ප්‍රේමයකුයි තියෙන්නත් ඕනනෙ. මේ ‍වගේ ප්‍රේමයේ පරිවාස කාලයක ඒ තරම් තේරුම් ගැනීමක් ඇතිවෙන්න විදියකුත් නැහැනෙ.”

“ඔය ගැටුම ඉතින් අළුත් දෙයක් නෙවෙයි. සදාතනිකයි. ගැහැණු පිරිමි ස්වභාවය වෙනස් බව තේරුම් නොගැනීම නිසා ඇතිවෙන අරගලය... සමහර දේවල් තියෙනවා. කතා කරන්න බැරිකමට නෙවෙයි. හිත රිද්දන්න බැරිකමට නොකියා මගහරින දේවල්. ඒකෙන් අදහස් වෙන්නෙ නැහැ කොහෙත්ම නොසලකාහැරීමක්... ආදරයේ අඩුවක්........ ” ඔහු හිනැහේ.

“ ඇයි හිනාවෙන්නෙ... ඔයත් ඒ වැඩේම කරන නිසා නේද? මමත් නම් කැමතියි ඇත්ත දැනගන්න. බොරුවෙන් හිත රවට්ටගෙන ජීවත් වෙනවට වඩා තිත්ත වුණත් ඇත්තට මූණ දෙන එක ‍හොඳයි. ඒකනෙ මමත් ඔයාට නිතරම කියන්නෙ ඔයා වෙන කෙනෙකුට ආදරෙයි නම්, මගෙන් ඈත් වෙන්න ඕන නම් ඒක මට කියන්න කියල පැහැදිලිවම. ඕනම වෙලාවක යන්න ඔයාට අවසර තියෙනවා කියල...”

“විවෘත වෙනවයි කියන්නෙ ඔය ටිකට නෙවෙයිනෙ ඉබ්බියෙ.....”

“නෑ මං පොඩි උදාහරණයක් ගත්තා විතරයි. ඒත් ඉතින් විවෘතභාවය ගැනයි, කොන්දේසි විරහිත ප්‍රේමය ගැනයි මහා පණ්ඩිත අදහස් කියන ඔයාටමනෙ ඒව රකින්නත් අමාරු... දැන් මට වෙලා තියෙන්නෙ ආදරවන්තයො දෙන්නෙක් හොයාගන්න. කලාව, සාහිත්‍යය, දේශපාලනය ගැන කතා කරන්න එක ආදරවන්තයෙක්, ජීවිතේ ගැනයි, හිතට එන අනිත් හැමදේමයි කතා කරන්න තවත් ආදරවන්තයෙක්..... ඒකත් නරක නෑ.”

‘‘අන්න අන්න....... දැන් නම් නාට්‍යය පටන්ගන්න වගෙයි හදන්නෙ... ඔය ඇඬියාව පැත්තක තියල What a Nice Couple ගැන කියන්න.” ඒ නොරිස්සුම් හඬ ඇයට හුරු ය. හැමදාමත් සිදුවන්නේ එයම නොවේද? තර්කයෙන්, නොරිස්සුමෙන් ඇගේ හඬ යටපත්ව ගියේ මේ මොහොතේ පමණක්ම නොවේ. නාට්‍යයේ නිරූපිත පුරුෂ පාර්ශ්වය ඒ අතින් මේ යථාර්ථයට වඩා යහපත් ය. පැහැපත් ය. ඔහු ආදරය වෙනුවෙන් ඉවසයි. නම්‍යශීලි වෙයි. ආදරණීයව බැඳුම් පවත්වාගන්නට මිස ලිහාගන්නට උත්සාහ නොදරයි. 


‘‘නාට්‍ය චාමර ගුරුගේ ගෙ.. එයත් පිරිමියෙක්. ඒ නිසා පොඩි ඇදිල්ලක් තියෙනවා. ඒත් අන්තවාදී නැහැ. ස්ත්‍රී පුරුෂ චරිත දෙකම ගොඩනගද්දි මැදිහත් දැක්මකුත් තියෙනවා. ඒත් ඒ ගැහැණු ළමයාගෙ හිතුවක්කාරගතිය, නොඉවසිල්ල, නපුරුකම ඉස්මතු කරනව වැඩියි වගේ.. ඒක ගැහැණිය ගැන තියෙන පොදු අදහසක්නෙ...” උත්තරා සිතුවා මිස ඒ බව සිය පෙම්බරාට කියන්නට නොගියාය. ස්ත්‍රීවාදය ගැන දේශනයක් අසන්නට ඈ සිත සූදානමක් නොවිණි. පොදු මනුෂ්‍යත්වය ගැන මිස හුදු ස්ත්‍රීත්වය පිළිබඳව පමණක් අන්තගාමී වෙසෙස් හැඟීමක් ඇය තුළ නොවිණි.

‘‘................. ට්‍රේන් එක එනවා... මම තියන්නම්. තාම ඔෆිස්ද?”

‘‘බස් එකේ. ගෙදර යන ගමන්. බෝඩිමට ගිහින් රින්ග් කරන්න. මම ගන්නම්.” සංවාදය නිමවන ඇසිල්ලේ ඒ හඬ දයාබරව, ළයාදරව දැල්වේ. ඉතින් සියලු දුක් සංකාවන් නිවී යයි.

හයයි දහයට පැමිණිය යුතු දුම්රිය පැමිණීයේ හතයි කාලටය. ප්‍රමාදය නිසාම දුම්රියේ සෙනඟද නොවුණි. කවුළුව අසලම අසුනක් ලැබීම අහඹු අසිරියකි. කොලොම්පුර පසුකරමින් දුම්රිය මන්දගාමීව ඇදෙයි. විදුලි බුබුළෙන් ආලෝකමත් වූ හාත්පස සුන්දරය. ගිනියම් දහවල ගැන හාංකවිසියක් නොදන්නා අහිංසකාවියක ලෙස සිහිල් සුළඟක් සැරිසරයි. වත සිඹියි. ආදරයට මිස වාදයට  සුදුසු පරිසරයක් නොවේ. ඇය නැවතත් දුරකථන අංකය මත ඇඟිලි තුඩු යැව්වේ සිනාවක් මුව මත තෙරපෙද්දීය.

‘‘පුදුමයි... සීට් එකක් ලැබුණා. වාඩිවෙන්න..” හේතු පහදාදීම අවශ්‍ය නොවුණත් උත්තරා නිස්කලංක සංවාදයකට ඉඩක් ඇති බවට ඉඟි කළාය.

‘‘ඒක හොඳයි....... නයිස් කපල් කතාව ඉවර වුණේ නැහැනෙ...”  

සිහිල් සුළං රැල්ලේ
ඔබේ සුවඳ මුසු වේ
ආදරයේ මුදු සිනිඳු පහස ලැබ
හදවත දළු සෙලවේ.....

හද දිනූ ගීතයක හඬ එහා ඉමෙන් ඇසුණි. ගීතය නිමවන තුරු දෙදෙන මුනිවත පිරූහ.

‘‘ලස්සන සින්දුව. බස් එකේ ඩ්‍රයිවර්, කන්ඩක්ටර් සුන්දර මිනිස්සු වගේ.............. ඉතින්?” බලන්නටම සිතා සිටි නාට්‍යයක් මඟ හැරී යාමේ කණස්සල්ලක් ඔහු තුළ වේදැයි උත්තරා සිතුවාය.

‘‘ ඉතින්.............. ඒ නාට්‍යයෙ වයිෆ් කේන්ති ගියාම කටකමසිරියාවක් නැතිව කියවන කෙනෙක්. එයාගෙ වචන පිහිතුඩු වගේ. එයාගෙ ප්‍රශ්නවලට හස්බන්ඩ්ට උත්තර නැති වෙනවා. උත්තර තිබුණත් අරය ඒව තේරුම් ගන්න උත්සාහ කරන්නෙත් නෑ... මට හස්බන්ඩ් පව් කියලත් හිතුණා.

ඒ අතින් අපි දෙන්නයි ඒ දෙන්නයි අතර වෙනසක් තියෙනවා. ‍කේන්ති ගියාම කෙළවරක් නැතිව කියවන්නෙ ඔයානෙ. හුස්මක් ගන්නවත් ඉඩක් නැත්තෙ මටනෙ. මම කරන්නෙ දවස් දෙකතුනක් හොරෙන්ම අඬලා කඳුළු පිහදගෙන හිත හදාගන්න එකනෙ. කී වතාවක් නම් හිතුවද ඉතින් හැමදේම ඉවරයි. ඔයාගෙන් ඈත් වෙනවමයි කියල. ඒත් අන්තිමේ ආයෙම ළං වෙන්නෙත් මමනෙ.. නාට්‍යයේ ඒ භුමිකා දෙක මාරුවෙලා...”

උත්තරාගේ සිනාවට දුරකථනයේ අනෙක් පසින් පැන නැගි සිනාවද මුසු විය.

‘‘මට ඔය කාවවත් හුරතල් කර කර ඉන්න වෙලාවක් නැහැනෙ. මට ඊට වඩා වැදගත් වැඩ තියෙනවා...” ඒ සිනාවෙන්ම ඔහු පවසයි.

‘‘ආදරය කියන්නෙත් වැදගත් වැඩක් තමයි.............   ඒ නාට්‍යයෙ  හස්බන්ඩ් ගැන නම් මාරම දුක හිතෙන වෙලාවලුත් තියෙනවා. ඒ මනුස්සයා අධ්‍යාත්මිකව හුදකලා වුණ කෙනෙක්. තනිවුණ කෙනෙක්. වයිෆ්ට ඒක තේරුම් ගන්න ශක්තියක් නැහැ. අරයා ඒ බව තේරුම් කරන්න උත්සාහ ගත් බවක් පේන්නෙත් නැහැ. එයා තනියෙන්ම දේවල් විඳ දරාගෙන වෙහෙසට පත්වෙලා. අතීතයේ එයාගෙ ජීවිතය ගැන. ඒ කාලෙ තිබුණු නිදහස, මිත්‍ර සම්බන්ධතා ගැන. ආර්ථිකයත් එක්ක මනුස්සයෙක් අසරණ වෙන තරම.. නිදහස අහිමි වෙන තරම හස්බන්ඩ්ගෙ හුදකලා ආත්මකථනයෙ කියැවෙනවා. පවුල් සංස්ථාව ඇතුළෙ වැඩියෙන්ම තනිවෙන්නෙ, අසරණ වෙන්නෙ පිරිමිද කියලත් හිතෙනවා. ගැහැණු අයනම් අඬල දොඩලා හැපිල කෑගහල තමන්ගෙ වේදනා පිටකරගන්නවනෙ.... ඒත් පිරිමි හැමදේම හිතේ හිරකරගෙන ඉන්නවනෙ.. එක්කො අරක්කු සිගරට්වලින් විසඳුම් හොයන්න හදයි.. නැත්නම් පිටමං වෙලා යයි... ඒත් ඒ හැමදේකින්ම සිද්ද වෙන්නෙ ආදරය මැරෙන එක. විඳවන එක.....”

‘‘ඒ කතාව ඇත්ත. වෙලාවකට පෙම්වතියට, බිරිඳට වඩා මිත්‍රයෙක්, සිගරට්ටුවක්, බියර් එකක් සමීපයි කියල හිතෙන්න පුළුවන්... ඒ පිරිමි ස්වභාවය.. ගැහැණියකගෙ ආදරයට විතරක්ම බෑ පිරිමියෙක්ගෙ ජීවිතයේ හැම අධ්‍යාත්මික අවශ්‍යතාවයක්ම පුරවන්න.. අනිත් පැත්තටත් ඒක එහෙමම තමයි.. .”

‘‘නාට්‍යයෙ තව හිත්ගත්ත තැනක් තියෙනවා. දෙන්න දරුවෙක් ගැන කතා කරන වෙලාව. වයිෆ් කියනවා ‍එයාට දරුවව වෙනස්ම විදියට හදන්න ඕනි කියල. ඔයා වගේ වෙනස් විදියට හිතන ආදරණීය රස්තියාදුකාරයෙක්.. එහෙමයි එයා කියන්නෙ. ඒ හස්බන්ඩ් අරය තරම්ම බොළඳ තැනක නැහැ. සමාජයත් එක්ක ගැටිල ජීවත් වෙන කෙනෙක් නිසා වෙන්න ඇති. එයා කියනවා අපි කොයිතරම් වෙනස් විදියට හැදුවත් ඒ දරුවට පයගහන්න සිද්ද වෙන්නෙ මේ ජරාජීර්ණ සමාජයට කියල. දරුවා ඒ සමාජයට පයතියන පළමු මොහොතෙම අපචාරයට ලක් වෙනවා කියල.... ඒ කතාව ඇත්ත නේද? අපි අපේ දරුවො ගැන විතරක්ම හිතල හරියන්නෙ නැහැ. සමාජය යහපත් තැනක් වුණොත් විතරයි කොයි දරුවට වුණත් යහපතක් වෙන්නෙ.... ”

‘‘ඔය ඇත්ත මිනිස්සු තේරුම් නොගන්න නිසානෙ මේ හැම අවුලක්ම. අනාගත පරම්පරාව ගැන හිතල, තමන්ගෙ දරුවන් වෙනුවෙන් යහපත් හෙට දවසක් හදන්න ඕන කියල හිතල වර්තමානයෙ ජීවත් වෙනවනම් මේ ලෝකය මීට වඩා ලස්සන තැනක් වෙනවා....”

‘‘අන්තිමේදි දෙන්නගෙ ගැටුම් සමනය වෙලා අහිංසක බබෙක් වගේ හස්බන්ඩ් වයිෆ්ට තුරුල් වෙලා දොයිය ගන්නවා. ගොඩක් පිරිමි තමන්ගෙ බිරිඳගෙන්, පෙම්වතියගෙන් ඒ මාතෘක ප්‍රේමය බලාපොරොත්තු වෙනවය කියලත් මට හිතෙනවා. ලස්සනම වැඩේ මොකක්ද දන්නවද? අච්චරම ප්‍රගතිශීලී විදියට හිතන එක්කෙනත් නින්දට යන්නෙ ඕස්ට්‍රේලියාවට පැන ගැනීමේ හීනයක් එක්ක...... තමන් වෙනස්ය කියල හිතන, වෙනස් වෙන්න හදන ගොඩක් ජීවිතවල ඇත්ත ඒකම තමයි නේද? තවත් අතකින් මේ තියන සමාජ ක්‍රමය නිසා මිනිස්සු කොයිතරම් වෙහෙසට, බලාපොරොත්තු විරහිත තත්වයට පත්වෙලාද කියලත් ඉඟිකරනවා. ආදරයට ආදරය විදියට පවතින්න පුළුවන් වටපිටාවක් නැහැනෙ...”

ඇය මොහොතකට අවසන් ජවනිකාව සිහිපත් කළාය. බිළින්ඳකු සේ තම බිරිඳගේ තුරුලේ නිදන සැමියෙකි. හිටිවනම ඔහු තිගැස්සී අවදි වේ. කවුරුන් හෝ තමන් දෙස බලා සිටින බව පවසන ඔහු තමන් සිටින්නේ නිරුවතින්දැයි විමසයි. එසේ නොවන බව බිරිඳ පැහැදිලි කළත් තිගැස්ම පහව නොයයි. අවසන ඔවුහු ප්‍රේක්ෂාගාරයට පිටුපා නින්දට වැටෙති. පවුල් සංස්ථාව තුළ සිරවන බොහෝ යුවතිපතීන් කරන්නා සේම ඔවුහු ජීවිතයට පිටු පා නිද්‍රාවක වෙළෙති. නමුත් එතැන ආදරය නොපවතින්නේ නොවේ. ගැටලුව වන්නේ පවතින ආර්ථික සමාජ අර්බුද හමුවේ ඒ ආදරයට කොතෙක් දුරට ජීවිතය දරාගත හැකි වේද යන්නය.


‘‘මට හිතෙනවා ආදරය තියෙන්නෙ නාට්‍යය ඇතුළෙ නෙවෙයි එයින් පිටත කියල...”

‘‘ඇයි එහෙම හිතන්නෙ?”

‘‘නාට්‍යය ඇතුළෙ තියෙන්නෙ ගැඹුරට මුල් ඇදපු ප්‍රේමයක් නෙවෙයි. ප්‍රේමයේ මතුපිට ගලායෑමක්... ඒත් වේදිකාවෙ දිගෑරෙන ඒ ජීවිත කතාව බලන් ඉද්දි අපිට දැනෙන්න ගන්නවා අපේ බැඳීම්වල අඩුපාඩු. අපේ ආදරයේ තරම.. අපි ආදරය කිය කියා කරන්නෙ කොයිතරම් බොරුවක්ද කියන එක.... අපි ආදරය කියල රැවටෙන්නෙ කොයි තරම් මායාවකටද කියන එක... ආදරණීය මිනිස්සු වෙන්න නම් අපි කොයිතරම් වෙනස් වෙන්න ඕනද කියන එක.. නාට්‍යය අපිට වෙනස් වෙන්න බල කරන්නෑ. ඒත් වේදිකාව දිහා බලන් ඉද්දි හිත කතාකරන්න ගන්නවා. හිනායනවා සමහර වෙලාවට. ඒත් ආපිට හිතෙනවා මේ අපි හිනාවෙන්නෙ අපිටම නේද කියලත්.. ඒ නිසයි මම එහෙම කිව්වෙ...”

‘‘කොහොමද රඟපෑම්?”

‘‘චරිත දෙකයිනෙ තියෙන්නෙ... එහෙමයි කියල කම්මැලිකමක් දැණුනෙ නැහැ. ඒ දෙන්න හොඳට රඟපානවා. මම නම්වලින් දන්නෙ නැහැ.. අළුත් අය වගේ..මට වැඩිය වේදිකා නාට්‍ය බැලෙන්නෙත් නැති නිසා සන්සන්දනාත්මකව නාට්‍යය ගැන කියන්න අමාරුයි....”  

‘‘පොත්ම විතරක් නෙවෙයි කලාව කියන්නෙ. අවස්ථා හදාගෙන හරි වේදිකා නාට්‍ය බලන්න. ඒ සජීවීකම ජීවිතය අළුතෙන් අල්ලගන්න උදව් වෙනවා.... මං කැමතියි ඔයාගෙ කියවීමට.. ඒක නිවැරදිම කියවීම නොවෙන්න පුළුවනි... නමුත් වඩා වැදගත් ඕනෑම කලා නිර්මාණයක් ඇතුළෙ ජීවිතය දකින්න උත්සාහ කරන එක.. ඒ උත්සාහය තමයි අධ්‍යාත්මිකව පොහොසත් වෙන්න උදව් වෙන්නෙ....” 

උත්තරාගේ වත මත සිනාවක් පිපුණි. ඒ හිත කියවීම එතරම්ම අපහසු නැත. එහි ආදරය තැන්පත්ව ඇත්තේ ගැඹුරුම පත්ළේ ය. එය නිරන්තරයෙන් රැළි නඟන නොගැඹුරු දියත්තක් නොවේ.

‘‘ඕහ්.......... බහින්න ළඟයි. කතාවෙන් අමතක වෙනවා... ”

‘‘ඕකේ. පරිස්සමින් යන්න.” හැමදාමත් වගේ ‘පරිස්සමින්’ යන්න වඩාත් බරට හදවතට දැනෙද්දී ඇය සැනසුම් සිතින් දුරකථනය නිවා දැමුවාය.

What a nice Couple!!!!!!!