පිටු

Showing posts with label තරූගේ ජපන් මතක. Show all posts
Showing posts with label තරූගේ ජපන් මතක. Show all posts

Thursday, May 25, 2017

ජපානයේ ගොවි නිවසක දවසක්

ගොවි නිවසේ තිබු සාම්ප්‍රදායික කිමෝනාව ඇඳි ජපන් ළඳකගේ චිත්‍රයක්

ජපානයෙදි මං දැක්ක විශේෂත්වයක් තමයි ගමේ ගොවි, ගෙවිළියන්ගේ සමිති සමාගම්වල ඉඳල පාසල්, රාජ්‍ය ආයතන, රාජ්‍ය නොවන සංවිධාන, විශ්වවිද්‍යාල අතර තියෙන අනෝන්‍ය සම්බන්ධතා. මේ හැම දෙයක්ම එකිනෙකට සම්බන්ධ කරන ප්‍රමුඛ මැදිහත්කරුවෙක් විදියට JA -  Japan Agricultural Cooperatives ජපන් කෘෂි සමූපකාර ජාලය  විශිෂ්ට කාර්යභාරයක් ඉටුකරනවා. මේ කෘෂි සහයෝගිතාවට රාජ්‍ය මට්ටමින් යම් ආකාරයක ප්‍රතිපාදන සහ පහසුකම් ලැබෙනව වුණත් එහි වැඩි බරක් දරන්නෙ සාමාජිකයින් වන කෘෂිකාර්මික ප්‍රජාව. මුදලින් වගේම ශ්‍රමයෙන්. ඔවුන් පෞද්ගලිකව වගේම කණ්ඩායම් විදියටත් JA සමග සම්බන්ධයි. එයින් දැනුම, පුහුණුව ලබා දෙනව වගේම යම් ප්‍රාග්ධන අවශ්‍යතා සම්පූර්ණ කරගන්නත්, වෙළඳපල ගැටලු විසඳගන්නත් උදව් වෙනවා. අතරමැදියන් නැතිව තමන්ගේ නිෂ්පාදන අලෙවි කරගන්න ගොවියන්ට පහසුකම් සලසල තියෙනවා. එයින් 10% හෝ 20% ක මුදලක් JA එකට දෙනවා. ප්‍රදේශය සහ ගොවියන්ගේ ආදායම් මට්ටම අනුව මේ ගෙවන මුදල වෙනස් වෙන බව දකින්න පුළුවන්.

අපේ ගමින් ගමට තියෙන ගොවි සමිති, සමෘද්ධි සමිති විධිමත් කරනවනම්, එය සමස්ත දිවයින ආවරණය වෙන විදියට ක්‍රියාත්මක කරමින් එකම ආයතනයක් විදියට කටයුතු කරනවනම් ජපන් කෘෂි සහයෝගිතාවයෙන් ගන්න පුළුවන් පාඩම් එමටයි.

ජපානයේ ගොවි නිවසක දවසක්  

ගොවි නිවසක සංචාරක අත්දැකීමක් ලබන්නට අපිව සම්බන්ධීකරණය කළේ විශ්වවිද්‍යාලයකට සම්බන්ධ කෘෂි විද්‍යා ආයතනයක් මඟින්. කණ්ඩායම් කිහිපයකට වෙන් කළ අපේ පිරිස රැගෙන යන්න ඒ ගොවි නිවෙස්වල හිමිකරුවන් පැමිණ සිටියා. මා ඇතුළු පිරිස කැඳවාගෙන ගියේ 70 විය ඉක්මවූ ගොවි මහත්මයෙක්. ඔහුගෙ කුඩා වෑන් රියෙන්. අපි හයිඑස් නමින් හඳුන්වන වෑන් රථයක් විය යුතුයි. බොහෝ දුර බැහැර පිටිසර ගම්මානයක්. හරිත කඳුවැටි, කෙත් යායවල්, ගොවිපළවල් පසුකරගෙන පැය දෙකක පමණ ගමනක් ගියා මතකයි.

ගොවි නිවසේ දෙන්න දෙමහල්ලෝ‍ෙ

එය ජපානයේ සාම්ප්‍රදායික ගොවි නිවසක්. නිවස වටේටම තියෙන්නෙ කුඹුරු. ( ජපානයේ නගරවල පවා හැම හිස් ඉඩකම බොහොම විධිමත්ව සකසපු කුඹුරු දකින්නට ලැබෙනවා. ) නිවසේ උන්නේ ඔහුත්, ඔහුගේ බිරිඳත් පමණයි. දරුවන් රැකී රක්ෂා සමඟ ගම අත්හැර ගිහින්. හරිම ආදරවන්ත යුවළක්. අපටත් ඔවුන් ඉතාම ළෙංගතුව සැලකුවා. දරුවන්ට බරක් නොවී අමතර ආදායමක් හොයාගන්න සංචාරක ලැගුම්පල උදව්වක් වෙලා තියෙන බවයි ඒ මව්පිය යුවළ පැවසුවේ.  

ගොවි නිවසේ විසිතුරු දසුන්

නිවසේ ඉදිරිපස පෙනුම 


ආගමික පිළිවෙත් සිදුකරන ස්ථානය

ඇතකුගේ සහ ඇත් පැටවකුගේ ලී කැටයමක්

ලී කැටයමක්... 

නිවසේම එක් කොටසක් ඒ සඳහා වෙන්කර තියෙන්නෙ. සුපිරි පහසුකම් නොවුණත් ජීවිතේට වෙනස් සුවයක්, සැනසුමක් ගේන අපූරු නිස්කලංකකමක් ඒ ගම්මානයේත්, ගොවි නිවසෙත් පැතිරිලා තිබුණා. බොහෝ විට මේ අත්දැකීම විඳින්න පැමිණෙන්නේ අධ්‍යයන කණ්ඩායම් සහ නාගරික පවුල් බවයි කියැවුණේ. දුරබැහැර ගම්මානයක් නිසා විදෙස් සංචාරකයින්ගේ පැමිණීම අඩුයි. ඉතාම පිටිසර ගමක මේ ස්වයං රැකියාවට අවශ්‍ය සහයෝගය ලබාදෙන්නෙ පළාත් රජයෙන් සහ කෘෂිකර්ම සහයෝගීතාවයෙන්. ඒක තමයි විශේෂත්වය. අපේ රටවල නම් සිද්දවෙන්නෙ සහයෝගය වෙනුවට තවත් පුලුවන් නම් බදු ගහල බොහොම අමාරුවෙන් ස්වශක්තියෙන් නැගිටින මිනිස්සුන්ගෙනුත් රජයට යමක් හරිහම්බ කරගැනීමනෙ. 

සංචාරකයන් සඳහා සූදානම් කළ කුටිය 

ගොවි නිවසේ තුන්වේලටම ලබා දෙන ආහාර ඔවුන්ගේ ගොවිපළෙන් වගේම ගම්මානයෙන් ලබා ගත් දෑ. වස විස නැති, රස ගුණ පිරි විශේෂ භෝජන සංග්‍රහයක්. ඒ ආහාර වේලක් සම්පූර්ණයෙන් භුක්ති විඳල අවසන් කරන්න බැරි තරම්. ඒ හැම වෙලාවකම මට සහය වුණේ අපේ සම්බන්ධීකාරිකාව වුණ නුගී සන්. ආහාර නාස්තිය ඔවුන් කෙසේවත් අනුමත කරන්නෙ නැහැ. ඉතින් මගේ කෑම වේල අපි දෙන්නම එකතු වෙලයි අවසන් කරගත්තෙ.

උදෑසන ආහාර වේලට උදව් වන නුගී සන්

එක් අයකුට එක් වේලකට වෙන් වන ආහාර ප්‍රමාණය ගැන අදහසක් ගන්න පුළුවන් නේද? මේ සියල්ලම ගමෙන් ලබා ගත් දෑ

ගම්මානයට තරමක් දුරින් පැවති දිය ඇල්ල සංචාරක ආකර්ශණය ඇද බැඳ ගන්නා තැනක් විදියට දියුණු කරල තියෙනවා. දිය ඇල්ල ළඟට යන්න තිබුණෙ මේපල් ගස් යටින් වැටුණු කුඩා ගුරු පාරක් දිගේ. ඒ යන මඟ දෙපසත් පුංචි පුංචි නිර්මාණාත්මක දැයින් අලංකාරයක් එකතු කරන්නට මහන්සි අරන් තිබුණු බව පෙනුණා. 


දිය ඇල්ලට යන මඟ දෙපස හරිත පරිසරය


දිය ඇල්ල දක්වා යන පටු පාර අද්දර අවන්හලකට මඟ කියන්නෙ මෙහෙමයි... 



දිය ඇල්ල දුර දසුනක් ලෙස


මේපල් පත් අතරින් දිස්වන දිය ඇල්ල

ගිමන් හරින්නට තනා ඇති ගිම්හාන නිවස 

ස්වභාවයෙන්ම සංචාරක ආකර්ෂණය දිනාගත් රටක් වන අපි අපේ ඒ ස්වභාවික ලස්සන නැතිකරගනිමින් ඉන්නවා. නමුත් ජපානය පවතින සුන්දරත්වය රැකගන්නව වගේම එය වැඩිදියුණු කරනවා. පුංචිම අසිරියකින් වුණත් පරිසරයත්, ජන ජීවිතයත් ගොඩනගන්නට ලොකු වැඩක් කරන්න ඔවුන්ට හැකියි. පිළිවෙල, පිරිසිදුකම, කාර්යක්ෂමතාව, රටට වගේම පරිසරයට තියෙන ආදරය ඒ දියුණුවේ රහස් කියලයි මට හිතෙන්නෙ.

නිවස අවට කුඹුරු යායවල්... ඈත කඳුවැටි




රාත්‍රී මුර සංචාරයේ යෙදෙන ගොවි මහතා සහ බලු යාළුවා...

අපේ ගොවි සීයා ඒ දියඇල්ල බලන්න අපිව එක්කරගෙන ගියෙත් එයාගෙ පුංචි වෑන් එකෙන්. ඒ එන ගමනෙ මහා පරිමාණයෙන් සිදුකරන හතු වගාවක් බලන්නත් පුළුවන් වුණා. ඒ පැත්තෙ වී වගාවට වගේම හතු වගාවටත් විශේෂ තැනක් ලැබෙනවා. 

සංචාරක අපිට නිවසෙත්, ගොවිපළෙත් නිදහසේ සැරිසරන්න අවස්ථාව දීල ඒ දෙන්න දෙමහල්ලො එයාලගෙ දෛනික රාජකාරිවල නිරත වුණා. අපට යම් අදහසක් හුවමාරු කරගන්න උවමනා වුණ තැන්වලදි නුගී සන් ජපන් භාෂාව සහ ඉංග්‍රීසිය අතර අත්වැලක් වුණා. එදා රාත්‍රියෙ අපේ ගම ගෙයක වගේම ඔකාසන් ( අම්ම ) කෑම ලෑස්ති කරල දෙනකල් අපි රූපවාහිනිය බලමින් උන්නා. එදෝ යුගයට අයිති දුක්බර පෙම් කතාවක්. කොටස් විදියට යන ටෙලි කතාවක්. ගෙවිලිය නම් නොවරදවාම ටෙලිය බලන බවයි පෙනුණෙ.

ආහාර සප්පායම් වෙලා සාම්ප්‍රදායික තතමි පැදුරක සාම්ප්‍රදායික ජපන් ක්‍රමයට, නූතන විදුලි පංකාවකුත් දාගෙන අපි නිදාගත්තා. ඒ රාත්‍රිය සරලයි. සුන්දරයි..

පහුවෙනිදා උදෑසන ආහාරයෙන් පස්සෙ අපිව ආයෙම ආයතනයට ගෙනත් ඇරලුවේ හැත්තෑ වියත් ඉක්මවූ ඒ ගොවි අම්මා. ඉතා හුරුබුහුටි විදියට, පරිස්සමට ඈ වාහනය හසුරුවනවා බලන් ඉන්නත් ආසයි.

......

අපි කොහොමද අපේ රටට මේ කෘෂි සංචාරක කර්මාන්තය ආදේශ කරගන්නෙ. දැනටමත් සමහර ගොවි බිම්වල, හේන්වල, ගොවිපළවල මේ කටයුත්ත කෙරෙනවා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික වැඩ විදියට. අඹේවෙල ගොවිපළ මහා පරිමාණයේ වැඩක්. කොළඹ ගමයා අයියා ලියූ ගොවිපලේ නිවාඩුව සටහනත් කියෙව්වම තවත් අලුත් අදහස් ගන්න පුළුවනි. 

සංචාරක ආකර්ෂණය දිනාගන්න අපූරු අත්දැකීමක් විදියට මේ කටයුත්ත කරන්න නම් ඒකට ගැමි ගොවි ජනතාව දැනුවත් කරන්න ඕන. පිළිවෙල, පිරිසිදුකම, සෞඛ්‍යාරක්ෂිතබව, අවංකකම, කැපවීම, සුහදශීලීබව වගේ ගුණාංග අත්‍යවශ්‍යයි. ලංකාවෙ අපි ළඟ අඩුවෙන්ම තියෙන්නෙත් මේ වටිනාකම්. කාගෙන් හරි කමක් නෑ කීයක් හරි කඩාවඩා ගන්න බලාපොරොත්තුවෙන් නම් වැඩ කරන්නෙ ඒවට පැවැත්මක් නැහැ.
ඒ වගේම මේ ගොවිබිම්වල වැඩ කරමින් අත්දැකීමක් ලබන්න පාසල් සිසුන්ට ලබා දෙන අවස්ථාවත් හරිම වටිනව. එ් අත්දැකීම ගොඩක්ම වටින්නෙ නාගරික දරුවන්ට. 

Tuesday, May 23, 2017

දැය දිනුමට පැද යන නැවියා...

Haruyo Morita ගේ ජපන්  සිතුවමකි... 

කෘෂි සංචාරක කර්මාන්තය මට එතරම් සමීප මාතෘකාවක් වුණේ නැහැ. නමුත් 2011 වසරේ ‘එක ගමක් - එක නිෂ්පාදනයක්‘ OVOP - One Village One Product සංකල්පය ගැන අධ්‍යයනයක යෙදුණු ඔයිටා පළාතේ  දින තුනක සංචාරය අතරතුර අපූරු අත්දැකීම් රැසක්ම ජීවිතයට එකතු වුණා. මේ ගැන ලිවීම අතපසු වෙලා තියෙද්දි කොළඹ ගමයගේ ගොවිපළක සංචාරය ගැන පළ වෙන ලිපි පෙළ ‘ලියනු.. ලියනු‘ කියල හිත කොනහන්න ගත්තා.

ජපානයේ කියුෂු දූපතේ එක් පළාතක් ( Prefecture) තමයි ඔයිටා. අපි ශිකොකුවල ඉඳල කියුෂු ගියේ ෆෙරි එකක. ෆෙරි කියන්නෙ කුඩා ප්‍රමාණයේ නැවක් කියලයි මං හිතන්නෙ. ඒකත් සුන්දර අත්දැකීමක් ජීවිතේ පළමුවරට විඳින්නට ලැබුණු.  






බස් රියෙන්, නැවෙන් සහ නැවතත් බසයෙන් දවසක වෙහෙසකර ගමනක් අවසානයේ අපි හැන්දෑවෙ පහට විතර ඔයිටාවල OVOP ප්‍රධාන කාර්යාලයට ආවා. ගිමන් හරින්න ලැබුණු පුංචි කාලයකින් සහ හරිත තේ කෝප්පයිකින් පසුව හරියටම හයට සමාරම්භක වැඩසටහන පැවැත්වුණා. ජපානය එහෙමයි. වැඩේට තමයි මුල් තැන. කාලය ගැන සැලකිලිමත්. ‘අද මහන්සියි හෙට කරමු.‘ එහෙම කතා නැහැ.





සමාරම්භක වැඩසටහනේ මුල්ම කතාව කළේ OVOP වැඩසටහනේ නිර්මාතෘ මොරිහිකෝ හිරමට්සු මහත්මා.1978 වසරේ මොරිහිකෝ හිරමට්සු (  Morihiko Hiramatsu ) ඒ පළාතේ ආණ්ඩුකාරවරයා වෙද්දි ඔයිටා කියන්නෙ ඉතාම දුප්පත්, දුෂ්කර පළාතක්. කාන්තා ප්‍රතිශතය වැඩියි. ඔහු ඔයිටා දියුණු කරන්න උපරිමයෙන් කැපවෙලා වැඩ කළා. ඒ එක් ප්‍රයත්නයක් තමයි OVOP - One Village One Product සංකල්පය. ගමින් ගමට අනන්‍ය වූ කෘෂි නිෂ්පාදන, අත්කම්, චිත්‍ර, කැටයම් මූර්ති වැනි සාම්ප්‍රදායික කලා නිර්මාණ අගය වටිනාකමක් එකතු කරල වෙළඳපළට නිකුත් කරන්න ජනතාව ධෛර්යමත් කළා. 

ජනතාවගේ ශ්‍රමයට මුල් තැනක් දුන්නු මේ වැඩසටහන දියත් වුණේ බොහෝ විට සාමූහික ක්‍රියාකාරකම් ලෙස. මේ සඳහා දැනුම, තාක්ෂණය, ප්‍රාග්ධනය වගේ මූලික පහසුකම් රජය මගින් ලබා දුන්නා. රජය සම්බන්ධීකරණ කටයුතු කළා. නමුත් මූලික වගකීම පැවරුණේ ගමේ ජනතාවට. ජනතාව රජය මත යැපුණෙ නැහැ වගේම, රජය අවශ්‍ය මඟපෙන්වීම ලබා දීම, මූලික පහසුකම් සැලසීම මිස ජනතාවට උඩින් සිට සහන සැපයීම වැනි වැඩක් කළේ නැහැ. මේ වැඩසටහනේ ඉතාම වැදගත් දෙය දෙපයින් නැගී සිටින්නට අවශ්‍ය දිරි දීම කියල මං හිතන්නෙ.


Add caption



අපේ වැඩමුළුවෙ ආරම්භක කතාව කළේ ඒ ආණ්ඩුකාරවරයා. ඒ වන විට ඔහු 87 වියැතියි. ඔහු අට වතාවක් ඔයිටා පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස පත්වෙමින් වසර 24 ක් එම තනතුරේ සේවය කරල තියෙනවා. ජපානයේ වැඩිම කාලයක් ආණ්ඩුකාර තනතුර දැරූ පුද්ගලයා විදියටයි හැඳීන්වුණේ.  

‘‘බාහිරින් එන ව්‍යවසායකයො පාඩු ලබද්දි ගම අත්හැරල යනවා. නමුත් ගමේම සම්පත්, ශ්‍රමය, කැපවීම තුළ ගොඩනැගෙන ව්‍යාපාර පවතිනවා. ඒවට ගමෙන් එහාට ජාත්‍යන්තර මට්ටම දක්වාම වුණත් වර්ධනය වෙන්න පුළුවන්. එදාට වඩා තාක්ෂණය දියුණු අද කාලෙ ඒකට ලොකු ඉඩක් විවෘත වෙලා තියෙනවා. නිෂ්පාදනවලට අගය වටිනාකමක් එක් කළ යුතුයි. මිනිස්සුන්ට අවශ්‍ය දැනුම ලබා දිය යුතුයි. ග්‍රාමීය ප්‍රදේශවල පුහුණු පාසල් ඇති කළ යුතුයි. තරුණ පරපුර දැනුවත් කිරීම අත්‍යවශ්‍යයි. ගම දියුණු කරන්න ඕන ගමේ සම්පත් සහ ගමේ ශ්‍රමය... රජය විදියට අපි ඒකට අවශ්‍ය මඟපෙන්වීම සහ ශක්තිය වෙන්න ඕන...‘‘

මොරිහිකෝ මහතාගෙ කතාවෙ කොටසක් එය.  OVOP වැඩසටහන ආරම්භක සමයේ මුහුණ දුන්න ගැටලු, කඩාවැටීම්, ඒ වගේම සාර්ථකත්වය, ක්‍රමයෙන් පළාත සංවර්ධනය වීම ගැනත් ඔහු කතා කළා.

OVOP වැඩකිරීමේ පරමාදර්ශ විදියට ඔවුන් සලකන්නේ මේ කාරණා.

Think globally - Act Localy
Independence and Creativity

මුල් කාලයෙදි ආණ්ඩුකාරවයා පැය 24 ම වැඩ කරලා තියෙනවා. සියලුම ප්‍රාදේශීය රාජ්‍ය ආයතන එයට පූර්ණ සහයෝගය දෙමින් එක් වෙලා. මේ කියන කාලය ඔයිටා කියන්නෙ ප්‍රවාහන, සන්නිවේදන, තාක්ෂණික වගේ පහසුකම් අවම වූ නොදියුණු දුෂ්කර පළාතක්.

OVOP වැඩසටහනේ ප්‍රධාන කාර්යභාරයක් ඉටුකරල තියෙන්නෙ කාන්තාවන්. ගම්වල ඇති කළ කාන්තා කණ්ඩායම් තමයි තමන්ගෙ ගම්මානයේ නිෂ්පාදන අගය වටිනාකමක් එකතු කරල වෙළඳපළ දක්වා ගෙන යන වැඩකොටස ඉටුකළේ. එක් එක් කාලවලදි ගම්වල හැදෙන එළවළු, පළතුරු මේ විදියට කාන්තා කණ්ඩායම් අතින් සකස් වෙලා වෙළඳපළට යැවුණා. මේ කතන්දරේ අහන් ඉද්දි මට මතක් වුණේ අපේ රටේ කාලෙන් කාලෙට ගස් යට වැටිල නාස්ති වෙලා යන කොස්, දෙල්, අඹ, දෙහි, කොමඩු වගේ පළතුරු... එළවළු...



පිං පඩි දීමට එහා ගිහින් මධ්‍යම සහ පළාත් ආණ්ඩු මිනිස්සුන්ව ඒකරාශි කරල මේ වගේ නිෂ්පාදන ක්‍රියාවලියක් හදන්න මූලික පහසුකම් ලබා දෙනවනම් කොයි තරම් හොඳද? දැනටමත් ලංකාව පුරා ස්වශක්තියෙන් මෙවැනි වැඩවලට අත ගහපු මිනිස්සු ඉන්නවා. ඒ අයට ජාතික සහ ජාත්‍යන්තර මට්ටමින් වෙළඳපල සම්බන්ධතා ගොඩනගාගන්න උදව් කරන්න පුලුවන් නම් හොඳයි. දෙවෙනි ලෝක යුද්දයෙන් නැත්තටම නැති වුණු ජපානය ගොඩනගන්න මධ්‍යම රජය සහ පළාත්, ප්‍රාදේශීය රාජ්‍ය ආයතන කැපවෙලා තියෙන්නෙ අන්න ඒ විදියට.


මේ තියෙන්න මුරුක්කු හදන තැනක්. ඒවයේ නම ‘‘කරින්තෝ‘‘. පටන් අරගෙන අවුරුදු 27 ක් 2011 වෙද්දි. ගෘහණියන් විදියට ඉතාම දිළිඳු අඩියක හිටි කාන්තාවන් කුඩා කණ්ඩායම් විදියට එකතු කරල විවිධ නිෂ්පාදන පටන් අරගෙන තියෙනවා. මේ කරින්තෝ නිපදවීම අදටත් අඛණ්ඩව ක්‍රියාත්මකයි. ගමේ ගෙවිලියන් 07 දෙනෙක් තමයි මේ තැන පවත්වගෙන යන්නෙ. ඔවුන් සේවා මුර ක්‍රමයට මෙහි වැඩ කරනවා. ආදායම සමව බෙදා ගන්නවා. ආදායම බෙදාගනිද්දි වැඩ කළ පැය ගණන සැලකිල්ලට ගන්න බවයි කියවුණේ. 

ඒ වගේම පාසල් සිසුන්ට පැමිණ වැඩ කරමින් අත්දැකීමක් ලබන්නත් අවස්ථාව සලසල තියෙනවා. මේ කාන්තා එකමුතුවට පැවරිලා තියෙන තවත් කටයුත්තක් තමයි ගමේ මහලු අය ගැන සොයා බැලීම, ඔවුන් රැක බලා ගැනීම. ඒ වගේම ආගමික කටයුතු සංවිධානය. මේව ව්‍යාපාරික කටයුත්තට අමතරව ඔවුන් ඉටුකරන පොදු සමාජ සත්කාරයන්... 
  
මුරුක්කු වර්ග තුනකින් ආරම්භ කරල දැනට වර්ග 10 ක් නිෂ්පාදනය කරනවා. ඒවායේ විශේෂත්වය තමයි කෘතිම රසකාරක, වර්ණකාරක භාවිතා නොකිරීම. හැම අමුුද්‍රව්‍යයක්ම සපයා ගන්නෙ තමන්ගෙ වගාවෙන්. ඔවුන් වර්ණ ගන්වන්න යොදාගන්නෙ හරිත තේ, කෝපි, බ්ලූ බෙරි, වට්ටක්කා වගේ දේවල්. රස ගන්වන්නෙ සීනි, මී පැණිවලින්. 

ඔවුන් තමන්ගෙ නිෂ්පාදන OVOP ආයතනයට භාර දෙනවා. අලවි කටයුතු සිදුවෙන්නෙ එතනින්.

‘‘අපි නිතරම විශ්වාස කරනවා අපේ කරින්තෝ තමයි හොඳම. පාරිභෝගික තෘප්තිය අපේ ආදායම..‘‘ එදා අපට හමු වූ වතනබේ තෙරිකෝ සන් තමන්ගෙ ව්‍යාපාරය ගැන කිව්වෙ එහෙම.


වර්ග දහයක කරින්තෝ නිෂ්පාදන
එක් අයකුට, එක් වරකට රස විඳිය හැකි ප්‍රමාණයෙන් ඇසුරුම් කර තිබෙනවා.

පුහුණු වැඩමුළුවෙ ආරම්භක දේශනය කළ මහාචාර්යවරයා කිව්වෙ ‘අපේ රටේ රාජ්‍ය සේවය ශක්තිමත්. ඒ නිසා දේශපාලනයේ මොන විදියෙ වෙනස්කම් වුණත් ජපානය  වැටෙන්න ඉඩක් නැහැ‘ කියලයි. මේ කතාවෙ කොයිතරම් දුරට ඇත්තක් තියෙනවද කියල නම් මම දන්නෙ නැහැ.

කෘෂි සංචාරක කර්මාන්තය ආශ්‍රිතව ජපානයේ ගොවි ගෙදරක ලැබූ අත්දැකීම ගැන මීළඟට තමයි ලියන්න වෙන්නෙ. ලියන්න පටන් ගත්තෙ ඒ ගැන වුණත් පොඩි පඳුරු තැලිල්ලක් තමයි සිද්දවුණේ.  

Monday, August 10, 2015

දෙහි ගෙඩියෙන් ලොව දිනු ගමක්.. උමජි මුරා

අවන්අහලේ ආලින්දය

ආර්ථික සංවර්ධනය ගැන කතා බහක් ඇහෙන හැම අවස්ථාවකම මගේ හිත ඇදෙන්නෙ ජපානයට.. 2011 වසරේ ග්‍රාමීය කාන්තාව සවිබල ගැන්වීම කියන තේමාව යටතේ ජපානයේ පැවති පුහුණුවකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ශිකෝකු දූපතේ ටකමට්සු නගරය ආසන්නයේ අයගාවා කියන සුන්දර ගොවි ගම්මානයේ පැවති OISCA පුහුණු මධ්‍යස්ථානයෙදියි මේ පුහුණුව පැවැත්වුණේ. පාඨමාලාවට නියමිත අධ්‍යයන චාරිකාවන් අතර ඔයිටා දිස්ත්‍රික්කයේ ‘‘එක් ගමක්- එක් නිෂ්පාදනයක්‘‘ (One Village One Product) ආර්ථික සංවර්ධන වැඩපිළිවෙල අධ්‍යයනය කරන්නට ලැබුණු අවස්ථාව හරිම සුවිශේෂීයි..

කෘෂි සංචාරක කර්මාන්තය,  කාබනික ගොවිපළවල්, ආහාර නිෂ්පාදන ආයතන, අවන්හල්, සාම්ප්‍රදායික කර්මාන්ත, බොන්සයි මධ්‍යස්ථාන, වයින් නිෂ්පාදනාගාර  මේ වගේ බොහොමයක් තැන්වලට යන්නත්, අධ්‍යයනය කරන්නත් අවස්ථාව ලැබුණා...

ජපානය කාර්මික අතින්, නවීන තාක්ෂණය අතින් ඉතාම දියුණු තලයක තියෙන රටක් වුණත් එහි කෘෂිකර්මාන්තයට ලැබෙන්නෙ අද්විතීය ස්ථානයක්. නිරෝගී සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට මහත් කැමැත්තක් දක්වන ඒ නිසාම රස ගුණ පිරි පෝෂ්‍යදායී ආහාර සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන රටක් බව පැහැදිලිවම දකින්නට ලැබෙනවා. ‘ආහාර කියන්නෙ ජීවිතය‘ අපට අධ්‍යයනය කරන්නට ලැබුණු සෑම ආහාර නිෂ්පාදන ආයතනයක්ම, ගොවිපළක්ම, අවන්හලක්ම මේ ආදර්ශ පාඨය අනුගමනය කරමින් ආදර්ශමත් සේවාවක නිරත වනවා.

මුදලට වඩා මුල් තැන දෙන්නෙ ජීවිතයට.. පරිසරයට...  

ආර්ථික සංවර්ධනය සම්බන්ධයෙන් මහා පරිමාණ වැඩ ගැන හිතන අපිට, ලංකාවේ තරම් ස්වාභාවික සම්පත් පවා නැති, දෙවෙනි ලෝක යුද්ධයෙන් පස්සෙ නැත්තටම නැති වෙලා ආයෙම මුල ඉඳන් ගමනක් ආරම්භ කළ අද ලෝකයේ දියුණුම රටවල් අතර ඉන්න ජපානයෙන් ඉගෙනගන්න බොහෝ පාඩම් තියෙනවා. විශේෂයෙන්ම අපේ ගම්පළාත්වල ඇති සම්පත් උදව් කරගනිමින් සුළු හා මධ්‍ය පරිමාණ කෘෂි කර්මාන්ත සහ සාම්ප්‍රදායික කර්මාන්ත දියුණු කරන විදිය ගැන, මේ කර්මාන්ත දෙස් විදෙස් සංචාරක කර්මාන්තය සමඟ බද්ධ කරන ආකාරය ගැන ජපානය අපට අපූරු අත්දැකීම් කියා දේවි.   

සකුරා දේශයේ සුන්දර අධ්‍යයන චාරිකාව තුළ ලැබූ එක් අත්දැකීමක් මෙලෙස ඔබ හා බෙදාගන්න කැමතියි.

ෆයින් තුරු යායෙන් වටවුණු යෂුදා ගඟ අද්දර උමජි මුරා ගම්මානය.......



උමජි කියන්නෙ ශිකොකු දූපතේ, අකි පළාතේ, කොචි දිස්ත්‍රික්කයේ පිහිටි හරිත වනගහණයකින් වට වුණු ඉතාම ලස්සන ගම්මානයක්. සුපැහැදිලි නිල් දියවර සමඟ ගලා යන යෂූදා ගඟ ගම්මානයට එක්කරන්නෙ ශෝබමාන සුන්දරත්වයක්. දහසක පමණ ජනගහණයක් සිටින මේ ගම්මානය ඉතාම දුෂ්කර තැනක ඉඳල මහත් කැපකිරීමකින් අද සිටින තත්වයට ඇවිත් තියෙනවා.. අතීතයේ වාහනයකින් යා හැකි මාර්ගයක්වත් නොතිබුණු බවයි දැනගන්නට ලැබුණේ. ගමෙන් 75% ක්ම තියෙන්නෙ කැලෑව. ඒ ෆයින් කැලෑවත් දෙවන ලෝක යුද්දයෙන් පසුව ජනතාව විසින්ම වගා කළ ඒවා.  

මේ ගමේ ප්‍රධාන ආදායම් මාර්ග තුනක් මට දකින්නට ලැබුණා. 

එකක් යුෂු වගාව. යුෂු කියන්නෙ දෙහි කුලයට අයිති  ශාකයක්. දෙහි ගෙඩිය ගමෙන් පිටට යන්නෙ දෙහි විදියට නෙවෙයි. නිමි නිෂ්පාදන විදියට. දෙහි යුෂ, විවිධ පාන වර්ග, ජෑම්, ආලේපන වර්ග සහ වෙනත් විවිධ නිෂ්පාදන විදියට. දෙහි ගෙඩියේ පොත්ත, ඇටය පවා මේ නිෂ්පාදනවලට යොදා ගන්නවා. ඒව හදන්නෙත් ගමේම කර්මාන්ත ශාලාවක. අති නවීන තාක්ෂණ ක්‍රමවේදයන් සමඟ ඉතාම සෞඛ්‍යාරක්ෂිත විදියට. මේ කටයුතුවලට දායක වෙන්නෙත් ගමේ අයමයි.

යුෂු නිෂ්පාදන සඳහා වන දැන්වීම්, පෝස්ටර් සඳහා පෙනී සිටින්නෙත් ගමේ අයමයි. නළු නිලියො නෙවෙයි. ගමේ ගොවියන් වගේම ආච්චිල, සීයලා, පුංචි දරුවො එකතු වෙලා හැදුණු මේ දැන්වීම් හරිම නිර්මාණශීලීයි.  


අවශ්‍ය කරන මූලික පහසුකම් සඳහා ප්‍රාග්ධනය සැපයීම සිදුවෙලා තියෙන්නෙ මධ්‍යම රජයෙන් සහ පළාත් පාලන ආයතන මඟින්. නමුත් දැන් එය ශක්තිමත් ව්‍යාපාරයක් ගම විසින්ම පවත්වාගෙන යන.. අපි අධ්‍යයනය කළ හැමතැනකදිම විශේෂයෙන් දුටු දෙයක් ජපන් කෘෂිකර්ම සහයෝගිතා පදනම (JA) ඉතාමත් ශක්තිමත් නිදහස් සංවිධානයක් ලෙස කෘෂිකර්මය නගා සිටුවීමට දෙන දායකත්වය. උමජිමුරා ගම්මානයෙත් එලෙසමයි. අතරමැදියන් නොමැතිව තම කෘෂි නිෂ්පාදන අලෙවි කර ගැනීමේ හැකියාව ගොවීන් වෙත ලබා දී තිබෙනවා. ඒ වෙනුවෙන් 10% -15% අතර මුදලක් ගොවියන් විසින් කෘෂිකර්ම සංවිධානයට ලබා දෙනවා. ආපසු එම මුදල යෙදවෙන්නෙත් කෘෂිකර්මයේ සංවර්ධනයටම වීම සුවිශේෂයි. මෙය ඉතාම සාර්ථක, ඵලදායී ක්‍රමවේදයක්. ලංකාවෙ ගොවි සමිති, සංවිධාන මේ මට්ටමට දියුණු කළ හැකි නම්, දීපව්‍යාප්ත එකම සංවිධානයක් ලෙසට ඒකරාශී කළ හැකි නම් රාජ්‍ය සහ පෞද්ගලික අංශයට තීරණාත්මක බලපෑමක් කරන්න හැකි වේවි...






උමජිමුරා ගම්මානෙදි මට නිතරම මතක් වුණේ දෙහි වාරෙට අපතේ යන, කුණුකොල්ලෙට විකිණෙන අපේ දෙහි................ අඹ, කොස්,දෙල්,මඤ්ඤොක්කා, අල, බතල, තක්කලි....

මේ භවබෝග සම්පත් නිමි නිෂ්පාදන විදියට දෙස් විදෙස් වෙළඳපළ ඉලක්ක කරගෙන ගමෙන් පිටට යවන්න පුළුවන් දැනුම, තාක්ෂණය, කර්මාන්ත ශාලා ගමට දෙන්න පුළුවන් නම් කොයි තරම් වටිනවද? මං හිතන්නෙ මධ්‍යම සහ පළාත් රජයන් අවධානය දිය යුතු වෙන්නෙ මෙවැනි ආර්ථික සංවර්ධනයකට.. ආධාර දීම, ඇට පැළ බෙදා දීම ගමේ ආර්ථිකය තහවුරු කරන්න සමත් නැහැ. එහෙම පුලුවන්කමක් තිබුණා නම් පහුගිය රජය සමයේ දිවිනැගුම හරහා වියදම් කළ අසීමිත මුදල් කන්දරාවෙන් මේ රට සුරපුරයක් තරම් ස්වයංපෝෂිත වෙන්න ඕන.  

ජනසවිය, සමෘද්ධි, දිවිනැගුම......... දිළිඳුකම පිටුදැකීමේ මේ සියලුම සංවර්ධන වැඩසටහන් මේ දූපත ඇතුළෙ අසමත්. හුදු ආධාර දීමෙන්, ණය භාණ්ඩ හා උපකරණ බෙදාදීමෙන් එහාට ගිහින් ස්වශක්තියෙන් නැගී සිටින්න ධෛර්යය සපයන්න ඒ වැඩසටහන් සමත් නොවුණු නිසා දිළිඳුකමට ශක්තිමත් පිළිතුරක් දෙන්න කිසිම රජයකට හැකි වුණේ නැහැ.

අපේ රටේ ආර්ථිකය ගොඩනැගෙන්න ඕන අපේ සම්පත්, අපේ ශ්‍රමය, අපේ සැලසුම් හරහා අපේ දෙස් විදෙස් වෙළඳපළ අපම ජය ගැනීමෙන් කියලයි මට හිතෙන්නෙ.. විදෙස් ආයෝජන මත ම යැපීම තාවකාලික සාර්ථකත්වයක් ලබා දුන්නත් දීර්ඝකාලීනව එයින් රටට යහපතක් සිදුවේ යැයි හිතන්න අමාරුයි.

................

උමජිමුරා ගම්මානයේ අනෙක් ජීවනෝපාය තමයි ෆයින් දැව කර්මාන්තය. දෙවන ලෝක යුද්ධයෙන් පසුව වගා කළ මේ කැලෑව දැන් මහා විසල් ගස් බවට පත් වෙලා. ගස් කැපීම සිදුවෙන්නෙත් පරිසර පද්ධතියට හානි නොවන විදියට. නැවත වන වගාව සිදු කරමින්. ඉතාම කුඩා ලී පතුරකින් පවා ප්‍රයෝජනවත් අලුත් යමක් නිර්මාණය කරන්නටත් ඔවුන් දක්ෂයි. මේ පුංචි ගම්මානයේ කුඩා දැව ප්‍රදර්ශනාගාරය තුළ ඉතාම ලස්සන අපූරු දැව උපකරණ, භාණ්ඩ අලෙවිය සඳහාත් ප්‍රදර්ශනය සඳහාත් තිබෙනවා.





...............

දෙස් විදෙස් සංචාරක කර්මාන්තය සමග බද්ධවෙමින් ආර්ථිකය නඟා සිටුවන්නත් උමජිය විශේෂ අවධානයකින් කටයුතු කරනවා. යෂුදා නදියත් එක්ක සැදුණු අවන්හල් ඉන් විශේෂයි. එය සාම්ප්‍රදායික ජපාන සංස්කෘතිකාංගවලට විශේෂ තැනක් දීල තියෙනවා. ආහාර පාන, නවාතැන්, සංචාර මේ හැමදෙයකදිම ( මෙවැනි ම ගිම්හාන කාලයක ඒ ලැබූ සොඳුරු අත්දැකීම වෙන ම ලිපියක් ලෙස ලිවිය යුතුයි. මගේ පළමු සහ එකම උණුදිය ස්නාන අත්දැකීමත් එක්කම... )






පුංචි කෝච්චියෙන් පුංචි සවාරියක් යන්න ලබා දෙන අවස්ථාවත් අපූරුයි. කෝච්චි පාරක් හදල ගමේ සොබා සෞන්දර්යය නරඹමින් එයින් සවාරියක් යන්න ඉඩ ලබා දී තියෙනවා. ස්වාභාවික ජල බලයෙන් ක්‍රියාත්මක වන අපූරු වාහනයක නැගිල කඳු මුදුනට ගිහින්, කඳු මුදුනේ සිට අවට භූමි දර්ශනය නරඹල ආපසු එන්නත් අවස්ථාව තියෙනවා. යුෂු කර්මාන්ත ශාලාව, යුෂු පර්යේෂණාගාරය, අවන්හල සංචාරක අවධානය දිනාගන්නා තවත් විශේෂ ස්ථානයක්. මෙලෙසින් සංචාරක ආකර්ශණය දිනා ගන්නට නිර්මාණශීලීව ගමේ පරිසරය යොදාගන්නට උමජි ගම්වාසීන් සමත් වෙලා තියෙනවා.






විශිෂ්ඨතම කාරණය වෙන්නෙ සංචාරක ආකර්ෂණය දිනා ගත හැකි ගමක් නිර්මාණය කිරීමේ කාර්යයේදී සොබාදහමේ සුන්දරත්වයටත්, පාරිසරික අගයන්ටත් හානියක් නොවන විදියට එය සැලසුම් කිරීමයි. විදේශ විනිමය දිනා ගැනීමේ ප්‍රමුඛ මාර්ගයක් විදියට සංචාරක කර්මාන්තය හිස්මුදුනින් වන්දනා මාන කරන අපි අපේ මේ පුංචි දූපතේ ලස්සනත්, පාරිසරික අගයත් රැකගනිමින් සංචාරක ආකර්ෂණය දිනා ගැනීමට කටයුතු කරනවද යන්න වඩාත් ගැඹුරින් සිතා බැලිය යුතුයි.  

..............

ජපානයේ අති දුෂ්කර ප්‍රෙද්ශයක දිළිඳුම ගම්මානයක් දියුණු, සංවර්ධිත මට්ටමට ළඟා වුණේ දීර්ඝකාලීන සැලසුම්, පරාර්ථයෙන් පිරි කැපකිරීම්, ගමටත් මිනිසුන්ටත් සොබාදහමටත් ඇති ආදරය - ගෞරවය, අන්‍යෝන්‍ය සහජීවනය නිසා බව මේ සොඳුරු සැරිසැරුමෙදි මැනවින් පැහැදිලි වුණා.

අපේ රටටත් තිරසර සංවර්ධනයක් උදාවෙන්නට නම් ආකර්ෂණීය මැතිවරණ පොරොන්දුවලින් එහාට ගිය, දුර දැක්මක් සහිත රටටත්, මිනිසුන්ටත්, පරිසරයටත් ආදරය කරන ආර්ථික වැඩපිළිවෙලක් අවශ්‍යයි. පාලන තන්ත්‍රයත්, රාජ්‍ය සහ පෞද්ගලික අංශයත්, රටේ ජනතාවත් ඒකරාශීව කැපවෙන වැඩපිළිවෙලකින් මිස ආණ්ඩුවෙන් ආණ්ඩුවට වෙනස්වන සහන මලුවලින් නම් මල්වෙඩිල්ලකට එහා ආලෝකයක් ලබා ගන්නට හැකි වේ යැයි සිතිය නොහැකියි. 




Thursday, June 7, 2012

සැබෑ වූ සිහිනයක්




ඊයේ ඔෂින් පුංචි අත්වලින් ෂෙඩර් පැළ හිටවනවා.. ( රූපවාහිනියෙ ආයෙම ඔෂින් පෙන්නනවනෙ..... ) ඒ දකිද්දි වසරක මතකය අළුත් වුණා... මේ සුවිශේෂ අත්දැකීම ලියන්න ඕන කියල හිත හිතා හිටියෙ... ඒත් දවසින් දවස කල් ගියා... දැන් ඔෂින් මගේ මතකය අළුත් කර කර ලියන්නම බල කරනවා....

පසුගිය වසරේ අද දවසේ ( 2011.06.07 ) මම ජපානයේ ඕසකා ගුවන් තොටුපළින් මගේ සිහින දේශයට ඇතුළ් වෙන්න තරම් වාසනාවන්ත උණා... මාස දෙකහමාරක අධ්‍යයන කටයුත්තක් වෙනුවෙනුයි ජපානයට යන්න අවස්ථාව ලැබුණේ. එක් අධ්‍යයන චාරිකාවකදී මුණ ගැහුණු ගම්මානයක ප්‍රධානම ආදායම් මාර්ගය උණේ ෂෙඩර් දැව.. ගම්මානය වටා තිබුණු කු පෙළ දැවැන්ත ෂෙඩර් ගස්වලින් වැසී තිබුණා.. අපේ මාර්ගෝපදේශකයා කිව්වෙ මේ ෂෙඩර් ගස් අවුරුදු ගණනාවකට පෙර වගා කළ ඒවා බවයි.. දැන් ඒ ෂෙඩර් ගස් විශාල ව්‍යාපාරයක පදනම උණත්, කපා දමන හැම ගසක් වෙනුවෙන්ම නැවත පැළයක් රෝපණය කරන බවයි ඔහු කීවේ....

අතීතයේ ඔෂීන් වගේම බාල, මහළු, වැඩිහිටි බොහෝ දෙනෙක් වන වගාවට හවුල් වෙන්න ඇති කියල ඔෂින් බලද්දි මට හිතුණා...

ජපන් රටේ උපත ලබා ලංකාවට ආව
බෝනික්කා ගැන හීන මවපු
පුංචිම  කාලෙ ඉ
ඔෂීන් එක්ක අත් අල්ලන් ආව,
නොරිකො සං දෙවොන්දරා සං
මුණ ගැහුණට පස්සෙ,
වැඩි දියුණු වුණ ජපන් හීනයක් මගෙ හිතේ තිබුණා....
ඒ හීනය හැබෑ වෙන දවසෙ
තාමත් මට අදහන්න බෑ....මේ ඇත්තක්මද?

( ජපානයට අරන් ගිය මගේ පුංචි මතක සටහන් පොතේ 2012.06.05 වෙනිදා පළමු පිටුවෙම ලියල තියෙන්නෙ මේ පද පේළි ටික.... )

ලෝක සිතියම කළුද, සුදුද කියලවත් දන්නෙ නැති පුංචිම කාලෙ ජපානය අපේ හීන අතරට එක් වෙන්නෙ '' ජපන් රටේ උපත ලබා ලංකාවට ආව බෝනික්කා '' නිසානෙ.... රෙදි හැට්ට ඇදල මමත් ඒ ගීතයට මොන්ටිසෝරි වේදිකාවෙ නටල තියෙනවා... ‍

( මේ තියෙන්නෙ ‍‍පොටෝ එක.. ‍දෙවෙනියට ඉන්නෙ මම.... පළවෙනියට ඉන්නෙ හයහතර දන්න කාලෙ ඉල මගේ ළින් ඉන්න යාළුවා. අදටත් ඒ යාළුකම එහෙමමයි.. )

ඊළට ජපානය හිතට ළං උණේ ''ඔෂීන්'' නිසා... ඔෂීන් බලද්දි හැම වෙලේම හිතුණ දෙයක් තමයි හිමේ සෙල්ලම් කරන්න ලැබුණ නම් හොයි කියල. ඔෂීන් ගෙ මුණත් ජපන් බෝනික්කාත් අපූරුවට ගැළපුණා...

මේ විදියට ජපානය සුන්දර මතකයක් වෙලා තියෙද්දි තමයි දෙවොන්දරා සං නොරිකො සං ව කැන්දගෙන හිතට ළං උණේ... ඒ එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මළවුන්ගේ අවුරුදු දා සහ මළගිය ඇත්තෝ නවකතා එක්ක.... ජපන් සංස්කෘතිය ගැන ලොකු පැහැදීමක්, ආදරයක් මේ පොත් නිසා ඇති උණා... නොරිකො සං දැන අුන ගත් දා ඉල ඈ ගැන ආදරයකුත් අනුකම්පාවකුත් හිතේ තිබුණා.. දොවොන්දරා සං මීට වඩා ඈ ගැන හිතන්න තිබුණා... ලංකාවෙ අපෙන් ජපානයේ නොරිකොට සිදු වුණේ අසාධාරණයක් කියලයි මගේ හිත කිව්වෙ....
 
ජපානයට යන්න කළින් කාර්යාලයේ හිතවතෙක්  මා අතට දුන් කවිය මේ තියෙන්නෙ...

ගත පුරා දැවටී සීතල වැටෙන                             හිම
ගස් පුරා ලස්සන සකුරා පිපෙන                         බිම
ඔබ දෙනෙතින් ජපානය දෙස බලමි                   මම
හමුවෙලා කියන්න නොරිකෝ අමතක නොකළබව

අනේ ඉතින් නොරිකෝව නම් කවදාවමත්ම අමතක වෙන්නෙ නැහැ... ඒත් ජපානයේ හිටිය මාස දෙකට නොරි‍කෝ කෙනෙක් නම් දකින්නවත් ලැබුණෙ නැහැ... හීන මවපු ජපානයට වඩා වෙනස් ජපානයක් දැක්කෙ...

උසස්පෙළ කරද්දි නාට්‍ය හා රංග කලාව විෂයක් විදියට තෝර ගත්ත නිසාම නෝ, කබුකි නාට්‍ය කලාවන් ගැන ඉගෙන ගන්න ලැබුණා.... ඔන්න ජපානයට හිත ගැට ගහපු තවත් රැහැනක්.....

ජපානයට හිත වෙළුව තවත් රන් හුයක් තමයි පර්ල් එස් බක් ‍ගේ ''සකායි'' පොත.......  සුනේත්‍රා රාජකාරුණානයක පරිවර්තනය කරල තියෙන්නෙ.. එක් උපන්දිනයකට ලොකු නංගිගෙන් ලැබුණු තෑග්ග තමයි සකායි......

ආරියවංශ රණවීරයන්ගේ පරිවර්තන නිසාම හයිකු කවි දැන හුන ගත්තා.... රස වින්ා.... හයිකු කවියත් මගේ හිත ජපානයට තව තවත් ළං කළා..... ''මිණි පැමිණි'' පොතත් මා එක්ක ජපන් ගිහින් ආවා...
කවබත යසුනරි ගෙ කෙටි කතා පොතකුත් ජපානයට ඇති ඇල්ම වැඩි කළා...

ඉතින් මේ පොත් කියවීමේ උණ නිසාම ජපානයට යද්දි, ජපානය ගැන අද පරපුරේ ජපානයේ කෙනෙක්වත් නොදන්න තරම් දේවල් මම දැනගෙන හිටියා...

පාඨමාලාව ගැන තිබුණ උනන්දුව වගේම ජපන් පන්සල්, තේ පානෝත්සව, ඉකෙබානා මල් කලාව, Hot springs,  හයිකු කවි, කිමෝනෝ, සුසානභුමි වගේ දේවල් ගැන මගේ තිබුණු උනන්දුව නිසාම අපේ අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂතුමිය ඒ හැම අත්දැකීමක්ම ලබන්නට අවස්ථාව සලසා දුන්නා... 

''තරංගි සන් හින්දා අපිත් සාම්ප්‍රදායික ජපානයේ හැඩතල අුන ගන්නවා'' පාඨමාලාවට සම්බන්ධ උණ අනෙක් රටවල අය කිව්වා...   

ජපානයට ගිහින් දෙවෙනි දවසේ ඉන් හෂී වලින් ( Chopsticks- කෝටු දෙකෙන් )  කෑම කන්න මම පුරුදු උණා.. හැ‍මෝම පුදුම උණා ඒ තරම් ඉක්මණින් වැඩේ අල්ල ගත්තට... හිටපු ටික කාලෙදි එයාලගෙ භාෂාවත් තරමක් දුරට මට හුරු උණා.... මම ජපානයට තියෙන ඇල්මයි, දැනුමයි, ඉක්මණින්ම ‍දේවල් උකහා ගැනීමේ හැකියාවයි නිසා පාකිස්ථානෙන් ආව සීරා නිතරම විහිළු කළා ''පුනර්ජනම්.... පුනර්ජනම්...'' කියලා...

සමහරවිට පෙර ආත්මෙක ජපානයේ හිටියද දන්නෙත් නැහැ... මේ තරම් ජපන් උණක් තියෙන්නේ....
ඉස්සර ඉලම මම කිව්ව දෙයක් තමයි එක දවසකට හරි ජපානයට යන්න ඕන කියල... ඒ හීනය හැබෑ උණේ නොහිතපු විදියට.... සකුරා මල් පිපෙන කාලයක ජපානයට ගිහින් එන්න ඕන... ඒ හීනයත් කවදා හරි සැබෑ කර ගන්නවා....‍ මොකද මම ජපානයට යද්දි සකුරා මල් සමය නිම වෙලා....







ජපානයේ හරිම වටින අත්දැකීම් ගොඩක් තියෙනවා... එකින් එක ‍තරු අමුණන්නම් මගේ සයිබර් අහසට......