පිටු

Monday, January 12, 2026

ආදරෙන් ඉමු ජීවිතේ....


අලුත් අවුරුද්දේ හා හා පුරා කියල, නවාතැනේ සොයුරියක් සමග මම ගියා අපේ වියපත් මිතුරියක් බලන්න. ඇය දැන් ඉන්නෙ වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථානයක. වයස අසූපහක්. අපි පැයක පමණ කාලයක් ගත කළා ඇය එක්ක. ඒ පැය ජීවිතයට ලොකු ආයෝජනයක් විදියටයි මට දැනෙන්නෙ.

අපගේ වියපත් මිතුරිය ආගම, දහමට ළැදි, සොබාදහමත් එක්ක ජීවත් වුණු කෙනෙක්. වැඩිහිටි නිවාසයෙදිත් ඇය පොඩි ඉඩක වගාවක් කරගෙන යනවා. විශාල මුදලක් ගෙවලා සුවපහසු නිවාසයක ඉන්න හැකියාව තිබියදීත්, ඇය අඩු ගෙවීමක් සහිත මෙවැනි තැනක් තෝරාගන්නට එක හේතුවක් දේවස්ථානය අසලම වීම. ගහකොළ සහිත පරිසරයේ සුවදායී බව. 

ඒ වගේම තවත් වැදගත්ම හේතුවක්. 

''සැප කාමරයකට වෙලා තනියෙම ඉන්න ඕන නෑ මට. මෙහෙම තැනක මට කරන්න සේවයක් තියෙනවා. ජීවිතයේ අන්තිම කාලෙ කාට හරි ආලෝකයක් වෙන්න මේ වගේ තැනක් තමයි හොඳ" 

කොයිතරම් ලස්සන සිතුවිල්ලක්ද? 

විවිධ සමාජ පසුබිම්වලින් ආව වයෝවෘද්ධ කාන්තාවන් එක්ක එක වහළක් යට සිටීමත් පහසු කාරණයක් නොවන බවයි ඇගේ අත්දැකීම්වලින් කියවුණේ. නමුත් ඇයට අවශ්‍ය ඒ වට පිටාවේ ඉන්න පිරිස එක්ක ජීවිතය බෙදා ගන්න. ආදරය බෙදා ගන්න. ඒ අයගේ ජීවිතයට සැනසීමක් වෙන්න. සතුටක් වෙන්න. 

අවුරුදු අසූපහේදිත් තමන්ට පැවරුණු විශේෂ කාර්යභාරයක් ලෙස සලකාගෙන ඇය වැඩිහිටි කාන්තාවන් එක්ක සමගි සන්ධානයෙන්, සතුටින් ඉන්න දරන වෑයම හරි අපූරු ජීවන පැවැත්මක් බවයි මට දැනුණෙ.



''අද මට ටිකක් හිත රිදිල ඉන්නෙ, මම මගේ පැළ ටික බලන්න යද්දි අලුත් සිස්ට කිව්වනෙ කාමරේට වෙලා ඉන්න කියල. වයසක අය එළියෙ පහළියෙ ඇවිදල, වැටිල තුවාල කරගනියිලු. එහෙම දවසම කාමරේකට වෙලා ඉන්න පුළුවන්ද මනුස්සයෙකුට. වයසයි කියල අපිව එහෙම කොටු කරන්න හදන එක හරිම වැරදියි."

දවසම ඇඳක හරි පුටුවක හරි වාඩි වෙලා ඉන්න වෙන එක දඬුවමක් කාට වුණත්. හැම දවසක්ම ගෙවෙන්නෙ ඒ විදියට නම් ? අපේ වියපත් මිතුරිය කියන්නෙ හැමෝටම වැඩක් තියෙන්න ඕන කියල. එළිමහනේ වැඩ කරන්න බැරි නම්  අඩුම තරමෙ මහන, ගොතන, අඳින වැඩක්වත්. එක තැන වාඩි වෙලා කරන්න ක්‍රීඩාවක්වත්.

"කෑම බීමටත් වඩා මේ අයට ඕනෙ කතා කරන්නෙ කෙනෙක්. ඇහුම්කන්දෙන්න කෙනෙක්...." ඇය අවධාරණය කළේ. නිදහස් වෙලාවක ඇවිත් ඒ අම්මල එක්ක කතා කරන්න කියන ආරාධනාවත් එක්ක. 

සුරැකුම් නිවාසවල විතරක් නෙවෙයි, ගෙවල්වල ඉන්න වියපත් අම්මලා, තාත්තලාට සවන් දෙන්න, ළඟින් ඉන්න වෙලාවක් වෙන් කරගන්න අමතක කරන්න එපා. ඒක අනාගත ආයෝජනයක් මිස අපතේ යන කාලයක් නෙවෙයි. දවසක අපිත් ඒ තැනට එනවනේ. ඒ හිත් තේරුම් ගැනීම අපට අපවම කියවගන්න පහසුවක් වේවි.

1 comment:

  1. අජිත් ධර්මකුමාරJanuary 12, 2026 at 1:41 PM

    ඒක නං ඇත්ත නංගි.
    මෙම ස්ථානය තිබෙන්නේ බ්‍රිතාන්‍යයේ ද

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...