පිටු

Friday, February 23, 2018

මිනිස්කම් නොතැකූ සමාජයක පුපුරා ගිය ආදර හිත ‘රේගන්‘

රේගන් නවකතාවේ කවරයේ පින්තූරයකි. 


‘‘සැක කටයුතු දේ සොයමින් ඔහුගේ නිවහන පීරූ පොලීසියට සොයා ගත හැකි වූයේ අතිශය රහස් ලේඛන යැයි සිතූ දෙමළෙන් ලියූ සටහන් සමූහයක් පමණි. එහෙත් ඒ සියල්ල ප්‍රේමය වෙනුවෙන් ඔහු ලියූ කෙටි කවි විය.

ඔහුගේ නොමළ ප්‍රේමයේ හිමිකාරිය කව්ද? කිසිදා කිසිවෙකුට ඇය සොයා ගත හැකි නොවීය.

ඒ ඇය සතු දක්ෂතාවක් නිසා නොව, ඔහු ඇය පිළිබඳ කිසිදු සාක්ෂියක් ඉතිරි නොකළ නිසාය. ඉතිරි වූයේ ඔහුගේ අනන්ත ආදරය පමණි. මේ වසර විස්සක් ඇය සඟවා තබා තිබූ ඇගේ සත්‍ය කතාවයි. වෙනස් වූයේ නම්, ගම් පමණි. පැරණි පුවත්පත් මේ කතාන්දරවල ප්‍රවෘත්තිමය වටිනාකම් පමණක් සපයා දෙනු ඇත.“

කඩදාසි කැබලි කිහිපයක් මත තැබූ රතු රෝස මලක පින්තූරයකි. 

සංජීවනී රූපසිංහ විසින් ලියා ඇති ‘රේගන්‘ නවකතාවේ පසුකවරයෙහි සඳහන එලෙසින්ම ඔබ හමුවේ තබමින් මම එහි ඇතුළ් ගැබට පිවිසෙමි. මෙය උපමාලිගේ කතාවද? නැත්නම් රේගන්ගේ කතාවද? චමින්දිකාගේ කතාවද? සඳුන්ගේ කතාවද? අපට හුරුපුරුදු කතන්දර කීමේ ශෛලියෙන් ලියැවී ඇති මෙ කතාව කියවාගෙන යන විට ඔබ සිතේ පැනයක් හටගනු ඇත. නමුත් අවසානයේ නැවතත් ආපස්සට පිටු පෙරළමින්, විමසමින් සිටින විට මෙය ඔවුන්ගේ පමණක් නොව නිදහසින් පසු ලංකාවේ අප හැමගේත් කතාව බව පසක් වනු ඇත.

උපමාලි උපන්නේ හෙළ බොදු ගැමි පසුබිමකය. මව් පාර්ශවය පාතරට රදළ පවුල් පසුබිමකින් පැවත එන විට, පිය පාර්ශවය පැවත එන්නේ උඩරට අභිමානයෙන් සැදුම් ලත් පවුල් පසුබිමකිනි. ඒ සාඩම්බරකම්, හෙළ හැදියාව, ධාර්මික බව කෙසේ වුව උපමාලි ළමා වියේ සිටම අත්දකින්නේ බෙදා වෙන් කරනා, ඇණ කොටා ගන්නා, මිනී මරාගන්නා සමාජයකි. හමේ වර්ණය නිසා  සිය දරුවන් පවා බෙදා වෙන් කර ආදරය කරනා සමාජයකි. සුසුදු රුවැති අක්කා චාමින්දි හැමගේ අවධානයට, ආදරයට, සුරතලයට ලක්වන විට උපමාලි හැදී වැඩෙන්නේ කොන් වූ, ප්‍රතික්ෂේප වූ දැරියක ලෙස ඒ ආවේගයන්ද හද තුළ රුවාගනිමිනි.   

එපමණක් නොවේ, ඈ දකින්නේ උඩරට, පාතරට කියා ආදරයට අකුල් හෙළනා සමාජයකි. වැට මායිමට කුලල් කාගන්න සහෝදරයින් එකිනෙකා මරා ගන්නා සමාජයකි. මව්පියන් ඇණ කොටාගන්නා දෙස බලමින් දරුවන්ද ඇණ කොටා ගන්නා සමාජයකි. ලිංගික ඊර්ෂ්‍යාවෙන් සිය පෙම්වතිය, බිරිඳ හෙළා දක්නා ඈ පීඩනයට ලක්කරනා සමාජයකි. අන්තවාදය සහ මිථ්‍යාව රජයන සමාජයක මනුෂ්‍යත්වයට, ආදරයට හිමිවන්නේ කොතරම් අවම වටිනාකමක්ද? පවුලක සාමය වෙනුවෙන් කැපවන්නට අකමැති මිනිසුන් රටක සාමය වෙනුවෙන් කැපවන්නේ, වැයවන්නේ කෙසේද?

සමගි පෙරමුණු රජය බිඳ වැටී, එක්සත් ජාතික පක්ෂ පාලනය ඇරඹෙන අතර අළු යට සැඟව පැවති ජාතිවාදී ගිනි පුපුරු ගිනි ජාලාවක්ව රට පුරා ඇවිළ යයි. දෙමළුන් මරා, දෙමළ කඩ, කඩා බිඳ, ගෙන ආ දම් පාට රෙදි රෝලක්ද, නූල් කැරලිද අඩු මිලට ගන්නා උපමාලිගේ රැඩිකල් අම්මා ඒවායින් කොට්ට උරද, ඇඳ ඇතිරිලිද මසයි. බොහෝ කලක් ගත වනතුරු සිය නිවසේ දම් පැහැය රජයනු උපමාලි දකියි.  

අඩු වැඩි වශයෙන් කුමනාකාරයකින් හෝ අපද වාර්ගික අර්බුදය දිග්ගස්සන්නට, මහා මිනිස් සංහාරයක් දියත් කරන්නට දායක වී ඇතුවා නොවේද? අවි අතට ගත් ත්‍රස්තවාදීන් දකිනු මිස ඔවුන් අතට අවි දුන් දීර්ඝකාලීන සමාජ, දේශපාලන පරිහානිය දකින්නට තවමත් අප අසමත්ය. ඉදින් සැබෑ සාමය තවදුරටත් සිහිනයක්ම පමණි.

උතුර එලෙස ගිනිගනිමින් පවතිද්දී දකුණේ තරුණ හදවත්වල ගිනිපුපුරු ගිනි ජාලාවී හාත්පස ඇවිළ යන්නේය. පාරවල් අද්දර තරුණ සිරුර දැවී යන්නේය. ගංඟාවල මිනී පාවයන්නේය. අඳුරද, බියද, මරණයද රජ කරන්නේය. පුංචි උපමාලි අත්විඳින බිය, සංකාව, අවිනිශ්චිත බව, මරණය පිළිබඳ හැඟීම් එලෙසම මාද විඳි බව මතකය.  

මේ අතර අක්කා චාමින්දි හැඩි දැඩි පොලිස් නිලධාරියෙකුට පෙම් බඳින්නීය. ඔහු සඳුන් ය.

‘‘මේ මුළු පොළොන්නරුවෙම අපිට උඩින් යන්න කාක්කෙක්වත් නෑ. සුදු අයිය කිව්වම මුළු පොළොන්නරුවම තාම බයයි. පනස් අටේ හර්තාලෙදි මේ ගිරිතලේ ඇලෙන් මෙගොඩට එක දෙමළෙකුට එන්න දුන්නෙ නෑ. පෙති ගහලා මැරුවා මං තනියම.

මේ රට ජාතිය රැකගන්න ඉස්සරහට එන්න ඕන වෙලාවල පස්සට ගියේ නෑ අපේ පරපුරේ කවුරුත්. ළමයි ඔක්කොම හමුදාවට දුන්නා. මට ඉවර කරන්න බැරි වෙච්ච එක මුං කරන්න ඕනෙ. පර දෙමල්ලු ඔක්කොම මරල මිසක ගෙදර එන්න එපා කියල මං කියලා තියෙන්නෙ.‘‘

අක්කාගේ ආදරවන්තයාගේ ඥාති සමූහයා බැහැදකින්නට පුලතිසි පුරවරයට නෑගම් ගිය උපමාලිට සඳුන්ගේ පියාගෙන් අසන්නට ලැබෙන්නේ එවන් කතාවකි. කූඹියෙක් මැරීමත් පවකැයි දහම් පාසලින් ඉගෙනගත් උපමාලිට රට ජාතිය වෙනුවෙන් යයි කියා දෙමළ මිනිසුන් මරා දැමීම පවක් නොවන්නේ කෙසේදැයි සිතා ගත නොහැකි විය.  පර දෙමළුන් වනසා දැමීමේ පරම චේතනාවෙන් සිය පුතුන් යුද්දයට යවන පියාට අවසානයේ ලැබෙන්නේ කුමක්ද? වසරින් වසර නිවසට ගෙනෙන තම දරුවන්ගේ පණසුන් සිරුරුය.  යුද්දයෙන් දිනුවේ කවුරුන්ද?

කටු කම්බි පොටක දැවටුණු රතු රෝස මලක පින්තූරයකි. 

ජීවිතයේ අරුත් සොයමින් මෙබඳු හැල හැප්පීම් මැද නව යෞවනයට එළඹෙන උපමාලිගේ යොවුන් හද සසල කරන දෑස හිමි ඔහු ය ‘රේගන්‘.

‘‘රේගන් කියන්නෙ ජීවිතයම නෙවෙයි. ජීවිතෙන් අර්ධෙකුත් නෙමෙයි. ජීවිතෙන් පෙත්තකුත් නෙමෙයි. එකම එක මොහොතක්. පෙනී නොපෙනී ගිය එකම එක මොහොතක්. ජීවිතේට තියෙන්නේ මොහොත විතරයි කියලා බුදු හාමුදුරුවො කියල තියෙන්නේ. ඒත් අපි මොහොත අල්ලගන්නෙ කල්පයක් කරලා.“ පසුකලෙක උපමාලි රේගන් ගැන මතකය ආවර්ජනය කරනුයේ එලෙසිනි.  

අගනුවරට සමීපයේ ආදරය සහ සතුට පිරුණු දිළිඳු පවුලක උපත ලබන රේගන් 83 ජූලි කලබල සමයේ අගනුවරින් පන්නා දැමෙන කුඩා දරුවෙකි. තම දෑස් ඉදිරිපිට ජාතිවාදීන්ගේ ලේ පිපාසයෙන් පියාගේ ජීවිතය අහිමි වන,  සදාකාලික ආබාධිතයකු වූ මවකද, නංගීද, මල්ලීද සමඟ උපන් බිමින් පන්නා දැමෙන ඔහු මුහුණ දෙන ජීවන අරගලය කෙබඳු වන්නට ඇත්ද? තුවාල කැළැල් පිරුණු ඔහුගේ සිරුර ඒ අත්විඳි ජීවිතයට නිහඬ සාක්ෂියක් වැන්න.

‘‘වෙපන් එකක් අතින් ගත්තම දැනුණු ආඩම්බරය හරි පුදුම එකක්. දුප්පත්කමින්, අසරණකමින්, අසාධාරණයෙන්, බඩගින්නෙන් මිරිකිලා හිටපු අපිට ඒක අභිමානයක් ගෙනාවා. කැලෑවල් ගානෙ දවසම එක රොටියක් කාල හිටපු දවස් ඕන තරම් තිබුණා. ඒත් අපි ළඟ කවදාවත් නොතිබුණු අභිමානයක් තිබුණා. ගමේදි අපිට වීරකමක් ලැබුණා. ප්‍රභාකරන් අපේ වීරයා එදත් අදත්. අපි අයිය කියලයි කිව්වෙ.“

‘‘ඊයා‘‘ රේගන්ගේ වීරයාට උපමාලිගෙන් ලැබෙන්නේ එබඳු ප්‍රතිචාරයකි.

දමිළ ජනතාවගේ විමුක්තිය වෙනුවෙන් සටන් බිමට පිවිසුණු රේගන් එක දවසක් එක මොහොතක් ආදරය විඳින්නට කොතෙක් කලක් නම් බලා සිටින්නේද?  ඉනික්බිතිව නුගේගොඩ පුපුරා යන බෝම්බය, ‘එතැන වැටී ඇති ගැඹුරු කැලැල් සහිත අත? හැමදාම අත්දිග ටී ෂර්ට් ඇඳන් වහගත්ත කැළැල්. ඔව් ඒ අතම තමයි.‘ මරණයට වඩා ප්‍රේමය බලවත් යැයි බයිබලයේ ප්‍රේම ගී පවසයි. මරණය පෙනි පෙනී ආදරය වෙනුවෙන් ඉවසා සිටින්නට, මරණයට මොහොතකට පෙර ආදරය වෙනුවෙන් ජීවිතෙන් නිමේෂයක් වෙන් කරන්නට හිත හදා ගත් රේගන්ට ආදරය නොකර සිටින්නට අපට හැකිද?

‘රේගන්‘ සාහිත්‍ය රසාස්වාදය පිණිස නොව උතුරු දකුණු හදවත් යා කිරීමට මාවතක් තනන ආදරය, මනුෂ්‍යත්වය සහ ජීවිතය වෙනුවෙන් කියවන්න.

 ( රේගන් මිල රු. 350.00. කර්තෘ ප්‍රකාශනයකි.)

Friday, February 16, 2018

තනිව උහුළනා තනිව වැළපෙනා ගැහැනු...



( පසුගිය කිතුසර කලාපෙය් පළ වූ ලිපියකි.)


හුදකලා ගැහැනුන්ගෙන්, තනිව ජීවිතය උහුලනා ගැහැනුන්ගෙන්, දරු බර කරපින්නාගෙන ජීවිතය වෙනුවෙන් අරගල කරනා එකලා මව්වරුන්ගෙන් මා වට පිටාව පිරී ඉතිරී තියේ. ඔවුන්ගේ සුසුම්වලින් වායුගෝලය උණුහුම් වී තියේ. ඔවුන්ගේ කඳුළුවලින්, දහදියවලින් මහ පොළව පෙඟී තියේ. 

මට හුස්ම ගැනීමට ද අසීරු සෙයකි. සැහැල්ලූවෙන් මේ බිම මත පා තබා යන්නේ කෙලෙසින්ද?

හිම කිරමක මිහිර විඳීමට ලොබ නොවනා දරු සිතක් වේද? අප පවා ඒ රසයට ලොල් නොවන්නේද? අයිස් කිරමක වස ගන්වා සිය දරු තිදෙනාට කවා මවක් සියදිවි නසාගත්තේ ඉතා මෑතකදී ය. ඒ යාපනයේ අරියාල ප‍්‍රදේශයේය. තමන්ගේම දෑතින් තම දරුවන් මරාදමන්නට තරම් මවකගේ හිත දරුණු වන්නේ කෙසේදැයි යමෙකුට ප‍්‍රශ්නයක් ඇති විය හැකිය. එක්කෝ ඇය උන්මන්තක ගැහැනියක විය යුතුය. නො එසේනම් ඉතා දරුණු සිතැත්තියක විය යුතුය. සියලූ දුක් කරදර මහ පොළව සේ උසුලාගනිමින් තම දරු පැටවුන් රකින අම්මාවරුන් කොතෙකුත් සිටියදී එපමණටම සිත සවි නැති ගැහැනුන් සිටීමද අරුමයක් නොවේ. එබඳු ගැහැනුන්ට සවියක් විය හැකි සමාජයක් ගොඩනගන්නට තවමත් අපට හැකි වී නැතුවා නොවේද?

විෂම සමාජ, ආර්ථික රටාව මිනිසා මත පටවන පීඩනය ගැහැනිය කරා එන්නේ දෙගුණ තෙගුණ වෙමිනි. සමහරවිට ස්වාමිපුරුෂයන් හැරගිය, මිය ගිය මව්වරු කිසිවකුගේ හව්හරණක් නොමැතිව දරුවන් උස්මහත් කරගන්නට දරන්නේ ලෙහෙසිපහසු වෙහෙසක් නොවේ. ඇයට කිසිවෙකුගෙන් හව්හරණක් නොවන විට, අවම වශයෙන් සැනසිලි වචනයක්වත් නොවන විට තවදුරටත් දරා සිටීමට නොහැකි වීම අරුමයක් නොවේ. මේ වන විට සැමියන් සිටියද පවුල් තුළ දරාගත නොහැකි පීඩනය නිසා බොහෝ මව්වරු දිවිගෙවන්නේ මානසික අසහනයන් මැද ය. ඔවුන් මානසිකව රෝගී වී සිටින බව සමාජය හඳුනාගන්නේද කුමන හෝ ව්‍යසනයක් සිදුවීමෙන් පසුවය. 

ගම් මට්ටමින්, බිම් මට්ටමින් තමන්ගේ ප‍්‍රශ්න බෙදාහදාගන්නට, සහනයක් ලබා ගන්නට මඟක් නොවීම ගැටලූවකි. මිනිසුන් වශයෙන් අප එකිනෙකාට සවන් දිය යුතු බව, සංවේදී විය යුතු බව, ජීවිතයේ ප‍්‍රශ්න බෙදාගන්නට සමීප විශ්වාසවන්ත අයකු අවැසි බව පුන පුනා සමාජය දැනුවත් කළ යුතු කාලයකි මේ. කාන්තා සමිති, සංවිධාන අවැසි වන්නේ මෙම තත්ත්වය මනාව අවබෝධ කරගෙන කාන්තාවන්ගේ අධ්‍යාත්මික, මානසික ශක්තිය දියුණු කරමින්, ඔවුන් සාමූහිකව සවිබල ගන්වන වැඩපිළිවෙලක් වෙනුවෙනි. උද්ඝෝෂණ, පෙළපාලි, මාධ්‍ය සාකච්ඡුාවලින් පමණක් කාන්තාවගේ භුමිකාවෙහි කිසිදු වෙනසක් සිදුවන්නේ නැත. 

පාසලේ දී වමනෙ ගිය සිසු දැරියක ගැබ් ගෙන ඇතැයි සැක කොට පාසලෙන් නෙරපා දැමූයේ ඉතා මෑතක ය. ඒ සඳහා මුල් වී ඇත්තේද විදුහල්පතිනියකි. ඇය ද ගැහැනියකි. ඉතින් අපේ ස්ත‍්‍රීත්වය කොයිබද? පසුව හෙළිවූයේ ඉතා දිළිඳු දැරියක වූ ඇය නිරාහාරව සිටීම හේතුවෙන් වමනය ගිය බවකි. කොතරම් ඛේදනීයද? සැබවින්ම ඈ ගැබ් ගෙන තිබුණා වුවද ගත යුතු පියවර එයද? ගැහැනුන් ලෙස ගැහැනුන්ගේ ප‍්‍රශ්නවලදී මෙතරම් අසංවේදීව කටයුතු කිරීම පිළිබඳව අප ලැජ්ජා විය යුතුය. ස්ත‍්‍රීත්වයේ ගරුත්වය රැුකීමට ස්ත‍්‍රීන් පෙරට නොඑන්නේ නම් බාහිර සමාජය ගැන කියනුම කවරේද? 

අද අපේ දැරියන් බෙහෙවින් අනාරක්ෂිතය. නිවස, පාසල තුළම ඇය අපහරණයට ලක්වන්නේ නම් ඇයට රැුකවරණයක්, ගෞරවයක් අන් තැනකින් ලැබෙතැයි අපේක්ෂා කළ නොහැකිය. පසුගිය දිනවල දරු දැරියන් දූෂණය කොට මරා දැමීම් කොතෙකුත් අසන්නට ලැබිණි. සමාජය මත පැටවී ඇති ආර්ථික, සමාජ පීඩනය මෙන්ම ලිංගික පීඩනයද පුපුරා යන අවස්ථා ලෙස මේවා හඳුනාගත නොහැකිද? එබඳු අසහනයකින් පිරි සමාජයක් නිවා සනහන්නේ කෙලෙසින්ද? එයට සමාජ, ආර්ථික වෙනසක් ඇති කරන දේශපාලනික පෙරළියක් සිදු විය යුතු බව නොකිවමනාය. එය එසේ සිදුවනතුරු, ඒ වෙනුවෙන් අරගල කරන තුරු ජීවිතය ඉදිරියේ අසරණ වන ගැහැනුන් අප රැුකගන්නේ කෙසේද? ඔවුන්ට සවියක් වන්නේ කෙසේද? ඔවුන් වෙනුවෙන් අත්වැලක් වන්නේ කෙසේද?

අප මේ පිළිබඳව සමාජයක් ලෙස ගැඹුරින් සංවාද විය යුතුය.  

Tuesday, February 13, 2018

එක් අපූරු ආදර කථාවක්

ඒ පෙම්වතුන් තාරුණ්‍යෙයේ

ඒ කතාව ඇරඹෙන්නේ මෙලෙසිනි.

‘‘ඔබට දැන් වයස අසූ දෙකකි. ඔබ සෙන්ටිමීටර් හයක් කොට වි ඇත. අද ඔබේ බර කිලෝ හතළිස් පහක් පමණක් වුව ඔබ එදා මෙන්ම පියකරුය. මන බන්ධනීය ය. ආශා දනවන සුලු ය. මේ වන විට අපි වසර පනස් අටකට වැඩි කාලයක් එකට ජීවත්ව ඇත්තෙමු. අන් කවරදාටත් වඩා අද මම ඔබට ප්‍රේම කරමි. මගේ පපු කුහරය ඇතුළෙන් මට නැවතත් දැනෙන විනාශකාරී හිස් බව පුරවාලිය හැක්කේ මගේ සිරුර මත තෙරපෙන ඔබේ සිරුරේ උණුසුමින් පමණකි.‘‘
D වෙත ආදරයෙන් - පිටුව 15

අසූ දෙහැවිරිදි සිය පෙම්වතියට, බිරිඳට මේ විවෘත පෙම් හසුන ලියන ඇගේ පෙම්වත් සැමියා ඇයට වඩා වැඩිමහළු වන්නේ වසරකින් පමණි. ඒ වියපත් හදවත පවා සදාතනික උණුහුමින් පෙම්වත් කළ ප්‍රේමය පිළිබඳ ඔහුගේ ආපසු හැරී බැලීම එක්තරා විදියක පාපොච්චාරණයක් ද වන්නා සේය.  අන්‍යොන්‍ය අවබෝධය, තේරුම් ගැනීම, කැපවීම සිහිනයක් පමණක්ම වු, තවදුරටත් ප්‍රේමය අරුත් ගැන්විය නොහැකි හිස් අඳුරු ලොවක ආලෝක පුංජයක් සේ ඒ ආදරය මා හදවතේ දැල්වෙමින් පවතී. 

‘‘අපේ ආදර කතාව එහි සැබෑ අරුතින් පැසසීමට නම් එම ආදර කතාවේ කොටස් එකට එක් කළ යුතුය. ඔබ හා මා අප බවටත්, එකිනෙකා තුළත්, එකිනෙකා වෙනුවෙනුත් ජීවත් වීමට අපට ඉඩහසර විවර කර දුන්නේ අපේ මේ ආදර කතාවයි. දැන් මා මෙය ඔබට ලියන්නේ මගේ ජීවිතය කුමක් වීද යන්නත්, අප එක්ව ගෙවූ ජීවිතය කුමක්ද යන්නත් වටහා ගනු පිණිසය.‘‘
පිටුව 16-17

ඔවුන් හමුවන්නේ අහම්බෙනි. එය පළමු බැල්මෙන්ම ඇරඹි ප්‍රේමයකැයි ඔහු පවසයි. එංගලන්තයේ ඉපිද, හැදී වැඩුණු ඈ ආකර්ෂණීය, බුද්ධිමත්, පොත පත කියවූ, සමාජශීලී තරුණියක්ව උන්නාය. 1923 වසරේ ඔස්ට්‍රියාවේ වියානා නුවර උපන් ඔහු හිට්ලර් ඕස්ට්‍රියාව ආක්‍රමණය කිරීම හේතුවෙන් 1939 වසරේ ස්විස්ටර්ලන්තයට පළා ආ යුදෙව්වෙකි. ඇයද ඔහු මෙන්ම අවතැන් තරුණියක ලෙස දෙවන ලෝක යුද්ධයෙන් පසුව නව ලොවක් ගොඩනැංවීමේ ක්‍රියාවලිය තුළ කැප වී කටයුතු කරමින් සිටියාය. ලෝක යුද්ධ පසුබිමේ පිටුවහල් වුවන් ලෙස ස්වකීය උපන් බිම්වලින්, පවුල්වලින් දුරස්ත වූ ලොවකදී ඔවුහු හමුවෙති. ප්‍රේමයෙන් බැඳෙති. ඉදින් ඒ ප්‍රේමය එකිනෙකාට මහත් අස්වැසිල්ලක් වන්නට ඇති බව නිසැකය. පෙම්වත් දෙපළට හුවමාරු කරගන්නට ප්‍රේමය, අනුරාගය පමණක් නොව සමාජ, දේශපාලනික ලෝකයක්ද ඔවුන් අතර තිබිණි. ‘‘තමන්ටම කියා සොච්චමක් නැති ඔස්ට්‍රියානු යුදෙව්වකු කෙරෙහි ඔබගේ සිත ඇදී ගියේ කෙසේද?‘‘ ඔහු විටක විමතියට පත්වෙයි.  

‘‘සංතුෂ්ටිය යනු දෙන දෙයක් හෝ ලබා ගන්නා දෙයක් නොවන බව මම ඔබෙන් වටහා ගතිමි. එය ඔබව මුළුමනින්ම අනෙකා වෙත පිදීමේත්, අනෙකා වෙතින් තමන්ව ඉල්ලා සිටීමේත් ආකාරයක් විය. අපි එකිනෙකා වෙත අපි එකිනෙකාව පූර්ණ ලෙස පුදදුන්නෙමු.‘‘
පිටුව 23

ඔහු විවාහය පිළිබඳ සාංකාබරිත හදවතක් ඇත්තෙකු විය. ඇයගේ ප්‍රේමය නම් වන ඉන්ද්‍රජාලික අත්දැකීම තුළ ගැළවුම සොයාගෙන සිටි ඔහු නැවත යථාර්ථය වෙත ඇද දමන විවාහ සංස්ථාව තුළ කොටුවන්නට දැක්වූයේ මහත් අකමැත්තකි.  කෙසේ නමුත් එකී අහඹු අසිරිමත් ප්‍රේමය අහිමිකර ගැනීමට ඇති අකමැත්ත නිසාම ඔහු ඇය හා සරණ බන්ධනයට එළඹෙන්නේය.

ඔහු පූර්ණකාලීනව ලිවීමට කැපවන්නේය. ඇය ඔහු දිරි ගන්වන්නියද, පහසුකම් සපයන්නියද, සියලු දුෂ්කරතා නිහඬව දරාගනිමින් කැපවන්නිය ද වන්නීය. ස්ථිර රැකියා නැති, ස්ථිර නවාතැන් නැති, දිළින්ඳන් ලෙසින් තැනින් තැන යන ඒ දුෂ්කර දීර්ඝ කාලය තුළ ඈ කොතෙක් නම් කැපවීම් කරන්නට ඇත්ද, වටහා ගත හැකි වන්නේ ඔහු ලියන දෙයින් ම පමණි. ඇගේ හැඟීම් කෙබඳු වන්නට ඇත්ද? සිතීම අපහසුය. ඔහුම පවසන පරිදි ඈ පැමිණිලි කරන්නියක නොවූවාය. ඇය ඔහු හා බෙදාගත්තේ ආදරය, අනුරාගය පමණක් නොවේ. ඔහුගේ වෘත්තීය ජීවිතයේ හවුල්කාරියද, සමාජ ජීවිතයේ ආලෝකයද ඇයම විය. 

‘‘අප තවදුරටත් පුද්ගලික ජීවිතය තුළ ඒකාත්මිකව සිටියා පමණක් නොවේ. පොදු ජන ජීවිතය තුළද ඒකාබද්ධ ක්‍රියාකාරිත්වයක් නිරූපණය කළෙමු.‘‘
පිටුව 52

ලිවීමෙන් තොරව ජීවත් විය නොහැකි පුද්ගලයකු සමඟ තමා බැඳී ඇති බව ඇය නිවැරදිව වටහාගෙන උන්නාය. ඒ වෙනුවෙන්, සැබවින්ම ඔහුගේ ලිවීමේ සිහින වෙනුවෙන් තම මුළු ජීවිතයම වුව කැපකරන්නට ඇය නිර්ලෝභීව බැඳී උන්නාය.

‘‘ලේඛකයකුට ආදරය කරනවා කියන්නේ ඔහු ලියනවට ආදරය කරන එකට. ඔබ වතාවක් කීවාය. ‘ඉතිං ලියන්න‘“
පිටුව 53

එක් අතකින් මේ විවෘත පෙම් හසුන උන්මාදනීය ඇල්මකින් ලිවීමට බැඳුණු ලියන්නකු විඳින වේදනාවන්, දුෂ්කරතා මෙන්ම ඒ ජීවිතය හා බැඳුණු අන්‍ය ජීවිත සිදුකරන කැපකිරීම් පිළිබඳවද කියැවෙන ලියවිල්ලකි.
ඔහු මාධ්‍යෙව්දියකු, කතුවරයකු, විසිවන සියවසේ ප්‍රමුඛතම සාමාජීය දාර්ශනියකු සහ දේශපාලනික පාරිසරික විද්‍යවේ පුරෝගාමියකු ලෙස ස්වකීය ජීවිත අරමුණු සාක්ෂාත් කරගන්නේය. බොහෝ දුෂ්කරතා මැද වුවද ඔහු ලේඛන දිවියේ මෙන්ම සමාජ ක්‍රියාධර භූමිකාවේද ස්වර්ණමය යුගයට එළඹෙන අතර ඒ පිටුපස වන ඇයගේ ශ්‍රමයද, කැපවිමද අතිමහත් වන්නේය. ඒ පිළිබඳව ඔහු හදවතේ වන කෘතවේදීත්වය, එදා ඇය වෙත පිරිනොනැමුණු අගය කිරීම ප්‍රමාදව හෝ පිදීමේ අභිලාසය මේ ලියවිල්ල පුරා හුස්ම ගන්නේය. ශුද්ධ බුද්ධිමතකු ලෙස නමක් දිනා ගැනීම සඳහා තමා කොතෙක් නම් ඈ නොසලකා හැර ඇත්ද? යන්න ඔහු අසූ වියැතිව සිහිපත් කරනුයේ ශෝකයෙනි. නමුත් ඈ කිසිදු පැමිණිල්ලකින් තොරව ඒ සියල්ල විඳ දරාගෙන ඇත. බොහෝ විට සිදුවන්නේ එයම නොවේද? ධනය, බලය, නිලය වෙනුවෙන් අනවරත අරගලයක යෙදෙන පුරුෂ ලෝකය තුළ ගැහැනිය සියල්ල නිහඬව දරාගැනීම. 

ඒ පෙම්වතුන් වියපත්ව
ඇයගේ බුද්ධිමත් බව, තීක්ෂණ නුවණ, සමාජශීලීත්වය කොතරම් වුවද ඇය තමන්ගේ ඉලක්ක හඹා ගොස් ලබා ගත් ජයග්‍රහණයන් පිළිබඳව මේ හසුනේ කොතැනකවත් සඳහන් නොවන්නේය. ඈ විශ්වීය බුද්ධිමතකු බිහිකරන්නට ස්වකීය සියලු හැකියාවන් කැප කළ ගැහැනියක පමණක්ම වූවාද? මහා පුරුෂයින්ට බිරින්දෑවරුන්, හෝ පෙම්වතියන් වන ගැහැනුන්ගේ ඉරණම එයද? 

‘‘අන්තිමේදී ට්‍රේටර් එළිදුටු විට මා ඔබට ණයගැති බවට මා නැවත වතාවක් අවබෝධ කොටගතිමි. මට මා බවට පත්වීම සඳහා ඔබ ඔබගේ සියල්ල කැපකොට තිබුණි. ‘‘
පිටුව 95

ඇය පරිසර හිතවාදිනියක වූවාය. වාණිජ ලෝකයේ මලපුඩුවල නොවැටී ජීවිතය කළමනාකරණය කිරීමට සුක්ෂම වුවාය. ගැමි පරිසරයට ඇළුම් කළ ඇය ගම, කැලෑව, සතුන් දෙස බලන්නේ කෙසේද? ආදරය කරන්නේ කෙසේද දිවි පැවැත්මෙන්ම ඔහුට කියා දුන්නාය. වෛද්‍ය විද්‍යාව විසින්ම උරුම කරදුන් දුර්ලභ රෝගයකින් පීඩා විඳින අතරම ඖෂධ ප්‍රතික්ෂේප කරමින් සොබාදහම සමඟ ශරීරය සහ මනස ඒකාත්මික කරගනිමින් වේදනාව පාලනය කරගැනීමට ඇය උත්සාහ කළාය. එම රෝගය ඔවුන් දෙදෙනාම පරිසර විද්‍යාව, තාක්ෂණ විරෝධය යන විෂයන් නැවත අධ්‍යයනට පෙළඹවීය. ඉතින්, ඔහුගේ පාරිසරික දේශපාලන දැක්මේ මූලය ඇය නොවී යැයි කිව හැකිද? 

රැකියාවෙන් විශ්‍රම ලබා ගම්බද පෙදෙසක පදිංචියට යන ඔහු ඉන්පසු එළඹි ජීවිතය පුරාම ඈ වෙනුවෙන් කැප වී සිටියේය. සුපුරුදු ලෙස මේ කාලය පුරාද ඇය ශාරීරික වේදනාවන් දරා ගනිමින්  ලිවීමට ඔහු උනන්දු කරමින් නොසැලී උන්නාය. 

‘‘ඔබ ඔබගේ මුළු ජීවිතයත්, ‘ඔබ‘වමත් ඔබ විසින් මට දී ඇත. අපට ඉතිරිව ඇති කාලය තුළ මට මා සම්පූර්ණයෙන් ඔබ වෙත දීමට අවැසිය.‘‘
පිටුව 121

ඔහු ආන්ද්‍රේ ගෝර්ස් ය. 

ඈ ඩොරීන් ය. 

2007 වසරේ ඈ අසූ තුන් වැනි වියද, ඔහු අසූ හතර වන වියෙහිද වන විට ඔවුහු දෙදෙන සියදිවි නසාගනිමින් එක්ව ආ මඟ එක්වම නික්ම යන්නෝය. 

විවෘත පෙම් හසුන පුරා දිවෙන්නේ ඔවුන් දෙදෙනාගේ අපූරු ප්‍රේමයත්, ඒ තුළ ඩොරීන්ගේ කැපවීමත් එය දුටුවත් නොදුටු සේ සිටි, තම බිරිඳගේ කැපවීම අගය කිරීමට පැකිළුණු ස්වාමි පුරුෂයකුගේ පසුතැවිලි හදවතත්ය. ඒ හා සමඟම කාලීන සමාජ දේශපලාන පසුබිම පිළිබඳ පැහැදිලි සිත්තමක් මවාගන්නටද මේ විවෘත පෙම් හසුන කැටපතක් වන්නේය. 

ස්ත්‍රී පුරුෂ ආදරය පිළිබඳ සාංකාබරිත හැඟීම් ජීවිතය උදාසීන කරන පසුබිමක හිඳ මම ඔහුගේත් ඇයගේත් ප්‍රේමය දෙස බලා හිඳිමි. ප්‍රේම පාරමිතාව යථාර්ථයක් කිරීමට ඈ සමත් වී යැයි කිව නොහැකිද? ඒ සියල්ල වෙනුවෙන් ඇය කොතෙක් නම් දේ දරා ගන්නට ඇත්ද? 


 Letter to D - Andre Gorz
D වෙත ආදරයෙන් - පරිවර්තනය විදුර ප්‍රභාත් මුණසිංහ
අහස ප්‍රකාශනයකි.