ටක ටකස්.... ටක ටකස්....
ඇදගෙන යන දිලිසෙන සෙල්ලම්
කරත්තයක්...
මැටි වළං පොඩි සෙට් එකක්...
පාට පාට වළලු.. කොණ්ඩ කටු...
අයිස්ක්‍රීම්, බූන්දි, පුහුල්දෝසි....
පුංචි කාලෙ කට්ටිමහන පල්ලියෙ මංගල්ලෙට යද්දි හිතේ තියෙන
හීන ඕවා.. අහිංසක හීන... දැන් එහෙම හීන නැහැ. පවුලේ පුංචි පැංචන්ගෙ එවැනි අහිංසක හීන
සපුරන එකයි අද නම් බොහෝ විට සිද්ධ වෙන්නෙ.
දවස් දෙකක් පල්ලිය අවටම කූඩාරමක ගෙවන ජීවිතේ හරි
සැහැල්ලුයි.. සුන්දරයි... නිරන්තරයෙන් ගීතිකා හඬ අසමින්... උයන්නෙ පිහන්නෙ එතනමයි. එක මාළුවක්
බතක් උණත් කවදාකවත් නැති තරම් රසයි. වාඩියට යන එන අය ගෙනෙන කැවිලිත් එමටයි.
සන්තානම් මෑණියනේ... දෙව්මව් ගෙ මාතෘනේ...
ජේසුස්තුමන් වෙතේ අප නිසා යාච්ඤා වේ..
රෑ මැදියමත් පහුවෙනකල් කඩවීදි දිගේ ඇවිදල හීතල හුළං රැළි මැද කූඩාරමේ පවුලෙ
හැමෝම එකම පැදුරක ගුලිවෙලා නිදාගන්න එක අපූරු වෙනසක් ජීවිතේට...
පල්ලි මංගල්ල හදවත අත්විඳින දේව ප්‍රේමයෙන්, මනසට කා
වැදුණු දේව ධර්මයෙන් කොතරම් දුරස්තර වුණත්, ළමා වියේ ඉමිහිරි සිහින පොකුරක සුවඳ රැඳුණු කට්ටිමහන ශාන්ත ආනා මෑණියන්ට කැප කළ දෙව් මැදුරේ
වාර්ෂික මංගල්‍යය මග හරින්නට හිත් දෙන්නෙම නෑ. අපේම දාඩිය මහන්සියෙන් ගොඩ නැගුණු
ගමේ පල්ලියේ වාර්ෂික මංගල්‍යය හැරුණු කොට ආසාවෙන් යන්නට බලා හිඳින එකම වාර්ෂික
වන්දනා ගමන මෙයයි. පවුලටම එක්ව අවම වියදමකින්, උපරිම සිත් ශාන්තියක් සහ වින්දනයක් ලබන්න
පුළුවන් එකම වන්දනා ගමනත් මෙයමයි.
පසුගිය සති අන්‍තයේ පැවැත්වුණේ කට්ටිමහණ ශාන්ත ආනා
දෙව්මැදුරේ 118 වැනි වාර්ෂික මංගල්‍යය. පල්ලිය ඉදි කරල තියෙන්නෙ 1895. සාන්ත ආනා
මෑණියන් කියන්නෙ මරියතුමියගේ අම්මා. ජේසුගේ අත්තම්මා. සැබවින්ම අත්තම්මා කෙනෙකුගේ
මහගෙදර සිටින්නාක් වැනි සුවදායක බවක් දෙව් මැදුර අවට දෙදිනක් ගත කරන කූඩාරම්
ජීවිතයේ දැනෙනවා. හැගෙනවා...
මේ මංගල්ලෙට කියන්නෙ කරත්ත මංගල්ලෙ කියල. පොල් ත්‍රිකෝණයේ
මාදම්පේ කුලියාපිටිය අතර සුන්දර පොල් වත්තක් මැද ඇති මේ පල්ලියට අතීතයේ සිට
වැඩිදෙනෙක් ඇවිත් තියෙන්නෙ කරත්තවලින්. ඒ නිසයි කරත්ත මංගල්ලෙ කියන්නෙ. නානාප්‍රකාර
කරත්ත දැනුත් මංගල්ලෙට එනවා ඉස්සර තරම්ම නැති උණත්. අක්කර ගාණක කූඩාරම් ඉදි වෙනවා.
ජහ් පිට මහ්... ජහ් පිට මහ්... හෝව් ගොනා තිරික්කලෙන්
ජහ් පිට මහ්... ජහ් පිට මහ්... නැවතියන්කො පුතා හෙමින්..
වාඩි අතරේ සැරිසරමින් කතා බහ කරමින් ඉන්න අතර මාරවිල පැත්තෙන්
ආව කට්ටියක් මුණ ගැහුණා.
'' ගිය සැරේ මංගල්ලෙට එද්දි ඔයාලගෙ පැත්තෙ කරත්තයක්
ඇක්සිඩන්ට් වෙලා මාමා කෙනෙක් නැති උණා නේද?''
මං ඇහුවෙ පසුගිය වසරේ මතකයක් අළුත් කරමින්. අවුරුදු තිස්
ගාණක් කරත්තෙන් කට්ටිමහන මංගල්ලට ආව මාමා කෙනෙක් මෙදා සැරෙත් එද්දි ලොරියක
හැප්පිලා මිය ගිය බවකුයි අපට ආරංචි උණේ..
මංගල්ලෙට එන කරත්තවල බැදි ගොනුන්ගෙන්
සද්දන්තම, සුන්දරම ගොනත් ඒ සමගම සමුගත් බවකුයි දැන ගන්නට ලැබුණෙ.
'' ඒ මාමා මැරුණෙ නැහැ ඇන්ටී..කකුල නම් කපල. ගොනත්
ඉන්නවා. මේ සැරෙත් ඇවිල්ලා ඉන්නෙ.."
පුංචි කොලු පැටව් තුන්දෙනෙකුගේ මග පෙන්වීමෙන් අපි ඒ
වාඩිය හොයා ගෙන ගියා. කාලවර්ණ උස් සිරුරක් හිමි මාකස් මාමා ඇදක වාඩි වෙලා හිටියා.
ආබාධිත කකුල අසලම කෘතිම පාදය තිබුණා. අනතුර සිදු වුණ හැටි, ඉන්පස්සෙ සිදු වුණ දේ
ඔහු විස්තර කළේ පැකිලීමකින් තොරව.
''ගොනාට ගොඩක් තුවාලවුණා. අං දෙකම කැඩුණා. බේරෙයි කියල
හිතුවෙ නෑ. මං ඉස්පිරිතාලෙ ඉද්දිම මස්කඩකාරයො ඇවිල්ලනෙ ගොනාව ගෙනියන්න. මං කිව්වා
මැරුණොත් ගේ ළගම වළදානව මිස මස්කඩකාරයින්ට දෙන්න එපා කියල. දැන් ඔය අපුරුවට
ඉන්නෙ...''
කැඩුණු අං දෙක.. |
අං දෙක අහිමි ගොනා |
මාකස් මාමල ඇවිත් තිබුණෙ බදාදා. මාරවිල ඉඳන්.. මංගල්ලෙන්
පස්සෙ සඳුදා හවස කරත්ත පෙරහැරටත් ඉඳල එයාල ආපහු යන්නෙ අඟහරුවාදාලු.
මෙදා සැරේ පිවිසුම් දොරටුව ළග පොල් තොරණ හදල තිබුණෙත් කරත්තයක් විදියට...
පවුලේ අයත් එක්ක ගත කළ සුන්දර සති අන්තයක්.. ඒ හැමෝම තාමත්
කුඩාරමේ රැඳිල ඉද්දි මං තනියෙන් කොළඹ එන්න බස් එකට නගිද්දි නම් ඇස්වලට කඳුළුත්
පිරුණා. බස් එකට නගින සෙනග අතරේ මං තෙරපෙද්දි චූටි දෝණි ''මම්මෙ එන්න ...
එන්න...'' කියල අතින් කතා කළේ මං යනවට අකමැත්තෙන්... ඒ පුංචි මූණෙ මට කියවා ගන්න
බැරි හැගීම් ගොන්න දකිද්දි හරි අසරණකමක් දැණුනා හිතට.
''මම්මා වැඩට යන්න ඕනනෙ මැණික.. වැඩට ගියාමයි සල්ලි හම්බ
වෙන්නෙ. ඔයාට සබන් බෝල පුම්බන ඒව ගේන්න පුළුවන් එතකොටනේ... '' වෙනද වගේ එහෙම
කියන්න අවස්ථාවක් ලැබුණෙත් නෑ. බොහෝ දුරක් එනකල් හිත හිර වෙලා තිබුණා.
2009 වසරේ ජාතික රූපවාහිනියේ විකාශය වූ කරත්ත මංගල්ලේ
විශේෂ වැඩසටහන යූ ටියුබ් හරහා නැරඹිය හැකියි. මාකස් මාමාගේ කතා බහකුත් අං දෙකත්
එක්ක විරාජමාන ගොනාගේ පැහැදිලි දසුනකුත් එහි ඇති..
http://www.youtube.com/watch?v=mzlG4eDtll0
http://www.youtube.com/watch?v=vwz0LYokHCA
නයිනමඩම,වෙන්නප්පුව,මාරවිල,බණ්ඩිරිප්පුව පල්ලිවල මංගල්‍ය වලට කොල්ල කාලේ රෑ වෙනකන් (සෙනසුරාද රෑ සහ ඉරිදා උදේ)විනෝද වුන හැටි මතක් වුනා.
ReplyDeleteකට්ටිමහන මතකයට හුරු නමක් වගේ දැනුන.ඉස්සර නිතරම දුම්මලසුරියෙ පොල් ඉඩමකට ගියා.නමුත් කට්ටිමහන පල්ලියට ගිහිල්ල නැහැ.
සංවේදී වගේම සුන්දර මතකයක් සහිත ලිපියක්.
අර කරත්තය පොල්ගෙඩි වලින් නේද හදල පේන්ට් කරල තියෙන්නෙ?
කට්ටිමහන දුම්මලසූරියට හුගක්ම කිට්ටුයි... පොල්ගෙඩි පාට කරල හැදුව කරත්තයක් තමයි අයියේ...
Deleteඒ අත්දැකීම හරිම වෙනස් සතුටක් ගේන්නෙ.. පුංචි කාලෙ ඉදන් හැම මංගල්ලෙකටම ගියත් එපා වෙන්නෙ නැහැ...
එක සැරයක් ගිහින් තියෙනවා බණ්ඩිරිප්පුවෙ මංගල්ලෙට පුංචි කාලෙ. රෑ පුරාම මට මතකයි වංගෙඩි කෝපි කිය කියා උණු කෝපි විකුණුව ගැහැණු මිනිස්සු ඇවිද ඇවිද...
පල්ලිය ඉස්සරහට වෙලා කෝච්චිය යනව බලන් ඉද්දි බිරින්දෑ එක්ක රණ්ඩු වෙවී හිටිය මනුස්සයෙක් සරමෙන් ඔලුව වහගෙන දුවගෙන ඇවිත් කෝච්චියට පැන්නා... කෑලි කෑලි.. කෝච්චි පාර පුරාම.... මහ බියකරු මතකයක්...
කෙන්ජි බොස් අපේ පැත්තෙ කොල්ලෙක් වගේ
Delete//රෑ මැදියමත් පහුවෙනකල් කඩවීදි දිගේ ඇවිදල හීතල හුළං රැළි මැද කූඩාරමේ පවුලෙ හැමෝම එකම පැදුරක ගුලිවෙලා නිදාගන්න එක අපූරු වෙනසක් ජීවිතේට...//
ReplyDeleteහරිම ලස්සන අත්දැකීමක්...:)
//සාන්ත ආනා මෑණියන් කියන්නෙ මරියතුමියගේ අම්මා. ජේසුගේ අත්තම්මා.//
මේ ගැන මුල්වරට ඇහුවේ අදමයි. තව විස්තර තියෙනවානම් කියන්ටකෝ.
ලියන්නම්කෝ... ඊට කළින් බලන්න ඕන සමහර විට හරී මල්ලි සාන්ත ආනා මෑණියන් ගැන ලියලත් ඇති.
Deleteපොල් තොරණ හරිම ලස්සනයි අක්කේ. මම ඔයාලගෙ ෆොටෝ බැලුවා. ඒවත් ලස්සනයි. පුංචි පුතා, චූටි දෝණි .....
ReplyDeleteඒ ෆොටෝවල තියෙන්නෙ ගමේ පල්ලියෙ පොල් තොරණ... අපේ මල්ලිගෙ සැලසුම් තමයි. හැමදාම එයාගෙ සැලැස්මකට තමයි පොල් තොරණ හදන්නෙ...
Deleteදුවට දැන් අවුරුදු තුනයි... පුතාට මාස තුනයි...
තේවත්ත පල්ලිය පැත්තේ යැවුනා මේ ලගදි.. කූඩාරම් ගහගෙන හිටපු සෙනග මතක් වුනා..
ReplyDeleteඒ කැප කිරීම ගැන මාර හැගීමක් ඇති වුනේ..
තේවත්ත මංගල්‍යයි, කට්ටිමහන මංගල්‍යයි හැමදාම එකම සති අන්තෙක වැටෙන්නෙ...
Deleteඒ කැපකිරීම හරිම සුන්දරයි.. ගෙවල් දොරවල්, ප්‍රශ්න මොනවත් මතක් වෙන්නෙ නැහැ මල්ලි..
විවිද සංස්කෘතීන්ගේ මේ වගේ දේවල් ලංකාව පුරාම සිද්දවෙනකොට කොච්චර ලස්සනද?. අපේ රටේ හැම ජාතියකම ගොන් හරකුන්ට මොනවා කැවිලද මන්දා තමන්ගේ ආගම් ප්‍රචාරය කරන්නයි අනුන්ගේ ආගම් වලට පහර ගහන්නයි ඇර මේ වගේ දෙයක් රස විඳින්න දන්නේ නැත්තේ.
ReplyDeleteදහම කියන දේ නිවැරදිව තේරුම් ගන්න අය අනිත් ආගම්, සංස්කෘතින්වලටත් ගරු කරන්න දන්නවා...වැඩේ තියෙන්නෙ අද බහුතරය දහම අවබෝධ කර ගත්ත අය නෙවි... අැදහිල්ලෙන් අන්ධ වෙලා ඉන්න අය...
Deleteඒ නිසා ලෝකය දවසින් දවස අසුන්දර තැනක් වෙමින් තියෙනවා..
අර හරක නිකං ඔටුවෙක් වගේනෙ.. මොල්ලියකුත් තියෙනවා.. පොල් කරත්තෙ නම් මරු.. මාතර පල්ලියෙ මංඟල්ලෙ නම් ඔච්චර නෑ.. ඒත් සතියක්ම සල්පිල් නම් තියේ
ReplyDeleteමම හිතන්නෙ අනතුරින් පස්සෙ හරකා බොහොම දිරාපත් වෙලා... යූටියුබ් වීඩියෝ එක බැලුව නම් හරකගෙ ලස්සන දකින්න පුළුවන්..
Deleteහික් හික් :D යකෝ ඌ හරකෙක් නෙමේ . ගොනෙක්. ගොනෙයි හරක්යි කියන්නෙ දෙන්නෙක්.. මීට කලින් උඹ ගොනෙක්වයි ගොනෙක්ට ආවේනික අංදෙකයි උගෙ මොල්ලියයි දැකල නැද්ද ? :D
Deleteතරුරසී......මේ බ්ලොග් එක හරි රසවත්.ඔබට සොඳුරු අත්දැකීම් තියෙනවා
ReplyDeleteමගෙ වැඩේ අළුත් අත්දැකීම් හොයාගෙන යන එකනෙ... ඒ වෙනුවෙන් නිදහසත් අසීමිතව තියෙනවා.. රස්සාව නිසා හිරවීම ඇරුණම... ඒ අත්දැකීම බෙදා ගන්නත් මං ආසයි..
Deleteමට ඕනෙ ඔයාල හැමෝටම කියන්න ජීවිතේ ඇත්ත සතුට තියෙන්නෙ වැඩි ඈතක නෙවෙයි.. අපේ ඇස් මායිමේම තමයි කියල..
තරු, සුන්දර මතක අවුස්සන මේ ලියවිල්ල දෙවතාවක් කියෙව්වා.
ReplyDeleteමේ සෙල්ලම් බඩු අතරට තවත් එකක් එකතු කරන්නම්. ඒ හිස් (ඒ කාලේ නම් පැරකුම්) කිරිටින් කපා පාට කර හදාපු සෙල්ලම් බඩු. පල්ලියේ උත්සවය ඉවර වුනාට පොඩි අය මේ සෙල්ලම් බඩු අරන් විනෝද වෙන ලස්සන දවස් ගානක් ගමේ දකින්න පුළුවන්. ඒ සෙල්ලම් බඩු හැම එකක්ම නැතත් තාමත් මැටි වලං සෙට් නම් තියෙනවා.
ඒ කරත්ත ගැන තමයි මමත් කිව්වේ... කට්ටිමහන නම් තාමත් ඒ කිරිටින් කරත්ත තියෙනවා...
Deleteඅනේ ඇත්තට පුංචි කාලෙ ඉතින් ඒ වගේ දෙයක් ලබා ගන්න එකනෙ ලොකුම හීනෙ...
මම පල්ලියකට ගිහින් තියෙන්නේ දෙවතාව යි :) එක සැරයක් ඉස්කෝලෙන් විනෝද චාරිකාවක් යනකොට දවල්ට කන්න නතර කළා පල්ලියක. අරලිය ගස්වලින් සෙවණ වුණ විශාල ඉඩමක් මැද්දේ තිබුණ පල්ලියක්. නම නං දැන් මතක නැහැ. හලාවත පැත්තේ තමයි. අනෙක් වතාව මේ ළඟ දී විභාගෙට ආශිර්වාද ගන්න දෙහිවල පල්ලියකට ගියා යාළුවෝ එක්ක. ඒවා මගේ ජීවිතේ සුන්දර මතක සටහන් :)
ReplyDeleteපල්ලි,පන්සල්, දේවාල, කෝවිල් හැම එකකටම මම ගිහින් තියෙනවා... මුස්ලිම් පල්ලිවලත් කාන්තාවකට යන්න පුළුවන් සීමාව දක්වා... ගිහින් බලන්න නංගි... කොච්චිකඩේ පල්ලියට ගියාම ඒ ළගම තියෙනවා විශාල හින්දු කෝවිලකුත්... ඒවයේ ගෘහ නිර්මාණ සැලසුම්, සිරිත් විරිත්, ජනප්‍රවාද හරි ආසයි අහන්න දකින්න...
Deleteමේ තැන්වලට යාම වගේම හැම ආගමකම දහමේ මූලික කරුණු ගැන අවබෝධයවත් අපිට තියෙනවනම් හොදයි කියල හිතෙනවා....
ලංකාවේ ක්‍රිස්තියානි සංස්කෘතියේ සුන්දර පැතිකඩක් ගැන රසවත් ලිපියක්.
ReplyDeleteස්තුතියි ඔබට...
Deleteසුන්දර අද්දැකීමක්. කියවද්දිත් ඒක දැනුණා.
ReplyDeleteසදුදා හැන්දෑවෙ කරත්ත පෙරහැරට කරත්ත 130 ක් විතර ගිහින් තියෙනවා... හරිම ලස්සනයි කියල නංගි කිව්වා... මට ඉතින් බලන්න වුණේ නැහැනෙ...
Deleteඔය පැත්තේ යනකොට මම දැකලා තියෙනවා හරිම අපූරූ පොල් කුරුම්බා තැඹිලි තොරණ්.. අපේ පැත්තක තිබුනනම් විනාසයි.. ඉස්සර අපි යනවා වත්තල සෙන්ට් ඈන්ස් පල්ලියේ මංගල්ලෙට. ගේ ගාවින්ම යන බස් එකක් තිබුනා. මගේ මතකෙ හැටියට පොඩිම කාළේ මියුසිකල් ෂෝ එකක් බැලුවේ ඔතනද කොහෙද.. ඉස්සර දැන් වගේ නෙමෙයි. පුදුම ගැමි කමක් තිබුනා.. මට හොඳට මතකයි. උක්ගස්, පුහුල් දෝසී, බූන්දී, කළු දොදොල් කාරයෝ..
ReplyDeleteඒක ඇත්ත් අයියේ... දැන් දැන් අමුතු තාලෙ තොරණුත් හදනවා.. පළතුරු තොරණ්.. රඹුටන්, ඇපල්... තව බීම බෝතල් වලින්... ඔය වගේ නානා ප්‍රකාර තොරණ්.. ගම්වල සමහර ගෙවල්වල තියෙනවා පල්ලියටම වෙන් කළ පොල් ගහක්... අපේ ගමේ නම් හැම ගෙදරකින්ම පොල් එකතු කරනවා මංගල්ලෙ කිට්ටු වෙද්දි.. ඒ පොල්වලින් තොරණ හදන්නෙ ලස්සනට... මංගල්ලෙන් පස්සෙ සමහර පල්ලිවල පොල් තොරණ වෙන්දේසි කරනවා... අපේ පල්ලියෙ නම් ගමේම කෙනෙකුට හැමදාම පොල් ටික දෙන්නෙ.. ඒ ආදායම පල්ලියට...
Deleteමේ ළගදි මම ගියා කදාන කිට්ටුව කපුඅගාර පල්ලියෙ මංගල්ලෙට. ලස්සන පුංචි පල්ලියක්. තැඹිලි තොරණක් හදල තිබුණෙ. හැමෝටම ආශිර්වාද කළ තැඹිලි නොමිලේ දුන්නා...
ගමින් ගමට චාරිත්‍ර වෙනස්....
මමත් ඔය දුම්මලසුරිය පැත්තේ ගිහින් තියෙනවා තරුණ කදවුරකට සහභගි වෙන්න.
ReplyDeleteතරුත් ගිහින් තියෙනවාද දන්නේ නැහැ එතනට."Y grow"කියලා තියෙන්නේ.
හරිම අපුරු පරිසරේ පොල් වත්තක් මැද්දේ තියන්නේ.
ඒ පැත්තෙ වැඩිපුර තියෙන්නෙ පොල්වතු තමයි... මම ගිහින් නම් නැහැ ඔය කියන තැනට... කට්ටිමහන පල්ලියට විතරයි මමත් ගිහින් තියෙන්නෙ...
Deleteලස්සන සටහනක්.
ReplyDeleteස්තුතියි...
Deleteකෝ මගෙ ක්ලමෙන්ට් එක?? :O
ReplyDeleteඔය තියෙන්නේ...
Deleteමිහිරියි..!!
ReplyDeleteසතුටුයි එහෙනම්.....
Deleteතරූගෙ ගම කොහෙදනම් දන්නෙ නෑ.හැබැයි මමත් දුම්මලසූරියෙ.මේ සැරේ පල්ලි යන්න බැරි උනා.නැත්තම් පුලුවන් උන හැම වතාවකම ගියා.වෙන මොනාටවත් නෙමේ ලස්සනට සරසපු කරත්ත ටික බලන්නයි කූඩාරම් බලන්නයි.ගෙවල් ලග හින්දා කූඩාරමක නතරවෙන්නනම් ලැබුනෙ නෑ කවදාවත්.
ReplyDelete~Saji~
මම කුලියපිටියෙ... ලබන අවුරුද්දෙ ආවොත් එන්න අපේ වාඩියට... අපි හැමදාම ඉන්නෙ එකම තැන. හරියට අපටම ලියල දීල වගේ....
Deleteපල්ලිය පහු කරල පාර දිගට යද්දි සමූපකාරෙ හමුවෙනවනේ... ඊට කළින් හමුවෙන කොළපාට වැටක් තියෙන ගේ ඉස්සරහයි අපි හැමදාම වාඩිය හදන්නෙ....
කරත්ත පෙරහැර ගොඩක් ලස්සනයි කියල නංගි කිව්වා...
අදුනගන්න ලැබීම ගොඩක් සතුටුයි.ලබන සැරේ ආවොත් එන්නම් බලල යන්න.මම ඉස්කෝලෙ ගියෙත් කුලියපිටියෙ සෙන්ට්‍රල් එකට.
Delete~Saji~
මම නම් ගිහින් තියෙන්නේ බුරුල්ලපිටිය පල්ලියේ මංගල්ලයට විතරයි. ඒ මංගල්‍ය සිකයක් පුරා ඉහලින්ම සමරනවා. කිසිදවසක පල්ලියකට ගිහින් නැති නිසා පසුගිය වසර කීපයකම ඒක බලන්න ගියා..
ReplyDeleteමංගල්‍යයයක පසු බිමෙහි සුන්දරත්වය ගැන ලියු අපූරු සටහනක්.
මංගල්‍යයක බාහිර වත්පිළිවෙත්වල තේරුමක් නැහැ කියල විටෙක හිතුණත්... අවුරුද්දකට සැරයක් සාමූහික කටයුත්තකට මිනිස්සු එකතු වීම, ඒ හරහා ලබන සතුට.. සැනසුම්... ජීවිත වෙනස ගමකට හරි වැදගත් කියලත් හිතෙනවා.... ගීතිකා, සැරසිලි, වැඩ හරහා පුංචිම කාලෙ ඉදල කලාකරුවො බිහිවෙන පසුබිම හැදෙනවා.... සාමුහික වැඩවලට හුරු වෙනවා..
Deleteඒ අතර ධාර්මික ප්‍රබෝධයකුත් තියෙනවා...
ඝෘණ පැත්ත ගැන නොලිව්වෙ ඒ ගැන ඉතින් හැමෝම දන්නවනෙ.. කෑමබීම, විලාසිතා, මුදල් නාස්තිය, බොරු ආටෝප වැඩ.... වගේ ඒවා...
කට්ටිමහන යාම මට වැදගත් වෙන්නෙ අපි පවුලක් විදියට යන එකම වාර්ෂික වන්දනා ගමන වීම... ඒ ගමනෙ අමුතු සතුටක් තියෙනව අයියේ...
අපේම දාඩිය මහන්සියෙන් ගොඩ නැගුණු ගමේ පල්ලියේ වාර්ෂික මංගල්‍යය -අපේ පල්ලියෙ මංගල්ලෙ තියෙන්නෙ ජනවාරියෙ.....නත්තලට පල්ලියෙ ගවලෙන හදලා. ජනවාරියෙ තොරණ හදන්න කට්ටිය සෙට් වෙනවා... දෙසැම්බර් ජනවාරි වල සීතලම සීතල රෑ ජාමෙ එළි වෙනකන් මේ වැඩ කරද්දි මාර ගති. පල්ලියත් එක්ක ගෙවුන ජීවිතේ මාර ලස්සනයි.......
ReplyDeleteඇත්තම තමයි... දැන් පල්ලියෙ වැඩ වාතයි වගේ දැණුනට, ඒ කාලෙ ජීවිතේ සුන්දරම කටයුතු තිබුණෙ පල්ලියත් එක්ක ...
Deleteතරු,
ReplyDeleteසන්තානම් මෑණියනේ - දෙව් මව්ගේ මාතෘනේ
ජේසු තුමන් වෙතේ - අප නිස යාච්ඤවේ
මේ ගීතිකා ඛණ්ඩය තදින් හිතේ ලියවිලා තියෙන්නෙ, අපේ ආච්චිගේ අතින් අල්ලන්, තලවිල පල්ලියේ සොරෝලෙ යන පෙරහැරේ යන මතකයත් එක්කයි. තලවිල ඉතින් සන්තරම් පල්ලිය කියන ගානට සන්තානම් පල්ලි වලින් ලොකුම එකක් නෙ. අපේ අම්ම කියනව ඒ ගොල්ල පොඩිකාලෙ කරත්ත වලින් තලවිල ගිය හැටිත්.
අපේ පවුල් හැම අවුරුද්දෙම යන මංගල්ල කීපයක් තිවුණ. තලවිල,මඩු, බුරුල්ල පිටිය... බොරලැස්ස, වෙන්නප්පුව, නයිනමඩම එහෙම නම් අපේ ම පල්ලි. නාවානෙ පල්ලියෙ මංගල්ලෙ කෙරුවෙ අපේ තාත්තලාගේ පවුල්.
නයිනමඩමෙ පල්ලි දෙකයි. අපි නැගෙනහිර... වික්ෂෝප පල්ලියෙ අය.
පහුකාලෙක විශ්ව විද්‍යාලෙදි තමයි මම දැනගත්තෙ මේ පුංචි රටේ අපි හැදුනු වැඩුණු මේ සංස්කෘතිය ගැන හාංකවිසයක් දන්නෙ නැති අය කී තරමක් ඉන්නව ද කියල. මේ රට කොයිතරමක් නම් වර්ණවත් ද, කොයි තරමක් නම් විවිධාකාර ද කියල තේරුම් ගත්තාම තමයි අපට අපි කවු ද කියන එක තේරුම් ගන්න පුළුවන්. අපට ලාංකිකයින් වෙන්න පුළුවන්...
ඒත් පාට පාට ජාති ජාති, රෝස, ඉද්ද, ඩේසි, පිච්ච මල් එකතු කරල හදන මල් පොකුරකට වඩා.... තනිකරම ඇන්තූරියම් මල් මිටියක් ලස්සණය හිතන අයත් ඉන්නවනෙ...!
මේ ලියවිලි දිගටම ලියන්න... වාසනාව ශක්තිය තරුට.
".........පහුකාලෙක විශ්ව විද්‍යාලෙදි තමයි මම දැනගත්තෙ මේ පුංචි රටේ අපි හැදුනු වැඩුණු මේ සංස්කෘතිය ගැන හාංකවිසයක් දන්නෙ නැති අය කී තරමක් ඉන්නව ද කියල. මේ රට කොයිතරමක් නම් වර්ණවත් ද, කොයි තරමක් නම් විවිධාකාර ද කියල තේරුම් ගත්තාම තමයි අපට අපි කවු ද කියන එක තේරුම් ගන්න පුළුවන්. අපට ලාංකිකයින් වෙන්න පුළුවන්...
Deleteඒත් පාට පාට ජාති ජාති, රෝස, ඉද්ද, ඩේසි, පිච්ච මල් එකතු කරල හදන මල් පොකුරකට වඩා.... තනිකරම ඇන්තූරියම් මල් මිටියක් ලස්සණය හිතන අයත් ඉන්නවනෙ...!"
මේ ටික හරියට හිතට වැදුණා... ඇත්තම තමයි..
හැමදාම දෙන ධෛර්යයට ස්තුතියි ඔබට.....
අර නයිනමඩමෙ පල්ලි දෙක කුල ප්‍රශ්නයක් නිසා ගොඩ නැගුණු පල්ලි දෙකක් කියනවා නේද?
නයිනමඩමෙ පල්ලි දෙකේ ඉතිහාසෙ නම් හරියාකාරවම කියන්න දන්නෙ නැහැ. මම දන්නා තාක් කාලයේ ඔය පල්ලි දෙකටම හිටියේ එකම පියතුමෙක්. අදටත් මම හිතන්නේ එහෙමයි. නත්තල් පාස්කු වගේ දේවල් කෙරුනෙත් මාරුවෙන් මාරුවට. අවුරුද්දෙන් අවුරුද්ද.
Deleteදෙපැත්තෙම මංගල්ල වලට අපි යනවා. ඒත් 'අපේ' පල්ලිය වික්ෂෝප පල්ලිය. සන්තන්තෝනි පල්ලිය නැත්තං ගංගොඩේ පල්ලියේ වැඩ කටයුතු තීරණය කෙරුවේ ඒ පැත්තේ කට්ටිය. ඒත් ඒ හැමෝම වාගේ හැම සිකුරාදාම වික්ෂෝප නුවානෙට එනවා. එහෙම හිතුවාම මං දන්න කාලේ නම් මේ කුල මල පැන යට ගිහින් තියෙන්න ඇති.
ඒත් වයික්කාලේ පාර දෙපැත්තෙ පල්ලි දෙක නම් කුල ප්‍රශ්න නිසා හැදුනාය තාත්තලා කියනවා අහල තියෙනවා.
මේ මංගල්‍යය තියෙන්නෙ කොයි කාලෙද අක්කේ.. අගෝස්තු මාසෙ වගේද?
ReplyDeleteඅපි ඒ කාලෙ තලවිල යන හින්දා වෙන්න ඇති මේ ගමන මඟ ඇරෙන්නෙ.
විස්තරේට ස්තුතියි අක්කෙ. වෙලාවක ගිහින් බලන්න වටින ගමනක්..