පිටු

Wednesday, April 12, 2023

‘‘ජීවිතය ඔබෙන් ලැබ...‘‘

Art by - Quint Buchholz


 

‘‘අවුරුද්දට ගමේ යන්නෙ නැද්ද?

‘‘අවුරුද්දට ගමේ යන්න ඕනම ද?

පිළිතුරක් ප්‍රශ්නයක් කරන්නට මට උවමනා වූවා ම නොවේ. අප හමු වූ මුල් ම කාලයේ, මුල් ම බක් මහේ මම ඔය ප්‍රශ්නය ම, ඔයාකාරයට ම ඔහුගෙන් ඇසූ බව මට සිහිපත් විය. එදායින් මෙදා මටත් අවුරුද්ද අලුත් යමක් ලෙස හිතට දනවන්නට උවමනා වූයේ ම නැත. මට පමණක් ඇති අවුරුදු කුමකටදැයි සිතෙන සිතුම වළකා ගන්නට බැරි විය.  

‘‘නෑ... එහෙම එකක් නෑ... අවුරුද්දට කොළඹ පාළු වෙනවා. තෝසෙයක් කන්නවත් තැනක් නැති වෙන තරමට.”

ඇයි ශ්‍රැංගිලා, ගෝල්ෆේස් හොටේල්, සිනමන් ග්‍රෑන්ඩ් ඕව වහන්නෙ නෑ නේද? අසා ඵලක් නැත. තුන්වේල පෙට්ටි කඩෙන් කන අපට මොන ශ්‍රැංගිලා ද?

මඳ නිහැඬියාවකි. අතු පතර සිලි සිලිය පමණකි. ඉඳ හිට නම නොදන්නා කුරුල්ලකු කෑ ගසාගෙන ඉගිල යන හඬ ඇසේ. ‘ඌ අවුරුද්දට ගමේ යනවාවද්ද?‘

‘‘ගමක් කියන්නෙ මොකක්ද? ” මම පෙරළා ප්‍රශ්නයක් ඇසීමි.

‘‘මිනිස්සුන්ට තමන්ගෙ අක්මුල් මුණ ගැහෙන තැන. ආදරය දැනෙන තැන. තමන්ගේම කියන මිනිස්සු ඉන්න තැන. ඒකනෙ කොයි දේස දීපකංරේ ගියත් ගමට දුවන හිත අල්ලල නවත්තගන්න බැරි වෙන්නෙ.”

ඔහු ඈත බලාගෙන මුමුණයි.

‘‘ඔයාගෙ හිතත් ගමට දුවනව ද? ”

දිගු සුසුමකි.

‘‘හ්ම්... ඒත් දැන් එහෙ කවුරුත් නෑ. ආදරය කරපු මිනිස්සු නැති වුණාට පස්සෙ ගමක් කියන්නෙ හිස් බිමක් විතරයි.”

ගමක් අළුවුණු ශෙල් වෙඩිල්ලක කතාව දන්නා නිසා ම මම කිසිත් නොපවසා අසා සිටියෙමි.

‘‘අපිට කොහොමත් නිශ්චිතවම ගමක් කියල දෙයක් තිබුණෙ නෑ. අපි උන්නෙම කඳවුරුවලනෙ... අපිට ගෙවල් තිබුණෙ නෑ. ඒවා කූඩාරම්... තහඩු මඩු. ඒත් ඒ කාලෙ කොහොම වෙතත් අවුරුදු තිබුණා, අපි එකට උන්නු නිසා. මම ඉටිපන්දම් එළියෙන්, හඳ එළියෙන් හරි පොත පතේ වැඩ කරගත්ත නිසා කැම්පස් ආවා. අපිට එකට මැරෙන්න තිබුණු අවස්ථාව ඒකෙන් නැති වුණා. හැමෝම යන්න ගියා. මම  විතරක් ඉතුරු වුණා, මම විතරක්... හරියට ඇවිදින මළ මිනියක් වගේ.”

මම ඒ අත තදින් මිරිකා ගතිමි. ඔහු මදෙස බැලුවේ ය. වැරදි යමක් කියවුණාක් වැනි හැඟීමක් ලියැවුණු දෑස් මතින් මගේ දෑස් ලිස්සා යන විට ළය රිදී සුසුමක් ගිලිහුණේ මටත් නොදැනීම ය.  

‘‘මේ බලන්න. ” ඔහු මගේ මුහුණ ඔහු වෙත හරවා ගනියි. ඒ දෑත උණුසුම් ය. 

මා මත ම දැල්වුණු ඒ ඇස් කෙමෙන්, කෙමෙන් මඳ සිනාවකින් දීප්තිමත් වන්නට විය.

‘‘ඒත් දැන් ටික ටික හුස්ම වැටෙනවා.” ඔහු මගේ දකුණතේ පිටත්ල ගෙන නාස් පුඩු අග තබා සුසුමක් පිට කර පෙන්වයි. මම අනෙක් අතින් ඔහුට පහරක් දුනිමි.

‘‘ඔයා ළඟ ඉන්නවනම් හැමදාම අවුරුදු...” ඔහු සුරත මා උරහිස වටා යවා තදින් තුරුළු කොට ගත්තේ ය.

‘‘මමත් ගමේ යන්නෙ නෑ. අපි අවුරුදු දවසට මෙතනදි ම හමුවෙමු. මම කන්න හදන් එන්නම් අපි දෙන්නට. ”

දියවන්නාව දෙස ම හැරවුණු ඒ මුහුණේ වම් කොපුලේ සිනා සේයාවක්  ඇදී යනු මම නිවුණු හදින් බලා සිටියෙමි.

1 comment:

  1. හ්ම්... ඒනං ගමේ යන වියදමත් ඉතුරුයි හිටන් 😂

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...