පිටු

Tuesday, February 12, 2019

O2 for Teen Soul - නව යෞවනයට ජීවිතාර්ථ චිකිත්සාවක්


මා උගත් දීගල්ල රේවත මහා විද්‍යාලය, කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලය යන පාසල්වලට අමතරව මට අමතක ම නොවන තවත් පාසල් කිහිපයක් ඇත. ගුරු ගීතයේ දුයිෂෙන්ගේ අශ්ව ඉස්තාලයේ ඉස්ෙකා්ලය ද, දඟ මල්ලගේ අමුතු ඉස්කෝලය වූ වයිටලීෆ් පාසල, ටොට්ටො චංගේ හරි පුදුම ඉස්කෝලය වූ කෝච්චි පෙට්ටි පාසල... තව මතකය කලතා ලන්නේ නම් ඒ අතරට නම් කිහිපයක්ම එකතු වනු ඇත.

ඔව් ! තවත් සුවිශේෂ පාසලක් ඒ අතරට එක් කළ හැකිය.

ඒ කළුතර ශුද්ධවු පවුලේ කන්‍යාරාමය ය. මට එය හරි පුදුම ඉස්කෝලයක් ලෙස දැනෙන්නට හේතු වූ කාරණය ලංකාවේ අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ දියුණුව පිළිබඳව සිහින දකින බොහෝ අයට වැදගත් කාරණයක් ම වනු ඇත. 

පාසලක් යනු කුඩා ළමයින්ගේ නැණසලක් පමණක් නොව නව යොවුන් දරු දැරියන්ගේ ජීවිත පුබුදුවන තීරණාත්මක මංසලක් බව ද මැනවින් පසක් කොට ගෙන සිටින ශුද්ධවු පවුලේ බාලිකාව විශේෂයෙන් යොවුන් දැරියන්ගේ දැනුම, ආකල්ප, කුසලතා සංවර්ධනයට විවිධ වැඩසටහන් ක‍්‍රියාත්මක කරමින් ලබා දෙන පන්නරය විශිෂ්ට මට්ටමේ පවතින්නක් බව නොකියාම බැරිය. 

කළුතර ශුද්ධවු පවුලේ කන්‍යාරාමයේ ශිෂ්‍ය නායිකාවන් පුරා වසර 25ක් තම කණ්ඩායම් ව්‍යාපෘතිය ලෙස දියත් කළේ සුවිශේෂ වැඩසටහන් ය. ඒවා සාමුහික ක‍්‍රියාකාරකම් පමණක් නොව සුවිශාල සමාජ ආයෝජනයන්ය. වඩා වැදගත් වනුයේ නව යොවුන් ජීවිත පුබුදුවමින් සමාජය යහපත් තැනක් කරන්නට එම ව්‍යාපෘති දක්වන සමත් කම ය. සුදු පවුලේ බාලිකාවන්ගේ ව්‍යාපෘති සඳහා කිහිප අවස්ථාවකම සහභාගි වීමේ ඉඩකඩ හිමිවීම මා ලද භාග්‍යයකි.



1993 වසරේ ඔවුන් තම මුල් ම සාමූහික ව්‍යාපෘතිය සිදුකරනුයේ 'විකසිත සිත්තම්' යනුවෙන් චිත‍්‍ර තරඟයක් සහ ප‍්‍රදර්ශනයකි. 

1994 - 'විමසුම් දැකුම්' නමින් අධ්‍යාපනික ප‍්‍රදර්ශනයක් සහ විද්වත් හමුවකි. ඔවුන් සාහිත විමංසා ශිෂ්‍ය සාහිත්‍ය උලෙළ පවත්වනුයේ 1995 වසරේ ය. මේලෙසින් ඇරඹි ගමන තුළ විශේෂයෙන් සිහිපත් වන වැඩසටහන් කිහිපයක නම් ඔබ හමුවේ තබමි. 

‘‘ගී මල් සුවඳ ගීත සාහිත්‍ය උළෙල’’ 1996, 

‘‘නාද සිත්තම් ගී මියැසිය’’ - 1999 

‘‘රළ තරණය’’ චිත‍්‍රපටය - 2003, 

‘යුද්ධයක් පවතින රටක සෑම පුරවැසියෙක්ම ප‍්‍රාණ ඇපකරුවෙක්’ යන තේමාවෙන් නිෂ්පාදනය කළ ‘‘දූතිකාවෝ’’ වේදිකා නාට්‍යය 2005, 



‘‘සවිකල්ප’’ හරවත් රූපවාහිනී මාධ්‍ය භාවිතාවක් වෙනුවෙන් ඉදිරිපත් කළ විකල්ප මාධ්‍ය වැඩසටහන - 2006,

‘‘ආදරය සපිරි නව ලොවක් සඳහා කාන්තා දායකත්වය’’ මැයෙන් ‘‘ඇය’’ සමුළුව සහ ප‍්‍රසංගය - 2008

‘‘ප‍්‍රාණ පරිත්‍යාගී කැපකිරීමකින් තොරව පෘථිවිය ආරක්ෂා කළ නොහැක.’’ යන තේමාවෙන් නිමැවූ සියැටෙල් දියණියෝ වේදිකා නාට්‍යය - 2010

මේ ආකාරයට පුරා වසර 25 ක් පාසලේ සිසුවියන්ගේ සාහිත්‍ය, කලා, සෞන්දර්ය හැකියාවන් මෙන්ම පුද්ගල සහ සමාජවබෝධය ද පුළුල් කිරීම සඳහා මෙම ව්‍යාපෘති සුවිශේෂ මෙහෙවරක් ඉටුකර ඇත. යොවුන් දැරියන් පමණක් නොව මෙම ව්‍යාපෘති හරහා ගුරු භවතුන්, දෙමව්පියන් මෙන්ම ප‍්‍රදේශයේ සෙසු පාසල්ද, ජනතාවද ලැබූ ආලෝකය අති මහත් බව දනිමි. නව යෞවනය සඳහා දිවයින පුරා කළ විවිධ වැඩසටහන්වලදී සුදු පවුලේ දියණියන්ගේ ප‍්‍රයත්නයන් අපට ද අත්වැලක් වූ ආදරයෙන් සහ ස්තූතිපූර්වකව සිහිපත් කරමි. 


වසර 25ක අත්දැකීම් එක්රැස් කොට ‘‘ප‍්‍රත්‍යවේක්‍ෂණ’’ - 25 වසරක ශිෂ්‍ය නායිකා ව්‍යාපෘති යන නමින් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ද අනුමැතිය සහිතව කෘතියක් පළකිරීම ද පසුගිය වසරේ සිදු විය. 1993 වසරේ සිට 2018 වසර දක්වා සිසුවියන් සිදුකළ ව්‍යාපෘති සම්බන්ධව විස්තරාත්මක තොරතුරු මෙන්ම ඒ සම්බන්ධව විද්වත් අදහස්, සමාජ ප‍්‍රතිචාර, පුවත්පත් වාර්තාද මෙම කෘතියට ඇතුළත් ය.  
    
2018 වසරේ සුදු පවුලේ ශිෂ්‍ය නායිකාවන් සිය ව්‍යාපෘතිය ලෙස දියත් කළේ නව යොවුන් වියට ප‍්‍රබලව බලපාන කාරණා රැසක් සාකච්ඡා වන යූ ටියුබ් වීඩියෝ 14 කි. නව යෞවනයට ජීවිතාර්ථ චිකිත්සාවක් යන මැයෙන් මෙම වීඩියෝ දැන් යූ ටියුබයට මුදා හැර ඇත. O2 for Teen Soul - Motto Therapy Center  යන නමින් අන්තර්ජාලය තුළ ඔවුන්ගේ යෞවන අපේක්ෂාවන් සහ නිර්මාණශීලී හැකියාවන් ඔබට හමුවනු ඇත. 



ශ‍්‍රී ලංකාවේ නව යෞවනය මුහුණ පාන ගැටලූ හඳුනාගැනීම සහ ඒවාට විසඳුම් සෙවීම සඳහා උනන්දු කරවීමට මඟ පෙන්වීමක් ලෙස මෙම වීඩියෝ වැඩසටහන් මාලාව නිෂ්පාදනය කරන බව බාලිකාවන්ගේ අරමුණු අතර සඳහන් ය. 'උපතක විපතක්' නමින් නව යොවුන් මව්පියන් සම්බන්ධ ගැටලූ, 'සයිබර් අකුණු' ලෙස සයිබර් මංමුලාවූ යෞවනය, 'ආදර රිදුම් පරදා' මැයෙන් ආදර පැරදුම් අභිබවා ජීවිත ජයග‍්‍රහණය කරා යොමුකිරීම, 'සැබෑ වීරයෝ' නමින් ජීවත් වෙන හැටි කියා දෙන සුපිරි තරු ආදී වශයෙන් නම් කරමින් මෙම වීඩියෝ 14 නිර්මාණය කර ඇත. 



නව යෞවනයට ජීවිතාර්ථ චිකිත්සාවක් වැඩසටහන් මාලාවේ ‘නව යෞවනයයි - ගීතයයි’ යන තේමාව ඔස්සේ විශේෂයෙන් BlackMail ගීතය ගැන අදහස් දැක්වීමේ අවස්ථාවක් මටත් ප‍්‍රවීණ ලේඛක, සමාජ ක‍්‍රියාධර චූලානන්ද සමරනායක සොයුරාටත් හිමි විය. එබැවින් සමස්ත ක‍්‍රියාවලිය තුළ සිසුවියන්ගේ ක‍්‍රියාකාරිත්වය පිළිබඳ දළ අදහසක් ලබා ගැනීමේ අවස්ථාව විවර විය. 

මෙම වැඩසටහනේ සංවිධානය කටයුතු, අදහස්, තීන්දු තීරණ, තිර පිටපත් ලිවීම, දර්ශන තල සොයා ගැනීම, මෙහෙයවීම, නිවේදන, රංගන, සංගීතය, පසුතල නිර්මාණ, සංස්කරණය ආදී වූ බොහෝ කටයුතු සිදුවූයේ සිසුවියන් අතින්ම වීම සුවිශේෂ කරුණකි. විවිධ පැතිකඩ ඔස්සේ ස්වකීය දක්ෂතා උර ගා බැලීමට ඔවුන්ට ලැබුණු කදිම අවස්ථාවකි. එසේම අධ්‍යාපන කටයුතු සමඟ සමබරව විෂය බාහිර වූ මෙම ක‍්‍රියාකාරකම් සිදුකිරීමට ඔවුන් දැරූයේ අපමණ වෙහෙසකි. විඩාව නොසලකා, මහත් වගකීමෙන්  කැපවීමෙන් කටයුතු කළ ඔවුන් ඒ තුළ ලද මහා තෘප්තිය සහ නිදහස මම ඒ සිනාවන් අතර දුටුවෙමි. 


ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනයේ සාර්ථකත්වය උර ගා බලන මෙම ව්‍යාපෘති සෑම පාසලකටම ආදර්ශයකි. පාසල් තුළ තමන් සතු සම්පත් අනුව මෙබඳු ව්‍යාපෘති සාමූහිකව දියත් කළ හැකි නම් පාසලට පමණක් නොව සමස්ත සමාජයට එය මහත් ආලෝකයක් වනු ඇත.

මෙවැනි භාරදූර ව්‍යාපෘතියක් සඳහා අවසරය සහ මඟ පෙන්වීම ලබා දුන් විදුහල්පති පැවිදි සොයුරිය සහ අනෙක් පැවිදි සොයුරියන්, ගුරු භවතුන් සහ දෙමව්පියන් දරුවන්ගේ සිහින සැබෑ කරගැනීමට ලබා දුන් දායකත්වය පැසසිය යුතුය. 

එක් දුයිෂෙන් කෙනෙකු එක් පාසලකට හොඳටෝම ඇති ය. එයට නිදසුනක් අවැසි නම් කළුතර ශුද්ධවු පවුලේ කන්‍යාරාමයේ පසුගිය වසර 25ක ශිෂ්‍ය නායක ව්‍යාපෘති දෙස බලන්න යැයි ඔබට ඇරයුම් කරමි. 

3 comments:

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...