පිටු

Monday, June 10, 2019

උඩුගම් බලා පිහිනන සංගීත හාමුදුරුවෝ



‘‘ලංකාවෙ අපි තාමත් සංගීතය කියල රස විඳින්න පුරුදු වෙලා ඉන්නෙ සින්දු, ගීත, ගී පද පේළි... සංගීතය කියන්නෙ විශ්ව භාෂාවක්. වචන ක්‍රමයෙන් අත්හැරල සංගීතය රස විඳින්න හුරුවෙන්න. යානි, කිටාරෝ වගේ සංගීතඥයන්ගෙන් පටන් ගන්න. මෝසාට්, බිතෝවන් දක්වා යන්න.“

දිනෙක සංගීත රස වින්දන වැඩසටහනක් නිමකරමින් එලෙස ප්‍රකාශ කළේ ප්‍රවීණ සංගීතඥ නදීක ගුරුගේ මහතා විසිනි. ඉඩක් ලද විට යානි, කිටාරෝ, බීතෝවන්, මෝසාර්ට් වැනි සංගීතඥයන්ගේ සංගීත සංකලන, සංගීත සංධ්වනි රස විඳින්නට මා පෙළඹුණේ ඒ මඟපෙන්වීමෙනි. හිත අවුල් යැයි දැනෙන, හැඟෙන අවස්ථාවලදී ද භාවනාමය සංගීත සංරචනයන්ට ඇහුම්කන්දීම සිතට නිවීමක් ගෙන එයි. සෙන් සංගීතය, සුෆි සංගීතය, කෙල්ටික් සංගීතය මට හමුවන්නේද එවැනි සොයායාම් අතර ය. රටක් ලෙස අප සංගීත සාගරයෙන් දිය දෝතක්වත් උකහා ගෙන නැතැයි මට සිතෙන්නේ සප්ත ස්වර සමාධියේ විශ්වීය අසිරිය සොයා සැරිසරන එවැනි අවස්ථාවලදී ය.

මාගේ මේ සංගීත උන්මාදය ගැන ලිවීමට සිත් වූයේ මෑතක මුහුණුපොත ඇසුරේ බෙදා ගැනුණු සංගීත සංකලනයක අසිරියයි. එය නිර්මාණය කර තිබුණේ බිබිලාදෙනියේ මහානාම ස්වාමින් වහන්සේ විසිනි. Evolving in The Wind  ලෙසින් නම් කර ඇති එම සංගීත ඛණ්ඩය සොබාදහමේ නිස්කලංක අසිරිය සමඟ වාද්‍ය වෘන්දය ද මනාව ස්ථාපිත කරමින්, සියුම් සංගීත නාදයන් සමඟ ඉතා කදිමට ගැළපූ ශ්‍රව්‍ය දෘශ්‍ය නිමැවුමකි.



ධර්මය සහ සංගීතය අතර ඇති ආත්මීය බැඳීම ඕනෑම ධර්ම මාර්ගයක් ඔස්සේ හඳුනා ගත හැකිය.  විශ්වයේ පළමු සංගීත නිර්මාපකයා සොබාදහම ය. සොබාදහමේ විස්මිත නාද රටා හැරුණු විට, ලෝකයේ සෑම ශිෂ්ටාචාරයකම කලා ශිල්පයක් ලෙස සංගීතය උපදින්නේ ජන වන්දනා ආශ්‍රිතවය. ඉපැරණි සංගීත ධාරාවන්හි සමාරම්භය සැමවිටම ආගමික නැඹුරුවක් ගනී. අතීත ජන වන්දනා පිළිවෙත් හා බැඳුණු ස්තෝත්‍ර, යාතිකා, ප්‍රශස්ති වැනි ගායනා සංගීතයට මව් කුස වීය.

ථෙරවාද බුදු දහම සංගීතය අනුදැන වදාළ ධර්මයක් ලෙස නොසැලකේ. සංගීතය මනුෂ්‍ය හදවතේ තණ්හා, ආශාවන් පුබුදුවා ලෝකෝත්තර දිවිය වෙත ඇද බැඳ තබන නිසා එය ධර්මාවබෝධයටත්, නිර්වාණ මාර්ගයට පිවිසීමටත් බාධාවක් ලෙස සැලකිණි. නච්ච, ගීත, වාදිත - නැටුම් ගැයුම් වැයුම් භික්ෂු දිවියෙන් දුරස්ත විය යුතු බව බුදුන් වහන්සේ දේශනා කළේ එය ධර්මධර, විනයධර ජීවිතයකට බාධා පමුණුවන හෙයින් විය යුතුය. නමුත් එපමණින්ම බුද්ධ ධර්මය සංගීතයෙන් මුළුමනින්ම වියුක්තයැයි සිතිය නොහැකිය. පිරිත් සජ්ජායනයන්හි පවතින ගීතවත් බව පිටුදැකිය හැකිද?

සක්කපඤ්හ සූත්‍රයේ බුදුන් වහන්සේ පන්සිළුගේ ගීතයක් අගය කරන අවස්ථාවක් පිළිබඳව සඳහන් වේ. තම පෙම්වතිය වූ සූරියවච්චසා වෙනුවෙන් නිමැවූ ශෘංගාරයෙන් අගතැන් එකී ගීතය පන්සිළු ගායනා කරන්නේ වීණාවද වයමිනි. ගීය ශ්‍රවණය කර ප්‍රසාදයට පත්වන බුදුන් වහන්සේ පන්සිළුගේ ගැයුම ද, වැයුම ද අගය කළහ. සුභාවිත ගීතය සම්බන්ධව ඇති ඉපැරණිම නිර්වචනය එය විය හැකියැයි මගේ දේශද්‍රෝහියාගේ නිර්මල හෘදය නවකතාවේ ලියා තැබීමි.


ලාංකේය සමාජය බුදු දහම වැළඳ ගත්තේ වුව ද ජන ජීවිතය හා බැඳී පැවතුණු ජන සංගීතය හෝ ගායනා විධි මුළුමනින් අහෝසිව ගියේ ද නැත. පත පොතෙහි කෙලෙස ලියැවී තිබුණද ජන සංගීතය කෙරෙහි බලපවත්නා බරපතල විරෝධයක් බුදු දහමින් මතු වී යැයි සිතිය නොහැකිය. ජන සංගීතය බෞද්ධ සංස්කෘතියෙන් පෝෂණය වූ බව සිතිය හැකිය. නමුත් ජන සමාජය තුළ පැවති සංගීතය කලාත්මක විශිෂ්ටත්වයක් කරා ඔසවා තබන්නට එකී සංස්කෘතිය තුළින්ම යම් සීමා පැනවෙන්නට ඇත. රාජ්‍ය සහ ආගමික අනුග්‍රහය ලංකාවේ කලාශිල්පවල වර්ධනය වෙනුවෙන් ඍජුවම බල පෑ බවට ඉතිහාසය සාක්ෂ්‍ය දරයි.   
  
බිබිලාදෙනියේ මහානාම හිමියන් මා දන්නා හඳුනන කෙනෙකු නොවේ. මේ සටහන ලියැවෙනුයේ ලාංකේය සංගීත ක්ෂේත්‍රෙය් උන්වහන්සේගේ දායකත්වය අපගේ විශේෂ අවධානයට ලක්විය යුතුය යන හැඟීමෙනි. මෑත කාලයේ සමාජ දේශපාලන අවකාශයන් තුළ භික්ෂු වේෂධාරී උන්නාන්සේලාගේ හැසිරීම දෙස බලන විට බිබිලාදෙනියේ මහානාම ස්වාමින් වහන්සේ අණබෙර ලෑමකින් තොරවම සප්ත ස්වර මියැසි ඇසුර ඔස්සේ සිදුකරමින් සිටිනා අපූර්ව නිර්මාණ කාර්යය අනගි පරිශ්‍රමයක් යැයි සිතමි.
බිබිලාදෙනියේ මහානාම හාමුදුරුවෝ

කිතුනු පරිසරයක උපත ලද, කිතුනු පසුබිමක දිවි ගෙවන මට සංගීතඥයන් වූ පියතුමන්ලා අරුමයක් නොවේ. ගී ගයන, වයන, සංගීතවේදීන් ලෙස කටයුතු කරන පියතුමන්ලා, කන්‍යා සොයුරියන් ඇත. නමුත් ඔවුන් ලාංකේය සංගීතයේ ප්‍රධාන ධාරාව හා මුසුවන අවස්ථා අතිශය දුර්ලභය. එලෙසින්ම විශිෂ්ට ගී පද රචකයන් වූ මහා යතිවරයාණන් වහන්සේලා ගැන මා දන්නා මුත්, සංගීතඥයන් වූ ස්වාමින් වහන්සේලා ගැන මා තුළ අවබෝධයක් නැත. බිබිලාදෙනියේ මහානාම ස්වාමින් වහන්සේ අපූර්ව චරිතයක් ලෙස මට හැඟෙන්නේ එබැවිනි.

බිබිලාදෙනියේ මහානාම ස්වාමින් වහන්සේගේ ගී තනු නිර්මාණ රස විඳ ඇතත්, සංගීත නිමැවුම් පිළිබඳ මගේ අවධානය යොමුවන්නේ Evolving in The Wind  හරහාය. Loneliness, Serenity in the Mist - සුඛිණෝ, The Unfelt, Religion and Violence, The Pace of Nature, Pilgrims Path, Flying in the Rain ආදී වශයෙන් එහිමියන් කළ නිර්මාණ රැසක් යූටියුබයෙන් මෙන්ම උන්වහන්සේ නමින් ඇති වෙබ් අඩවියෙන් ද රස විඳින්නට අවකාශ ඇත.

එකී සංගීත සංකලනයන්හි මා පෙර සඳහන් කළ සෙන්, සුෆි, කෙල්ටික් වැනි අධ්‍යාත්මික සංගීත රටාවන්හි අනුභාවය විඳිය හැකිය. මහානාම හිමියන් ප්‍රගුණ කරමින් ඉන්නේ ලාංකේය බුදු දහමට නව මඟක් එක්කරන අධ්‍යාත්මික සංගීතමය ප්‍රවේශයක් යැයි සිතමි. සංස්ථාගත ප්‍රධාන ආගමික ධාරාව තුළ ඒ සඳහා ලැබෙන ඉඩ හෝ පිළිගැනීම කෙබඳු වේදැයි සිතීම අසීරුය. මෙය සංගීතයෙහි නව ප්‍රවේශයක් වෙනුවෙන් පමණක් නොව, ලාංකේය සංගීතයේ අධ්‍යාත්මික  ප්‍රවේශයක් වෙනුවෙන්ද  දුෂ්කර පාරමිතා පිරීමක්  වනු ඇත. බිබිලාදෙනිය මහානාම ස්වාමින් වහන්සේ උඩුගම් බලා පිහිනමින් සිටින්නේ යැයි මම සිතමි. ඒ දුෂ්කර මියැසි පාරමිතාවන්හි අපූර්ව ඵල රස විඳීම සමාධි සුවය අත්කර දෙනු ඇත නිසැකවම.








22 comments:

  1. පොඩි උන්නාන්සේ හෙටානිද්දම සිවුර දෙහි ගහේ පොරවයි වගේ. මේ උන්නාන්සේගේ ගුරු නම මේ වගේ දේවල් වලට ඉඩ දෙන්නේ ඇයි? මෙව්වා බික්ෂුන්ට අකැප දේවල්.

    ReplyDelete
    Replies
    1. මේ පොඩි හාමුදුරුවන් ට අතහිත දී රැක ගන්නට බලමු. ආගමික පණිවුඩයක් සන්නිවේදනය කළ හැක්කේ හෝ කළ යුත්තේ එකම මාධ්යයකින් කියා නීතියක් නැත. උන්වහන්සේගේ සංගීත නිර්මාණයෙන් සිත කය නිවා සනසා, කරුණාව, මෛත්‍රිය දියුණු වේ නම් නච්ච ගීත වාදිත කියන දේසනා ගාමී ආපත්තිය ගැන වදවෙන්න එපා. සංගීත නිර්මාණයක් කිරීම නිසා උන්වහන්සේ පාරාජිකා නොවේ. සංගීත නිර්මාණයට සිවුර බාධාවක් යයි උන්වහන්සේට සිතුනොත් කරන්න දෙයක් නැහැ. ඒත් අග්‍රගන්‍ය සංගීතඥයෙක් ලංකාවට ලැබුනොත් අපි කවුරුත් සතුටු වෙමු.

      Delete
    2. මානව පැවැත්මටත්, සමාජ යහපතටත් බාධා නොවන, මානව හදවත් සුවපත් කරන සංගීතය වැනි කලාවක් භික්ෂූන් වහන්සේලාට අකැප විය යුතු යැයි මා සිතන්නේ නැහැ. ඒ කැප හෝ අකැප බව පවතින්නේ භාවිතය අනුව. බිබිලාදෙනියේ මහානාම ස්වාමින් වහන්සේ සංගීතය ඇසුරින් මේ ලබා දෙන දායකත්වය විශිෂ්ට බවයි මගේ හැඟීම... අපි උන්වහන්සේව අගය කළ යුතුයි. දිරිමත් කළ යුතුයි.

      Delete
    3. තපෝවනයේ සුතධර ස්වාමින් වහන්සේගේ අදහසට මමත් එකගයි...

      Delete
  2. පුද්ගලයකුට තමන්ගේ අච්චුවෙන් එහා ලෝකයක් තියෙන බව දැනගන්න ලැබීමත් පිනක් තරූ

    ReplyDelete
  3. සංගීතය නොකිය වෙන
    ගීත සාහිත්‍යයම අගයන
    මා පිය ගුණ වරණ
    බොදු බැති ගී පිරුන
    දේශානුරාගයෙන් නිමවන
    වැඩසටහන් වේ බෝම

    උදව්වක් නොකලත්
    ඉන්න දුන්නත් නිදහසේ
    තෙර නමට මහනාම
    සත පහක් වැය නොවෙනා
    පිංකමකි කරගන්නා

    ReplyDelete
  4. //පත පොතෙහි කෙලෙස ලියැවී තිබුණද ජන සංගීතය කෙරෙහි බලපවත්නා බරපතල විරෝධයක් බුදු දහමින් මතු වී යැයි සිතිය නොහැකිය. ජන සංගීතය බෞද්ධ සංස්කෘතියෙන් පෝෂණය වූ බව සිතිය හැකිය.// චිත්‍ර ඇඳපු පිළිම නෙලපු සින්දු ලියපු හාමුදුරුවරුන්ට ආපු නැති විරෝධයක් මේ උන්නාන්සේ ට එන එකකුත් නෑ.. සෝ කෝල්ඩ් තලිබාන් බෞද්ධ සෙට් එක අවි අමෝරා ගත්තේ නැත්නම් ;)

    ReplyDelete
    Replies
    1. එසේ නොවේවා කියල පතමු.

      Delete
  5. ස්තුතියි තරූ, හොඳ මෙහෙවරක්..... මට හිතුණෙත් සංගීත භාවනාවක් වගේ! මහානාම හාමුදුරුවන් වහන්සේට මෙවන් නිමැවුම් කරන්නට තව-තවත් දිරිය- සවිය- වාසනාව ලැබේවා!

    ReplyDelete
    Replies
    1. සංගීතමය භාවනාවක්... හෙමිහිට තව තව අලුත් නිර්මාණ බිහිවෙන්න කියල තමයි මමත් ප්‍රාර්ථනා කරන්නෙ.

      Delete
  6. අපේ රටේ භාවිතයේ ඇති ආගම් අතුරින් කිතුනු හා හින්දු ආගම් තුල නිරණ්තරයෙන්ම සංගීතය පවතිනවා.
    එහෙත් කණගාටුවට අකරුණක් බෞද්ධාගම හා ඉස්ලාම් ආගම් තුල සංගීත ව්‍යවහාරය ඉතා අවම මට්ටමක පවතින්නේ. මෙහිදී බෞද්ධාගම තුල කෙසේවෙතත් බෞද්ධ සංස්කෘතිය තුලට; කිතුණු කැරොල් සංගීතයෙ සෙවනැල්ල වැටී හෝ "බොදු බැති ගී" නම් වූ චූල සම්ප්‍රදායක් බිහි වූවද ඉස්ලාමය තුල එය වරනගෙනු මා කිසි කලෙක අත්දැකීම් කරගෙන නොමැත.

    එහෙත් උත්තර භාරතීය රාගධාරී සංගීත මහා සම්ප්‍රදාය තුල සිටින බොහෝ සංගීතඥ්ඥයින් අතර මුසල්මානුවන් දක්නට ලැබේ. හිංදි චිත්‍රපට පසුබිම් ගායකයින් අතර සිටි පද්ම ශ්‍රී සම්මානයෙන් පුද ලද මොහමඩ් රෆි, තලාද් මෙහ්මුද්, ෂම්ශාඩ් බෙගම්, ඒ ආර් රහ්මාන්, නෞෂාඩ්, සලීම් සුලෙයිමාන්, ෂකීල් බදායුනි, තබ්ලා වාදක පණ්ඩිත් සzකීර් හුසෙයින් ආදී මේ අතුරි කැපී පෙනෙයි.
    බොදු බැතිගී සම්ප්‍රදාය බිහි වන්නේ බොහෝවිට දහම් පාසල් මූලික කරගෙනය.
    දහම් පාසල යනු පන්සලද එහි වසන යතිවරයින් ගේ සෙවනේ හැදී වැඩෙන තවත්පන්සලේම දිගුවකි.
    මෙම පන්සල තුල පවතින කිසියම් උත්සවයක් ගමවෙත් දැනුම් දෙන්නේ ගම පුරා ගමන් ගන්නා ත්‍රීවීලරයක බැඳ ගත් යකඩ කටකින් උවද එම ප්‍රචාරණයේ කසකරු නෝසේනම් මල් බයිසිකලේ වන්නේ මොහොදීන් බෙග් මාස්ටර්ගේ බර හඳින් ගැයෙන බුදු ගුණ වේ.

    මේ සියල්ල සිදුවන්නේ බෞද්ධ ආචාර ධර්ම පද්ධතියකින් යම් පමනකට හෝ සංවර වූ (මතබේධ ඇති මුත්!) වටා පිටාවක් පරිසරයක වන විට ඒයට අනුගත වී කිසියම් විදියක භාවනාවක යෙදෙන යති වරයෙකුගේ දොසක් දකින්නේ කෙළෙසද?

    ReplyDelete
    Replies
    1. වටිනා පැහැදිලි කිරීමක් ස්තුතියි.

      ලාංකික මුස්ලිම් සමාජය මීට වඩා සාහිත්‍ය කලාවන් පැත්තට නැඹුරුවීම අත්‍යවශ්‍ය බව ඉතාම පැහැදිලියි. ආගම සහ ව්‍යාපාරවලින් ඔබ්බට යන තරුණ මුස්ලිම් ප්‍රජාවක් බිහිවීම හරි වැදගත් මේ අන්තවාදයන් පරදන්න නම්...

      හැම කලාවක්ම ආගමෙන් පෝෂණය වුණා වගේ අද ආගම් කලාවෙන් ආලෝකයක් ලබනව නම් මේ මරාගැනිලි, බෙදී වෙන්වීම් ගොඩක් අඩුවේවි...

      Delete
  7. නියමයි .

    වටිනා පොස්ට් එකක් .

    ReplyDelete
  8. බොහොම ස්තූතියි තරු මේ හිමියන්ගේ සංගීතය අපිට හඳුන්වා දීම ගැන. ඒවගේම රඹුක්කන සිද්ධාර්ථ හිමියන් විශාල ගීත ප්‍රමාණයක් ලියා ඉංහල සාහිත්‍යයට දායාද කර තිබෙනවා. ඒවගේම නම හෙලි නොකල හිමිනමක් මෛත්‍රිය ගැන ලියා තිබෙන මේ ගීතයත් අහල බලන්න.

    ReplyDelete
  9. නච්ච ගීත වාදිත විසූක දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මන්ඩ විභුසනට්ටානා වේරමණී සික්ඛා පදං සමාදියාමි

    (ලඟකදී පාලි ආභාෂයක් නැති නිසා වචන පොඩ්ඩක් වැරදෙන්නත් පුළුවන්. ඒකට සමාවෙන්න )

    ReplyDelete
  10. අපෙ රටෙ මෙවැනි නිර්මාණ බිහිවීම සතුටක්..

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...