පිටු

Tuesday, January 8, 2013

පැන්සල් කතිරයේ අනුහස්

 
පසුගිය සෙනසුරාදා හවස මං හිටියෙ නංගිගෙ ගෙදර.. ඒ වෙද්දිත් නංගි වැඩ ඇරිල ඇවිත් හිටියෙ නැහැ. ආයම්ම රාජකාරියයි මට පැවරිලා තිබුණෙ. නංගිගෙ ගේ ඉදිරිපිටමයි ප්‍රජා ශාලාව තියෙන්නෙ.. ප්‍රජා ශාලාවෙ තරමක සෙනගක් රැස්‍ වෙලා හිටියා. ගමේ මරණාධාර සමිතියෙ සාමාජිකයින්.. හේතුව තමයි දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමාගෙන් මරණාධාර සමිතියට වානේ අල්මාරියක් ලැබීම..

මුලින්ම අල්මාරිය ආවා ලොරියක නැගිලා. ඊට පැයකට විතර පස්සෙ පෙජරෝ එකකින් ආව මන්ත්‍රීතුමා කඩිමුඩියෙ ප්‍රජා ශාලාවට ඇතුළ් වෙලා පුංචි කතාවක් කරල, අල්මාරිය බාර දෙන ආකාරය ඡායාරූපයක සටහනක් තියල කොළු තාලෙන් දුවගෙන ඇවිත් වාහනේට නැගිල ගියා.. කොල පාට ෂර්ට් එකට සරමක් ඇදල හරිම කඩවසම් පෙනුම.

ඒ යන ගමනෙ පල්ලියටත් වානේ අල්මාරියක් ලබා දීල තිබුණා.. ඇයි මේ හදිසියෙ තෑගි බෙද බෙදා යන්නෙ? ප්‍රශ්නයක් නේද?

තමන්ගෙ පැන්සල් කතිරයේ මහිමය තවමත් ගම්වල උදවිය වැඩි දෙනෙක් දන්නෙ නැහැ.. මේ විදියට එක එක දේවල් දෙන්න දේශපාලඥයො අතට සල්ලි ලැබෙන්නෙ කොහොමද? ( සල්ලි ලැබෙන මාර්ග නම් ගොඩක් ඇති.. මම මේ කියන්න යන්නෙ ඒ එක විදියක්...)

පක්ෂ විපක්ෂ භේදයකින් තොරව හැම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුටම වසරකට රු. ලක්ෂ 50 ක් වෙන් වෙනව තමන්ගෙ දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු වෙනුවෙන්..  මේකට කියන්නෙ විමධ්‍යගත මූලධන අයවැය වැඩසටහන කියල. මේ මුදල් වෙන්වෙන්නෙ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තමන් නියෝජනය කරන දිස්ත්‍රික්කයේ වැසියන්ගේ කාලීන අවශ්‍යතා සපුරා දීමට. ඔවුන් මුහුණපාන දුෂ්කරතා නිරාකරණය කර ගැනීමට අවශ්‍ය මූලික පහසුකම් සලසා දීමට... විශේෂයෙන්ම ප්‍රාග්ධන නැඹුරුවක් ඇති සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන්...

මුල්ම වරට මේ වැඩසටහන ආරම්භ වෙලා තියෙන්නෙ 1973 වර්ෂයේ. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණි‍යගෙ පාලන සමයේ.. ඒ කාලෙ ආව ආහාර හිගය ගැන අපි අහල තියෙනවනේ.. මේ ආහාර හිගයට පිළියමක් විදියට දේශීය නිෂ්පාදන ඉහළ නංවල කඩිනම් ආහාර නිෂ්පාදන ක්‍රියාවලියක් ඇති කරන්නයි මේ වැඩසටහන ආරම්භ වෙලා තියෙන්නෙ. කාලයත් එක්ක අරමුණු වෙනස් වෙලා වැඩසටහන තව තවත් පුළුල් වෙලා තියෙනවා...

1973 දී එක් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමෙකුට වෙන් වෙලා තියෙන්නෙ රු. ලක්ෂ 5 යි. 1979 දී ලක්ෂ 25ක්, 2000 දි ලක්ෂ 35 ක්, 2003 සිට මේ දක්වා ලක්ෂ 50 ක් විදියට ක්‍රමයෙන් ප්‍රතිපාදන මුදල වැඩි වෙලා තියෙනවා...

විමධ්‍යගත අයවැය ප්‍රතිපාදන යටතේ එක් ව්‍යාපෘතියක් වෙනුවෙන් වැය කරන්න පුළුවන් උපරිම මුදල රු. 250,000 ක්.. ඊට වඩා වැඩි වෙනවා නම් අදාළ අමාත්‍යාංශයෙන් විශේෂ අනුමැතියක් ලබා ගන්න ඕන... ඒ වගේම පුද්ගල ප්‍රදානයන් විදියට දෙන්න පුළුවන්කමකුත් නැහැ... පොදු කටයුතු වෙනුවෙනුයි වෙන් කරන්න පුළුවන් වෙන්නෙ...

තමන්ගෙ ගම්පළාත් වලට අදාළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලැබෙන මේ මුදලින් ගමට, ප්‍රදේශයට වැඩක් කර ගන්න ප්‍රදේශවාසීනුත් දැනුවත්ව ඉන්න ඕන... දැන්ම ඉඳන් ඉල්ලීම් කළොත් ලබන වසරේ මුදලින් ගමේ පොදු වැඩක් කර ගන්න පුළුවන් වේවි....

අර දයාසිරි මන්ත්‍රීතුමා හදිසියෙ බෙදා ගෙන ගියේ 2012 වසර වෙනුවෙන් එතුමාට වෙන් වුණු ලක්ෂ 50 අන්තිම වැඩ ටික වෙන්න ඕන....

මේ වෙද්දි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225 ක් ඉන්නව නේද? ඒ 225 ටම ලක්ෂ 50 ගාණෙ ලැබෙනවා... මේ හැම සතයක්ම ඇත්තටම අපේ රටේ සංවර්ධනයට යෙදවෙනවනම් අපේ රට සුරපුරයක් වෙන්න ඕන නේද?  අපටත් වගකීමක් තියෙනවා මේ මුදල් අපේ ගම්පළාත්වල දියුණුවට යොදා ගන්න. මන්ත්‍රීවරු පස්සෙ ගිහින් වැඩ කර ගන්න අකමැති අයට පුළුවන්නෙ එහෙම යන අයව දැනුවත් කරල ඒ මාර්ගයෙන් හරි ගමේ ‍වැඩවලට මුදල් වෙන් කර ගන්න....

මං දන්න හැටියට අවුරුද්ද මැද වෙද්දි මේ මුදල් වෙන් වෙලා, යෝජනාත් අනුමත වෙලා... ඒත් අවුරුද්ද අන්තිම වෙනකල්ම අතනින් මෙතෙන්ට, මෙතනින් අතනට සංශෝධනයන් සිදු වෙන නිසයි අන්තිමට මේ වගේ දුව දුව බෙදන්න වෙන්නෙ.. තමන්ට ලැබෙන රු. ලක්ෂ 50 න් කරන වැඩ ගැන නිසි සැලසුමක් නැති නිසාත්, ‍‍තමන්ගෙ පාක්ෂිකයින්ගේ මනදොළ පිරවීමට බොහෝ විට යොදා ගන්න නිසාත් විමධ්‍යගත අයවැය ප්‍රතිපාදන ඵලදායී ලෙස රටේ සංවර්ධනයට දායක වෙනවද කියන එක නම් ගැටළුවක්... ( රටේ සංවර්ධනය ගැන ගැටලු ගොඩක් තියෙන බව ඇත්ත. )

මේ සල්ලිවල සැබෑ අයිතිය තියෙන්නෙ ජනතාවට... බදු මුදල් වුණත්, විදේශ ණය වුණත් අන්තිමට තට්ටු වෙන්නෙ මහජනතාවගෙ පොකට් එකට නිසා මේ මුදල්වල සැබෑ අයිතිකරුවො රටේ ජනතාව. ඉතින් දැනුවත්ව සිටීමේ, අවදියෙන් සිටීමේ සහ  ඵලදායී ලෙස මේ මුදල් යොදවා ගැනීමේ වගකීමක්  රටේ ජනතාවටත් තියෙනවා....

9 comments:

  1. රටේ මිනිස්සුන්ගෙ සල්ලියි දේශපාලනෙයි හරියට ගින්දරයි පුළුනුයි වගේ. එකලඟ තිබ්බ ගමං දාල අළු වෙලා යනව. ඒකෙනුත් පාඩු වෙන්නෙ අපිටම තමයි.

    ReplyDelete
  2. දේශපාලකයන්ගේ අතට සල්ලි ලැබුනම ආයෙත් අහන්ඩ දෙයක් තියේ යෑ.
    ඔන්න ඉදිරියේදි පඩියටත් තට්ටු වෙන්ඩ යන්නේ. ඒකෙනුත් ගානක් කපන්න යනවලු.

    ReplyDelete
  3. හපොයි... එහෙනං අප් පැත්තේ උන් යන්ඩ කලින්ම ඉල්ලීම කරලා, ලියුමක් අත්සන් කරලා තියාගන්න වෙයි... ඉටු කළේ නැත්තම් ප්‍රවෘත්ති වලට යවනවා කියලා හරි වැඩේ කර ගන්න... හි හි

    ReplyDelete
  4. වැදගත් ලිපියක් .ඒ උනාට දැන් අල්මාරියේ හැඩ බල බල
    " අනේ උන්නාන්සේනම් දෙවියෙක් "
    කිය කියා ඇති ඒ මිනිස්සු.කමක් නැහැ .අල්මාරියක්
    හරි දීපු එක ගැන සතුටු වෙලා ඉමු ..
    ( හැමදාම වරදුනෙත් ඕකමයි )

    ReplyDelete
    Replies
    1. කොළු තාලෙන් දුවගෙන ඇවිත් වාහනේට නැගිල ගියා.. කොල පාට ෂර්ට් එකට සරමක් ඇදල හරිම කඩවසම් පෙනුම.

      සමහරු ඕවා බලල්ත් කතිරෙ ගහනවනෙ..

      Delete
  5. ඔහොම හරි ලැබෙන වාසියක් ගන්න. මොකෝ ආණ්ඩුවෙ ඇමතිල ඔහොමවත් දෙයක් දෙන්නෙ නෑනේ..

    ReplyDelete
  6. කවුරු කලත් තමන්ට ලැබෙන වාර්සික ප්‍රතිපාදන 31 ට කලින් වියදම් කරන්න ඕනේ. නිකං වියදම් කරනවට වඩා ඡන්දය ගන්න යම් යම් ක්‍රම සහ විධි භාවිතා කරනවා. ඒ එකක් තමයි මේ.

    ReplyDelete
  7. මේ මුදල් ආවට ගියාට දේවල් වලට යොදවන්න බෑ.ප්‍රාෙද්ශිය ලේකම් වරයාගේ අනුදැනුම මත තමා වැය කළ යුත්තේ.

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...