පිටු

Friday, December 7, 2012

අද දවසේ ජේසු



ඇණ ගසා කුරුසියේ සතපවා ගල්ලෙනේ
මකන්නට ඉතිහාසයෙන් නොහැකි වූ මිනිසාණනේ
ඊයෙ වගේ අදත්... අද වගේ හෙටත්
ආනුභාවය දෙමින්... අනුප්‍රාණය‍ වෙමින්
ඔබ හිඳී... ඔබ හිඳී...
අලුත් අහසක් අලුත් පොළවක්
පතන මිනිසුන් හදවතේ....

අන්ධ බැතියක බැතිමතෙක් - සුවඳ දුම් දෙන සුරුවමක්...
නොවේ නොවේ අද දවසේ ජේසු
හිස තුළ හිත තුළ සටනේ - පීඩිත ජන දිවි අරග‍ලයේ
මේ මොහොතේ පණ ගැහෙනා
ස්ත්‍රියක්.... පුරුෂයෙක්.....
අද දවසේ ජේසු....

වහළෙක්ව දිවි ගෙවන - පිපාසෙන් පණ අදින
කුසගිනිව මිය ඇදෙන කුරා කුහුඹු මිනිසා....
තුළයි කිතු සමිඳා...
යුක්තියට පවසින් පෙළෙන - සත්‍යයට දිවියත් පුදන
ආත්මය පාවා නොදෙන - දිරිය ඇති මිනිසා......
තුළයි කිතු සමිඳා...

ගායනය           - ශෂිකා
පද රචනය        - මහින්ද නාමල්
තනු නිර්මාණය - ගරු ඇන්ටන් ජයනන්ද පියතුමා


උඳුවප් මහේ අසිරියෙන් සිත්සතන් විකසිතව ඇත. රන් රිදී පැහැයෙන් දිදුලන විසිතුරු සැරසිලි අතර, විල්ලුද රන් සලුවෙන් හැඩවුණු නත්තල් සීයා අතින් නත්තල ගජරාමෙට විකිණෙමින් පවතී. හිම උඩින් ඉගිල්ලෙන පිණි මුවන්, මදපවන හා මුසුවුණ සුර ගීතිකා, ගවඔරුවේ සුවසේ නිදන ජේසු බිළිඳා ගැන ගැයෙන ගීත දසත රැව් දේ. නත්තල දෙව්බව හා මිනිස් බව ඒකාත්මික වීමේ උත්තරීතර මොහොත සමරන අසිරිමත් මංගල්‍යයි. නමුත් අද නත්තලේ සාටෝපවත් අසිරිය තුළ මිනිස්බවට ලබා දුන් ඒ අසීමිත ගෞරවය, දෙව් පියාණන්ගේ ප්‍රේමයේ ගැඹුර සැඟවී ඇත්තේ නොවේද?

වත්මන් නත්තල් අසිරියෙන් ප්‍රමුදිතව සිටින අපගෙන් සැබවින්ම '' අද දවසේ ජේසු කොහිද? ''  යනුවෙන් කෙනෙක් ප්‍රශ්න කළොත් දිය හැකි පිළිතුර කුමක්ද? ඉහත සටහන් කළ ගීතයෙන් අද දවසේ ජේසුව හඳුනා ගන්නට පැහැදිලි දොරටුවක් විවර කර දෙනු ඇත.

කිතුසර පුවත්පතේ විසිවන සංවත්සරය පැවති දා මීගමුව රුක්මණිදේවි රඟහල සිහින් සීනු නදකින් ඒකනින්නාද වූවාක් මෙනි. සියල්ලන් නිසල දැහැනකට සමවැදිණි. ඈ පුංචි කෙල්ලකි. අද දවසේ ජේසු ගීතය ගයන්නේ ඇයයි. එතරම් පුංචි කෙල්ලක් තුළ මෙවන් සොඳුරු කටහඬක් සැඟව පැවතීම කොතරම් අපූරුද? සුමිහිරි හඬ සමග මුසු වී ගලා ආ පදවැල්වල රැඳුණු අභියෝගය අප සිත් තුළ දෝංකාර දුණි. එදා සියල්ලන් සිත් ඇඳ බැඳ ගත් විශේෂාංගය බවට  '' අද දවසේ ජේසු ගීතය '' පත් වී යැයි මට සිතේ.


ගවහලක ඉපදුණු ජේසු පුතා කෙමෙන් වැඩී උස්මහත් වී, පවතින සමාජ ක්‍රමය උඩුයටිකුරු වන ජීවන සත්‍යතාවයක් බෙදා හදා ගනිමින්, සමාජයට අභියෝගයක් වන විට අවසන් ඉරණම වූයේ කුරුසියේ මරණයයි. කුරුසියේ ඇණ ගසා මරා දැමූවත්, එතුමන්ගේ හඬ මරා දමන්නට කිසිවෙකුටත් නොහැකි විය.  එය එදත් අදත් ජීවමානව මිනිස් හදවත් දල්වමින් ජීවිතයට පාර කියා දෙමින් පවතින්නේය. අලුත් අහසක්, අලුත් පොළවක්, අලුත් ලෝකයක් ( ආදරය, සාමය, යුක්තිය, සාධාරණත්වය, සමානාත්මතාවය ආත්ම කොට ගත් )  බලාපොරොත්තු වන, ඒ වෙනුවෙන් කැපවෙන, සත්‍යය වෙනුවෙන් ජිවිතය වුව පූජා කරන්නට තරම් නොපසුබට වන, ධනය බලය නිලය හමුවේ ආත්මය පාවා නොදෙන, ධෛර්යවන්ත මිනිසුන් තුළ කිතු සමිඳුන් ජීවමානව වැඩ සිටියි.‍

එවන් ජීවිතයක් ගත කළ ජේසුතුමාගේ උපන්දිනය සමරන නත්තල හුදෙක් කා බී ප්‍රීති වන උපන්දින සාදයකට වඩා ගැඹුරු දැක්මක් සහ ජීවන අරුතක් බෙදා හදා ගත යුතු නොවේද? නත්තල් සමරන අපි වඩා වඩාත් සිතට ගත යුත්තේ මේ සත්‍යය නොවේද? වඩ වඩාත් අත්දැකිය යුත්තේ මේ ජීවිත අභියෝගය නොවේද?

එනම් '' මා ඔබට ප්‍රේම කළාක් මෙන් ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න.'' යන ජේසු සමිඳුන්ගේ පණිවිඩයයි. සුබාරංචියයි.

අද දවසේ ජේසු ගීතය මෙතනින්  අසන්න. 


( ළ.ක්‍රි.වී. අනුශාසකවරුන් සහා පළ වන "සබඳ"රාවේ නත්තල් කලාපය සහා ලියූ ලිපියකි. )

8 comments:

  1. නත්තලට අපි එනවාමයි.

    ReplyDelete
  2. දන්නවද? ජේසුට සමිදා ඉපදිච්ච දවසට පස්සෙ දවසේ තමා සාතන් ඉපදිලා තියෙන්නේ...
    විස්සාස නැත්තං මගේ ප්‍රොෆයිල් එකේ අබවුට් ගිහිල්ලා බලන්න..

    ReplyDelete
    Replies
    1. අම්මේ ඔයාද සාතන්.... සතුටුයි අද දවසේ ජේසු බලන්න ආවට.

      Delete
  3. වෙළෙන්ඳෝ නත්තල මාකට් කරනවා..
    සබෑ නත්තල ඕක නෙමෙයි මේකයි කිය කිය ලිපි දහස් ගණන් ලියවෙනවා.. දේශනාත් දහස් ගණනින්..
    ඒත් නත්තල වෙළෙඳන්ගෙම තමයි..

    කියන්න ගිය දේ කියවුනා ද මන්දා.. මට හරියට ගලපලා ලියන්න තේරෙන්නෙ නෑනෙ.. :(

    ReplyDelete
    Replies
    1. අද නත්තල වෙළෙන්දන්ගෙ තමයි මල්ලි... වෙළෙන්දන්ට ඕන හැටියට නෙවෙයි, නත්තලේ හැබෑ අර්ථය මතුවෙන විදියට නත්තල සමරන්න අපි උත්සාහ කරන්න ඕන.

      Delete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...