පිටු

Wednesday, May 21, 2014

මල් පාර අගුවෙහි ජීවිතයක සුවඳ

 By Kevin Bielfuss
 
 
‘‘කොටුව හරස් පාරක සිඟමන් ඉල්ලන අඳ මවක අසල ම, කෘතිම මල් අලෙවි සැලක වීදුරුවට පිට දී අඹ යහළුවෝ පොත කියවන කුඩා දියණියක දුටිමි.”
 
දෙනෝදාහක් ගැවසෙන
කොටුව වීදිය කොණෙක
සුදු සැරයටිය අතෙක
කාසි ඉල්ලන මවෙක....
 
මල් සුවඳ අහිමි
මල් සැල් ම සපිරි
මල් පාර අගුවෙ
මල්  කැකුළියෙකි...
 
අඳ මව් නොතනියට
ආ මුත් වීදියට
සුරත රැඳි පොතක
නෙත සිත ඈත දුරක..
 
ලහි ලහි ගමන් මිස
ලිහෙනා මදහසක් නැත
එහි වගක් කුමට මට
කියනු වැනි ඇගෙ වත...
 
අඹ යහළු හදවතක
උණුහුමක් නැතිව ද
දියණි සිත හඳුනන
‘අඹ යහළුවෝ’ ඇත.....
 
අඳුරු මුත් ලොවම
මව් ඇසට උරුම
සොඳුරු දිවි මහිම
සොයනු මෙනි නිතින...
 
 
2014.05.16

30 comments:

  1. හරියට දැනෙනවා තරු අක්කේ මේක.හරියට ඒ පොත කියවන මල් කැකුල මමත් දුටුවා වගෙයි.ඒ තරම්ම දැනෙන්න අකුරු කරලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. 16 වෙනිදා හැන්දෑවෙ වැඩකට ගිහින් ආපහු එන අතරෙ දැක්කෙ මේ දසුන... හරි දුක හිතුණා. කෝච්චියට දුවන අතෙර හිතුණා ආපහු ගිහින් කතා කරල එන්නත්..

      අතේ තිබුණ නම් සුදුසු පොතක් ඒ මොහොතෙ මං දුවට දීල එනවා... ආයෙ දවසක ඒ පැත්තෙ ගිහින් බලන්න ඕන...

      Delete
  2. හරිම සංවේදියි. මේ දසුන මෙවන් නිර්මාණයකට ගත් ඔබ ගැන සතුටුයි. දරුවන් ලෝකය හොයනවා. සියලු භාධක මැද. ඒත් රකුසන් ඒ ලොකය වනසනවා.

    ReplyDelete
    Replies
    1. මටත් පුදුම හිතුණෙ මේ තරම් ගාලගෝට්ටියක් මැදත් කෙල්ල පොතට ඇලිල හිටි හැටි දැක්කම..

      Delete
  3. සංවේදී කතාවක් කවියට නගලා , මට මතක් වුනා තවත් සිංදුවක්
    "වීදි කොනේ මාවත අද්දර හඬනා කිරි දරුවෝ
    කවදා හෝ නුඹ වියපත් වූදා පියා කොහේදැයි මවගෙන් අසනු එපා "


    මේ සිද්ධියට ඍජු සම්බන්ධයක් නැතත් එකම රාමුවේ කතා නේද?

    ReplyDelete
    Replies
    1. මිල්ටන් මල්ලවආරච්චිගෙ ගීතයක්... වීදි දරුවො කියන්නෙ ඇත්තටම සමාජයට අමතක වුණ දරු පිරිසක්...

      Delete
  4. හිතට දැනෙන්න ලියල තියෙනව...
    ජීවිතේ දිනන එකා කොතන හිටියත් දිනනව...
    ඒකත් අර පොර කුකුල කොයි පොර කොටුවට දැම්මත් දිනනව වගේ

    ReplyDelete
    Replies
    1. ‘‘ජීවිතේ දිනන එකා කොතන හිටියත් දිනනව...‘‘ ඇත්ත... ඒ අයගෙ ධෛර්යය බිඳින්න දුප්පත්කමට බැහැ.

      Delete
  5. // අඳුරු මුත් ලොවම
    මව් ඇසට උරුම
    සොඳුරු දිවි මහිම
    සොයනු මෙනි නිතින...//

    සැබෑමයි.. සංවේදී නිර්මානයක්....

    ReplyDelete
  6. //"උදේ ඉදන් හවස් වෙන තුරා
    මේ පීලි මතින්
    දුවන යකඩ ගොඩට වඩා
    මගේ මල්ලියා
    කොච්චර බරද......

    මහ පාරෙ මේකව
    වඩන්
    තැනින් තැනට
    අත පපා යන කොට
    "අනේ පව් අසරණී"
    එකෙකුගෙ
    මුවින් බිනෙන විට
    "පල යන්න අහකට"
    සියයක් මුවින් බිනෙයි.....

    යන්තම් වේල
    ගැටගහගත්තට
    මල්ලිට ඇන්කර්, නෙස්ප්‍රේ
    අරන් දෙන්න
    මට සල්ලි නෑ
    ඒ අසරණය ඒව දැකල
    නැති නිසා ඉල්ලලා
    වද දෙන්නෙත් නෑ

    යන්තම් මාසයක් දෙකක්
    අම්මගෙ දෙතනෙන්
    කිරි බීපු ඒකට
    අධිපෝසනේද
    මන්දපෝසනේද
    මම දන් නෑ

    මේ පීලි මත දුවන
    යකඩ ගොඩේ උදව්වෙන්
    පීලි මතම මියැදෙන
    දහසක් උන් අතර
    මමද මගේ වාරය
    එන තූරා
    බලා සිටින්නෙමි
    දෑස් අයා

    ඒත් උඹවත් අරන්
    යන්නේ කෝම......?//

    "මගේ වාරය එනතුරා......"

    අම්මලාම විතරක් නෙවේ අසරණ වෙලා තියෙන්නේ දෙමාපියන් නැති වීදි ළමයි, එතකොට අතහැර දමන ලද දෙමාපියන් ඒ අයත් අසරණයි. ඔබේ නිර්මාණය ලස්සනයි. ඔය මන් මීට කලින් ලිව්වා නිර්මාණයක්.

    ReplyDelete
    Replies
    1. සංවේදී නිර්මාණයක්...

      Delete
  7. සංවේදී අත්දැකීමක් .....අර්ථවත් පද ගැලපීමක්....

    ReplyDelete
  8. අපූරුයි අක්කේ... හිතට දැනෙන්න කවිය ලියවිලා තියෙනවා..

    ReplyDelete
    Replies
    1. දුකක් වගේම සතුටකුත් දැණුනා.. ඒ අම්මයි දුවයි මතකයෛන් ඈත් උනේ නැහැ.

      Delete
  9. //‘‘කොටුව හරස් පාරක සිඟමන් ඉල්ලන අඳ මවක අසල ම, කෘතිම මල් අලෙවි සැලක වීදුරුවට පිට දී අඹ යහළුවෝ පොත කියවන කුඩා දියණියක දුටිමි.”//

    හරියට දුක හිතුණා තරු....:(

    ReplyDelete
    Replies
    1. දුකක් වගේම ඒ දරුවා ගැන ආදරයකුත් දැණුනා...

      Delete
  10. හරිම සංවේදී දසුනක් ..ඔයාගේ කවිය අපිටත් හදවතට බරක් එක්කහු කළා

    ReplyDelete
    Replies
    1. අනන්ත අප්‍රමාණ බාධක මැද වුණත් ජීවිතයට ආදරය කරන අළුත් පරම්පරාවකුත් ඉන්න එක ගැන සතුටු වෙමු.

      Delete
  11. ඒ වගේ පරිසරයක් මැද්දේ ළමයෙක්ගේ හිත කොහොම පොතක් කෙරෙහි ඇදී යනවද කියලා හිතෙනවා. පොත් ළමයින්ගේ හිතේ ලොකු හීන අඳිනවා. එහෙම හීන තියන ළමයින් කොයි අස්සක මුල්ලක හිටියත් ලෝකය හොයාගෙන යනවා.

    බොහොම ලස්සන ලියවිල්ලක් තරු.

    ReplyDelete
    Replies
    1. පොතකට ඇස් දෙකයි හිතයි බැඳුණට පස්සෙ ලෝකෙ හෙල්ලුණත් නොතේරෙන ගතියක් මටත් තියෙනවා.... ඒ දුවටත් එහෙමම වෙන්න ඇති..

      Delete
  12. මේ කවිය කියෙව්වම මටත් කියන්න කතාවක් මතක් උනා. ඒක පෝස්ට් එකකින්ම ලියන්නම්...

    ReplyDelete
    Replies
    1. ඒ කතාවත් ලියන්නකො... එහෙනම්..

      Delete
  13. තරු,
    මම ඔයාගෙ බ්ලොග් එක හැමදාම බලන කෙනෙක්.මේ දරුවට එකම එක පොතක්වත් අරන් නුදුන්නොත් මගේ හිතට සැනසිල්ලක් නැතිවෙයි කියලා හිතනවා.ඔයා අයෙත් කොහොම හරි එයාව දකිනේ යන එන කොට.මට ඔයාගේ email එක දෙනවාද.

    ReplyDelete
    Replies
    1. tharurasi@gmail.com

      ස්තුතියි.. ඔබේ සංවේදී හිතට.. ආයෙම ඒ පැත්තෙ ඇවිදල බලන්නම්...

      Delete
  14. ගොඩක් සාර්ථකයි ඔබේ සංවේදී නිර්මාණය නඟේ!

    ReplyDelete
  15. තරු.........
    සමාජයේ ජීවත්වන,ඒත් අරමුණක් නැතිව පාවෙන හිස් ජීවිත අතර මෙවන් දරුවන්ව දැකීමත් සතුටක්. ඔව් තරු ආයෙත් දවසක ගිහින් බලන්න ඒ දියණිය එතන ඉන්නවද කියල. සමහර විට ඇය කවදහරි මේ ලෝකෙම ගරු කරන විශිෂ්ට ලේඛිකාවක් වෙන්නත් පුළුවන්. මාත් ලංකාවේ ඉද්දී ඒ වගේ දරුවන්ට උදව් කරල තියෙනව.
    ඔබේ නිර්මාණය සඳහා අපූරු ප්‍රස්තුතයක් යොදා ගත්තාට මගේ හිස නමා ආචාරය මිතුරිය ........!

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...