පිටු

Thursday, April 2, 2015

සුන්දර රස්තියාදුවක්




වැඩ ඇරිල එන ගමන් පොත් රස්තියාදුවක ගියා කොටුව ගුණසේන පැත්තෙ. චූටි මිමීටයි, සසෙන් බබාටයි, මටයි පොත් ගන්න. 

ගුණසේන පහළ මාලයේ පැත්තක්ම අපූරු කතන්දර පොත්වලින් පිරිලා. අපි පුංචි කාලෙ අම්මගෙන්, ආච්චි අම්මලගෙන්, මොන්ටිසෝරියෙ ටිචර්ලගෙන් අහගත්ත කතන්දර වෛවර්ණ ලස්සන සිත්තම් එක්ක ලොකු අකුරින් මුද්‍රණය වෙලා තියෙනව දකිද්දි ආයෙම ළමයෙක් වෙන්න හිතෙනවා. 

පුහුල් හොරා කරෙන් දැනේ, ඉබිහාමි අහසින් ගිය හැටි, අන්දරේගෙ කතා, ගමරාළගෙ මහදැනමුත්තගෙ කතන්දර, හත්පණ, හීන්සැරය........ කතා සරිත් සාගරයක්.. සිබිල් නැන්දගෙ පාට පාට චිත්‍ර එක්ක ලස්සන කතන්දර පොත් රාක්කයක්ම සිංහල ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම... පුංචි අයට ලස්සන කතන්දර පොත් ගන්න හිතන් ඉන්නවනම් ගුණසේන පැත්තෙ ගියාට පාඩු වෙන්නෙ නැහැ. 


( දරන්න හැකි මිලක්.. 10% ක වට්ටමක් ලැබෙනවා.. තමන්ගේම පොත් නිසා අඩු තරමෙ 20% ක් වත් දෙන්න වටිනවා... ගුණසේන දැන්වීමක් නම් නෙවෙයි.. දරුවන්ටත් පොත්වලටත් ආදරේ නිසයි මේ ගැන ලියන්න හිතුණෙ..)

පුංචි කාලෙ හිතේ හැටියට කතා පොත් කියවන්න අවස්ථාවක් තිබුණෙ නැහැ අපට. රස්සාවකුත් කරන පස්සෙ කාලෙක තමයි ළමා වියේ මගඇරුණ ලස්සන ළමා කතා පොතුත් කියෙව්වෙ. දැන් වුණත් ඒ වගේ ළමාවියේ මගඇරුණු පොතක් ඇහැ ගැටුණොත් මං නොගෙන ඉන්නෙ නෑ. 


කාංචනාගෙ ලිපියත් ඇහැ ගැටිල තිබුණ නිසා කැලුම් කුමාර මොහොට්ටිගේ ‘හිමාලය පාමුල‘ දැක්ක ගමන් හිත බැඳුණා. අතටත් පහසු, පසුම්බියටත් පහසු සුන්දර පොතක්. එන ගමන පින්තූර ටිකත් බලල, අතරින් පතර කියෙව්වා. දැන් ඉතින් දොළ දුකක්... කට්ටිය එකතු වෙලා නේපාලෙ සංචාරයක් ගිහින් එමු ද? හරිම ආසයි එහෙම පරිසරයක ඇවිදින්න. ඒත් ඉතින් ආර්ථිකයත්, විශ්වාසවන්ත ගමන් සගයිනුත් හැමදාමත් ප්‍රශ්නයක්නෙ..... සිහිනමය සුන්දර රස්තියාදු ගැන ප්‍රාර්ථනා කොයිතරම් නම් හිතේ පොදිගැහිල තියෙනවද?

.......

පිටකොටුවෙ සීඩී කඩේකින් සිංහල හඬ කවපු දොස්තර හොඳහිතයි, හා හා හරි හාවයි ගත්තා. චූටි මිමීටයි මටයි බලන්න. නිවාඩු දවස් තුනක්ම තියෙනවනේ... කොහොමත් ටින්කබෙල්, බ්ලෙයා, අයිස්ඒජ්, හිම කුමාරි... වගේ කාටුන් චිත්‍රපටි මං බලන්න පුරුදු උණේ චූටි මිමී නිසා... ටයිටස් තොටවත්තයන් හඬ කවපු අපි පුංචි කාලෙ ආශාවෙන් බලපු දොස්තර හොඳ හිත, ගලිවර්ගේ සුවිසැරිය, හා හා හරි හාවා වගේ කාටුන් චිත්‍රපටි අපේ දරුවන්ටත් බලන්න අවස්ථාව හදල දෙන එක වටිනවා.... 


චූටි මිමීට අවුරුදු පහක් වෙනවා මේ ජුනිවලට. හරිම දාංගලේ. චෝදනා පත්‍ර ගොන්නයි. මේ ළඟදි දවසක අම්මයි, ආච්චි අම්මයි, චූටි මිමීයි, මමයි ඉන්න වෙලාවක, චූටි මිමීගෙ විසේකාර වැඩ බලන් ඉඳලා මං මෙහෙම කිව්වා....

‘‘මෙහෙම හරියන්නෙ නැහැ. දැන් ඉතින් වේවැලක් ගන්න වෙනවා.."

එකපාරටම මූණ ගස්සලා ඇස් දෙකත් ලොකු කරල මං දිහා බලන් උන්නු චූටි මිමී කටත් ඇද කරලා මෙහෙම කිව්වා.

‘‘ආ............ මෙයත් දැන් නරක් වෙලා.." 

ඔක්කොම දාංගල් හිනාවෙන් ඉවසන, කියන කියන විදියට නටන (අපේ අම්ම කියන්නෙ එහෙමයි )  මම්ම කීව කතාව එයාට අදහගන්න බැරිවෙන්න ඇති.

15 comments:

  1. පොත් තියෙන තැනකට ගියොත් පොත් වලට කලින් දැන් බලන්නේ රසී අක්ක ඉන්නවද කියල :D

    ReplyDelete
    Replies
    1. පොත් ගුල්ලියක් නෙ නේ............ පොත් කොතැනද? මම එතැන.... නෙළුම් යායට නම් එන්න බැරි වුණා. අපරාදෙ අපි හැමෝටම හමුවෙන්න තිබුණු අවස්ථාවක්..

      Delete
    2. මටත් හිතුනෙ ඕකමයි. හැබැයි පොත් කඩේකට ගියාම මට පේන්නෙ පොත් විතරයි. භූමිකම්පාවක් උනත් දන්නෙ නෑ.

      Delete
  2. සීයට දහයක් දෙන්න දෙදාහකටද කොහෙද වැඩිපුර ගන්නෝනෙ නේද? මාත් මේ ලඟදි ගියා පොත්නම් තියෙනව ඕසෙට.. මොකක් ගන්නද හිතා ගන්න බෑ..

    අපේ පොඩි මෑන්ටත් ජූනි වලට පහයි.. පණ්ඩිත කතා වැහි වැහැල..

    ReplyDelete
    Replies
    1. එයාල එක්ක ඉද්දි වෙලාව යනව දැනෙන්නෙ නැහැ. අපේ කාලසටහන් නම් කුඩේ කුඩු.. එයාලගෙ විධාන අනුවනෙ වැඩ සිද්ද වෙන්නෙ.

      මම නම් පොඩි මුදලක පොත් ගත්තෙ. වට්ටම් ලැබුණා.

      Delete
  3. කොටුවෙ ගුණසේන එකත් එක්ක මගෙත් ලොකු බැඳීමක් තියෙනවා. සතියට සැරයක්වත් පොතක් ගන්න යන නිසා දැන් එතන ගෙදර වගේ හුරු වෙලා... පොත් ගුල්ලියක් අඳුනාගන්න ලැබුනු එක සතුටක්...

    ReplyDelete
    Replies
    1. සතුටුයි.. අලුත් යාළුවෙක් තරුරසියට ගොඩ වැදීම ගැන....

      Delete
  4. කවුරුත් දැක්කේ නැද්ද ලස්සන වසීලිස්සා එහෙම???
    මම දැන් සෑමෙන කාලෙක ඉදන් හොයනවා....

    ReplyDelete
    Replies
    1. ලස්සන වසිලිස්සා පොත් ප්‍රදර්ශනයෙදි ගන්න හැකි වේවි... මේල් ලිපිනයක් ලියා තියන්න.. පොත දැක්කොත් පණිවිඩයක් එවන්නම්.

      Delete
  5. පොඩි කාලේ බලන්න බැරි වුන පොත් වගේම දැකලත් කන්න බැරි වුනු රස කැවිලි, අල්ලන්න බැරි වුන සෙල්ලම් බඩු මටත් තිබ්බ. දැන් කොහේ හරි දැක්කොත් පොඩි එකෙකුට අරං දීලා අර මිස් වෙච්ච සතුටෙන් කොටසක් පිරිමහ ගන්නවා. ඒත් දරුවෙකුට පොතක් අරන් දෙනවා කියන්නේ ඊට වඩා ගොඩක් වටිනා දෙයක්

    ReplyDelete
    Replies
    1. අපි හැමෝම ඇතුළෙ ළමා කාලෙ යම් යම් දෑ අහිමි වුණු ළමයෙක් ඉන්නවා මට හිතෙන විදියට.

      දරුවන්ට පොත් අරන් දීල මමත් ලොකු සතුටක් ලබනවා... අයියේ...

      Delete
  6. එහෙනම් මේ සති අන්ත නිවාඩුව හොඳින්ම ගත කරන්නේ චූටි මිමී එක්ක තරු අක්කා.
    ‘හිමාලය පාමුල' ලස්සන ගමක් වෙන්න ඇතිනේ එත් ඒ ජිවිත ඒ ගම තරම් ලස්සන නැතුවත් ඇතිනේ තරු අක්කේ?
    දොස්තර හොඳහිතයි, හා හා හරි හාව මගෙත් ආසම කාටුන්.

    ReplyDelete
    Replies
    1. චූටි මිමී, සසෙන් බබා එක්ක ඇති වෙනකල් පොත් කියෙව්වා. එකම පොත දෙතුන් වතාව... නියම දඬුවම.... තවත් එක්කෙනෙක් ඉන්නවා ලොකු වෙමින්.. අයිලියා... ඒ වගේම තව දෙතුන් දෙනෙක් එන්නත් ඉන්නවා...

      අනාගතේදී පොත් සාප්පුවක් අරන් තමයි ගෙදර යන්න වෙන්නෙ...
      .......

      හිමාලය පාමුල ලස්සන සංචාරක සටහන් පෙළක්.. එක ගමක් නෙවි ගම් කීපයක් ගැන ම කතා කරනවා... ඒ ජීවිත දුෂ්කර බව නම් ඇත්ත... පොත ඇතුළෙනුත් ඒ දුෂ්කරබව මතුවෙනවා..

      Delete
  7. කාලෙකින් බ්ලොග් කියවන්න හිතුවේ මේ ටිකේ. ඒත් දකින එව්ව දැක්කම පොඩ්ඩක් ආයේ හැන්ගෙන්න හිතුනා. ;)

    මේ තරු රසී නැන්දා කැමති වෙයිද දන්නේ නෑ මම පොඩි බබාටත් පොත් අරන් දෙන්න කියලා අහලා කියනවද?

    කියන්නත් ලැජ්ජයි තරු මේ ඊයෙ පෙරේදා දවසක අලුත් බූක් රැක් එකක් ගත්තා. ඒක අස් කරන්න පොත් හොයද්දි මීට කාලෙකට කලින් අපේ චාර්මියාගේ පොඩි ළමයින්ගේ රික්වෙස්ට් එකකට මම ගත්ත ඩී වී ඩී ලොට් එකක් හම්බ වුනා. අවුරුද්දකටත් වඩා කාලයක් තිස්සේ අමතක වෙලා. එකක් ඊට පස්සේ මම ලංකාවට ආවේ නෑ. කාගෝ එවන්න කෙනෙක් හෙව්වා. හම්බ වුනේ නෑ. ඇත්තටම මම ළමයින්ගෙනුයි චාර්මියාගෙනුයි සමාව ඉල්ලන්න ඉන්නකොටයි මේක දැක්කේ.

    මේ දවස් වල ඉස්බෙල්ගේ අලුත් පොත එලියට එනවා. මම ඉතින් කට උඩ දාගෙන බලාගෙන ඉන්නවා. ලංකාවෙන් මේ කාලෙටම පොත් ගෙන්වගත්තෙත් නෑ. අපේ මල්ලිට පොතක් එවන්න කියලා සුනේත්‍රාගේ රතු කමිස හා ඉන්දියාණු මතක එවලා තිබ්බේත් නෑ.
    මම තරහා වෙලා ඉන්නේ ඒක හින්දා සිංහල පොත් එක්කම.

    ReplyDelete
    Replies
    1. බූරු බබාට පොත් ටිකක් එවන්න පුළුවනි.. විදියක් හදල කියන්නකෝ මට........

      Delete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...