පිටු

Sunday, August 16, 2015

තරු අතරින් මිහිමත බට කන්‍යාව ......... තාරා


යුද්දෙ දින්නා......... කවුද?

අපි.....!!!! කවුද කියල අහන්නෙ ?

අපි!!!... කවුද අපි...!!! අම්මේ දකුණෙ හැම සිංහල ගමකටම මිනී පෙට්ටියක් ආවා.. දෙමල කොල්ලො කෙල්ලො කී දෙනෙක් නම් මැරෙන්න ඇත්ද? දැන් කවුද අපි... හැම දුප්පත් පවුලකටම මිනියක් ලැබුණා. කවුද යුද්දෙ දින්නෙ...? කවුද අපි...?
.........

කවදාද එන්නේ සමිඳුන් සොයා
අත්හැර දමන්නේ පාපේ මායා
නැත්දෝ දැනෙන්නේ එතුමන් දයා
කවදාද එන්නේ සමිඳුන් සොයා....
( මම කැමතිම ගීතිකාවක්...)

නෑ සිස්ට මම මේ කල්පනා කළේ ලෝකෙ හරි පුදුමයි නේද? මිනිස්සු වෙනුවෙන් කතා කරන, මිනිස්සු වෙනුවෙන් වැඩ කරන කෙනාවම කුරුසෙ ඇණගහල මරනවා. ඊටපස්සෙ ඒ ඇණ ගහපු මිනිස්සු විසින්ම අර මනුස්සයව දේවත්වයට ඔසවනවා....

ලෝකය ස්වභාවයෙන්ම නරුමයි නන්දිතා. ඒ නරුමකම තියෙන්නෙ අපේ යහපත පරීක්ෂා කරන්න. අපිම තමයි ඒක හොඳ අතට හරවගන්න ඕන..
........
මං ආසයි. ජීසස්ට..
ඇයි?
එයා හරි කෙළින් පිරිමියෙක්..
........

අඳුර මැදින් එළිය ගලනවා
කඳුළු මැදින් සිනහ නගන දා
අතහරින්න එපා පුතේ .. දාලා යන්න එපා
බැගෑ සිතින් මොර ගසනා නුඹව ඇහෙනවා
ළං වී මට යාච්ඤාවෙහී........... කතා කරනවා
වෙන් වී ඔබ ඉන්නා තුරා දුකින් හඬනවා...
( ළමා නිවාසයේ දරුවන් සමග නන්දිතා ගයන ගීතිකාවේ හඬ........)
.........

තමුසෙට ෂුවර්ද මේ අපි ඇත්තටම ජීවත් වෙනවා කියල...
ඔව් .. ඇයි
ෂුවර්ද?
ඔව්...
කොහොමද හරියටම කියන්නෙ...... මේක කාට හරි පේන හීනයක් වෙන්න බැරිද?
...........

කොහොමද නන්දිතා
හොඳක්ම නෑ එරන්ද....... මං ඔයාට ආදරේ කළානෙ.. ඒ හින්ද හිතට අමාරුයි...
අපි එදා වෙච්ච දේවල් අමතක කරමු.
ඊට පස්සෙ ?
මට ඔයාව නැති කරගන්න බෑ....
මං ඔයාට එහෙම කළේ නෑ...
...........

එයා හොඳ කෙනෙක්.. ඒත් ඒක හරියන්නෙ නැහැ අම්මේ.... මට ඕව වැඩක් නෑ...... මං ඔය මැරීගෙන ලව් කරන්න කැමති නෑ අම්මේ.. මං හිතන විදියටත් ඉඩක් තියෙන්න එපෑ.. එහෙම නැත්නම් මට එතන ඉන්න බෑ..

එහෙම ඉතින් ඔයා හිතන විදියටම හිතන අය හම්බෙන්නෑ

එහෙම හිතන්න තරම් මං මෝඩ නෑ.. නැත්තං ඉතින් මං ඔයත් එක්ක ඉන්නෙ..

ඒ කිව්වෙ..

නෑ ඉතින්.. අදහස් ගැලපිලායැ අම්මත් එක්ක මේ ඉන්නෙ අවුරුදු 25 ක් තිස්සෙ

ඕන කුදයක් ගහගනින්

අම්මේ............ එන්නකො...
............

ටෙලි කතා හිතා මතාම බැහැර කරන කාලයක විශේෂයෙන් තාරා බැලුවෙ නාමල්ගෙ තිර රචනයක් නිසා. නාමල් ජයසිංහගේ ලියවිලි, නිර්මාණ සියුම්ව, සමීපව හිතට කතා කරනවා. ඔහු ලියූ ග්ලැඩියේටර් ප්‍රේමය සහ තවත් නිර්මාණ කීපයක්ම ඇහැ ගැටිල තියෙනවා. මේ කොදෙව් පොළවෙ කටුකම අත්දැකීම්වලින් නිරන්තරයෙන් ඇවිළෙන හිතක පීඩාව වගේම ජීවිතය ගැන දකින වෙනස් සුන්දර සිහින පිරුණු නිර්මාණ ඒවා........

තාරා......... ලස්සනයි. මං කැමතියි. විශේෂයෙන්ම නන්දිතාට මං හරිම කැමතියි. එයා හරිම විවෘතයි. ආදරණීයයි. අවංකයි. කෙළින් කතා කරනවා.

ජේසුගේ ජීවිතය ගැන, ක්‍රිස්තියානි විමුක්ති මාර්ගය හා බැඳුණු ප්‍රේමයේ දැක්ම ගැන නාමල් තුළ වන පැහැදීම තාරා තුළින් මතු වෙන විදියටත් මං කැමතියි.

හැම ඉරිදාම රෑ 8.30 කණිසමට ස්වර්ණවාහිනි තිරයෙන් තාරා හමුවෙන්න හැකි වේවි....

තිරරචනයේ, දෙබස්වල සුන්දරත්වය ප්‍රබලව රූප රාමු තුළින් මතුවෙන්නෙ නෑ කියලත් හිතෙනවා. අධ්‍යක්ෂණය, කැමරාකරණය, කලා අධ්‍යක්ෂණය පවතින ටෙලි කතා කලාවෙන් බැහැර වෙනසක් කරන්න සමත් වෙලා නැහැ. හිතට මදි... සංගීතය සිත් ගන්නවා. නාට්‍යයට එයින් ලැබෙන්නෙ එළියක්..

කඩුල්ල, ඇහි පිල්ලමක් යට, දඬුබස්නාමානය වගේ ටෙලි කතාවලින් ලැබුණු ආනන්දනීය ආශ්වාදය ලබා දෙන්න සමත් ටෙලිනාට්‍ය බිහි නොවීම නම් කණගාටුවට කාරණයක්..

තවමත් විකාශනය වෙලා තියෙන්නෙ කොටස් හතරක් පමණක් නිසා ‘‘තාරා‘‘ ගැන පූර්ව නිගමනවලට එළඹීම අසාධාරණයි. කෙසේ නමුත් මෙගා ටෙලි මාලාවක් නොවී වෙනස් සුන්දර නිර්මාණයක් වේවා.. ඒ මගේ පැතුම...




20 comments:

  1. මමත් මේ අද්‍යක්ෂ වරයාගේ බලලා තියෙන්නේ ග්ලැඩියේටර් ප්‍රේමය විතරයි කියලා මගෙත් මතකය. තාරා කතාව තව කොටස් 10ක් විතර යනකොට හොඳ නරක කියන්න පුලුවන් වේවි. අපි එතකල් බලමු.

    ReplyDelete
    Replies
    1. ටීවී එකේ බලනවට වඩා ඉඩක් ලැබුණම අන්තර්ජාලයෙන් කොටස් කිහිපයක් එකවර බලන එක හොඳයි... දැන්විම් නැතිව රසවින්දනයට බාධාවක් නොවී බලන්න පුළුවන්නේ...

      Delete
  2. ටෙලි නං බැලෙන්නෙම නෑ. මොකද ටීවි බලන්න වෙලාවක් නෑ. ඉදල හිටල බලන පිලුමක් විතරයි. බලන්නං ඉන්ටනෙට්ටුවෙ මේකෙ කොටස් තියෙද කියල.
    රොෂාන් ඉන්නව නං මං කැමතියි. මෑන්ස්ගෙ ඇක්ටිං පස්ට

    ReplyDelete
    Replies
    1. යූටියුබ් තියෙනවා මේ කතාව.. මමත් බැලුවෙ එහෙම...

      Delete
  3. කතාව අගේ අැති බලමු........

    ReplyDelete
    Replies
    1. කතාව ලස්සනයි.. බොහොම සංවේදීව ගලා යන බවක් තමයි පේන්ට තියෙන්නේ...

      Delete
  4. ටෙලි නොබලමි. අහම්බයෙන් දුටුවොත් ඇරෙන්න.

    ReplyDelete
    Replies
    1. මමත් ටෙලි නොබලමි.. ලැබුණු ඔත්තුවක් අනුව මේ නාට්‍යය අන්තර්ජාලයෙන් සොයාගෙන බැලුවෙ...

      Delete
  5. කොමෙන්ටෙකක් දාන්න නම් තව සති දෙකක්වත් යයි.. මොකෝ කොටස් දෙකක් වත් බලල ඉන්න එපැයි.. රොෂාන් රවින්ද්‍ර නම් හොඳ නළුවා..

    ReplyDelete
    Replies
    1. ඔයාගෙ ඔය පසුව දාන කොමෙන්ට්ස් නම් ඉතින් හමස් පෙට්ටියට යන ඒව තමයි.

      Delete
  6. "A ලෙවල් ඉවරයි" නමැති වෙනස්ම මාතිලියේ ටෙලි නාට්‍යය බැලුවට පස්සෙ බලන්න තරම් එකක් දැක්කෙ නැහැ.
    "තාරා" බලන්න හිතුවා. ශලනි තාරකා නේද ඉන්නෙ. මගෙ ඉවට අනුව නම් නව පරපුරේ ඉහළම ප්‍රතිභාවක් තියෙන නිළිය ඇයයි. රවීන්ද්‍ර ගෙ රංගනය ගැන නම් කියල වැඩක් නැහැ. කරන දේ හරියට කරනවා.

    සතියකට පැය බාගයක් වෙන් කරල බලමු.

    ReplyDelete
    Replies
    1. රොෂාන්, ශලනි, චාන්දනී, කෞශල්‍යා... මේ කට්ටියගෙ රඟපෑම් ඉතාම හොඳයි...

      අන්තර්ජාලයෙන් එක සැරේ බලන්න පුළුවනි අයියේ.. ඒක පහසුයි මං හිතන්නෙ... ඒ ලෙවල් ඉවරයි මුලදි තිබුණ ගැම්ම පස්සෙ නැතිවුණා.. මෙගා ටෙලි නාට්‍යයක් විදියට කොටස් 100 ක් අදින්න දිනපතා රූපගත කරමින්, කතාව දිග්ගස්සපු එකෙන් නාට්‍යයට සිද්දවුනේ අසාධාරණයක්...

      Delete
    2. චාන්දනී, කෞශල්‍යා එහෙමත් ඉන්නව කියන්නෙ හොඳ රංගනයන් බලා ගන්න ලැබෙයි.
      අන්තර්ජාලයෙන් බලද්දි තියෙන වාසිය තමයි වාත වෙළඳ දැන්වීම් වලින් බේරෙන්න හැති වීම.

      Delete
  7. මම දැන් බලන්නේ එකම එක නාට්‍යක් විතරයි.එකත් ඉරිදා රෑ 8.30 ටම ජාතික රුපවහිනියේ යන "කඩුල්ල" බලමු ඉඩක් ලැබුනොත් කඩුල්ල යන අතරවාරයේ මේකත් බලන්නම්කෝ.

    ReplyDelete
    Replies
    1. බලල ඔයාගෙ අදහසත් කියන්න මල්ලි...

      Delete
  8. ඔබ හා සීයට සියක් එකඟයි තරූ..තාරා අනිවාර්යයෙන් බලනවා මම.

    ඔබ හරි…. තාරා කතාවෙ දෙබස් ඉතාම ප්‍රබලයි.

    නන්දිතා....චරිතයක් ප්‍රබලව හිතට වැදෙන්ට නමත් බොහොම වැදගත්. නන්දිතා මම බොහොම ප්‍රියකරන නමක්.. තාරා බලද්දි නන්දිතා දාස් සහ අපර්ණා සෙන්ගෙ 36, චෞරන්ගී ලේන් චිත්‍රපටයෙ නන්දිතා මගෙ මතකයට එන්නෙ නිරායාසයෙන්.

    තිර රචනය නාමල් ජයසිංහ සහ අධ්‍යක්ෂණය ආනන්ද අබේනායක කියල දැනගත්තෙ ඔබේ ලිපිය කියවූ පසු. අන්තර් ජාලයෙන් නරඹද්දි කෙලින්ම පටන්ගන්නෙ කතාව. නාමාවලිය අපිට දකින්නට ලැබෙන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. නන්දිතාගෙ චරිතයට මමත් ගොඩක් කැමතියි.. වෙලාවකට එයා කියන කරන දේවල් මමත් කියල තියෙනවා.. විශේෂයෙන්ම ඔය අම්මත් එක්ක යන සංවාද මටත් හරි සමීපයි... ළමයි එක්ක වැඩ කළ අත්දැකීම් ගොඩක් තියෙන නිසා අර දරුවගෙ ප්‍රශ්නය හරිම තදට හිතට දැනෙනවා...

      තවත් මං ආස දෙයක් තමයි කිසිම චරිතයක් දිහා විවේචනාත්මක දෘෂ්ටියකින් බලන්න ඉඩක් නොතියා හැම චරිතයකම මානුෂික පැත්තත් හිතට දැනෙන්න ඉඩ අරින එක... කිසිම චරිතයක් කළු ම කරල නැහැ... ඒ ඒ චරිත ස්වභාවයන් තේරුම් ගන්න ඉඩඅරිනවා මිස විනිශ්චය කරන්න ඉඩක් තියල නැහැ... ඒක හරිම වටිනවා....

      සංවේදී ලස්සන කතාවක්... මේ වගේ කතා බලන්න ඕන අපේම ජීවිත ගැන තමන් තුළම සංවාදයක් ඇති කරගනිමින්...

      Delete
    2. ටෙලිනාට්‍ය බලන එක අතහැරල තියෙන්නේ. මේ ඔත්තුව අනුව තාරා බලන්නම්. මෙගා රැල්ල මැද්දෙ කලාතුරකින් හෝ හොඳ නාට්‍යයක් විකාශය වෙන බව ඇසීමත් සතුටක්.

      Delete
  9. ඔයා හින්දම මමත් තාරා බැලුවා. http://varunamultimedia.com/ නන්දිතා එරන්දගේ ගෙදර ගිහින් කතා කරනවා දැක්කාම පුදුම සතුටක් දැනුනේ. මේ වගේ ගෑනු ලමයි තමා ලංකික සමාජෙට ඕනි. :)

    ReplyDelete
    Replies
    1. හරිම සතුටුයි.. ලස්සනයි නේද?

      මමත් වැඩියම කැමති නන්දිතාගෙ ඒ විවෘතකමට.. අවංක කමට.. කෙළින් කතාවට... සම්ප්‍රදායික සමාජයෙ ඇතුළෙ නම් ඒක නොහොබිනාකමක් වගේ පෙනේවි...ඒත් ඒ් ගතිගුණ එයාගෙ ගැහැනුකමට ආභරණයක් මිස අඩුවක් නම් නෙවෙයි...

      Delete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...