පිටු

Friday, January 22, 2016

කව්ද කිව්වේ බොරු අල්ලන්න බෑ කියා තරු.


කියන්නට ලියන්නට බොහෝ දේ ඇත. ඒ අප්‍රමාණ සංතුෂ්ටියෙන් සහ ධෛර්යයෙන් පිරුණු හදිනි. මට කියන්නට ඇති බොහෝ දෑ මේ කවිය තුළ කෞශල්‍යා හෘදයාංගමව කැටි කොට ඇති බැවින් සියල්ලට පළමුව එය ඔබේ දෑස් අබියස දිග හරිමි.  

දවසක් ....

තරුවක් දොරට වැඩි දවසක්
ගමට තරු පෑයු දවසක්
යසට හිරු පෑයූ දවසක්
දෙවැට හිම නෑවූ පලසක්
තවත් එක් දවසක්
පමණක් ම
.... නොවූ ....
දවසක් ....

උදයක් ....
හිච්චි හිත් වල මල් පිපුණු උදයක්
පැන්චන් ව සතුටු කළ චිත්තරපටියක් ....
බනිස් ගෙඩි මැද්දේ
කහ පාට බීම වීදුරු අස්සේ
පිනුම් ගැසු .... ඔට්ටු ඇල්ලූ
පුංචි උන්ගේ සිනා සද්දේ ....

දහවලක් ....
හිරුත් හිම පාට වූ දහවලක්
අළුත් පොත් සුළගේ නැටූ දහවලක්
වේදිකාවක් අහිමි දරුවන්
වේදිකාවක රැඟූ රැඟුමන්
තෙත් කළා මා දෙනෙත් කඳුලින්
වාසනාවන් .... වාසනාවන් ....

සවසක් ....
කලවම් පලා ලියු දෑතක්
ගොයම් බූවට කැපුණු දෑතක්
බුලත් විට ලිප්ස්ටික් දෙතොලින් සිනාසී
කවි පිටු අතගා බැලූ සවසක් ....

විදුලි කම්බිය මත
කාක්කො ත් ඇස් අයා සිටියා
පතහෙ දිය රැලි නොනඟා
මාළු ත් නොසෙල්වී සිටියා
පොඩි සිංනො හිම මල්
බෙල්ල දිගු කර අහන් හිටියා
තරු ඇස් රහස් අසනට
සඳ ත් පොලොවට ඇවිත් සිටියා ....
මිහිමඩලෙ දිය උල්පත
තාත්තෙක් සේ බලා සිටියා ....

බුලත් කොළ පාටයි
මල්ලියේ උඹේ කවි
හුණු වගේ සුදු පාටයි
මල්ලියේ උඹේ කවි
දුම්කොළ වගේ කළු පාටයි
මල්ලියේ උඹේ කවි
බුලත් කෙල වගේ රතු පාටයි
අපි ගැන ලියන උඹේ කවි ....
ටිමා උඹටයි මේ කවි ....

කවි බිජු පැලකරන ගොවියෙකි
අස්වැන්න අන්සතු වුව ද කම් නැති
බොහෝ නාඹර කවි ගස් වලට
ළදරු කල නැළවිලි ගී කී සකි
තිඹිරියාගම සොඳුරු මිනිසෙකි ....

සන්ත බස්තියමේදී හමුවූ
උවන පොත් පිටු අතර හිනැහුණු
ඒ සොඳුරු කවි මිනිසා
නාඳුනන සේ සිටිය විලසා ....
මාව අඳුනන බොහෝ මිනිසුන්
නාඳුනන සඳ මා කව්ද වග
ඔහු මා නොඅඳුනන වග
කරුණක් ද පුදුම විය යුතු හුඟ....

හරි අපූරුයි තරු
ඔබේ ගම් දොර විසිතුරු
හෙට පියාඹන සියොතුන ට
පාර පෙන්වන ඔබේ ඇස් තරු ....

කව්ද කිව්වේ බොරු
අල්ලන්න බෑ කියා තරු....

පුතේ උඹලට පුළුවන්
තරු අල්ලන්න පුළුවන්
තරු නෙළා ගෙනත් දෙන්නට
අම්මෙක් ඉන්න උඹලට
තරු විතරක් නොවෙයි
.... සඳ බඳා ගන්නත් පුළුවන් ....

කෞශල්‍යා කුමුදිනී ජයලත්


මේ කවිය කිය වූ ඇසිල්ලේ දෑස තෙමිණි. මෙතරම්ම අපූරුවට දවසක්ම කවියක් කළේ කෙලෙසින් ද? සැබවින්ම ඒ ආදරය ප්‍රාතිහාර්ය පෑ දවසකැයි යළි යළිදු මට සිතෙයි.

‘‘තරු ඇස් රහස්‘‘ ගමට ගෙන ගියේ සැබවින්ම මා මහා කිවිඳියකැයි උදම් ඇනීමේ චේතනාවෙන් නම් නොවේ. කවියට පෙම් බැන්ඳාට මම තවමත් කවි ළදැරියක බව දනිමි. මග හසර අසමින් කවි ලොව සැරිසරමි.

ජීවිත කාලය පුරාම අසීමිතව මට ආදරය කරන අම්මා, තාත්තා ඇතුළු පවුලේ සැමත්, ඥාති සමූහයාත්, ගම්දොර අසල්වැසි සියලු දෙනාත් සමඟ කවි පොතක් කිරීමේ සතුට බෙදා ගැනීමේ උවමනාව මට තිබිණි. කවි පොත එළිදැක්වීමක් කොළඹ සූදානම් නොකළේද ගමෙහි එවැනි කටයුත්තක් කිරීමේ මහත් ආශාවක් කලෙක සිට මා තුළ පැවති බැවිනි. ඒ මට ආදරය කළ අයට නිසි ආදර ගෞරවය ලැබදෙමින් ඒ සිත් සතුටින් පුරවාලන අදහසිනි. අපේ දරුවන්ගේ සිත්වලට පොත පත කියවීමේ අගයත්, කවියක් ලිවීමට, පොතක් පළ කිරීමට සිහිනයක් ජනිත කිරීමත් මගේ  බලවත් සිහිනයක්ව පැවති බැවිනි.


ළක්‍රිවිය, කිතුසර, පියවර, විණැන මාධ්‍ය හා කලා පදනම සමග ලංකාව පුරා කළ කී දෑහි අරුත ගමට ගෙන යාමේ උවමනාව ද මා තුළ විය. මේ සියලු කටයුතු හැකි අයුරින් එකම දිනක ඉටුකරගන්නට ලැබීම මහත් සතුටකි. 

දිගින් දිගටම වැසි ඇද හැලුණු බැවින් දිනෙන් දින කල් ගිය ඒ සොඳුරු දවස 2016 දුරුතු මහේ 16 වැනි දා උදාවන්නේ එලෙසිනි. එදින උදෑසන ළමා වැඩසටහන, චිත්‍රපට දර්ශනය, සවස කවි පොත ජනගත කිරීමේ උත්සවය, රාත්‍රිය ‘නිවහන නිවන ගී‘ ගීත රස වින්දන වැඩසටහන ගමට අලුත් අත්දැකීමක් මෙන්ම අලුත් අර්ථයක් ද එක් කරමින් සාර්ථක කරගන්නට හැකි විය.

‘‘තරු ඇස් රහස්‘‘ ගමට ගෙන යන්නට මට මඟ පෙන්වූ, ශක්තිය වූ ඔබ සැමට හදවතින්ම ස්තුතියි කියන්නට මට අවසර.............

කවියට මතු නොව ජීවිතයට ද අප්‍රමාණ සහෝදරත්වයේ මහා ශක්තිය වන මංජුල අයියාට ( මංජුල වෙඩිවර්ධන), ඔබ නොවන්නට මගේ කවි, පොතක් ලෙස දොරට වඩින්නට බොහෝ පමාවන්නට ඉඩ තිබිණි.

නිතර මා දිරි ගන්වමින් ‘‘තරු ඇස් රහස්‘‘ සම ප්‍රකාශනයක් ලෙස එළිදක්වන්නට නොපැකිළ අත දුන් සංජීව වඩිගමංගාව, අනූෂා පලිපාන, අනුරාධ වඩිගමංගාව ඇතුළු වඩිගමංගාව පවුලේ සහෝදරත්වයට, සනත් බාලසූරිය අයියාට, දේවිකා වඩිගමංගාව අක්කාට,

දුර බැහැර නොතකා මා වෙනුවෙන් කාලය වෙන් කරගෙන අප ගම් පියසට පැමිණි හිටපු ළ.ක්‍රි.වී. ජාතික අධ්‍යක්ෂ ගරු ජෝ කුරේ පියතුමාට,

සත්කෝරලයේ සොඳුරු නිහතමානී කලාකරුවාණන්, මහා සාහිත්‍යෙව්දියාණන් වන ඩබ්.ඒ. අබේසිංහ මහත්මාට, ඔබේ පැමිණීම මහත්ම ගෞරවයකි.

ගමත් එක්ක කවි රස බෙදා හදා ගන්නට දුර බැහැර ගෙවාගෙන පැමිණි සත්කෝරලයෙන් බිහි වූ තවත් ප්‍රවීණ සාහිත්‍යධරයෙක් වන තිඹිරි අයියාට ( තිඹිරියාගම බණ්ඩාර)

සාහිත්‍ය ලොව මට හමු වූ ලොකු අයියා, ආරම්භයේ සිටම ‘‘මම අනිවාර්යෙයන්ම එනවා තරූ‘‘ කියමින් කතාවක් සඳහා වූ ඉල්ලීමද භාර ගත් අනුරසිරි අයියාට ( අනුරසිරි හෙට්ටිගේ )

ටිම්රාන් කීර්ති, ඩොමිනික් චන්ද්‍රසාලි, ළහිරු කිතලගම නූතන කවි පරපුරේ ළෙංගතු ආදරයට,

පුරා දවසම, ගමේ හැමටම මහා ආලෝකයක් වූ නාමල් අයියාට, ( මහින්ද නාමල් )

වදනින් කියා ලියා නිම කළ නොහෙන නාමල් අයියා, ලාල් අයියා, ප්‍රේමන් අයියා, රොෂානි නංගි, සාලිය ඇතුළු කිතුසර, පියවර, විණැන මාධ්‍ය හා කලා පදනමේ අප්‍රමාණ සහෝදරත්වයට,

දරුවන්ගේ මුවට සොඳුරු සිනා කැන්දූ, තරු ඇස් රහස් එළිදැක්ම දයාර්ද වචනයේ මහිමයෙන් අසිරිමත් කළ ප්‍රභාත් අයියා ඇතුළු ළ.ක්‍රි.වී. පවුලේ ආදරයට,

ආරම්භයේ සිටම ගමේ වැඩේ අපේ වැඩක් කරගනිමින් මට සහය ලබා දුන් කරුණාතිලක හඳුන්පතිරණ සර්ට,

දුරකතන ඇමතුමකින් පමණක්ම වූ මගේ ඇරයුම හදවතින්ම පිළිගත් බණ්ඩාර වැවගෙදර, කපිල ජයවිලාල් හේරත් ඇතුළු ගම් පළාතේ කවියන්ට,

අකුරින් අකුර කියා දී ජීවිතය වියාගන්නට අවැසි ම අඩුමකුඩුම සරි කර දුන් සියලුම ගුරු මව්පියවරුනට,  

මේ කටයුත්තේදී පමණක් නොව, සමස්ත ජීවිතයේ දී මට මහා ශක්තියක් වන අම්මා, තාත්තා, ලොකු නංගී, පොඩි නංගී, මල්ලී, චානක මල්ලී, හංසි නංගී සහ දූ පුතුන්ට, සියලුම නෑදෑයින්ට, හිත මිතුරන්ට,

ලොකූ ගේ වැඩේ තමන්ගේ වැඩක් කරගත් ගම්වැසි ජනතාවට, නොයෙක් අයුරින් උදව් උපකාර කළ සැමට,

පුස්තකාලය වෙනුවෙන් පොත් තිළිණ ලබා දුන් සියලුම දෙනාට,  පැමිණි සෑම කෙනෙකුම පුස්තකාලය සඳහා පොත් රැගෙන විත් තිබිණි. කුලී වැඩ කරන, ගොවිතැන් බත් කරන, දුක් මහන්සියෙන් හරිහම්බ කරන දුප්පත්ම අසල්වැසියා පවා පොතක් ගෙනෙනු දැකීම මට මහා පුදුමයක් මෙන් ම, සතුටක් ද විය.   

හදවතින්ම ස්තුතියි කියමි. ආදරේ යැයි පවසමි.

මේ අවසානයක් නොව තවත් ආරම්භයකැයි අදහමි. අද මෙන් හෙටත් ඔබ මා සමඟ හිඳින බව විශ්වාස කරමි.


ගම් මට්ටමින්, බිම් මට්ටමින් වැඩ කිරීම අද දවසේ අනිවාර්ය කටයුත්තක් විය යුතු යැයි සිතමි. පක්ෂ දේශපාලනය ගැන විශ්වාසය බිඳී ඇති සමයක, පුරවැසියා ශක්තිමත් කරන, පුරවැසි දේශපාලනයට නව අරුතක් එක්කරන සංස්කෘතික, දේශපාලනික දැනුම අවබෝධය ගම් දනව් සිසාරා රැගෙන යන ක්‍රමවත් වැඩපිළිවෙලක් අත්‍යවශ්‍ය බව මගේ හැඟීම ය. සමාජ ව්‍යාපාරවල ද, ප්‍රගතිශීලී දේශපාලන ව්‍යාපාරවල ද අවධානය ඒ කෙරෙහි යොමු වේවා යි ප්‍රාර්ථනය කරමි.





13 comments:

  1. //කව්ද කිව්වේ බොරු
    අල්ලන්න බෑ කියා තරු //

    ලස්සනම පද දෙකක්,තරු අක්කේ සුබ පැතුම් හදවතින්ම.

    ReplyDelete
  2. හොඳ වැඩක් ලස්සන විස්තරයක්

    ReplyDelete
  3. Great work!!! And a marvellous appreciation ☺ !!! Congrats both of you.

    ReplyDelete
  4. හිතේ කොනක සැගවුන් ගමට යාමේ ඔබේ ආශාව යථාර්ථයක් වීම ගැනයි මගේ අප්‍රමාණ සන්තෝසය..

    ReplyDelete
  5. සාර්ථක නිමාවට මගෙන් සුභ පැතුම්.

    ReplyDelete
  6. ඔබම පැවසූ පරිදි මෙය අවසානයක් නොව ආරම්භයක්ම පමණි. තව තව මෙවැනි යහපත් දේ රටට ලබා දෙමින් ඉදිරියටම යන්න ඔබට ශක්තිය , දහිරිය හා සිතේ සැනසුම නිරතුරැවම ලැබේවා.

    ReplyDelete
  7. අක්කා බලාපොරොත්තු උන විදිහට හැම දේම උන එක ගැන සතුටුයි.

    ReplyDelete
  8. ආරම්භය සොඳුරුය.. කෙදිනක හෝ මේ ගමනත් සොඳුරු ගමනාන්තයක රැදේවා යන්නපැතුමයි..
    එන්න කීවත් එන්න නොහැකි වුණා‍ට කණගාටුයි තරු අක්ො..
    වැඩේ හොඳින් සිද්ධ වෙලා තියෙනව අහන්නත් සන්තෝසයි
    ජයවේවා

    ReplyDelete
  9. තරු අක්කේ... මම හිතන්නෙ මට හෝ ගාන පොකුණෙ ටීචර්ගෙ චරිතෙ හැබෑවටම ජීවත්වෙන කෙනෙක්ව හම්බවුනා කියලයි.

    ReplyDelete
    Replies
    1. කෙහෙම්මල් පැපොලක් නිසා එන්න බැරි වීම ගැන හෙනම අස්පට්! පොත් වගේකුත් තියෙනවා දෙන්න. මේ විස්තරය කියවලා හැබැම සතුටක් දැනුන. පුදුම වටින වැඩක් අක්කේ.

      Delete
  10. සුභ පැතුම් තරූ............ තරු අපේ සින්ඩියේ ඔබේ බ්ලොගය දාගෙන නැත්ද?????? මං හිතන්නේ අපිට මගහැරිලා...... ඔන්න දැම්මා.....

    http://kurutugegeepawra1.blogspot.com/

    ReplyDelete
    Replies
    1. නෑ නෑ හරි හරි තියෙනවා....... ඒත් තරූ මං බැලුවේ අැයි අපේ කොමෙන්ටු මගහැරුනේ කියලා....... හරි හරි ගැටලුව ඉවරයි.......

      Delete
  11. තරූ .... මගේ කවියක් ඔයාගෙ තරු අහසෙ උඩින්ම පායල තියෙන එක ගැන සතුටුයි...
    ඊටත් වඩා සතුටුයි ..ඔයාට වැළදුණු මේ සුන්දර රෝගය ..හැම ගමකම එක්කෙනෙකුට හරි වැළදිලා
    පුංචි පුස්තකාල හැම තැනකම බෝ වෙනවා නම් ....
    .............................................................................
    ( තව කෙනෙකුට ප්‍රාර්ථනා කරන්න මං කැමතිම පැතුම )
    තබන හැම පියවරකම කෙළවර ..ඔල්වරසන් ..තුටු පඬුරු.. නොලදත්
    ආත්ම තෘප්තිය ඔබ ළඟ රැදේවා ....

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...