පිටු

Tuesday, October 4, 2016

නිවුණු තරුවයි ඈ හයිපතියා..


නිවුණු තරුවයි ඈ
හයිපතියා..
සේසරුගෙ දෙවොලේ
ඉර හඳ ද මියැදුණු දා
ධර්ම අධිකරණේ...

ඇයයි ඒ ගැහැනී...
මිනිස්කම හැර වන්දනීයවු
අන් යමක් නැති බව ම දිවු රූ
ඇයයි ඒ ගැහැනී...

විශ්වයේ උස් අසිරියේ
කිමිද ඔද තෙද පෑ
තාරකා මාලිමාවී
අවුලුවා ලූ මිනිස් මහිමය
කොතැන නම් සඟවන්න හැකි වෙද


තාරුකා ඇස් නිවී ගිය මුදු
සත්‍යයේ මාලිමා ඇස මැවු
ඇයයි ඒ ගැහැනී...
මිනිස්කම හැර වන්දනීයවු
අන් යමක් නැති බව ම දිවු රූ
ඇයයි ඒ ගැහැනී...
හයිපතියා..



හයිපතියා Hypatia....... ඈ අකල්හිම නිවා දැමුණු තාරකාවක්. ක්‍රි.ව. 357 වන විට ලොව අගනාම පුස්තකාලය තිබුණෙ ඊජිප්තුවෙ ඇලෙක්සැන්ඩ්‍රියා නුවර. ඒ පුස්තකාලයෙ පාලකයා වුණේ තියොන් ඇලෙක්සැන්ඩර්. ඔහු දාර්ශනිකයෙක්. හයිපතියා කියන්නෙ ඒ දාර්ශනික තියොන් ගෙ දියණිය. ඇය උපන්නේ ක්‍රි.ව.350 -370 අතර කාලයේ. පිය උරුමයෙන් එන බුද්ධියේ ප්‍රභාව වගේම පිය අඩිපාරේ යමින් ඈ උකහා ගත් දැනුම ද, ඇලෙක්සැන්ඩ්‍රියා පුස්තකාලයේ ගොනු වී තිබුණු මහා ඥාන සම්භාරයද හයිපතියාට මහා ආලෝකයක් වුණා. පසුකලෙක ඒ ආලෝකයම අන්ධකාරය තුළ අමානුෂික විදියට නිවා දැමුණා වුණත්. 


ගණිතයට හා තාරකා විද්‍යාවට විශේෂ ඇල්මක් දැක් වූ හයිපතියා කාලයට සාපේක්ෂව එම විෂය දැනුමෙහි ප්‍රාරප්‍රාප්ත වන තරමට හැදෑරීම්වල නිරත වුණා. ඇය ඇලෙක්සැන්ඩ්‍රියාවේ පැවති ප්ලේටෝනියානු පාසලේ ප්‍රධාන ආචාර්යවරිය ලෙස සේවය කළා. මේ වෙද්දි කොන්ස්තන්තීනු අධිරාජ්‍යයාගේ බලපරාක්‍රමයෙන් අධිරාජ්‍යයේ ආගම බවට පත් වූ ක්‍රිස්තියානි පල්ලිය බලසම්පන්න විදියට පැතිරෙමින් තිබුණා. එය ඊජිප්තුවටත් කඩාවැදුණා.

හයිපතියා සොබාදහම සහ මනුෂ්‍යත්වය ගැන විශ්වාසය තැබූ ධෛර්යවන්ත ගැහැනියක්. ඇය පල්ලියේ බලයට යටත් වුණේ හෝ බිය වුණේ නැහැ. මනුෂ්‍යයා තම ජීවිතය තුළින් ලබන්නාවූ අත්දැකීම් ඔහුට සැබෑ ඥානය ලබා දෙනු ඇති බව ඇය තරයේ විශ්වාස කළා. ඇය සමස්ත විශ්වයේ ක්‍රියාකාරිත්වය තේරුම්ගන්න තදින්ම මනස මෙහෙයවුවා. කාලය වැය කළා. අවසන ඇය නිගමනයකට එළඹියා. ඒ පෘථිවිය සෞරග්‍රහ මණ්ඩලයේ කේන්ද්‍රය නොවන බව. එහි කේන්ද්‍රය සූර්යයා බවත්, පෘථිවිය ඇතුළු ග්‍රහ මණ්ඩලය ඒ වටා ඉලිප්සාකාරව කරකැවෙන බවත් ඇය ප්‍රකාශ කළා. තාරකා මාලිමාව ඇය විසින් සොයාගැනුණු, නිර්මාණය කෙරුණු අග්‍රගණ්‍ය නිර්මාණය ලෙස සැලකෙනවා. ASTROLABE එය තාරකා විද්‍යාවේ අපූර්වතම ජයග්‍රහණයක්.

ක්‍රිස්තියානි අධිරාජ්‍යවාදයට යටත් වූ ඊජිප්තුව තුළ තවදුරටත් ඇයගේ දැනුමට ඉඩක් තිබුණෙ නැහැ. ඇයගේ නව දැනුම එවකට පල්ලිය දුටුවෙ මිථ්‍යා දෘෂ්ටියක් විදියට. ක්‍රිස්තියානියට පටහැණි ඉගැන්වීම් කිරීමේ වරදට ඇය අත්අඩංගුවට ගැනෙනවා. තමන් සොයා ගත් දෑ බොරුවක් ලෙස ප්‍රකාශ කරන්නටත්, ක්‍රිස්තියානිය වැළඳගන්නටත් හයිපතියාට බල කෙරෙනවා. නමුත් ඇය එයට එකඟ වෙන්නෙ නැහැ. අවිද්‍යාවේ අන්ධකාරයෙන් වැසී සිටි, බලපරාක්‍රමයෙන් උද්දච්ච වී සිටි පල්ලිය දරුනු වධ හිංසා පමුණුවා ඇය ප්‍රසිද්ධියේ පුලුස්සා මරා දැමෙනවා. විශ්වය එළිය කරන්නට පෑයූ සුවිශේෂ තාරකාවක් පල්ලිය විසින් විනාශ කරදැමෙන්නේ ඒ විදියට. 


හයිපතියා විසින් සොයා ගැනුණු විශ්වයේ අසිරිමත් සත්‍යය ලෝකය දැන හඳුනාගන්නෙ තවත් වසර 1000 කට පසුව. ඒ නිකලස් කොපර්නිකස්ගේ සහ කෙප්ලර්ගේ මැදිහත්වීමෙන්. සියවස් ගණනාවකට පසුව චන්ද්‍රයාගේ පවතින විශේෂ භූ ලක්ෂණ දෙක හයිපතියා භූ ලක්ෂණ යනුවෙන් නම් කෙරෙනවා. ඒ විශිෂ්ට තාරකා විද්‍යාඥවරිය වන හයිපතියා සිහිවීම වෙනුවෙන්. ( සටහන, අන්තර්ජාල ඇසුරිනි.)

ඇයගේ ජීවිතය සිනමා සිත්තමකට නැගුණෙ අගෝරා නමින්.






6 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. අගෝරා ගැන මම කලින් අහල තියෙනව. බලන්න ඕනමය කියල හිතාගෙන හිටියත් තවමත් ඒකට අවස්ථාවක් නොලැබුනු සිතුවම්පට රාශියෙන් එකක්....

    Thanks Madam....:)

    ReplyDelete
  3. මේ විස්තරය නම් අළුත්. කවිය ලස්සනයි.
    ෆිල්ම් එක අනිවාර්යෙන් බලන්න ඕන. මෙහෙම කතා තියෙන ෆිල්ම් බලන්න මම කොහොමත් කැමතියි.

    ReplyDelete
  4. "හයිපතියා" අමුතු නමක්.
    ෆිල්ම් එක බලන්න මටත් ආශාවක් අවා.හම්බ වුනොත් බලන්න ඕන.

    ReplyDelete
  5. ස්තුතියි තරුරසී, ෆිල්ම් එක හොයාගෙන බලන්න ඕන..

    ReplyDelete
  6. හොඳ චිත්‍රපටයක්. ආගම් වලින් මිනිස්සු මුලා කරල ආගමේ නාමයෙන් බිහිසුණු ඝාතන වලට යොමු කරන්නේ කොහොමද කියන එක ගැන හොඳට පෙන්වනවා.

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...