Thursday, April 11, 2019

#PowerCutPoems


අඳුර ය... අඳුර ය
අන්ධ අඳුර ය සැමත
දෑස් වසා ගත්
නීතියේ දෙවඟන
නිරුවතිනි...

පන්සල්, පල්ලි, කෝවිල් ගැබෙන්
ශාස්තෲන් පළවා හැර
රජ කරයි
අධර්මයේ අඳුර...

නොමිනිස් විදුලි සැරෙන්
දා පිලිස්සී ගිය දේශයක
මිනිසිබවේ පහනක් දල්වනු රිසින්
මේ අන්ධකාරයේ
සුසුම හා එක්වන්න...


ගතු කියා කුමකටද
කළුවරට
නිවී ඇති දා
හදවතේ පහන...
අඳුරම මිස
වෙලාගත් දසත
ආලෝකයක් කොයි වෙද
තියුණු අසිපතක් ගෙන එන්න
ප්‍රේමයේ
කපන්නට මේ කට්ට කළුවර
කුට්ටි කුට්ටි...


ක්ලික් ක්ලික්
ඔරලෝසුවට නෑ වගක්
එළිය ඇතත් නැතත්
මදුරුවනේ
ඇයි මෙච්චරම කලබලේ
බිතෝවන් සිම්පනියක් තරම්
මිහිරියි කියා හිතුවාද
ඔය චර බරේ...
හිතුව මදි අල්ලාගන්න
දැල එළාගත්තේ කළින්ම
නා නාප්‍රකාර මදුරු සංගීත සාජ්ජ
කොයික වුව දැන්
හා හා දැලෙන් එපිට....


සේපාලිකා මල් බිමට බැහැලා
ඇවිදින්න යනවද
රෑ තාරකා එළි
වැව් දියට පෙම් බැඳ
රටා මවනවද
කණමැදිරි රංගන
මුතු මුතු ඇමිණි
කලඑළි දැකලද...
නොදනිම්...
දොර ඇරන් එළියට එන්න
මේ රැයේ මිහිරිම වෙලාවයි
රත්න ශ්‍රී කිව්වත්
මේ අන්ධකාරේ දොර ඇරන්
කොහොමද
සොරුන්ගේ වෙලාවය...
තෙමාගෙන යම්තමින් මුණ
තුන්කාසෙන් දහදිය වැගිරි වැගිරී
ඉද්දී මෙහෙම කළුවරේ
ජීවිතේ සුන්දරද මෙතරම්
ගීතයම මතක් වෙන හැටි...

(ආණ්ඩුව කරන්ට් කපද්දි හොරුන්ට රජ මගුල්ලු. සැලකිල්ලෙන් ඉන්න. )


මං කැමති
මේ අන්ධකාරෙට
දොර ඇරන් එළියට
යා නොහැකි...
හද දොරගුළු ඇරන්
මට මා තුළටම
යා හැකි...


අන්ධකාරෙට වුණත්
ඇස් ඇති
හඳ එළියක්ව
තරු කිරණක්ව
ඒ නෙත් කැල්ම
දැල්වෙනු ඇති...
මුදු සුසුමක්ව
පිනි කඳුලක්ව
තෙත ඇස්වලින්
හඬනවත් ඇති...
තිත්ත කළුවරටත්
සත්තකට
කාටත් නොපෙනෙන්න
රහසින් හඬන
හිතක් ඇති...
පිච්ච සුවඳකටත්
අච්වු කරනට හැකි
දුක් කතාවක්
කට්ට කළුවර රෑකත්
ඉකිගසනු ඇති....


කවදාවත්ම
හමු නොවූ
නොනිවී දැල්වෙන බව කියූ
ඒ පහන...
දැන් ඉතින් 
කුමකට...

2 comments:

  1. නොම බියවන්
    මා නැගණිය
    අඳුර ඉරාගෙන
    එළිය වැටෙනවා

    වොට් පන්සීයක්
    විදුලිය ගන්නට
    කරුවලනායක
    දැන් සැරසෙනවා

    කොමිස් කුට්ටියක්
    කඩා වැටී උගෙ
    කෝට් සාක්කුව
    පිරිලා යනවා

    ලබන සැරේ ඌ
    චන්දෙට ආවම
    අඳුරෙම ගොස් අපි
    චන්දය දෙනවා

    ReplyDelete
  2. තව මොනවා කියන්නද? අනේ අපි!

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...