පිටු

Tuesday, August 5, 2025

"ජීවිතය දිය දහරක්. එය ගලා යනවා." වත්සලා කන්නන්ගර

 


"ජීවිතය වැරදිය හැකි එසේම නිවැරැදි කළ හැකි ආදරණීය තෝතැන්නක්."

(2025 මැයි මස තරුණි පුවත්පතේ පළ වූ සංවාදයකි.)

ස්වකීය ප්‍රකාශන මාධ්‍යය කවිය කොට ගත්, ඒ සඳහා සමාජ මාධ්‍ය මනා වේදිකාවක් කොට ගත් වත්සලා කන්නංගර කිවිඳිය වෘත්තියෙන් වෛද්‍යවරියකි. මනුෂ්‍යත්වය සහ ප්‍රේමය පිළිබඳ ව බලවත් විශ්වාසයෙන් අකුරු කරන ඇය, යහපත් සමාජයක් සඳහා වන ඇගේ අපේක්ෂාවන් කවිය ප්‍රමුඛව ඇගේ සමාජ මාධ්‍ය ලිවීම් හරහා සහෘද මනසට අභිමුඛ කරවන්නීය. වත්සලා කන්නංගර කිවිඳියගේ ප්‍රථම කාව්‍ය සංග්‍රහය එළිදක්වන්නට කටයුතු සූදානම් කරන සමයක, ඇය තරුණි සංවාද මණ්ඩපයට එක්වන්නේ තාරුණ්‍යය, ජීවිතය සහ කවිය පිළිබඳ ඇගේ නිරන්තර හෘද සංවාදය අප හා බෙදා ගනිමිනි. 

01. කවිය සහ ජීවිතය ඔබ අරුත් දක්වන්නේ  කොහොමද?

විවිධ හේතූ නිසා ඇතිවන රිදුම්, කවිය නිසා නිවෙනා බව  මා කවිය පිළිබඳ අසා ඇති සොඳුරුම අදහස. කවියක් කියන්නෙ මොකක්ද කියල නිර්වචනය කරන්න පුළුවන් පරමාදර්ශී කවියක් අපට තාම හමුවෙලා නෑ වගේම, ජීවිතයත් නිශ්චිතව ම නිර්වචනය කරන්න අමාරුයි. ජීවිතය තුළ ගෙවුණු අතීතයත්, නොදන්නා අනාගතයත්  අභිබවා අප උත්සාහ කළ යුතු වන්නේ මේ මොහොතේ ජීවත් වීම.

කවිය තුළ මුල, මැද, අග කවියාට රිසි විදියට ගලපා ගන්න පුළුවන් වුණත්, ජීවිතය එලෙස ගැලපීම කිසිසේත් කළ නොහැකි දෙයක්. ජීවිතය වදන් කිහිපයකින් පෑන් තුඩකට ගොනු කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. කවියකින් කරන්න පුළුවන් වෙන්නෙත් ජීවිතයේ නේකවිධ පැතිකඩ විවිධ ආකාරයෙන් සියුම් ව දර්පණය කිරීම. ඒ කොහොම වුණත් මිනිස් සිතේ භාවයන් අවුලන්නටත්, නිවන්නටත් හැකි හොඳ ම මාධ්‍ය කවිය බව මා විශ්වාස කරනවා. බොහෝ ගැඹුරු ජීවන සංකල්පනා වචන කිහිපයක කවියක් තුළ ගැබ් කරන්නට හැකි වූ අවස්ථා බොහොමයක් අපට අපේ කවි තුළ හමුවෙනවා.    

02. කිවිඳිය, වෛද්‍යවරිය එසේත් නැත්නම් කවි ලියන වෛද්‍යවරිය මේ ආමන්ත්‍රණයන්  ඔබට දැනෙන්නේ කොහොමද?

කිවිඳියක් වීමටත්, වෛද්‍යවරියක් වීමටත් වඩා යහපත් මිනිසකු වීම ඉතා දුෂ්කර බව මම විශ්වාස කරනවා. මගේ හදවත කවිය වෙද්දි, මගේ කිරුළ වෙන්නෙ මා තෝරා ගත් හා දිනා ගත් වෘත්තිය. ගැහැනියක ලෙසත්, කිවිඳියක ලෙසත්  ජීවත්වන සමාජය තුළ මා සුරක්ෂිත කිරීමට මගේ වෘත්තියට  හැකි වී තිබෙනවා. වෛද්‍යවරියක් වීම නිසාම සාමාන්‍ය ගැහැනියකට එදිනෙදා නොලැබෙන බොහෝ අත්දැකීම්වලට හා සමාජයේ විවිධ පැතිකඩයන්ට මා නිරතුරු  නිරාවරණය වෙනවා.

ඇත්තටම ඒ  දැනෙන සමහර සංවේදනා මා තුළ සිටින කිවිඳිය මාස ගණනක් ගොළු කරනා තරම් රළුයි. නමුත් විටෙක ඒ නිහඬ බව අවසානයේ  මා තුළ ම මා සමඟ ඇති වන හර්ද සංවාද මගේ සිත් ගත් කවි බවට පත් වෙන්වා. කිවිඳියක්, වෛද්‍යවරියක් කියන ආමන්ත්‍රණ දෙකටම වඩා සොයුරියක් ලෙස ඔබ මාව හඳුන්වනවා නම් මම එයට කැමතියි.

03. කිවිඳිය, වෛද්‍යවරිය, ගෘහණිය, මව මෙබඳු භූමිකා රැසකට ඔබේ තාරුණ්‍යයෙන් ලද පන්නරය මොන වගේද?

ජීවිතය දිය දහරක්. එය ගලා යනවා. මගේ සියලු භූමිකා අතරින් මිනිසෙකුට තවත් මිනිසෙකු වෙනුවෙන් ආදරය කළ හැකි පරිමාව මම සැබැවින් ම හඳුනාගත්තේ මා මවක් වූ පසුව. මගේ ජීවිතය තුළ මෙතෙක් මා ලද සියලු පරාජයන්, මට හමුවූ සියලු අපහසු මිනිසුන්, මා තනිවම මගේ රිදුම් පිරිමැද ගත් අවස්ථා, මට මගේ ශක්තිය අවබෝධ කරවූ නිසා මම මගේ ජීවිතයේ සියලු භූමිකා තුළ වගකීම හිසින් ගත් ගැහැනියක්ව ජීවත් වෙනවා.

අද මම ඉකි ගහල අඬන්නත්, හඬ නඟා හිනැහෙන්නත් බිය නැති ගැහැනියක්. හෙට කියන දිනය අවිනිශ්චිත නිසා අද මේ මොහොත විඳවීම්වලින් තොරව වින්දනය කරමින් ජීවත් වෙන්නයි මම උත්සාහ ගන්නෙ. ලෝකය  යථා රූපීව අවබෝධ කළ හැක්කේ අමාරුම අසීරුම කාල පරිච්ඡේද තුළ දී බව මා අත්දැකීමෙන්  දන්නවා. ශ්‍රී ලාංකික සම්ප්‍රදායික  ගැහැනියකට ගත නොහැකි තීරණ හා තෝරා ගැනීම් මගේ ජීවිතය තුළ තියෙනවා. ඒවා ජීවිතය මට ලබා දුන් හොඳම තේරීම්. ජීවිතය වැරදිය හැකි එසේම නිවැරැදි කළ හැකි ආදරණීය තෝතැන්නක්. සුන්දර තාරුණ්‍යයක් ගාම්භීර නිහඬ වියපත් බවකට මඟ පෙන්වන බව මම විශ්වාස කරනවා.

04. සමාජ මාධ්‍ය තුළ ඔබේ කවිය සමාජ දේශපාලනික වෙනසක් වෙනුවෙන් අවියක් ලෙසත්, සමාජ සංවේදී බව නංවන සහෘද අත්වැලක් ලෙසත් භාවිතා වෙනවා. මේ ප්‍රවේශය එන්නෙ කොහොමද?

මගේ තාත්තා වාමවාදී දේශපාලනයක යෙදුනු අතිශය ප්‍රගතිශීලී මිනිසෙක්. ඔහු මට කිසි දවසක ඔහු විශ්වාස කළ දේශපාලන පක්ෂයේ මතවාද කියා දුන්නේ නෑ. එහෙත් ඔහු මට ජීවිතය ගෙන යා යුතු මානවවාදී, සෞන්දර්යවාදී  දර්ශනය ඔහුගේ ජීවිතය තුළින් ම පෙන්වා දුන්නා. මගේ  සියලු සිතුවිලි පිටුපස තාත්තාගේ හදවතේ රිද්මය තියා ගන්න මම උත්සාහ කරනවා.

ඒ වගේම මා දකින ජීවිතය නම් වර්ණාවලිය තුළ සියලු පැහැයන්ට එකම උපේක්ෂාව තබා ගන්නට මම උත්සාහ කරනවා. කවිය සමාජයට මග පෙන්වන එකම පහන් තරුව විදියට මම දකින්නේ නැහැ. අපි උපතේ සිටම විවිධාකාර රැවටීම්වලට හසුවෙනවා. භාෂාව එලෙස මිනිසුන් රැවටීමට යොදා ගන්න පුළුවන් ප්‍රමුඛ මාධ්‍යයක්. දේශපාලන වේදිකාවල වගේම විවිධාකාර වේදිකා තුළ   භාෂාව අවියක් ලෙස යොදා ගන්නවා.

ඉන්දියානු මහා කවිවර භාරතියාර් වරක් පවසා තිබෙනවා රටක කවියන් දහසක් බිහි කිරීමට වඩා  එක මිනිසෙකුගේ කුස ගින්දර නිවීම වටිනා බව. හදවතේ රිද්මයෙන්, හදවතේ පත්ළෙන් පැන නොනඟින සියලු වචන හිස් බවක් ඇති කරවනවා. ඒවා සාහිත්‍ය හෝ කවිය නෙවෙයි. ඒ නිසා අපේ සියලු කියමන් සහ ලියමන් වලදී අපේ රට ගැන  අපි බොහෝ  සංවේදී  විය යුතුයි.

මට හොඳින් ම සත්‍යය බව දැනෙන දේ පමණක් මා අකුරු  බවට  පෙරලනවා. සෑම කවියක් ම  කවියෙකුගේ හදවත පෙලන කම්පනයක් විය යුතු බව මම විශ්වාස කරනවා. ඉතින් මම කවි  ලියන්නේත් මගේ ඇතුළු හදවතෙහි ඇතිවන ඒ පීඩාකාරී පෙලීමෙන් නිදහස් වීමට. කවි මනසක් කියන්නෙ මට සරු වැඩ බිමක්. මගේ දැක්ම, හදවත හා බුද්ධිය විවිධ මාත්‍රාවලින් නිදහසේ යොදා ගැනීම මට නිවීමක් ගේනවා.

මගේ කවි කියන්නෙ මගේ හර්ද සංවාදය. මා පළමුව ලියන්නේ මා වෙනුවෙන්මයි.

නමුත් මගේ කවි සමාජ මාධ්‍ය තුළ බොහෝ දෙනා ආදරණීය ව වැලඳ ගැනීම, මගේ ලිවීම් පිළිබඳව වඩා වගකීම් සහගත බවකට මා යොමු කරනවා. ප්‍රේමය ලෝකය තුළ තිබිය යුතු එකම භාෂාව බව විශ්වාස කරන්නියකට ඇයව කියවන පාඨක සමාජය ප්‍රහර්ශයක්.

05. කවි හදක්, කවි බසක් තාරුණ්‍යය අර්ථවත් කරන්නේ යැයි ඔබ සිතනවාද?

අනිවාර්යයෙන්ම ඔව්. අධ්‍යාපනය, සාමාන්‍ය දැනීම, එදිනෙදා ලැබෙන අත්දැකීම් මේ සියල්ල මනුස්සයෙකුගේ තර්කනය හා ජීවන බුද්ධිය වැඩි දියුණු කරනවා. ඒ අතර කවිය  අපේ  භාවමය බුද්ධියට ආමන්ත්‍රණය කරනවා.  මිනිස් සිත් තුළ  මනුෂ්‍යත්වය පිළිබඳ ව ඇති රාමු කළ අදහස් සහ සීමාවලින් ඔබ්බට ගොස් මිනිසුන් මිනිසුන් ලෙසින් දැකීමටත්, අවබෝධයටත් කවිය සහ සාහිත්‍යය තෙවැනි ඇසක් අපට දෙනවා. සිත් තුළ ඇති ආදරය, සහකම්පනය, අනුකම්පාව වැනි ඉතා ඉසියුම් සංවේදනාවලට  සංවේදී මිනිසුන් කවියෙන්, සාහිත්‍යයෙන් බිහි කළ හැකියි.

තව මිනිසෙකු ඔහුගේ  ජීවිතය  විඳ දරා ගැනීම පිළිබඳව සංවේදී, වේදනාකාරී මොහොතක ඒ හැඟීමේ කළු සුදු බව පිළිබඳ ව විනිශ්චයකාරවරුන් බවට පත් නොවී, ජීවිතය උපේක්ෂාවෙන් බලා තමන් ජීවත් වෙන අතර, අනෙකාත් ජීවත් කරවන මිනිසුන් සාහිත්‍යය තුළින් බිහි කරවන්න පුලුවන්. සිත් බිඳුණු තැන්වලදී වෛරය ඉදිරියට කැඳවා නොගෙන තමන් සතු රිදුම් එකින් එක සෙමින් සුවපත් කර ගැනීමට  කවිය සහ සාහිත්‍යය ඔසුවක්.

අනවබෝධයත්, ආත්මාර්ථයක් නිසා අවි අමෝරා ගන්නා අද ලෝකයේ  මිනිසුන් ට බොහෝ දීර්ඝ දේශනාවකින් කිව යුතු ගැඹුරු දහමක්, පද හතරක පහක කවියකින් ඉතා පැහැදිලි ව කියන්න කවියන්ට පුලුවන් .

06.  වත්මන් තාරුණ්‍යය හමු වේ ඇති අභියෝග ඔබ හඳුනාගන්නේ කොහොමද? ඒ අභියෝග ජය ගන්නට අද තරුණ පරපුරට ඔබේ සහෝදරාත්මක ආමන්ත්‍රණය කෙබඳද?

තාරණ්‍යය කියන්නෙ මිනිස් ජීවිතේ ජවයෙන් යුතු ම අවධිය. සිහින සහ බලාපොරොත්තු පමණක් ජීවිතය දිනා ගන්නට සෑහෙන්නේ නැහැ. ඒ සඳහා තම ජීවිතය තුළ කැපවීමෙන් වැඩ කළ යුතුයි. ඔබට යටපත් නොවුණු, ස්වාධීන ජීවිතයක් උවමනා බව දන්නවා නම්, ඒ සඳහා ජීවිතයේ වසර කිහිපයක් තදබල ලෙස කැප කරන්නට සිදු වේවි. ස්වාධීන වීමට ශ්‍රී ලාංකික තාරණ්‍යයට ඇති සුරක්ෂිතම සහ හොඳම මාර්ගය අධ්‍යාපනය.

අධ්‍යාපනය කියන්නෙ දැනුම පමණක් නෙවෙයි දැනුම සමඟ, බුද්ධිය, කුසලතා, හදවත හා ජීවිතය පිළිබඳ දැක්ම අවදි කර ගැනීම කළ යුතුයි.  අධ්‍යාපනය අවශ්‍ය හොඳ රැකියාවක් සොයා ගැනීමට පමණක් නෙවෙයි. අධ්‍යාපනය උවමනා වෙන්නේ අර්ථවත් ලෙස ජීවත් වීමට, ඒ වගේම ලෝකය ජීවත් කරවීමට.

තරුවක් කඩා ගැනීමට අවශ්‍ය නම් හඳට ගල් ගැසිය යුතු බවට පැරණි කියමනක් තිබෙනවා. තරුවක් ඉබේ කඩා වැටෙනා තුරු බලා සිටින්නන්ට කිසි දවසක ඔවුන්ගේ  අභිමතාර්ථ මුදුන්පත් කර ගැනීමට බැහැ. ජීවිතයේ සතුට ඇත්තේ මත්ද්‍රව්‍ය තුළ හෝ අසම්මත ජීවන රටා තුළ නොවෙයි. තමන් ගේ ක්‍රියාකාරකම්වල අනාගත ආදීනව පිළිබඳව  හිතා බලනහැඟීම්වලට වහල් නොවූ පරිණත තාරණ්‍යයයක් අපට අද උවමනා කරනවා.

ජීවිතය තමා වෙත ආපසු  ගෙන එන්නේ තමන් විසින් ලෝකය වෙත ගෙන යන දෙය ම බව අවබෝධයෙන් ජීවිතය ආදරණීයව ගෙන යෑම සෑම සාර්ථක මිනිස් ජීවිතයක ම පදනම බව මම තරයේ විශ්වාස කරනවා.

සංවාද සටහන - තරුරසී ප්‍රනාන්දු 

No comments:

Post a Comment

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...