පිටු

Thursday, June 21, 2012

සක්මන් භාවනාව



යොවුන් වැඩසටහනක් වෙනුවෙන් අපි මග්ගොන මැසනද් ‍යොවුන් පියසට ගිය බව කළින් පෝස්ට් එකක මම ලිව්ව ඔයාලට මතක ඇති....

ඉතින් සෙනසුරාදා උදෑසන ආරම්භ උණේ සරල සක්මන් භාවනාවකින්... 

( අපේ මේ භාවනා හිත් එක්තැන් කර ගන්න, අළුත් අරමුණක් ජීවිතේට එකතු කර ගන්න අපිම හදා ගත් සරල භාවනාවන්... ‍ඒ නිසා භාවනාව ගැන ගැඹුරු අදහස් මෙයින් බලාපොරොත්තු නොවෙනවනම් හොදයි...)

භාවනාව මෙහෙයවූයේ ගරු මේරියස් පියතුමා.. මම ඔයාලට කළිනුත් කිව්වනෙ බටපුරු හෙ‍වණේ භාවනා මධ්‍යස්ථානය ගැන... මෙතන ඉහට උඩින් බට අතු වියනයි... නිල් අහසයි.... පයට තණනිල්ල... ගස් කොට, කුඩා කොන්ක්‍රීට් කැට තමයි ආසන වෙන්නෙ...

( පාවහන් ගළවා පැමිණෙන ලෙස අපට කළින්ම උපදෙස් ලැබී තිබුණා... උදේ හතේ කණිසමට තණබිස්සේ පිණිකැට වේලිලා නැහැ. නිරුවත් දෙපයට දැණුනෙ අපූරු සීතලක්... අනේ ඉතින් මේ වගේ සැප විින්න අපේ කකුල් පින් කරල නැහැනෙ... හැමදාම රබර් සපත්තු, සෙරෙප්පුවල හිරකාරයෙක් වෙලා.... ඒ වෙලාවෙ හුළත් හරිම සනීපයි... හුස්ම ගන්න බයකුත් නැහැ.... වටපිටාවෙ ගහකොල පිරිලනෙ.... ගන්න හුස්ම අතිපිරිසිදු බව නැහැතුඩුවලටත් දැනෙනවා..... )


පියතුමා භාවනාවට පිවි‍සුණේ මේ විදියට... පුරුදු තැන්පත් සරල ස්වරයෙන්...

'' මහපොළව පාගන්න ලැබිම භාග්‍යයක්.....

 ඊයා කියන්න ඕනෙ නැහැ............. ඈක්ක කියල හිතන්න ඕනෙ නැහැ........

මහපොළවේ තියෙන කටුක බව, සීතල, උණුසුම මේ හැමදේම අපි විින්න ඕන....

ඒක තමයි ජීවිතය. ....

අපි පුරුදු වෙලා ඉන්නෙ නිතරම සෙරෙප්පු දාගෙන ඉන්න....
ගෙදරදි සෙරෙප්පු දාන්න ඕනෙ නැහැ... ‍ගෙදර වටපිටාව අපි පිරිසිදුවට තියා ගන්නවනම් කිසිම අපහසුතාවයක් නැතිව අපට නිරුවත් දෙපයින් ඇවිදින්න පුළුවන්නේ.... හැකිතාක් පොළව පාගන්න...
දෙපතුල් උණත් ඕනෑවට වඩා හුරතල් කරන්න ඕනෙ නැහැ...

දෙපය නිදහස්ව ඇවිදින එකෙන් දෙපයේ නිලවල තෙරපුමක් ඇති වෙනවා... එයින් ස්නායු උද්දීපනය වෙලා සුවදායකබවක් ඇති වෙනවා...

මහ පොළව පාගන්න ලැබෙන එක භාග්‍යයක් වෙන්නෙ ඒ නිසයි....''


'' අපි මේ ඉන්නෙ කළුතර දිස්ත්‍රික්කයේ.... ලංකාවේ වැඩිම ආරණ්‍ය සේනාසන සංඛ්‍යාවක් තියෙන්නෙ කළුතර දිස්ත්‍රික්කයේ... බොහෝ වෙලාවට ආරණ්‍ය සේනාසනයක් බිහි වෙන්න අවශ්‍යම කරුණු තුනක් තියෙනවා...

v  පොඩි කඳු ගැටයක් තියෙන්න ඕන..
v  කන්ද වහගෙන ලස්සන වනපෙතක් තියෙන්න ඕන...
v  ආසන්නයෙන් ගලා යන දොළ පාරක් තියෙන්න ඕන...

වනවාසී යෝගීන් වහන්සේලා අතින් ගොඩක් හො පොත් ලියවෙන්නෙ සොබාදහමත් එක්ක, සතා සීපාවා එක්ක එතුමන්ලගේ තියෙන  සමීප සම්බන්ධතාවය නිසා... තැන්පත් සරල ජීවන රටාව නිසා....
මේ ආරණ්‍ය සේනාසනවල සක්මන් මළු තියෙනවා... අඩි 03 ක් විතර පළලයි... වනවාසී භික්ෂුන් වහන්සේලා භාවනා කුටිවල නිතරම භාවනාවේ යෙදිල ඉන්නවා... ඒ අතර සක්මන් මළුවත් එතුමන්ලාට වෙනස් ඉරියව්වකින් භාවනා කරන්නට, භාවනා කළ කරුණු මෙනෙහි කරන්නට උදව් වෙනවා.... මේ මොහොත නිහැියාවේ රසය අත්දකින මොහොතක්.... සොබාදහමත් එක්ක ඒකාත්මික වෙන මොහොතක්.....

( ආරණ්‍ය සේනාසන ගැන, වනවාසී භික්ෂුන් වහන්සේලාගේ ජීවන රටාව ගැන දැනුමැත්තෙක් ලියනවනම් ආසයි කරුණු දැන ගන්න...)

කණ්වල එක එක දේවල් ගහගෙන, කන් අඩි පැලෙන සද්ද බද්දවලට හුරු වෙලා ඉන්න කොල්ලො කෙල්ලො මේ නිහැියාවේ රසයත් විින්න පුරුදු වෙනව නම් හොයි.... අද අපි යොමුවෙන්න සරල සක්මන් භාවනාවකට....''

භාවනාව තුළ මේ ව‍ගේ කරුණු ටිකක් පිළිපදින්න අපි එක වෙමු....

·         ඇවිදිමු තැන්පත්ව.... කලබලයකින් තොරව.. සෙමින් දෙපා තබමු.
·         කවුරුවත් දිහා නොබල ඉමු.. ඇස් හමු වෙන්නට බැහැ.
·         ඇවිදින අතරේ බොහෝ දේ හමු වේවි... ඒ සියල්ල පසුකර යන්න.... නමුත් අමතක නොවන, නිතර ඔබේ සිත අවදි කරන යමක් වේ නම් ආපසු ගොස් එය අතට ගන්න.
·         ඒ තුළින් ජීවිතය දකින්න උත්සාහ කරන්න. ජීවිතයට අරුතක් එක් කර ගන්නට උත්සාහ කරන්න.
·         ඒ දෑතට ගත් දෙය පල්ලියේ අල්තාරය මත තියෙන කුරුසිය ළගින් තියන්න.... පුංචි යැදුමක් පැතුමක් කරන්න.
පියතුමාගේ මේ කතාවෙන් පස්සෙ අපි නිහවම සක්මන් භාවනාවට පිවිසුණා... ඔන්න දැන් ලියන්නෙ සක්මන් භාවනාවේ මගේ පෞද්ගලික අත්දැකීම ............

ඔන්න මගේ භාවනාත්මක අත්දැකීම

ඇත්තම කියනවනම් මුලින්ම හෙමින් පා තියන්න අමාරු උණා... ඇයි ඉතින් උදේ නැගිට්ට වෙලේ ඉන් කෑම හදන්න, බත් බින්න, අස් කරන්න, අතු ගාන්න, ලෑස්ති වෙන්න, කෝච්චියට දුවන්න... 
කෝච්චියෙන් බැහැපු වෙලේ ඉන් අටහමාරට කළින් ඇිල්ල තියා ගන්න දුවන්න..... ඔය වගේ දුවන ජීවිතයක්නෙ තියෙන්නේ.... ඉතින් හෙමිහිට පොළවට නොදැනෙන්න ඇවිදින එක ලේසි නෑ... ටික වෙලාවක් ගියා .... දඩිබිඩි ගමන් විලාසය සන්සුන් කර ගන්න...

ඉන්පස්සෙ ඉතින් හිත දුවනවා... ළමයි ටික එකම හරියෙ ගැවසෙන්නෙ.. ඒ මදිවට සිමෙන්ති පඩියක් උඩ තුන් හතර දෙනෙක් එක පෙළට වාඩි වෙලා.... මේ මොන විකාරද කියල හිතෙනවා ඇති.... අඩුම තරමෙ මේ ටික වෙලාවටවත් නිදහසේ ඉන්න ඕනෙ... අනිත් අයගෙ වැඩ ගැන නොහිතා.... එහෙම හිතල මම ශාලාවෙන් අනිත් පැත්තට ගියා... ඒ පැත්තෙ මමම විතරයා.... මල් ගස් ඇරුණම එක දිගට විහිදුණු තණපියස.....

මම හෙමිහිට ඇවිදගෙන ගියා... ඔන්න දැන හිත ටික ටික සන්සුන්... මෙහෙම සැහැල්ලුවෙන් ඇවිදගෙන යන කොට... තුත්තිරි ගහක් හමු උණා... මම ඒ තුත්තිරි ගහ පහු කර ගෙ‍න ගියා... ඒත් මෙන්න තුත්තිරි ගහ මගෙ හිතේ ඇලවිලා....

''......... මේ තුත්තිරි ගහ තුත්තිරි මල් යායක් වෙන්න පුළුවන්... තුත්තිරි මල් යායක් දුරට දකින්න ලස්සනයි... ඒත් කවුරුවත් ඒ මැදට යන්න කැමති වෙන්නෙ නැහැනෙ... තුත්තිරි ඇනෙනවා.. ඒක මහා දුකක් නොවුණට කරදරයක්... තුත්තිරි ඇළුණම ගලවන එක එපා වෙනවා. ඒ විතරක්ද ගලවල දාන දාන තැන පැළ හැදෙනවා.... අපේ හිත්වලත් මේ වගේ තුත්තිරි ගස් පැළවෙන්න පුළුවන්... තරහ, කලකිරීම, නොරිස්සුම, උදාසීන ගති, ඊර්ෂ්‍යාව..... මේ වගේ තුත්තිරි ගස්... මේවා විගහින්ම ගලවල දාන්න ඕන... නැත්නම් මමත් මේ ලෝකෙ අසුන්දර, අප්‍රසන්න තැනක් කරන්න දායක වෙනවා.... ''

මගේ හිත මට කියනවා.... '' ඔයාගෙ හිතෙත් මේ දවස්වල තුත්තිරි ගස් කීපයක් තියෙනවා නේද? ඉක්මණින්ම ඒවා ගලවල දාන්න...''

හිතත් එකක් සංවාදයක යෙදෙමින් මම ඉදිරියටම සක්මන් කළා... මෙන්න තණකොල අතරින් පුංචි සුදු මොට්ටු වගයක් එබිකම් කරනවා... මම හෙමිහි‍ට පාත් වෙලා බැලුවා... චූටි බිම්මල් කිහිපයක්... පාවහන් පැළි දෙපයින් දඩිබිඩියෙ දිව්වනම් මේ පුංචි සොබාදම් දරුවො මගේ පයට පෑගිලා පොඩි වෙලා යනවනේ.... ජීවිතේ සරල සුන්දර කාරණා කොයි තරම් නම් මග හැරිල යනවද මේ කාර්යබහුල ජීවන රටාවත් එක්ක....

මම ආපසු හෙමිහිට එන ගමනෙ අර මගෙ හිතේ ඇලවුණු තුත්තිරි ගහත්, තවත් තුත්තිරි ගස් කිහිපයකුත් ගලව ගත්තා.... පුංචි පල්ලියට ගිහින් කුරුසිය ළ ඒ තුත්තිරි ගස් තිබ්බා.... හිතින් ජේසූට මෙහෙම කිව්වා....

හෘදයෙන් සාන්තදාන්ත වූද....බැහැපත් වූද ජේසුනී
අපගේ හෘදයන් ඔබගේ දිව්‍ය හෘදෙට සමාන කළ මැනව.....

'' ආදර ජේසූනී, තුත්තිරි ගස් ගලවල දාලා ම‍ගේ හිත පිරිසිදුව තියා ගන්න මට උදව්වෙන්න....''

Wednesday, June 20, 2012

කිරි වීදුරුව


මම වැඩ කරන්නෙ රජයට සම්බන්ධයක් තියෙන ආයතනයක.... ( කොහෙද කිව්වොත් කට්ටිය මගේ බ්ලොග් බලන්න එන එකකුත් නැහැ.... බ්ලොග් එකේ කුණුහරුපත් ලියන්න ඉඩ තියෙනවා.... )

මට දැනෙන හැ‍ගෙන දේවල් විවෘතව කියන්න හිතෙනවා... එත් ඉතින් සුදු වෑන් හීනෙන් පේනවා.... මේ වගේ අදහස් අහිංසක පුරවැසියෙක්ගෙ හිතට එන එක වළක්වන‍්නෙ කොහොමද?  මේව හිතෙන හැමෝම අවි ආයුධ අරන් විප්ලව කරන්න යන්නෙත් නැහැනෙ..... නේද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම දීල තියෙන අදහස් දැක්වීමේ නිදහස පාවිච්චි කරනවා විතරයි..

අපිට දවසකට කිරි වීදුරුවක් දෙන්න යනවා රු. 20 කට..... නරක නැහැ වැඩේ.... එළකිරි එකක් බොන්න තියෙනවනම් හොයිනෙ....

මහා ප්‍රශ්නෙකට පුංචි පැලැස්තරයක්.... ‍මොන්ටිසෝරි ළමයින්ට කිරි වීදුරුවක් දුන්නට, අපි වගේ රජයේ සේවක සුළු පිරිසකට කිරි වීදුරුවක් දුන්නට කිරි ගොවියන්ගෙ ප්‍රශ්නෙ විසදෙනවද? ඕක තමයි මට තියෙන ප්‍රශ්නෙ......

මේ තරම් මුදල් කන්දරාවක් සංවර්ධනය වෙනුවෙන් වැය කරන රටේ සාමාන්‍ය ගොවි ජනතාවගෙ නිෂ්පාදනවලට අගය වටිනාකමක් එකතු කරල  සකසුරුවමට, ආකර්ශණීය විදියට, ‍පෝෂ්‍යදායක විදිහට වෙළපළට යොමු කරන්න වැඩපිළිවෙලක් සැකසෙන්නෙ නැත්තෙ ඇයි...

ප්‍රාදේශීය මට්ටමින් මේ ආහාර නිෂ්පාදන ආයතන රාජ්‍ය අනුග්‍රහයෙන් ඇති කරන්න පුළුවන් නම් හොයි නේද කියල මට හිතෙනවා.... විශාල රැකියා ප්‍රමාණයක් නිර්මාණය වෙනවා.. ගමේ කුඩා ගොවි මහත්තයටත් හො මිලක් ලැබෙනවා..  ‍නිෂ්පාදනය කරල විතරකුත් මදි වෙළපළ පහසුකම් දියුණු වෙන්නත් ඕන... අනික මාධ්‍ය හරහා දේශීය ආහාර නිෂ්පාදන ගැන වැඩි උනන්දුවක් ඇති කරන්නත් ඕන...

මේ කොයි දේ කළත් වැඩක් නැහැ ඉතින් සාමාන්‍ය ජනතා‍වගේ අතේ පිච්චිය නැත්නම් Value added products මිල දී ගන්න.... 

Monday, June 18, 2012

සතිඅන්තය සොබාදම් මව් තුරුල්ලේ...


පසුගිය සති අන්තය ගෙවුණේ සොබාදහමයි, නව යෞවනයයි එක්ක... රාජ්‍ය නොවන සමාජ සේවා ආයතනයක වැඩ කරන මගේ යාළුවෙක් නව යොවුන් කොල්ලො, කෙල්ලො විස්සක් සහ අම්මලා දෙදෙනෙක් එක්ක යොවුන් වැඩසටහනකට මග්ගොන මැසනද් යොවුන් පියසට ගියේ පසුගිය සිකුරාදා... වැඩ ඇරිල හවස කට්ටියට එකතු ‍උණේ මරදාන දුම්රිය නැවතුම්පළේදි... දුම්රියේ ගමන වෙනදා තරම් සුවදායක උණේ නැහැ... සති අන්තය සහ රාජකාරි නිම වෙන වේලාව නිසා ලොකු තදබදයක් තිබුණා .. මග්ගොන දුම්රියපළින් බැස ගත් අපිව මැසනද් යොවුන් පියස දක්වා ගෙන යන්න පියතුමා වෑන් රථයෙන් පැමිණ තිබුණා....

මැසනද් යොවුන් පියස

'' අම්මා............  ගෙදර ආවා වගේ සනීපයක් හිතට දැනෙනවා... '' මම වෑන් එකෙන් බැස්සෙම එහෙම කියාගෙන.. මැසනද් යොවුන් පියස අපට නුහුරු තැනක් නෙවෙයි... නිතරම විවිධ වැඩසටහන්වලට එන යන තැනක්... බිම් මහළේ තියෙන පරණ තාලේ විශාල කුළුණු සහිත දිග කොරිඩෝර සහිත විශාල ශාලාව, සීතල සිමෙන්ති පොළව, චාම් පුංචි පල්ලිය හිතට නිවනක් ගේනවා... උඩු මහළ ‍ගැහැණු පිරිමි වෙන් වෙන් වශයෙන් සිය දෙනෙකුට පමණ නේවාසිකව ඉන්න පුළුවන් ශාලා දෙකකින් සමන්විතයි.. වෙනම දේශන ශාලාවක් තියෙනවා විශාල වේදිකාවක් සහිත...

ගොඩක් පැරණි ගොඩනැගිලි... මේ සියලුම ගොඩනැගිලි සිංහල උළු සෙවිලි කර තිබුණාලු.. නමුත් පසු කාලෙක ඒ උළු ඉවත් කර ඇස්බැස්ටස් තහඩු දමා ඇති බව පියතුමා පවසන්නෙ වේදනාවකින්.... සිංහල උළු වහළයේ පුංචි මතකයක් ඉතිරි වෙලා තියෙනවා දේශන ශාලාවේ එක් කොටසක පමණක්....

කෑම කාමරය, මුළුතැන්ගෙය චාම්.. පිරිසිදුයි. පිළිවෙලයි... ඒ මුළුතැන්ගෙයි හදන කෑමත් හරිම රසයි.... හැටන්වලින් ආව දෙමළ පවුලක් පියතුමා එක්ක මේ ආයතනය බලා ගන්නේ... මේ වතාවෙ ඒ අම්ම හිටියෙ නැහැ කෑම හදන්න... එයාගෙ දෝණි දේවිත් අම්මට දෙවෙනි නැහැ... රසට කෑම හදනවා... ඇඹරැල්ල ගෙඩි පිටින් දාලා මාළුවක් හදල තිබුණා මතක් වෙද්දිත් කටට කෙල උණනවා...

බලන බලන අත නිල්ල පිරුණු ගහකොළ... වැලි මිදුලක් ඇත්තෙම නැහැ... පිරිසිදු තණකොල යාය හැන්දෑවට වාඩි වෙලා උණුසුම් තේ කෝප්පයක් බිබී ‍ජීවිතේ ගැන කතා කරන්න කියාපු තැන...

දිගු අතීතයක් තියෙන මේ නේවාසිකය මුලින් භාවිත වෙලා තියෙන්නෙ නිර්මල මරිය නිකායේ පූජකතුමන්ලා වීමට ඉගෙන ගන්නා සිසුන් පුහුණු කරන දෙව්සත්හලක් විදියට. දැන් එය පාසල් සිසුන්, නව යොවුන්, තරුණ තරුණියන් සහා නායකත්ව පුහුණු ඇතුළු විවිධ වැඩසටහන් පවත්වන ස්ථානයක්....

මේ ආයතනය භාරව ඉන්නෙ නිර්මල මරිය නිකායික ගරු මේරියස් පියතුමා... වසර 15 ක විතර අතීතයේ ඉන් මම මේ පියතුමාව දන්නවා... නිහතමානී, සරල, සොබාදහමටත් මිනිස්සුන්ටත් ගොඩක් ආදරය කරන දයාබර පියතුමෙක්... සද්ද දාලා කරන ආටෝප වැඩවලට වඩා හෙමින් නමුත් අර්ථවත් ගමනක් යන දුර්ලභ පියතුමෙක්... මගේ ළ.ක්‍රි.වී. ( ළමා ක්‍රියාකාරී වීරයෝ ළමා එකමුතුව ) අනුශාසක දිවිය ඇරඹුණේ මේරියස් පියතුමා එහි ජාතික අධ්‍යක්ෂකව සිටි අවදියේ.... අපි එතුමාගෙන් ඉගෙන ගත්ත‍ දේ බොහොමයි....

එතුමා තාත්ත කෙනෙක් වගේ අපේ ජීවිතවලට සමීපයි... මැසනද් යොවුන් පියසට යද්දි ගෙදර යනව වගේ හැීමක් දැනෙන්නෙ ඒ නිසයි...


පියතුමාගේ සරල බව, සොබාදහමට ළැදි බව මේ පියසේ ඕනෑම තැනක දැකිය හැකියි...  දිග කොරිඩෝ‍රයේ තියෙන බංකු පෙළ පිටපලු ලෑලිවලින් හදල තියෙන්නේ.... දිගටම තරුණ ජීවිතයට වැදගත් වන කියමන් වියදමක් නැති කලාත්මක බංකු පෙළක්.... කණ්ඩායම් සාකච්ඡා කරන්න ලී කොට රවුමට තබා සකස්  කළ ස්ථාන තියෙනවා... උදෑසන භාවනාවට ගන්න තැන විශාල බට පුරකින් ආවරණය වෙලයි තියෙන්නේ..... එතන ලී කොට, ‍‍කුඩා කොන්ක්‍රීට් කැටවලින් පණහකට පමණ ආසන පණවල තියෙනවා...


මේ ඉසව්වට වතුරෙන් නම් හිගයක් නැහැ... යන යන තැන ළිං, පොකුණු... වෙල් යාය ආසන්නයේ උඩට ‍නොබැපු හතරැස් ළි‍‍ේ වතුර නිල් කැටයක් වගේ... බාල්දිය දාලා අතින් අරන් නාන්න පුළුවන්... අනේ ඒ වතුර ටිකේ සනීපෙ... මේ නේවාසිකයේ නාන කාමරවලින් නෑම, ඇ සේදීම තහනම්. ඒ වතුර හිගයක් නිසා නෙවෙයි... විදුලිය අරපිරිමැස්ම ගැනත් හිතනවා තමයි... ඊටත් වඩා අද කාලෙ බොහෝ ළමයි, ‍යෞවන යෞවනයන් මේ වගේ සුවදායක ස්නානයක අත්දැකීම විල නැහැ... ඒ නිසා ගැහැණු පිරිමි ළමුන්ට  නාන්න මේ වගේ ළිං දෙකක් තියෙනවා යොවුන් පියස ආසන්නයේ...


මැසනද් ‍යොවුන් පියස ගැන නම් තව කියන්න ගොඩක් දේවල් තියෙනවා.. මේ ඇති මම හිතන්නේ... සෙනසුරාදා දවසම පරිසර චාරිකාවකටයි වෙන් වුණේ... ඒ ‍විස්තර මීළ ලිපිවලින් ලියන්නම්... 

Thursday, June 14, 2012

සුවපත් වේවා මව්පියො දෙදෙනා...



මම ආසම කරන දේවල් මොනාද කියල ඇහුවොත් පැහැදිලිවම දෙන්න පුළුවන් පිළිතුරක් තියෙනවා...

1.      පොත්
2.      සංගීතය
3.      සමාජ ඇසුර ( නෑදෑ හිත මිත්‍ර ඇසුර වගේම යහපත් සමාජයක් වෙනුවෙන් මමත් යම් දායකත්වයක් ලබා දෙන්න ඕන කියන එක මම අදහනවා...  )

ගීතයක් අහන්න හරි මුමුණනන්න හරි නැත්නම් මට හරිම පාළුවක් දැනෙනවා... ඒ වගේම කියවන්න පොතක් පතක් අතේ නැත්නම් ඒ වගේම ලොකු හිස්කමක්, පාළුවක් දැනෙනවා....

මම ආස, මට අහන්න ලැබෙන අපූරු ගීත ගැන ‍මගේ අදහස් ඔබත් එක්ක බෙදා ගන්න දරණ උත්සාහයෙදි මම මුලින්ම කතා කරන්න හිතුවෙ ගීතිකාවක් ගැන... ( කිතුනු අපි ගීතිකාවක් කියන්නෙ අපේ ඇදහීම, විශ්වාසය, බලාපොරොත්තු විශ්වයේ භාෂාව වන සංගීතය සමග මුසු කරල ගීතවත්ව දෙවි පියාණන්ට කරන යැදුමකටයි... අපට ගැයුම කියන්නෙ දේව වන්දනාවෙම කොටසක්... නැතුවම බැරි කොටසක්.... )

තාගෝර්තුමා කියල තියෙනවා '' ගැයීම දෙවරක් යැදීමක් '' කියල... ඔයාලත් අහල ඇතිනෙ ඒ ගැන.... තාගෝර්තුමාගෙ කවි කියන්නෙ ඇත්තටම දෙවියන් ආමන්ත්‍රණය කරන ගීතිකා....

ගැයීම දෙවරක් යැදීමක් වෙන්නෙ කොහොමද කියන එක ගැන මමත් ගොඩක් වෙලාවට හිතල තියෙනවා.... මට හිතෙන්නෙ ගායනාවක් කරද්දි අපේ හදවතින්ම අපි ඒ ගායනාවත් එක්ක බැ‍ෙඳනවා. ආත්මයෙන්ම එක් වෙනවා... නිකම්ම වචනවලින් කරන යැදීමකට වඩා ගීතිකාව ප්‍රබල වෙන්නෙ ඒ නිසයි...

පුංචි කාලෙ ඉඳන්ම හරිම ආස ගීතිකාවක් තමයි '' ‍ලේ කිරි කරලා " ගීතිකාව.... කිතුනු විවාහ මංගල දිව්‍යපූජාවන්වලදි බොහෝ වෙලාවට මනාල යුවළ දෙමව්පියන්ගෙ පා නැමදල සරණ බන්ධන පිළිවෙතට පිවිසෙන්නෙ මේ ගීතිකාවෙන්... නව යුවළගෙ, ඔවුන්ගේ දෙමව්පියන්ගෙ වගේම අනිත් අයගෙත් ඇසට කඳුලක් නැගෙන අවස්ථාවක් මේ....

ලේ කිරි කරලා මට පෙව් අම්මා
මා ලෙඩ වූ විට නිදි මරමින් ළඟ ඉන්නා
මගේ විපතෙදි මා අත්නොහරිනා
අනේ සමිඳුනේ මගෙ අම්මා රැකදේවා.....

දහදිය හෙළලා වෙහෙසක් නොබලා
මා වෙනුවෙන් ජීවිතයම පුදන තාත්තා
මගේ සැප පතා සැප අත් හරිනා
අනේ සමිඳුනේ මගෙ තාත්තා රැකදේවා.....

සුවපත් වේවා මව්පියො දෙදෙනා
ඔවුන් විඳින දුක හිරු දුටු පිණි මෙන් වේවා
විඳ නිම නොවෙනා සැපත ලබන්ටා
අනේ සමිඳුනේ මගෙ මව්පියො රැකදේවා....

මොලොව අපි දකින දෙවියන්, බුදුන් අපේ අම්මයි තාත්තයි නේද?අපි පුංචි කාලෙ ඒ අය අපි වෙනුවෙන් කොයි තරම් කැපකිරීම් කරනවද? අපේ කරදඬු උස්මහත් වුණාම අපිට දෙමව්පි‍යන්ගෙ අඩුපාඩු පේන්න පටන් ගන්නවා... අපි තමයි හැමදේම ‍දන්නෙ කියල හිතනවා.. අපේ අතින් එයාලගෙ හිත් රිදෙනවා...  අම්මල, තාත්තල ඇත්තටම පව්... එයාලගෙ වරදක් අඩුපාඩුවක් තියෙන්නත් පුළුවනි... ඒත් කුසේදි නැති නොකර, මැරෙන්නට අත් හරින්නෙ නැතිව, මහමග දාල යන්නෙ නැතිව අපට ජීවිතය දුන්නු නිසාම විතරක් උණත් අපේ ආදරය, ගෞරවය එයාලට හිමි වෙන්න ඕන.....

මේ ගීතිකාව ගැන මතකය අළුත් උණේ හිත සසල කළ සිදුවීමක් නිසයි... ඔයාලට මතක ඇති මම ලිව්වා කැදැල්ල හැරදා ගිය කිරිල්ලියක් ගැන... ඒ නංගී අපේ ගමේ... පසුගිය සෙනසුරාදා ඇගේ අවසන් කටයුතු සිදු වුණේ... ඒ පවුලම ගමේ පාරම්පරික බෞද්ධ.... පුදුමයක් උණේ මළ ගෙදරට ගිය ගමන්ම ඇයගේ සැමියා මගෙන් කළ ඉල්ලීමයි...  ( ඒ මල්ලි තමයි අපේ ගමේ... අපි පුංචි කාලෙ ඉඳලම දන්න හඳුනන අය  )

'' අක්කෙ ඔයාලගෙ ආගමේ හැටියට මොනා හරි කරන්න... මට ෆාද කෙනෙක් ගෙන්නල බ්ලෙස් කරල දෙන්න ''  මේ ඉල්ලීම කිහිපවරක්ම යොමු වුණා... අතින් අල්ලගෙන කඳුළු නැති වියළුණු හිස්ම හිස් මුහුණින් ඒ වගේ ඉල්ලීමක් කරද්දි මගේ ඇස්වලටයි කඳුළු පිරුණෙ...

ඇයි මේ වගේ ඉල්ලීමක් කරන්නෙ.... ඉල්ලීම ඉටු කරන්න උත්සාහ දරන අතරෙ ඇයි ඒ කියන හේතුවත් මට දැන ගන්න ලැබුණා...

නංගි ජීවත් වුණ අවසන් සති කිහිපයේ එයාල නැවතිලා හිටියෙ රාගම නිවසක... කතෝලික යාළුවෙක් එයාව තේවත්තෙ පල්ලියට එක්කරගෙන ගිහින් තියෙනවා... ‍තේවත්තෙ පල්ලියෙ ලස්සන දේව මෑණියන්ගෙ ප්‍රතිමාවක් තියෙනවා... එතනට වෙලා දවසම උණත් ඉන්න පුළුවනි.. ඒ තරම්ම ශාන්තයි... නිස්කලංකයි... ඉතින් මේ නංගිත් ගොඩක් වෙලා එතන හිටියලු.... එදා තමයිලු සැනසීමෙ කෙල්ලට නින්ද ගියේ.. ඉන්පස්සෙත් නංගිගෙ ඉල්ලීම නිසා කිහිපවරක් තේවත්තෙ පල්ලි ගියාලු..

එයා හරිම ආසයිලු මේ '' ලේ කිරි කරලා '' කියන ගීතිකාවට... තමන්ගෙ ජීවිතය අහිමි වෙනවා කියල දැනෙද්දි ජීවිතය දුන්න අම්මයි, තාත්තයි ගැන මොන තරම් දේවල් හිතෙන්න ඇද්ද.... ඉතින් කිරිල්ලියගෙ දේහය ළඟ ශුද්ධවු පැය යැදුම් මෙහෙය කරලා අපි මේ ගීතිකාව ගායනා කළා....

මේ ගීතිකාව ගායනා කළ වෙන කවරදාටත් වඩා වෙනස්ම දුක්බර හැඟීමක් එදා ඇති උණේ... මේ නංගි රෝහලේ ඉන්නකල්ම මට බලන්න යන්න බැරි උණා... හීනෙකින්වත් හිතුවෙ නැහැ මේ ව‍ගේ ඉක්මන් සමුගැනීමක්... අදත් මගේ හිත පසුතැවෙනවා... ‍ඇය වෙනුවෙන් මොනවත්ම කළේ නැහැ නේද කියල...

අපෙන් ලෝකයට, දෙමව්පියන්ට වෙන්න තියන යුතුකම් වගකීම් ඉටු කරන්න ඕන... මොකද අපට මේ ලෝකය දාලා යන්න වෙන දවස අපි හරියටම දන්නෙ නැති නිසා.... ඒ වගේම අපි වටේ ඉන්න අයත් කොයි මොහොතේ අපෙන් සමුගනීද කියල දන්නෙ නැති නිසා....

ප්‍රමාදය පසුතැවිල්ලට හේතු වේ....

ප.ල. මේ ගීතිකාව යූටියුබ්වල තියෙනවා... '' ලේ කිරි කරලා '' සොයන්න... තාම බ්ලොග්වල වැඩි වැඩ දන්නෙ නැති නිසා මේ ගීතිකාව බ්ලොග් එකට ඇතුළ් කරන්න බැරි උණා... 

Friday, June 8, 2012

කිරිල්ලිය කැදැල්ල හැර ගියා... සදහටම



අකුරු හදාරන කාලෙ ඉලමයි මේ කුරුළු ජෝඩුව පෙමින් බැුණෙ.....
වසර ගණනාවක් පෙරුම් පුරල කැදැල්ලක කූඩු උණේ පහුගිය දුරුතු මහේ...
කැදැල්ලේ උණුසුමට කැටි වෙන්නට ලැබුණෙ එකම සතියක් පමණයි...

කුරුළු ඉළන්දාරියා සත් සමුදුරෙන් එහා ඉගිළුණේ
කිරිල්ලියවත් ඉක්මණින් තමන් ළට කැන්ද ගන්න හිතා ගෙන...
අනේ කොයි තරම් බලාපොරොත්තු ගොඩක් පොදි බැගෙන ඉන්න ඇද්ද හිත්වල....

කිරිල්ලිය ගිලන් වුණා.... හීන බො උණා.... කුරුළු ඉළන්දාරියා ආපහු ගම රට ආවා...
අහිංසක කිරිල්ලිය සදහටම දෙනෙත් පියා ගත් බව ඊයෙ දැන ගන්නට ලැබුණා...
පිලිකාවක්ලු කිරිල්ලිගෙ ජීවිතේ අරන් ගියේ......

දෛවය මේ තරම් අකාරුණික වෙන්නෙ කොහොමද?
මේ කර්මයද?
ලබා උපන් හැටිද?
දේව කැමැත්තද?
අපි කන්නෙ බොන්නෙ හුස්ම ගන්නෙ විස නිසාද?

මනාලියක් වූදා කිරිල්ලියගෙ අහිංසක හිනාව, සුන්දරත්වය හි‍තේ මැවි මැවී ජීවිතේ අර්ථය ගැන වැඩි වැඩියෙන් හිතන්න කියල මගේ හිතට බල කරනවා....

ආදර සොයුරිය ඔබට නිවන් සුව අත්වේවා... කිසිදු අත් භවයක මෙවන් අකල් මරණයක් හිමි නොවේවා..
සදාතනික සැනසුම ලැබේවා.....

Thursday, June 7, 2012

සැබෑ වූ සිහිනයක්




ඊයේ ඔෂින් පුංචි අත්වලින් ෂෙඩර් පැළ හිටවනවා.. ( රූපවාහිනියෙ ආයෙම ඔෂින් පෙන්නනවනෙ..... ) ඒ දකිද්දි වසරක මතකය අළුත් වුණා... මේ සුවිශේෂ අත්දැකීම ලියන්න ඕන කියල හිත හිතා හිටියෙ... ඒත් දවසින් දවස කල් ගියා... දැන් ඔෂින් මගේ මතකය අළුත් කර කර ලියන්නම බල කරනවා....

පසුගිය වසරේ අද දවසේ ( 2011.06.07 ) මම ජපානයේ ඕසකා ගුවන් තොටුපළින් මගේ සිහින දේශයට ඇතුළ් වෙන්න තරම් වාසනාවන්ත උණා... මාස දෙකහමාරක අධ්‍යයන කටයුත්තක් වෙනුවෙනුයි ජපානයට යන්න අවස්ථාව ලැබුණේ. එක් අධ්‍යයන චාරිකාවකදී මුණ ගැහුණු ගම්මානයක ප්‍රධානම ආදායම් මාර්ගය උණේ ෂෙඩර් දැව.. ගම්මානය වටා තිබුණු කු පෙළ දැවැන්ත ෂෙඩර් ගස්වලින් වැසී තිබුණා.. අපේ මාර්ගෝපදේශකයා කිව්වෙ මේ ෂෙඩර් ගස් අවුරුදු ගණනාවකට පෙර වගා කළ ඒවා බවයි.. දැන් ඒ ෂෙඩර් ගස් විශාල ව්‍යාපාරයක පදනම උණත්, කපා දමන හැම ගසක් වෙනුවෙන්ම නැවත පැළයක් රෝපණය කරන බවයි ඔහු කීවේ....

අතීතයේ ඔෂීන් වගේම බාල, මහළු, වැඩිහිටි බොහෝ දෙනෙක් වන වගාවට හවුල් වෙන්න ඇති කියල ඔෂින් බලද්දි මට හිතුණා...

ජපන් රටේ උපත ලබා ලංකාවට ආව
බෝනික්කා ගැන හීන මවපු
පුංචිම  කාලෙ ඉ
ඔෂීන් එක්ක අත් අල්ලන් ආව,
නොරිකො සං දෙවොන්දරා සං
මුණ ගැහුණට පස්සෙ,
වැඩි දියුණු වුණ ජපන් හීනයක් මගෙ හිතේ තිබුණා....
ඒ හීනය හැබෑ වෙන දවසෙ
තාමත් මට අදහන්න බෑ....මේ ඇත්තක්මද?

( ජපානයට අරන් ගිය මගේ පුංචි මතක සටහන් පොතේ 2012.06.05 වෙනිදා පළමු පිටුවෙම ලියල තියෙන්නෙ මේ පද පේළි ටික.... )

ලෝක සිතියම කළුද, සුදුද කියලවත් දන්නෙ නැති පුංචිම කාලෙ ජපානය අපේ හීන අතරට එක් වෙන්නෙ '' ජපන් රටේ උපත ලබා ලංකාවට ආව බෝනික්කා '' නිසානෙ.... රෙදි හැට්ට ඇදල මමත් ඒ ගීතයට මොන්ටිසෝරි වේදිකාවෙ නටල තියෙනවා... ‍

( මේ තියෙන්නෙ ‍‍පොටෝ එක.. ‍දෙවෙනියට ඉන්නෙ මම.... පළවෙනියට ඉන්නෙ හයහතර දන්න කාලෙ ඉල මගේ ළින් ඉන්න යාළුවා. අදටත් ඒ යාළුකම එහෙමමයි.. )

ඊළට ජපානය හිතට ළං උණේ ''ඔෂීන්'' නිසා... ඔෂීන් බලද්දි හැම වෙලේම හිතුණ දෙයක් තමයි හිමේ සෙල්ලම් කරන්න ලැබුණ නම් හොයි කියල. ඔෂීන් ගෙ මුණත් ජපන් බෝනික්කාත් අපූරුවට ගැළපුණා...

මේ විදියට ජපානය සුන්දර මතකයක් වෙලා තියෙද්දි තමයි දෙවොන්දරා සං නොරිකො සං ව කැන්දගෙන හිතට ළං උණේ... ඒ එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මළවුන්ගේ අවුරුදු දා සහ මළගිය ඇත්තෝ නවකතා එක්ක.... ජපන් සංස්කෘතිය ගැන ලොකු පැහැදීමක්, ආදරයක් මේ පොත් නිසා ඇති උණා... නොරිකො සං දැන අුන ගත් දා ඉල ඈ ගැන ආදරයකුත් අනුකම්පාවකුත් හිතේ තිබුණා.. දොවොන්දරා සං මීට වඩා ඈ ගැන හිතන්න තිබුණා... ලංකාවෙ අපෙන් ජපානයේ නොරිකොට සිදු වුණේ අසාධාරණයක් කියලයි මගේ හිත කිව්වෙ....
 
ජපානයට යන්න කළින් කාර්යාලයේ හිතවතෙක්  මා අතට දුන් කවිය මේ තියෙන්නෙ...

ගත පුරා දැවටී සීතල වැටෙන                             හිම
ගස් පුරා ලස්සන සකුරා පිපෙන                         බිම
ඔබ දෙනෙතින් ජපානය දෙස බලමි                   මම
හමුවෙලා කියන්න නොරිකෝ අමතක නොකළබව

අනේ ඉතින් නොරිකෝව නම් කවදාවමත්ම අමතක වෙන්නෙ නැහැ... ඒත් ජපානයේ හිටිය මාස දෙකට නොරි‍කෝ කෙනෙක් නම් දකින්නවත් ලැබුණෙ නැහැ... හීන මවපු ජපානයට වඩා වෙනස් ජපානයක් දැක්කෙ...

උසස්පෙළ කරද්දි නාට්‍ය හා රංග කලාව විෂයක් විදියට තෝර ගත්ත නිසාම නෝ, කබුකි නාට්‍ය කලාවන් ගැන ඉගෙන ගන්න ලැබුණා.... ඔන්න ජපානයට හිත ගැට ගහපු තවත් රැහැනක්.....

ජපානයට හිත වෙළුව තවත් රන් හුයක් තමයි පර්ල් එස් බක් ‍ගේ ''සකායි'' පොත.......  සුනේත්‍රා රාජකාරුණානයක පරිවර්තනය කරල තියෙන්නෙ.. එක් උපන්දිනයකට ලොකු නංගිගෙන් ලැබුණු තෑග්ග තමයි සකායි......

ආරියවංශ රණවීරයන්ගේ පරිවර්තන නිසාම හයිකු කවි දැන හුන ගත්තා.... රස වින්ා.... හයිකු කවියත් මගේ හිත ජපානයට තව තවත් ළං කළා..... ''මිණි පැමිණි'' පොතත් මා එක්ක ජපන් ගිහින් ආවා...
කවබත යසුනරි ගෙ කෙටි කතා පොතකුත් ජපානයට ඇති ඇල්ම වැඩි කළා...

ඉතින් මේ පොත් කියවීමේ උණ නිසාම ජපානයට යද්දි, ජපානය ගැන අද පරපුරේ ජපානයේ කෙනෙක්වත් නොදන්න තරම් දේවල් මම දැනගෙන හිටියා...

පාඨමාලාව ගැන තිබුණ උනන්දුව වගේම ජපන් පන්සල්, තේ පානෝත්සව, ඉකෙබානා මල් කලාව, Hot springs,  හයිකු කවි, කිමෝනෝ, සුසානභුමි වගේ දේවල් ගැන මගේ තිබුණු උනන්දුව නිසාම අපේ අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂතුමිය ඒ හැම අත්දැකීමක්ම ලබන්නට අවස්ථාව සලසා දුන්නා... 

''තරංගි සන් හින්දා අපිත් සාම්ප්‍රදායික ජපානයේ හැඩතල අුන ගන්නවා'' පාඨමාලාවට සම්බන්ධ උණ අනෙක් රටවල අය කිව්වා...   

ජපානයට ගිහින් දෙවෙනි දවසේ ඉන් හෂී වලින් ( Chopsticks- කෝටු දෙකෙන් )  කෑම කන්න මම පුරුදු උණා.. හැ‍මෝම පුදුම උණා ඒ තරම් ඉක්මණින් වැඩේ අල්ල ගත්තට... හිටපු ටික කාලෙදි එයාලගෙ භාෂාවත් තරමක් දුරට මට හුරු උණා.... මම ජපානයට තියෙන ඇල්මයි, දැනුමයි, ඉක්මණින්ම ‍දේවල් උකහා ගැනීමේ හැකියාවයි නිසා පාකිස්ථානෙන් ආව සීරා නිතරම විහිළු කළා ''පුනර්ජනම්.... පුනර්ජනම්...'' කියලා...

සමහරවිට පෙර ආත්මෙක ජපානයේ හිටියද දන්නෙත් නැහැ... මේ තරම් ජපන් උණක් තියෙන්නේ....
ඉස්සර ඉලම මම කිව්ව දෙයක් තමයි එක දවසකට හරි ජපානයට යන්න ඕන කියල... ඒ හීනය හැබෑ උණේ නොහිතපු විදියට.... සකුරා මල් පිපෙන කාලයක ජපානයට ගිහින් එන්න ඕන... ඒ හීනයත් කවදා හරි සැබෑ කර ගන්නවා....‍ මොකද මම ජපානයට යද්දි සකුරා මල් සමය නිම වෙලා....







ජපානයේ හරිම වටින අත්දැකීම් ගොඩක් තියෙනවා... එකින් එක ‍තරු අමුණන්නම් මගේ සයිබර් අහසට......  

Tuesday, June 5, 2012

කම්මුල් ගාය සහ පොත් ගාය





ඒ සති අන්තෙ මම ගමේ ගියේ ළා උණකුත් තියෙද්දි... ලෙඩක් හැදුණම ඉතින් ගෙදර තරම් සුවදායක තැනක් තවත් තියෙනවයැ... ඉරිදා වෙද්දි දැණුනෙ කම්මුල් අමාරුව කියල.. ඔන්න ඉතින් කාමරේට හිර වුණා...

ඉස්සර නම් මේවට කියන්නෙ දෙයියන්ගෙ ලෙඩ කියලනෙ.. දැන් නම් දන්නවා බෝවෙන රෝගයක්. මේවා බෝවෙන්නෙ වෛරස් එකකින්... ඔය වගේ නානාප්‍රකාර දේවල්... මේ වගේ අසනීපයක් තියෙන කෙනෙක් ගෙදර ඉද්දි අතීතයේ නම් කොහොඹ අත්තක් ගේ ඉදිරියෙ එල්ලන සිරිතකුත් තිබුණා.. ඒ හැමෝටම දැනුම් දෙන්න මේ ගෙදර බෝ වෙන රෝගයක් තියෙනවා කියල.. දැන් ඒව කෙරෙන්නෙත් නැහැ... හැබැයි අලිහක්ක දෙහි ඇඹුලෙන් ගල ගාල ගෑවා... ඊට අමතරව තාත්තා හැමදාම හැන්දෑවට ආශිර්වාද කරපු ඔලිව් තෙලුත් ගෑවා... එහෙම ඔලිව් තෙල් ගාන වෙලාවට මගේ පපුව හිර වෙනවා වගේ ගතියක් දැණුනා.. තාත්ත ගැන ආදරේට දුකක් වගේ අමුතු හැීමක් එකතු වෙලා ..
එළියට එන්න විදියක් නැහැ. නංගිගෙ චූටි දුව ඉන්නවනෙ... මාව දැක්කොත් මම්මා කියාගෙන ඇ‍ේ එල්ලෙනවා.. නංගි උදේට දුවව ගෙනත් දීලා වැඩට ගියාට පස්සෙ ආපහු හැන්දෑවට එයා දුවව භාර ගන්න කල් මට කාමරෙන් එළියට එන්න විදියක් තිබුණෙ නැහැ... කාලෙ ගෙවා ගත්තෙ පොත් අල්මාරියට පින් සිද්ධ වෙන්න.....

පොත් ගාය ඉතින් හය හතර තේරෙන දවසේ ඉල වැළිලා තියන, සුව කර ගන්නම බැරි, සුව කර ගන්න ඕන කමකුත් නැති අසනීපයක්නෙ...  ( කවදා හරි දවසක '' කලහය'' කෙටි කතාවෙදි වගේ ගෙදර එක්කෙනා ''කසාද බැන්‍‍ෙපොත්ද මාවද ?'' කියල ප්‍රශ්නයක් අහන තරමටම මේ ‍ගාය උත්සන්නයි. )
ඉතින් කියවපු පොත්ම ආයෙම කියෙව්වා.. සෝමා ජය‍කොඩිගෙ පොත් ( මදාරා, මිහිකතගේ දියනිය, වෘකයෝ සහ ළමයි & සුනේත්‍ර‍ා රාජකරුණාන‍ායක ( හෘද සූත්‍රය, නන්දිතය ), පරිවර්තන ( මිනිසෙක්, කාන්තාරයේ කුසුම, කාන්තාරයේ දරුවෝ, පෙට්ටිගෙදර ළමයි.... ) තව කවි පොත්.... පත්තර.....
මේ අතර හරි අපූරු පොත් ටිකක් මුණ ගැහුණා...

10 , 20 පොත්...

මහජන පුස්තකාලෙ පොත් සල්පිලකදි වසර ගණනාවකට පෙර රු. 10 ට, 20 ට, 50% වට්ටමට ගත්තු පොත් වගයක් තිබුණා නොකියවා... රු. 10 ට නම් තිබුණෙ ගොඩක්ම පුංචි අයට මුද්‍රණය කළ අධ්‍යාපනික පොත්.... ඒව ගත්තෙ වටේ පිටේ ඉන්න බාල පරම්පරාව ගැන හිතල. රු. 20 ට ගත්ත පොත් අතර වැඩියම තිබුණෙ කෙටි කතා පොත්.. ගස් නැති රටට එරු ගහත් ගහක් කියන්න වගේ ඔහේ කියවල දානවා කියල හිත හදාගෙන මේ පරණ, අුරු ගැහුණු පොත් ටික ඇටම ගොඩ කර ගත්තා.




පොතින් පොත කතාවෙන් කතාව කියවගෙන යද්දි හිතුණා අඩුම මිලකට ගත්තට ඒ පොත් අමිල වටිනාකමකින් පිරිල තියෙනවා නේද කියල....

'' මේඝ "

රු. 20 ට ගත්ත එක් පොතක් රන්ජිත් ධර්මකීර්තිගෙ '' මේඝ " .. ඒක නාට්‍ය අත්පිටපතක්.. පියදෝර් දොස්තයෙව්ස්කි කියන මහා රුසියන් ලේඛකයාගේ ඇත්ත ජීවිත අත්දැකීමක් ඇසුරු කර ගනිමින් ලියවුණු ස්වතන්ත්‍ර නාට්‍යයක්.. දොස්තයෙව්ස්කි අන්ත දිළිු තත්තවයකට වැටිල, ණය ගොඩකට මැදි වෙලා ඉන්න කාලෙක ස්ටෙලොව්ස්කි කියන ප්‍රකාශකයා එක්ක ගිවිසුමකට බැ‍‍ිල මුදලක් ණයට ගන්නවා..
පොත් ප්‍රකාශකයාගේ ගිවිසුම අනුව දින 26 ක් ඇතුළත ලේඛකයා නවකතාවක් ලියා දෙන්නට ඕන.. ලියා දෙන්නට නොහැකි උණොත් දොස්තයෙව්ස්කිගෙ සියලුම පොත්වල අයිතිය ස්ටෙලොව්ස්කිට හිමි වන විදියටයි මේ ගිවිසුම ඇති කරල තිබු‍ණෙ. දොස්තයෙව්ස්කි බලාපොරොත්තු අත් හැරල සූදුවට  මැදි වෙලා ණයකාරයන්ගේ හිරිහැර මැද ඉන්න මේ දුෂ්කර අවස්ථාවෙ එයාගෙ යාළුවො තමයි ගැටළුවෙන් මිදෙන්නට ශක්තිය වෙන්නෙ.... සැලසුම් සකස් කරන්නේ... 1866 ඔක්තෝම්බර් 04 වෙනිදා සිට නොවැම්බර් 01 දා දක්වා මේ කැළඹිලි සහිත කාල වකවානුව තමයි නාට්‍යයට තේමාව වෙන්නෙ..

සූදුවට ඇබ්බැහි වෙලා හිටිය දොස්තයෙව්ස්කි මේ ගිවිසුම අනුව ලියන පොතේ නම '' සූදු අන්තුවා ''.      ( සිංහල පරිවර්තනයක් තියෙනවද දන්නෙ නැහැ. මම තාම බලල නම් නැහැ. ) රාත්‍රී කාලයේ ලේඛකයා කතාවේ දළ සටහනක් ලියා ගන්නවා... දිවා කාලයේ දී ආන්යා ග්‍රිගොරියව්නා කියන ලඝු ලේඛිකාව පෙර සැකසූ දළ සටහනට අනුව ඔහු විසින් කියවන විස්තරාත්මක කතාව ලඝු ලේඛනයෙන් සටහන් කර ගන්නවා. නැවත රාත්‍රී කාලයේ ඇය එම පිටපත යතුරු ලියනයෙන් පිටපත් කරනවා.. මේ ආකාරයටයි දින 26 ක් ඇතුළත '' සූදු අන්තුවා '' ලියවුණේ... ඔහු පොත් ප්‍රකාශකයාගේ උගුලෙන් ගැළවෙන්නෙ ලේඛකයාගේ ප්‍රතිභාව, ඔහු ලැබූ විවිධ ජීවිත අත්දැකීම් වගේම මිතුරන්ගේ දිරි ගැන්වීම සහ ආන්යාගේ දක්ෂතාවත් නිසයි.

පසුකාලයක මේ ලඝු ලේඛිකාව දොස්තයෙව්ස්කිගේ බිරි බවට පත් වෙනවා.. ආන්යා සමග දෙවන වරට විවාපත් වූ මේ මහා ලේඛකයා වඩාත් තැන්පත් අයෙක් වු බවටත්, ඉන්පසු ඉතාමත් හො නිර්මාණ රාශියක් ඔහු අතින් ලියැවුණු බවටත් ඉතිහාසය සාක්ෂි දරනවා...

'' ආදරවන්තිය ''

බෙසී හෙඩ් කියන අප්‍රිකානු ලේඛිකාවගේ තෝරා ගත් කෙටි කතා කිහිපයක් මේ කෘතියෙහි ඇතුළත්. වසර ගණනාවකට එපිට අප්‍රිකානු දිළිුකම, නූගත්කම, අසරණකම විදහා දැක්වෙන කැඩපතක් වගෙයි මේ කෙටි කතා එකතුව... 

දුක් කම්කටොළු රැසක් මැදත් මනුෂ්‍යත්වයේ රැස් විහිදෙන හැටිත් මේ කෙටි කතාවලින් කියවෙනවා... පොත කියවාගෙන යම් අවස්ථාවල කණගාටුවක් දුකක් දැණුනත්, කම්පනයක් ඇති වුණත් මනුස්සකම ගැන ආදරයකුත් දයාවකුත් ඇති කරන්න තරම් මේ කෙටි කතා සංවේදී...



යමුනා මාලනී පෙරේරාගේ ''ගිම්හානයේ උයන්පල්ලා'',   ෂෝන් පෝල් සාර්ත්‍රගේ ''නම්බුකාර අබිසරුලිය'',  ලීලානන්ද වික්‍රමසිංහගේ '' සිරකරුවාගේරාත්‍රිය'',  එන්.ටී.කරුණාතිල‍කගේ ''ඔවුන් නැවත නැගිටිනු ඇත.'' ඛලීල් ජිබ්රාන්ගේ '' මිනිසි අසිරිය''................. මේ අඩු මිල පොත් අතර තිබුණු තවත් සිත් ගත් පොත් කිහිපයක්.....

ප.ලි.
පොත් නම් කොයි තරම් කියෙව්වත් එපා වෙන්නෙ නැහැ. කොයි තරම් ගත්තත් ඇති වෙන්නෙත් නැහැ... කම්මුල් ගාය නම් හො උණා.. පොත් ගාය නම් කවදාවත් හො වෙන එකක් නැහැ......