වසන්තයයි ළඟ ළඟ එන්නේ
පන්හිඳයි තුටුව දැන් හිනැහෙන්නේ
හිස් පොකැට්ටුවයි අසරණවෙන්නේ
නමුදු පැතුම් සිත දළුලන්නේ......
පොත් අතර දෙනෙත් යුග තනිවෙන්නයි
නැවුම් සුවඳ විඳ සැනසෙන්නයි
පත් ඉරු පෙරළා සුසුමක්ලන්නයි
පොත් සල්පිල වෙත මෙවරත් යන්නයි...
අසුරු
සැණින් 2012 වසරේ මාස අටක්ම ගෙවිල ගිහින් ඉවරයි... ඊළඟට එන්නෙ සාහිත්ය මාසෙ...
ඔන්න සාහිත්ය උණ හැදිල කියල හිතන්න නම් එපා... මම හැමදාමත් සාහිත්ය උණෙන් පෙළෙන
රෝගියෙක්නේ... ඒක මාසෙකට, දවසකට වෙන් වුණ අවශ්යතාවයක් නෙවෙයි... හැමදාමත් මම
පොතපතට ආදරෙයි.. කියවනවා.. ඒ වගේම මම කියවන පොතපත අනිත් අය එක්ක හුවමාරු කර
ගන්නවා... අගය කරනවා.. කතා කරනවා.. හුදෙක් පොත් කියවන්නෙක්ගෙන් එහාට ගිය
කාර්යභාරයක් අපෙන් සිදු විය යුතුයි කියල මම විශ්වාස කරනවා...
පාඨකයාට රසිකයෙක් විය හැකියි.
පාඨකයාට
ලේඛකයෙක් විය හැකියි.
පාඨකයාට
විචාරකයෙක් විය හැකියි.
පාඨකයාට
මානව හිතවාදියෙක්, පරිසර හිතවාදියෙක් විය හැකියි.
2007
වසරේ සාහිත්ය මාසයේදී කිතුනු සඟරාවකට ලියූ ලිපියක් මෙවර බ්ලොගයට එක් කරන්න
හිතුවා... මේ ලිපිය කිතුනු තරුණ තරුණියන් වෙනුවෙන් ලියූ ලිපියක්....
---------------------------------------------------------
" සාහිත්යයට පියාපත් ඇත. ඔබට ඒ පියාපත් දකින්නට නොහැකිය.
නමුත් එම පියාපත් මතින් ඔබට නැවුම්, අපූර්ව ලෝකයක් සොයා,
විශිෂ්ඨ අරමුණු කරා පියාසර කරන්නට හැකිය. "
සාහිත්යය
හා සමාජය අතර ඇත්තේ එකිනෙකින් කෙසේවත් වෙන් කළ නොහැකි අන්යෝන්ය බැඳීමකි. සාහිත්යයෙහි
ප්රමුඛ අරමුණ ලෙස සෞන්දර්ය රසාස්වාදය බාහිරින් පිළිබිඹු වුවද, අභ්යන්තරික වශයෙන්
ජීවිතයේ සහ විශ්වයේ සත්යය එළිදැක්වීම සහ සමාජ සුබසාධනය වෙනුවෙන් පෙනී සිටීම, ඒ සඳහා
පෙළඹවීමක් ඇති කිරීම සාහිත්ය නිර්මාණ තුළින් අපේක්ෂා කෙරේ.
සාහිත්යය
හා සමාජය අතර ඇති ගැඹුරු බැඳීමට මූලිකම හේතුව වන්නේ සෑම සාහිත්ය නිර්මාණකරුවකුම
මිනිසකු වීමත්, සෑම මිනිසකුම සමාජයීය සත්වයකු වීමත්ය. සමාජ ජීවිතයෙන් පෝෂණය වන සැබෑ
නිර්මාණකරුවා තම නිර්මාණයන් තුළින් සමාජය උසස් කිරීමට උත්සාහ දරනු විනා සමාජය බිඳ
දැමීමට උත්සාහ දරන්නේ නැත.
සමාජ
ගැටළු කෙරෙහි මානව හදවත් සංවේදී කරමින්, සමාජ යහපත වෙනුවෙන් ඔවුන් පෙළඹවීමට ,
පෙළගැස්වීමට සාහිත්ය නිර්මාණ තුළින් සිදු කළ හැකි මෙහෙය අති විශාලය. යම් සාහිත්ය
නිර්මාණයක අරමුණ සෞන්දර්ය රසාස්වාදය පමණක්ම වීමටද ඉඩ ඇත. නමුත් ඒ හරහාද මිනිස්
හදවත් සුවපත් කර මානව දයාවෙන්, සාමයෙන් පුරවාලන නිසා සමාජ යහපත වෙනුවෙන් වක්රාකාරයෙන්
සිදු කරනු ලබන මෙහෙය ඉතා වැදගත්ය.
වත්මන්
සාහිත්යය කොතෙක් දුරට සමාජ යහපත වෙනුවෙන් පෙනී සිටින්නේද යන්න අප විසින් විමසා
බැලිය යුතු කරුණකි. විශේෂයෙන්ම කිතුනු සාහිත්යය මේ මග ගමන් කරන්නේද? සමස්ත සමාජය
වෙත සැබෑ දහමේ හරය රැගෙන යන, ඒ තුළින් සමාජ යහපත වෙනුවෙන් බලපෑමක් ඇති කරන පුළුල්
සමාජ මෙහෙවරක යෙදෙනු වෙනුවට බොහෝ විට දැකිය හැකි වන්නේ පටු ආගමික අවශ්යතාවන්වල
සිර වී සිටින සාහිත්ය නිර්මාණයන් නොවන්නේද? කිතුතුමන් ගිය මග යමින් සැබෑ දහමේ
ආලෝකයෙන් කිතුනු සාහිත්ය කෙත සරු කරන්නට වීරිය දරන අයට ලැබෙන්නේ ගැරහුම්ය.
අවමන්ය. යටපත් කර දැමීමය.
කිතුනු
තරුණ තරුණියන් ලේඛන කලාවට පිවිසෙනු දැකීමද අතිශයින් විරලය. නිර්මාණකරණය කෙසේ වෙතත්
පොත පත ලැදියාවෙන් ඇසුරු කිරීමද අද තරුණ පරපුරෙන් ගිලිහී යමින් පවතී. ලෝක ඉතිහාසයේ
පිටු පෙරළා බලන විට බොහෝ යහපත් සමාජ සශෝධනයන් සිදු වූ අවස්ථාවලදී ප්රමුඛ කාර්යභාරයක්
සාහිත්යය විසින් ඉටු කර ඇති බව පැහැදිලි කරුණකි.
සැබෑ
ජීවන යථාර්ථය පිළිබිඹු කරන, දහමේ හරයේ ආලෝකයෙන් නව ලොවක් ගොඩ නගන්නට පෙළඹවීමක්
ඇති කරන, මානව දයාවෙන් හදවත පුරවන, අර්ථවත් රසාස්වාදයක් ලබා දෙන සාහිත්ය නිර්මාණ
ඇසුරු කරන්නටත්, එවන් නිර්මාණකරුවන්ට දිරියක් වෙන්නටත්, එවන් නිර්මාණ කාර්යයන්හි
නියැළෙන්නටත් සාහිත්ය මාසයේ එළිපත්තේ සිට ඔබ සැමට ආදරයෙන් ඇරයුම් කරමි.
( මේ
සම්බන්ධයෙන් ඔබගේ නිදහස් අදහස්, විචාර, විවේචන ගෞරවයෙන් අපේක්ෂා කරමි. )





