පිටු

Thursday, February 14, 2013

නළලත තිලකයක් හිනැහුණා...





දුරකථනය නද දුන්නා... පරිගණක තිරයත් තිගැස්සුණා... නාඳුනන අංකයකින් ඇමතුමක්...

'' හෙලෝ ''

'' අක්කා... නාන් ලක්ෂණා...''

ඕහ්... ලක්ෂණා... යාපනේ අනුශාසක පුහුණූවේදී හමු වූ මන්නාරමේ නැගණිය...

ඇගේ නළලේ තිලකය ඇඟිලි තුඩින් අරගෙන මගේ නළලතේ තියා හැඩ බලා අහිංසකව හිනැහුණු දමිල සොයුරිය...

පෙට්ටි බසයේ යාපනේ ඉඳන් පණ්ඩිතිරිප්පු යද්දි එස්.පී. බාලසුබ්‍රමනියම්ගේ '' වා වෙන්නිලා '' ගීතයේ හඬට ඇස්වලින් හිනාවෙලා මාත් එක්කම තාලෙ ඇල්ලුව පුංචි කෙල්ල....

යාපනේ එකට හිටි දවස් දෙක පුරාම කියා ගන්න බැරි දහසක් දේවල් ඇස්වල ගුලි කරගෙන ඇස් හමුවෙන හැම මොහොතකම ලස්සනට හිනැහුණ සුන්දර යුවතිය....

'' ඕ... ලක්ෂණා... එප්පඩී සුහම්? '' එතනින් එහාට ඉතින් වචන නැහැනෙ.

කමල්ගෙ සරණ... කමල්ගෙ පිහිටෙන් ආගිය තොරතුරු කතා කර ගත්තා..

'' කමල් කියන්න එයාට... එදා එයාගෙ මොට්ටුව මගේ නළලෙ තියල ලස්සනට හිනා උන හැටි මට නිතරම මතක් වෙනව කියල...''

කමල්ගෙ කතාවට ලක්ෂණා හිනැහෙන අපූරුව මන්නාරම ඒ තරම් දුර නෑ නේද වගේ හැඟීමක් ගෙනාව මට...

ඒ සිලි සිලි හිනා‍වෙ ජාති භේදයක් නැහැ...

ඒත් හිතේ තියෙන හැමදේම ගොනු කරල කියා ගන්න වචන නැති උනාම, වචන තිබුණ උනත් පහදවල කියා ගන්න බැරි උනාම හිතට කොයි තරම් අසරණකමක් දැනෙනවද?

ඒ නිසාම කොයි තරම් සුන්දර බැඳීම් මග හැරිල යන්න ඉඩ තියෙනවද?

Tuesday, February 12, 2013

දෙයියන්ගෙ මල්ලි විසින් මුරකරු‍වෙක් කළ කවි‍යෙක්...


මේ ‍ගෙන්දගම් පුරවර‍‍‍යෙ මට සෙවණ සිසිල සදන නවාතැන තියෙන්නෙ දිවයි‍නේ සුප්‍රසිද්ධ ක‍තෝලික විද්‍යාලයක් අසල.

ක‍තෝලික කිව්වට නමට ක‍‍තෝලික. ‍හෙ‍රෝද්ගෙ පැළැන්තියට අකුරු සාස්ත‍රේ ‍දෙන. දුප්පතුන් පිටමං කරන.

වතින් දිළින්ඳන්ටත්, සිතින් දිළින්ඳන්ටත් සහනයක් ආ‍ලෝකයක් වුණු මුනිවර‍යෙකු‍ගේ නම දරන... නමුත් ඒ මුනිවරයා‍ගේ දර්ශනය අහලකවත් ‍නොවන සුප්‍රසිද්ධ ක‍‍තෝලික විද්‍යාලයක්...

මට කියන්න ඕන කාරණේ ඒක ‍නෙ‍වෙයි. මාසයකට වරක් මං ගන්න කිතුසර පත්තර දහය කිතුස‍ර කණ්ඩාය‍මේ පියතු‍මෙක් මට ‍දෙන්නයි කියල දීල යන්‍නො   මේ විද්‍යාලයේ මුරකුටියට. යන එන ගමන් හිනා‍වෙන්, කතා‍වෙන් ගුඩ් ‍මෝනින්ග් එ‍කෙන් හිතවත් වූ සිකියුරිටි මහත්තැන් පත්තර මිටිය ලැබුණු දාට මං වැඩ ඇරිල එන කල් මග බලා‍ගෙනම  ඉන්නවා... මමත් ලියන්නියක් බව ‍මේ පත්තර ගණු‍දෙනුවෙන් ඔහු ‍තේරුම් ගන්න ඇති. බො‍හොම නිහතමානී විදියට දවසක් ම‍ගේ අතට පත්තර මිටිය දීල මෙහෙම කිව්වා...

‘‘ මමත් ඒ කා‍‍ලෙ ලිව්ව මිස්. භක්ති ප්‍රබෝධනයට. ඥානාර්ථ ප්‍රදීපෙට. ම‍‍ගෙ ගීත ගුවන් විදුලි‍‍යෙ සරල ගී වැඩසටහනකටත් අරන් ති‍යෙනවා. මං දවසක මිස්ට ම‍ගේ නිර්මාණ ‍ගෙනත් ‍දෙන්නම් බලන්න. ”

‘‘ ඇයි ඉතින් දැන් ලියන්නෙ නැද්ද? ” මං ඇහුවා..

‘‘‍මේ ව‍ගේ ‍‍ජොබ් එකක් කර කර ‍කොහොම ලියන්නද මිස්”

ඒ කතා බහ එතෙකින් නිමයි. ආ‍යෙමත් දවසක ඔහු කිව්ව ‍පොත ගෙනත් ‍දෙන බව. සාහිත්‍යමය ළෙංගතුකමකින් බැඳිල දැන් සිකියුරිටි මහත්තැන් මා එක්ක. මට බය ඔහු‍ගේ නිර්මාණ එක එක පත්තරවල පළ කරල ‍දෙන්න කියයිද කියල. කිතුසර, භක්ති ප්‍රබෝධනයට ගැළ‍පෙනවනම් ‍මොනා හරි කර ගන්න පුළුවන්.

පහුගිය බ්‍රහස්පතින්දා‍‍ හැන්දෑ‍‍වෙ වැඩ ඇරිල එන මං දැක්ක ගමන් සිකියුරිටි මහත්තැන් මුර කුටියට දිව්වා.. පාර්සලයක් ‍ගෙනත් මගේ අත තිබ්බා.. ‘‘ මිස් ම‍ගේ නිර්මාණ එකතුව.. ”

‘‘ ‍මේ දවස්වල වැඩ වැඩියි.. මං නිවාඩුව බලල ‍දෙන්නම්..” එ‍හෙම කියල මම ‍පොත අරන් ආවා. 

සෙනසුරාදා හවස් වරුවෙ   තමයි ‍සිකියුරිටි මහත්තැන්ගේ නිර්මාණ එකතුව බලන්න වි‍‍වේකයක් ලැබු‍ණෙ.

‘‘ම‍ගේ කලාව සහ ජීවිතය” මැ‍යෙන් අත්අකුරින් ලියැවුණු සටහන් ‍පොත ඇස්වලට කඳුලක් එක් කළා. අත් අකුරින්ම ලියූ ‍පෙරවද‍නේ ‍මෙ‍ලෙසින් සඳහන් ‍වෙනවා.

‘‘ ‍පොතක් ලියා මුද්‍රණය කිරීමට ‍නොනි‍‍මෙන ආශා මසිත තුළ තිබුණත්, දිය මතු පිට ඇඳි ‍රේඛාවක් පරිද්‍‍දෙන් එය ‍බොඳව යන්‍නේ  සියල්ල අභිබවා ආර්ථිකය නම් වූ චණ්ඩ මාරුතය මා තලා ‍පෙලා දමා ඇති නිසාය.”

සැබවින්ම එය සුන්දර කලාකරුවකු‍ගේ අහිංසක නිර්මාණ එකතුවකි. 1982 වස‍රේ සිට වරින් වර ලියූ කවි, සිතුවිලි අත් අකුරින්ද, පුවත්පත්වල පළවූ නිර්මාණ කපා ඇලවී‍මෙන්ද ‍පොත සකස් කර ඇත. දහමට ඇති ළැදියාව, යහපත් සමාජයක් ‍කෙ‍රෙහි ඇති අපේක්ෂාවන්, සාහිත්‍යය සහ කලාව ‍‍‍කෙ‍රෙහි ඇති බැඳීම 80 දශක‍යේ සිට මේ දක්වා පළවූ නිර්මාණ එකතු‍වෙන් පැහැදිලිය.


ඉරිදා  උ‍දේ පූජාවට යද්දි සිකියුරිටි මහත්තැන් සුපුරුදු ලෙස මුරකුටි‍යේ ‍සේව‍යේ.

‘‘මං ඔයා‍ගෙ පොත බැලුවා... හරි අපූරුයිනෙ. අපරා‍දෙ නොලිය ඉන්න එක. කො‍හොම හරි ‍‍වෙලාව ‍හොයා‍ගෙන ලියන්න. ” මං කිව්වා. 
අහිංසක හිනාවක්. ඔහු අනිවාර්ය‍යෙන්ම ලියාවි. මැදි වය‍‍‍සෙ  අගිස්‍‍‍සෙ ඉන්න කවියා‍ගේ ඇස් ‍දෙක බැබළුණ හැටි‍යෙන් මට එ‍හෙම හිතුණා. 

මුර කුටියක උණත් කවි මල් පිපෙන්න බැරිකමක් නැහැනෙ.



 

Monday, February 11, 2013

සඳරු ඉස්කෝලෙ ඇවිත්...




සඳරු පුතා හය වසරෙ. අගනුවර සුප්‍රසිද්ධ පාසලක ඉගෙන ගන්නෙ.  ඉස්කෝලෙ ක්‍රීඩා උ‍ළෙල පැවැත්වුණේ පසුගිය සතියෙ. සඳරු පුතත් හිටිය සරඹ කණ්ඩායමේ. පුහුණු උණා කාලයක් තිස්සෙ යාළුවොත් එක්ක හරිම සතුටින්. ක්‍රීඩා උත්සවය දවසෙ අම්ම එක්ක සඳරු ඉස්කෝලෙ ආවෙ හරිම සතුටින්. සරඹ කණ්ඩායමට නියමිත ඇඳුම් පැළඳුම් භාරව හිටියෙ අම්මල කිහිපදෙනෙක්. හැමෝටම තමන්ට නියමිත ඇඳුම් ලැබුණා. යාළුවො ටික අම්මලගෙ උදව්වෙන් හැඩ වැඩ වෙනවා...

ඒත් සඳරුට තමන්ගෙ ඇඳුම ලැබුණෙ නැහැ. '' ඇඳුම්වලට සල්ලි ගෙවපු අයට විතරයි දෙන්න කියල තියෙන්නෙ. '' අම්ම කෙනෙක් කිව්වා. සඳරු දුවගෙන ආවා ආපහු අම්ම ළගට. රිදුණු බිඳුණු හිතත් අරගෙන. දුක වාවගෙන බලා ගත් අත බලාන ඉන්නව ඇරෙන්න අම්මටත් කරන්න දෙයක් තිබුණෙ නැහැ. වරදකාරී හැඟීමකින් ඇගේ හිත පිරිල ගිහින්. අතේ තිබුණෙ දෙන්නට ආපහු ගෙදර යන්න බස් එකට තරම් වෙන මුදලක් විතරයි.

තාත්ත රස්සාව අහිමි කර ගත් දා ඉඳල ගෙදර අගහිග එමටයි. සඳරු ශිෂ්‍යත්වෙ ලිව්වෙත් එකම ටියුෂන් පන්තියකටවත් යන්නෙ නැතිව. අතමිට යහමින් ඇති යහළුවන්ගෙන් පිරුණු ඉස්කෝලෙ ඉගෙනීම කියන එක සඳරුගෙ පුංචි හිතට දරන්න බැරි තරම් අභියෝගයක් වෙලා තිබුණ උනත් හැමවෙලේම හෙවණැල්ලක් වගේ අම්ම ළඟින් හිටිය. ඒත් අද නම් ඇයටත් කරන්න දෙයක් නැහැ. පන්තියෙ ටීචත් පේන මානෙක නැහැ.

ඇස්වල පිරුණු කඳුළු බින්දුත් එක්ක සඳරු අම්මට ළං වෙලා ඉද්දි එතැනින් කලබලේ වැඩකට දුවන සඳරුගෙ යාළුවෙක්ගෙ අම්ම කෙනෙක් ඔවුන්ව දැක්ක.

'' ඇයි පුතා ලෑස්ති වෙන්නෙ නැද්ද?'' ඒ අම්ම කලබලේම ඇහුවා.

'' සල්ලි දෙන්න බැරි උනා... දුන්නැති අයට ඇඳුම් දෙන්නෙ නැතිලු. '' සඳරුගෙ අම්ම කීවෙ  නොකියාම බැරිකමට. ඒ අම්ම නැවතුණා. ඉද්ද ගැහුව වගේ. පන්ති කාමරයේ අගහිගකම් බොහොමයකදි සඳරුට උදව් දුන්න එකම කෙනත් මේ යාළුවගෙ අම්ම. ඇය පර්ස් එක දිග ඇරල පෙරළල බැලුවා. තිබුණ එකම මොණර නෝට්ටුව ඇදල අරන් සඳරුගෙ අම්මගෙ අතේ මිට මෙලෙව්වා.

''බලන්න කොහොම හරි ඇඳුම ගන්න. පොඩි එකා පව්නෙ. ''

අම්ම සඳරුත් එක්ක ආයෙම සරඹ කණ්ඩායමට ඇඳුම් බෙදන පන්ති කාමරයට ගියා.

'' ටීචගෙන් අහන්නෙ නැතිව දැන් මොකුත් කරන්න බැහැ. '' 

දාහෙ කොලේ දිහා බලන නොබලන දෑසින් අම්ම කෙනෙක් කිව්වා. මේ තරම් ප්‍රති‍ක්ෂේපයක් දරා ගන්න පුංචි හිතකට පුළුවන්ද?

'' අම්මෙ අපි ගෙදර යමු. මට වමනෙ යන්න එනව වගේ...'' 

සඳරු පන්ති කාමරයෙන් එළියට දිව්වා. ඇත්තටම සඳරුට වමනෙ ගියා. දුක පිට උණේ ඒ විදියට. අම්මටත් දරා  ගන්න බැරි තරම්. පරවුණු මලක් වගේ සඳරුව තුරුල් කර ගත්ත අම්මා ක්‍රීඩා පිටිය දිහාවත් නොබල ඉස්කෝලෙන් පිට උණා. කතා බහක් නැතිව ගෙදර ගිය අම්මයි පුතයි දෙන්න දෙන්නට හොරෙන් ඇඬුවා. නින්දට ගියෙත් හිස් බඩම.

දාස් ගණන් සල්ලි එහෙ මෙහෙ විසිවෙන ඉස්කෝලෙක සඳරු පුංචි පුතාට සිද්ධ උණේ කොයි තරම් ලොකු අසාධාරණයක්ද? මේ වගේ අත්දැකීමකින් පස්සෙ තව දුරටත් ඒ හිතේ ඉගෙනීම ගැන, ඉස්කෝලෙ ගැන, ගුරුවරු වැඩිහිටියන් ගැන ආදරයක් ගෞරවයක් ඉතිරි වේවිද?

අද සඳරු ඉස්කෝලෙ ඇවිත්...

'' පුතේ ටීච ඇහුවොත් ඇයි සරඹ කණ්ඩායමට ආවෙ නැත්තෙ කියල. පුතා ඇත්තම කියන්න.'' සඳරු ගෙදරින් පිට වෙද්දි අම්ම එහෙම කිව්වා.

''.... සඳරු පුතේ, ජීවිතේ නවතින්නෙ නෑ මෙතනින්. මේ වගේ නපුරු සමාජෙක ධෛර්යයෙන් හිට ගන්න, ලස්සන මලක් වෙලා පිපෙන්න ලොකු හයියක් ඕන හිතට. ඔයාට වරදින්නෙ නෑ. හිතට හයිය ගන්න... ''